Home » පළමු චිත්‍රපටය හදනකොට මට අවුරුදු 24යි

පළමු චිත්‍රපටය හදනකොට මට අවුරුදු 24යි

ප්‍රවීණ සිනමාවේදී නීල් රූපසිංහ

by Thanushika
July 10, 2025 12:30 am 0 comment

පසුගියදා පැවති තිස් හය වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මාන ද්විත්වයක් පිරිනමනු ලැබීය. ඉන් එකක් හිමි වූයේ මෙරට සිනමා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වූ සිනමා පට රාශියක් දේශීය සිනමාවට තිළිණ කළ ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨතම සිනමා අධ්‍යක්ෂවරයෙකුටය. ඔහු නීල් රූපසිංහය.

දැන් මතකද? හතර දෙනාම ශූරයෝ, ආදරේ හිතෙනව දැක්කම, ලස්සන කෙල්ල, යකඩයා, සරදියෙල්ගේ පුතා, අමල් බිසෝ වැනි චිත්‍රපට නිර්මාණය කරමින් ඔහු මෙරට සිනමාවේ වෙනස්ම ආකාරයේ සිනමා ආකර්ෂණයක් ඇති කිරීමට පුරෝගාමී වූයේය. එකී මෙහෙවර ඇගැයීමට පාත්‍ර කරමින් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සරසවිය රණතිසර සම්මානයෙන් ඔහු පිදුම් ලද අතර, පසුගිය දිනක අපි ඔහු සොයා ගියේ ගෙවුණු ඉතිහාසයේ අතීත මතක ඔහු සමග සමරන්නටය.

ජීවිතයේ සැඳෑ සමය විවේකීව ගෙවන ඔහු වත්තල සිය නිවසේ ගත කරනුයේ නිස්කලංක දිවියකි. කලක් සිනමාව නිසා ඔහුගේ නිවෙස නළු නිළි කාර්මික ශිල්පීන්ගෙන් හා ජනී ජනයාගෙන් පිරී තිබුණි. තවත් කලක ඔහු දේශපාලනයට පිවිසීම නිසා නිරන්තරයෙන් මේ නිවස ජනතාවගෙන් පිරී තිබිණ. අද ඔහු ඒ සියල්ලන්ගෙන්ම ඉසිඹු ලබා විවේකී දිවියක් ගත කරමින් සිටී.

මේ සියලු අතීත ස්මරණයන් මැද තම දිවියේ ස්වර්ණමය යුගය වශයෙන් අද ද ඔහු සිහිපත් කරන සිනමා දිවිය ගැන කතාබහට පෙරදා මෙන්ම ඔහු උනන්දුය. සියලු කාලවකවානු අතීත සිදුවීම් ඔහුට අද ඊයෙක මෙන් මතකය. තමන් ආදරය කරනා සිදුවීම් කිසි කලකවත් කෙනෙකුට ලෙහෙසියෙන් අමතක වන්නේ නැත.

පෙරදා බැඳී ළබැඳී සෙනෙහසින්ම අප පිළිගත් ඔහු සිය සුපුරුදු අසුනට බර වූයේ අප සමඟ කතාබහටය.

ඉකුත් දිනක සොඳුරු රාත්‍රියකදී ඔහු තුරුලටවන් සරසවිය සම්මානයද සිය මේසයේ දකුණු පසට වන්නට විරාජමාන වනු අපට දැකිය හැකි විය.

“මගේ ජීවිතේ මේ වෙනකන් මට සම්මාන රාශියක් ලැබිලා තිබෙනවා. ඒත් මේ සම්මාන අතර සරසවිය සම්මානය සුවිශේෂියි.

ඔහු පවසන්නේ නිහතමානී සතුටකිනි සරසවිය සම්මානය සේම තවත් ඔහු ලද සම්මාන රාශියක් මේසයේ දකුණු පසින් දක්නට ලැබෙයි.

සම්මාන සතුට සමඟින්ම අපි අතීතයට පියමං කළෙමු.

ජීවිතයේ මුල්ම අවධිය ඔහු ගතකර ඇත්තේ ඉතාම අමිහිරි කටුක දිවි පෙවෙතකි. ඉතා කුඩා නිවසක සහෝදර සහෝදරියන් සමඟ ගෙවූ අවිහිංසක දුගී ජීවිතය අද ද ඔහු සිහිපත් කරන්නට මැළි නොවන්නේ මුල අමතක නැති මිනිසෙක් ලෙස එවන් තැනක සිට දියුණුවේ හිනිපෙත්තට පත් මිනිසෙකුගේ අභිමානය ද සමඟිනි.

“මම ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඒ කාලේ මගේ එකම අභිප්‍රාය වුණේ නීතිඥයෙක් වෙන එක. අපි ඉතාම දුප්පත් පවුලක්. අපේ තාත්තා අපි ජීවත් කරවන්න විවිධ රැකියාවල් කළා. මුල් කාලේ මම කෙරවලපිටියේ පුංචි ඉස්කෝලෙකට ගියේ. තුනේ පන්තියට විතර යනකොට තාත්තට පොඩ්ඩක් සරු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි වත්තල ශාන්තා අන්තෝනි විද්‍යාලෙට මාව දැම්මේ.

නීල් රූපසිංහගේ පියා දකුණේ මාතර උප්පත්තිය ලැබූවෙකි. ඒ කාලයේ ප්‍රවාහන පහසුකම් ආදිය හරි හැටි නොවීය. බොහෝ විට ගමනාගමන කටයුතු සිදුවී ඇත්තේ කරත්ත මාර්ගයෙනි, නීල් ගේ පියාද මාතර සිට කරත්තයක් පසු පස්සේ පැමිණීමෙන් කොළඹ ට සේන්දු වී ඇත. කොළඹ සිටද එවැනිම මගකින් වත්තල හැඳල ප්‍රදේශයට පැමිණි ඔහු හැඳල ප්‍රදේශයේ දුප්පත් පවුලක කාන්තාවක හා විවාහ වී ඇත.

අපේ තාත්තා අපේ අම්මත් එක්ක විවාහ වෙලා පුංචි ගෙදරක පදිංචි වෙලා තිබෙනවා. මා ඇතුළු අපේ පවුලේ අය ඉපදිලා තියෙන්නේ වත්තල ප්‍රදේශයේදි. අපේ පවුලේ අයියලා දෙන්නයි, මමයි නංගී මල්ලි හිටියේ. ලොකු පවුලක්. තාත්තා විවිධ දේ කරමින් අපට කන්න බොන්න දීලා තිබෙනවා. මට තාමත් මතකයි අපි හිටපු පුංචි ගෙදර සාලෙ අපි ඔක්කොම පැදුරු දාගෙන බිම නිදාගත්ත හැටි. ටික කාලයක් යනකොට තාත්තා ටිකෙන් ටික දියුණු වුණා. ඊට පස්සේ ඔහු ව්‍යාපාරිකයෙක් බවට පත්වුණා. ඒ කාලේ ඩේවිඩ් රූපසිංහ කිව්වම වත්තල පැත්තෙ නොදන්න කෙනෙක් නැති තරම්.

නීල් සිය අතීත මතකයන් සමඟ ගත කරයි.

නීල් ගේ උප්පැන්නයේ සඳහන් නම වනුයේ නිමල් සුභසිංහය. වත්තල ශාන්ත අන්තෝනියෙන් අස්වීම් සහතිකය සමඟ උප්පැන්නය රැගෙන ඇක්වයිනාස් විද්‍යාලයට ඇතුළුවීමේදී මේ නම ඔහුටද ප්‍රශ්නයක් විය. සමහර අවස්ථාවල තමන් අරන් හදාගත් දරුවෙක් දැයි සැක සිතු වාරද, ඒ වෙනුවෙන් සිත රිදවා ගත් වාර ද විය. නීල් ගේ පියා සහ මව මේ වෙනුවෙන් දුක්වුණු අවස්ථාද විය. අවසානයේ පියා ඔහුගේ උප්පැන්නයේ නම නීල් රූපසිංහ යනුවෙන් වෙනස් කළේය. එහෙත් පියා විසින් එය වෙනස් කළ බවට උප්පැන්නේ අදටද සඳහන්ව ඇත.

නව යොවුන් නීල් රූපසිංහ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයට ඇතුළත් වනුයේ නීතිඥයකු වීමේ බලාපොරොත්තුව ඇතිවය. එහෙත් ටික කලකදී නීල් දරුණු ලෙස රෝගාතුරවීම නිසා විද්‍යාලයට යෑමට නොහැකි විය.

“මම දරුණු විදිහට අසනීප වුණා. හුඟාක් දෙනෙක් කිව්වේ සනීප කරන්න බැරි වෙයි කියලා. අන්තිමේ තාත්තා මාව කොළඹ සුලෙයිමාන් රෝහලේ නැවැත්තුවා. මම මාස හයක් හතක් සුලෙයිමාන් එකේ නැවතිලා ප්‍රතිකාර ගත්තා. අන්තිමේ කවුරුවත් හිතුවෙ නැති විදිහට සනීප වෙලා ගෙදර ආවා. මගේ නීතිඥ සිහිනය නම් ඉතින් එතනින්ම බොඳවෙලා ගියා.

මේ අවධිය වන විට නීල්ගේ පියා සෑහෙන ධනවතෙකු වී සිටියේය. නැතිනම් මාස හයක් හතක් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට නොහැකිය. නීල් සුව වී නිවසට පැමිණි කාලය වන විට එකල වත්තල පිහිටි සමුද්‍රා සිනමා ශාලාවද නීල්ගේ පියා විසින් මිලදීගෙන තිබුණි. නිවෙසේ හුදකලාව සිටින නීල් සමුද්‍රා සිනමා හලේ පරිපාලන කටයුතු සඳහා සම්බන්ධ විණ.

“මම ඉතින් හෝල් එකේ වැඩ බලන ගමන් එන එන චිත්‍රපටියත් නරඹනවා. ඔය කාලෙ මට ලොකු යාළු මිත්‍රයෝ ටිකකුත් හිටියා. මේ වෙනකොට මට වයස අවුරුදු 22ක් විතර ඇති. මටත් හිතුණා චිත්‍රපටයක් කළොත් හොඳයි කියලා. අපි යාළුවො කට්ටිය කතා වුණා අමුතු චිත්‍රපටයක් කරමු කියලා. එහෙම තමයි මගේ පළමු චිත්‍රපටය “දැන් මතකද” හැදුවේ. චිත්‍රපටය හදනකොට මට අවුරුදු 24යි. හැබැයි චිත්‍රපටය පෙන්නගන්න තව අවුරුදු තුනක් ගියා. දීර්ඝ කාලයක් පෝලිමේ ඉන්න සිද්ධ වුණා.

නීල් රූපසිංහගේ මේ අතීත කතා අසද්දී අද අපි සිටින්නේ කෙතරම් පසුගාමී තැනකද හිතෙන්නේ මෙවිටය. අද අවුරුදු විසි හතරක තරුණයෙකුට චිත්‍රපටයක් හදන්නට සිතන්නටවත් හැකිද? අවුරුදු 24 වනතුරුත් අද තරුණයන් යැපෙනුයේ දෙමව්පියන්ගෙනි. නීල් රූපසිංහ වැන්නන් අපේ වීරයන් වන්නේ එහෙයිනි. නීල් රූපසිංහ තම ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කරන්නට මුදල් හොයා ගන්නේද අපූරු පොරොන්දුවකටය. මේ අවධිය වන විට තම පවුලේ වැඩිමහල් සොහොයුරන් විවාහ වී සිටි බැවින් වැඩිහිටියන් නීල්ට ද විවාහ යෝජනා සොයමින් සිට ඇත තමන්ට චිත්‍රපටයක් කරන්නට අවැසි බව නීල් මුලින්ම පවසනුයේ තම මවට සහ නැගණියටය. මේ කතාව අසා මව පවසනුයේ විවාහ වීමට සූදානම් වන ලෙසය. නිවෙසින් ගෙනෙන ඕනෑම යෝජනාවකට තමන් කැමති වන බවට පොරොන්දු වන නීල්ට සිය පියාගෙන් රුපියල් 30,000/-ක් ලැබෙනුයේ චිත්‍රපටයක් කිරීම සඳහාය.

“විවාහ වන පොරොන්දුව පිට තාත්තා දුන්න රුපියල් තිස් දාහෙන් තමයි ‘දැන් මතකද’ හැදුවේ. මේ 1968 දී. ඒ කාලේ තිස් දාහක් කියන්නේ ලොකු මුදලක්. චිත්‍රපටය කළාට අවුරුදු තුනක් යනකම් තිරගත කරගන්න ලැබුණේ නෑ. පෝලිමේ ඉඳලා ඔන්න යන්තම් වාරේ ආවා. මම ඉතින් සූදානම් වුණා. චිත්‍රපටය නිදහස් කරන්න. ලොකු පබ්ලිසිටියකුත් දුන්නා. ඔය අතරේ දවසක් මට සමුද්‍රා හෝල් එකේ ඉන්නා විට මහත්මයෙකු ඇවිත් මම දිහා බලාගෙන ඉඳලා වෙන කෙනෙක්ගෙන් මොනවා හරි අහනවා දැක්කා. ඊට පස්සේ මම ගාවට ඇවිදින් ඔබ නේද රූපසිංහ කියල ඇහුවා. මම ‘ඔව්’ කිව්වා.

මම තමයි පාරා වළලු චිත්‍රපටයේ නිෂ්පාදක. ඔබේ චිත්‍රපටයට පස්සේ තමයි මගේ චිත්‍රපටය රිලීස් වෙන්න තිබෙන්නේ. නමුත් ඔබේ චිත්‍රපටයේ රිලීස් වුණොත් මාස ගණනාවකට මගේ එක රිලීස් කරගන්න ලැබෙන්නේ නැහැ. මම ගෙවල් දොරවල් උකස් කරලා චිත්‍රපටි කරලා ඉන්නේ බැරිද මට මේ අවස්ථාව දෙන්න” කියලා ඇහුවා.

ඇත්තටම මමත් මේ වෙලාවෙ දෙයියෝ සිහි වෙලා හිටියේ. අතේ සතේ නෑ චිත්‍රපටය කරලා අවුරුදු තුනකුත් ගිහින්. ඒත් මට මේ මනුස්සයට බෑ කියන්න බැරි වුණා. මගෙන් උදව්වක්නේ ඉල්ලුවේ. මම සිනමාස් අධිපති ගුණරත්නම් මහත්තයාට කතා කරලා මගේ වාරය මම ඔහුට දුන්නා.”

පසු කලෙක ඔහු “දැන් මතකද” තිරගත වෙනකොට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ආදායම් වාර්තා ද තැබීය. මේ උත්තේජනය ඔහුට තවදුරටත් නිර්මාණ කාර්යයේ ඇලීගැලී තබන්නට හේතු වූ අතර ඔහු දෙවැනි නිර්මාණයට සූදානම් වූයේය. දැන් මතකද චිත්‍රපටයටද ඔහු පසුබිම් කරගනුයේ තරුණයින් තිදෙනකුගේ කතා පුවතක්ය. අදටත් අතිශයින්ම ජනප්‍රිය “හිස්ටින් එකක් වාගේ” සහ “මැණිකේ මම ආයේ ගෙදර එනවා” වැනි ගීත ඇතුළත් වූයේ මේ චිත්‍රපටයටය. ඔහු දෙවැනි චිත්‍රපටය සූදානම් කරනුයේ ද තරුණයින් හතර දෙනෙකුගේ ජීවිත වටා ගෙතෙන කතාවකි. එය නම් ලබනුයේ “හතර දෙනාම සූරයෝ” නමිනි. නීල් රූපසිංහට අවැසි පරිදි මේ කතාව ලියනුයේ ධර්මසිරි ගමගේ විසිනි.

“ඇත්තටම කිවුවොත් මගේ සිතැඟි වලට අනුවම ධර්මසිරි ගමගේ මේ කතාව ලියලා තිබුණා. මේ චිත්‍රපටය ගීත කිහිපයකුත් එකතු කරන්න මට උවමනා වුණත් මේ චිත්‍රපටයේ අතිශයින්ම ජනප්‍රිය වුණු ගීතයක් හැදුන හැටි මම දැන් කියන්නම්. ඒ ගීතය තමයි ‘කොඩි ගහ යට මම උපන්නේ’ ගීතය.

අපි තරුණයින් විදිහට ඒ කාලේ වත්තල අවට තිබුණ සංගීත සංදර්ශන ක්ලබ් වලට රෑ තිස්සේ යනවා දවසක් ක්ලබ් එකක පාන්දර දෙකට විතර මට ගීතයක් ඇහෙනවා. ඕ බ්ලඩී ඕ බ්ලඩා කියලා. ඒ වෙනකොට මම “හතර දෙනාම සුරයෝ” හදමින් හිටියේ මට ඕන වුණා මේ විදිහේ ගීතයක් චිත්‍රපටයට දාන්න. මම මේ ගීතය ගැන පී.එල්.ඒ සෝමපාල මහත්මයාට කිව්වා. කොහෙන් හරි මට මේ ගීතය ගැන හොයලා දෙන්න කියලා. ඔහු සති දෙකකින් විතර මට කිව්වා ඒක ලතින් ඇමරිකානු ගීතයක් කියලා. ඔහු මට ඒ ගීතය හොයලා දුන්නා. මම ඒ ගීතයත් අරගෙන ගියා කරුණාරත්න අබේසේකර හමුවෙන්න එයා තමයි ඒ ගීතයට අපට උරුම අපේ විදිහට පද රචනා කලේ. ඒ විදිහට තමයි ඒ ගීතය නිර්මාණය වුණේ.

නීල් රූපසිංහයන්ට විජය කුමාරතුංගයන්ගේ හමුවත් එක්තරා අන්දමකට දෛවෝපගතව සිදු වූ හමුවීමකි. හතර දෙනාම සූරයෝ හදන්නට බලාපොරොත්තුව සිටියදී ඔහුත් ඔහුගේ මවත් නැගණියත් චිත්‍රපටයක් නැරැඹීමට බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවට ගොස් ඇත.

චිත්‍රපටය නැරැඹීමෙන් පසු විවේක කාලයේදී උස හීන්දැරි තරණයකු ඔහු අසලට පැමිණ චිත්‍රපටයක චරිතයක් රඟපාන්නට අවස්ථාවක් දිය හැකිදැයි විමසා ඇත. බැලූ බැල්මට මනා රූ සපුවකින් යුතු මේ තරුණයා දෙස බලා ඔහු පවසා ඇත්තේ පසුවදා පැමිණ ඔහු හමුවන ලෙසය. පසුදා උදයෙන්ම ඔහු හමුවට පැමිණි මේ තරුණයා හතර දෙනාම සූරයෝ චිත්‍රපටයට තෝරා ගත්තේය. මේ කඩවසම් තරුණයා වූයේ විජය කුමාරතුංගය.

“හතර දෙනාම සූරයෝ” චිත්‍රපටය පැල් බැඳගෙන මෙරට තිරගත වූයේය. සෑම සිනමා ශාලාවකම දින සියය ඉක්මවීය. ආදායම් වාර්තා ද තැබීය. මේ වන විට නීල් රූපසිංහ මෙරට ජනප්‍රියම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවටද පත්වී හමාරය. නිල් රූපසිංහගේ පවු‍ලේ උදවිය ඔහුට විවාහයක් කර දෙන්නට දැන් උනන්දුය. හතර දෙනාම සූරයෝ කිරීමට සූදානම්ව සිටියදී දිනක් පාරාවළලු නිෂ්පාදක මරවනාගොඩ මහතා නීල්ට කතා කොට “පුතා මගේ කොල්ලෙක් ඉන්නවා. එයාට චිත්‍රපටයක පොඩි කෑල්ලක් රඟපාන්න දෙන්නයි” ඉල්ලීමක් කළේය.

නීල්ද ඔහුට එම අවස්ථා උදාකර දෙමින් චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර්වරයෙකුගේ චරිතයක් රඟපාන්නට දුන්නේය. චරිතයේ රූගත කිරීම් නිම වුවද ඔහු හැමදාමත් ස්ටුඩියෝවට පැමිණ රූගත කිරීම් බලා සිටියේය. නීල් ද එය ඒ හැටි ගණන් ගත්තේ නැත. එහෙත් අවසානයේ ඔහුට කාරණාව පැහැදිලි වූයේ මරවනාගොඩ නිවෙසින් ඔහුට විවාහ යෝජනාව පැමිණෙන විටය. මරවනාගොඩ මහතාගේ දියණිය නීල්ට යෝජනා විය. දෙපාර්ශවයේ කැමැත්තෙන් ඔවුන් 1972 දී විවාහ විය.

මම විවාහ වෙනකොට මට අවුරුදු විසි 28 යි. නෝනට අවුරුදු 16 යි. එතකොට එයා ඉස්කෝලේ යනවා මම බෑ කියලත් කිව්වා. ඒ වුණාට මම ගෙදරට පොරොන්දු වෙලා තියෙනවනේ ඒ අය කියන කෙනෙකු කසාද බඳීන්න. ඒ අනුව අපි විවාහ වුණා. අපේ වෙඩින් ෆොටෝ එක ඒ කාලේ සරසවිය මුල් පිටුවේ පළවුණා. අපි දෙන්නා හනිමුන් ගිහින් වැලිමඩ තානායමේ ඉන්නකොට තානායම් ඉස්සරහට මහා සෙනඟක් රැස්වුණා අපි බලන්න. ඒ කාලේ ඒ තරමට මාව ජනප්‍රියයි. අපි දෙන්නා විවාහ වුණාට පස්සේ තමයි ආදරේ හිතෙනවා දැක්කම, ලස්සන කෙල්ල, සරදියෙල්ගේ පුතා, අමල් බිසෝ, යකඩයා වැනි චිත්‍රපට කළේ.

ගීතා කුමාරසිංහ සිනමාවට හඳුන්වා දෙනුයේ නීල් රූපසිංහගේ “ලස්සන කෙල්ල” චිත්‍රපටය හරහාය.

ඔහු මේ චිත්‍රපටය සඳහා මුලින් යොදාගෙන හිටියේ විජය මාලිනීය. එහෙත් දෙදෙනාටම දීර්ඝ කාලයකට ඔහුට දින දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණ. කෙසේ හෝ ඔහුට චිත්‍රපටයක් කරන්නටද අවැසි විය. මේ නිසාම අලුත් මුහුණක් හොයන්නට ඔහු උනන්දු විය. පුවත්පතේ පළ කරන ලද දැන්වීමකින් පසුව ගාමිණී ෆොන්සේකාගේ පණිවිඩය ද සමඟ ලස්සන කෙල්ලක නීල් හමුවීමට පැමිණියේය. බැලූ බැල්මට ඇය නීල් ගේ සිත් නොගත්තද ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පසු ඔහුගේ චිත්‍රපටයට ඇය ඉතාමත්ම සුදුසු විය. මේ ලස්සන කෙල්ල වෙන කවරෙකුවත් නොව ගීතා කුමාරසිංහය.

නීල්ගේ සිනමා ජීවිතයේ රසකතා බොහෝය. ඔහු ඒවා පවසන ආකාරයද ළගන්නා සුලුය. නීල් සරදියෙල්ගේ පුතා චිත්‍රපටය කළ ආකාරයද එවැනි ළගන්නා කතා වස්තුවකි.

“මම සරදියෙල්ගේ චරිතයට ලොකු කැමැත්තක් තිබුණා. ඒ හින්දම මට මේ චරිතයේ ඇසුරින් චිත්‍රපටයක් කරන්න ලොකු උනන්දුවක් තිබුණා. මම චිත්‍රපට සංස්ථාව ට ගිහින් බලපුවම දෙදෙනෙක්ම මේ කතාව ඇසුරෙන් චිත්‍රපට කරන්නට ලියාපදිංචි වී තිබුණ නිසා මට දෙන්න බෑ කිව්වා. මම කල්පනා කරලා “සරදියෙල්ගේ පුතා” කියලා චිත්‍රපටියක් හදන්න පටන් ගත්තා. ඒ වෙනකොට සරදියෙල්ට පුතෙක් ඉන්නවා කියලවත් මම දැනගෙන හිටියේ නෑ. චිත්‍රපටයේ හැටියට සරදියෙල්ගේ පුතා හැදෙන්නේ ආණ්ඩුකාරයා ළඟ අන්තිමේදී මෙයා නැව් නගින දර්ශනයෙන් තමයි චිත්‍රපටය ඉවර වුණේ. එහෙම වුණාට මොකද මේක මගේ හිතට මදි. මම දහ අතේ කල්පනා කරනවා චිත්‍රපටිය ඉවර කරන්න මීට වඩා හොඳ විදිහක්. ඔය අතරේ දවසක් අපි අපේ බිරිඳගේ ගෙදර ගියා. බිරිඳගේ සහෝදරයා එක්කත් මම මේ ප්‍රශ්නය කතා කර කර හිටියා. ඔහු මට එකපාරටම කිව්වා “ඔන්න ඔය යකාව මරලා දාන්න” කියලා. ඒක මගේ හිතට වැදුණා. ඒ අනුව තමයි නළුවා නැගලා ඔහුට සමුදෙන මොහොතේ ඔහුව මරන්නේ.

නීල් රූපසිංහ ‘යකඩයා’ නිර්මාණය කරද්දිත් මෙවැනිම අත්දැකීමක් විය. ඒ යුගය වන විට යකඩයා හිරෙන් නිදහස් වී පැමිණ සිටියේය නීල්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ යකඩයා මුණ ගැසීමටය ඔහු ඒ වෙනුවෙන් කිහිප දෙනෙකුම යොදවා අවසානයේ මරදන් කඩවලදී මුණගැසිණ. යකඩයා නීල් මුණ ගැසීමට ආවේය. ඔහු සමඟ ආගිය කතාබහෙන් පසු නීල් ගාමිණී ෆොන්සේකාට කීවේ යකඩයා තමා මුණගැසීමට පැමිණ ඇති බවය. යකඩයාගේ චරිතය රඟපාන ගාමිණිට අවශ්‍ය වූයේද ඔහු මුණගැසීමටය. නීල් යකඩයාව ගාමිණීට මුණගැස්සුවේය. ගාමිණී සම්පූර්ණයෙන්ම යකඩයා අධ්‍යයනය කළේය ඔහුගේ ගමන බිමන, කතාබහ, සරම අඳීන විදිහ ආදිය ගමිනි අධ්‍යයනය කළේය. යකඩයා රූ ගැන්විණ. තිරගත කරන දිනයද පැමිණ මේ කාලය වන විට යකඩයා ගංජා වලට දැඩි ලෙසට ඇබ්බැහි වී සිටි බැවින් ඔහුට මුදල් අවශ්‍ය විය. යකඩයා නිදහස් කිරීමට ඔන්න මෙන්න තිබියදී සැබෑ යකඩයා නීල් සොයා ආවේය. ඔහු නීල් ගෙන් මුදල් ඉල්ලුවේය. මින් පෙර ඔහුගේ ගාස්තු සියල්ල ගෙවා තිබුණ බැවින් නීල් එය ප්‍රතික්ෂේප කළේය.

“මම උඹව මරණ එක මරනවාමයි.”

යකඩයාගෙන් නීල්ට අභියෝගයකි. එහෙත් කෙසේ හෝ චිත්‍රපටය රිලීස් කළ යුතුය. එවකට අග්‍රාමාත්‍යවරයා වූයේ ආර් ප්‍රේමදාස මහතාය. යකඩයා තිරගත වනදා ප්‍රධාන ආරාධිතයා වූයේ ආර් ප්‍රේමදාස මහතාය. උත්සවයට ආරාධනා කරන ගමන්ම නීල් අගමැතිතුමාට යකඩයාගේ අභියෝගය ද දැන්වීය.

අග්‍රාමාත්‍යතුමා ඔළුවේ අත ගසා ගත්තේය. යකඩයාගේ හැටි දන්නා ඔහු නීල්ට ප්‍රවේශම් වන ලෙස දැන්වීය. අන්තිමේදී යකඩයා නිදහස් වූ දා නීල් පැමිණියේ නිදහස අහිමි වූවකු ලෙසය. වාහන තුන හතරක පොලිස් ආරක්ෂාවක් මැදින් ඔහු සිනමා ශාලාවට පැමිණ යකඩයා තිරගත කර යළි නිවසට ගියේද පොලිස් ආරක්ෂාව මධ්‍යයේය.

එදා නීල්ලා චිත්‍රපට කළේ එහෙමය. ඒ සියල්ලම සිය දහසක් ප්‍රේක්ෂක ජනතාව සිනමා ශාලාවලට කාන්දම් මෙන් අද්දවන්නට සමත් වූයේය. අදටත් මෙරට සිනමා ප්‍රේක්ෂකයින් මෙන්ම හතර දෙනාම සූරයෝ, ආදරේ හිතෙනවා දැක්කම වැනි චිත්‍රපට නිර්මාණය වෙද්දී උපදින්නට හිතලාවත් නැති මෙදා තරුණ පරපුරද ගායනා කරනුයේ නීල්ලා එදා හැදූ ඒ චිත්‍රපට ගීතය. පරම්පරා ගණනාවක් නළවන්නට හැකි එවන් නිර්මාණ සැදූ ඔහු වැන්නෝ හට නොපුදා මෙවන් සම්මාන වෙන කවුරුන්ට නම් පුදන්නද?

 

[email protected]

සේයාරූ – නිශ්ශංක විජේරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT