ප්‍රකට රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරියගේ අඩ සියවසක රඟ යුග මෙහෙවර අගයමින් සිදු කරන ‘ප්‍රසන්නාවලෝකන නාට්‍ය උලෙළ හා ප්‍රසන්නාවලෝකන ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. එදින ප්‍රසන්නජිත් රඟපානු ලැබූ සචිත්‍ර රාහුබද්ධගේ ‘දෙමළා නම්’ කෙටි නාට්‍ය ද වේදිකා ගත විය. මේ සියලු දේ පිළිබඳත්, ඔහුගේ නිර්මාණ ජීවිතයත් අලළා මේ ලිපිය සැකසිණි.
ඒ 1985 වසර. කොළඹින් ඈත හිඟුරක්ගොඩ ප්‍රදේශයට ප්‍රසන්නජිත් ඇතුළු පිරිස ගියා. ඒ වීදි නාට්‍ය කණ්ඩායමක් විදියට වීදි නාට්‍ය පෙන්වන්න හිතාගෙන. එදා ගමේ තැන් පහක නාට්‍ය පෙන්නන්න ඔවුන්ට සිදු වුණා. පොළවල් කීපයක. තවත් ගමක. අන්තිම ෂෝ එක තිබුණේ රෑ හතට විතර තවත් ගමක. ඒ කාලයේ මිනිස්සු පදිංචි කළ කොලනියක් වුණු ඒ ගමේ උන්නු අය කළේ හේන් ගොවිතැන. එදා ඒ හිටිය ගොවියෝ එතනට ආවේ නාට්‍ය නරඹන්න. අන්තිමේදි නාට්‍ය කණ්ඩායම එනවා බලාගෙන ඉඳලා ඔවුන් නිවෙස් වලට ගියේ රෑ එකොළහට විතර. ඒත් එක්කමයි ප්‍රසන්න ඇතුළු පිරිස එතැනට ආවේ.
“මේ කට්ටිය දැන් ගියා විතරයි”
ඔවුන්ට පැවසුවේ සංවිධායකවරයා.
“නාට්‍ය පෙන්නන්න බැරිද?”
ඒ සංවිධායකවරයා යළිත් ඔවුන්ගෙන් විමසුවා.
“නාට්‍ය පෙන්නන්න සෙනඟ කෝ.”
ඒ විමසුවේ නාට්‍ය කණ්ඩායමේ හිටිය තවත් කෙනෙක්.
“මම සෙනඟ ගෙනැත් දෙන්නම්. ඔයාලා ලේස්ති වෙන්න.”
ඔහු එහෙම කිව්වත් පේන මානෙක නෙමෙයි ගෙවල් තිබුණේ. ඕන එකක් වෙන්න කියලා ඔවුන් එතනම තිබුණු දොළපාරට බැහැලා නා ගත්තා.
නාගන එනකොට ඒ ගම්වැසියෝ ඔවුන්ට කන්න බතල පුච්චලා තිබුණා. ඒක බොහොම රස කෑමක්. කණ්ඩායමේ වෙහෙස මහන්සිය කොහේ ගියාද කියලා දන්නේ නැහැ. එතකොටත් රෑ දොළහ විතර වුණත්, කණ්ඩායම සූදානම් වුණේ නාට්‍ය පෙන්වන්න. පන්දම් පත්තු කරලා, බෙර ගහලා සින්දු කිව්වා විතරයි තැනින් තැනින් පොඩි පොඩි එළි දිලිසෙන්න පටන් ගත්තා. පන්දම් අතින් ගත්ත ට්‍රැක්ටර්වලින් ආව මිනිස්සු ඒ මුළු ප්‍රදේශයම වසා ගත්තා. පොඩි දරුවෝ, තරුණ අය වගේම වයසක මිනිස්සුත් ඒ අතර හිටියා. පාන්දර දෙකහමාර වෙනතුරු ප්‍රසන්නජිත් ඇතුළු වීදි නාට්‍ය කණ්ඩායම නාට්‍ය පෙන්නුවා. සින්දු කිව්වා. ඒ ඒක නැරඹුව වයසක අම්මා කෙනෙක් මෙහෙම කිව්වා.
“මෙහෙට කිසිම කෙනෙක් එන්නේ නැහැ. මහත්තයලට ගොඩක් පින්. මහත්තයලා කරේ බුදුහාමුදුරුවෝ කරා වගේ වැඩක්.”
ඒ අම්මා කිව්ව වචන ටික ප්‍රසන්නජිත් ඇතුළු නාට්‍ය කණ්ඩායම පුදුමයට පත් කළා.
“ඒ අම්මගේ කතාව මට අද වගේ මතකයි. ඒ වෙලාවේ ඒ ලැබුණු සතුට වෙනත් කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ම ඒ කාර්ය අපි අදටත් නවත්වලා නැහැ. ඈත දුෂ්කර ගම්වලට ගිහින් නාට්‍ය විතරක් නොවෙයි, නාට්‍ය වැඩමුළු, රසවින්දන වැඩසටහන් කරනවා. මගේ ‘ජීවිතය රස විඳීමු’ කියන වැඩසටහනක් තියෙනවා. එහිදි අපේ ජීවිතයේ අත්හැරුණු තැන්, අත්හැර ගත්ත තැන් පිළිබඳ ගීත මාර්ගයෙන් සින්දු කියලා, කවි මඟින් විග්‍රහ කරමින් කතාබහක යෙදෙනවා. ඒ වැඩසටහනට සංගීතය කරන ශාන්ත පීරිස් මහත්තයාත් අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා.”
එහෙම අතීත ස්මරණයක යෙදෙමින් ප්‍රවීණ නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු මෙන්ම අනුශාංගික අංග කිහිපයකම කටයුතු කරන ප්‍රසන්නජිත් අබේසූරිය ඔහුගේ අලුත් ම වැඩකටයුතු ගැනත්, මේ අලුත් ම ප්‍රසංගය ගැනත් අපත් සමඟ කතාබහ ආරම්භ කළා.
“වසර පනහක් කියන්නේ මිනිහෙකුට ලොකු කාලයක් නොවෙයි. ඒත් මේ තරම් වැඩ ගොඩක් එක්ක වසර පනහක් ගතවුණා කියන්නේ අසීරු වැඩක්. ඒත් මේ තරම් ඉක්මනට මේ තරම් කාලයක් ගත වුණා කියලා මට හිතාගන්නවත් බැහැ. මම තවම අසූව දශකයේ නැවතිලා වගෙයි දැනෙන්නේ. ඒ කියන්නේ මගේ ජීවිතය අසූව දශකයේ නැවතිලා කියලයි හිතෙන්නේ. අසූව දශකය කියන්නේ මගේ ජීවිතය ගොඩක් වෙනස් කළ කාලයක්. අද අපි ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්නවා නම් ඒ සඳහා පළමු අඩිතාලම වැටුණු දශකය වෙන්නේ අසූව දශකයයි. අසූව දශකය ආරම්භයේයි මා වීදි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒ දශකය අවසාන වනවිටයි මගේ පළමු වේදිකා නාට්‍යය වන ‘දුක්ගන්නා රාළ’ කරන්නේ. ඒ දශකය මැද භගයේදියි මට සෝමලතා සුබසිංහ වැනි ගුරුතුමියක් හමු වෙන්නේ. සරච්චන්ද්‍ර මහත්තයාගේ ඇසුර ලැබෙන්නේ. රංජිත් ධර්මකීර්ති වැනි ප්‍රවීණ නාට්‍යකරුවන් හමුවෙන්‌නේ. මේ නිසා මා තාම ඒ දශකයේ නැවතිලා වගේ කියලයි මට දැනෙන්නේ. ඒක වඩාත් දැනෙන්නේ මේ උලෙළ සඳහා 89 වසරේ කළ ‘දුක්ගන්නා රාළ’, 95 වසරේ කළ ‘දොර්දණ්ඩා’ වේදිකා නාට්‍යවල යළිත් පුහුණු වීම් කරන විටයි. එතනදි මට හිතෙන්නේ ඒ කාලයට ගියා වගේ කියලයි. ඒ තරම්ම මගේ ජීවිතයට වැදගත් වන අනෙක් දශකය වන්නේ 90 දශකයයි”
ප්‍රසන්නජිත් අබේසූරියගේ අඩ සියවසක රඟ යුග මෙහෙවර අගයමින් සිදු කරන ‘ප්‍රසන්නාවලෝකන නාට්‍ය උලෙළ හා ප්‍රසන්නාවලෝකන ග්‍රන්ථය එළිදැක්වීම’ ජීවිතයේ එක්තරා කඩඉමක්. එය ලෙහෙසි පහසු කඩඉමක් නොවෙයි. අඩසියවසක කාලයක්.
“නයනගෙයි, මගෙයි උපන්දිනය යෙදෙන්නේ අගෝස්තු මාසයේ. මගේ උපන්දිනය 09. නයනාගේ උපන්දිනය 08. අපි දෙන්නා එකම අවුරුද්දේ, එකම මාසයේ ඉපදෙන්නේ. අපි උපන්දිනය සමරන්නේ එකට. ගිය වසරේ උපන්දිනයේදි පුතාලා පැවසුවේ මේ වසරේදි උපන්දිනය නිකම්ම සැමරිය නොහැකි බවයි. මීට පෙරත් කිහිපවිටකම උලෙළක් කිරීමට සිතාගෙන සිටියත් එය හෙමින් කල් දැම්මා. මෙවර යෝජනාව ඉදිරිපත් වුණාට පස්සේ මා පවසුවේ ඡන්දයෙන් පස්සේ රටේ තත්ත්වය බලලා ඒක කරමු කියලා. ඒ අනුව ඒ කාර්ය සිදු කරන්න මා අවසර දුන්නා. ඉතින් පොඩියටයි ඒක ආරම්භ කළේ. ඒ මා රඟපාන වේදිකා නාට්‍ය කිහිපයකින්. ඒත් එතනදි මා රඟපෑව අනෙක් නිර්මාණ තෝරාගත්තේ නැත්තේ ඇයි කියලා අනෙක් නිර්මාණකරුවන්ට ප්‍රශ්නයක් නැඟෙනවා. එහෙම බලන විට මේ කටයුත්තට මා රඟපෑව නාට්‍ය හත අටක් ම තෝරා ගත යුතුයි. ඒ අනුව මගේ මිත්‍රයන් විවිධ තීරණ ගෙනාවා. ‘දෝර්දණ්ඩා’ වගේ නිර්මාණ බැලුව අය කිව්වේ ඒක නැවත කළ යුතුයි කියලා. ඔවුන් කොළඹට ඇවිත් ඉස්සෙල්ලා ම නැරඹුව වේදිකා නාට්‍ය වුණේ ඒක. ඔවුන් වේදිකා නාට්‍ය නරඹන්න පෙලඹුණේ ඒ වගේ නාට්‍ය නැරැඹුව නිසයි. ඒ නිසා එය නැවතත් කළ යුතුයි කියන කතාවත් එක්ක නාට්‍ය උලෙළක් කරමු කියන අදහස ඉදිරිපත් වුණා. ඒ නිසා මගේ පැරැණි වේදිකා නාට්‍ය දෙකත් කරන්නත් එක්ක මේක නිමිත්තක් කර ගත්තා. හරියටම බැලුවොත් මගේ රඟපෑව නිර්මාණ ඇතුළුව සියල්ල පහළොවක් විතර තියෙනවා. ඒ අතුරින් නිර්මාණ දහයක් තෝරා ගනිමින් වේදිකා නාට්‍ය උලෙළක් තියන්න තීරණය වුණා. මේ සියලු තීරණත් එක්ක සමාරම්භක උත්සවය වගේ ම නාට්‍ය උලෙළ ආරම්භ වුණේ 10 වැනිදා. ඒකත් සමඟ ම ප්‍රසන්නාවලෝකනය නමින් ග්‍රන්ථයක් එළිදැක්වුණා. ‘මනමේ’ වේදිකා නාට්‍යය වේදිකා ගතවීමෙන් නාට්‍ය උලෙළ ආරම්භ වෙනවා. සමාරම්භක උත්සවය දවසේ ම ‘දෙමළා නම්’ කෙටි නාට්‍ය වේදිකා ගතවුණා. එතැන් පටන් 18 වැනිද දක්වා ‘විකෘති’, ‘කැලණි පාලම’, ‘කුවේණි’, ‘සිංදුකාර කවි නළුව’, ‘තලමල පිපිලා’, ‘සකුන්තලා’, ‘දුක්ගන්නාරාළ’, ‘දෝර්දණ්ඩා’ කියන වේදිකා නාට්‍ය පිළිවෙළින් වේදිකා ගත වුණා. මෙහිදි මම වගේ ම නයනා, පුතාලා දෙන්නාත් මේ වේදිකා නාට්‍ය උලෙළේ නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වුණා.”
‘දුක්ගන්නාරාළ’, ‘දෝර්දණ්ඩා’ කියන්නේ සම්මාන රැසක් හිමි කරගත්, බොහොම ඈත ඉතිහාසයක් හිමි කරගත් වේදිකා නාට්‍ය දෙකක්. ඒවා නැවතත් නිෂ්පාදන වීම සිදු වෙන්නේ මේ නාට්‍ය උලෙළ මඟින්.
“මගේ පළමු වේදිකා නාට්‍ය වෙන්නේ ‘යාළුයි අපි යාළුයි’ කියන ළමා නාට්‍යය. ඊට පස්සෙයි ‘දුක්ගන්නාරාළ’ කරන්නේ. ඒක 1989 වසරේදියි වේදිකා ගත වුණේ. ඒ සඳහා යෞවන සම්මාන උලෙළේදි වගේ ම රාජ්‍ය සම්මාන උලෙළේදි සම්මාන රැසක්ම ලැබුණා. නැවත එහි නව නිෂ්පාදනයක් මා විසින් ම කරන්නේ මේ වේදිකා නාට්‍ය උලෙළටයි. ඒ වසර තිස්හයකට පමණ පස්සේ. ඒ වගේ ම ඒ වේදිකා නාට්‍යය මහාචාර්ය රංජනී ඔබේසේකර අතින් ඉංග්‍රීසියට පරිවර්තනය වුණා. ඒ පිටපත ඇය කළ පර්යෂෙණ ග්‍රන්ථයක් වුණු ‘ශ්‍රීලංකන් තියටර් ඉන් අ ටයිම්ස් ඔෆ් ටෙරර්’ කියන කෘතියට ඇතුළත් කර තියෙනවා. එහි තිබෙන පිටපත දැක්ක ඇමෙරිකාවේ නාට්‍ය හා රංගකලාව උගන්වන ච්අඡ්එ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු මේ වේදිකා නාට්‍යයේ ඉංග්‍රීසි පිටපත ඔහුගේ අවසන් වසර නිෂ්පාදනයක් විදියට තෝරා ගත්තා. මේ වනවිට ඉංග්‍රීසි පිටපත ඇසුරින් ප්‍රංශ භාෂාවෙන් කෙනෙකු මේ වේදිකා නාට්‍යය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරනවා. ඒ වගේ ම 2025 මාර්තු මාසයේ නවසීලන්තයේ වෙසෙන රෝහිත කරුණාරත්න ඔහුගේ නාට්‍ය කණ්ඩායමත් එක්ක ‘බියොන්ඩ් ද මිරර් – කැඩපතින් එහා’ නමින් නව නිෂ්පාදනයක් ලෙස ‘දුක්ගන්නාරාළ’ පිටපත ඇසුරින් වේදිකා නාට්‍යයක් කළා. මමත්, නයනත් එය නැරැඹීමට එහි ගියා. එයාලා ඒ වැඩේ හොඳට කරලා තිබුණා. ඒ ඇරෙන්න මා මේ වේදිකා නාට්‍ය නැවත නිෂ්පාදනය කළේ නැහැ. ඒ වගේ ම ඒ කාලයේ ‘දෝර්දණ්ඩා’ වේදිකා ගත වනතුරු ම ‘දුක්ගන්නාරාළ’ වේදිකා නාට්‍යය වේදිකා ගතවුණා.”
කාලයකට පස්සේ නිෂ්පාදනය වන මේ වේදිකා නාට්‍ය නරඹන්න බොහෝ දෙනා ඉන්නේ බොහොම කැමැත්තෙන්. ඒ වගේ ම මේ වේදිකා නාට්‍යවල රඟපෑ කලින් ශිල්පීනුත් තවම එහි රඟපානවා ද යන ප්‍රශ්නය මගේ සිතේ පැන නැඟුණා.
“මෙහි එදා රඟපෑව ශිල්පීන් අතුරින් වර්තමානයේත් රඟපාන්නේ තිදෙනයි. මගේ බිරිය වන නයනාත්, ප්‍රභා සඳශීලිත්, මමත්. සංගීත නිර්මාණයෙන් නවරත්න ගමගේත් දායක වෙනවා. මෙවර ඒ සංගීතය ම මෙහෙයවමින් අධ්‍යක්ෂණය කරන්නේ ශාන්ත පීරිස්. ‘දුක්ගන්නාරාළ’ වේදිකා නාට්‍යයේ එදා ප්‍රධාන චරිත රඟපෑවේ මමයි අනෝමා කුමුදුනියි. ඒ වසරේ යෞවන සම්මාන උලෙළේදි අනෝමා හොඳම නිළිය වුණා. ඈට පස්සේ ඒ චරිතය රඟපෑවේ දමයන්ති ෆොන්සේකා. ඈටත් රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජූරියේ විශේෂ සම්මානයක් ලැබෙනවා. ඒත් ඒ චරිතය මෙවර රඟපාන්නේ පබෝධා සන්දීපනී. ඈ වේදිකාවේ වැඩිය රඟපාලා නැහැ. ඒත් ජයලත් මනෝරත්නගේ ‘මකරා’ වේදිකා නාට්‍යයේ දර්ශන දෙක තුනක වගේ ඈ රඟපාලා තියෙනවා. එහෙත් මෙවර ඈ බොහොම දක්ෂ විදියට වේදිකාවේ රඟපානවා. ඒක විශේෂත්වයක්. ඒ වගේ ම අනෙක් විශේෂත්වය වන්නේ ජයකොඩි පවුලේ ගීතාකාන්ති ජයකොඩි මාත් සමඟ ‘කැලණි පාලම’ නාට්‍යයේත්, රත්නා ලාලනී ජයකොඩි ‘තලමල පිපිලා’, ‘සින්දුකාර කවි නළුව’ නිර්මාණවලත් රඟපානවා.”
අඩ සියවසක් පැමිණි ගමනේදි ප්‍රසන්නජිත්ට බොහෝ දේ ලැබෙනවා. ඒ අතර ඔහු වඩාත් අගයන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ඔහුට ලැබුණු දේ. ප්‍රේක්ෂකයන් ඔහු පිළිබඳ සිතන දේ.
“මෙවැනි කටයුත්තක් කරනවා කිව්වට පස්සේ සියලු දෙනාම වගේ මට කතා කළා. එවිට මට බොහොම සතුටක් දැනුණා. මොකද යම් දෙයක් අපි, මිනිසුන්ට කරලා තියෙනවා කියන හැඟීමත් එක්ක. ඒ නිසා ඒ තත්ත්වය රැකගෙන මෙතන්ට එන්නට හැකිවීම ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. ඒ සඳහා වින්ඳ දුක්කම්ටුලු අපමණයි. අපි කලාකරුවන් විදියට වෙනත් දෙයක් කරන්න බැහැ. ඒ නිසා ඒ කාර්යයවත් හරියට කළ යුතුයි. ඒ වගේ ම ඒ කාර්යය මා හරියට කළා කියන විශ්වාසය ඇති වෙන්නේ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්කයි. ඒක ගැන මට සතුටක් තියෙනවා. නිර්මාණකරුවකු විදියට අනෙක් අයගේ කලා නිර්මාණවල වගේ ම තමන්ගේ නිර්මාණවලට දායක වෙලා රඟපෑවා. ඒ විතරක් නොවෙයි මම ම නාට්‍ය අධ්‍යක්ෂණය කළා; රචනය කළා. අනෙකුත් අනුශාංගික අංග කළා. ටෙලි නාට්‍ය රඟපෑවා. ඒ සියලු දේ කරන අතරතුර මා නාට්‍ය කලාව වෙනුවෙන්, එහි අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා. ගම්වලට ගිහින් නාට්‍ය පෙන්වලා, නාට්‍ය වැඩමුළු මඟින්, මිනිසුන්ගේ රසඥතාව වර්ධනය කරන නොයෙකුත් ක්‍රියාකාරකම් අදටත් කරනවා. මේ සියලු දේ දෙස හැරිලා බැලුවට පස්සේ අපි වයසටත් වඩා වැඩ කරලා තියෙනවා නේද කියන හැඟීමක් ඇති වෙනවා. සතුටක් දැනෙනවා.”
වැල්ලම්පිටියේ උපත ලැබුව ප්‍රසන්නජිත් තමන්ගේ නිර්මාණ ජීවිතයට අත්පොත් තියන්නේ පාසල් යන්නත් කලින් බොහොම පුංචි කාලයේ. පොල්කොටන් නාට්‍ය යැයි එකල වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූ ඒ නාට්‍ය මාස තුනකට, හතරකට වතාවක් කොළොන්නාවේ පෙන්නුවා.
“ඒ කාලයේ ඒ වේදිකාවේ කළ නාට්‍ය රෙකෝඩින් කරනවා. මට මතකයි, ඒ නාට්‍ය කළ අධ්‍යක්ෂවරයාගේ හෝ වෙනත් ගෙදරක ජනෙල්, දොරවල්වලට මෙට්ට, කොට්ට තියලා බැඳලා, ගුවන්විදුල සංස්ථාවේ වගේ මයික් එල්ලලා, රෑ දොළහට විතර පටන්ගෙන එළිවෙනතුරු රෙකෝඩ් කරනවා. ඊට පස්සේ ඒ හඬපටයට අනුවයි අපි නාට්‍ය පුහුණුවීම් කරන්නේ. මයිමින් කර කර අපි රඟපානවා. ඒ කාලයේ මට මුලින්ම දෙබසක් කියන්න් ලැබුණේ ගමේ ගැමියකුගේ පුතෙකුට රඟපෑව වෙලාවේ. මට ඉන්න අයියාගේ අතේ ස්වස්ථික ලකුණක් තියෙනවා. රජවාසලෙන් ලැබුණු අණකට අනුව ඒ ලකුණ තියෙන අයව මරන්න නියම වෙනවා. ඒ වෙලාවේ අපේ ගෙදරටත් ඇවිත් තාත්තාව මරලා අයියාව අරගෙන යනවා. ඒ වෙලාවේ මට තියෙන්නේ “අයියෝ අප්පච්චි… අයියාව අරගෙන ගියා. නැඟිටින්න අප්පච්චී” කියලා අඬන්න. ඒ නාට්‍යය පෙන්නුවේ අපේ ගමේ වැල්ලම්පිටිය හන්දියේ. ඒ වෙලාවේ මම දුවගෙන ආවා. මිනිස්සු පිරිලා. මම එකපාරටම අඬන්නේ නැතිව තුස්නිම්භූත වෙලා වගේ අර පිරිස දිහා බලාගෙන හිටියා. අන්තිමට හඬපටය ගිහින් ඉවරයි. මැරිච්ච නළුවා නැඟිටලා මට කනට එකක් ගහලා ඇදගෙන ගියේ “තමුසේ මොකක් ද ඒ කළේ” කියමින්. ඒ අත්දැකීම මට අද වගේ මතකයි.”
එහෙම රඟපෑව ප්‍රසන්නජිත් කියන කොලුගැටයා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ 1975 වසරේ. අන්තර් පාඨශාලයීය තරගයට පාසලෙන් ‘මිදිවත්ත’ නමින් නාට්‍යයක් දමන ඔහුට ඒ නාට්‍ය කරන්න යන කාලේ අපූරු යෙහෙළියක මුණ ගැහෙනවා. ඈ නයනා ජයමාලි ඩයස්. ඈ රඟපෑව ‘ගිනිකඳු’ කියන වේදිකා නාට්‍යයේ විස්තර අසන ඔහු ට සිරිතුංග පෙරේරා කළ ඒ නාට්‍යය බලන්න යන්න හිතෙනවා. ඒ විතරක් නොවෙයි යෙහෙළියත් එක්ක එහි යන ඔහු, නිල වශයෙන් නොවන විදියට ඒ නාට්‍යයේ කටයුතුවලට උදවු වෙන්නේ සිරිතුංග පෙරේරාගේ ආරාධනයෙන්. එතකොට ප්‍රසන්නජිත්ට අවුරුදු හතයි.
“ඊළඟ සිරිතුංග පෙරේරාගේ කළ ‘ගමනේ යා’ නාට්‍යයේ මට තනතුරක් ලැබෙනවා. ඒ පෙළමතක්කරදෙන්නා විදියට. එතන ඉඳලා 1980 වනනතුරු එයාලා කළ නාට්‍යවල, ජයසේකර අපොන්සු කළ නාට්‍යවල පෙළමතක්කරදෙන්නා විදියට වැඩ කළා. එහෙම ඉඳලා පළමුවෙන්ම රඟපාන්න ලැබෙන්නේ සිරිතුංග පෙරේරාගේම ‘පරණකෝට්’ වේදිකා නාට්‍යයේ. ඒ කාලයේම මට වීදි නාට්‍යවලටත් සම්බන්ධ වීමට ලැබෙනවා. ඒ නිමල් චන්ද්‍රසිරි කියන එහි පුරෝගාමී සාමාජිකයකු මාර්ගයෙන්. එහෙමයි මගේ කලා ජීවිතයේ වෙනසක් වෙන්න පටන් ගන්නේ. ඉන් පස්සේ මේ විෂයය හැඳෑරිය යුතු දෙයක් කියලා මට හැඟෙන්න ගන්නවා. ඊටත් පස්සෙයි ප්‍රවීණ නාට්‍යවේදි රංජිත් ධර්මකීර්තිව හඳුනගන්න ලැබෙන්නේ. ඒ වගේ ම 89 වසරේ මා රාජ්‍ය රංග කලායතනයට බැඳීලා ඉගෙන ගන්නවා. 93 වසරේ මා උසස් පෙළ කරනවා.”
ප්‍රසන්නජිත් රංගනය ඇතුළු අනෙක් කාර්යයන්වලට අමතරව වේදිකාවේ වැඩි සම්මාන ප්‍රමාණයක් දිනලා තියෙන්නේ රංගවස්ත්‍ර නිර්මාණයට වගේ ම රංග වින්‍යාසයට. සංගීතය හැර අනෙකුත් සියලු ම දේට ඔහු වේදිකාවේදි සම්මාන හිමිකර ගන්නේ හැබෑම දක්ෂයකු නිසා. ඒ වගේ ම ඔහුව තව තවත් ඉදිරියට අරගෙන යන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සෝමලතා සුබසිංහ කියන ප්‍රවීණයන් සමඟ ඇසුර.
“සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලට මා දායක වෙන්නේ ‘පේමතේ ජායතී සෝකෝ’ නාට්‍යයෙන්. ඒ පණිවිඩය මට කියන්නේ නිශ්ශංක දිද්දෙණිය. එතැනින් පටන් ගත්ත ගමන ඔහුගේ ‘මනමේ’, සිංහබාහු’, ‘මහාසාර’, ලෝමහංස, බවකඩතුරාව ඇතුළු වේදිකා නාට්‍ය රැසකටම ලබාදෙන්න මට හැකියාව ලැබෙනවා. ඒත් මෑත කාලයේ ඒ හැමදෙයකින්ම මා ඈත් වුණා. වසර තුනකට විතර පසුවයි මා මේ නාට්‍ය උලෙළට, ‘මනමේ’ හා ‘විකෘති’ වේදිකා නාට්‍යවල නැවතත් රඟපාන්නේ. ඒ වගේ ම එදිරිවීර සරච්චන්ද්‍රයන්, සෝමලතා සුබසිංහයන්, ගාමිණී හත්තොටුවගම කියන ගුරුවරුන් තිදෙනායි මට අලුතින් හිතන්න, ජීවිතය වෙනස් කරගන්න ඉගැන්නුවේ. මගේ කලා ජීවිතය වඩාත් පෝෂණය කළේ ඔවුන්. ඒ වගේ ම මගේ ජීවිතයේ දෙවැනි අම්මා වන්නේ සෝමලතා සුබසිංහයන්. නාට්‍ය කලාවට වගේ ම අපේ ජීවිතවලටත් ඈ බොහොම සම්බන්ධයි. ඉගෙන ගැනීමේ වටිනාකම ගැන අපට වටහා දුන්නේ එතුමිය විසින්. ”
මෙවැනි ප්‍රවීණයන්ගේ ඇසුරයි ඔහුව වඩාත් හොඳ නිර්මාණකරුවකු කරන්නේ. ඔහුව ගුරුවරයකු කරන්නේ. ඔහුව අද සිටින තත්ත්වයට අරගෙන එන්නේ. ඒ හැම භූමිකාවකටම අමතරව ඔහුව වඩාත් අපේ මතකයට නැඟෙන්නේ වීදි නාට්‍යකරුවකු විදියට.
“මගේ වසර පනහක කලා ජීවිතයේ ඇතුළේ වඩාත් තෘප්තිමත් වෙන්නේ විදි නාට්‍යකරුවකු වීම පිළිබඳයි. අසූවේ පටන් 2001 දක්වා වසර විසි එකක් මා ඒ කණ්ඩායමත් සමඟ වැඩ කළා. ඒ වැඩවලදි ගුටි කෑවා. ඒත් කණ්ඩායමත් එක්ක තිබුණු යම් යම් ගැටලු නිසා මා එතනින් ඉවත් වෙලා ‘පහුර’ වීදි නාට්‍ය කණ්ඩායම නමින් මගේ ම වීදි නාට්‍ය කණ්ඩායමක් හදා ගත්තා.”
ප්‍රසන්ජිත්ගේ ජීවිතයේ සිදුවුණු හැම වෙනස්කමක් එක්කම ඔහු නිතරම හිතන දෙයක් තියෙනවා. ඒ ඔහු බොහොම වාසනාවන්ත මිනිසෙකු බවයි. ඔහුගේ බිරිය ප්‍රවීණ රංගන ශිල්පියනියක වන නයනා හෙට්ටිආරච්චි, දරුවන් දෙදෙනා වන උවිඳු හර්ෂජිත් හා හරිඳු රංගජිත් සමඟ ගෙවන ජීවිතය ඔහුව වඩාත් තෘප්තිමත් හැඟීමකින් පුරවනවා.
“ලෝකයේ ඉන්න වාසනාවන්තම මිනිහා මා කියලයි මම හිතන්නේ. ඒකට හේතුව මා ආසම කරන දේවල්, මා ජීවිතයම වගේ සලකන දේවල් කරන බිරියක්, දරුවන් සමඟයි ජීවත් වෙන්නේ. ඔවුන් සියලු දෙනාම එකම වගේ. අපට ඉතින් පවුලත්, ජීවිතයත් මෙයයි. හරියට ගෙදරත් වේදිකාවක් වගේ. කොයිවෙලාවෙත් ගෙදර නාට්‍ය වැඩම තමයි. ගෙවල් හැදුවෙත් කලාවට ඕන විදියටයි. ගෙදර රූප් ටොප් එකේ තියෙන්නේ කලායතනය. ගෙදර කොයිවෙලාවේ බැලුවත් නාට්‍ය වැඩකට යන්න සාලයේ එක්කෝ මගේ බෑග් එකක්, එක්කෝ බිරියගේ බෑග් එකක්, නැත්නම් පුතාලගේ බෑග් එකක් සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපට නාට්‍ය කලාවෙන් තොර ලෝකයක් නැහැ. එදා ඉඳලා නාට්‍ය කලාවයි අපේ ජීවිතය වෙලා තියෙන්නේ. මා මනුෂ්‍යයකු විදියට වඩාත් තෘප්තිමත් වන්නේ නාට්‍යකරුවකු වීම නිසයි. ඒකට අවශ්‍ය පසුබිම ගෙදර පරිසරය ඇතුළේත්, රැකියාව ඇතුළේත් තියෙනවා. නාට්‍යයෙන් තොර ලෝකයක් ජීවිතයටම නැහැ. එහෙම තත්ත්වයක් කෙනෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා මා බොහොම වාසානාවන්ත කෙනෙක්.”
ඔහු පැවසුවේ බොහොම තෘප්තිමත් හැඟීමෙන්. ඒ තෘප්තිමත් හැඟීමත් එක්ක ඔවුන් සියලු දෙනාම බොහොම කාර්යබහුල පිරිසක් වෙලා. ඒ කාර්යබහුල වූ නාට්‍යකරුවාගේ නාට්‍ය උලෙළ දිගටම පවැත්වෙනවා.
තිලානි ශානිකා විතානාච්චි