මෙරට සිනමා ඉතිහාසයේ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රය අරභයා සුවිශේෂී කාන්තා හඬ පෞරුෂයන් පිළිබඳ ස්මරණය කරන විට එක්වරම මතක් වන හඬ පෞරුෂයන් ත්‍රිත්වයක් වෙයි. ඒ සුජාතා අත්තනායක, ලතා වල්පොල සහ ඇන්ජලින් ගුණතිලකය. ත්‍රිවිධාකාර ගායන මාධූර්යයකින් හෙබි මේ තිදෙනාගේ හඬින් හැඩවුණු සිනමා පට සහ සිනමා ගීත එදා සිට අද මේ මොහොත දක්වාම අප සවන්පත් සනසාලන්නේය. ලතාවන් සහ සුජාතාවන් තවමත් සුජීවත්ව අප අතර වසන නමුත් මීට වසර කිහිපයකට පෙර ඇන්ජලින් සිය කර්ණරසායන ගී හඬ නිහඬ කරමින් අප අතරින් වියෝ වූවාය. එහෙත් ඇය මෙරට සිනමා ඉතිහාසයට ඉතිරි කර ගිය මධුර මනෝහර ගීත රාශිය කෙදිනකවත් මෙරට රසික ජනතාවට අමතක නොවනු ඇත.
ඇන්ජලින් ගුණතිලක පිළිබඳ වන මේ මතකය මෙසේ අවදි කරලූයේ ඇය පිළිබඳ ලියැවුණු සුවිශේෂී ග්රන්ථයක් තව නොබෝ දිනකින් එළි දකින නිසාය. එළැඹෙන සැප්තැම්බර් මස 25 වැනි දින සවස හතරට නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේදී එළි දකින “රිදී සීනුව ඇන්ජලින්” කෘතිය මෙරට සිනමා ඉතිහාසය පුරාත් මෙරට ගීත ඉතිහාසය පුරාත් ඇන්ජලින්ගේ ගායන කෞශල්‍යයේ රුව ගුණ තේජස ලියා තබා වී. ග්‍රන්ථයේ කර්තෘවරිය වනුයේ දීප්ති ෆොන්සේකාය.
දීප්ති මෙරට සිනමාපත්‍ර කලා ලෝකයේ සුවිශේෂී චරිතයකි. 1964 වර්ෂයේ සිට මේ දක්වාම නොකඩවා පවත්වාගෙන එන එකම සිනමා පුවත්පත වන සරසවිය පුවත්පතේ පළමු කාන්තා කර්තෘවරිය වූ ඇය ලේඛිකාවක ලෙසින් ග්රන්ථකරණයට එක් වනුයේ මීට වසර ගණනාවකට ප්‍රථමය. ඒ හෙළ ගී රැජින ලතා වල්පොලගේ ජීවන වෘත්තාන්තය රචනා කරමිනි. මෙවර ඇගේ අවධානය යොමු වී ඇත්තේ සිනමා ගීත කලාවේ මෙන්ම ගීත කලාවේ ද සුවිශේෂී අනන්‍යතා ලක්ෂණ සනිටුහන් කළ ඇන්ජලීන් ගුණතිලක පිළිබඳවය.
ඇත්තටම කිව්වොත් මේ පොත මම පටන් ගන්නේ ඇන්ජලින් ගුණතිලක මහත්මිය ජීවතුන් අතර සිටියදී. සරසවිය පුවත්පත් මාධ්යවේදනියක වශයෙන් නියෝජ්‍ය කර්තෘවරියක වශයෙන් පමණක් නොව සරසවිය කර්තෘවරිය වශයෙන්ද සරසවියේ දීර්ඝ කාලයක් සේවය කළ මට ඇන්ජලින් අක්කා සමඟ සුහද සබඳතාවයක් තිබුණා. නොයෙක් වර මම ඇය පිළිබඳ ඇගේ ගීත පිළිබඳ සරසවියට ලිපි රචනා කරද තිබුණා. 2016 වසරේ මුල් කාර්තුවේදී දිනක් ඇන්ජලීන් අක්කාගෙන් මට ආරාධනයක් ලැබෙනවා ඇය පිළිබඳ ග්රන්ථයක් කරන්න බැරිද කියලා. මගේ පැත්තෙන් ගත්තම ඒක මට විශාල සතුටක් දනවන කාරණයක් වගේම මට කරන ලද විශාල ගෞරවයක්ද වුණා. ඒ නිසා ඒ ආරාධනාව මම බොහොම සතුටින් භාර ගත්තා. අපි අපේ සාකච්ඡා වට ආරම්භ කළා. ඇන්ජී අක්කාත් ඇගේ ජීවිත කතාව ටිකෙන් ටික මා සමඟ පවසන්න පටන් ගත්තා. මම හිතන්නේ අපි තුන්වතාවක් විතර මුණ ගැහුණා. ඔය අතරතුර තමයි ඇය තදබල ලෙස අසනීප වෙන්නේ. මේ හේතුව නිසා ඇගේ ජීවිත කතාවේ ඉතුරු හරිය මට ඇයත් සමඟ සාකච්ඡා කරන්න නොහැකි වෙනවා. ඊට පස්සේ අසනීපයෙන් ඉඳලා ඇන්ජි අක්කා හදිසියේම මිය යනවා. මේ තත්ත්වයත් එක්ක මේ කතාව සම්පූර්ණයෙන්ම අතරමඟ නතර වෙනවා. මගේ උනන්දුවත් ඇත්තටම මේ නිසා දුර්වල තත්වයකට පත්වෙනවා. ඔහොම වසර කිහිපයක් ගත වුණත් මගේ සැමියා උපාලි ෆොන්සේකා නිතර මාව විමසන්න ගත්තා ‘අපරාදේ ඔයා බාගෙට ලියපු පොත’ කියලා. ඒ නිසා මට නැවත වතාවක් උනන්දුවක් ඇතිවුණා මේ ග්‍රන්ථය සම්පූර්ණ කරන්න එහි ප්‍රතිඵලයක් විදිහට තමයි “රිදී සීනුව ඇන්ජලින්” ග්‍රන්ථය දොරට වඩින්නේ.
කොතෙක් බාධක පැමිණියද දීප්ති අක්කා කිසිදිනෙක පසුපසට යන ගැහැනියක නොවෙයි. එබැවින් ඈ යළිත් සිය ලේඛනය ආරම්භ කරනුයේ කෙසේ හෝ මෙහි වැඩ නිම කරන බලාපොරොත්තුවෙනි. එහෙත් ඇයට මෙහිදී පැන නගින විශාලතම ගැටලුව වනුයේ ඇන්ජලින් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගැනීමට අවැසි පිරිස් සොයා ගත නොහැකි වීමයි. ඇන්ජලින්ගේ ජීවිතයේ ඇයත් සමඟ එකට දුක සැප වැලඳු ඇගේ දයාබර සැමියා ලෙස්ලිත් පසු කලෙක ඇගේ සංගීත කටයුතු සඳහාත් මැදිහත් වූ ඇන්ජලීන්ගේ ආදරණීය මුනුපුරත් ඇයට බෙහෙවින් මේ සඳහා උපකාර කළේය. එසේම ඇගේ ගීත පිළිබඳ ඉතිහාසය සොයා යෑම ද මහත් දුෂ්කර කාර්යයක් වූ බව පැවසුවාය.
“ඇත්තටම මට ඕන වුණේ ඇන්ජලින් ගේ ජීවිතේ පිළිබඳ පරිපූර්ණ කෘතියක් කරන්න. ඇගේ හදිසි වියෝවත් සමග ඒ තත්ත්වය අභියෝගයට ලක්වුණා. නමුත් මම හැකි තරම් උත්සාහ කළා මේ පොතේ ගුණාත්මකභාවය ප්‍රමිතිය අඩුවක් නැතුව පවත්වාගන්න. ඇගේ ගීත පිළිබඳ ඉතිහාසය සොයන්න මම ගුවන් විදුලියට පවා ගියා. නමුත් මේ කිසිම ස්ථානයක නිවැරදි දත්ත පිළිවෙළට පැහැදිලිව ගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. නමුත් අත් නොහැරි උත්සාහය නිසාම ඇගේ ජීවන වෘත්තාන්තය සමඟ ඇගේ ගායන ලීලාව පිළිබඳ විමර්ශනාත්මක ග්රන්ථයක් මට කරගන්න පුළුවන් වුණා. ඇය චිත්‍රපට ක්ෂේත්රයට පිවිසිලා තියෙන්නේ 1958 දී කළ ‘සොහොයුරෝ’ චිත්‍රපටයට පසුබිම් ගීත ගයමින්. එදා එය පසුබිම් හඬ මුසු කරලා තිබුණේ ලීනා ද සිල්වා නම් නිළියට. එතැන් සිට මේ ක්ෂේත්රය පුරා ගීත ගණනාවක් ගායනා කරමින් පැමිණ 2019 වසරේ දී සිහින දෙව් දුව කියන චිත්‍රපටියේ ශාලිකා එදිරිසිංහ කියන රංගන ශිල්පිනිය දක්වා ඇය පසුබිම් ගීත ගායනා කර තිබෙනවා.
ඇන්ජලින්ගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු මෙන්ම අප්‍රකට ගීත පිළිබඳ සොයා යෑම සැබවින්ම ඇයට පහසු කරුණක් වන්නට නොමැත. ඇගේ ජීවන වටපිටාව තුළ ඇයට සමීපව සිටි බොහෝ හිත මිතුරන් අද මේ වන විට ජීවිතය හැර ගොස්ය. මින් ඉහත ඇන්ජලින් පිළිබඳ යමක් ලේඛන ගත වූවානම් ඒ පුවත්පත් සම්මුඛ සාකච්ඡා වලදී ඇය විසින් ලබාදෙන තොරතුරුය. කෙසේ වුවද ඇන්ජලීන් රසික රසිකාවන් වන පොල්ගහවෙල කාන්ති වික්‍රමසිංහ සහ රුවන්වැල්ලේ මියුරු පෙම් මදිරාවේ නිර්මාතෘ සුදත් කැලුම් ප්‍රේමරත්න දැක්වූ සහය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මේ ග්‍රන්ථය ම විසින් රචනා කළේ ජීවිත කතා තඪටඥ ඵබධපර හැටියට නොවෙයි. මට විශේෂයෙන් වුවමනා වුණේ ඇන්ජලින් ගුණතිලක නම් වූ විශේෂ ගායිකාව පිළිබඳවන දත්ත හැකි තරම් එකතු කරගෙන මේ ග්රන්ථයට ඇතුළත් කරන්නයි. මතු අනාගතයේ කිසියම් දිනක කවුරුන් හෝ ඇය පිළිබඳ ගවේෂණයක යෙදේ නම් ඒ දත්ත කොහේ හෝ ගබඩාවිය යුතුයි යන හැඟීම මට ඇති වුණා.. මේ පොත ඇතුලේ මම විශ්වාස කරනවා එදා අපි ආදරය කරපු හඬ පෞරුෂය හිමි ගායන ශිල්පිනිය ඉන්නවා කියලා.
ඇන්ජලින්ට තිබුණේ මෙරට සංගීත ක්ෂේත්රයේ
වෙනත් කිසිදු ගායන ශිල්පනියකට සමකල නොහැකි හඬකි. ඉහළ ගණයේ තාරතාවයකින් යුතු ඒ හඬ සිනමා ඉතිහාසය පුරා වැඩිපුරම භාවිතා කොට ඇත්තේ පසුගියදා අප අතරින් වියෝ වූ නිළි රැජින මාලිනී ෆොන්සේකා වෙනුවෙනි. ඇගේ හඬෙහි වූ විවිධත්වය සේම විවිධ ගණයේ ගීත ගායනා කිරීමේ ඇයට ඇති හැකියාව පිළිබඳ මෙම ග්‍රන්ථයෙන් බොහෝ තොරතුරු අනාවරණය වේ.
“ඇන්ජලින්ට තිබුණේ රැව් පිළිරැව් දෙන හඬක්. ඒ හඬින් ඕනෑම ගීතයක් ඕනෑම ආකාරයකින් ගායනා කිරීමේ හැකියාව ඇයට තිබුණා. හින්දි අනුකාරක ගීතයක් වුණත් එය දේශීයත්වය පිළිබිඹු වන ආකාරයෙන් ගයන අපූරුව හරිම මනරම්. ඒ වගේම තමයි ඇය විවිධ ආකාරයේ ගීත ගායනා කරලා තිබෙනවා. විරුදු බයිලා ශාස්ත්‍රීය ගීත පර්යේෂණ ගීත චිත්‍රපට ගීත ටෙලි නාට්‍ය ගීත මෙකී නොකී හැම වර්ගයකම ගීත ඇය ඉතාම උසස් මට්ටමෙන් ගායනා කරලා තිබෙනවා.
රිදී සීනුව ඇන්ජලින් ග්‍රන්ථයේ කතුවරිය වන දීප්ති ෆොන්සේකාද කුඩා කාලයේ සිටින සංගීතයට ප්‍රේම කරන්නියකි. එකල සිටම ඇය පල්ලියේ ගායන කණ්ඩායමේදී සාමාජිකාවකි කුඩා කාලයේ සිට ගීතය වෙනුවෙන් සිතේ පැළිපදියම් වූ ප්‍රේමය පසු කලෙක මෙම ශිල්පීන් හඳුනා ගැනීමෙන් ද තව දුරටත් වර්ධනය වූවාය. මෙම ග්‍රන්ථය රචනා කරන්නටද ඇයට උත්තේජනය සැප වූයේ එසේ වැඩුණු ආදරය ය. මින් ඉහතද ඇය විසින් රචනා කළ ග්‍රන්ථය වූ ලතා හෙළ ගී රැජින ද සංගීත ක්ෂේත්රයෙන්ම තෝරාගත් චරිතයක් වූ අතර මෙවරද ඇගේ අවධානය ඒ කෙරෙහිම යොමුවිය
රිදී සීනුව ඇන්ජලින් කෘතිය එළි දකින මොහොත වර්ණවත් ප්‍රසංගයක් ලෙසින් සංවිධානය කරන්නට ඇය කටයුතු කර ඇත. නැටුම් ගැයුම් වැයුම් සහිතව එදා ඇන්ජි ගීත ගායනා කළ සිනමාවේ පෙර පරපුරද වර්තමාන පරපුරද ගීත ක්ෂේත්රයේ සහෘදයන් ද පිරිවරා ගනිමින් අලංකාර උත්සවයක් ලෙසින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
හේමාලි විජේරත්න