Home » පොලිස් රැකියාවෙන් සමුගත්තේ  රඟපෑමට තිබූ ආසාව නිසා

පොලිස් රැකියාවෙන් සමුගත්තේ  රඟපෑමට තිබූ ආසාව නිසා

ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී, රංගන ශිල්පී ජයතිලක ඇඹුල්දෙණිය

by Thanushika
December 19, 2024 10:03 am 0 comment

කුඩා කල පටන් භාරතීය නළු රාජේෂ් ඛන්නාට අසීමාන්තිකව ආදරය කළ ඔහු නිරන්තරයෙන් ඔහුව අනුකරණය කරන්නට ද පෙලඹිනි. කිෂෝර් කුමාර්ගේ හින්දි ගී ගායනයට ඇලුම් කළ ඔහු නිරන්තරයෙන් ඔහුගේ ගී ගායනයන් මුමුණන්නට විය. රාජේෂ් ඛන්නාගේ රංගනයත් කිෂෝර් කුමාර්ගේ ගායනයත් ඔහුව කලාකෙතේ ඇසූ පිරූ තැන් සොයායන්නට උත්තේජනයක් ගෙන එනු ලැබුවේ ඔහුත් කිසිදා නොසිතූ පරිද්දෙනි. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය චිත්‍රපට නළුවෙක් සේම ටවර්හෝල් නූර්ති නාඩගම් නළුවකු සේම ගායකයකු වූ අද අපේ කතා නායකයා. තවත් කුසලතාවයන් බොහොමයකින් පරිපුර්ණ පුද්ගලයෙක් විය.

කලා අධ්‍යක්ෂවරයකු, සහාය අධ්‍යක්ෂවරයකු, චිත්‍ර ශිල්පියෙකු මුර්ති ශිල්පියකු සේම අංග රචනා කලාවේ ප්‍රවීණයකු වූ ඔහු නමින් ජයතිලක ඇඹුල්දෙණියයි. වේදිකාවේත්, පුංචිතිරයේත් සිනමාවේත් ඔහුගේ රංගනයන් ඔස්සේ පේ‍්‍රක්ෂකයන් ඔහුව හඳුන්වන්නේ මිස්ටර් ඇඹුල් කියාය. රංගනයෙන් පුංචි දරුපැටවුන් අතර ජනපි‍්‍රය වූ ඔහුට අදත් පුංචි දරුවන් ආමන්ත්‍රණය කරනුයේ ඇඹුල් මාමා කියාය. පුංචි දූ දරුවන්ගේ ඇඹුල් මාමා මෙන්ම කලා ක්ෂේත්‍රයේ පේ‍්‍රක්ෂකයන්ගේ සිත්ගත් මිස්ටර් ඇඹුල් හා කතාබස් කරමු.

මිස්ටර් ඇඹුල් කියන්න ද ජයතිලක කියන්න ද ජයතිලක ඇඹුල්දෙණිය කියල ආමන්ත්‍රණය කරන්නද?

කොහොම ආමන්ත්‍රණය කළත් මට ප්‍රශ්නයක් නෑ. පුංචි දරුවො නම් මට කතාකරන්නෙ ඇඹුල් මාමා කියල. ක්ෂේත්‍රයේ යාළුමිත්‍රයෝ නම් මිස්ටර් ඇඹුල් කියනවා. ජයතිලක කියලත් කතා කරනවා. මිස්ටර් ඇඹුල් කිව්වහමත් පොඩි විශේෂත්වයක් තියනවා. මමත් ආසයි මිස්ටර් ඇඹුල්ට.

මිස්ටර් ඇඹුල් කලාවට අත්පොත් තබන්නේ කවුරුන් හැටියටද?

හින්දි ගීත ගායකයෙක් හැටියට මම පුංචි කාලේ ඉඳල ආශා කළා කිශෝර් කුමාර් ගායකයාට. ඒ වගේම මම වඩාත් ආශාකළ නළුවා වුණේ රාජේෂ් ඛන්නා. රාජේෂ් ඛන්නා රඟපාන චිත්‍රපට බලන්නත්. කිශෝර් කුමාර් ගායනා කරන ගීත අහන්නත් මම බොහොම කැමැත්තක් දැක්වුවා. මම අවුරුදු උත්සව වල ගමේ වේදිකාවේ කිශෝර් කුමාර්ගේ ගීත ගායනා කළා. අවට ගම්වල උත්සව වල ගීත ගායනයට මට ආරාධනාත් ආවා. ඔය වෙන කොට මට වයස අවුරුදු එකොළහක් විතර ඇති.

හින්දි ගීතයට මෙතරම් පෙම් කරන්නට හේතුවක් තිබුණද?

අපේ තාත්තා සුපිරි මෙකැනික් කෙනෙක්. මාව පුංචි කාලේ එක්කරන් ගියේම හින්දි චිත්‍රපට බලන්න. ඒ නිසාම හින්දි මගේ ඇඟට කාවැදුණා. තාත්තාගේ ආශාව තිබුණේම හින්දි චිත්‍රපටවලට. තාත්තා හැමදාම රෑට වැඩ ඇරිල ඇවිත් කාල බීල ඇඳට වෙලා අතට තට්ටු කරමින් ටවර්හෝල් නූර්ති ගී ගායනා කරනවා. තාත්තා ගේ නම දොන් සනී.

ඔබට සංගීතය ගැන දැනුමක් තිබුණ ද ගීත ගායනයට යොමුවෙන්න පෙර?

කොහෙත්ම නෑ. ඒ වෙනකොට මට වයස අවුරුදු දොළහක පාසල් ශිෂ්‍යයෙක් හිඟුල මානික්කාව විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ අපොස සා පෙළ දක්වා මාවනැල්ල මයුරපාද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඔය කාලයේ තමයි මම වේදිකාවේ හින්දි ගී ගායනා කරන්න පටන් ගත්තේ. මටත් නොතේරුණු හැකියාවක් මගේ ඇඟේ තිබුණා. නිතර නිතර රේඩියෝව අහලා සින්දුවක මියුසික් එක වදිනකොට පටන් ගන්න තැන ඉවර කරන තැන ගැන මට නිරායාසයෙන් වැටහීමක් දැනෙන්න ගත්තා. පිච් එක ටයිමින් එක අනුව මම සින්දුව කියනවා. හොඳට සින්දු කියන නිසා ප්‍රදේශයේ හැම අවුරුදු උත්සව වේදිකාවකම සින්දු කියන්න ආරාධනා ගලාගෙන ආවා.

ගායනය හැරුණු කොට විවිධ හැකියාවන්ගෙන් සුපෝෂිත පුද්ගලයෙක් නේද ඔබ?

සාමාන්‍ය පෙළ විභාගයට අවුරුද්දක් තියල තාත්තා හදිසියේ මිය ගියා ඔය නිසා පවුලේ ආර්ථික අපහසුතා වැඩිවුණා. මමත් අම්මත් නංගිත් විවිධ දේවල් කරමින් ජීවත්වෙලා ආදායමක් හොයන්න පෙළඹුණා. ඔය අතරේ මගේ යාළුවෙක් හිටියා. රංජිත් කියල ඔහු මාව හඳුන්වා දුන්නා. සාලිය බතික් අධිපති සාලිය සමරවික්‍රම මහතාට එවක ඔහු සර්වෝදයෙ බතික් අංශයේ ප්‍රධානියා මම සර්වෝදයේ අවුරුදු පහක් බතික් ගුරුවරයෙක් වශයෙන් සේවය කළා.

සර්වෝදයට ගිය ගමන් ඔබ බතික් ගුරුවරයෙක් වුණේ කොහොමද?

සෝමා උඩබාගේ තමයි ලංකාවට බතික් කලාව ගේන්නේ. සාලිය සමරවික්‍රම මහතා තමයි නමෝවිත්තියෙන් සර්වෝදය තුළ මෙය කර්මාන්තයක් වශයෙන් පටන් ගත්තේ. සාලිය මහතා ළඟ වැඩට එන මම බතික් කලාව ගැන. එතුමන්ගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ මගෙන් බතික් කලාව ඉගෙන ගන්න එන දරුවන්ට මම අවුරුදු පහක් බතික් කලා ගුරුවරයෙක් වශයෙන් ඉගැන්නුවා.

බතික් කලාව ඉගෙනගන්න ආ ඔබ හනික ගුරුවරයෙක් වුණේ කොහොමද?

ගිංතොට පේ‍්‍රමරත්නගේ චිත්‍ර කොපි කරන්න ගියහම මට ඒ ඔරියන්ට් ආර්ට්. නිකන්ම කරන්න පුළුවන්කම ලැබුණා. මට වැක්ස් ටූල් එකෙන් ඩිසයින් එක අදින් නැතුව ඩිසයින් එක ගහන්න පුළුවන්කම තිබුණා. ඒ සුවිශේෂී හැකියාව මට තිබුණ නිසාම සාලිය මහතා මාව උගන්වන පැත්තට යොමු කරගත්තා. මට කොහොමත් පුංචි කාලේ ඉඳලා අඹන්න. අඳින්න පුළුවන් උත්පත්ති හැකියාව මගේ ඇඟ තුළම තිබුණා. ඉතාම සුළු කාලයකින් මට බතික් කලාව ඉගෙන ගන්නත් එක හේතුවක් වුණා. මේ සහජ හැකියාව.

බතික් ගුරුවරයෙක් වූ ඔබ පොලිස් නිලධාරියෙක් ලෙසත් රැකියාව කරනවා නොවේද?

මත ගැටුමක් සමඟ සර්වෝදයෙන් ඉවත්ව මම පොලිස් දොපර්තමේන්තුවේ රැකියාවට යනවා 1972 දී. පොලිස් නිලධාරියෙක් ලෙස මම සේවය කරනවා. නුවර, කෑගල්ල, වරකාපොල ආදි ප්‍රදේශවල සේවය කළා, පොලිස් පරීක්ෂකයෙක් ලෙස උසස්වීමක් ලැබ මාව යාපනයට මාරු කිරිමක් කරනවා. ඔය කාලය වෙනකොට මට හොඳ හැටි නාට්‍ය පිස්සුව ඔළුවට ගහල නාට්‍ය බලන එක වගේම මොනව හරි නාට්‍යයක පුංචි කැල්ලක් රඟපෑම මගේ විනෝදාංශයක් වෙලා තිබුණා. රඟපෑමේ ආශාව වැඩි නිසාම. යාපනයට මාරුවක් ලැබ ගිහින් සතියකින් පොලිස් සේවයේ රැකියාවෙන් සමුගෙන මම ගෙදර ආවා. හරියටම 1980 දෙසැම්බර් 31 වැනිදා ගමට ආපු මම කාටවත් නොකියා බිරියත් දියණියන් ඇඳුම් බෑගයත් අරන් කොළඹ ආවා. නළුවෙක් වීමේ ආශාවට ඒ එන කොට මගේ අතේ තිබූණේ රුපියල් විසිහයයි. කඩුවෙල මගේ යාළුවෙක්ගේ ගෙදරක නැවතිලා නොයෙක් වැඩ කළා. ඔය අතරේ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කළා.

රඟපෑමේ ආශාවට රැකියාව අතහරින ඔබ ප්‍රසිද්ධ වේදිකාවට එක්වන්නේ කොයි ආකාරයෙන්ද?

රඟපෑම් පිස්සුව මට නිරන්තරයෙන් තිබුණ නිසාම යාළුවන් මාර්ගයෙන් ආරංචියක් ලැබුණාම නාට්‍යයක් කරන තැනකට ගිහින් මොනව හරි චරිතයකට පෙනී හිටිනවා. නාට්‍ය සඳහා නළු නිළියන් හොයන දැන්වීමක් පත්තරයක තිබුණොත් ඒක හොයාගෙන ගිහින්. ඉස්ටේජ්එකේ හිටගෙන ඉන්න කෙනෙක්ට හරි පෙනී සිටියා. ඔහොම ඉන්නකොට මගේ යාළුවෙක් වූ ජයම්පති රූපසිංහ මාව එක්ක ගිහින් ලුෂන් බුලත්සිංහලට හඳුන්වල දුන්නා. එතකොට ලුෂන්ගේ පළමු තාරාවෝ ඉඟිළෙති. නාට්‍ය කඩාගෙන ගිහින්. දෙවැනි එකේ රිහසල් පටන් ගන්න අවධිය. ලුෂන් අයියා ඇහුවා සිංදු කියන්න පුළුවන් ද හොඳ කටහඬක් තියනව ද ඈතට ඇහෙන්න කියලා. මට හොඳ ගැඹුරු කටහඬක් තියන නිසා ලුෂන් අයියා. මට චරිතයක් දෙන්න කැමැත්ත පළ කරනවා. මම කියනවා මට රඟපාන්න එපා වේදිකාවේ හතර කොන දැනගෙන ඉන්න ඕනේ. මම ප්‍රසිද්ධ වේදිකාවේ රඟපාන්න කියලා ඒ වෙනකොට මම අහුමුළුවල ගිහින් නාට්‍යවල රඟපෑවත් කවුරුවත් මාව දැනගෙන හිටියේ නෑ.

රංග ශිල්පියෙක් වශයෙන් ද ඔබ ප්‍රසිද්ධ වේදිකාව හඳුනාගන්නේ?

නෑ. වේදිකා පරිපාලකයෙක් ලෙසින්. මට තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ වැඩ කරන්න ලැබුණා. අශෝක අතාවුද හෙට්ටිතමයි ප්‍රධාන වේදිකාපරිපාලක ඔහුට දෙවැනිව තවත් අයෙක් හිටියා. මම හිටියේ අන්තිම තැන. ආර්.ඒ. නිවුටන් කියල කෙනෙකුත් මෙහි ප්‍රධාන වේදිකා පරිපාලකවරයෙක් ලෙසත් වැඩ කළා. එතනදි මම දෙයක් ඉගෙන ගත්තා. ඩිරෙක්ටර්ටන් වඩා බලතල තියෙන්නේ වේදිකා පරිපාලකවරයාට. පුදුම ශක්තියක් තියන තනතුරක් වේදිකා පරිපාලක තනතුර. කොටින්ම කිව්වොත් ඩිරෙක්ටර්වත් එළියට දාන්න පුළුවන් තනතුරක් කිව්වොත් මගේ දැනුමෙ හැටියට හරි. ඔය අතරේ නාට්‍යයේ ප්‍රසිද්ධ නළුවන් අඩුවෙන දාට මම ඒ චරිතය රඟපෑවා. නළුව එන්න පමාවෙලා ෂෝ එක ඇදුණොත් මම රඟපාපු අවස්ථාත් තිබුණා. 1982 වසරේ ලුෂන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ දෙවන නිෂ්පාදනයත් සමඟ මම වේදිකා පරිපාලනයෙන් හා නළුවන් ගේ අඩුවක් ඇති දිනවල ඒ සඳහා රංගයෙන් එක්වෙමින් ප්‍රසිද්ධ වේදිකාවට එක්වුණා.

සහයක වේදිකාපරිපාලක වේදිකාපරිපාලකයෙක් වන්නේ?

ටික කාලෙකින් අශෝක අතාවුදහෙට්ටි ඇඹුල් උඹ තාරාවෝ ඉගිළෙති වේදිකා පරිපාලනය කරපන් කියල නාට්‍ය අතහැරල යනවා. එතැන් පටන් මාත් ආර්.ඒ නිවුටනුත් වේදිකා පරිපාලනය දිගටම කරනවා.

නාට්‍ය රංග ශිල්පියෙක් ලෙස ගමනකට ඔබ මුල පුරන්නේ?

පත්තරයේ දැන්වීමක් තිබුණා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සොක්කානෝ රජානෝ කියල නාට්‍යයක් කරනවා. ඒකට නළුවෝ නිලියෝ හොයනවා කියලා නාරාහේන්පිට ශාලිකා ශාලාවේ සම්මුඛ පරීක්ෂණය තියනවා. එහිදි මාව මේ නාට්‍යයේ කුංචනාද චරිතයට තෝරගත්තා. මේ නාට්‍ය රටපුරා වේදිකාගත වෙන කොට ප්‍රේක්ෂකයන්ගෙන් මට හොඳ පිළිගැනීමක් ප්‍රතිචාරයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. කූංචනාද චරිතය ජනපි‍්‍රය වෙන්න එක හේතුවක් වුණේ. මම මේ චරිතයේ දෙබස් හැසරීම කළේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ හැසිරිම් හා කතාබහ අනුකරණයක් තුළ ඒ නිසාම චරිතය මිනිස්සු අතරට ගියා. ඔය අතරේ පුවත්පත් දැන්වීමක් දැකල සයිමන් නවගත්තේගම මහතාගේ පණ්ඩුකාභය නාට්‍යයේ කාලවේල යක් සෙන්පතියාට රඟපෑවා. එතැන් පටන් මම බොහෝ නාට්‍ය සඳහා දායකවීමේ අවස්ථාව උදාවුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ බකතපස්, අපායේ අවුරුදු, සයිමන් නවගත්තේගමගේ, සුදු සහ කළු, සුබ සහ යස, සිරිල් ආරියපාලගේ ගිවිසුම, රින්ස්ලි වීරරත්නගේ අකුරට වැඩ, ඇන්ටන් ජුඩ්ගේ සකිසඳ මඬල, සුගත් ශාන්ත මොරගහකුඹුරගේ ධර්මිෂ්ටර්ලා, අසංග විජයරත්න මහතාගේ දොස්තර හොඳහිත, හෙක්ටර් කුමාරසිරිගේ තකදොම්බේ, ආනන්ද සේනාරත්නගේ මල් සීයාගේ සංධවනිය ආදි වේදිකා නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වුණා. මේ නාට්‍ය බොහොමයක මම රංගනයෙන් දායක වනවා පමණක් නොව වේදිකා පරිපාලනයෙන් වේදිකා සැරසිලි හා වේදිකා පසුබිම් නිර්මාණයෙන් අංග රචනයෙන්, සහාය අධ්‍යක්ෂණයෙන් පවා ඒ සඳහා සම්බන්ධ වෙනවා.

ඇත්තද මේ වේදිකා නාට්‍යවල ඉන්ටවිව් යනකොට එකම ගීතයකුයි එකම දෙබස් ටිකකුයි කියන පුරුද්දක් තිබුණා කියන්නේ?

මේකයි මට කොයි වේදිකා නාට්‍යයක තෝරාගැනීමේ පරීක්ෂණයකට ගියත් රඟපාල දෙබස් ටිකක් කියල පෙන්වන්න කිව්වහම ඒ හැම අවස්ථාවකම කළේ තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ සෝබාවදේ මෙපුර සිරිවිසිතුරු බලනු මිතුර මගෙ පියකරුවු… ගීතය ගායනාකර ඒ නාට්‍යයේ දෙබස් ටිකක් කීම ඇස්වහක් කටවහක් නෑ. මේ ගීතය කියල නාට්‍යයේම දෙබස් ටිකක් කිව්වත් හරි යන යන නාට්‍යයට මාව තෝරගත්තා.

නාට්‍ය රංගනය පිළිබඳ දැඩි පිපාසයකින් පෙළෙන ඔබ විදෙස් ජාතිකයන් ඇසුරේත් ඒ පිළිබඳ දැනුම ලබන අතරේ රංගනයේත් නියැළෙන පුද්ගලයෙක්?

83 දී පින්ලන්ත තානාපතිවරයාගේ බිරිය වූ හෙලේනා ලෙහ්ති මැකී මහත්මිය යටතේ රංගන අභ්‍යාස වැඩමුළු පුහුණුවකින් පසු MID – SAMMER NIGHTS ශේක්ස්පියර් වේිදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. 84 දී බෙල්ජියම් ජාතික මහාචාර්යවරයකු වූ රුඩි කොරෙන්ස් මහතාගේ රංගන වැඩමුළුවට සහභාගි වී වේදිකා සැරසිලි, ආභරණ. ඔටුනු වේදිකා පසුතල නිර්මාණය සම්බන්ධව හා රංගන අභ්‍යාස පිළිබඳ පුහුණුව ලබා KALIGULA  ඉංග්‍රීසි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ජර්මන් ජාතික වුල්ප් ගැන්ග් මෙයරිං හා ජින්ජර් මෙයරිං යටතේ රංගන වැඩමුළු සඳහා සහභාගි වී පුහුණුව ලැබීමටත් මම එක පැත්තකින් වාසනාවන්ත වුණා.

අසුව දශකයේ ප්‍රසිද්ධ වේදිකාවට එන ඔබ හැත්තෑව දශකයේ සිනමාවට එක්වන්නේ කොහොමද?

1978 තමයි මම මුලින්ම චිත්‍රපටයක රඟපාන්නේ. ඒ වෙනකොට මම පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙක්. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මම එතකොට මාවනැල්ල පොලිසියේ වැඩ කරනවා. නිමලවීර කියල මහත්තයෙක් සමුගනිමි. මා සැමියනි කියල චිත්‍රපටයක් රූපගත කරන්න එනවා. මාවනැල්ල පොලිසියට පොලිසියේ ඕ.අයි.සී. චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ යාළුවෙක් එතනදී චිත්‍රපටයේ තිබු පොලිස් නිලධාරියෙකුගේ කැරැක්ටරය කරන්න ඕ.අයි.සී මහත්තයා මාව ඩිරෙක්ටර්ට හඳුන්වල දෙනවා. ටෝනි රණසිංහ තමයි ඉන්ස්පෙක්ටර්ට රඟපෑවේ. සාජන් හැටියට බර්ටි ගුණතිලක රඟපෑවා. මමත් එතන දෙබස් කියල පොලිසියේ රාළහාමි කෙනෙකුට රඟපෑවා.

මිස්ටර් ඇඹුල් ඔබ අංග රචනා ශිල්පයේ නම් දැරූවෙක් නොවේද?

රංජිත් වික්‍රමසිංහ, වසන්ත විට්ටච්චි තමයි මගේ මේකප් කලාවේ ගුරුවරු ඔවුන් සම්බන්ධ වී වැඩකළ නිර්මාණවල රංගනයේ යෙදෙන පිරිස් වැඩි වූ විට මටත් මේකප් කරන්න භාර කළා. මට අඳින්න පුළුවන් නිසා සමහර නාට්‍යවල සත්තුන්ගේ රූපය මුහුණේ අදින්න තිබුණ අවස්ථාවල මට මේ දෙන්නා ඒ වැඩ මුලින් භාර කළා. පස්සේ මා ලවා මේකප් කිරීම කරන්න පටන් ගත්තා. තරංග රුක්මල්වලත් මට තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ වැඩකරන කොට මේකප් ඉගැන්නුවා. ශි‍්‍රයාණි අමරසේන නිෂ්පාදනය කළ සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ දත් කැකුළු පාලා ටෙලි නාට්‍යයෙන් තමයි මම අංග රචනා ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට එක් වන්නේ. මේ ටෙලි නාට්‍යයේ අංග රචනා ශිල්පියා ලෙස වැඩේ භාර ගන්නේ. තරංග රුක්මල්වල ඔහු වැඩේ භාරගෙන මට පවරලා වෙන තැතක වැඩට යනවා. මේක දැනගන්න අධ්‍යක්ෂක නිෂ්පාදක මට වැඩේ දිගටම කරන්යන්න කියලා නිර්මාණයේ අංග රචනය ටයිටල් එක මට දෙනවා. එතැන් පටන් මම අංග රචනා ශිල්පියෙක් ලෙසත් රංගනයට අමතරව කටයුතු කරනවා.

ටෙලි නාට්‍ය බොහොමයකටත් ඔබ රංගනයෙන් වගේම අංග රචනයෙනුත් දායක වෙනවා නේද?

කෝපි කඩේ, සකලජන, කුණාටුව, පාංබට්ටා, මං ආසයි මට කියන්න, මේ සුරම්‍ය පාරාදීසය, ඔබ එනතුරා, මිහිමඩල ගිනිවදී, මැද ගෙදර ආදී ටෙලි නාට්‍ය සඳහා මම විවිධ චරිත නිරූපණය කළා. දත්කැකුළු පාලා, උදාගිර, කඩතුරාව, සදලි, කුරුසෙ හංදිය, උරුමයක අරගලය, ටෙලි නාට්‍යවල මම රඟපාමින් අංග රචනයත් කළා.. කොහොමත් ටෙලි නාට්‍ය තිහක විතර මම මේ වන විට රඟපාල තියනවා.

පුංචි දරුවන් අතර ඔබ ඇඹුල් මාමා ලෙස ජනප්‍රිය වුණා නේද?

2005 සිට 2015 දක්වා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ මං ආසයි මට කියන්න අධ්‍යාපනික වැඩසටහනේ මම අවුරුදු දහයක් විතර ඇඹුල් මාමා ලෙස රඟපෑවා. වික්‍රමසෙනෙවිරත්න, වික්‍රම මාමා ලෙසත් රඟපෑවා. මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තෙත් වික්‍රමසෙනෙවිරත්න මහත්තයා.

පුංචි තිරයේ ඔබ පේ‍්‍රක්ෂකයා අතර වඩාත් ජනපි‍්‍රය වූ චරිත මොනවද?

මැද ගෙදර ටෙලි නාට්‍යයේ පොලිස් පරීක්ෂක වසන්ත, උරුමයක අරගලය ටෙලි නාට්‍යයේ මඩුගල්ලේ නිලමේ, මේ සුරම්‍ය පාරාදීසය ටෙලි නාට්‍යයේ මතායස්

අසූව දශකයේ ඔබ විදෙස් චිත්‍රපටයක පවා රඟපානවා නොවේද?

1985 දී මට ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනය හරහා ලංකාවේ රූපගත කළ හොලිවුඩ් ඉංගි‍්‍රසි චිත්‍රපයක් වූ Spice on Alibi චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා. ලංකාවේ වේදිකා නාට්‍ය නළුවන් අතරින් සම්මුඛ පරීක්ෂණයක් තියල තමයි ඒ සඳහා මාව තෝරගන්නේ කොමඩි චිත්‍රපටයක් වූ මෙහි මම ඇමරිකන් චර පුරුෂයෙකුගේ චරිතයක් රඟපෑවා. මෙහි මා සමඟ විවාහ වන බ්‍රිතාන්‍ය චර පුරුෂ කාන්තාවගේ චරිතය රඟපෑ Alice creg  මා සමඟ විවාහ වන දර්ශනයේදී මගේ Bestman  හැටියට රඟපෑවේ ගාමිණි ෆොන්සේකා මහතා එතුමා මේ චිත්‍රපටයේ රුසියන් චර පුරුෂයා ලෙස රඟපෑවා. මගේ පසෙකින් චිත්‍රපටයේ ජර්මන් චර පුරුෂයා ලෙස රඟපෑවේ වර්නන් බ්‍රදර්ස් හිමිකරු වූ ඩේවිඩ් වර්නර්

අනුව දශකය වන විට ඔබ සිංහල චිත්‍රපට කිහිපයකම රංගනයෙන් සේම අංග රචනයෙනුත් දායක වීමක් සිද්ධ කරනවා නේද?

ටැක්සි ඩයිවර්, වාසුලි, මදුවතී, සිතක වියරුව, උතුරු කුණාටුව, අලි පැටියෝ ඔයයි මමයි, මගේ යාළු මාළු 02, මගේ පුංචි අලි පැටියා, Mister Colombo  ආදී චිත්‍රපට කීපයක මම රංගනයේ නියැලෙමින් අංග රචනයත් කළා.

චිත්‍රපටයේ මුල් අදිරයේ රූපගත කිරීම් පටන් ගන්න කොටම නළුවත් නිළියත් පෙම්වතුන් වෙලා චිත්‍රපටයේ අවසන් අදියර කරනකොට ඔවුන් විවාහක අඹුසැමියන් වෙලත් හිටිය චිත්‍රපටයේ අංග රචනා ශිල්පියා වුණෙත් ඔබ නේද මිස්ටර් ඇඹුල්?

කඳපොළ කුමාරතුංග අධ්‍යක්ෂණය කළ මදුමතී චිත්‍රපටයේ මුල් අදියර රූපගත කරනකොට තමයි. එහි ප්‍රධාන චරිත කළ පි‍්‍රයංකර පෙරේරාත් දිල්හානි අශෝකමාලාත් පෙම්වතුන් ලෙස මට හමුවුණේ ඊට පස්සේ. විරාමයක් ලැබ නැවත මේ චිත්‍රපටය රූපගත කිරිම් පටන් ගන්න කොට ප්‍රියංකරත් දිල්හානිත් ඒ චිත්‍රපටයේ නැවත රූපගත කිරිම් වලට ආවේ ඔවුන් දෙපළ විවාහ වූ අඹුසැමියන් ලෙසින්. ඒ අවස්ථාවේ අඹු සැමියන් ලෙස රඟපාන්න ආපු ඔවුන් දෙපළ ගේ අංග රචනයත් ඔවුන් දෙපළ මුලදී පෙම්වතුන් වූ අවධියේ අංග රචනයත් සිදු වුණෙත් මගේ අතින්. අපි ලව් කරපු වෙලෙයි බැදපු වෙලෙයි දෙපාරම මේකප් කළේ උඹනේ ඇඹුල් කියල දෙන්නම මට අදටත් විහිළු කරනවා.

අංග රචනා ශිල්පියෙක් ලෙස ඔබ ආයතන ගතවත් වැඩකරනවා නේද?

යංග් ඒෂියා ටෙලි විෂන් ආයතනයේත් ස්වර්ණවාහිනී ආයතනයේත් මම අංග රචනා ශිල්පියා හැටියට වැඩ කරනවා. ආසියාවේ හොඳම වාර්තා වැඩසටහනට හිමි සම්මානයත් මම දිනාත්තා මම කළ “අඩු කුලේ කියාලා” නමින් කළ වැඩසටහන යංග් ඒෂියා ටෙලිවිෂන් ආයතනය තුළ කටයුතු කරනකොට ආසියාවෙන්ම හොඳම වාර්තා වැඩසටහනට හිමි දෙවැනි ස්ථානය මට ලැබෙනවා. මම කළ වැඩසටහනට. ඊට පස්සේ මම එයින් ඉවත්වෙලා ස්වර්ණවාහිනියට යනවා.

මිස්ටර් ඇඹුල් ගෝලයෝ පරපුරක් එහෙමත් හදන්න ඇති නේද?

මම කවදාවත් වැඩපුරුදු කරල මේ කර්මාන්තයට ගෙනාපු කිසිම කෙනෙක්ව මගේ ගෝලයෝ කියල හඳුන්වල දෙන්නෑ. මම කියන්නේම ඔවුන් මගේ යාළුවෝ කියල විතරයි. ගෝලයෝ කියල ලිස්ට් ලියල පෙන්වන්නෙත් නෑ. රබර්බෝල වතුරෙ තියල උඩින් වහගෙන ඉන්න කන් තියෙයි. කොහෙන් හරි ඉඩක් ආ තැන වතුරෙන් එළියට එයි. මම කරන්නේ අර එළියට එන කෙනාට උදවුවක් වශයෙන් අවශ්‍ය තැනට සම්බන්ධ කරල දෙන එක. ඊට පස්සේ ඒ පුද්ගලයාගෙන් මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ගෞරවයක් මට ඕනෙත් නෑ. මගේ ගෝලයෙක් කියල කියන්නත් ඕනෙ නෑ. මම මොකටද මගේ ගෝලයෙක් කියල ඒ පුද්ගලයාව පහළින් තියන්නේ යාළුවෙක් කිව්වහම මොකුත් නෑනේ. විවිධ අංශයන්ගෙන් මගේ උපදේශනය ලැබු හයසීයක් විතර පිරිසක් ඉන්නවා. ඒ එක්කෙනෙක්ගේවත් මම නමක් කියන්නෑ. ඒ අය කිව්වොත් ඇරෙන්න සමහරු අද වෙනකොට මා සමඟ සබඳතාවක් නැතුව අතහැරලම ගිහින් තියනවා. කීප දෙනෙක් විතරක් අදටත් මා සමඟ සබඳතාව තියාගෙන ඉන්නවා. ගුරු ගෞරවය තියන ඒ හතර පස්දෙනා මගේ උපන්දිනයට අවුරුද්දට ඇවිත් මාව බලල යනවා. ඒ කාටත් මම ගෝලයෝ කියල නම් කොහෙත්ම කියන්නේනෑ. ඒ අයවත් මම හඳුන්වා දෙන්නේම මගේ යාළුවෝ කියලා.

මිස්ටර් ඇඹුල් බැදිම් වලින් ඈත්වෙලාද ඔබ?

මට දැන් වයස අවුරුදු 73ක්. තණ්හාව, කෝපය, ක්‍රෝධය, වෛරය, තව කෙනෙක් කෙරෙහි ඇති කරගන්නා කුහකම, ආදින් මම හඳුන්වන්නේ මෝඩ ලව් කියලා. ඒක ඇති කරගත්තහම නිදාගන්න ගියත් නාන්න ගියත් ආදරය කරන්න ගියත් මතක් වෙනවා. ඒක තියන ලොකුම ගොන්ම බැඳීමක්. මම ඒක අතහැරල ඉන්නේ ඒකයි. මම ගෝලයන්ටත් යාළුවෝ කියන්නේ ඒ බැඳීම් අතහැරලා. ජීවිතය අපි මිනිහෙක් වශයෙන් විදින්න ඕනේ. ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නොවෙයි. ඒක නිසා මෝඩලව් අතහැරල ඉන්නවා නම් හරිම ෂෝක්.

ඔබ නියැළී කාර්යන් තුළ වඩාත් තෘප්තිමත්ව කතා කරන්නේ?

වේදිකාව පිළිබඳ වේදිකාවේ මිනිස්සු දෙන චියර් එක ආයෙ කොහෙන්වත් ගන්න බෑ. ඒ චියර් එක අපිව තව තව තරුණ කරනවා. ඒක මට හැමදාමත් දැනෙනවා.

මේ දවස්වලත් ඔබ වේදිකාවේ පෙරළි කරනවාද?

හෙක්ටර් කුමාරසිරිගේ තක දොම්බේ වේදිකා නාට්‍යයේ පොලිස් නිලධාරී ජාන්ගේ කැරැක්ටරය කරනවා.

වේදිකාවේ චියර් එක ඇගට දැනුණු නිර්මාණත් ඇති?

සොක්කානෝ රජානෝ, ධර්මිෂ්ටර්ලා, දොස්තර හොඳ හිත, තකදොම්බේ, පණ්ඩු කාබය, සුබ සහ යස, බක තපස්, අපායේ අවුරුදු

රඟපානවට, සින්දු කියනවට දුවගෙත් පුතාගෙත් තහනමක් නැද්ද?

කොහෙත්ම නෑ. එයාල මට සිංදු කියන්න කියල බලකරනවා මේ වෙනකොට මම සිංදුවක් කියල රෙකෝඩ් කරලත් ඉවරයි. පුතා වරුණ බණ්ඩාර ඇඹුල්දෙණිය අබුඩාබිවල යුනිවර්සල් ස්ටුඩියෝවේ. විකාශන ඉංජිනේරු අංශයේ සේවය කරනවා. දුව සංජීවනි ඇඹුල්දෙණිය, වේදිකා නිළියක්, මෝස්තර නිරූපිකාවක් චිත්‍රපට නිළියක් අංග රචනා ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

අද මේ ක්ෂේත්‍රයට එන නව පරපුර ගැන මොකද හිතෙන්නේ?

සමහරු මේ ක්ෂේත්‍රයට එනවා. මොකුත් කරගන්න බැරි වුණාම මම කියන්නේ එහෙම අය මේකට එන්න එපා. විෂයක් වශයෙන් මොනදේ වුණත් හදාරල තමන්ට බරක් හරයක් අරගෙන අවබෝධයෙන් මේ ක්ෂේත්‍රයට එන්න කියලා අද ලොකේෂන් ගියහම ස්ක්‍රිප්ට් එක අතට එන්නේ. ඉස්සර මාසෙකට කලින් අපේ අතට ආවේ. නමුත් අපි ලැබෙන දෙයින් දෙයක් කරන්න උත්සාහ ගන්නවා අපේ දෙයක් කරගෙන නිකන්ම දෙබස් කීම නොවෙයි රඟපෑම කියන්නේ. චරිතයක් තුළ ජීවත්වීම තමයි රඟපෑම කියන්නේ.

ඔබ මේ වෙනකොට එක ගීතයක් මියුසික් කරල තියනවා කිව්වා නේද? ගායනය හැරුණු කොට ගීත රචනයට ඔබ සුදානම් නැද්ද?

මේ වෙනකොට මම ගීත 75ක් රචනා කරලත් තියනවා. පටිගත කළ ගීතයේ සංගීතයත් මගේ වොයිස් එකත් මගේ පුරුද්දත් තියනවා ඉදිරියට කරන දේ ගැන කයිවාරු නොගැසීම මට මගේ ගීත රචනා සංගීතවත් කරගැනීම අද ගැටලුවක් වෙලා තියනවා. මොකද තනුව මගේ නම් ගීත ගායනය මගේ නම් ගීත රචනය මගේ නම් සංගීතඥයෙකුගෙන් උදවු ඉල්ලපුවහම ඔහු එයාගේ තනුවක් කරගෙන වචන වෙනස් කරල කියන තාල වෙනස් කරල කරන්න ලෑස්තියි. ඉතිං මට එහෙම කරල හරියන්නෑ. එතනදි සංගීතඥයෝ එක්ක සමහර දේවල් මට හරියට කරගන්න බැරිවෙලා තියනවා. මම කැමැති නෑ මගේ දෙයක් කපල කොටල වෙනස් කරනවාට. හැබැයි මම පුතයි දුවයි එක්ක එකතුවෙලා නිර්මාණ කොල්ල කන් නැති කෙනෙක් එක්ක මේකට සාධාරණයක් කරගන්න බලාපොරොත්තු වෙනවා.

අංග රචනා පුහුණු පාඨමාලාව සකස්කිරිම සඳහා පත්කළ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක් නේද ඔබ?

වෘත්තීය කටයුතු අමාත්‍යාංශය මඟින් චිත්‍රපට ටෙලි නාට්‍ය වේිදිකා නාට්‍ය හා සියලු මාධ්‍ය වෙනුවෙන් සකස් කළ අංග රචනා පුහුණු පාඨමාලාව සකස් කිරීම සඳහා පත්කළ ප්‍රධාන උපදේශක මණ්ඩලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන්නත් අවස්ථාව උදා වුණා.

ජාත්‍යන්තර ගීත නිර්මාණයක් වෙනුවෙනුත් ඔබ අංග රචනයෙනුත් දායක වුණා නේද?

බ්‍රිතාන්‍ය ගායිකාවක වූ කේට් මෝස් ‘සුනාමියෙන් පසු ලංකාවට පැමිණ සුනාමි විපත අලළා කරන ලද ජාත්‍යන්තර ගීත නිර්මාණයේ ඇයත් සමඟ රූපරචනයට පෙනී සිටි පිරිස් අංග රචනය කළේ මම. මේ අවස්ථාවට මට උදාකරල දුන්නේ Films Team ආයතනයේ ප්‍රධානී ඒන්ස්ලි ද සිල්වා මහතා මේ සඳහා මා සුදුසු බවට නිර්දේශකර තිබුණේ යංග්ඒෂියා. ටෙලි විෂන් ආයතනය හා සේව්ද චිල්රන්ස් ෆන්ඩ් ආයතනය මඟින්.

සම්මාන ගොන්නක් අතරේ ඔබ ඇගැයුම් පැසසුම් පවා ලබනවා නොවේද?

1985 විකල් සමයම වේදිකා නාට්‍යයේ හොඳම වේදිකා නිර්මාණ ශිල්පියා ලෙස යෞවන සම්මානය 1990 දී හොඳම අංග රචනා ශිල්පියා ලෙස සමෘද්ධි යෞවන සම්මානය 2018 වසරේ නළුවෙක් හා අංග රචනා ශිල්පියෙක් ලෙස කළ සේවය වෙනුවෙන් කැලණි දියවර – අභිස්තව සම්මානය. 2019 වසරේ නළුවෙක් හා අංග රචනා ශිල්පියෙක් ලෙස කළ සේවයට සුවඳ පත්ම රජත මයුර සම්මානය මේ වන විට මට ලැබිල තියනවා.

ලිපිනය මතක් කළොත්?

අංක 69, සිංහපුර, හෝකන්දර දකුණ.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT