Home » මම කැමැති යථාර්ථයෙන් මිදුණු මොඩර්න් සහ අර්බන් ෆැන්ටසිමය ලිවීමකට

මම කැමැති යථාර්ථයෙන් මිදුණු මොඩර්න් සහ අර්බන් ෆැන්ටසිමය ලිවීමකට

ලේඛිකා - මහේෂි වීරකෝන්

by Thanushika
October 24, 2024 11:59 am 0 comment

ලංකාවේ සාහිත්‍ය තුළ කාලයෙන් කාලයට නවමු ලේඛක ලේඛිකාවෝ බිහිවෙති. ඒ අතර මහේෂි වීරකෝන් නමැති අපූරු ලේඛිකාව ලාංකේය නූතන සාහිත්‍ය තුළ කුලුඳුලේම තම නම සටහන් කරගන්නේ පරිවර්තිකාවක ලෙසිනි. ඈ විසින් සිදු කරන පළමු පරිවර්තනය ලෙස ශ්‍රේෂ්ඨ ලේඛක පාවුලෝ කොයියෝගේ ‘බ්‍රීඩා’ නවකතාව කැපී පෙනෙයි. ඉන් අනතුරුව ඇල්බෙයා කැමු රචනා කරන ලද ‘The Plague’ නවකතාව ‘මහාමාරිය’ ලෙස ඈ වෙතින් පරිවර්තනය වෙයි. ඈ විසින් ගාර්සියා මාකේස්ගේ ‘Living to tell the tell’  කෘතිය ද ‘කියනු වස් පවතිමි’ යනුවෙන් පරිවර්තනය කරන්නේ ලංකාවෙි මාර්කේස්ට පෙමි බඳීන පාඨකයන් වෙනුවෙනි. මෙවර සරසවිය තුළ ඉඩ වෙන්වන්නේ ලේඛිකා මහේෂි වීරකෝන් සමඟ සිදු කළ සාහිත්‍යමය කතාබහ සමඟිනි.

මහේෂිගේ ලිවීම මුලින්ම ආරමිභ වුණේ කොහොමද?

පුංචි කාලේ ඉඳලම අපේ ගෙදර කියවන්න, හිතන්න පොලඹවන සුළු පරිසරයක් තිබුණා. හැමෝටම කියන්න තියෙන ක්ලීශේ කතාව, රෑට නිදාගන්න යද්දි වැඩිහිටියෝ කතාන්දර කියලා දෙන එක මගේ පොඩි කාලෙත් තිබුණා. එතකොට මගේ පොඩිම මාමි ළඟ වටිනා පොත් එකතුවක් තිබුණා. හුඟක්ම පොඩි වයසේ ඉඳන් මම ඒකේ තියෙන පොත් කියවනවා. ඒවා විශ්වසාහිත්‍යයේ ඉතාම බරපතළ සාහිත්‍ය කෘති. ඒවා අතරේ කෙටිකතා, නවකතා, නාට්‍යය, කවි වගේම ශාස්ත්‍රීය පතපොතත් තිබුණා. මම නිතර ඒ පොත් එකතුව ඇසුරු කළා. උදාහරණයක් විදියට, “සෝවියට් රුසියානු කෙටිකතා” හෝ,”Les Miserables”පොතේ සංක්ෂිප්ත පරිවර්තනය වන “මනුතාපය” හෝ “වානේ පන්නරය ලැබූ හැටි”, නැතිනම්  “Hamlet”  හෝ “Othello”  මම කියවන්නේ අවුරුදු හත හෝ අට තරම් පුංචි වයසෙදි. ඒවගේ තියෙන සෝශියෝ-පොලිටිකල් කාරණා සහ සබ්ටෙක්ට්ස් මට නොතේරුණත් මතුපිටින් දිවෙන මුල, මැද, අග සහිත “කතාන්දරයට” මම ආසා වෙනවා. හෝමර්, ශේක්ස්පියර්, ඩිකන්ස්, දොස්තයෙව්ස්කි, බැල්සැක්, හෙමිංවේ, මොරිසන්, කැමූ වගේ සාහිත්‍යයේ ක්ලැසික් දැවැන්‍තයින්ගේ නම් මට හුරුපුරුදු වෙන්නේ ඒ කාලේදිමයි.

ඉතින් ඒ පොත් කියවනවා වගේම මට ඒ වයසෙදිම ආසා හිතෙනවා ඒ වගේ කතා ලියන්න. මට මතකයි “මනුතාපය” කියවලා මම ලියනවා හිම වැටෙන දවසක ප්‍රංශයේ පාරක ඇවිදන් යන තරුණයෙක් ගැන කතාවක්. මම ඒ කාලේ කියවපු පොත්වල ආභාසය නිසාම මම හිතන්නේ පුංචි කාලේ ඉඳන් මගේ අදහස්වල, සිතුවිලිවල සහ පරිකල්පනයේ හරිම සිහිනමය යුරෝෆයිල් ගතියක් තිබුණා. ඒ වගේම මට ඒ පරිසරය තුළ යම් හුරුපුරුදු බවක්, පහසුවක්, නිදහසක් දැනුණා. මට ඕනි උනේ මම කියවපු, මම ආසා කරපු ගැහැනු, පිරිමි, ජීවන රටා සහ පරිසරය ගැන ලියන්න.

ඉස්කෝලෙදි මම සිංහලෙන්, ඉංග්‍රීසියෙන් රචනා, කෙටිකථා, කවි ලියනවා. සමහර ටීචර්ස්ලා ඒවා අරන් ගිහින් අනික් පන්තිවලට ළමයින්ට ඇහෙන්න කියවනවා. පාසල් කාලේදි, පොඩි පන්තිවල ඉඳන්ම, භාෂා දෙකෙන්ම ලිවීම සම්බන්ධයෙන් පවත්වන නොයෙක් තරඟවලින් මම ජයග්‍රහණ අත් කරගන්නවා. ඒ විදියට ලිවීම කියන එක පොඩි කාලේ ඉඳන් මට හුරු වෙලා තිබුණ, මම ආසා කරපු දෙයක්. ඒ ආශාව ඇති උනේ මගේ කියවීම එක්ක කියලා මට හිතෙනවා.

ඔබ පරිවර්තනය කරපු පළමු කෘතිය විදියට, ‘බ්‍රීඩා’ නවකතාව පරිවර්තනය වෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම වුණේ?

බ්‍රීඩා පරිවර්තනය වෙද්දි, මට දිග කාලයක් පුරා සිංහලෙන් ලිවීම මඟ ඇරිලා තිබුණා. දිගින් දිගටම මම අධ්‍යයන කටයුතුවල යෙදුණේත්, ඒ සඳහා මම කියෙව්වේ සහ ලියුවේත් ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. පොඩි කාලේ මම හුඟක් සිංහල පොත් කියෙව්වත් අර දිග කාලය පුරා මම සිංහල පොත් ඇසුරු නොකළම තරම්. ඉන්පස්සේ මම මගේ මාස්ටර්ස් එකත් ඉවර කරලා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් විදියට කළ මගේ පළමු රැකියාවෙනුත් ඉවත් වෙලා විවේකයෙන් හිටපු කාලෙක, ආයෙමත් සිංහල පොත් කියවන්නත් සිංහලෙන් ලියන්නත් ගන්නවා. පුංචි කවි, ලස්සන උපුටා ගැනීමි පරිවර්තනය කරනවා ආසාවට.

ඒ කාලෙදි මම ආසම පොතක් උනු “බ්‍රීඩා” පිටුවෙන් පිටුව මගෙ අතින් පරිවර්තනය උනා. ඒත් එහෙම කළේ පරිවර්තනයක් විදියට ඒක පළ කරන අදහසකින් නෙමෙයි. නිකන්ම ආසාවට, ආත්ම තෘප්තියට. කවදාහරි පොත් ලියන්න ඕනි කියලා නොපැහැදිලි අදහසක් මගේ හිතේ තිබුනට, පොත් පරිවර්තනය කරන්න ඕනි කියලා මට කවදාවත් හිතිලා තිබුණේ නෑ. ඒත් කොහොමින් හරි සම්පූර්ණයෙන්ම පොත පරිවර්තනය වෙලා ඒක ප්‍රකාශකයෙක් වෙත යොමු කෙරුණා. එයා පරිවර්තනයට කැමති වෙලා ඒක පළ කළා. ඉතින් ඇත්තටම බ්‍රීඩා සිංහල පරිවර්තනය සැලසුම් නොකළ අහම්බයක්.

ලේඛිකාවක් විදියට ඔබගේ සියලුම පරිවර්තන කෘතිවලින් බහුතරයක් පාවුලෝ කොයියෝ, ඇල්බෙයා කැමු, ගාර්ෂියා මාකේස් කියන ⁣ශ්‍රේෂ්ඨ ලේඛකයන් තිදෙනා බෙහෙවින් බලපා ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙහි විශේෂත්වය මොකක්ද?

පළවෙනියටම, කොයියෝ, මාර්කේස් සහ කැමූ කියන්නේ වෙනස් වෙනස් හේතු නිසා මම කැමැතිම ලේඛකයින් තුන් දෙනෙක්. කොයියෝ ගත්තම, මගේ ජිවීතය තුළ කොයියෝ යුගයක් තිබුණා. මං හිතන්නේ හුඟක් රීඩර්ස්ලාගේ ජීවිතේ එහෙම යුගයක් තියෙනවා. ඒ කියන්නෙ මම පිස්සුවෙන් වගේ කොයියෝ කියවපු කාලයක්. මම කොයියෝගේ ලිවීම්වල වැඩියෙන්ම කැමති එයා ආදරය කියන විෂය ගවෙිෂණය කරන්න යන දුරට සහ ඒ සංකල්පය තුළ ඔහු හොයා ගන්න ගැඹුරට. මං හිතන්නේ ආදරය කියන දේ ලස්සනටම ලියන කෙනෙක් කොයියෝ. එතකොට මම මුලින්ම “බ්‍රීඩා” පරිවර්තනය කළේත් ඇත්තටම කොයියෝගේ ලිවීම්වලට තිබුණ ආසාවට. බ්‍රීඩා පරිවර්තනයට විශාල පාඨක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම වෙන්න ඇති වෙනත් ප්‍රකාශයෙක්ගේ ඉල්ලීමක් උඩ කොයියෝගේම  “Like the Flowing River”  “ගලා යන නදිය සේ” නමින් පරිවර්තනය කෙරුණේ.

මාර්කේස් කියන්නේ වචනාර්ථයෙන්ම ඉන්ද්‍රජාලිකයෙක් වගේ ලේඛකයෙක්. ඔහු මායා යථාර්ථවාදය හසුරුවන විදිය සහ ඔහුගේ උමතු ලිවීම මාව වශී කරනවා. එයාගේ ස්වයං අපදානය  “Living to Tell the Tale”  පරිවර්තනයට මම යොමු වෙන්නේ ප්‍රකාශකයාගේ යෝජනාව උඩ. ඒක කරන අතරේ මම ලොකු කාලයක් පොතත් එක්ක මාර්කේස්ගේ ජීවිතය තුළ සැරිසරනවා. ඒ ජීවිතය ගොතපු කතාවක් තරම් විචිත්‍රයි, සමහර තැන් විශ්වාස කරන්න බැරි තරම් අභව්‍යයි. ඒකෙම දිගුවක් විදියට ඉන්පස්සේ මම එයාගේ පුතා ලියුව  “A Farewell to Gabo and Mercedes” කෘතිය “සුබ ගමන් ගාබෝ, මර්සිදීස්” නමින් පරිවර්තනය කළා.

කැමූ, මගේ ආදරයක්. මං කැමූගේ ලිවීමට වසඟ වෙන ලොකුම හේතුව ඔහු මිනිස් සන්තානයේ ඉසියුම් හැඟීම් තේරුම් ගන්න සහ ඒවා විස්‍තර කරන අපූරුව. ඒ කියන්නේ මිනිහෙක්ට මේ තරම් නිවැරැදිව හිතක ස්වභාවය ගැන ලියන්න පුළුවන්ද? කියලා හිතෙන තරම් ඒ ලිවීම් ශොකින්ග්. උදාහරණයක් විදියට මම “මහාමාරිය” පරිවර්තනය කරන්නේ කොවිඩ් වසංගත කාලයේදී. එතකොට මහාමාරියේ එනවා වසංගතය නිසා ලොක්ඩවුන් කරපු ඔරාන්වල ඉන්න මිනිස්සු තමන්ගේ ප්‍රියයන් හමු නොවීමේ වේදනාවෙන් උමතු වෙන හැටි. ඒ කාලේදි මම ඒ අත්දැකීම ඒ විදියටම අත්වින්ඳා. සමහර වෙලාවට කැමූ මේ ලියන්නෙ මගේ හිත ගැනද කියලා බය හිතෙන තරමට ඒ ලිවීම් සබ්ජෙක්ටිව්ලි දැනෙනවා. ඒ වගේම කැමූගේ ලිවීම තුළ තියනවා මානව සංහතිය ගැන උතුරා යන ආදරයක්, දයාවක්. කාව්‍යාත්මක බවක්. මහාමාරියෙන් පස්සේ මට කැමූගේ ගද්‍ය එකතුවක් වෙන “Personal Writings”, , “කැමූ සිතුවිලි” නමින් පරිවර්තනය කරන්න ලොකු ආසාවක් ඇති වුණේ මේ සියලු හේතු නිසා.

පරිවර්තනයක් කරද්දි ඒක නිකන්ම නිකන් කතාවක් නොවී, මට චැලේන්ජ් එකක් වෙනවට, මාව යම් විදියක අවලෝකනයක් කරා ගෙනියනවට, මාව හිතන්න පොලඹවනවට, මාව කම්පනය කරනවට මම ආසයි. මට සතුටක්, තෘප්තියක් ලැබෙන්නේ ඒ තුළින්. ඒ නිසා හුදු ජනප්‍රිය කෘති පරිවර්තනයට වඩා මම කැමතියි කොයියෝ, මාර්කේස්, කැමූ සහ ඒ වගේ තවත් ලේඛකයන්ගේ, අපි සම්භාව්‍යය කියලා හඳුන්වන සාහිත්‍ය තුළ තියෙන බැරෑරුම් කෘති වගේම, අමුතු කරුණු විෂය කරගෙන, වෙනස් විදියට ලියවුණු, “අසීරු” නූතන පොත් පරිවර්නය කරන්න.

ලංකාවේ පාඨකයා සමිබන්ධයෙන් සමහරුන්ගේ අදහස් තියෙන්නේ එතරමි සුබවාදී තැනක නෙමෙයි. සබුද්ධික කියවීමක් නෑ. විශ්ලේෂණාත්මක කියවීමක් නෑ කියන එක තමා විවේචනය. ඔබෙි අදහස මොකක්ද මේ ගැන?

මම ක්ෂේත්‍රය තුළ බහුලව හැසිරෙන ක්‍රියාකාරිකයෙක් නෙමෙයි. ඒ නිසා ලංකාවේ පාඨකයන් ගැන තියෙන විවේචනය ගැන අදහස් කියන්න, ඒ ගැන සාධාරණ හෝ ප්‍රමාණවත් දැනුමක් මට ඇතිය කියා මම හිතන්නේ නෑ. කොහොම උණත්, මිනිස්සු විවිධ හේතු නිසා කියවනවා. සමහරු විනෝදයට සහ ආත්ම තෘප්තියට. සමහරු දැනුම සඳහා. සමහරු එන්ලයිට්න්මන්ට් එක සඳහා. ඉතින් මේ එක කියවීමක් අනිකට වඩා හොඳ හෝ නරකය කියා විනිශ්චය කිරීම සුදුසු නැහැයි කියලා මම හිතනවා.

ඒත් එහෙම මතයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව කියවීම කියන දෙය අධිතක්සේරු වෙලා තිබීම. ඒ, “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන ජනප්‍රිය කියමනත් එක්ක සමාජයේ මුල් බැසගත්තු ෆේක් අදහසක්. කියවීම ඉතාම ඉහළ, පූජනීය දෙයක් බවටත් කියවන මිනිසුන් ඉතාම යහපත්, මානුෂීය පිරිසක් බවටත් සමාජය තුළ මතයක් පවතිනවා. ඒ නිසයි කියවීම සහ කියවන්නන් “මෙන්න මෙහම” විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එහෙම දෙයක් නෑ. කියවූ පමණින්, ලියූ පමණින්, පොතපත ඇසුරු කළ පමණින්, මිනිසුන් වඩා හොඳ හෝ වඩා බුද්ධිමත් හෝ වඩා සංවේදී වෙන්නේ නැහැ. ඒ නිසා, එහෙම වෙනවා නම් ඒක ඉතාම හොඳ දෙයක් උණත්, පාඨකයින්ගෙන් ඉතා සබුද්ධික, විශ්ලේෂණාත්මක බවක් ඩිමාන්ඩ් කිරීම සාධාරණයි කියලා මම හිතන්නෑ.

සිරිල් සී. පෙරේරා, කේ.ජී කරුණාතිලක, දැදිගම වී රුද්‍රිගෝ, වැනි විශිෂ්ට පරිවර්තකයන්ගේ යුගය සමඟ බැලුවොත් අද පරිවර්තන තලයේ යම් හෑල්ලුවීමක් දැකිය හැකි බව බොහෝ දෙනා කියනවා. මේ අදහසට ඔබ එකඟද? පරිවර්තකයකු විදියට ලංකාවේ නූතන පරිවර්තන ක්‍රියාවලිය සහ කෘතිවල ගුණාත්මකබව සමිබන්ධයෙන් තියෙන්නේ මොනවගේ කියවීමක්ද?

ඒ ගැන කියවීම පරිවර්තිකාවක් ලෙස මගේ රාජකාරිය කියා මා සිතන්නේ නෑ. ඒක විචාරකයන් විසිනුයි කළ යුත්තේ. ඔබ ඉහත සඳහන් කළ පරිවර්තකයන් ගත්තහම ඔවුන් ඔවුන්ගේම විදියකට පරිවර්තන කාර්‍ය සිදුකළා. සිරිල්. සී. පෙරේරාගේ “එමා බොවාරි” සමහරවිට ලාංකීය පරිවර්තන ක්ෂේත්‍රය තුළ මම වැඩියෙන්ම රසවින්ඳ පරිවර්තනය වෙන්න පුළුවන්. ඒකේ රසයේ අඩුවක් නෑ. ඒත් ඔහු එය පරිවර්තනය කරන්නේ ලාංකේය සමාජයට ගැළපෙන විදියට. වඩාත්ම අනුවර්තනයක් ලෙස.

තාක්ෂණයේ දියුණුව සහ සමාජය වඩා විවෘත වීම නිසා එදාට වඩා අද බොහෝ දෙනා පරිවර්තන කාර්යයේ නියැළෙන බව ඇත්තක්. ඉතින් ඔවුන් විවිධ ශානර ඔස්සේ වේගයෙන් පරිවර්තනය කරනවා. ලිවීම, කියවීම වගේම මිනිසුන් පරිවර්තනයේත් නියැළෙන්නෙ විවිධ හේතු මත. ඒ හේතු මත ඒ පරිවර්තනවල ගුණාත්මක බවත් තීරණය වෙනවා ඇති. ඒ වගේම පරිවර්තනයේ ගුණාත්මක බව කොහොම උණත්, මේ හැම ශානරයකටම අඩු වැඩි වශයෙන් පාඨක පිරිසක් ඉන්න බවත් අමතක කරන්න බැහැ.

අනික් අතට, පරිවර්තනය, භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව ගැඹුරු හැදැරීමක් ඇතිව, නිරතුරුව යාවත්කාලීන වෙමින් මේ ක්ෂේත්‍රයේ නියැළෙන විශාල තරුණ පිරිසකුත් වර්තමානයේ ඉන්නවා. නමුත් ඔබ පැවසූ විශිෂ්ටයන් සිටි කාලය හා සංසදනය කරද්දී, වර්තමානයේ පරිවර්තකයන් ප්‍රමාණය සංඛ්‍යාවෙන් ඉතා ඉහළ නිසා, අර ගුණාත්මක බවේ පිරිහීම ඉස්මතු වී පෙනෙන්නට පුළුවන්.

ඔබේ කෘති රචනා කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවේණික වුණු එකක්. ඔබේ සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?

මම මුලදිත් කීවා වගේ මම පොඩි කාලේ ඉඳන් කියවපු, නරඹපු, විදෙස් සාහිත්‍යය සහ කලා කෘති මගේ ලිවීම වගේම සිතීමත් ශේප් කළා කියලා මම හිතනවා. මට එතැනින් මිදෙන්න බෑ. මගේ ලිවීම්වලට ප්‍රධානවම බලපෑවේ ඒකයි. ඒ වගේම පසු කාලයකදී මම නොයෙක් රටවල කරපු සංචාර, මම ඇසුරු කළ විවිධ පුද්ගලයින්, මගේ අත්දැකීම්, ඉතා විශාල විදියට මගේ ලිවීමට බලපෑවා.

මම කැමති, හීන වගේ මුදු, අනුරාගී, යථාර්ථයෙන් මිදුණු, ඔළුව පැටලෙන විදියේ, මොඩර්න් සහ අර්බන්, ෆැන්ටසිමය ලීවිමකට. මොකද මම කියවන්න ආසාත් එහෙම දේවල් නිසා. වෙලාවකට සමහර ලේඛකයන් කියවද්දි මට හිතෙනවා මට ඕනි මෙන්න මෙහෙම ලියන්න කියලා. ගාර්සියා ලෝර්කාගේ කවියක් තියෙනවා Serenata කියලා. ඒකේ එක පේළියක් තියෙනවා  “And in Lolita’s breasts, the branches die of love”. මට ඕනි එහෙම ලියන්න.

ඔබ සාහිත්‍ය කටයුතු සිදු කරන්නේ ආත්ම තෘප්තියටද? එහෙමත් නැත්නම් වෘත්තියක් විදියට ද කියලා ඇහුවොත්?

මම සාහිත්‍ය කටයුතු වල නිරත වෙන්නේ වෘතියක් විදියට නෙමෙයි. මගේම දේවල් ලියද්දි නම් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා තමයි. ඒත් මම පරිවර්තනය කරන්නේ ආත්ම තෘප්තිය සඳහාද කියලා මම දන්නෑ. කෘතියක් පරිවර්තනය කරලා අවසන් වෙද්දි, ඒක සාර්ථකව පරිවර්තනය උනා කියලා හිතෙද්දි, ප්‍රකාශයෙක් මගේ අලුත්ම පරිවර්තනයේ පින්තූරයක් අරන් එවද්දි, පාඨකයෙක් පොත ගැන යමක් කියලා එවද්දි, ඇත්තටම යම් ආත්ම තෘප්තියක් තියෙනවා. ඒත්, පරිවර්තන කාර්යය කියන්නේ මම ඉතාම අනුරාගයෙන් නිරතවෙන දෙයක් නෙමෙයි. කවුරු හරි මගෙන් ඇහුවොත් මම ඒක කරන්නේ ඇයි කියලා, මගේ පළවෙනි උත්තරේ වෙන්නේ: මට යම් සතුටකුත්, වැඩකට ඇති සහ මට පහසුවෙන් කරන්න පුළුවන් යමකුත් කරමින් මගේ කාලය ගත කරන්න. ඔව්, මූලිකවම ඒක මගේ කාලය ගත කිරීමේ හොඳ විදිහක් කියලා මට හිතෙනවා. මම පරිවර්තනයේ යෙදීමේ ප්‍රධාන හේතුව ඒකයි. ඒත් යම් කාලයකදි මට ඕනෑම දෙයක් එපා වෙනවා. මම කැමතියි ජීවිතය තුළ වෙනස් වෙනස් දේ කරන්න. ඉතින්, මම ආසාවෙන් කරමින් ඉන්න නවකතාවක් නොවෙන එක පරිවර්තනයක් ඇරුණම, දැන් මම හිතන්නේ මට පරිවර්තනය ඇති.

 

[email protected]

 

 

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT