Home » ප්‍රේක්ෂක මුවින් සවනට පැතිරෙන ප්‍රතිචාරයයි වැදගත්

ප්‍රේක්ෂක මුවින් සවනට පැතිරෙන ප්‍රතිචාරයයි වැදගත්

by Thanushika
September 25, 2025 9:37 am 0 comment

ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරී ජාතික ශූරියක වූ ඇයට තාරුණ්‍යයේ දොර කඩදීම ආදරය අහිමි වන්නේය. මාතෘත්වයේ ඒ අහිමි වූ ආදරයේ ප්‍රතිඵලය සුරැකීව පෝෂණය කිරීමට ඈ තීරණය කළ ද ඒ ගමන ඇයට තනිව ගමන් කළ නොහැකි නිසාවෙන් ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැලඳගත් යෙහෙළියක සමඟ ඇය එක් වේ. අතිශයින් අභියෝගාත්මක ගමනක විජයග්‍රාහී දැරියක බිහි කිරීමේ කාර්යයේ නියැළී සිටින මේ අම්මාවරුන් දෙදෙනා ඒ අභියෝගාත්මක ගමන ජයගන්නා අතිශයින් සංවේදීජනක කතා තේමාවක් රැගත් මදර් ලංකා චිත්‍රපටය මේ දිනවල රටපුරා සිනමා ශාලා හැටක් පුරා තිරගත වනුයේ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය. දෙමාපියන් දුවා දරුවන් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි මදර් ලංකා සිනමා සිත්තම අප සමාජයේ එක් ඛේදනීය පැති කඩක් විවරණය කර එහි සැබෑ යථාර්ථය සමාජ ගත කරමින් දැනුම්වත් කිරීමේ අපුර්වතම සිනමා සිත්තමක් ලෙසින් ද මදර් ලංකා හැදින්වූවාට වරදක් නැත.

මේ වනවිට පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලබමින් සිනමා ශාලා හැටක පමණ තිරගත වන මදර්ලංකා චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා මුල්‍යමය දායකත්වය එක්කරනු ලැබුවේ මෙරට මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වූ ඉෂාන් පෙරේරා මහතාය. උතුරේ හා නැගෙනහිර ප්‍රදේශවල දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම මෙරට සමාජ සංවර්ධන ක්ෂේත්‍ර ගණනාවකට ආධාර උපකාර කළ ධනපතියෙකු වන ඉෂාන් පෙරේරා තම කුලුඳුල් චිත්‍රපට නිෂ්පාදනය වූ මදර් ලංකා චිත්‍රපටය හරහා සිනමා ක්ෂේත්‍රයට පිවිසෙනුයේ මාතෘත්තවය පිළිබඳ නැවත අත්දැකීමක් හා නව යොවුන්වියේ ගැහැනු ළමයින්ගේ ගැටලු පිළිබඳ දැනුම්වත් කිරීමක් ද සමඟිනි.

මේ අපේ කතාබහ මේ දිනවල තිරගත වන මදර් ලංකා සිනමා සිත්තමේ නිෂ්පාදක ඉෂාන් පෙරේරා සමඟිනි.

ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වූ ඔබ චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසින් සිනමාවට එක්වන මුල්ම පියවර මදර් ලංකා චිත්‍රපටය?

ඔව්. මම ව්‍යවසායකයකුª ලෙසින් විවිධ ක්ෂේත්‍ර සොයා බලමින් ඉන්න කොට තමයි මට සිනමා ක්ෂේත්‍රයට එන්න කියල ආරාධනයක් ලැබුණේ. ඒ ආරාධනය මට කළේ මගේ පාසල් මිතුරා වූ අනුෂ සංජීව එදිරිමුනි. ඔහු තමයි මගේ කුලුඳුල් චිත්‍රපට නිෂ්පාදනය වූ මදර් ලංකා අධ්‍යක්ෂවරයා. ඒ ආරාධනයට මගේ තිබුණ ස්වකැමැත්තත් එකතු වුණා. මට ඒ සඳහා හොඳ තිරපිටපතක් ලැබුණා ක්‍රිෂාන්ති කුලසුරියගෙන්. ඇයගේ තිරපිටපතත් ප්‍රබල පිටුවහලක් වුණා මේ සිනමා කර්මාන්තයට එන්න.

මෙම ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් නැති ඔබට අද සිනමාවේ යම් ප්‍රගමනයක් ලබමින් සිටින අවස්ථාවක මෙවැනි කලා කෘතියක් වෙනුවෙන් ආයෝජනයක් කරන්න දෙවරක් හිතුවේ නැද්ද?

එළියේ ඉඳල බලන කෙනෙක්ට ඔබේ ප්‍රශ්නය සාධාරණයි කියල පේන්න පුළුවන් 2019 පසු රටේ සහ ලෝකයේ ඇති වූ වසංගත තත්ත්වයත් මුල්‍ය කඩාවැටීමත් සමඟ සිනමා ශාලා වැහිල ගියා. පේ‍්‍රක්ෂකයා සිනමා වෙන් ඈත් වුණා. මම සිනමාවට ප්‍රවිශ්ටයක් ලබාගත්තේ 2024 වසරේ මුල් භාගයේ ඒ වනවිට වර්තමානයේ අපේ සිනමා ක්ෂේත්‍රයේ තියන දියුණුවක් දකින්න තිබුණේ නෑ. මෑතකදී එහි යම් ප්‍රගමනයක් අපිට දකින්න ලැබුණේ රාණි වාලම්පුරි, ක්ලැරන්ස් චිත්‍රපට වලින්. මම මීට අවුරුද්දකට කලින් චිත්‍රපටය පටන් ගන්නකොට සිනමා ශාලා හා ප්‍රේක්ෂකයා අතර ලොකු ගැප් එකක් තිබුණා. නමුත් ඒ වෙලාවේ මට හැඟී ගියා මගේ යුතුකම විය යුත්තේ මේ ක්ෂේත්‍රයට එන්න මෙය දියුණු කරන්න හොඳම වෙලාව මේ කාලය කියල ඒ සඳහා හොඳ ආත්ම විශ්වාසයක් මට තිබුණා. මගේ හිතවතා වූ අධ්‍යක්ෂවරයා ගැන පිටපත කියෙව්වහම මට ලොකු ආත්ම විශ්වාසයක් ආවා මේක කරන්න පුළුවන් කියල ඒ අනුව මම තීරණය කළා මේක කරල සිනමා ක්ෂේත්‍රයෙනුත් මම ඉදිරියට එනවා කියලා.

මේ වනවිට ඔබගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ මදර් ලංකා සඳහා මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ද අත්වෙලා තියෙන්නේ?

දැනට අපි චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පටන් අරන් දවස් තිහකට වැඩියි. මේ වනවිට ප්‍රදර්ශනය වන හැම සිනමා ශාලාවකින්ම ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් තියනවා. අපි අපේක්ෂා කරනවා තව සති දෙකක් විතර යනකොට මේ ප්‍රේක්ෂක ඉල්ලුම තව තුන් හතර ගුණයකින් වැඩිවෙයි කියල ලොකු සතුටක් තියනවා. අපි කරපු දේ ගැන පේ‍්‍රක්ෂකයා ප්‍රතිචාර දක්වන එක දැක්කම.

මිනිස් සිතට අතිශයින් සංවේදී ඔබේ සිනමා නිර්මාණය නැරඹීමට මේ වනවිට ඇයි ප්‍රේක්ෂකයන්ගෙන් සිනමා ශාලා පිරිඉතිරි නොයන්නේ?

අපි චිත්‍රපටය රිලීස් කරල තවම ගිහින් තියෙන්නේ සුමාන තුනක් වගේ කාලයක් මේක අපි ප්‍රචාරයත් සමඟ පේ‍්‍රක්ෂකයා අතරට ගෙන යා යුතුයි. අපි මේ පෙලඹවීම කෘත්‍රිමව ඇති නොකර සාමාන්‍ය තත්ත්වය තුළ පේ‍්‍රක්ෂකයාගේ මුවින්ම මේ චිත්‍රපටය ගැන කතාකරන උද්දීපනය දකින්න බොහෝම පි‍්‍රයකරනවා. මම හිතනවා පේ‍්‍රක්ෂකයා තව මේක නරඹන කොට කතාබහක් රට තුළ ඇතිවෙයි ඔවුන්ගේ නැරඹීමේ වර්ධනයක් ඇතිවෙයි කියලා. ප්‍රචාරණ කටයුතු වලට වඩා මේ චිත්‍රපටයේ කතාවේ තියනවා ප්‍රබල අදහසක් ඒ දේ ප්‍රචාරණයකින් තොරව කතාබහට ලක්කිරීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ ප්‍රචාරණයකින් තොරව.

පේ‍්‍රක්ෂකයාට ඔබේ නිර්මාණය දැනිල කතාබහක් ඇතිවෙන අදහස ව්‍යාපාරිකයෙක් ලෙස ඔබේ ගමනට එය සාර්ථකද? පේ‍්‍රක්ෂකයන් ඔබේ නිර්මාණයට අද්දවා ගැනීම ඔබේ මුල්‍ය ආයෝජනයට එය ප්‍රමාණවත් කියල ඔබ අදහස් කරනවද?

මම කැමැති නෑ පුද්ගලිකව නැති යමක් පුම්බල ව්‍යාපාරික වශයෙන් සාර්ථක වෙන්න. මට අවශ්‍යය මම නිෂ්පාදනය කළ නිෂ්පාදිතය කතා කරන තත්ත්වයකට ගේන්න ඒ නිෂ්පාදනය ගැන කතා කරයි කියන ප්‍රබල විශ්වාසය මට තියනවා. කොයි මොහොතේ හරි මේක ඉදිරියට යනවා කියන දැඩි විශ්වාසය මට තියනවා. දැනටත් එහි පෙර සලකුණු දකින්න තියනවා. ඉදිරියට යන්න දෙයක් නෑ දැනටමත් ඉදිරියට යමින් තියනවා. මේක තව නොබෝ දිනයකින් තව තවත් වර්ධනය වෙයි. එතකොට අපිටවත් සමහරවිට ඒ ඇති වෙන ඉල්ලුම නතර කරගන්න බැරිවෙයි.

ඔබේ අරමුණක් තියනවද මේ සිනමා කෘතිය විදේශීය රටවලත් තිරගත කරන්න?

ඔව්. දැනටමත් ඔස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ප්‍රදර්ශන කටයුතු සඳහා මේ සිනමා කෘතිය ලබාදීල තියනවා. ඊට අමතරව එංගලන්තය, අමෙරිකාව, කැනඩාව, ඉතාලිය ජපානය ආදී රටවල් දහයක චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු වලට අවශ්‍ය දේ කෙරෙමින් පවතිනවා. ඉදිරියේදී මදර් ලංකා සිනමා කෘතිය දෙමළ භාෂවෙන් නිදහස් කරන්නත් නියමිතයි.

විශේෂයෙන් දෙමළ භාෂාවෙන් මෙය නිෂ්පාදනය කරන්නත් විශේෂ හේතුවක් තියනවද?

චිත්‍රපටය දෙමළ භාෂාවෙන් හඬ කවනවා. ටයිටල් දැමීමක් නොවෙයි කරන්නේ දැනටමත් ඒ දෙබස් කැවීම කරල අවසන් ඉන්දියාවේ මැඩ්රාස්වල ඒ කටයුතු අපි සිද්ධ කළා. මෙහි ගීතයක් තියනවා ඒක දෙමළ භාෂාවෙන් නිර්මාණය කරන කටයුතුවල තමයි අපි මේ වනකොට නිරතවෙලා ඉන්නේ. ඉන්දියාවේ තමිල්නාඩුව, කේරලය ප්‍රදේශවල මේ සිනමාපටය ප්‍රවර්ධනය කරන්න තමයි අපි සැලසුම් කරල තියෙන්නේ. ලංකාවට වඩා සුවිශේෂි වූ මාර්කට් එකක් සිනමාවට ඉන්දියාව තුළ තියනවා. ව්‍යාපාරිකයෙක් වශයෙන් මම කැමැතියි ඒ ක්ෂේත්‍රයන් අතික්‍රමණය කර ඒ තැනට පියමනින්න. අපේ රටේ උතුරු නැගෙනහිරත් අපි මේ චිත්‍රපටය තිරගත කරනවා. නමුත් ව්‍යාපාරයක් වශයෙන් සාර්ථක වෙන්න නම් ඉන්දියාව පැත්තෙන් මේ ගැන බලා ගන්න වෙනවාමයි.

කුඩා කල පටන් ඔබේ සිතැගි ආශාවක් තිබුණ ද සිනමාවට නොඑසේ නම් යාළුවාගේ පෙලඹවීම ඔබ තුළ උත්තේජනයක් ඇති කළාද?

මගේ යාළුවා හින්දාම නොවෙයි. ඔහුත් ඒ සඳහා පිටිවහලක් වුණා. නමුත් මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඉතිං මටත් යුතුකමක් තියනවා මම ලබපු නිදහස් අධ්‍යාපනයට රටට යමක් කළ යුතුයි කියලා. එතනදී අපිට සිනමාව තුළින් කතා කරන්න පුළුවන් ලොකු පණිවිඩයක් අපේ සමාජයට මුදාහරින්න පුළුවන්. ඒකට එක උදාහරණයක් ඉන්දියාව. භාෂා ගණනාවක් කතාකරන කෝටි ගණනක ජනතාවක් වාසය කරන රටේ එක කෙළවරක ඉදල තව කෙළවරකට යන්න දවස් ගාණක් ගතවන විශාල රටක ජනතාව එකාවන්ව තියාගෙන ඉන්නේ හේතු දෙකක් මත එකක් හොලිවුඩ් සිනමාව අනික ක්‍රිකට්. හොලිවුඩ් සිනමාවකින් ඒ වගේ ජනගහණයක් එක අරමුණක තියාගන්න. ඇයි අපි වගේ පොඩි රටකට බැරි ඒ නිසා මට හිතුවා සිනමාව තුළින් යම්කිසි පණිවිඩයක් අපේ සමාජයේ ප්‍රගමනයට දෙන්න මම ඒ සඳහා සිනමාව තෝරා ගත්තා. මිනිස්සුන්ගේ දැනුම ආකල්ප හැසිරීම් වෙනස් කිරීමට සමාජ වෙනසක් සඳහා ප්‍රධාන වශයෙන් චිත්‍රපට කලාව මෙවලමක් ලෙස භාවිත කළ හැකියැයි මා තුළ ලොකු විශ්වාසයක් තියෙනවා.

මින් ඉදිරියට ඉෂාන් පෙරේරා සිනමාවට පමණක් සීමා වූ නිෂ්පාදකයෙක් පමණක්ම වෙයිද?

නෑ. මම බොහොම විවෘත කෙනෙක්. මට ලැබෙන ආරාධනා සමාජයට කරන්න තියන දේ අනුව මට ඒ අවශ්‍යතාවය තෝරාගන්න පුුළුවන්.

සාර්ථකත්වය අසාර්ථකත්වය තුළ ඔබේ තෝරාගැනීම දෝලනය වුණොත් එයින් පසුවටත් ඔබ සිනමාවම තෝරාගන්නවද?

මෙයට කළ ආයෝජනයෙන් මම සම්පුර්ණයෙන් අසාර්ථක වුණයි කියල හිතමුකෝ. මම දන්නවා එහෙම නොවෙනවා කියලා. නමුත් අපි උපකල්පනයක් කරමුකෝ අසාර්ථක වුණයි කියලා. මම ඒ අවධානම බාරගන්න පුළුවන් මට්ටමක ඉන්න නිසා තමයි මම මේ දේ භාරගත්තේ. කෙසේ වෙතත් මම මේ දේ මෙතතින් නවත්වන්න බලාපොරොත්තුවක් නෑ. මම දිගටම මේ සිනමාවෙන් ඉදිරියට ගිහින් පුද්ගලිකවත් සමාජයට හොඳ දායකත්වයක් ලබාදීම තමයි මගේ අරමුණ වෙන්නේ.

චිත්‍රපටයට යොදාගත් නම ඔබේ යෝජනාවක්ද?

මගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ යෝජනාවක් ඒ නම ඔහු ඒ ගැන මගෙනුත් විමසීමක් කළා. අම්මා කියන චරිතය ඒ වචනය හරි උතුම් වචනයක් අපි හැමෝම පිළිවෙළකට ඉන්නේ අම්මලා නිසා. ඔවුන් පුදුම කැපකිරීමක් කරනවා. තමාගේ දරුවා සමාජයේ උසස්ම තැනට ගේන්න. ඒක සමහරවිට දරුවාගේ දායකත්වය මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැම මවකගේම අරමුණ උසස් තැනක තම දරුවා තැබීම ඒ නිසා මවුවරුන්ට කෘත ගුණයක් ලෙස රටේ නමත් එකතු කරල මදර් ලංකා නම චිත්‍රපටයට තිබ්බේ.

මේ නමට වඩා වෙනත් නමක් යෙදුවා නම් චිත්‍රපටයට ගැම්මක් එනවා නේද කියල ඔබව යෝජනා කළ අය මේ වනවිට හමුවෙලා නැද්ද?

එහෙම කීප දෙනෙක්ම යෝජනා ගෙන ආ අවස්ථා තිබුණා. නමුත් අපිට ආයෙ හැරෙන්න කාලයක් නෑ. නමුත් මේ නමේ ලොකු ගැටලුවක් නෑ කියල මම හිතනවා අපි ගත්ත තීරණය නිවැරදියි කියලා.

දීර්ඝ වේලාවක් ප්‍රේක්ෂකයා ඔබේ නිර්මාණය හා බද්දව පවත්වා ගැනීම මේ සිනමා පටයේ දකින්න තියන විශේෂත්වයත් ඒ කාලය ප්‍රේක්ෂකයාට එපා නොවෙන්න සිනමා අත්දැකීමක් ලබාදෙන්න ඔබේ සිනමා නිර්මාණය පොහොසත් වෙලා හැඩයි.

මේ චිත්‍රපටය පැය දෙකකුත් විනාඩි විසිතුනක් පුරා ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපටයක්. අපි චිත්‍රපටය එඩිිට් එකකට ගියා. ප්‍රවේශ පත්‍රයක් අරන් චිත්‍රපටය බලන්න යන කෙනෙක් මේ මදර් ලංකා තුළ කුඩා චිත්‍රපට කතා 4ක් නරඹනවා. චිත්‍රපටයක් කියන්නේ මැජික් එකක් ප්‍රේක්ෂකයාගේ කුතුහලය රඳවා ගනිමින් අපි ඒ මැජික් එක කරනවා. මම හිතනවා පැය 2කුත් විනාඩි 23ක් පේ‍්‍රක්ෂකයා අපිත් එක්ක ඉන්නේ. ඒ මැජික් එක අපි හරියට කරපු නිසා කියලා.

චරිතවලට නළු නිළියන් ගැනීමේදී අධ්‍යක්ෂවරයාට ඔබ බලපෑම් එහෙමත් සිදුකරනු ලැබුවද?

චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන ඇරුණහම ඉතුරු අනු චරිත වලට අධ්‍යක්ෂ මට යෝජනා කළේ අඩු මුදලක් වියදම් කර ලබාගත හැකි නළු නිළියන් ප්‍රමාණයක්. නමුත් මම ඔහුට යෝජනා කළා බජට් එකට වඩා අනුෂ අපේ ප්‍රඩක්එක ඉස්මතු කරන්න පුළුවන් කාස්ට් එකකට යමු කියල ඒක නිසා තමයි ලංකාවේ නමගිය නළු නිළියෝ නවයක් විතර මේ චිත්‍රපටයේ සුළු චරිත වලට ගත්තේ ධර්මපි‍්‍රය ඩයස් මේ චිත්‍රපටයේ කරන්නේ තත්පර ගාණක කැරැක්ටරයක්. නමුත් ඒ ජ්‍යේෂ්ඨ කලාකරුවා ඇතුළු හැමෝම ඒ දක්වපු සහය මම කෘතවේදිව සිහිපත් කරනවා.

මෙවැනි කතා තේමාවකින් බැහැරව වෙනත් තේමාවක කතාවක් රැගත් සිනමා නිර්මාණයක් වෙත යාමේ සිතැඟියක් ඔබ තුළ මේ වනවිටත් ඇතිවෙලාද?

දැන් තැනෙන චිත්‍රපට කතා තේමා යම් වෙනසකට භාජනය වෙලා තියනවා. මීට අවුරුදු තිහ හතළිහක කතා තේමාවන්ට වඩා අද සමාජය වෙනස් තාක්ෂණය ගොඩක් වෙනස්. ඒ නිසා අලුත් තේමාවන් අලුත් තාක්ෂණය අපි නිර්මාණවලට ගන්න ඕනේ. මම අලුත් අන්තර්ගතවල තමයි එල්ලිලා ඉන්නේ. පේ‍්‍රක්ෂකයා අද රවට්ටන්න බෑ. ලෝකයා විවෘතයි. හොඳ කන්ටෙන්ට් එකක් ආවොත් මම ලෑස්තියි. ඒ දේ නිර්මාණයක් බවට පත්කරන්න අර්ථපතිත්වයෙන් එක්වෙන්න.

නිෂ්පාදක වූ ඔබගේ කතා සංකල්පයක් ද අනුෂ සංජීව සිනමාත්මක මුහුණු වරක් බවට පත්කරන්නේ?

මමත් අනුෂ සංජිවත් කොළඹ ආනන්ද විද්‍යාලයේ එකම පන්තිවල ඉගෙනුම ලැබුවේ. ඔහු අවුරුදු විසි ගාණක් සිනමා ක්ෂේත්‍රයේ හිටියා. මම අවුරුදු විසි ගණනක් මුද්‍රණ කර්මාන්තයේ හිටිය අපි මුණ ගැහුණත් කවදාවත් මුද්‍රණ කටයුතු කරගන්නවත් චිත්‍රපට කරගන්නවත් කතාබහක් කළේම නෑ. නමුත් 2024 වසරේ අපේ පාසලේ තිබුණ උත්සවයකදී අපි දෙන්නා හමුවුණා. ඒ වෙලාවේදී මම ඔහුට යෝජනා කළා අනුෂ දැන් වෙලාව හරි මට සිනමා ක්ෂේත්‍රයට එන්න මම ඔයා ගැන කාලයක් බලාගෙන හිටියා. මටත් යම් කිසි දෙයක් සමාජයට කරන්න ඕනෙ වෙලා තියනවා. ඒකට මට හැකියාවක් තියනවා ඒකට ඔයාගේ දායකත්වය දුන්නොත් මට දෙන්න පුළුවන් ඒකට දායකත්වයක් කියල ඒ කීමට මාසයකට විතර පස්සේ අනුෂ මට කතා කළා ඔයාට දෙන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක් මම ළඟ තියනවා කියලා මට දුන්නා. මම හරි කාර්ය බහුල කෙනෙක්. මම යුරෝපයේ සංචාරයක යන අතරතුර අත් බෑගයේ ස්ක්‍රිප්ට් එක අරන් ගියා. එතනදී ලැබුණ විවේකයේදී මම මේ ස්ක්‍රිප්ට් එක කියෙව්වා. පිටු විස්සක් විතර කියවනකොට මට ලොකු ආශාවක් ආවා. මේක කරන්න ඕනෙ කියලා එතකොට මම හිටියේ හංගේරියාවේ එහෙ ඉඳලා මම අනුෂට කතා කළා. අපි මේක කරමු ලංකාවට මම ආපු ගමන් මේකේ වැඩ ටික පටන් ගමු කියලා.

චිත්‍රපටයක් කර අත්දැකීම් නැති ඔබ ඉතාමත් කෙටි කාලයක් තුළ ඒ නිර්මාණය කරල පේ‍්‍රක්ෂක ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනවා නොවේද?

අපි මේ චිත්‍රපටය කරන්න මුහුරත් උලෙළ තිබ්බේ 2024 වසරේ ජුනි මාසයේ පියවරුන්ගේ දිනය දවසේ අපි දෙන්නා චිත්‍රපටය කරමු කියල එකඟතාවයකට ආවේ 2024 වසරේ අප්‍රේල් මාසයේ එදාම අපි තීරණය කළා. ඒ වසරේම අගෝස්තු මාසයේ ෂුටින් ඉවර කරනවා කියලා. ඒ ෂෙඩුල් එකට රූපගත කිරීම් ඉවර කළා. අපි වැඩි කාලයක් ගත්තේ චිත්‍රපටයේ එඩිටින් වලට මාස හයක් අපි මේ චිත්‍රපටය සංස්කරණය කළා. ඒකයි මම කිව්වේ එක ටිකට් එකක් අරන් කතා හතරක් බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක කියලා ගිය අවුරුද්දේ අගෝස්තු වල ෂුටින් තිබ්බා. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළා.

පරම්පරා තුනක නළු නිළි එකතුවක් ඔබේ නිර්මාණයට එකතු වෙලා?

වත්මන් පරපුර, ජ්‍යේෂ්ඨ පරපුර් අනාගත පරපුර නියෝජනය වීමක් චිත්‍රපටයේ කාස්ට් එක තුළ දකින්න තියන දෙයක් පරම්පරා තුනම එකතු කරල මේ දේ කරන්න මට ඕනෙ කළා. එතකොට තමයි නිර්මාණය ඉදිරියට යන්නේ.

පුංචි කාලයේ පටන් ඔබ සිනමාවට රුචියක් දක්වන කෙනෙක්ද?

මම චිත්‍රපට බලන්න ආසයි. ඒත් කුඩා කල මට තිබුණු ආර්ථික ගැටලුත් එක්ක ඒ දේ කරගන්න බැරිවුණා. මම යම්කාලෙකදී ආර්ථික අතින් ස්ථාවර වුණාට පස්සේ තමයි මේ පැත්තට නැඹුරු වුණේ. සිනමාවට වගේම ක්‍රිකට් වලටත් මම බොහොම පි‍්‍රයතාවයක් දක්වන කෙනෙක්.

මදර් ලංකා සිනමා සිත්තමේ නළු නිළියන් ඒ චරිතවලට උපරීම සාධාරණයක් කළා කියල ඔබ සෑහීමකට පත්වෙනවාද?

ඔව්. සියලු දෙනාගේ කැපවීම සියයට සියයක් ධනංජය කරපු කැප කිරීම මම ඇස් දෙකෙන් දැක්කා. කාන්තාවක් ලෙස ඇයව වෙස්ගන්වා තිබු නිසා ඔහුට එළියට යන්න බැරුව හිටියා. එයාට අත්උදවු කරුවන් තියන්න අපිට සිද්ධ වුණා. කොටින්ම කියනවා නම් ඔහුගේ ශරීර කෘත්‍ය කරගන්න පවා කලිසමේ ෂිපර් එක පවා ඔහුට පහළට දාගන්න බැරිවුණා අත්වල ඇගිලි වලට දාල තිබුණු නියපොතු නිසා. අතිවිශිෂ්ට කැපකීරීමක් ධනංජය තරින්දි කළා. ෂෙඩුල් එකට අනුව සියලු දෙනාම පුදුම කැපකිරිමක් කළා. දින විසි අටකදී අපේ රූපගත කිරීම් අවසන් කළා. අධ්‍යක්ෂවරයාට, තිරපිටපත් රචිකාවට නළු නිළියන් ඇතුළු කාර්මික ශිල්පීන්ට මම උපරීම නිදහසක් දුන්නා. ඔවුන්ගේ වැඩ කොටස හොඳින් කරන්න මම කළේ ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම පමණයි. මම ඒ අයගේ වැඩ වලට එබෙන්න ගියේ නෑ. මගේ කාර්ය භාරය ගැන මට හොඳ අවබෝධයෙන් කටයුතු කළා. එහෙම වුණොත් පමණක් හොඳ නිෂ්පාදනයක් අපිට ලබාගන්න පුළුවන් කියන දේ මම අත්දැකීමෙන් දන්නවා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පහසුයි. නමුත් නිෂ්පාදකයකුට එය සිනමා ශාලාවක පෙන්වා ගැනීමට ද ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා කියල චෝදනා එල්ල වන කාලයක ඒ අර්බුදය ඔබටත් උදා වුණාද?

මෙහෙමයි මම මගේ මදර් ලංකා චිත්‍රපටය මුදා හැරියේ ඊ.ඒ.පී. මණ්ඩලයේ හා සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමා ශාලාවල. නමුත් අපිට චිත්‍රපටය සඳහා ප්‍රදර්ශන වේලාවන් ලෙස ලබාදුන්නේ උදේ 10.30 නැත්තම් 1.30 දර්ශන වාර අපි බලාපොරොත්තු වූ ෂෝ ටයිම් අපිට ලැබුණේ නෑ. පේ‍්‍රක්ෂකයාට වැඩි වශයෙන් එන්න පුළුවන් දර්ශන වාර අපිට ලැබිල නැතිනම් ඒක ප්‍රායෝගික නෑ මට තේරෙන්නේ නෑ මමත් මේකට නවකයෙක් අත්දැකීම් නෑ මට පේන විධියට තම තමන්ගේ චිත්‍රපට වෙනුවෙන් මේක තුළ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මට මේ කර්මාන්තය ගැන ලොකු පළපුරුද්දක් නෑ මමත් මේ තුළින්ම තමයි ඉගෙන ගත යුතු වන්නේ. පේ‍්‍රක්ෂකයා සිනමා ශාලාවට එන වේලාවන් වල අපේ චිත්‍රපටය දකින්න නොලැබීම ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි අද තියන ලොකුම ගැටලුව. වාණිජ අරමුණු වෙනුවෙන් හැමදේම වෙනස් වෙලා. දේශීය සිනමා කරුවන් ආරක්ෂා කරගෙන ප්‍රදර්ශන මණ්ඩල කටයුතු කරනවා නම් ඒක දේශිය සිනමාවේ අනාගතයට පිටුවහලක් වෙයි කියල මම හිතනවා.

අද චිත්‍රපටයක් කළ නිෂ්පාදකයාට ප්‍රදර්ශනයෙන් ලැබෙන මුදලින් 28%ක මුදලක් තමයි ලැබෙන්නේ. ඒක නිෂ්පාදක පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් විශාල පිරිවැයක් නොකර චිත්‍රපටයක් කරන්න බෑ. රජයට බදු වශයෙන් 22%ක පමණ මුදලක් යනවා. 78%ක මුදලක් තමයි නිෂ්පාදකටයි, ප්‍රදර්ශකයාටයි ප්‍රදර්ශක මණ්ඩලයටයි ලැබෙන්නේ. ඒ 78%ක මුදලින් නිෂ්පාදක වූ අපිට ලැබෙන්නේ 22%ක මුදලක් පමණයි. ප්‍රදර්ශිත මණ්ඩලවලින් ගන්න තියන මුදලත් නිෂ්පාදකට ගන්න මාස හය හතක් බලන් ඉන්න වෙලා තියනවා ඔන්න ඕකයි ඇත්ත තත්ත්වය.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT