වේදිකාව, සිනමාව, පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයකට පාත්‍ර වූ ද, දෙස් විදෙස් සම්මානය ට හා ඇගැයීමට පාත්‍ර වූ ද, ප්‍රතිභාපූර්ණ නිරූපණවේදියකු විදියට අපි ඔහු හඳුනා ගනිමු.
ඔහුගේ නිර්මාණ කාර්යයන් රාශියක් අතරේ මේ දිනවල පාස්පෝට් චිත්‍රපටය ඔස්සේ වඩා කතා බහට ලක් වන ඔහු ඒ ඔස්සේ නැවතත් තමාට ආවේණික සුවිශේෂ නිරූපණ ශෛලිය ද විදහා දක්වයි. නිරූපණවේදී ජගත් චමිල ඒ පිළිබඳ කළ කතාබහකි මේ.
පාස්පෝට් කියන්නෙ වෙනස් විදිහෙ පිටපතක් ඔස්සේ ගොඩ නැඟුණ කතාවක්. ඒ වගේම බයිස්කෝප් හා වාණිජ ධාරාවේ චිත්‍රපටයක් විදියට දකින්න පුළුවන් චිත්‍රපටයක්. විශේෂයෙන් මේ චිත්‍රපටයේ පිටපත එක්ක, ඒ සමඟ විශාල පරිශ්‍රමයක් දරමින්, මේ චිත්‍රපටය මෙබඳු සාර්ථකත්වයකට ගෙනෙන්න එහි අධ්‍යක්ෂවරයා ගෙන තිබෙන වෑයම මම අගය කරන මූලික දෙයක්. මේ කතාව තිරයේ දකින්න ඔහුට තිබුණ හැඟීම හා ඒ වෙනුවෙන් ඔහුගේ තිබුණ කැපවීම ඉහළයි. ඊළඟට ඔහුගේ නම්‍යශීලී බව අනිත් දේ. ඒ ඇහුම්කන් දීම නම්‍යශීලී බව වැනි සුවිශේෂ කාරණා තමයි මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය වෙන්න විශාල පසුබිමක් සකසා දුන් සාධක. ඒවා තමයි මූලික ව චිත්‍රපටය සාර්ථක වෙන්න බලපෑ ප්‍රධාන ම දේවල් මම විශ්වාස කරන විදියට.
එබඳු අධ්‍යක්ෂවරයකු ගෙ භූමිකාව ඇතුළෙ වැඩ කරන්න ලැබීම මටත් ලොකු සතුටක්. ඒ වගේම එහි කැමරාකරණය, එතකොට වේශ නිරූපණ කාර්‍යභාරය පැත්තෙන් ලබා දුන් දායදායකත්වයත් ඉතා ඉහළයි. ඊළඟට මේ චිත්‍රපටය වෙනුවෙන් කණ්ඩායමක් විදියට රූගත කිරීම්වලදි අපි දැරූ වෙහෙස මහන්සි ය. මේ සියල්ලේම සුවඳ එක්තැනකට එක් කළ නිර්මාණයක් විදියට පාස්පෝට් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
ප්‍රේක්ෂකයෙක් විදියට මේ චිත්‍රපටය බැලුවිට ඔබට මොනවාද දැනුණේ ?
ලොකු සතුටක්. මොකද සාමුහිකත්වයේ ලස්සන ප්‍රතිඵලයක් මම දකින්නේ. මේ චිත්‍රපටය දකින හැම මොහොතක ම මට සිහිපත් වන්නෙ එය.
ජගත් චමිල ‘අමරෙ’ කෙනෙක් වෙනවා, පාස්පෝට් කියන නිර්මාණය ඇතුළෙ.
ඔව්. අමරෙ පාස්පෝට් එකක් හදාගෙන පිටත් වෙන්නෙ අමරෙ වටා තිබෙන ජීවත් වීමේ අර්බුද ටික විසඳගන්න නෙ. ඒ වගේම මේ කතා කරන්නෙ අපේ රටේ අමරෙලාගෙ, සමන්ලගෙ, නිලාලගෙ කතාවත්. ඒ කියන්නෙ කොස්ලන්දෙ මීරියබැද්දෙ අමරෙ ලා, සමන්ල, නිලාලගෙ කතාවට එහා මේ රටේ නාය ගිය සමස්ත ය පිළිබඳ කතාවයි. ඒකයි මම මේ පාස්පෝට් එකට වඩා කැමැති වෙන්නෙත්. පාස්පෝට් කියන්නෙ සිහින මාලිගයක් ඇතුළෙ දිගහැරෙන කතාවක් නෙවෙයි. මේක යථාර්ථවාදී බයිස්කෝප් එකක්. එහෙම නැතිනම් චිත්‍රපටයක්. මේක ඇතුළෙ ඉන්නේ හීන හදන හීන කුමාරයන් නෙවෙයි. ෆැන්ටසියක් නෙවෙයි මේක. අපේ ජීවිත කතාව මේ. එනම් මේ මොහොතේත් සිදුවන දේ තමයි මේ කතාව ඇතුළෙ අරගෙන ඇවිත් තියෙන්නේ. එය සිනමා නිර්මාණයක් ලෙස එළියට ගන්න සිනමානුරූපී අත්දැකීම් එක්කර තිබෙනවා.
එක් පැත්තකින් නිර්මාණයක් කියන්නෙ පරිකල්පනයක්. එතනදි ප්‍රේක්ෂකයා හෝ රසිකයාව වෙනමම මඟක් ඔස්සේ ප්‍රඥාවක් කරා ගෙන යන තැනැත්තා තමයි නිර්මාණකරුවකු කියා කියන්නෙ. එහෙම නැතිනම් නිර්මාණ කාර්යභාරය වෙන්නෙ.
එතනදි නිර්මාණකරුවාගෙ යුතුකම වෙන්නෙ මේක මෙහෙම විය යුතුයි කියන දේ නෙවෙයි.ඔහුගේ කාර්‍යභාරය වෙන්නෙ නිර්මාණයක් ඔස්සේ මෙය වෙන්නෙ මේ විදියට යි කියන අදහස දීම පමණයි
රූපණවේදියකු විදියට මේ නිර්මාණ පිළිබඳ ඔබේ දැක්ම මොකක්ද ?
අප ඉන්න මේ මහපොළොවේ යථාර්ථය සමඟම යි. ඒ පසුබිමේ තමයි අපට සියලු දේ දරාගන්න වෙන්නෙ.
එතනදි අපේ හීනත් නැතිනම් ෆැන්ටසි එහෙම නැතිනම් බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් වෙනවා ද කියල කියන දේ තීරණය වෙන්නෙත් එහෙම නැතිනම් එහි තීරකයා වන්නේත් ඒ මොහොතේ මේ මහපොළොව මත පවතින සමාජ, ආර්ථික දේශපාලනික වාතාවරණයයි.
එතකොට හොඳ සමාජ ආර්ථික සංස්කෘතික රටක ජීවත් වන මිනිස්සුන්ගෙ සිතුවිලිත් හරි ලස්සනයි. එහෙම රටක මිනිස්සු හරි ම ස්වයංපෝෂිතයි. හැබැයි අවාසනාවකට පහුගිය කාලපරිච්ජේදයන් ගණනාවක් පුරා අපට එහෙම ස්වයංපෝෂිත සංස්කෘතික ඇසුරක් විඳීන්න පුළුවන් වුණේ නැහැ. එහෙම සංස්කෘතික ඇසුරක් නොලැබූ මිනිස්සු හරි යාන්ත්‍රික යි. එහෙම නම් එහෙව් යාන්ත්‍රික මිනිහෙකුගෙන් තවත් මිනිහකු වෙනුවෙන් නෙතේ කඳුළක් හදවතේ තෙතමනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම හැඟීමක් තෙතමනයක් සංවේදී බවක් නැති පසුබිමක් තුළ කලාව වේවා නිර්මාණ කාර්‍ය වේවා අවරට තමයි ගමන් කරමින් තිබුණේ. සමහර අවස්ථාවල සාහිත්‍යය කන්න ද කියල අහන සමාජ දේශපාලනික වටපිටාවක් තුළ අපට ඉන්න වුණේ. හැබැයි ඒක ට ප්‍රතිවිරුද්ධ ව නැගිටපු මත දැරූ පිරිසකුත් මේ පසුබිමේම හිටියා. නමුත් එය යටපත් කොටයි තිබුණේ. මොකද සාහිත්‍යකරුවා මේ පසුබිම තුළ නැඟී සිටියොත් ඒ පාලන ව්‍යුහය මේ පරිසරය තුළ ස්ථාපිත කරන්න බැරි බව දැන සිටි බලය ඇත්තන් ඒ ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ඔවුනොවුන් එකට අත්වැල් බැඳගෙන ඊට ප්‍රතිවිරෝධය දැක්වූ පිරිස සැමවිටම හුදෙකලා කළා. නිර්මාණකරුවා හිටියෙත් එතන. මොකද මේ දේවල් දැක දැක ඒ සමඟ ගැටුණු නිර්මාණකරුවන් හැමවිටම හිටියා. මානවවාදීන් හිටියා. අනෙකා ගැන සංවේදී භාවයක් ඇති එහෙම ගනුදෙනු කරන්න පුළුවන් සංවේදී මිනිසුන් අපේ මේ මහ පොළොවේ එමටයි. මේ රට තුළත් එසේමයි. අන්න ඒ නිසා තමයි, ඒ මානව ගුණාංගවල විශාල බව නිසා තමයි පාස්පෝට් චිත්‍රපටය ඇතුළෙ ඉන්න අමරෙ නැවත ලංකාව ට එන්නෙත්. එහෙම ආදරයක් මේ පොළොවේ තියෙන්නේ. අමරෙව නැවත ගෙන්න ගන්නෙ නිලාගෙ ප්‍රේමය. නමුත් නිලාගෙ ප්‍රේමය කියන්නෙ කොස්ලන්දෙ ඉන්න නිලාගෙ ප්‍රේමය ම නෙමෙයි මේ අපේ මහපොළොවෙ තිබෙන ප්‍රේමය. එහෙම දෙයක් ගැන තමයි නිර්මාණකරුවා මෙතනදී කතා කරන්නෙ.
ඔබේ ඊළඟ නිර්මාණය ශ්‍රී සිද්ධා ගැනත් යමක් කතා කරමු
ඔව්.සරත් වීරසේකර සර් ගෙ චිත්‍රපටයක් එය. එතුමා එක්ක කලිනුත් මම වැඩ කර තියෙනවා ගාමනී චිත්‍රපටයේ. ඉතින් මේ චිත්‍රපටයේ මගෙ රංගනය පිළිබඳ මට ලොකු සතුටක් තියෙනවා.
කොහොමත් නිර්මාණයක් එක්ක වැඩ කරද්දී මම බලන්නෙ මාව ආරක්ෂා කරගන්නවටත් වඩා ඒ නිර්මාණයට මාව කොයිතරම් වුවමනා ද කියන දේ තමයි මම සැලකිල්ලට ගන්නෙ. ඒ පසුබිමේ ඉඳගෙන තමයි මම වැඩ කරන්නෙ. ඒ කියන්නෙ යම් කිසි චරිතයක් ස්ථානගත කරන්න වුවමනා ශිල්පීය කාරණා, තාක්ෂණික කාරණා ආදි මේ කියන විෂයානුබද්ධ කාරණා මැනවින් තේරුම් ගනිමින් එකිනෙකට වෙනස් ලෙස අදාළ රංගනයේ යෙදෙන්නෙ නිතරම. සමහර විට එහිදී බොහොම යථාර්ථවාදි ස්වරූපයෙන් මෙන්ම අධි තාත්විකවත් මගෙ නිරූපණ කාර්‍යය තුළ මම හැසිරෙන අයුරු ප්‍රේක්ෂකයා දකීවි. ඔවුන් මාව තාත්විකව වගේම සමහර චරිත තුළ ටිකක් අධි යථාර්ථවාදීවත් දකීවි. ඒ හැම නිරූපණයක් ම මා දැනගෙන අවබෝධයෙන් කරන දේවල්මයි. එම තාක්ෂණික කාරණා ඒ චරිතයට කොයිතරම් අදාළ ද මම ඒ අනුව ඊට ප්‍රවේශ වෙන්න උනන්දු වෙනවා. නිරූපණ ශිල්පියකු විදියට ඒක හරි වැදගත් ම දෙයක්. ඒ චරිතය ඇතුළෙ තියෙන මූලික කාරණා, භාවයන් ටික එහි හරය නිවැරැදිව තේරුම් අරන් තමයි නිරූපණ ශිල්පියකු ඒ චරිතයට ඇතුළත් විය යුත්තේ. ඉතින් මේ කාරණා රංගන ශිල්පියා පමණක් නෙවෙයි, අධ්‍යක්ෂවරයාගේ සිට පිටපත් රචකයාගේ සිට කැමරා ශිල්පියා දක්වා මේ මානයන් නිවැරැදි අවබෝධ කරගනිමින් කටයුතු කිරීම ඔස්සේ වටිනා නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවි.
නිර්මාණ ශිල්පියකු සාර්ථක වෙන්නෙ මොන මොන කාරණා ඔස්සේ ද ?
ඒක තීරණය වෙන්නෙම මේ වෘත්තිය ට ආස කරන පුද්ගලයා තුළ තිබෙන අරමුණත් එක්කනෙ. මොකද අරමුණ තමයි අපේ ගමනෙ නියමුවා බවට පත් වෙන්නෙ. උදාහරණයකට මේ වෘත්තිය තුළ අරමුණක් තිබෙන්නේ ජනප්‍රියවීම කියල හිතුවොත් ඔහුගේ අරමුණ දිශාගත වෙන්නෙ ඒ වෙනුවෙන්මයි. තවත් විටෙක ශිල්පියකු මෙහි සෑම සියලු සිද්ධාන්තයක් ම සෙවීමට නැඹුරු විය හැකියි.අන්න එතනදි ඒ ශිල්පියා ජනප්‍රිය කෙනෙක් වගේම විෂය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇත්තකුද විදියට නිරූපණ කාර්‍යයේ යෙදේවි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල