‘ මගෙ සිනමා ජීවිතයේ කවදාවත් මම පෙම්වතිය වෙලා නම් නැහැ..”
ඕ තවමත් රූපත්ය..තවමත් එදා මෙන්ම කීමෙහි බිණීමෙහි සැබැවින්ම සමත්ය..සිනමා රසිකයන්ගේ මතකයෙන් බැහැරව නොයනා තරමට හෙළ සිනමා රිදී තිරය මත ඇය පෑ රංගනයන් තවමත් එලෙසම යැයි හැඟේ..
එතෙර වාසයේ රැඳුණු ඇය කලකට පසුව මවුබිමට පැමිණ බොහෝ කැමැත්තෙන් අප සමඟ මේ ආදරණිය සංලාපයේ යෙදුණේ ‘ අද වගේම එදත් අපේ ළඟින්ම සිටියේ සරසවිය ‘ යැයි මුවපිරි සිනහවෙන් පවසමිනි.
කොළඹ උපන් ඇයගේ ආදරණිය මව් තොමෝ වයලට් මිහිඳුකුලසූරිය ය. තාත්තා ඇම්.ඇස් ආනන්ද යය. හෙළ සිනමාවට නොමියෙන මෙහෙවරක යෙදුණු ඔහුගේ සිනමා නිර්මාණයන් තවමත් අමතක වී නැති. ඔහුගේ සිනමා ගමනට මෙන්ම දිවිසිරිතටද මහත් සවියක්ම වූ පිය බිරිඳ අහඹුව හෝ කැමරාවක් ඉදිරියට පැමිණ නැතත් ඇය සිනමාවේ නිෂ්පාදකවරියකි..
එම දෙපළට තිළිණ වූ දියණියන් දෙදෙනාගෙන් පළමුවැන්නී රටම හඳුනන්නීය..ඇය පිළිබඳව රටම ආදරයෙන් කතා කරන්නට වූයේද ඇයට වයසින් මාස හයේදීය.
තවමත් නිරහංකාර සිනහවකින් මුව සරසා මා සමීපයේ හිඳීන්නී අපේ ආදරණිය රංගවේදිනිය ශ්‍යාමා ආනන්ද ය.
‘ ඉතිං කොහොමද ..බොහෝ කලකට පස්සේ ..’ යැයි කළ විමසුමේදී ඇය කීවේ මම කැනඩාවෙ පදිංචිව සිටියත් නිතර නිතර ලංකාවට පැමිණ යන බවය..
කොළඹ සෙන්ට් බ්‍රිජට් කොන්වන්ට් හි අධ්‍යාපනය ලැබූ ඇයට නිතරම පාහේ සිය නිවසේ දක්නට ලැබෙන්නේ තාත්තාගේ අවිවේකී දිවිසිරිතය..හෙළ සිනමාවේ අධ්යක්ෂවරයකු මෙන්ම කීර්තිමත් කැමරා ශිල්පියකු වන ඇයගේ තාත්තා ඇම්. ඇස් ආනන්දයන් තම ලොකු දුව සිනමාවට එනවාට පිරුණු සතුටකින් පසුවූ නිසාදෝ ඇයට කුඩාවියෙහිදීම සිනමා කැමරාවක් ඉදිරියේ පසුවන්නට අවස්ථාව ලැබිණි .
” මම මුලින්ම රඟපෑවේ වෙන ස්වර්ගයක් කුමටද ? චිත්‍රපටයේ ..එතකොට මට වයස මාස හයයි..ඉන්පස්සේ මං රඟපෑවේ මගෙ පාසල් වියේදි..”
එදා රිදී තිරය මත නිර්භය කටකාර හිතුවක්කාර තරුණියක ලෙසින් රඟපෑ ‘ චණ්ඩි ශ්‍යාමා ” අපට අමතක නැති.
අපේ ආදරණිය ශ්‍යාමා හුන් අසුනේ තවත් හරිබරි ගැසෙමින් අලුත් කතාවකට මුල පුරන්නීය.
” අපෙ තාත්තා චිත්‍රපට ගැන තියෙන උනන්දුව නිසාම ඉන්දියාවට ගිහින් සිනමා කැමරාකරණය ගැන හදාරන්නට වුණා..සිලෝන් තියටර්ස් හිමිකාර චිත්තප්පලම් ගාඩිනර් මහත්මයා තමයි තාත්තාට ඒ අවස්ථාව ලබාදීල තියෙන්නෙ. ඉන්දියාවට ගියේ අවුරුදු පහකට වුණාට තාත්තා ලංකාවට ආවෙ අවුරුදු දහයකට ආසන්න වෙලයි.”
ඇයගේ කතා සිරිත ප්‍රියමනාපය..වරෙක ඈත බලාගත්වනම පසුවන ඕ තොමෝ හදිසියේ යමක් මතක්වූවාක් මෙන් කුඩා දැරියකසේ සිනාසෙන්නීය. පළමුවරට හැබැහින් මා ඇය දුටුවද ඇයට නම් මා වසර ගණනාවක් පැරණි යැයි සිතේ. එතරම් ඈ මිත්‍රශීලීය..නිහතමානීය.
‘ මගෙ සීයා තමයි තාත්තාට ඒ වෙනුවෙන් හැම සහයක්ම දුන්නේ. ”
” මට තවමත් මතකයි ඒ දවස්වල සිනමාවට සම්බන්ධ ගොඩක් ඈයො තාත්තා හමුවන්නට එනවා. යනවා. තාත්තගෙ ආසාව මම නිළියක් වෙනවා දකින්නයිනෙ. කොහොම හරි චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටයට ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා..මටත් ඉතින් හරිම සතුටුයි..අපෙ තාත්තා අධ්‍යක්ෂක වගේම ප්‍රධාන කැමරාකරු..ඉතින් මගෙ පාසල් ජීවිතයේ හැම වසරකම මම චිත්‍රපටවල රඟපෑවා. ”
ඇය කියන්නීය.
හෙළ සිනමාවේ පතාක රංගන ශිල්පීන් සම්මාන හරසර ලබන විටදී ඒ අතරේ ළමා චරිත රංගන වෙනුවෙන් අපේ ආදරණිය ශ්‍යාමා ද සම්මානයට පාත්‍ර වන්නීය. සුහද දිවි පිදුම,සත පනහ, ප්‍රවේසම් වෙන්න, දීපශීඛා, ඇතුල්වීම තහනම් සිනමා සිත්තම් හි ඇය ළමා චරිත රංගනයෙහි ඉදිරියෙන්ම සිටියාය. ඒ අතර ඕ ද්විත්ව චරිත රංගනයෙන්ද නමක් තබන්නට සමත් වූවාය.
‘ ද්විත්ව චරිතය කළේ හොඳ තැන්පත් දැරියක සහ කටසැර දැරියක විදිහට. තවත් ද්විත්ව චරිත රගපාලා තියෙනවා ”
‘ ගාමිණි ජෝති වැනි නළුවන් සම්මාන ලබද්දි ඒ අතර සම්මාන ලබපු මට වයස අවුරුදු එකොළහක් දොළහක් විතර ඇති.”
චණ්ඩි ශ්‍යාමා,මගේ නංගි ශ්‍යාමා ,මං බය නැහැ ශ්‍යාමා , පේනව නේද, හලෝ ශ්‍යාමා , ප්‍රියංගා, ඒ කාලෙ ජනප්‍රිය දක්ෂ නළු නිළියන් එක්ක ජෝතිපාල එක්කත් මම රඟපෑවා. ”
‘ අපෝ නැහැ..කැමරාවක් ඉදිරියෙ රඟපාද්දි මට කිසිම චකිතයක් බයක් නම් ආවෙම නැහැ..සිනමා කැමරාව වගේම සිනමා කර්මාන්තයත් මට පුංචි කාලෙ ඉඳන්ම හුරුවෙලානෙ තිබුණෙ ”
ඒ ටික ඇය කීවේ මා කළ විමසුමකදීය.
” හැබැයි..මං චිත්‍රපට ගණනාවක රඟපෑවත් කෙතරම් ජනප්‍රිය වුණත් කවදාවත් මම පෙම්වතියක් වෙලා නම් නැහැ..”
‘ අපෙ තාත්තානෙ මාව නිළියක් කළේ..වෙනත් අධ්යක්ෂවරුන් යටතේ වෙනත් සිනමා නිර්මාණවල මට රඟපාන්න තාත්තාගෙන් අවසරය තිබුණෙත් නැහැ. සමහර අධ්‍යක්ෂකවරුන් එයාලගෙ චිත්‍රපටවලට මාව අරගන්න කතා කළාම නෑ. නෑ..එයා දැන් රඟපාන්නෙ නැහැ..දැන් ශ්‍යාමා විවාහ වෙන්න සූදානම් වෙනවා කියල තාත්තා ෂේප් කරනවා.. අනික, තාත්තා යන හැම තැනකටම මාවත් එක්කගෙන යනවා. ”
සිනමා සිත්තම් විසිපහක පමණ රගපෑ ඕ දැන් තම සිනමා ජීවිතය දකින්නේ තම දිවිසිරිතේ ඈතට ගිය එක් රසාලිප්ත යුගයක් ලෙසිනි…ඒ ඇය ප්‍රේමනීය ස්වාමියකුගේ ආදරණිය බිරිඳක් සේම ආදරණිය දරු දෙදෙනකුගේ දයාබර මවක නිසාය. ඇයගේ ප්‍රේමනීය සැමියා වූයේ එවක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සාලිය පෙරේරා මහතා සමඟිනි.
” මම මේ රටේ නිළියක් හැටියට බොහෝ ගෞරව සම්මානයට වගේම කාගේත් ආදරයට බඳුන් වුණා..ඒ ගෞරවය ඒ ආදරය අදටත් මට රසිකයන්ගෙන් නොඅඩුවම ලැබෙනවා. ඒ සතුට නම් හිත පිරෙනවා..”
අපේ ආදරණිය ශ්‍යාමා සතුටින් සිනාසෙන්නීය.
” එදා මා සමග රඟපෑ සමහර අය ජීවතුන් අතර නැතිවුණත් එයාලගෙ දරුවන් අදටත් මා එක්ක සමීපයි.ගාමිණිගෙ දූලා බොහොම සමීපයි. ”
මේ කතාබහේදී මඳක් නතර වූ ඈ දෑස් ලොකු කර ගන්නීය.
” අපෙ අම්මයි තාත්තයි හරිම ස්ට්‍රික්..කොච්චර කාර්යබහුල වුනත් තාත්තාගෙ අවධානය ගෙදර ජිවිතය ගැන වගේම දරුවන් වන අපි ගැනත් ඉහළින් ම තිබුණා..මගෙ නංගි කාන්ති ආනන්ද. හැමදෙයක්ම තාත්තා සෙව්වා. බැලුවා..”
‘ දන්නවද අමල්. අපෙ අම්මාත් නිෂ්පාදකවරියක් හැටියට සිනමාවට සම්බන්ධයිනෙ. ඒත් කවදාවත් නිකමටවත් අපෙ අම්මා එකම නිර්මාණයකටවත් යාන්තමින්වත් සම්බන්ධ වෙලා නැහැ. සමහර ජවනිකාවලදි තාත්තා වටපිටාව කැමරා ගතකරන කොට අම්මාවත් අරන් තියෙනව කියල හිතමු..අප්පේ මාව අයින් කරන්න මාව ඒකෙන් අයින් කරන්න කිය කිය තාත්තාට වද කරනවා..තාත්තත් එහෙම කරනවා..ඒ අපෙ අම්මාගෙ හැටි තමා ‘
” අපි විවාහ වුණාට පස්සෙ කැනඩාවට ගියේ අවුරුදු තුනකට..ඒ වුණාට අපි ලංකාවට ආවෙ අවුරුදු 38කට පස්සෙ..ඒත් අවුරුද්දකට වතාවක් අපි ලංකාවට ඇවිත් ගියා.’
‘ දැන් හැදෙන චිත්‍රපට හොඳයි කියන්නෙවත් නරකයි කියන්නේවත් නැහැ..හැබැයි එදා සිනමාවට තවමත් රසිකයන් පුදුම ආදරයක් දක්වනවා. දැන් චිත්‍රපටයක් බලන්න එදා වගෙ පහසු නැහැනෙ. ටිකට්ස් වලට යන ගණනම වැඩියිනෙ. ඊට එහා නම් මම මුකුත්ම කියන්නෙ නැහැ..ගොඩක් දෙනා අමනාප වේවි..හොඳ නිර්මාණත් බිහිවෙනවා..”
ඕ ඒ ටික කීවේ විමසූ පැනයකදීය.
ඇයගේ ජීවිතයේ වඩාත්ම දුක්බර වූ අවස්ථාව තම මවුපියන් අහිමි වීමය. වඩාත් ම ප්‍රීතිමත් දවස ඈ විවාපත් වූ දවසය.
ඇයගේ විවාහයෙන් ඇයට තිළිණ වූ දියණිය මන්දිරා ද මැල් ය. පුතු රිච් පෙරේරා ය. ඔහු කැනඩාවේය.
‘ මං මගේ දරුවන් ට සිනමාවට එන්න එපා කියලවත් මුකුත්ම කියලා නැහැ. එයාලට නිදහස්ව තීරණ ගන්න ඉඩ දුන්නා.”
” ඔව් අමල් .මට වයස විස්ස පිරෙන කොට ලබන්න ඕන ගෞරවය ජයග්‍රහණ සම්මාන මං ලබලා ඉවරයි. ඒත් එක්කම ඉහළම තැනකට ඇවිල්ලත් ඉවරයි. ඒ ගැන ලොකු සතුටක් නම් මට තියෙනවා. ”
‘ ඉන්න ටික කාලෙ යමක් කරන්න පුලුවන් කාලෙ කරන්නයි ඕනා වුණේ..දැන් හරි..මං බුද්ධාගමේ වුණත් පල්ලියටත් කෝවිලටත් යනවා. ආගම් භේද මා ලඟ නැහැ..හැම ආගමකටම මම හදවතින්ම ගරු කරනවා..මගෙ මහත්තයා කිසිම දෙයකදි මට බලපෑම් නැහැ..අනික අමල්..රඟපාලා මුදල් උපයන්න ඕන කියන එහෙම දෙයක් මා ළඟ නැහැ. ෆැමිලි ප්රොඩක්ෂන්වල ඇක්ට් කළා. එපමණයි. ආ ..මගෙ දුව මන්දිරාත් රඟපෑවනෙ මං බය නැහැ ශ්‍යාමා චිත්‍රපටයේ ..මගෙ තාත්තා වගේම මගෙ අම්මාත් මාව බැලුවා..මාව ලස්සනට අන්දවන්න බැලුවේ මගෙ අම්මා..”
ඒ ටික ඇය කීවේ බිම බලාගත්වනම බිඳුණු ස්වරයකිනි.
දැන් මම අපේ ආදරණිය ශ්‍යාමා ආනන්ද මහත්මියගෙන් සමුගෙන යා යුතුය…මම අසුනින් නැගී සිටියෙමි.
” අමල් මේ ඉල්ලීම ඉටු කරන්න..මට ආකර්ෂණීයව එදා මට ආදරය කළ මගේ රසික රසිකාවන්ට තවමත් මා හදපත්ලෙන්ම ආදරය බව කියන්න..
ඒ එක්කම එදා පටන් අපත් එක්කම ඉන්න සරසවිය පත්තරේටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ”
සරසවිය වෙනුවෙන් මම ඇයට නිදුක් නීරෝගි සුව ජීවනයම පතද්දී ඇය අවිහිංසක ලෙසින් සිනහවූවාය..
අමල් යශෝමන් ජයසිංහ