Home » පේරාදෙණිය සරසවියට සිනමා වසන්තය රැගෙන ආ හන්තාන සිනමා උලෙළ

පේරාදෙණිය සරසවියට සිනමා වසන්තය රැගෙන ආ හන්තාන සිනමා උලෙළ

by Thanushika
February 20, 2025 10:57 am 0 comment

ලෝකයේ තිබෙන කීර්තිමත් සහ සුන්දරතම විශ්වවිද්‍යාලවලින් එකක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාල හැඳීන්විය හැකිය. සුන්දර හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි නදිය අතර පිහිටි මනරම් භූමියක පිහිටා තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා මාතාවට සුවිශේෂී කලාකරුවන් රැසක් දායාද කළ අපූරු කලාකෙතකි. දැනුම බෙදන සරසවියකි. කා අතරත් වැඩි වශයෙන් කියැවෙන්නේද පේරාදෙණිය සරසවිය යනුවෙනි.

විශේෂයෙන් හෙළ සිනමාව පෝෂණය කළ අග්‍රගණ්‍ය සිනමාකරුවන්, නාට්‍යවේදීන් බිහි කරන්නට පේරාදෙණිය සරසවියට හැකිවී තිබුණි. අතීතයේ බිහිවූ අතිවිශිෂ්ට නිර්මාණයන් බිහිකිරීමට ඔවුන්ට මෙම අපූරු බිමෙහි සුන්දරත්වයද බලපාන්නට ඇත. අතීතයේ මෙහි පැවති නාට්‍ය උළෙල , සිනමා උළෙල නිසා පේරාදෙණිය සරසවිය මඟුල් ගෙදරක සිරිගත් බව සරසවියට පැවසුවේ 83/84 ශාස්ත්‍රපීඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ පාලිත දේදුනුපිටිය මහතාය. ඔහු හන්තාන සිනමා උළෙලේ මෙහෙයුම් කමිටු ප්‍රධානියාය. පෙබරවාරි 17 දා සිට 21 දක්වා (හෙට) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරසවි කලාගාරයේදී පැවැත්වෙන හන්තාන සිනමා උළෙල 2025 සංවිධාන කරනු ලබන්නේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්‍ය මණ්ඩලය, මහා ශිෂ්‍ය සංගමය, කලා ශිෂ්‍ය සංගමයේ සහාය ඇතිව ශාස්ත්‍රපීඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සමඟින් 83/84 කණ්ඩායමයි. පේරාදෙණිය සරසවියට සිනමා වසන්තය රැගෙන ඒමට කටයුතු කළ මෙහෙයුම් කමිටු ප්‍රධානී පාලිත දේදුනුපිටිය මහතා සරසවිය සමඟින් එක්වූයේ හන්තාන සිනමා උලෙළ පැවැත්වෙන අතරතුර ඒ පිළිබඳ තොරතුරු ඔබ හමුවේ තබන්නටයි.

මුලින්ම ඔහු ගැන තොරතුරු ස්වල්පයක් ඔබවෙත ගෙන ආ යුතුය.

අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 83/84 ආදි විද්‍යාර්ථින්ගේ කණ්ඩායම. මම ඇතුළු අපේ කණ්ඩායම අවුරුදු හතක් විශ්වවිද්‍යාලයේ සිටියා. එවකට භීෂණකාරී තත්වයක් රටේ පැවතුණ නිසා. ඒත් ඒ ගෙවුණු අවුරුදු හතේදී අපි ගොඩක් වැඩ කළා. විශේෂයෙන් කලා කටයුතු. මම එකල නාට්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළා. නාට්‍ය උළෙල, සිනමා උළෙල අපි සංවිධාන කළා. මම විශ්වවිද්‍යාලය තුළ නමක් දිනාගෙන සිටි චරිතයක්. මම ඉගෙන ගත්තෙ ශාස්ත්‍රපීඨයේ. ඒ කාලේ දේශපාලන සංගම්වල ක්‍රියාකාරීත්වය විශ්වවිද්‍යාලය ඇතුළේ ජයටම තිබුනා. මම එතරම් ඒවාට සහභාගි වුණේ නැහැ. ඒත් මම විජය කුමාරතුංග මහතාගේ පක්ෂයට කැමැත්තක් දැක්වූවා. එහෙම වෙන්න ඇත්තේ සිනමාවේ අපි දැකපු අපූරු චරිතයක් නිසා වෙන්න පුළුවන්. පසුව මම ගුරුවරයෙක් විදියට වැඩකළා අවුරුදු පහක් පමණ. නාට්‍ය සහ රංග කලාව, සිනමාව වැනි විෂයයන් තමයි මම ඉගැන්වූයේ. ඉන්පසුව මම පෙට්‍රෝලියම් එකේ කළමනාකරුවෙක් විදිහට වැඩ කළා විශ්‍රාම යනතුරුම. එසේ වැඩ කළත් සිනමාවට මගේ සිත තුළ තිබූ ආසාව, උනන්දුව අඩු වුණේ නැහැ.

ඒ ඔහු පිළිබඳ කෙටි හැඳීන්වීමකි. පේරාදෙණිය සරසවියට සිනමා වසන්තය උදාවන මේ පෙබරවාරියේ විශ්වවිද්‍යාල භූමිය තුළ තිබෙන තුරුලතා මලින් හැඩවී තිබුණේ හන්තාන සිනමා උළෙල පිළිගන්නට සැරසුණාක් මෙනි.

අතීතයේ අද මෙන් නොව සිනමාව සමඟ මුසුවූ සිනමාකරුවන්ගේ නිර්මාණවලට අඩිතාලම ඉදිවූයේ මේ මනරම් භූමියට පින්සිදු වන්නටය. විශ්වවිද්‍යාලයේ පැවති සිසු අරගලය, දේශපාලන සංගම් මෙන්ම සිනමා උළෙල, සිනමා කතිකා, වලේ මැවුණු වේදිකා නාට්‍ය යන මේ සියල්ලටම පේරාදෙණිය සරසවි මාතාව ඉඩහසර ලබා දුන්නේ තම සෙවණේ ශිල්ප ලබන සිසු පරපුර වෙනුවෙනි.

එයට ගරුකරමින් පේරාදෙණිය සරසවියට අභිමානයක් එක් කර පසුකලෙක ශ්‍රී ලංකාද්වීපයට පමණක් නොව ලෝකයට ලාංකික සිනමා නිර්මාණ ගෙනගිය සිනමාකරුවන් බිහිකරන්නට මේ පිංබිම වාසනාවන්ත විය. මේ සියලු දේ ගැනත් හන්තාන සිනමා වසන්තයේ මූලාරම්භය සිදූවූ සැටි පාලිත මහතා මෙසේ විස්තර කළේය.

අපේ කාලයේ සිටි සිසුන් සිනමාව ගැන විශාල උනන්දුවක්, ඇල්මක් දැක්වූවා. චිත්‍රපට බලන්න අපි නිතරම උනන්දු වුණා. සතියකට එක චිත්‍රපටයක් හරි බැලුවා ඒ කාලේ. සිනමා උළෙල පැවැත්වූවා. නාට්‍ය පෙන්නුවේ වලේ. නාට්‍ය උළෙල තියෙන දවස්වලට පේරාදෙණිය සරසවිය මඟුල් ගෙයක් වගේ. සංවාද කේන්ද්‍රයක් තිබුණා. අපි චිත්‍රපටයක් බලලා ඉවර වෙලා මිතුරු පිරිස එකතු වෙලා ඒ පිළිබඳ කතා කළා. ඒ කාලේ එක එක ෆැකල්ටි වලින්, විශ්වවිද්‍යාලයේ එක් එක් අංශ වලින් චිත්‍රපට පෙන්නුවා. ඒ කාලේ ටිකට් එකක් රුපියල් දෙකයි.

ඒ කාලේ චිත්‍රපටයක් අරගෙන පෙන්වන එක පහසු කාරියක් නෙවෙයි. දැන් වගේ පහසුකම් එදා තිබුණේ නැහැ. ඉස්සර චිත්‍රපට ගැන වෙනම අයිතිවාසිකම් කියන පිරිසක් සිටියෙත් නැහැ. මම පොඩි සිදුවීමක් කියන්නම්.

අපි ඒ කාලේ එක් අවස්ථාවක තීරණය කළා ධර්මසිරි ගමගේ මහත්මයාගේ පූජා චිත්‍රපටය පෙන්වන්න. මම තමයි චිත්‍රපටය ගේන්න බාර ගත්තේ. අද වගේ ජංගම දුරකථන තිබුණෙත් නැහැ ඒ කාලේ. මම එතුමාව හොයාගෙන කොළඹ ආවා. ධර්මසිරි ගමගේ මහත්මයා පදිංචි වෙලා හිටියේ දෙහිවල ප්‍රදේශයේ. මම ඒ ගෙදර හොයාගෙන ගියා. ඒ යනවිට එතුමා නිවසේ සිටියේ නැහැ. එතුමා එනකල් මම සවස් වනතුරු සිටියා. සවස් වරුවේ එතුමා නිවසට පැමිණියා. මට බොහෝම කාරුණාවන්ත ලෙස එතුමා කතාකළා.

‘ පුතේ චිත්‍රපටය දැන් මාගාව නෙවෙයි තියෙන්නේ ඒක දැන් අයිති ගාමිණී ලක්ෂමන් ප්‍රනාන්දු මහත්මයාට. එතුමා ඉන්නේ ආඬිඅම්බලමේ. එතුමාව ගිහින් මුණගැහෙන්න කියල මට ධර්මසිරි ගමගේ මහත්මයා කිව්වා.

මම එදා ආපසු ආවේ නැහැ. දෙහිවල ඉඳන් ආයේ කොළඹ ඇවිත් ආඬිඅම්බලමට ගියා. එහිදී මට ගාමිණී මහත්මයා මුණගැසුණා. එතුමා විදේශ ගත වෙලා ඒ කාලේ ලංකාවට ඇවිත් හිටියේ. එතුමා සිනමාවට ඉතාමත් ලැඳී කෙනෙක්. එතුමා පොරොන්දු වුණා මට චිත්‍රපටය ලබා දෙන්න.

මම මගේ නැදෑ ගෙදරක එදා නතර වුණා. පසුවදා ගිහින් චිත්‍රපටය වෙනුවෙන් රුපියල් අසූවක් චිත්‍රපට සංස්ථාවට ගෙව්වා. ඊට පසු දිනෙක රීලීස් ටික එවලා තිබුණා පේරාදෙණිය දුම්රියපොළ වෙත. ඒ විදිහට තමයි අපි ඒ කාලේ චිත්‍රපට අරගෙන පෙන්නුවේ.

“නව කතාවෙන් සිනමාවට කියලා සිනමා උලෙළක් කළා. නවකතා ආශ්‍රයෙන් තැනුණු චිත්‍රපට තමයි පෙන්නුවේ ඒ උලෙළේදී. ඊට අමතරව එක් එක් සිනමාකරුවන්ගේ සිනමාපට අයත් උළෙල පැවැත්වූවා. ඉන්පසුව අප ඒ පිළිබඳ වෙනම කතිකාවතක් සංවිධාන කළා. ඒ කාලේ සිසුන් බොහෝ පිරිසක් ඒකට සම්බන්ධ වුණා.

හන්තාන සිනමා උලෙළ පවත්වන්න ප්‍රධානතම අරමුණ වුණේ වත්මන් සිසුන්ට සිනමාව පිළිබඳ උත්තේජනයක් ඇති කිරීමට. මුලින්ම යෝජනා වුණේ එක් චිත්‍රපටයක් පෙන්නල ආධාර රැස්කර ගැනීම. ඒත් අපි හිතුවා ඊට වඩා පුළුල් ලෙස මේ දේ කරන්න. ඒ අනුව තමයි තීරණය කළේ සිනමා උලෙළක් විදිහට තියන්න. අපේ කාලේ සිනමා උලෙළක් නිතරම තිබුනා විශ්වවිද්‍යාලයේ. ඒත් දැන් තත්වය වෙනස්. දැන් සිනමා උලෙළ කොළඹට පමණක් සීමා වෙලා. අපි තීරණය කළා වාර්ෂිකව හන්තාන සිනමා උළෙල පවත්වන්න. මෙය කලා පීඨයෙන් වාර්ෂික කෙරෙන වැඩක්. ඒ අනුව අපි මේ සිනමා උළෙල වාරිෂිකව කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ උප කුලපතිවරයාත් ඒ තීරණයට කැමැත්ත ප්‍රකාශ කළා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිතර සංගීත සංදර්ශන පැවැත්වෙනවා. ඒවට සිසුන් ඇබ්බැහි වෙලා. ඒ එන සංගීත කණ්ඩායම්වලට ගෙවන මුදලත් ඉහළයි.

ඒ නිසා අපි හිතුවා සිසුන්ගේ සිනමාවට තියෙන උත්තේජනය වැඩි කරන්න. ඔවුන්ව සිනමා සංස්කෘතියට හුරු කළයුතුයි.

මේක ළමුන්ගේ වරදක් නෙවෙයි. පවතින අධ්‍යාපන රටාව වෙනස් කළ යුතුයි. සිනමා, නාට්‍ය රසවින්දනය ගැන අධ්‍යාපනය ක්‍රමය තුළ කතා වෙන්නේ නැහැ.

තවත් ගැටලුවක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ කලාගාරයේ ප්‍රොජෙක්ටර් එක දිරාපත් වෙලා කලාගාරයේ මැද යකඩ කණුවක තමයි ප්‍රොජෙක්ටර් එක තියල තිබුණේ. චිත්‍රපටයක් පෙන්වන්න තරම් වාතාවරණයක් එතන තිබුණේ නැහැ.

මේ පිළිබඳ මා උපකුලපතිවරයාට දැන්වීමෙන් පස්සේ ඔහු කිව්වා කමක් නැහැ අවශ්‍ය දේ කරන්න කියලා.

ඒ නිසා ගුණාත්මක බැවින් යුතුව සිනමා උලෙළ පවත්වන්න අවශ්‍ය නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ සහය ලබා ගත්තා. ඒ සඳහා අපට යම් මුදලක් ගෙවීමට සිදුවුණා.

අපි මේ උලෙළ පවත්වන්නේ ආදායමක් ලබන්න නෙවෙයි. ලාභ බලාපොරොත්තුවෙනුත් නෙවෙයි. අපිට අවශ්‍ය අතීතයේ තිබුණා වගේ පේරාදෙණිය සරසවිය ඇතුළේ සිනමා සංස්කෘතියක් නැවතත් ඇති කරන්න. ඒ බීජය වපුරවන්න තමයි අපි මේ උත්සාහ ගන්නේ.

බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, හංස විලක්, කවුරුවත් දන්නේ නැහැ, ලූබර් පණ්ඩු (දෙමළ) යන චිත්‍රපට පහ හන්තාන සිනමා උලෙළේදී ප්‍රදර්ශනය කරන්න අපි තීරණය කළා. හෙට දිනයේ (21) දෙමළ චිත්‍රපටය පෙන්වනවා. ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක අපේ සිංහල සිනමාවේ නම රැන්ඳූ සිනමාකරුවන්. මෑත කාලයේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන බෙනට් රත්නායකගේ චිත්‍රපටයකුත් ඇතුළත්.

පළමුවෙන් අපි හිතුවේ චිත්‍රපට තුනක් පමණක් පෙන්වන්න. පසුව තීරණය කළා චිත්‍රපට පහක් පෙන්වන්න. හන්තානේ කතාව තමයි මුලින්ම පෙන්වන්න තීරණය වුණේ. ඒත් එම චිත්‍රපටය ලබා ගැනීමේදී ගැටලු මතුවූ නිසා ඒ තීරණය ඉවත් කරල බඹරු ඇවිත් ඒ සඳහා යොදා ගත්තා. බඹරු ඇවිත් අධ්‍යක්ෂණය කෙරුවේ ධර්මසේන පතිරාජයන්. ඔහුත් සිනමාවට මූලාරම්භය ලබා ගත්තේ පේරාදෙණිය සරසවියයෙන්. බඹරු ඇවිත් ලංකාවේ නිර්මාණය වූ විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්.

දෙවැනි දවසේ අපි ප්‍රදර්ශනය කළේ කරුමක්කාරයෝ. තිස්ස අබේසේකරයන්ගේ සිනමා නිර්මාණයක් වූ කරුමක්කාරයෝ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ වර්ගීකරණය වූ කලාත්මක ධාරාවේ චිත්‍රපටයක්. එය වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන කෙරුණු චිත්‍රපටයක් නෙවෙයි.

තෙවැන්න ලෙස තිරගත කළේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංස විලක් චිත්‍රපටය. ස්වර්ණා මල්ලවාරච්චි රංගවේදිනිය, ධර්මසිරි බණ්ඩාරනායකයන් සහ හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් හැඩවූ හංස විලක් ජනප්‍රිය චිත්‍රපටයක්. මේ චිත්‍රපට තුනම අතීතයේ නිර්මාණය වූ චිත්‍රපට. ඒ අතරට මෑත කාලයේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න අපි තීරණය කළා. ඒ අනුව බෙනට් රත්නායකගේ කවුරුවත් දන්නෙ නැහැ ප්‍රදර්ශනය සඳහා තෝරාගත්තා. බෙනට් රත්නායයන් ඉතා නිහතමානී කරුණාවන්ත පුද්ගලයෙක්. කිසිම පැකිළීමකින් තොරව ඔහු අපිට චිත්‍රපටය ලබා දුන්නා. සිංහල චිත්‍රපට අතරට ලූබර් පණ්ඩු කියන දෙමළ චිත්‍රපටයත් උලෙළ සඳහා තෝරාගත්තා. එය අපට තෝරා දුන්නේ පේරාදෙණිය සරසවියේ දෙමළ අංශයේ ශිෂ්‍යයෙක් විසින්.

හන්තාන සිනමා උලෙළ වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන අපේ 83/84 කණ්ඩායම ගැනත් මේ අවස්ථාවේ කතාකළ යුතුයි. විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසුව සෑම කණ්ඩායමක්ම වගේ සුහද හමුවක් පවත්වනවා. සල්ලි තියෙන උදවිය තමයි ඒ සඳහා එකතු වෙන්නේ. ඒ අතරින් අපේ කණ්ඩායම විශේෂයි. ඕනෑම තරාතිරමක ආදි සිසුන් අපේ කණ්ඩායමට සුහදව පිළිගන්නවා. විශ්වවිද්‍යාල තුළ 83/84 කණ්ඩායම කැපී පෙනෙන කණ්ඩායමක් වෙලා තියෙනවා. අපේ කණ්ඩායමෙන් සමරු කලාපයක් නිකුත් කළා. එය අනෙකුත් විශ්වවිද්‍යාල අතරත් හුවමාරු වුණා. මම අවුරුදු 12ක් ලේකම් ධූරය දැරුවා.

83/84 කණ්ඩායමේ තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ටිකිරි රත්නායක සහ සිනමා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ මොහාන් නියාස් හිටියේ. ඔවුන් දෙදෙනා දැන් සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෝ. මමත් කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට ටිකිරි රත්නායක සමඟ වැඩ කරල තියෙනවා. කඳපොළ කුමාරතුංගත් මෙම සරසවියෙන් බිහිවූ කෙනෙක්. මම ඔහු සමඟත් චිත්‍රපට දෙකක වැඩකළා. නම් වශයෙන් සඳහන් නොකළත් තවත් බොහෝ විශිෂ්ට කලාකාමී චරිත පේරාදෙණිය සරසවියට නෑකම් කියනවා.

අපේ කණ්ඩායමෙන් සිනමාවට පිවිසි මොහාන් නියාස් ගැනත් වචනයක් කිව යුතුයි. ඔහු දක්ෂ නිර්මාණකරුවෙක්.

යසෝමා, අනුරාගයේ අනන්තය ,සඳ යහනට, කළු සුදුමල්, එක මලක පෙති , මැරෙන්නෙ නෑ , ශ්‍රී වික්‍රම , බඹර වසන්තේ වැනි චිත්‍රපට නිර්මාණය කළ ඔහු තිර රචකයෙකුද වෙනවා. මෙවැනි චරිත පේරාදෙණිය සරසවියෙන් බිහිවීම ගැන අපිට තියෙන්නේ ආඩම්බරයක්.

අතීතයේ එවැනි චරිත බිහිවුවත් සිනමාව පැත්තෙන් වර්තමානයේ එවැනි චරිත පේරාදෙණිය සරසවියෙන් බිහිවී නැති තරම්. එහෙත් කෙටි චිත්‍රපට නිර්මාණ කරන තරුණ පිරිසක් සිටිනවා. සිනමාව ගැන තියෙන උනන්දුව අඩුයි වත්මන් සිසු පිරිසගේ. එය අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක්. අද ඉගෙන ගන්න ළමයින්ට විවේකය අඩුයි. රසවින්දනය සඳහා වෙලාවක් නොමැති තරම්. අනෙක් කාරණය වන්නේ චිත්‍රපටයක් බලන්න යන්න ඔවුන්ට ටිකට්පතේ වියදම් දරන්න බැහැ. ටිකට් එකක මිල අධිකයි. මාස හයකට සැරයක්වත් චිත්‍රපටයක් බලන්න නොමිලේ ටිකට්පතක් ලබා දෙන්න පුළුවන් වැඩ පිළිවෙළක් දියත් කරන්න හැකි නම් ඔවුන් නිරායාසයෙන්ම සිනමාව කෙරෙහි උත්තේජනයක් ඇති කරගන්නවා

ඉදිරියේදී තිර රචනා පාඨමාලාවක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ මඟින් තෝරාගත් තිර පිටපත් වලින් කෙටි චිත්‍රපට නිෂ්පාදනය කරන්න සිසුන්ට අවස්ථාව සලස්වනවා. ඉන්පසු එම කෙටි චිත්‍රපට යොදාගෙන කෙටි චිත්‍රපට උලෙළක් සංවිධාන කරන්න බලාපොරොත්තු වෙනවා.

හන්තාන සිනමා උලෙළට අමුත්තන් කිහිපදෙනෙකුටත් ආරාධනා කළා. මාලීනි පතිරාජ , සිනමා අධ්‍යක්ෂ මොහාන් නියාස් , ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ටිකිරි රත්නායක , සුදර්ශියේ සභාපති සමන්ප්‍රිය මාරසිංහ යන මහත්ම මහත්මීන්ට ආරාධනා කළා.

ඒ වගේම මෙම උලෙළ සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ ආයතනවලට, සමරු කලාපය සඳහා දැන්වීම් ලබාදුන් සැමට, විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මනුජිත්, ශාස්ත්‍රපීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක, පේරාදෙණිය සරසවියේ ඉහළ නිලයන් හොබවන සියලු දෙනාට සහ කාර්‍යමණ්ඩලවල සැමට , ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, සභාපතිතුමාගේ ලේකම් අයෝද්‍යා සපුතන්ත්‍රි, සිනමා අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය, රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්, චිත්‍රපට සංස්ථාවේ අමිල ජයකොඩි, සිනමා උලළෙ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ඉංග්‍රීසි ගුරුවරයෙක් වන ජයලාල් වීරසූරිය ඇතුළු සහය දුන් සැමට ස්තුති කරනවා.

අවසාන වශයෙන් වත්මන් සිසු සිසුවියන්ට වැදගත් වන දෙයක් පැවසිය යුතුයි. සිනමාව කියන්නේ පුළුල් ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ප්‍රථම ඒ සඳහා හැඟීමක් , ඇල්මක්, උනන්දුවක් ඇති කරගන්න. සිනමාව හොඳීන් අධ්‍යයනය කරන්න. සිනමාව හදාරන්න.

එවිට තමයි අතීතයේ මෙන් නැවතත් ස්වර්ණමය සිනමා යුගයක් අපිට බිහිකරන්න හැකියාව ලැබෙන්නේ.

පේරාදෙණිය සරසවිය සිනමා වසන්තයෙන් බැබළවූ හන්තාන සිනමා උළෙල 2025 හෙට දින සමාප්තිය සනිටුහන් කරනු ඇත. නැවතත් අතිඋත්කර්ෂවත් සිනමා උලෙළකින් ලබන වසරේ හමුවීමේ බලාපොරොත්තුවෙන්.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT