Home » පුංචි තිරයේ මාරක සර්කස් පෙන්වන අනුෂ්ක සර්

පුංචි තිරයේ මාරක සර්කස් පෙන්වන අනුෂ්ක සර්

by Thanushika
August 21, 2025 12:28 am 0 comment

ඔහු අනුෂ්ක ඉඳුනිල්‍. ටියුෂන් ක්ෂේත්‍රයේ ඔහුව නොදන්නා කෙනෙකු නැති තරම්ය. කුඩා කාලයේදී වේදිකාවට පෙම්බැඳී ඔහු උසස් පෙළට තෝරා ගත්තේ විද්‍යා විෂයයන්ය. ඔහු උසස් පෙළ අතිවිශිෂ්ට අන්දමින් සමත් වී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබීය. වෛද්‍ය විද්‍යාලයේදී දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අනුෂ්ක අවසන් වසරේදී තම ඉලක්කයට සමුදී තමා සතු දැනුම තවත් පිරිසකට දායාද කරන්නට මුල පිරුවේය.

ඒ අනුව විශ්වවිද්‍යාල ජීවිතය අත්හළ ඔහු ටියුෂන් ගුරුවරයෙකු වශයෙන් තම වෘත්තීය මාර්ගය සකසා ගත්තේය. වර්තමානයේදී ඔහු ශ්‍රී ලංකාවේ නම් දැරූ රසායන විද්‍යා ගුරුවරයෙකි. ඔහු අද ගුරුවරයා යන භූමිකාව අතරතුර සිනමා සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකුගේ භූමිකාවට පරිවර්තනය වී ඇත. එයින්ද නොනැවතී ඔහු රංගන ශිල්පියෙකු ලෙසින්ද ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණ ඇත. මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘මාරක සර්කස්’ ටෙලි නාට්‍යයේ අර්ථපති වන අනුෂ්ක ඉඳුනිල් එහි ප්‍රධාන චරිතයක්ද නිරූපණය කිරීම විශේෂත්වයකි. පසුගියදා ඔහු පළමු වරට සරසවිය ඉදිරියේ පෙනී සිටියේ තම කලා ජීවිතයේ තොරතුරු සරසවිය සමඟ හුවමාරු කර ගන්නටයි.

කුඩා කාලයේ සිටම මම රඟපෑමට ප්‍රියකළා. මම ඉගෙනුම ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ. ඒ කාලේ වේදිකා නාට්‍ය රංගනයට නැඹුරුවක් තිබුණා. ඒ නිසා පාසලේදී වේදිකා නාට්‍ය රංගනයට සම්බන්ධ වුණා. පාසලෙන් නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය හත අටකම මම සමබන්ධ වුණා. 2004 වර්ෂයේදී මම රංගනය වෙනුවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබා ගත්තා. මම උසස් පෙළ සඳහා කළේ විද්‍යා විෂයයන්. උසස් පෙළ ඉහළින් සමත්වීම නිසා මට වෛද්‍ය විද්‍යාලයට යාමට වරම් හිමිවුණා. වෛද්‍යවරයෙක් වීමට මාහට හොඳීන්ම ඉඩකඩ තිබුණත් අවසන් වසරේදී මම වෛද්‍යවරයෙක් නොවීමට තීරණය කළා.

ඉන්පසු මා තෝරා ගත්තේ වෙනත් මඟක්. සිසු සිසුවියන් සඳහා අමතර පන්ති පැවැත්වීමට මම තීරණය කළා. එය ඉතාමත් සාර්ථක වුණා. දස දහස් ගණනකගේ රසායන විද්‍යා ගුරුවරයා වීමට මට හැකි වුණා. ඒ අතරේ කොවිඩ් වසංගතය ලෝකයම වෙලාගත්තා. රටේ සියලු දේ අඩපණ වුණා. එහෙත් ඔන්ලයින් ක්‍රමයට පන්ති පවත්වාගෙන ගියා. ඒ ක්‍රමය සාර්ථකයි කියල සිතුණා නිසා මට ඔන්ලයින් ක්‍රමයට පමණක් පංති පවත්වා ගෙන ගියා.

ඒ අතරේ තමයි ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රජිත හිරාන් මා සොයා එන්නේ. ඒ කොවිඩ් වසංගතය ආරම්භයෙදී. ඔහු පිටපතක් මා වෙත අරගෙන පැමිණියා. එය චිත්‍රපට තිරපිටපතක්. එය ලියා තිබුණෙත් රාජිතමයි. ඔහු ගෙනා පිටපත මම හොඳීන් කියවා බැලුවා. එය ක්‍රියාදාම ත්‍රාසය මුසු වූ චිත්‍රපටයක්. ඒ කතා තේමාවට මගේ සිත ඇඳී ගියා. ඒ නිසා රයිඩර් චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වීමට මම ඉදිරිපත් වුණා. එහි රොෂාන් රණවන, සනත් ගුණතිලක, දසුනි සිනෙත්මා, අනූජ් රණසිංහ සහ සරත් දික්කුඹුර රංගනයෙන් දායක වුණා. මමත් එහි චරිතයක් රඟපෑවා. රයිඩර් චිත්‍රපටය 2023 දී තිරගත වුණා. ඉඳුනිල් ක්‍රියේෂන් නමින් මම චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණා.

ඉන්පසු මම ‘ මී මැස්සා’ ටෙලි නාට්‍යය හා සම්බන්ධ වුණා. මට අවශ්‍ය වෙලා තිබුණෙ චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක් කිරීමෙන් අත්දැකීම් ලබා ගන්න. ගුරුවරයෙකු විදිහට සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදනය පැත්තට යොමුවීම අවදානමක් කියා සිතුණා. මා මුලින්ම නිෂ්පාදනය කළ රයිඩර් චිත්‍රපටය ලාභ ලැබුවේ නැහැ. නමුත් මට අවශ්‍ය වුණේ චිත්‍රපටයක් කරන්නේ කෙසේද කියා දැනුමක් ලබා ගන්න. පළමු චිත්‍රපටයේ සියලු වැඩ නිමවූ පසු මට දැනුණේ උපාධියක් ගත්තා වගේ හැඟීමක්. එම චිත්‍රපටයේ අංශ කිහිපයකටත් මම දායක වුණා.

මා නිෂ්පාදනය කළ ‘ මාරක සර්කස්’ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. එයින් කියවෙන්නේ සඟරාවක චිත්‍ර ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන පවන් නැමති තරුණයා වටා ගෙතුණු කතාවක් ගැන. ඔහු මානසික ආතතියට ලක්වූ පුද්ගලයෙක්. මරණය බලාපොරොත්තුවෙන් ජීවිතය ගෙනයන ඔහු ඒ ටික කාලයේ ජීවිතයට මුහුණ දෙන ආකාරය ‘ මාරක සර්කස්’ ඔස්සේ කියවෙනවා. එහි අධ්‍යක්ෂවරයා වන්නේ සේනාන් විමලවීර. මම ඔහුව හඳුන්වන්නේ ‘ රයිඩර්’ චිත්‍රපටය කරපු කාලයේ සිට. ඔහු ‘ මාරක සර්කස්’ පිටපතක් අරගෙන මාව මුණගැසෙන්න ආවා. පිටපත කියවීමෙන් පසු මට ඒ ගැන පැහැදීමක් ඇතිවූ නිසා ඒ සඳහා නිෂ්පාදනයෙන් දායක වෙන්න මම තීරණය කළා. මම එහි ප්‍රධාන චරිතයක් රඟපානවා. එය කළු චරිතයක්.

මා නිෂ්පාදනයෙන් දායක වූ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වෙන්න තිබෙනවා. එය ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වූවක්. මට අමතරව ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්, විදුප් අතාවුද සහ දුමින්ද ජයවංශ යන අයත් මෙහි නිෂ්පාදනයට සම්බන්ධ වුණා. විදෙස් නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකත්වය දෙන එම චිත්‍රපටය අන්තර් ජාතික සිනමාව වෙනුවෙන් නිර්මාණය වූවක්. ඊඩඥ ඹ්චඵබ අඪබභචත නමින් නම් කර තිබෙන එහි අධ්‍යක්ෂණය මහේෂ් විදාණපතිරණගෙන්. ලංකාවේ එක් රංගන ශිල්පිනියක් පමණක් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඊඩඥ ඹ්චඵබ අඪබභචත චිත්‍රපටය භීතිය, ත්‍රාසය, කුතුහලය පිරි චිත්‍රපටයක්. ඉදිරියේදී තවත් එක් චිත්‍රපටයක් ආරම්භ කිරීමට සූදානමක් තිබෙනවා. මේ දිනවල එහි චරිත තෝරා ගැනීමේදී කටයුතු සිදුකරමින් පවතිනවා.

මම සිනමාවට, ටෙලි නාට්‍ය කලාවට ආදරෙයි. අමතර පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරයෙකු වුවත් මම ආසයි කලාකරුවෙකු වෙන්න. විශේෂයෙන් දක්ෂ රංගන ශිල්පියෙකු වෙන්න. ඒ නිසාම තමයි නිෂ්පාදනයෙන්, රංගනයෙන් සිනමාවට , ටෙලි කලාවට දායක වුණේ. එහෙත් නිෂ්පාදකවරු වන අප ඉදිරියේ තිබෙන්නේ ගැටලු සහ අවදානමක්. වර්තමානයේ නිෂ්පාදන කටයුතු සඳහා ඉදිරිපත් වෙන්න කැමැත්තෙන් පිරිසක් සිටිනවා. එහෙත් එක සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කළාට පසුව ඔවුන් සිනමාවෙන් ඈත් වෙන්නේ දැඩි කලකිරීමෙන්. නිෂ්පාදකවරු සිනමා නිර්මාණ සඳහා කෝටි ගණන් මුදල් යොදවනවා. එහෙත් අවසානයේ අවදානම ඔවුන්ට. චිත්‍රපටයේ රංගන ශිල්පීන් , අධ්‍යක්ෂවරු දිනනවා. ඒත් නිෂ්පාදකවරයා අමතකයි. නිෂ්පාදකවරයා අමාරුවේ වැටෙනවා. අන්තිමට ඔහු වෙනුවෙන් කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. මේ කාරණය ගැන නොකියාම බැහැ. ඇතැම් අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරයාව මුළා කරනවා. නිෂ්පාදකවරයා වෙනුවෙන් නිසි වැඩ පිළිවෙලක් දියත් කළ යුතුයි. ඇතැම් නිෂ්පාදකවරුන් සිනමාපටයකට අත ගසන්නේ ඒ පිළිබඳ නිසි වැටහීමක් නොමැතිව. අඩු වියදමකින් ගුණාත්මක නිර්මාණයක් කළ හැකිව තිබියදීත් ඇතැම් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරයාව මුළා කරනවා. ඔවුන් තුළ අවංක බව නැහැ. නිෂ්පාදකවරු ඈත් වුණොත් එහි බලපෑම ඇතිවෙන්නේ සිනමාවට. තමන් ආයෝජනය කරන මුදල යහපත් , ගුණාත්මක නිර්මාණයක් වෙනුවෙන් යොදවන එක පිළිබඳ නිෂ්පාදකවරයාද දැනුම්වත්වීම වටිනවා. ඒ නිසයි මම මින් ඉහතදීත් සඳහන් කළේ මුලින්ම මා සිනමාවට ආවේ අත්දැකීම් ලබා ගැනීමට බව. ඉදිරියේදී මම සම්බන්ධ වෙන සෑම නිෂ්පාදනයකටම ඉතාමත් සැලකිලිමත් වෙන්න මම තීරණය කර අවසන්. නිර්මාණයකදී නිෂ්පාදකයාව තනි නොකළ යුතුයි. ඇතැම් අවස්ථාවල නිෂ්පාදකයාට නිසි ඇගයීමක්වත් ලැබෙන්නේ නැහැ.

නිෂ්පාදකවරයාට මුදල් පමණක් යොදවලා පැත්තකට වෙලා සිටියහොත් වෙන්නේ ගැටලු රාශියක් නිර්මාණය වීම පමණයි. ඒ නිසා ඉඩ ලද සෑම වෙලාවකම දර්ශන තලයට යායුතුයි. බොහෝ නිෂ්පාදකවරුන් කරන්නේ අවශ්‍ය මුදල් ප්‍රමාණය නිෂ්පාදන කළමනාකරුවෙකු අතට ලබා දෙන එක. එහෙත් නිෂ්පාදකවරයාත් නිර්මාණය පිළිබඳ සැලකිලිමත්ව ඒ පිටුපසින් සිටියහොත් නිර්මාණය සාර්ථකයි. නිෂ්පාදකයාටත් පාඩුවක් නැහැ. ඔහුගේ හෝ ඇයගේ මුදල් අපතේ යන්නේ නැහැ.

සිනමාවේ පමණක් නෙවෙයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් එම ගැටලුවම බලපාල තිබෙනවා. සමහර ටෙලිනාට්‍ය කරල ඒවා රූපවාහිනී නාළිකාවක විකාශය කර ගැනීමට නොහැකි වූ නිෂ්පාදකවරුන් ඉන්නවා. කාලයක් සමඟ නිර්මාණය යල් පනිනවා. එවිට සිදුවන්නේ රූපවාහිනී නාළිකා වලින් අඩු මුදලට මිලදී ගන්න උත්සාහ කරනවා. තමාගේ ටෙලිනාට්‍ය කෙසේ හෝ විකාශය කරගතයුතු නිසා අඩු මුදලකට හෝ ලබා දීමට නිෂ්පාදකවරයා පෙලඹෙනවා. හොඳ නිර්මාණකරුවන්ට එයින් අසාධාරණක් සිදු වෙනවා. ගුණාත්මක නිර්මාණ හෑල්ලුවට ලක් වෙනවා. මේ තත්වය ඉතා කනගාටුදායකයි. සියල්ල නිම වෙලත් විකාශය නොවුණු නාට්‍ය තිබෙනවා. එසේ වන්නේ නිසි ප්‍රමිතියක් නැති ගුණාත්මක බවක් නැති නිර්මාණ කිරීම නිසා.

ඇතැම් අවස්ථාවලදී සිනමා හෝ ටෙලි නාට්‍යයක් රූගත කිරීම් කර පෙන්වන මොහොත වන විට නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා අතර ගැටුම්, අමනාපකම් ඇතිවෙලා. කලාව කියන්නේ සුන්දර දෙයක්. නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා, රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් සියලුම දෙනා එකට එකතු වුවහොත් නිර්මාණය සාර්ථකයි. වර්තමානයේ සිනමාවේ සුබවාදී තත්වයකුත් මා දකිනවා. අලුතින් චිත්‍රපටයක් තිරගත වීම ආරම්භ කළාට පසුව එයට සම්බන්ධ වූ රංගන ශිල්පීන් සිනමාශාලා වෙත පැමිණ ප්‍රේක්ෂකයන් හමුවෙනවා. චිත්‍රපටයේ ප්‍රවර්ධනයට එය ඉතා හොඳ රුකුලක්. රංගන ශිල්පීන් තමාට ලැබෙන මුදල ලබාගෙන පැත්තකට වෙලා නොඉඳ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා සහයෝගය දීම බොහෝම වටිනා කටයුත්තක්.ඒත් ඇතැම් චිත්‍රපටවලට එහෙම සහයෝගයක් රංගන ශිල්පීන්ගෙන් නොලැබෙන අවස්ථාත් තිබෙනවා.

සහයෝගයෙන් සෑම දෙනාම කටයුතු කරනවා නම් අපේ සිනමාව ලෝකයේ ඉහළම තැනකට ගෙනියන්නට පුළුවන්. මා මුලින්ම නිෂ්පාදනය කළ රයිඩර් චිත්‍රපටය අති සාර්ථකව තිරගත නොවුවත් අදටත් රජිතත් මාත් හොඳ හිතවතුන්. රජිත නිතරම කියන්නේ ඔහුව අධ්‍යක්ෂවරයෙකු බවට පත්කළෙ මම කියලා. ඒ වගේම මාවත් නිෂ්පාදකවරයෙකු බවට පත්කළේ ඔහු. මේ හැමෝගෙම සහයෝගය සමඟින් සිනමාවේ රැඳී සිටින්න මම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුවට අත්වැලක් වෙන්නේ මගේ බිරිඳ. ඇය චිලිනි ඉඳුනිල්. මා නිෂ්පාදනය කරන ‘ මාරක සර්කස්’ ටෙලි නාට්‍යයේ රේඛීය නිෂ්පාදකවරිය ඇයයි. නිෂ්පාදකවරයෙක් විදිහට සිනමාවේ , ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මගේ කාර්යභාරය ඉටු කරන ගමන් රංගන ශිල්පියෙකු ලෙස සාර්ථක වන්නටත් මම බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් ඉදිරියේදී මම ඔබ හමුවට පැමිණීමට නියමිතයි

සේයාරූ – නිශ්ශංක විජේරත්න

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT