Home » මං මේ ගමන ආවේ සරසවිය සම්මාන උලෙළ හොරෙන් බලපු නිසා

මං මේ ගමන ආවේ සරසවිය සම්මාන උලෙළ හොරෙන් බලපු නිසා

රංගන ශිල්පී, අධ්‍යක්ෂ අකිල සඳකැලුම්

by Thanushika
November 28, 2024 11:23 am 0 comment

හිරිමල් යොවුන් වියේ පසුවන කඩවසම් තරුණයෙක් තම ගම් පියසින් සමුගෙන කොළඹ නගරයට සේන්දුවන්නේ බලාපොරොත්තු ගොන්නක් හදවතේ පුරවා ගෙනය. ඔහු තුළ ඇත්තේ සුන්දර සිහිනයකි. එහෙත් ඒ සුන්දර සිහිනය ඉෂ්ට කර ගැනීම ඒ තරම් සුන්දර වී නැත. කටුක අත්දැකීම් හමුවේ කෙසේ හෝ තම එකම සිහිනය කරා පියාඹා යෑම ඔහුගේ එකම ඉලක්කය වී ඇත.

2005 වසරේ සිංහල සිනමා තිරය මත දිග හැරුණු හිරිපොද වැස්ස චිත්‍රපටය තුළින් රංගන සිහිනය සැබෑ කරගත් ඔහු අකිල සඳකැලුම්ය. මෙතෙක් අපි කතා කළ කඩවසම් තරුණයා ඔහුය. ඉතාමත් ආකර්ශණීය සිනාවක් රඳවාගෙන සරසවිය ඉදිරියට ආ අකිල ඔහුගේ සිනමා ගමනේ් ආරම්භයේ සිට මෙතෙක් ආ ගමන් මඟ ගැන කතාබහ ඇරඹුවේය.

“මීට අවුරුදු ගණනාවකට පෙර මගේ හිතේ සිහිනයක් තිබුණා. නළුවෙක් වෙන්න ඕන කියන සිහිනය. මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. ඒත් පුංචි කාලෙ ඉඳන් මගේ හිතේ නළුවෙක් වෙන්න ඕන කියන සිහිනය තිබුණා. ගමේ ඉදන් නළුවෙක් වෙන එක හැබෑවක් කරගන්න අමාරු නිසා මම කොළඹ එන්න තීරණය කළා.

ඒත් ඒ ගමන එතරම් සුන්දර වුණේ නැහැ. තැන් තැන් වලට ගිහින් කාලය නාස්ති වුණා. චාන්ස් එකක් ඉල්ල ගන්න රඟපාන්න. එහෙත් බොහෝ අයගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාර නෙවෙයි. රස්තියාදු වීම පමණයි සිදු වුණේ. ඒ කාලේ මට කොළඹ ප්‍රදේශය නුහුරුයි. ගමේ ඉඳන් එනකොට කොහෙන්ද බහින්නේ කියලවත් දැනගෙන හිටියේ නැහැ.

රඟපාන චරිත ඉල්ලන් යන අතරේ පුංචි පුංචි රැකියා කළා. ඉගෙන ගත්තා රංගනය ගැන. අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වූ මහේන්ද්‍ර පෙරේරාගෙන් තමයි මම රංගනය පිළිබඳ හැදෑරුවේ.

මගේ රංගන සිහිනය සැබෑ කර ගන්න මට ලොකු හයියක් වුණේ සරසවිය පුවත්පත. ඒ කාලෙ සරසවිය පත්තරේ පළ කළා අලුතෙන් රංගන ශිල්පීන් බඳවා ගන්න කරන පරීක්ෂණ ගැන විස්තර.

ඒකෙන් බලලා තමයි තිර පරීක්ෂණ සඳහා සහභාගි වුණේ.

ඒ කාලේ මම රන්ජන් රාමනායක අයියා කරන රඟපෑම් කියන කතා ආදිය ගැන විමසිල්ලෙන් හිටියේ. එයා එක්තරා අවස්ථාවක කියලා තිබුණා; සරසවිය සම්මාන උළෙල බලපු කතාවක් ආරාධනා නොමැතිව. රන්ජන් අයියා ජනප්‍රිය නළුවෙක් වීමට කලින් සිද්ධියක්.

මමත් හිතුවා එහෙම කරන්න ඕන කියලා. මටත් ආසාවක් තිබුණා සම්මාන උළෙලක් බලන්න යන්න. ආරාධනාවක් නැතුවම මම යනවා කියලා හිතා ගත්තා. කොහොම හරි ගියා. ගිහින් අගේට සම්මාන උළෙල බලන්නත් අවස්ථාව ලැබුණා.

එදා සම්මාන උළෙලට ඇවිත් හිටියා අපේ රටේ ජනප්‍රිය දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන උදයකාන්ත වර්ණසූරිය.

“මම ඔහුත් සමඟ කතා කළා. මම මගේ සිහිනය ගැන ඔහුට කිව්වා.”

“ඔහු මට ඔහුගේ දුරකතන අංකය සඳහන් කාඩ් පතක් දුන්නා.”

“දීලා මට මෙහෙම කිව්වා මේක තියාගන්න හැබැයි දිගටම කරදර කරන්න එපා කියලා.”

“ඒත් පහුවදා ඉඳලා මම කරදර කරපු එකම තමයි කළේ. ඔය විදිහට නිතරම මම කතා කළා.”

එහි ප්‍රතිඵලයක් විදියට තමයි මට උදය කාන්ත මහත්මයාගේ හිරිපොද වැස්ස චිත්‍රපටයේ රංගන වරම් ලැබුණේ.”

අකිල සඳකැලුම් අද වනවිට දක්ෂ රංගන ශිල්පියෙක්. දුෂ්කර ගමනකින් පසු ආ ඔහුගේ සිනමා ගමන් මගේ රසවත් කතා තවත් ඇත. ඒ පිළිබඳ ඔහු කතා කළේ සිනහව මුසු විලාසයකිනි.

හිරිපොදවැස්ස චිත්‍රපටයට රඟපාන්න තෝරා ගන්නා පරීක්ෂණයට අටසීයක් විතර තරුණ පිරිසක් ඇවිත් හිටියා. ඒ අතරින් මාව තෝරා ගත්තා කිව්වම මට ඇති වුණේ අදහගන්න බැරි සතුටක්.

මම මට ලැබුණු චරිතය හොඳීන් කළා කියලා මට විශ්වාසයක් එදා තිබුණා. මට ලැබුණු ප්‍රතිචාරවලින් කියන්න පුළුවන්.

ඒත් ඉන්පසු සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබුණේ නැහැ.

ආයෙමත් පොඩි කලකිරීමක් ඇතිවුණ නිසා නැවතත් ගමේ යන්න තීරණය කළා.

ටික කාලයක් ඉන්නකොට නැවතත් කොළඹ එන්න සිද්ධ වුණා.

සිරස ආයතනයේ වැඩකට. ඒ අවස්ථාවේ මට ගිහාන් රංග බණ්ඩාර මුණගැසුණා.

ඒ මුණගැසීම නිසා ‘කිඳුරංගනා’ ටෙලි නාට්‍ය මාලාව සඳහා මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

කිඳුරංගනා ටෙලි නාට්‍ය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවැරදියි.

ඒ කාලේ දැන්වගේ ගොඩක් ටෙලි නාට්‍ය නළු නිළියෝ හිටියෙත් නැහැ.

මම කරපු චරිතය නිසා මාව ජනප්‍රිය වුණා. ඉන්පස්සේ මට වැඩ ලැබුණා.

රෝසකටු, බොඳ මීදුම්, ආදරණීය පූර්ණිමා, පාවෙන යකඩ, සිහින වසන්තයක්, දොස්තර නවරියන් ඇතුළු ටෙලි නාට්‍ය සිනමා නිර්මාණ තිස්පහකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා.

මේ තමයි අද වනතෙක් ආ ගමනක අතීත තොරතුරු.

අකිල තම රංගන හැකියාව දියුණු කරගත් කෙනෙක්. එයට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ඔහු නිතරම සිනමාව පිළිබඳ රංගනය පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

“මම රඟපාලා විතරක් නිකන් හිටියේ නැහැ. විවේකයක් ලැබුණ ගමන් මම කළේ පොත්පත් පත්තර කියවන එක විශේෂයෙන් සිනමාවට සම්බන්ධ පුවත්පත් කියවනවා. කාලයකට කලින් සරසවිය පුවත්පතේ විශේෂාංගයක් තිබුණා; කලාකරුවන්ගෙන් ප්‍රශ්න දහයක් අහනවා ඒ විශේෂාංගයෙන්.

මට හැකි වුණා ඒ ප්‍රශ්න දහයටම නිවැරදි පිළිතුරු සපයන්න.

කාලෙකට පස්සේ තමයි රංගන ශිල්පියෙක් ප්‍රශ්න දහයටම නිවැරදි පිළිතුරු ලබාදීලා තිබුණේ.

මෙහෙම ඉන්න අතරේ මම මගේ දක්ෂතා හඳුනා ගත්තා. රංගනය කියන දේ මම හොඳීන් අධ්‍යයනය කරපු කෙනෙක්. මම හිතුව මට පුළුවන් කියලා තව කෙනෙක්ගෙ ඒ හැකියාව හඳුනාගන්න.

අනෙක් කාරණාව තමයි මම කාර්මික පැත්ත ගැනත් හොඳීන් දැනුම්වත් වෙලා තියෙනවා.

කණ්ඩායම් හැඟීමෙන් සහයෝගයෙන් වැඩ කරන්න මට පුළුවන්.

ඒ නිසා තමයි මම තීරණය කළේ මා සතු හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි කියලා.

එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මම හදගැස්ම අධ්‍යක්ෂණය කරන්න පෙලඹෙන්නේ.

සිනමාවට අකිල නවක අධ්‍යක්ෂකවරයෙක්. එහෙත් ඔහු පළපුරුදු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමාවට පා තැබීම අගය කළ යුතුයි. වර්තමානය වන විට අධ්‍යක්ෂණයට කැමැත්ත තිබුණත් තමයි නිර්මාණය තිරයට ගැනීමට නිෂ්පාදකවරයෙක් අවශ්‍යමයි. සිනමා අධ්‍යක්ෂවරුත් ගැටලුවලට මැදි වන්නේත් සිනමා කර්මාන්තය පිළිබඳ කළකිරීමක් ඇති වන්නේත් මෙම හේතුව නිසාය. මෙම ගැටලුව මේ තරුණ අධ්‍යක්ෂවරයාට බලපෑ අයුරු ඔහු විස්තර කරන්නට විය.

මේ කතාව ලිව්වේ මමමයි. නිර්මාණ එකොළහක් මා සතුව තිබුණා. ඒත් ඒ නිර්මාණ කරන්න ගියාම විවිධ බාධක මතුවුණා.

මම එහෙම සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවා.

එක්තරා අවස්ථාවක මම මගේ නිර්මාණයත් තිරයට නගන්න සියලුම කටයුතු සූදානම් කරගෙන හිටියේ. නොසිතූ දෙයක් අන්තිමට සිද්ධ වුණේ. රූගත කිරීම්වලට කලින් දවසේ සවස තීරණයක් ආවා එය අවලංගුයි කියලා.

ඒ වගේ සිද්ධීන්වලදී ඇතිවෙන්නේ කළකිරීමක් ඇතැම් අය නිර්මාණයට ආයෝජනය කරන්න පෙලඹෙන්නේ ඔවුන් කැමති නිළියව ගන්නවනම් විතරයි.

මම එවැනි තීරණවලට අකමැති වුණ නිසා සමහර නිෂ්පාදකවරුන්ගෙන් මාව ප්‍රතික්ෂේප වුණා. තවත් සමහර අය පාටි වලට එන්න කියලා යෝජනා කරනවා. එවැනි මධුවිත සාදවලට මම සහභාගි වෙන්න අකමැතියි.

ඔන්න ඔය වගේ හේතු නිසා මාව බොහෝ විට ප්‍රතික්ෂේප වුණා.

අකිල තමන්ගේ නිර්මාණ සිනමාපටයක් ලෙස එළි දැක්වීමට උත්සාහ කිරීමේදී ඇති වූ ප්‍රශ්න ගැන කතා කළේ එලෙසිනි. එයින් නොසැලී අද වන විට ඔහු සිනමාවේ සාර්ථක ගමනක් යාමට පියවර ඉදිරියට තබා ඇත. ඒ ඔහු තුළ ඇති දැඩි ආත්ම විශ්වාසය නිසයි.

මම මගේ උත්සාහය අත්හැරියේ නැහැ. මං මේ හද ගැස්ම කතාව ලිව්වේ අපේ රටේ සිටි දක්ෂ නළුවෙක් ගැන ඔළුවේ තියාගෙන. ඒ තමයි රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතා. ඒත් අපෙත් අවාසනාවට රටෙත් අවාසනාවට එතුමා අපෙන් සමුගත්තා. ඒත් මම මේ ඉලක්කය ජය ගන්නවාමයි කියලා දැඩි විශ්වාසයක හිටියා. ඉන්පස්සේ මගේ දෙවෙනි කැමැත්ත තිබුණේ අර්ජුන් අයියට. මම එයාට යෝජනා කළා රඟපාන්න එන්න කියලා.

එයා එක පාරටම කැමැත්ත දුන්නේ නැහැ. පසුව මගේ කතාවට පැහැදිලා කැමති වුණා මගේ චිත්‍රපටයේ රඟපාන්න.

මම අර්ජුන අයියව ගන්නවා කිව්වම සමහර අය පුදුම වුණා ඇයි එයාව ගන්නේ කියලා. ඒකට හේතුව අර්ජුන අයියා පෙම්වතාගේ චරිතය විතරක් කරලා තිබුණ නිසා. ඒත් හදගැස්ම චිත්‍රපටයේ රඟපෑම දුටු විට ඒ අයගේ අදහස් වෙනස් වුණා.

අර්ජුන් අයියා මෙහි රඟපාන්න විතරක් නෙවෙයි නිෂ්පාදනය පැත්තටත් අත ගැහුවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

1992 ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු සිසිල ගිනි ගනී චිත්‍රපටය එදා නිෂ්පාදනය කළේ අපේ රටේ ඉන්න සිනමා සුපිරි තරුවක වුණු සනත් ගුණතිලකයන්. අද වන විට ප්‍රසන්න විතානගේ මහතා විශිෂ්ට සිනමා නිර්මාණ බිහිකළ අධ්‍යක්ෂවරයෙක්.

එදා සනත් අයියා නිෂ්පාදනයට අත නොගැසුවා නම් සිසිල ගිනිගනි වගේ විශිෂ්ට නිර්මාණයක් බිහි නොවන්නට ඉඩ තිබුණා.

මට අර්ජුන් අයියා ගැන කියන්න තියෙන්නෙත් ඒ දේමයි. ඔහු රංගන ශිල්පියෙක්. එහෙත් ඔහු අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. මෙය තමයි විය යුත්තේ. සිනමා කර්මාන්තයට සැබෑ ලෙසම ආදරය කරන්නන් ලෙස ඔවුන්ව හඳුන්වා දිය හැකියි.

අර්ජුන් අයියා රඟපාන්න විතරක් සම්බන්ධ නොවී මගේ හද ගැස්ම ෆිල්ම් එකට නිෂ්පාදනය පැත්තෙන් සම්බන්ධ වීම මගේ හද ගැස්මට අස්වැසිල්ලක් වුණා. ඔහු කිසිවිටෙකත් මට බලපෑම් කළේ නැහැ. මට අනවශ්‍ය බරක් දුන්නේ නැහැ.

අකිල සඳකැලුම්ගේ අධ්‍යක්ෂණයක් වූ හද ගැස්ම චිත්‍රපටයේ එන චරිත වලට පණ දෙන නළු නිළි කැල ගැනද කතා කළ යුතුයි. අකිල සමග පිළිසඳරෙහි යෙදෙන විට ඔහුගේ මුවින් පිට වූ එක් විශේෂ කරුණක් ඇත. ඒ හදගැස්ම රංගන ශිල්පි ශිල්පිනියන් තුළ පැවති එකමුතුකම. එය ගැන අකිල සරසවිය සමඟ මෙසේ තම අදහස් දිග හැරියේය.

හද ගැස්ම චිත්‍රපටයේ අර්ජුන් කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරිස් අනුර පතිරණ, ශාලික ගුණවර්ධන, කුමුදිනී අධිකාරි, නවීන් දිල්ෂාන්, හර්ෂිකා රත්නායක, ඉෂාන් මෙන්ඩිස් සහ පවිත්‍රා වික්‍රමසිංහ යන රංගන ශිල්පි ශිල්පිනියන් තමයි මම හදගැස්ම සඳහා තෝරා ගත්තේ.

ඔවුන් සියලුම දෙනාගෙන් මට ලැබුණේ ලොකු සහයක්. අපි වැඩ කළේ එක පවුලක් වගේ. අපිට නිෂ්පාදනයෙන් සහය දුන් නිෂ්පාදකවරු අපිට නිදහස දීලා තිබුණා තීරණ අරගන්න. මමත් අර්ජුන අයියත් නයෝමි නංගිත් අපි නිතරම සාකච්ඡා කරලා තමයි තීරණ ගත්තේ.

හද ගැස්ම සිනමා සිත්තමෙන් නවක රංගන ශිල්පිනියක් සිනමාවට හඳුන්වා දීමටද අකිල උත්සාහ දරා ඇත නයෝමි පීරිස් නම් ඇය සිංහල සිනමාවට රැගෙන ආ අකිල ඇය ගැනත් අනෙකුත් රංගන ශිල්පි ශිල්පිනියන් ගැනත් ඔහුගේ මුවින් පිටවූ වදන් ඉතාමත් ළෙන්ගතුයි.

මම තෝරා ගත් ශිල්පීන් ගැන මම සියයට සීයක් සෑහීමකට පත්වෙනවා.

ඔවුන් සාධාරණයක් ඉෂ්ට කළා මගේ නිර්මාණයට.

පෙම්වතාගේ චරිතය වටා කොටු වෙලා හිටපු අරජුන් අයියා හද ගැස්ම චිත්‍රපටයේ දක්ෂ රංගනයක යෙදුණා. ඒ වගේම තමයි ශාලිකා අක්කත්. ඇයත් උපරිම සහයෝගය දුන්නා අපිට.

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙහි රංගනයෙන් දායක වුණ නවක ශිල්පිනිය ගැන. ඇය නයෝමි පීරිස්. එයාගේ පළමු චිත්‍රපටය තමයි හදගැස්ම. ඇය දක්ෂයි කියලා කියන්න පුළුවන්. ඇගේ පළමු චිත්‍රපටිය වුණත් ආධුනික බවක් පෙන්නුවේ නැහැ. දෙබස් කැවීම පවා ඇය විසින්මයි සිදු කළේ. ඇයට සිනමාවේ දිගු ගමනක් යන්න පුළුවන් වෙයි. නයෝමි පීරිස් දක්ෂ සිනමා නිළියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අකිල සඳකැලුම් තවමත් පසුවන්නේ කඩවසම් තාරුණ්‍යයේ. රඟපෑමෙන් සිනමාවට පා තැබූ අකිල හද ගැස්ම චිත්‍රපටයේ රඟ නොපෑම පිළිබඳ විමසා බැලිය යුතුමයි. එම පැනයට ඔහු ප්‍රතිචාර ලබා දුන්නේ සිනහවක් සමඟිනි.

“ඔව්. මුලින්ම අදහස් කරගෙන හිටියා රඟපානවා කියලා. නමුත් අපි සාකච්ඡා කරද්දී තීරණය කළා රඟනොපාන්න. හේතුව වෙන්නේ මේක මගේ පළමු අධ්‍යක්ෂණය. ඒ නිසා මගේ අනාගතය තීරණය කරන හොඳ අවස්ථාවක් මම අධ්‍යක්ෂවරයෙක් විදියට ආපු එක. ඒ ගැන කල්පනා කරලා අධ්‍යක්ෂණය පමණක් කරනවා කියලා තීරණය කළා. සමහරවිට ඉදිරියේදී බලමු නැවතත් රංගනයෙන් ඔබ හමුවට එන්න.

වර්තමානයේදී බොහෝ සිනමාකරුවන් මුහුණ දෙන එක් පොදු ප්‍රශ්නයක් ඇත. එනම් තමාගේ සිනමා නිර්මාණය තිරගත කිරීම කල් යෑම. ඒ ගැටලු අකිලටත් උදා වුණාදෝ කියන පැනය හමුවේ ඔහුගේ පිළිතුර වූයේ …

“මට නම් හදගැස්ම චිත්‍රපටය තිරගත කරන්න කල් ගියේ නැහැ. හද ගැස්ම රූගත කිරීම් ආරම්භ කළේ 2023 අවුරුද්දේ. 2024 වෙනකොට සියල්ල අවසන් කරලා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරයත් ගන්න පුළුවන් වුණා. අලුත් අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉක්මනින් රිලීස් වුණ එක ගැන සතුටුයි.

ඒ සතුටත් එක්ක විශේෂ දෙයක් මේ වෙලාවේ කියන්න ඕනෑ. වසර ගණනකට කලින් කළ චිත්‍රපට තියෙනවා. තිරගත කිරීම් ප්‍රමාද වූ ඒවා. මෙයට විසඳුමක් විදියට රජයේ මැදිහත්වීමක් හෝ සිදු කරලා සිනමා නිර්මාණකරුවන්ට සහයෝගයක් දෙනවා නම් හොඳයි.

ඒ වගේම තමයි අපිට ඉතුරු වෙලා තියෙන සිනමා ශාලා ටික රැක ගත යුතුයි. අද වෙනකොට තාක්ෂණය බොහෝ දියුණුයි. ඒ තාක්ෂණයත් සමඟින් අපේ සිනමා ශාලාත් තාක්ෂණය අතින් දියුණු වෙන්න ඕන එසේ ප්‍රමිතියකින් උසස් සුපිරි සිනමා ශාලා කිහිපයක් තියෙන එක ගැනත් සතුටුයි. ඒත් ඇතැම් ශාලාවල පහසුකම් නැහැ.

විශේෂයෙන් සිනමාශාලා හිමියන් මීට වඩා අප්ඩේට් වෙන්න ඕන. අද වෙනකොට චිත්‍රපටවල ප්‍රචාරක කටයුතු ඉහළින්ම සිදුවෙන්නේ සමාජ මාධ්‍යවලින් ඒත් ඇතැම් සිනමා ශාලා සඳහා මුහුණුපොත භාවිතා කරනවා. වෙබ් අඩවියක් තියෙනවා. එහෙම දෙයක් ක්‍රියාත්මක කරන්න ඕන සිනමා ශාලා හිමියන්. එතකොට ප්‍රේක්ෂකයන්ට පුළුවන් චිත්‍රපට දර්ශන වාර තියෙන වේලාවන් පවා දැනගන්න.

අකිල සඳකැලුම් මේ දිනවල ඉතාමත් කාර්ය බහුලයි. කෙතරම් වැඩ අධික වුවත් ඔහු සරසවිය පිළිසඳර සමඟ එකතු වූයේ දැඩි උනන්දුවකිනි. ඒ ඔහු එතරම්ම සරසවිය පුවත්පතට ඇලුම් කරන නිසාවෙනි.

සරසවිය පුවත්පතට කතා කරන්න ලැබීම මගේ ජීවිතයට විශාල භාග්‍යයක්. සරසවිය කියන්නේ කලා විශ්ව විද්‍යාලයක් වගේ. අපි පුංචි කාලෙ ඉඳන් සිනමාව ගැන කලාව ගැන දැනගත්තේ සරසවියෙන්. සිනමාව ගැන දැනුම වැඩි කර ගත්තේ සරසවිය පුවත්පත කියවීමෙන්. එක්තරා විශේෂ සිද්ධියක් තියෙනවා සරසවිය පුවත්පත සම්බන්ධව. ඉස්සර ගමේ ඉන්න කාලෙ කිලෝ මීටර් පහළොවක් දුර ගෙවාගෙන එනවා සරසවිය මිලදී ගන්න. ඒ දවස්වල සරසවිය පුවත්පතේ මිල රුපියල් 20යි. ඒ තරම් කැපවීමකින් සරසවිය කියෙව්වේ.

මගේ මුල්ම රංගනය තිබුණ හිරිපොද වැස්ස ගැනත් විශේෂාංග ලිපියක් පළ කළා සරසවිය පුවත්පතේ. එදා සිට අද දක්වා සරසවියෙන් අපට දෙන සහය සුළු පටු නැහැ.

කුලුඳුන් සිනමා අධ්‍යක්ෂණයෙන් සිනමාවට අකිල නැවතත් පා තබන්නේ මඳ විරාමයකින් පසුවයි. එහෙත් රසිකයින්ට අකිල සඳ කැලුම් නැමති රංගන ශිල්පියාව අමතක නැත. බොහෝ දෙනා මේ දිනවල ආශාවෙන් පසු වන්නේ අකිල රංගන ශිල්පියෙක් ලෙස තිරයේ දකින්නටයි. ඒ ගැන අකිල සිනහවෙන් පිළිතුරු දුන්නේය.

ඇත්තටම රංගනයට සමු දීලා නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.

ඒත් මේ දිනවල මම පෙනී සිටින්නේ අධ්‍යක්ෂවරයෙක් ලෙස. මම ඉන්නේ මගේ හද ගැස්ම සමග. මම කැමතියි මගේ රසිකයින්ගෙන් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරන්න.

මගේ පළමු අධ්‍යක්ෂණය වුණ හද ගැස්ම චිත්‍රපටිය බලන්න. මේක මම සත්‍ය කතාවක් ඇසුරෙන් ලිව්වෙ.

චිත්‍රපටයේ අවසානයේ සිදුවන්නේ කවුරුත් නොසිතූ දෙයක්.

ඒ සිදුවීම මෙහි සඳහන් කරනවාට වඩා හොඳයි එය නරඹලාම දැනගන්න එක. හද ගැස්ම අපරිමිත සහෝදරත්වය ගැන කියැවෙන චිත්‍රපටයක්. ඒ නිසා බලන්න එන්න.”

ඒ අකිලගේ ඉල්ලීමයි. අකිල සඳ කැලුම්ගේ සිනමා ගමනේ බොහෝ දෙය කතා කර අවසන් වන මොහොතේ තවත් විශේෂම යමක් කීමට ඔහුට අවශ්‍ය විය.

විශේෂයෙන් මම ස්තූති කරන්න ඕන හද ගැස්ම චිත්‍රපටය වටා රොක් වෙමින් මට ශක්තියක් වුන පිරිසට. මාව සිනමාවෙන් හඳුන්වා දීපු උදයකාන්ත වර්ණසූරියට සහ එම මහත්මියව මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

අර්ජුන් අයියා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම මට විශාල හයියක් වුණා.

මහාචාර්ය සාගර කරුණාතිලක, රංජිත් මහාවිතාන, සිරිල් රාජපක්ෂ, දිනූෂ සම්පත් ද සිල්වා යන හිතවතුන්ට මගේ ස්තුතිය; නිෂ්පාදනය පැත්තෙන් සහයෝගය දැක්වූවාට.

මගේ හද ගැස්ම චිත්‍රපටයට සම්බන්ධ වෙලා වැඩ කරපු, සහයෝගය ලබාදීපු හැමෝටමත්, හද ගැස්ම චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණ හැම දෙනාටමත් ස්තුතියි.

නැවතත් රංගනයෙන් පෙනී සිටින ලෙස අකිල වෙත එන ඉල්ලීම් බොහෝය. අවසන් වශයෙන් ඒ ගැනත් සඳහන් කරන්නට අකිල අමතක කළේ නැත.

මම සිනමාවෙන් සමුගන්න බලාපොරොත්තුවක් නැහැ. රංගනය පැත්තෙන් මට කරන්න පුළුවන් චරිතයක් ලැබුණොතින් මම භාර ගන්නවා. මේ දවස්වල තවත් නිෂ්පාදකවරු කීප පොළක් සමඟ කතා කරමින් ඉන්නේ ඉදිරියේදී කරන්න ඉන්න නිර්මාණ ගැන.

අකිල සඳකැලුම්ගේ හද ගැස්ම ඔබේ හද ගැස්ම විය හැකියි. රංගන ශිල්පියකු ලෙස සිනමාවට පිය නැගූ මේ කඩවසම් තරුණයා සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස තවත් අලුත් මාවතක ඇවිද යාමට සැරසුණු මේ මොහොතේ අපි ඔහුට සුබ පැතුම් එක් කරමු.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT