Home » මමත් එමී වගේමයි මදර්ලංකා චිත්‍රපටයේ

මමත් එමී වගේමයි මදර්ලංකා චිත්‍රපටයේ

රංගන ශිල්පිනී ශෙනුකි දිසල්‍යා

by Thanushika
August 21, 2025 12:30 am 0 comment

ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි තරුණියක්. ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැලඳගත් යෙහෙළියක් සමඟ එක්ව, විජයග්‍රාහී දැරියක් බිහිකිරීම සඳහා දරන වෑයමක් සමඟින් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා වල තිරගතවන මදර්ලංකා සිනමා නිර්මාණය. ඉකුත් 14 වැනිදා තිරගත කිරීම ඇරඹිණි. ක්‍රිෂාන්ති කුලසුරියගේ පිටපත් රචනයෙන් ලියවූ අනුෂ සංජිව එදිරිමුනිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මදර් ලංකා සිනමා සිත්තම ප්‍රේක්ෂක හදවතට සංවේදී වන අතරේම මේ සිනමා නිර්මාණය ඔස්සේ අපේ සිංහල සිනමාවට නවක නිළියක් ද හඳුන්වාදෙයි. චිත්‍රපටය පුරාය. එමී නමින් ජීවත්වන ඈ ශෙනුකි දිසල්‍යා අපි කතා කරමු අදහෙළ සිනමාවට පෑයු නවක තරුව ශෙනුකි දිසල්‍යා සමඟ.

කොහොමද ශෙනුකි මේ දවස්වල තොරතුරු?

බොහොම හොඳයි. මගේ පළවෙනි චිත්‍රපට රංගනයට මට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියනවා. බලපු හැමෝම වගේ කිව්වේ මම රඟපෑමට ආධුනික නෑ කියල.

එහෙම නම් ඉතිං ශෙනුකි දිසල්‍යා කියලා සිනමාවට පෑයූ තරුව අද වෙනකොට සිනමාවේ කා අතරත් කතාබහක් ඇති කරල හැඩයි?

ඒක තීරණය කරන්නේ පේ‍්‍රක්ෂකයෝ. දැනට චිත්‍රපටය බලපු ප්‍රමාණය ගත්තහම බහුතරයක් නෑ මොකද චිත්‍රපටය තිරගත වීම අරඹලා වැඩි දවසක් නෑ. ඒත් චිත්‍රපටය ගැන කතා කරන කවුරුවුණත් එමී ගැනත් කතා කරන්න අමතක කරන්නෑ කියල මම දන්නවා.

ශෙනුකි කියන නමට ද කැමති එමී කියන නමට ද?

එමී නම මට ලැබෙන්නේ චරිතයට නිර්මාණය වෙනුවෙන් ඒත් ශෙනුකි මට ලැබෙන්නේ උප්පැන්නත් සමඟ. රංගනය තුළ චරිතයක් හැටියට මම ජනපි‍්‍රය වෙන්නේ එමී හැටියට. නමුත් එමී හැටියට ඇක්ට් කළේ කවුද කියල ඇහුවොත් එතනදී ශෙනුකි මගේ සැබෑ නමට වගේම මාව සිනමාවට හා පුරා කියල අරගෙන ආපු එමීටත් මම සම සිතින් ආදරෙයි.

ශෙනුකිගෙ ගම්පළාත එහෙම කොහෙද?

මම පදිංචිවෙලා ඉන්නේ පන්නිපිටියේ

පාසල් ගියේ?

කොල්ලුපිටියේ බිෂොප් විද්‍යාලයට කලා විෂයන්ගෙන් උසස්පෙළ හැදෑරුව. 2020 වසරේ පාසල් අධ්‍යාපනයෙන් සමුගත්තා.

චිත්‍රපට රංගනට පෙරාතුව වෙනත් මාධ්‍යවල රංගනයේ නියුතු වූ අවස්ථා මීට පෙර තිබුණ ද?

මීට කලින් මම වෙළෙඳ දැන්වීම් කි්හිපයකට රඟපාල තිබුණා. පාසල් ශිෂ්‍යාවකව සිටින අවධියේ තමයි මම වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටියේ. 2017 වසරේ තමයි මුලින්ම වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටියේ.

ඒ කියන්නේ කැමරාව නුහුරු මුහුණක් නොවෙයි ඔබ?

මුල්ම චිත්‍රපට රංගනය ‘මදර් ලංකා’. ඊට පෙරාතුව කිසිම ටෙලි නාට්‍යයක, වේදිකා නාට්‍යයක මම රඟපාල නෑ. ටී.වී. කොමර්ෂල් හැරුණු විට

කොයි කාලයේද මේ චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කළේ?

2024 වර්ෂයේ

රංගනය පිළිබඳ හැදෑරීමක් සිදුකරල ද මේ චිත්‍රපටයේ රඟපෑමට ඔබ යොමු වුණේ?

ඔව්. මාව චිත්‍රපටයේ චරිතයට තෝරාගැනීමක් සිදුකළාට පස්සේ මම රංගනය පිළිබඳ හැදෑරීමක් සිදු කළා ලසන්ත ෆැන්සිස් ගුරුතුමන් යටතේ චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුකරන්න මාස තුනක් වගේ කාලයක් තියෙද්දී මම ඒ පුහුණුව ලබාගත්තා.

ඔබේ මව වූ ක්‍රිෂාන්ති කුලසුරිය මේ චිත්‍රපටයේ පිටපත් රචිකාවය. පියානන් වූ අනුෂ සංජීව එදිරිමුනි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. මේ දෙපළගේ පෙරැත්ත නිසා ද ඔබ මදර් ලංකා සිනමා නිර්මාණයේ එමී චරිතය භාර ගත්තේ?

අම්මා පිටපත ලියනකොට මාව මේ චරිතයට ගන්නවා කියල හිතාගෙන පිටපත ලිව්වේ නැතිලු. මේ චරිතයට තවත් බොහෝ දෙනෙක් ඔඩිෂන් එකට ආවා. ඒ අයවත් තාත්තා තිර පරීක්ෂණ සඳහා යොමු කළා. ඒ පරීක්ෂණය සඳහා මාවත් යොමු කළා. එතනදී තමයි තාත්තා තීරණය කළේ මේ චරිතයට මාව සුදුසුයි කියලා.

තාත්තා කලින් ඉඳලම හිතාගෙන ඉඳල තියනවද දුවව මේ චරිතයට ගන්නවා කියලා?

අම්මාගේ ස්ක්‍රිප්ට් එක තුළ මගේ ලයිෆ් එකේ සිදුවෙච්ච ගොඩක් දේවල් අන්තර්ගත වෙලා තිබුණා. මම හිතන්නේ අම්මා මාව ඔළුවේ තියාගෙන මේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඇති කියලා. හැබැයි මම ඒ දවස්වල ගුවන් සමාගමක් සමඟ ගිවිසුමක් ඇතුව රැකියාවක හිටියේ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ. රඟපාන්න ඔඩිෂන් එකෙන් සිලෙක්ට් වුණාට පස්සේ මම ඒ සමාගමෙන් අයින් වුණා. ජොබ් එකත් එක්ක රඟපෑම කරන්න බැරි නිසා. තාත්තාගේ ලොකු ආශාවක් තිබිල තියනවා මාව මේ චරිතයට ගන්න.ඒත් ඒ අදහස කලින් මගේ ඔළුවට දැම්මේ නෑ.

තාත්තා දුවව චරිතයට ගන්න හිතාගෙන සිටිද්දී ඇයි තවත් දරුවෝ ඔඩිෂන් එකට ගෙන්වා ගත්තේ?

මම ක්‍රීඩාව ප්‍රගුණ කරල තියනවා. නමුත් රංගනය ගැන හෑදෑරීමක් කරල තිබුණේ නෑ මේ චිත්‍රපටය කරන්න කලිනුත් මම වෙළෙඳ දැන්වීම් වල මාව දැකල කීප දෙනෙක්ම රඟපාන්න ආරාධනා කළා. නමුත් අම්මත් තාත්තාත් ඒකට යන්න මට ඉඩ දුන්නේ නෑ. නමුත් මාව චරිතයට ගත්තාට පස්සේ මගේ ගුරුතුමන් වූ ලසන්ත ෆ්‍රැන්සිස් මහතාගේ නිර්දේශ කිරීම් මත මට රඟපාන්න පුළුවන් කියන දේ තාත්තාට ඒත්තු ගැන්වීමෙන් තමයි එමී චරිතය මට ලැබෙන්නේ.

ශෙනුකි ක්‍රීඩාව පැත්ත ප්‍රගුණ කළ අයෙක් බව පැවසුවා නේද?

ඔව්. මම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් Gymnastic Power lifting, Diving   ක්‍රීඩා අංග තුනෙන්ම. නමුත් බැඩ්න්ටන් පිළිබඳ මම පුහුණුවක් ලැබුවේ චිත්‍රපටයට තෝරාගත් පසුව මාස තුනක් ඇතුළත ඊට කලින් මම බැඩ්මින්ටන් කරල තිබුණේ නෑ.

ඔබේ මව රචනා කරන මදර් ලංකා තිරපිටපත ඔබේ සැබෑ ජිවිතයේම සත්‍ය කතාවක්ද?

ඔව්. මම ජාතික තලයේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩිකාවක්වන්න ගිය ගමනේ මම සැබෑවට අත් දුටු සත්‍යයක් තමයි මගේ අම්මා තිරයට රචනා කරල තියෙන්නේ මගේ ක්‍රීඩා ජීවිතය තමයි එමීගේ චරිතය තුළ තියෙන්නේ.

මදර් ලංකා අපේ රටේ බිහිවෙලා තියන ඉදිරියට බිහිවෙන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ පෙර පණිවිඩයක් බවටත් මේ සිනමා නිර්මාණය පත්වෙලා හැඩයි?

ඒක සත්‍යයක් මම ජාතික තලයේ ක්‍රීඩිකාවක් වන්න ආ ගමනේ මම වින්ද දුක්ගැහැට කැපිලි කෙටිලි ජය පරාජය සත්‍ය ලෙසින්ම මේ නිර්මාණයේ තියනවා. මේ චිත්‍රපටයේ කතා කෙරෙන්නේ සත්‍ය මේ දේ අදටත් අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ තියෙන දෙයක්. මෙන්න මේ අභියෝගය ජයගන්න එක තමයි අද තියන එකම අභියෝගය.

ඔබේ මව ඔබව ජාත්‍යන්තර තලයේ ක්‍රිඩිකාවක් බවට පත්කරලන්න උත්සාහ ගත් අවස්ථාවේ ඇයට මුහුණදෙන සිදු වූ දේවලුත් ඔබ අත්දැක්ක සැබෑ යථාර්ථයත් මේ චිත්‍රපටයේ අන්තර්ගතයි.

ඔව්. නෑ කිව්වොත් බොරුවක් මගේ ආගමනයත් හරිම නීරසයි. කටුකයි. කැපිලි කෙටිලි අනන්තවත් ආවා ඒවා කොහොමහරි විඳදරාගෙන බොහොම කැපකිරීම් මධ්‍යයේ ආපු ගමනක් තමයි මගේ සැබෑ ක්‍රීඩා ජීවිතයේ් මගේ සැබෑ පාසල් ජීවිතයේත් තියෙන්නේ් මම වින්ද අසාධාරණකම් මේ චිත්‍රපටයේ අන්තර්ගතයි මගේ අත්දැකීම් අනුව ක්‍රීඩා ජිවිතය සුන්දර නෑ කියන එක මම වගකීමෙන් කියනවා මදර් ලංකා බැලුවොත් ඕනෙ කෙනෙක්ට බලාගන්න පුළුවන් මගේ ක්‍රීඩා ජීවිතය කොයි වගේ ද කියල.

චිත්‍රපටයේ එමී චරිතය ඔබට ලොකු අභියෝගයක් නොවන්න ඇති?

චරිතය අවබෝධ කර ගැනීම මට පහසුවුණා. මොකද මේක මම අත්වින්ඳ චරිතයක් නිසා. මට ඒ දේට අභියෝගයක් වුණේ ඩයලොග් භාව ප්‍රකාශනය ඒ දේ මම කොහොමද කරන්නේ කියල ලසන්ත ෆ්‍රැන්සිස් සර්ගෙන් හොඳින් ඉගෙන ගත්තා එමී කවුද කියල මම අත්දැකීමෙන්ම අත්විඳල තිබුණ නිසා මට එමීට සාධාරණයක් පහසුවෙන්ම කරන්න හැකිවුණා කියල හිතෙනවා.

ඔබේ පියා මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ඔහු බලාපොරොත්තු වූ එමීව ඔබෙන් ලැබුණා කියලා ඔහු තෘප්තිමත් ද?

මම ක්‍රීඩිකාවක් සැබෑවට ඒක නිසා මට හරිම පහසුවෙන් ඒ චරිතයට ප්‍රවිෂ්ට වෙන්න ලැබුණා. ක්‍රීඩාවේ මම ලබල තිබුණු දැනුම මත. එමී කියන්නේ අරමුණක් ඇතුව ක්‍රීඩාවෙන් විජයග්‍රහණයක් සොයා යන තැනැත්තියක්. මමත් ඒ වගේම කෙනෙක් ශෙනුකි තුළත් එමී තුළත් තිබුණේ එකම අරමුණක්. අධ්‍යක්ෂවරයා ලෙස තාත්තා විතරක් නොවෙයි චිත්‍රපටය බලපු හැමෝමත් කියන්නේ මම එමීට උපරීමයෙන් සාධාරණය ලබාදීල කියල තමයි.

ශෙනුකි ක්‍රීඩාවට යොමුවෙන්නේ කොයි කාලයේද?

මම වයස අවුරුදු හතරේ ඉඳල ක්‍රීඩා කරනවා. මම පොඩි කාලෙත් වැඩිපුරම ඉඳල තියෙන්නේ ගස් උඩ ගල් උඩ. මේ නිසාම අම්මා මාව මුලින්ම ජිම්නාස්ටික් ක්ලාස් එකකට දැම්මා. පෞද්ගලිකව මුලින්ම ජිම්නාස්ටික් ඉගෙන ගත්තත් පාසල් අධ්‍යාපනය ඇරඹීමත් සමඟ පාසලෙත් ඒ ක්‍රීඩාව ඉදිරියට කරගෙන ගියා.

කුඩා අවධියේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියත් සිනමා කැමරාවක් ඉදිරියේ රංගන අත්දැකීම ඔබට මොනවගේ අත්දැකීමක් වුණාද?

මගේ ගෙදර වුණත් නිරන්තරයෙන් ඇහුණේ සිනමාව සම්බන්ධ කතාබහ. මම මේ ක්ෂේත්‍රය ගැන දන්නා ප්‍රමාණය අල්පයි. තව බොහෝ දෙයක් ඉගෙන ගන්න තියනවා. මගේ රංගනයේ ගුරුතුමන් වූ ලසන්ත ෆ්‍රැන්සිස් මහතාගේ මඟපෙන්වීම කැමරාව ඉදිරියේ ජයගන්නට උදවු වුණා. ඒ උදවුව තුළ තව දුරටත් රංගනය කියන දේ හදාරමින් නිළියක් වීමේ ආශාව දැන් මා තුළත් හටගෙන අවසානයි.

ජාත්‍යන්තරය දිනූ ක්‍රීඩිකාවක් වූ ඔබේ දැන් ඒකායන පරමාර්ථය නිළියක් වීම ද?

මම ගුවන් සමාගමකට සම්බන්ධවෙලා හිටියා ක්‍රීඩාවට ඒ හරහා ලැබෙන ඉඩකඩ කොහෙත්ම නෑ. රඟපෑමට වුණත් ඒ තීරණවල වෙනසක් නෑ. මම ඒ නිසාම එයින් ඉවත් වුණා. අද මගේ මූලික ඉලක්කය වෙලා තියෙන්නේ නිළියක් වීම.

එමී චරිතය සමඟ තිරපිටපත ලැබුණාම ශෙනුකි එමීව හඳුනගත්තේ කොයි ආකාරයෙන් ද?

එමීට තියන්නේ මගේ අත්දැකීම් ගොඩක් පිරි චරිතයක්. මම සයිකලොජි හදාරන කෙනෙක් විධියට මට ඒ එමීව හොඳින් හඳුනගන්න ලැබුණා. මමත් බොහොම නිහඬ චරිතයක්. සාමාන්‍ය ජීවිතයෙත් එමී වගේමයි.

ඔබේ පළමු සිනමා අත්දැකීම නිසාම රූපගත කිරිම් කීපයක් සිදු කරන්නත් වෙන්න ඇති?

සමහර අවස්ථාවල ටේක් හතරකට ගිය අවස්ථාත් තිබුණා. බොහෝවිට ටේක් දෙකකින් ගත්ත අවස්ථාත් තිබුණා.

ඔබේ පළමු සිනමා අත්දැකීම බෙදා හදාගත්තේ මෙරට සම්මානනීය වූ නළු නිළියන් සමඟ මේ අයත් සමඟ රංගනයේ නියැළීම ඔබ වැනි ආධුනික තැතැත්තියකට කොයි ආකාරයෙන් බලපෑමක් එල්ල කළාද?

මම අඩුවෙන් රඟපෑවොත් ඒ අයගේ රඟපෑමට අසාධාරණයක්. එතකොට සීන් එක පහළට යනවා ඇක්ෂන් රියැක්ෂන් ප්‍රශ්නය එනවා. රඟපාපු හැමෝම මට උපරීම සහයෝගයක් දුන්නා. වැරදුණු තැන් කියල දීල මාව දිරිමත් කළා. මම අලුත් කෙනෙක් කියල මාව කොන් කළේ නෑ. එයාලගෙ සීන් පවා පැත්තකින් තියලා මට උදව් කළා. ධනංජය සිරිවර්ධන, බිමල් ජයකොඩි, තරින්දි ප්‍රනාන්දු මට ගුරුවරු වුණා. මගේ රඟපෑම චිත්‍රපටය පුරාවට කරන්න. ඒ හැමෝම මට ලබාදුන් සහාය මම කෘතඥ පුර්වකව සිහිපත් කරනවා. අපි පවුලක් වගේ එකට වැඩ කළා. චිත්‍රපටය ආරම්භ කරන කොටවත් ඒ කවුරුවත් දැන හිටියේ නෑ මම අධ්‍යක්ෂකගේ් දුව කියල ගොඩක් දවස් ගිහින් තමයි ඒ අයත් දැනගත්තේ.

මේ සිනමා නිර්මාණයේ තිරගතවීමත් සමඟ තවත් අධ්‍යක්ෂවරු ඔබේ රංගනය ගැන පැහැදී ඔවුන්ගේ නිර්මාණ වෙතත් ආරාධනා කළොත්?

මදර් ලංකා සිනමා නිර්මාණය හරහා තාත්තා සමාජයට පණිවිඩයක් ලබාදීල තියනවා. ඒ වගේ සමාජයට පණිවිඩයක් ලබා දෙන සිනමා නිර්මාණයක් වෙනුවෙන් මගේ කැමැත්තක් තියනවා. මම කැමැති ජනප්‍රිය නිළියක් වෙන්න නොවෙයි. හොඳ නිළියක් වෙන්න.

සමාජයට පණිවිඩයක් ලබාදෙන සිනමා නිර්මාණ පමණ ද ඔබ රඟපාන්නේ?

චිත්‍රපටය බලලා ගෙදර යන කොට පණිවිඩයක් අරන් යන්න පුළුවන් ගණයේ චිත්‍රපට රඟපාන්න තමයි මම වඩාත් කැමැති එහෙම චිත්‍රපට හැදෙනවානම් අඩුයි. මෙතනදී මම කියන්නෑ මම එක රාමුවකට කොටුවෙනවා කියලා. මම දියණියක් අම්මා කෙනෙක් නොවෙයි. ක්‍රීඩිකාවක්, අන්න ඒ බ්‍රෑන්ඩ් එක මට පරිස්සම් කරන්න පුළුවන් කියලා හිතෙන චිත්‍රපටවලට මම ගොඩක් ආශයි ඒ චිත්‍රපට ඇක්ෂන්ද, සම්භාව්‍යද, වාණිජ ද කියල නෑ මම ඒ දේට ලිමිට් වෙලා නෑ.

ශෙනුකි අද නිළියක් වගේම ජාත්‍යන්තරයට ගොස් රන් පදක්කම් දිනූ ක්‍රිඩිකාවක්?

මම ලංකාවට රන් පදක්කම් හතරක් අරන් ආපු ක්‍රීඩිකාවක් ජාත්‍යන්තරයට ගිහින්. හැබැයි මේ චිත්‍රපටයේ එමීට විඳින්න වුණාටත් වැඩිය කරදරවලට සිත්තැවීම් වලට මට ගොදුරු වෙන්න සිදුුවුණා. Powerlifting ආසියානු ශුරතාවය මම ගෙනාවා. 2021 දී Gymnastic ශුරතාවය මම ගෙනාවා 2016 දී 2022 දී Miss Teen Universe කිරුළ හිමිකරගත්තා. ස්කූල් ගෝල්ඩ් කලර් පවා මට ලැබිල තියනවා. මම කියන්නේ මේ චිත්‍රපටය අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැලුවොත් එයාලගෙ කතාවක් කොහෙන් හරි මේ චිත්‍රපටයේ බලාගන්න පුළුවන්. මේක මට විතරක් සිදුවුණු සිදුවෙන කතාවක් නොවෙයි. ලංකාවේ හැම ක්‍රිඩකයෙක්ට ක්‍රීඩිකාවකට වෙන දෙයක්.

ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ඔබ මේ වනවිට ක්‍රීඩාවට සමු දීල ද?

මම ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න තමයි සැලසුම් කළේ. නමුත් මම මේ කලාවටත් ආශයි. මගේ අයිඩන්ටි එක ස්පෝට් ඒක අමතක කරන්නෑ. ඇක්ටින් කියන්නේ මම ප්‍රොෆෙෂනලි කරන්න ආශා දෙයක්. මම ආශා ක්‍රීඩිකාවක් කියනවට මට පළමු චිත්‍රපටය ලැබෙන්නෙත් මම ක්‍රීඩිකාවක් නිසානේ.

ශෙනුකි දැන් නිළියක් කියල ලැබෙන හැමදේම ඔබ භාර ගන්නවද?

නෑ. ලැබෙන හැමදේම භාරගන්න පුළුවන් කැපෑසිටි එකක් මට නෑ. මම තවම එක චිත්‍රපටයක විතරයි රඟපාල තියෙන්නේ පුළුවන් කියල මගේ හිතට දැනෙන දෙයක් මම විශ්වාසයකින් යුතුව කරනවා.

ශෙනුකිගෙ පවුලේ තොරතුරු කොහොමද?

මට අක්කා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා. අක්කා ඉෂිනි ඔආෂා ඇය විවාහකයි. මල්ලී මෙත් අභිමන්ලිව් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබනවා. තාත්තාගේ වගේම අම්මාගේත් කලා ක්ෂේත්‍රයේ ගමනක් යන්න තමයි මමත් මේ සුදානම් වෙලා ඉන්නේ.

මදර් ලංකා සිනමා නිර්මාණය හදවතට කිඳාබහින සිනමා නිර්මාණයක්?

මාතෘත්වය කියන දේ අපි හැමෝටම පොදු දෙයක් එහෙම දෙයක් කෙනෙකුට නොදැනුණොත් ඒ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන් කොච්චර චිත්‍රපටයේ රූප රාමු ප්‍රේක්ෂකයාගේ හිතට කිදා බහිනවද කියන්නේ චිත්‍රපටය බලපු ඕනෙම කෙනෙක්ගේ ඇසට කඳුළක් උනනවාමයි. සමහරු ඉකිගහල අඩල කඳුළු පිහින අවස්ථාත් දකින්න තියනවා. එහෙම දෙයක් නොදැනුණොත් තමයි පුදුම.

අම්මාගෙන් තාත්තාගෙන් කොයි වගේ සහායක් ද ලැබුණේ එමීව ජිවත් කරන්න?

ඒ දෙන්නම දන්නවා මගේ කැපෑසිටි එක. උදේ ඉඳන් රූ වෙනකන් වැඩකළා. මහන්සියි කියල නතර කරන්න දුන්නේම නෑ. ක්‍රීඩාව කියන දේ මගේ ඇගේම තිබුණා. අවශ්‍ය වුණේ බැඩ්මින්ටන් ගහන්න පුහුණුවක් විතරයි. අම්ම තාත්තා දැන සිටියා මගේ උපරීම කෑපැසිටි එක කොයි වගේද කියලා.

කොහොමද ඔබේ යාළුවන්ගෙන් එහෙම ලැබෙන ප්‍රතිචාර?

මම මේ වගේ චිත්‍රපටයක රඟපෑවා කියල මම කාටවත් කියලා තිබුණේ නෑ. එයාල හැමෝම දැනන් හිටියේ මම ක්‍රීඩිකාවක් කියල විතරයි. කවුරුවත් මම රඟපායි කියල හිතුවේත් නෑ. චිත්‍රපටය ගැන පුර්ව ප්‍රචාරයන්ගෙන් තමයි ඒ අයත් මුලින්ම දැනගත්තේ.

ආරංචියක් ලැබිල තියනවා ශෙනුකිට මේ වසර අවසානයේ චිත්‍රපටයක රඟපාන්න. ආරාධනාවක් ලැබිල කියලා?

ආරංචිය ඇත්ත කාස්ට් එකටත් මාව තෝරාගෙන අවසන් කාගෙද මොකක්ද කියල දැන්ම කියන්නෑ. ඉදිරියේදී ඒ ගැන දැනගන්න ලැබේවි.

ටෙලි නාට්‍ය රංගනයට යාමේ අදහසක් නැද්ද?

කොහෙත්ම නෑ. මම ටෙලි නාට්‍යවල රඟපාන්න අකමැතියි. මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි. සිනමා නිළියක් වෙන්න තමයි මගේ කැමැත්ත.

තරින්දි ප්‍රනාන්දු ඔබේ මව ලෙසින් මදර් ලංකා චිත්‍රපටයේ රඟපානවා. ඇත්තද ඇය රඟපාන මොහොතේ ඇත්තටම ඔබේ කම්මුලට ගැහුවා කියන්නේ?

ගැහුවා ගැහුවා. මට තරු පේන්න ගැහුවා. කනේ පාරක් ඒ පාරට මට රඟපාන්නත් එපා වුණා. එහෙම නොගහ පුළුවන්ද මම කරපු ගුණමකු වැඩේට. මදර් ලංකා බලල මට ඔබ හැමෝමත් සමාව දෙයි කියලා ඒ වැඩේට. හැබැයි මම චිත්‍රපටයේ අම්මටත් ඒ අම්මාගේ යාළුවා සත්‍යාටත් ඒ වෙලාවේ ගුණමකු වුණාට පස්සේ ඒ දෙන්නගෙන්ම සමාව ගත්තා. ඒ ගුණමකුකම චිත්‍රපටයට විතරයි. සැබෑ ජීවිතයේ ඒ වගේ ගති මා ළඟ නෑ. වැඩියෙන්ම අපි තරහ ගන්නේ අපි වැඩියෙන්ම ආදරේ කට්ටියත් එක්කනේ.

ශෙනුකි සත්තුන්ටත් හරි ආදරේ චරිතයක් කියලත් දැනගන්න තියනවා?

මම සත්ව විද්‍යාව ඉගෙන ගත්තා. මට පුංචි කාලේ මෙනින්ජයිටිස් හැදුණා. ක්‍රීඩා කරද්දී අම්මා තාත්තා වුණත් මට සත්තු ළඟ තියාගන්න දෙන්නේ නෑ. මම හරි ආසයි සත්තුන්ට ඒ නිසාම මම දෙහිවල සත්වෝද්‍යානයේ සාමාජිකාවක් වී සතුන්ට ඇප උපස්ථාන කරනාවා. සත්තු ළඟ ඉන්න ඕනෙ නිසාම එයින් මම ලොකු තෘප්තියක් ලබනවා. සත්තු ගැන පාඨමාලා කළා. මගේ ජීවිතය වුණේ. ඉස්කොලෙ යන එක ටියුෂන් යන එක පෑක්ට්‍රිස් යන එක ඔය ටික කරල ගෙදර ආවා. ඒක තමයි මගේ සාමාන්‍ය ජීවිතය වුණේ. බෝනික්කෝ එක්ක සෙල්ලං කළෙත් නෑ. යාළුවෝ එක්ක එළියට ගියෙත් නෑ. ගෙදරම තමයි හැදුණේ වැඩුණේ. දැන් වුණත් එහෙමයි. එළියට ගියත් සූ එකට තමයි සත්තු එක්ක ඉන්න. නැත්නම් ඉතිං ෆැමිලි එකත් එක්ක කාලෙ ගත කරනවා. මෙනින්ජයිටීස් හැදිල ඉන්ජෙක්ෂන් කෝස් එක කරන දවස්වල ජිම්නාස්ටික් වලට ගිහින් මම රෝහල් ගතවෙන්නත් සිද්ධ වුණා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT