Home » මගේ පන්තියේ ළමයෙක් සහ මාගම් සෝලි කොල්කටා උලෙළට

මගේ පන්තියේ ළමයෙක් සහ මාගම් සෝලි කොල්කටා උලෙළට

by Thanushika
December 19, 2024 9:26 am 0 comment

30 වසරක කොල්කටා සිනමා උළෙල ඉතිහාසයේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය වනුයේ: ශ්‍යාම් ප්‍රනාන්දුගේ ” මගේ පන්තියේ ළමයෙක්” (TEACH ME) චමින්ද ඉලුක්වෙලගේ “මාගම් සෝලි” (TEACH ME) ආසියානු තරග අංශයෙන් කොල්කටා උළෙලට ලොව පුරා විසිර ඇති සිනමා උළෙල වර්ගීකරණයේ නියුතු ආයතන අතුරින් ලොව ප්‍රමුඛතම ආයතනය ‘ෆිඇප්ෆ්'(STIGMA) වේ. එහි 2024 වසරේ සිනමා උළෙල වර්ගීකරණයට අනුව ෆිඇප්ෆ් අනුමැතිය හිමි “තරගකාරී විශේෂිත වෘත්තාන්ත සිනමා උළෙල”COMPETITIVE SPECIALIZED FEATURE FILM FESTIVAL) සංඛ්‍යාව 23 කි. එකී උළෙල 23 තුළ වූ ප්‍රමුඛතම අන්තර්ජාතික සිනමා උළෙල දහයෙන් එකක් ලෙසටද, එයට අමතරව දකුණු ආසියානු කලාපය තුළ ස්ථානගත ප්‍රමුඛතම සහ දැවැන්තම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසටද සැලකෙන ඉන්දියාවේ කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ (KOLKATA INTERNATIONAL FILM FESTIVAL) 30 වැනි අදියර පසුගිය 4වැනිද ආරම්භ වූ අතර, එහි සමාප්තිය 11 වැනිදා රාත්‍රියේදී අවසන් විය.

1995 වසරේ කොල්කටා අන්තර්ජාතික සිනමා උලෙළේ ආරම්භ වු අතර එහි පළමු අදියරේ පටන්, 2024 පැවැත්වෙන 30 වැනි අදියර දක්වා උළෙලේ තිරගත වූ සමස්ත ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට සංඛ්‍යාව 30 කි. ඒ අතුරින්, නිල නියෝජනයක් (OFFICIAL SELECTION) ලෙසින් කොල්කටා උළෙලේ තිරගත වූ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය ප්‍රියන්ත කොළඹගේගේ “විමුක්ති” වේ (1995 දී). එලෙස විමුක්ති, සරෝජා, අස්වැසුම, සුළං කිරිල්ලි, ඉරමැදියම, අහසින් වැටෙයි, ආකාස කුසුම්, ඇගේ ඇස අග, ඔබ නැතුව ඔබ එක්ක, මාරියා ආදි චිත්‍රපට 18 ක් නිල නියෝජනයන් (OFFICIAL SELECTION) ලෙසද, සෙයිලම, සුරබිදෙන, ගම්පෙරළිය, නිධානය, ගැහැනු ළමයි, විසි අට ආදි චිත්‍රපට 12 ක් ආරාධිත චිත්‍රපට (INVITED FILMS) ලෙසද කොල්කටා උළෙල නියෝජනය කොට ඇත.

1995 වසරේ සිට 2010 වසර තෙක් තරගකාරී නොවන සිනමා උළෙලක් (NON- COMPETITIVE FILM FESTIVAL) ලෙසින් ක්‍රියාත්මක වූ කොල්කටා සිනමා උළෙල, 2011 වසරේ සිට විශේෂිත තරගකාරී සිනමා උළෙලක් (SPECIALIZED COMPETITIVE FILM FESTIVAL) බවට පරිවර්තනය විය. එලෙස 2011 වසරේ සිට 2023 වසර තෙක් ශ්‍රී ලාංකේය චිත්‍රපට 08 ක් උළෙල නියෝජනයට සමත්ව තිබුණද, ඒ හිදි එකම චිත්‍රපටයකට වත් උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි නොවුණි. ඒ අනුව 2024 වසරේ උළෙලේ තිරගත වූ , ශ්‍යාම් ප්‍රනාන්දුගේ ” මගේ පන්තියේ ළමයෙක්” (TEACH ME) නම් වූ කුලුඳුල් නිර්මාණය, කොල්කටා සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය (INTERNATIONAL COMPETITION) නියෝජනයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක්වේ.

අන්තර්ජාතික සිනමා උළෙල තුළ නිරන්තරයෙන් සිය ආධිපත්‍යය පතුරන චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, ජපානය, ජර්මනිය, දකුණු කොරියාව ආදි ප්‍රබල රටවලට අයත් චිත්‍රපට 13 ක් ශ්‍රී ලංකාවේ ” මගේ පන්තියේ ළමයෙක්” සමඟ මෙවර උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනට සුදුසුකම් ලබා ඇත. එකී චිත්‍රපට 14 උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනමන “හොඳම චිත්‍රපටය” සහ “හොඳම අධ්‍යක්ෂක” යන සම්මාන ද්විත්වය වෙනුවෙන් තරග වදී.

2024 වසරේ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශ නියෝජනයට අමතරව, ආසියානු කාලාපීය රටවල සිනමාපට වෙනුවෙන් වෙන් වූ “ආසියානු තෝරාගැනීම්” (ASIAN SELECT) නම් වූ තරගකාරී අංශය උදෙසා සුදුසුකම් ලැබීමේ අවස්ථාවද මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබීම විශේෂත්වයකි. ඒ අනුව චමින්ද ඉලුක්වෙලගේ කුලුඳුල් නිර්මාණය වූ “මාගම් සෝලි” (STIGMA) මෙවර ආසියානු තරගකාරී අංශය යටතේ තිරගත වේ. හොදම ආසියානු සිනමාපටය උදෙසා පිරිනමන “නෙට්පැක් සම්මානය” (NETPAC AWARD) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ “මාගම් සෝලි” ඇතුළුව ඉන්දියාව, චීනය, ඉරානය, ජපානය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, හොංකොං ආදී රාජ්‍යයන් නියෝජනය කරන චිත්‍රපට 09 ක් තරග වදී. ශ්‍රී ලංකේය චිත්‍රපටයක් මෙකී අංශය නියෝජනය කිරීමට සමත්වූ හතරවන අවස්ථාව මෙය වන අතර , මීට පෙර 2015 දී ශමීර නාඔටුන්නගේ ” මෝටර් බයිසිකල්”, 2016 දී රොහාන් පෙරේරාගේ “හීන හොයන සමනල්ලු” සහ 2018 දී සුබා සිවකුමාරන්ගේ “හවුස් ඔෆ් මයි ෆාදර්” යන කුලුඳුල් නිර්මාණ හට එකී අවස්ථාව හිමිවිය.

“මගේ පන්තියේ ළමයෙක්” කොල්කටා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය ULK film Private Limited වෙනුවෙන් උදිත කහඳවආරච්චිද “මාගම් සෝලි” කොල්කටා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණයට ආසියානු සිනමා ක්‍රේන්ද්‍රය වෙනුවෙන් ඇෂ්ලි රත්නවිභූෂණ එක් වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT