Home » මගේ දඩබ්බර ජීවිතය තැන්පත් කළේ සිනමාවයි

මගේ දඩබ්බර ජීවිතය තැන්පත් කළේ සිනමාවයි

රංගන ශිල්පී සිසිර කුමාරතුංග

by Thanushika
August 7, 2025 12:15 am 0 comment

” ඒ මගෙ තරුණ කාලෙ මං හරි දරුණුයි..මාළු කඩේ හාමුදුරුවෝ වගේ ඉන්න බැහැනෙ. ඒත් සිනමාවට සම්බන්ධ වුණාට පස්සෙ මගේ ජීවිතය මටත් නොදැනීම තැන්පත් වුණා “මා අසලම පසුවන ඔහු උපරිමයෙන්ම උසැතිය. වාග් ශෛලියද හඬ සිරිතද රළු යැයි කිවහොත් එය වඩාත් නිවැරැදිය. නාහෙට නානා ස්වරූපයක් ඔහු කෙරෙන් දිස්වුවද සැබැවින්ම ඔහුගේ මනුස්සකමේ සිරිතද ඊටත් වඩා ඇතැයි ඔහු සමඟ කළ කතාබහේදී වැටහෙයි.

හෙළ සිනමාවට කුඩාවියෙහි සිටම හදවතින්ම පෙම්බැඳී මේ අපේ සොඳුරු කතානායකයාණෝ රිදී තිරයේ පෑ සපන්කම් සිනමාලෝලී කාහටත් අමතකව නැතැයි හැඟේ.

” පුංචි කලෙ පටන් මගෙ හිතේ තිබුණෙ හොඳ සටන් නළුවෙක් වෙන්න..දන්-නැද්ද ඒ කාලෙ අපේ ගාමිණි මහත්තයාගෙ සටන් ජවනිකා දැකලමයි මට මේ ආසාව ඇතිවුණේ..”

ඔහු මුව අයා සිනාසෙන්නේය.

අපේ කතා නායකයාගේ උප්පැන්නයේ නම හපුතන්ත්‍රීගේ සිසිර කුමාරතුංගය. කොළොන්නාව, වැල්ලම්පිටියේ උපත ලද ⁣ඔහුගේ මව එම්. ලීලාවතී මහත්මියය. කොළඹ උපන් මියුලන් කුමාරතුංග නම් තාත්තා පිටකොටුවේ ශාන්ත ජෝන් මාළු වෙළඳපලේ නමගිය ප්‍රකට මාළු ව්‍යාපාරිකයෙකි. 1947ක්වූ ඔක්තෝබර් මස 23 දින උපත ලද අපේ සිසිර කුමාරතුංගයන් පවුලේ වැඩිමහල් දරුවා වූ අතර ඔහුට බාල සහෝදරයන් තිදෙනකු හා එක් සොහොයුරියක්ද සිටී.

මම ඔහුට සවන් දෙමි.

‘ මම ඉස්කෝලෙ ගියෙ කොළඹ ග්‍රෑන්ඩ්පාස් විජයබා මහා විද්‍යාලයට. අපේ ස්වර්ණා මල්ලවආරච්චි නෝනාත් ඉගෙන ගත්තෙ මාත් එක්ක..දන්-නැද්ද කොලු කාලෙනෙ..දඟ වැඩත් එහෙමමයි..”

වරෙක හේ පාසල් වේදිකාවේ ගායකයා වෙමින් ගුරු භවතුන්ගේ පැසසුමටද බඳුන් විය. පන්ති භාර හෙට්ටිගේ ගුරුතුමිය ඔහුට අදටත් මතකය. සෑම සිකුරාදාවකම පාසලේ පැවැත්වෙන සංස්කෘතික වැඩ සටහන්වලදී ඉදිරියෙන්ම පෙනී සිටින්නේය.

” මම ඉතිං ගායනා කරන්නෙම ජෝතිපාල මහත්තයගෙ ගීත. සිසිරට හොඳට සින්දු කියන්න පුළුවන්නෙ කියල හැමෝම කියනවා..ඉතින්..නාට්‍යවලත් මම රඟපෑවනෙ..ඒවා රජ නාට්ටි. හැම නාට්‍යයෙම ප්‍රධාන චරිතය රඟපාන්නෙ මමයි..ඒ කියන්නෙ මං තමයි රජ්ජුරුවෝ . මාත් ඉතින් සිකුරාදා වනතුරු ඇඟිලි ගැන ගැන බලා ඉන්නවා. ධර්මදාස වල්පොල මහත්තයගෙ සින්දුත් කියනවනෙ. ‘

ඔහු හිඳසිටි අසුනේ තවත් හරබරි ගැහෙන්නේය.

උපන් ගමේ තැනුණු වේදිකාවක් වේද එහි ගැයුමටද රැඟුමටද අපේ සිසිරට තැනක් තිබේ..ඒ නිසාම පාසලේ මෙන්ම ඔහු ගමේද ජනප්‍රිය අයකු විය. සුමිත් අහංගම, ඩබ්ලිව් ප්‍රේමරත්න ආදිහු ඔහුගේ මිත්‍රයෝය.

” මට ඔන්න හත්වැනි පන්තියෙන් අටවන පන්තියට පාස්වෙන්න බැරිවුණා කියමුකෝ. මං ෆේල් වුණා.. මං ගෙදර නැවතුණා..ඒ කාලෙ හිතෙනදේ කරන කාලෙනෙ. ”

පාසල් ගමනින් නතර වූ තම පුතුට තම මාළු ව්‍යාපාරයට සම්බන්ධ කරගනු රිසියෙන් තාත්තා පුතු මාළු මාර්කැට්ටුවේ රඳවා ගත්තේය..මාළු වෙළඳාමට සුදුසු ප්‍රකට හැසිරීම කතාබහ එලෙසින්ම සිසිරටද පිහිටියේය..දවසේ රස්සාව කර අහවර වූ විගස ඔහු දිවයන්නේ ඔරුගොඩවත්තේ රුක්මණී, මරදානේ ගාමිණී, එල්ෆින්ස්ටන්, විලාසිනී චිත්‍රපට හෝල් වෙතටය. ඒ චිත්‍රපට බැලීමටය.

” ඔව්නෙ..මට ඒ කාලෙ චිත්‍රපට පිස්සුව..එකක් අරින්නෙ නෑ. ගාමිණි මහත්ත⁣යගෙ ෆයිට්..මම මාර ආසාවෙන් බලන් ඉන්නවා..කොහොම හරි මමත් සටන් නළුවෙක් වෙන්නම ඕන කියල හිතත් කියන්නෙ. ”

අපේ ආදරණිය සිසිරගේ කතාව එකදිගට ගලා යන්නේය.

දිනෙක ඔහු දෙස දුරසිට බලාහුන් අයකු සමීපයට පැමිණියේය.

” මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ‘

අමුත්තා ඇසුවා පමණි.

” මොනව කතා කරන්ඩද හලෝ..හනේ මේ අපේ බිස්නස් අවුල් නොකර යන්ඩ මහත්තයා. මේ උදේ පාන්දර..”

ඒ කතාවෙන් අමුත්තා ගල්ගැසී ගියාක් මෙනි. එයද ඉවසා අමුත්තා යළි මෙසේ කියන්නේය.

” ඔයාව අපේ චිත්‍රපටයකට රඟපාන්න ගන්නයි මං මේ කතාකළේ. ඩිංගක් අපි එහාට යමුද…”

ඉන් අපේ කතා නායක තෙමේ සන්සුන් වූයේ…අමුත්තාගේ අතක් අල්වාගෙනම නිහඬ තැනකට ගොස් අමුත්තාට තේ සංග්‍රහයක්ද පාමින් කියන්නට වූයේ…

” දන්- නැද්ද…මාළු මාර්කට්නෙ මහත්තයා. මාළු වෙළඳාමේ ට්‍රික්ස්නෙ. බිස්නස් එකට රඟපෑමත් දාන්ඩ වෙනවනෙ ..ගණන් ගන්ඩ එපා. ”

‘ මමත් ඔයා ගැන පැහැදුණේ ඔයාගෙ රඟපෑම් දැකලයි. ගාමිණි මහත්තයා එක්කයි ඔයාට රඟපාන්න තියෙන්නෙ.”

මේ අමුත්තා කවරකු හෝ නොව ප්‍රකට කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා මහතාය. නොඑසේනම් සිනමාවේ ජාතික ඇඳුමින් සැරසී සිටින එකම තැනැත්තා ය. හෙතෙම අපේ සිසිරගේ ලිපිනයද රැගෙන යන්නට ගියේය.

දින කිහිපයකින් ටැලිග්‍රෑමයක් ඔහුට ලැබිණි.

පෙර දැනුම්දීමකින් සිසිර ඇඳුම් කීපයක්ද රැගෙන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ නිවස සොයා ගියේය.

සිසිර දුටු සැණින් ” ඔයාද මාළු මාර්කට් එකේ කකුලක් කීවේ.?” යි සතිස්චන්ද්‍ර සිනාසී විමසුවේය.

දැන් රූපගත කිරීම් සඳහා සිසිර කැඳවාගියේ උකුවෙල ටය. ගාමිණී සිගරැට්ටුවක් දල්වාගෙනම රියෙන් බැස සිසිර ලඟට ආයේය. කැමරා ශිල්පී සිල්වා ඔහු ගාමිණීට හඳුන්වා දුන්නේය.

“ගාමිණි මහත්තයා මගෙන් ඇහුවා සටන් ක්‍රම ඉගෙන තියේද කියලා..මං කිව්ව එහෙම නැහැ..ගාමිණි මහත්තයාගෙ චණ්ඩියා වගෙ චිත්‍රපටවල සටන් දර්ශන හොඳීන් අධ්‍යයනය කරල තියෙනව කියලා .ගාමිණී එයාගෙ අතක් ඉහළට ඉස්සුවා. එයා මට වඩා මිටියි. මං උසයිනෙ. ක්ෂණිකව හැරිල එයාගෙ අතට ගහන්න කීවා..මාත් ඉතිං එකපාරින්ම ගැහුවා..මොකද..මං රගර් කරල තියෙනවනෙ. පස්සෙ.. මං සමාවන්න..රිදුණාද දන්නෙ නෑ කීවාම..ගාමිණි කිව්ව ඒකට කමක් නැහැ. ඒකයි වෙන්න ඕන කියල කිව්වා.චිත්‍රපටවලදි ඇත්තට වගෙ ගහන්න ඕන කියලත් කිව්වා ”

රජගෙදර පරෙවියෝ සිනමා සිත්තමේ තමන්ගේ රඟපෑම් දැකබලා ගන්නට සිසිර මංගල දර්ශනය නැරඹීමට සිනමාහලට දිවගියේ හිමිදිරියේමය..

” මං ගැලරි පෝලිමේ එකටම ගිහින් හිටියෙ. ගැලරිය නැත්නම් අපිත් නැහැ. මගෙ රගපෑම් මම දැකබලා ගත්තා. ගැලරියෙ කොල්ලො මාව අඳුරගෙන අම්මෝ උන් මාව වටකර ගත්තා.”

නිහැඬියාවකට පසුව ගාමිණි සිසිර නිවසට කැඳවූයේ චණ්ඩි පුතා චිත්‍රපටයටය.

” මාළු මාර්කට් එකේ නේද. කුලියට මිනිමරලා එහෙම තියෙනවද.” ගාමිණි අසන්නේය.

” අපොයි නැහැ.”

“කුළියට මිනිමරන සීන් එකක් කරන්න තියෙන්නෙ” ගාමිණි කියන්නේය.

” මම ගාමිණිගෙන් සපත්තු පහරක් කාලා රෝහල් ගතවෙලා සැත්කමකුත් කරන්න සිද්ධ වුණානෙ. එයා සපත්තු පයින් ගැහුවෙ මගෙ කළව පැත්තට. වැරදිලා මට ඒ පහර වැදුණෙ මගෙ යටිබඩ පැත්තට..දතකාගෙන මගෙ කොටස කළා. පස්සෙ මට අමාරු වුණා. අපරාදෙ කියන්න බැහැ.. අවශ්‍ය පහසුකම් සපයලා ප්‍රතිකාරවලට ගාමිණි මහත්තයා වියදම් කලා ”

සිසිර ඒ ටික කීවේ මා විමසූ පැනයකදීය.

” ගාමිණි ආඩම්බරයි කීවාට එයා එක්ක කතා කරන්ඩ ඕනා. එයාට කෙනෙක්ව ඇල්ලුවොත් ඇල්ලුවාම තමයි. එතුමා මාව බොහොම අගය කරල තියෙනවා.”

එතැන් සිට අපේ කතානායක තෙමේ සක්විති සුවය, කොටි වලිගය, උතුමාණෙනි ඇතුළු චිත්‍රපට 127ක පමණ රඟපා ඇති හේ විජය සමගද රැජිනි කාන්ත් හා ඉංග්‍රීසි චිත්‍රපටවලද රඟපා ඇත්තේය.

” හප්පට හුඩු..විජය මහත්තයා ඕන කෙනෙක් එක්ක මේං කියනකොට පටස් ගාලා සුහද වෙනවා.

සිසිර කියන්නේය.

” පාරෙදි සමහරු මට කෙළ ගහලත් තියෙනවා. පස්සෙ හොයා බැලුවාම උතුමාණෙනි එකේ ෆරීනාලායි දූෂණය කරන සීන් එකට තරහින්..ඔහොම ඒවත් මට වෙලා තියෙනවා”

ප්‍රසංග වේදිකාවටද පෙම්බඳීනා හේ ගැයුම් සිරිතෙන්ද නමක් දිනා සිටින්නේය. ශ්‍රී මදාරා නමින් ⁣ඔක්තෝම්බර මස ගීත ප්‍රසංගයකින්ද ඔහු අපට හමුවෙයි.

” ජෝති මගෙ හදවත වගේ. එතුමාගෙ ගීත උපහාර හැටියට මම වේදිකාවෙ ගයන්නෙ..”

අපේ ආදරණිය සිසිර කුමාරතුංගයන්ගේ ජීවන සහකාරිය වූයේ වැල්ලම්පිටියේ බී.ඒ. නන්දා (මාලා) මෙනවියය.

” අපි විවාහ වුනේ 1970දි. එයාහරිම සිල්වත්..එයා නැතිවීම මගෙ ජීවිතයෙත් අඩක් නැතිවුණා වගේ. කොහි හරි හොඳ තැනෙක ඉදන් එයා අපි දිහා බලා ඉන්නවා ඇති. ඇය නැතිවෙලා ලබන වසරට අවුරුදු හයක් වෙනවා . අපට දූ දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දුව චමිලා, දෙවැන්නිය අනුෂා, පුතා අමිල සුරංග, හතරවැනියා තුෂාර මංජුල. මාව රැක බලා කියාගෙන ඉන්නෙ මගෙ පොඩි දුව අනුෂා..දුවත් පිනට දහමටමයි. ”

අපේ සිසිර කුමාරතුංගයන්ගේ සිනමා දිවිසිරිත සිරිමත් කළ 50 සැමරුම් උලෙළ සංවිධානය කළ කොළොන්නාවේ සුනිල් පෙරේරා මහතා විසින් සම්මානිත සිසිරයන් වෙනුවෙන් තවත් හරසර සම්මානයෙන් පුදනු ලැබීය.

” මම තවමත් චිත්‍රපටවල රගපානවා. වයස 78ක්. ඒත් මම තවමත් සිනමාවෙ වගේම ගායනයෙත් ඉන්නවා. ඉදිරියෙදි චිත්‍රපට දෙකක් එන්න තියෙනවා ”

ඒ ටික ඔහු කීයේ කළ විමසුමකදීය.

” ඇත්තමයි. සිනමාව නැතිනම් මෙලහකට මං මැරිලා. නැතිනම් සිරගෙදර. සිනමාව නිසා මම හැදුණා. දඩබ්බර මාව මෙල්ල කලේ සිනමාවයි. මට මේ ගමනට අතහිතදුන් හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා..

අපට එදා පටන් හොඳට හුරුපුරුදු සරසවිය පත්තරේටත් කර්තෘ මහත්තයටත් ඔබතුමාටත් හදවතින්ම ස්තුතියි..මාව මතක් වුණාට…”

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT