වරෙක මතුවන, තවත් වරෙක සැඟවෙන පාතාල සමාජය සිරිලක බඳු රටවල දත හැකි සුලබ තතු අතර ප්‍රමුඛය. මෙතැන හුදු සොර මැරකම් පමණක්ම නොපවතී. ගිනි අවි හා මත් වන අනවසර දෑ ද, ඝාතන හා පැහැර ගැනීම්ද පෙරට එන්නේ යට කී සොර මැරකම් යන්නට බිහිසුණු අරුතක් ගෙන දෙමිනි. පාතාල සමාජය හා සමකාලීනව රජයන පාලක බලය අතර ඇති සබඳතාවද බිහිසුණුය. විටෙක පාලක බලයේ හැඩ රුව තීන්දු කරනු ලබන්නේ ඔවුන් විසිනි. ජන මනසේ පරිවර්තන කරා මෙය ගමන් කරන්නේ පුද්ගල සාධකද පසුකරමින්ය යන්න සැබෑවකි. උදයකාන්ත වර්ණසූරිය ‘ගිනි අවි සහ ගිනි කෙළි’ පළමු සිනමාපටය තිරගත කොට විසිහය වසකට පසුව එහි දෙවැන්න මෙදවස තිරගත කරන්නේ පාතාල සමාජය පිළිබඳ නව කියැවීමක් සහතික කර ගැනීමේ අරමුණ සහිතවද යන්න විමසීම සිනමා විචාර කාර්යයේ වගකීමක් බව පෙනේ.
මෙහිදී උදයකාන්ත කෙමෙන් දිගහැරෙන පුවතක් මත මුළුමනින්ම රැඳී සිටීමේ තීන්දුවකට නොඑළඹෙයි. සමකාලීනව දිග හැරෙන සිදුවීම් දාමයක් මතම රැඳී සිටීමට උත්සුක වෙයි. තිරනාටකය මේ වෙනුවෙන් ලබා දෙන අවකාශය අතිමහත්ය. එනම් ඒ ඔස්සේ නව කියැවීමක් සපුරා ගැනීමේ වුවමනාවක් ඇවැසි නොවන බව උදයකාන්ත වටහා ගන්නා හෙයිනි. සිනමාපටය තිරනාටකයේ බලය යටතේම නිර්මිතව ඇති බව සක්සුදක් සේ දත හැක්කේ ඒ අනුවය.
තිරනාටක බලයට නතුවීම යම් සිනමාපටයක රුව ගුණ යටපත් කරලීමට තුඩු දෙන හේතුවක් සේ අවධාරණය කිරීම සහේතුක නොවේ. සුසාධිත තිරනාටකයකට සිනමාපටයක රුව ගුණ මනාව සනිටුහන් කළ හැකි බවට නිදසුන් බහුලය. සැබැවින්ම වැදගත් වනුයේ සිනමාකරුවා සිය චරිතය තුලනාත්මකව හඳුනා ගැනීමට දරන ප්‍රයත්නයයි. සිනමාකරුවකු සේ දිගු අත්දැකීම් සහිත උදයකාන්තට මේ වග අමුතුවෙන් සඳහන් නොකළ යුත්තකි.
‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ හි සැබෑව ඥානනයට දෙවරක් එය නැරඹීම ඇවැසි නොවන බව පැහැදිලිය. ඉන් අදහස් කෙරෙන්නේ යම් යටි පෙළ අරුතක ඉඟි බිඟි පළමු වර නැරඹීමේදී දැකිය නොහැකි නිසාවෙනි. එසේම එබඳු ඉඟි බිඟි පෑමකට උදයකාන්ත සැරසෙන ආකාරයක්ද නොපෙනේ. අතීත අවස්ථා කිහිපයකදීම උදයකාන්ත මේ පිළිවෙත අනුගමනය කළ වගද මෙතැනදී සිහිපත් වන්නේ නිරායාසයෙනි. ඉන් ඔහු ඵල නෙළා ගත්තේය යන්න නම් අඩ වශයෙන් විද්‍යමාන වන්නකි.
‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ හිදී උදයකාන්ත ගෙන එන්නේ අදින් දශක තුන හමාරකට පෙර අගනුවර පාදකව සක්‍රිය වූ පාතාල සමාජයයි. එදවස විශ්වාසනීය අයුරින් නිරූපණය සඳහා ඔහු දැරූ වෑයම හා එකඟ විය නොහැකි තැන්ද තිබේ. එනමුදු ඔහුගේ වාසනාවකට සිනමාපටයේ සමස්තය කෙරෙහි එය තියුණු අන්දමින් බල නොපායි. මෙසමය නිරූපිත සිරිලක සිනමාපට කිහිපයක්ම මතකයට නැංවීමක්ද මෙහිලා සිදුවේ. මෙම සිනමාපට හා ‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ සැසඳීම සඳහා යම් රසිකයකු සූදානම් වන්නට ඇති ඉඩ කඩ සැලකිය යුතු තරම්ය. ඉන් ඇතැම් සිනමාපටයක් විචාරක හා විද්වත් රසික පාර්ශ්ව සසල කළ බවද පෙනේ. එසේම ත්‍රාසය, භීතිය හා කුතුහලය පෙරටු කොට ගත් සිනමාපටද මෙතැන තිබිණි.
උදයකාන්ත මේ සිනමා ප්‍රයත්නයෙන් ගෙන එන්නේ පාතාල සමාජයේ ඇවතුම් පැවතුම පිළිබඳ ලොමු දැහැගැන්වෙන සිදුවීම් මාලාවකි. සොරකම් හා අනවසර මත්පැන් සමඟ ගොඩනැඟෙන මෙම පාතාල සමාජය බලලෝභී දේශපාලනයේ ඉත්තකු බවට පත්වන සැටි උදයකාන්ත කියා සිටින්නේ මෙම සිදුවීම් සමඟය. සිනමාපටය ඇරඹෙන්නේම මෙකරුණ සහිතවයි. මේ සමඟම සිනමාපටය ගිනි අවි හරඹ, ඝාතන, ලේ වැගිරීම්, පාවාදීම් ආදියෙන් පිරුණු අත්දැකීමක් බවට පත්වන වග රසිකයාට රහසක් නොවේ. රසිකයා ස්ව කැමැත්තෙන්ම සිය අසුනේ හරි බරි ගැසී වාඩිවන්නේ උදයකාන්තගේ මෙම අරමුණ හෝ කාර්යය සියැසින් දකිනු රිසියෙනි.
මෙනිසා පාතාල සමාජය පිළිබඳ දේශපාලනික හෝ සමාජයීය සඳහන් කිරීමකින් අනතුරුව නව කියැවීමක් සහතික කරලීමට උදයකාන්ත සමත් නොවන බව පෙනේ. එනමුදු ත්‍රාසය, භීතිය දනවනු සඳහා සිනමා රූපය නිසි ලෙස පරිහරණය සම්බන්ධයෙන් තමා උපයා ගත් දැනුම පෙන්නුම් කරන්නට නම් උදයකාන්ත මෙහිදී සමත් වෙයි. කිසිදු විරාමයක් නොගෙන සිනමාපටය දකින්නටයි රසිකයාට සිදුවන්නේ. ඇසි පිය ගැසීමටද ඔහු අකමැති වන හැඩය. ඇතැම් පළපුරුදු සිනමාකරුවන් පවා මෙබඳු රූප පෙළක් නිර්මාණයට අසමත් වූ අවස්ථා මෑතකාලීන සිරිලක සිනමාවේ නොපවතිනවාම නොවේ. එබන්දකුට මෙය යම් ලකුණක් හසු කර ගත හැකි අවස්ථාවකි.
සිනමාපටයේ සමස්තය පුරුෂ රූපී ස්වරූපයක් උසුලන්නේ ස්ත්‍රී චරිත සීමා වීම නිසාම නොවන බව සිහිකටයුතුය. යම් ස්ත්‍රී චරිතයක් තුරුණු බව හෝ ලිංගික සංකේත සේ ඉස්මතු කළේ නම් අදාළ ක්‍රියාදාම මුහුණුවර යටපත් වන්නට වුව ඉඩ තිබූ බවද සිතේ. එසේම මෙය සම්මත පවුලේ සිනමා රසිකයන්ගේ සහභාගීත්වයම ඉලක්ක කර ගත් සිනමාපටයක් නොවිය යුතු බවටද උදයකාන්ත තීන්දු කොට ඇති සෙයකි. ප්‍රචණ්ඩත්වය අවධාරණයට පියවර සැලසීම පවුලේ සිනමා රසිකයන් දිරිමත් කිරීමක් නොවේ. පවුලේ සිනමා රසිකයන් බැහැර කොට ප්‍රචණ්ඩත්වයට මනාප රසික කණ්ඩායම් අමතන්නට උදයකාන්ත මේ දරන්නේ විවාදාත්මක උත්සාහයකි. වත්මන් සිරිලක සිනමාවේ රජයන්නේ ආලය මුල් කරගත් රසාලිප්ත සිනමාපටය. එනමුදු ඉන්දියාවේ දකුණු දෙසින් එන ඇතැම් සිනමාපට සමඟ ප්‍රචණ්ඩත්වය දැකීම සිය පළමු කැමැත්ත බවට පත් කර ගන්නා රසික පිරිසක්ද වෙසෙති. මෙවර උදයකාන්තට වඩා සමීප වනු ඇත්තේ මොවුන් යැයි එක්විටම පැවසීම අසීරුය. මන්ද මොවුන්ගේ පළමු තෝරා ගැනීම සිරිලක සිනමාපට නොවන හෙයිනි.
අදින් විසි හය වසකට පෙර ප්‍රදර්ශිත ‘ගිනි අවි සහ ගිනි කෙළි’ පළමු සිනමාපටය ප්‍රතිවිවරණයකදී දත හැකි වන්නේ ප්‍රචණ්ඩත්වය විෂයෙහි ඊට බැඳෙන මිනිස් සබඳතා සලකා බැලීමට උදයකාන්ත සුදානමවූ බවය. ඔහුගේ ‘රාජ්‍ය සේව්‍ය පිණිසයි’ දේශපාලන ප්‍රචණ්ඩත්වය සමඟ මිනිස් සබඳතා සමගාමීව නිරූපිත තවත් අවස්ථාවකි.මෙවර එය ගිලිහී යාම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කිරීම සුදුසු නොවේ. මන්ද කාලානුරූපව නා නා විධ තේමා හා ප්‍රකාශන විලාස සමඟ සිනමාකරුවකු සේ හැසිරෙන්නට ඔහු සමත් වන නිසාවෙනි. සිරිලක රසාලිප්ත විනෝදාත්මක සිනමාපට මාදිලි සඳහාත්, විවාදාත්මක සිනමාපට මාදිලි සඳහාත් ඔහු ලබා දෙන දායකත්වය අවතක්සේරු කළ යුතු නැත. ඇතැම් පසුබෑම් වෙතින් පවා ඔහුගේ සිනමා භාවිතය මේ කාරණය අවධාරණය කරයි.
‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ රසිකයා සසල කරන සිනමාපටයක් බවට පත් කරලනු පිණිස ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හා ධනුක දිල්හාන් ප්‍රමුඛ චරිත නිරූපණයෙන් ලබා දෙන සහය කැපී පෙනී. කෙසේ නමුදු ඔවුනට මෙම සමත්කම පළ කළ හැකි වන්නේ ලකී ඩයස්,අනුර බණ්ඩාර රාජගුරු, රොජර් සෙනෙවිරත්න සමඟ රත්නා ලාලනී ජයකොඩි සිය දිගු කාලීන රූපණ අත්දැකීම් අනුසාරයෙන් සිදු කරන මැදිහත්වීමද නිසාය. චිත්‍රාල් සෝමපාලගේ පසුබිම් සංගීතය මේ මාදිලියේ සිනමාපටයකට උචිතයි. මෙතැනට සංස්කාරක රුවන් චාමර රණසිංහ හා කැමරා ශිල්පී අයේෂ්මන්ත හෙට්ටිආරච්චිද කැඳවීම නුසුදුසු නොවේ.
මේ සිනමාපටයත් සමඟම උදයකාන්ත යළිත් වරක් විද්වත් සිනමා රසිකයන්ගේ හා විචාරක පාර්ශ්වයේ උදහසට ලක් වනු ඇත. මේ සංකීර්ණ හා දුර දිග ගිය මිනිස් සබඳතා සමඟ සාරවත් විවරණයකින් යුතු සිනමාපට නිර්මාණයට ඔහු දැන් පැකිළෙන්නේය යන කාරණය නිසාය. කෙසේ වුවත් උදයකාන්ත මෙයින් මිදී යන්නේ සිරිලක සිනමා කෙත කවරාකාරයෙන් හෝ අස්වද්දන්නට තමා සමත්වන්නේය යන්න තවදුරටත් සහතික කරන හෙයිනි.
තුසිත ජයසුන්දර