Home » නිෂ්පාදකවරයා රැකගැනීම සහාය අධ්‍යක්ෂවරයාගේ වගකීමක්

නිෂ්පාදකවරයා රැකගැනීම සහාය අධ්‍යක්ෂවරයාගේ වගකීමක්

- ප්‍රවීණ සහාය අධ්‍යක්ෂ ‍විමල් දේශප්‍රිය

by Thanushika
November 14, 2024 12:30 am 0 comment

සිනමාවේ සේම පුංචි තිරයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ලබා ඇති කීර්තිය අපමණය. මෙරට සිටින ජ්‍යෙෂ්ඨ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරුන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ විමල් දේශපි‍්‍රය බොහෝ කුසලතාවයන්ගෙන් පිරී සුවිශේෂී චරිතයක් බවට පත් වී ඇත. වෘත්තියෙන් ඔහු සහාය අධ්‍යක්ෂවරයකු වූවද විටෙක ඔහු නිෂ්පාදන කළමනාකරුවකු, සම නිෂ්පාදකයකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, මියුසික් වීඩියෝ නිර්මාණකරුවකු, වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවකු නළුනිළි මෙහෙයුම් අධ්‍යක්ෂවරයකු සේම, නිෂ්පාදන කළමනාකාරණය හා සහාය අධ්‍යක්ෂණය පිළිබඳ දේශකයකු ලෙසින් ද ක්ෂේත්‍රය තුළ නම් දරා ඇත. දෙස් විදෙස් චිත්‍රපට, ටෙලි නාට්‍ය රැසක නිර්මාණ කාර්යකම සහාය අධ්‍යක්ෂණයට අමතරව විවිධ කාර්යන්ගෙන් දායක වී ඇති විමල් දේශපි‍්‍රය 1962 පෙබරවාරි 19 වැනිදා උපත ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර මහ විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරු ඔහු 1986 දී මහපොල ශිෂ්‍යත්වයක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රම අධ්‍යයනවේදී උපාධි පාඨමාලාව හදාරනු ලැබීය. ඇන්ඩෲ ජයමාන්න මහතා යටතේ 1984 දී සිනමා හා රූපවාහිනී පාඨමාලාව ද 1985 දී ගිවන්ත අර්ථසාද් මහතා යටතේ සිනමා සජීවීකරණ න්‍යායාත්මක ප්‍රායෝගික පාඨමාලාව ද 1999 වර්ෂයේදී පි‍්‍රයංකර විතානාච්චි, ආචාර්ය තිස්ස අබේසේකර මහත්වරු යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය හා තිර රචනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවද 2012 වසරේ කාලෝ රිගාඩස් යටතේ සිනමාවේදීන් ගේ පාඨමාලාව ද ‘2021’ වසරේ විමුක්ති ජයසුන්දරගේ කලාත්මක සිනමාව පිළිබඳ වැඩමුළුව තුළින් ද සිනමාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් රැසක් තම ජීවිතයට එක්කරගත් විමල් දේශපි‍්‍රය මහතා අනුර චන්ද්‍රසිරිගේ සයනයේ සිහිනය චිත්‍රපටය සඳහා මුලින්ම සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය. එතැන් පටන් තුන්වෙනි ඇහැ, යක්ෂාවේශය, සුදු සෙවණැලි, තීර්ථ යාත්‍රා, අසිනි වැසි, අරුමෝසම් වැහි, පිළිකඩතුරාව, නිලම්බරේ, සෙනසුරු මාරුව, සැමීගේ කතාව, ස්තූති නැවත එන්න, මාන්, රාමසැරය, පත්තිනි, යශෝධරා, අලි කතාව, විජය බා කොල්ලය, උප්පලවණ්නා, ශ්‍රී සද්ධා, කදිර දිව්‍යරාජ, ක්ෂීර සාගරය කැලඹිණ, ගෞතම බුද්ධ මාතා ආදී චිත්‍රපට රැසක් සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය. මහාචාර්ය සුනිල් ආරියරත්න, සුමිත්‍රා පීරිස්, පි‍්‍රයන්ත කොළඹගේ, ඩැනී ඩබ්ලිව් පතිරණ, කැලුම් පාලිත මහීරත්න, හර්බට් රංජිත් පීරිස්, අනුර චන්ද්‍රසිරි, සුදත් මහදිවුල්වැව, සිඩ්නි චන්ද්‍රසේකර, ආරියරත්න විතානගේ, සුමින්ද වීරසිංහ, සුමිත් කුමාර, වසන්ත ඔබේසේකර, බෙනට් රත්නායක, රියර් අද්මිරාල් සරත්වීර සේකර, නිමල් තෙන්නකෝන්, සුමිත් රෝහණ, සුදත් දේවපි‍්‍රය, ප්‍රියංකර විතානච්චි, කපිල කුමාර කාලිංග, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, නිහාල් ප්‍රනාන්දු, අනුර චන්ද්‍රසිරි, ආර් පුදියවන් ආදී චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසකගේ නිර්මාණයන් සඳහා විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය.

මෙරට රූපගතකිරීම් සිදුකළ විදෙස් චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලාවෙන් රැසක් සඳහා ද විමල් දේශපි‍්‍රය මහතා තම නිර්මාණ දායකත්වය එක්කරනු ලැබීය.

Mother Teresa (ITALY) 2002 – Film Location Services – First Assistant Director (Local)

Good Karma Hospital (BRITISH) 2017 The Film Team – First Assistant Director – (Second unit)

Good Karma Hospital – (BRITISH) 2018 The Film Team – Second Assistant Director – (Casting)

Winds of Change – (CANADA) 2017 The Film Team – First Assistant Director (Second Unit)

Solar Eclipse – (INDIAN) 2016 – Film Location Services – Local Production Supervisor

Glob Trotter (Impulse) – Tv Series Trailer – USA 2018 Script Supervisor

ආදී විදෙස් නිර්මාණ වෙනුවෙන් ද ඔහු සිය දායකත්වය විවිධ අයුරින් ලබාදෙනු ලැබීය.

දීර්ඝ කාලයක පටන් දෙස් විදෙස් කලා නිර්මාණයන් රැසක් වෙනුවෙන් සිය දායකත්වය විවිධ අයුරින් එක් කළ විමල් දේශපි‍්‍රය හා කතාබහට මුල පුරමු.

මේ දවස්වල ඔබේ කලා ජීවිතයේ අලුත්ම තොරතුරු කොහොමද?

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ අවසන් නිෂ්පාදන කටයුතුවල නියැළිලා ඉන්නවා. ඊට අමතරව මම සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ රියර් අද්මිරාල් සරත් වීජේසේකරගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටය මේ දවස්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වෙනවා. චිත්‍රපට කීපයකට ආරාධනාත් ආවා. ඒත් තවම ඒවායේ රූපගත කිරිම් පටන් ගත්තේ නෑ.

වැඩ අවසන් කරපු ඉදිරියේදී තිරගත වෙන්න තියන තව චිත්‍රපටත් තියනවාද?

නිමල් තෙන්නකෝන්ගේ යක්ෂාවේශය, ඩැනී ඩබ්ලිව් පතිරණගේ පිළිකඩතුරාව දැනට වැඩ කටයුතු නිමාවෙමින් පවතින මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ගෞතම බුද්ධ මාතා ඉදිරියේදී තිරගත වෙන්න තියනවා.

ඔබ සහාය අධ්‍යක්ෂවරයෙක් පමණක්මද?

නෑ. මම කැමරාකරණයෙත් යෙදිල තියනවා. නිෂ්පාදන කළමනාකරුවෙක්, කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක්. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්. මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙක්.

තිරපිටපත් රචනයට ඔබේ නැඹුරුවක් නැද්ද?

ලියන පැත්තට මගේ යොමුවීමක් නෑ. නමුත් සහාය අධ්‍යක්ෂණය නිෂ්පාදන කළමනාකරණය පිළිබඳ දේශන සඳහා මට ගොඩක් ආරාධනා තියනවා. මම බොහෝ විට දේශකයෙක් ලෙස අධ්‍යාපන පාඨමාලා වෙනුවෙන් සහභාගි වෙනවා. මේ කටයුත්ත මම බොහොම කැමැත්තෙන්ම කරන දෙයක්. මම වසර ගණනාවක් ලබා ගත් දැනුම අත්දැකීම් ඉදිරි පරම්පරාවන් වෙත සන්නිවේදනය කිරීමට දේශකයෙක් ලෙස මට කටයුතු කරන්න ලැබීම ගැන මම පෞද්ගලිකවත් සතුටු වෙන කාරණයක්.

නිෂ්පාදන කළමනාකරණයේත් ඔබ අත්දැකීම් බහුලව ලැබූ පුද්ගලයෙක්?

අපි තියරියක් විධියට දෙයක් ඉගෙන ගත්තට ඒක ප්‍රඩක්ෂන් එක තුළට ප්‍රායෝගිකව ගෙන ඒමෙදී ඒක නිසි අයුරින් යොදාගන්න බැරි වුණොත් අපි මොන තරම් ක්‍රියේටිව් පුද්ගලයෙක් වුණත් වැඩක් නෑ. ඒ නිෂ්පාදනය අසාර්ථක වෙනවා. ප්‍රඩක්ෂන් එකක් කිරීම තුළ ඩිරෙක්ටර් ඉන්න ඕනේ එයාගේ ක්‍රියේටිව් පාට් එක තුළ ඒ තුළ ඉන්නකොට ඔහුගේ අදහස් මල්ඵල ගන්වන්න තව පිරිසක් අවශ්‍ය කරනවා. කැමරමන් කෙනෙක් ඕනේ එයාට යමක් එකතු කරන්න. කලා අධ්‍යක්ෂවරයෙක් ඉන්න ඕනේ. එතනට තව දෙයක් එකතු කරන්න. මේ විධියට විවිධ විවිධ අය මේ සඳහා දායකවීමක් සිද්ධ වෙන්න ඕනේ ඩිරෙක්ටර්ට තියන විෂන් එක සාර්ථක කර ගන්න ඒක දන්න පිරිසක් තමයි ඔහු සමීප කරගන්න ඕනේ. මෙන්න මේ සම්පත් කළමනාකරණයක් ඇතුව නිර්මාණයකට දායක කරවීම තමයි. නිෂ්පාදන කළමනාකරණය තුළ සිදුවන ප්‍රධාන කාර්ය වන්නේ.

සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ගැන පැහැදිලි කිරීමක් කළොත්?

සහාය අධ්‍යක්ෂවරයා කියන්නේ නිර්මාණයේ කාර්යභාරය භාරව ඉන්න සංවිධායකයා කිව්වොත් හරි. සැබැවින්ම ඔහු දක්ෂ සංවිධාකවරයෙක් විය යුතුයි. ඔහුගේ රාජකාරිය නිර්මාණයේ නිර්මාණශීලී පැත්තට බරක් නොවූ දෙයක්. ඒ හින්දම තමයි කිසිම සම්මාන උලෙළකදීවත් ඔහුව සම්මානයට ඇගැයීමට ලක් නොවෙන්නේ සහාය අධ්‍යක්ෂක සමඟ සමහර අධ්‍යක්ෂවරු නිර්මාණශීලී අදහස් හුවමාරු කරගන්නා අවස්ථා තියනවා. අධ්‍යක්ෂවරයා දර්ශන තලයට එනකොට දර්ශන තලය රූප ගත කිරීම් සඳහා ලෑස්ති කරල තියන්නේ සහාය අධ්‍යක්ෂ නළු නිළියෝ මේකප් කරලා, ලයිට් හදල, කැමරා අධ්‍යක්ෂවරයා රෙඩි කරල ආට් ඩිපාට්මන්ට් එකේ අවශ්‍යතා සකස් කරල නළු නිළියන්ට දෙබස් දීල දර්ශනය රූපගත කරන්න ඕනේ. සියලු දේ සූදානම් කිරීම සිද්ධ කරන්නේ සහාය අධ්‍යක්ෂගේ අතින්.

කොටින්ම කිව්වොත් අධ්‍යක්ෂවරයාට නිර්මාණය ගැන හිතන්න දීලා අනෙක් සියලු බර කරට ගන්න කෙනා තමයි සහාය අධ්‍යක්ෂ කිව්වොත් මගේ අර්ථ දැක්වීම තවත් නිවැරැදියි. සහාය අධ්‍යක්ෂවරයාට ලෝකයේ කොහෙවත් සම්මාන දෙන්නෑ. ඒක සම්පූර්ණයෙන් ඕගනයිසින් ජොබ් එකක්.

නිර්මාණයක් ගොඩනැගීම සඳහා තීන්දු තීරණ ගැනීමේ වගකීම පැවරිලා තියෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයාට ද?

නිර්මාණයක් කිරීමේදී සහාය අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ අතර හොඳ අවබෝධයක් ගොඩනැගෙන්න ඕනේ. මේ දෙන්නාට දෙන්නා අතර ඇතිවෙන විශාල අවබෝධය යළි යළිත් වෙනත් නිර්මාණයක එකට වැඩකිරීමට හේතුවකුත් වෙනවා. අධ්‍යක්ෂවරයාගේ හැසිරීම දර්ශනයක් රූපගත කරන්න ඔහු කොපමණ වේලාවක් ගන්නවද කියන කාරණය මත සහාය අධ්‍යක්ෂකට හැකිවෙනවා නිවැරැදිව චිත්‍රපටය සැලසුම් කරන්න. අධ්‍යක්ෂවරයා හැම තිස්සේම ගනුදෙනු කරන්නේ සහාය අධ්‍යක්ෂවරයා සමඟ ආටිස්ලා ගණනාවක් ඉන්න වාහන ගණක් තියන ලොකේෂන් ගණනාවක් තියන විශාල වැඩකදී ඒ ඔපරේශන් එක මෙහෙයවන නියමුවා සහාය අධ්‍යක්ෂ ඔහු තමයි තීරණය කරන්නේ කවද ද ෂුට් කරන්නේ. මොනවද ෂූට් කරන්නේ. කොයි වෙලාවට ද මොන නළු නිළියෝ එක්ක ද කොටින්ම කිව්වොත් ප්‍රඩක්ෂන් එකේ නිෂ්පාදන කළමනාකාරවරයා ආට් ඩිරේක්ටර් මේකප් ආටිස් ඇතුළු සියලු දෙනා වැඩකරන්නේ සහාය අධ්‍යක්ෂකගේ ප්ලෑන් එකට කැමරා අධ්‍යක්ෂකට ඇතිවන ප්‍රායෝගික ගැටලු කලා අධ්‍යක්ෂකට ඇතිවන කාලවේලාවන් පිළිබඳ ගැටලු මේ සියල්ලටම උත්තර සපයන්න ඕනේ සහාය අධ්‍යක්ෂ.

නිෂ්පාදක ආරක්ෂා කිරිමේ සියලු වගකීම් පැවරිලා තියෙන්නේ සහාය අධ්‍යක්ෂවරයාට නොවේද?

අපි වැඩක් කිරීමේදී හැම තිස්සේම නිෂ්පාදකවරයා පැත්තේ හිටගන්න ඕනේ. ඔහුව ආරක්ෂා කරන්න ඕනේ. ඩිරෙක්ටර් පැත්තේම හිටියට හරියන්නේ නෑ. නිෂ්පාදක නැත්තම් අපිත් නෑ. නිර්මාණයත් නෑ. මේ කර්මාන්තයත් නෑ. අපි පළමුව නිෂ්පාදකයාව ආරක්ෂා කරමින් ඔහුව රකිමින් මේ වැඩේ කරන්න හරි සැලසුමක් හදාගන්න ඕනේ.

සහාය අධ්‍යක්ෂවරයාට අමතරව තවත් දෙවන තුන්වන සහාය අධ්‍යක්ෂවරුන් නිර්මාණයන් තුළ ඉන්නවානේ?

යම් ප්‍රඩක්ෂන් එකක තියන බැරූරුම්කම මත තමයි සහාය අධ්‍යක්ෂවරු එක ද දෙක ද තුන ද කියල තීරණය වන්නේ. ලෝක සිනමාවේ සහාය අධ්‍යක්ෂකගේ භූමිකාව තුළ බැලුවොත් මේ තත්ත්වය වෙනස් කාස්ටින් ඩිරෙක්ටර්ස්ලා ඩයලොග් ඩිරෙක්ටර්ස්ලා ආටිස්ලා, කොස්ටියුම් වලට මේකප්වලට ගෙන යන රනස්ලා මේ වගේ විශාල පිරිසක් ඉන්නවා. නමුත් අපේ රටේ සහාය අධ්‍යක්ෂවරයෙක් මේ ජොබ් සියල්ලම කරනවා. කොටින්ම කිව්වොත් ලංකාවේ අපිට කැමරාඩිපාට්මන්ට් එකට අයිති ක්ලැපර් බෝයිගේ වැඩේත් සහාය අධ්‍යක්ෂකට කරන්න වෙලා තියනවා. දෙබස් ටික පාඩම් කරවන්න. කාස්ටින් සම්බන්ධ වැඩ කරන්න වෙලා තියනවා මේ විෂයන්වල ප්‍රමාණය අනුව තීරණය කරන්න වෙලා තියනවා. සහාය අධ්‍යක්ෂවරු කීයක් ඕනෙද කියල මොන දේ කරන්නත් ඕනේ චිත්‍රපටයට වෙන් කරල තියන මුදල අනුව මගේ අදහස නම් පළමු සහාය අධ්‍යක්ෂකට අමතරව ඔහු ගේ සහායට තව දෙන්නෙක් තුන් දෙනෙක් නැතුව වැඩකරන්න බෑ කියන එකයි.

ඔබ දේශීයව විතරක් නොවෙයි. විදේශීය චිත්‍රපට ටෙලි නාට්‍ය වල පවා සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරනවා. මේ අවස්ථාව ඔබට උදාවෙන්නේ?

මේ අවස්ථාව මට උදා කරල දෙන්නේ මුල්වරට චන්ද්‍රන් රත්නම් මහත්තයා ෆිල්ම් ලොකේෂන් ආයතනය මුලික වෙලා මුලින්ම මම විදෙස් රටක නිර්මාණයකට දායක වන්නේ මදර් තෙරේසා ටෙලි සිරියස් එකට මෙය ඉතාලියේ නිෂ්පාදනයක් මෙහි ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා වුණේ ලෝක ප්‍රකට සහාය අධ්‍යක්ෂවරයකු වූ ජැක්මෝල් ලෙරීනා මම ඔහුගේ මෙරට සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩකළා.

අප රට තුළ ප්‍රධාන දහරාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් යටතේ ඔබ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්න භාග්‍යවන්තවනවා නොවේද?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර වගේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමඟ මට වැඩකරන්න පවා අවස්ථාව උදාවෙනවා. වසන්ත ඔබේසේකර මහතා යටතේ තීර්ථ යාත්‍රා, පි‍්‍රයන්ත කොළඹගේ ගේ අරුමෝසම් වැහි චිත්‍රපට කරනකොට මම ඒ අයගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ලෙස්ටර්, සුමිත්‍රා යුවළ සමඟ මම වාර්තා චිත්‍රපට සඳහා සම්බන්ධ වීමක් සිද්ධ කළා. ඔවුන්ගේ චිත්‍රපට සඳහාත් මට ආරාධනා තිබුණා. නමුත් ඒවායේ වැඩ පටන් ගන්න කොට මම වෙනත් එකකට සම්බන්ධ වීම නිසාම යම් යම් දේවල් මහහැරුණු අවස්ථා තිබුණා.

විදෙස් චිත්‍රපට ටෙලි සීරියස්, විදෙස් වෙළෙඳ දැන්වීම් නිර්මාණයේදී ඔබ කවුරු හැටියට ද ඒ සඳහා සහභාගි වුණේ?

සහාය අධ්‍යක්ෂ තනතුරට අමතරව ප්‍රඩක්ෂන් සුපර්වයිසර් ස්ක්‍රිප්ට් සුපර් වයිසර් කාස්ටින් සුපර් වයිසර් හැටියට කටයුතු කරල තියනවා.

ඇසිස්ටන් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න හීන දකින ඔබ එය සැබෑවක් වුවාට පසුවත් ඩිරෙක්ටර් කෙනෙක් වන්නට උත්සාහ නොගන්නේ ඇයි?

ඇසිස්ටන් ඩිරෙක්ටර් කෙනෙක්ට හැකිවෙනවා නොයෙකුත් අධ්‍යක්ෂවරුන් යටතේ වැඩකරන්නත් ඔවුන්ගේ එකිනෙකට වෙනස් රස හඳුනාගන්න මට ඒ අධ්‍යයනයන් හරි වැදගත් මම එකිනෙකට වෙනස් රසයන්ට කෑදරකමක් දක්වනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ චිත්‍රපට දහයක මම වැඩ කරල තියනවා. සුදු සෙවණැලි චිත්‍රපටයේ ඉඳල එතුමන් මේ දක්වා කළ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය දක්වා ඔය අතරේ එතුමන් කළ කුසපබා චිත්‍රපටයට විතරක් මම සම්බන්ධවීමක් සිදුවුණේ නෑ.

අධ්‍යක්ෂවරු ගණනාවකගේ රස භාවයන් ස්පර්ශකර ඇති ඔබ, ඒ සියල්ලන්ගේම අත්දැකීම් එකතුවකින් ඇයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකරන්නේ?

මට හරි බයක් කියනවා නිෂ්පාදකයෙක් අමාරුවේ වැටෙයි කියලා අද තියන මාෆියාව තුළ කෙනෙක්ව අමාරුවේ දාන්න මම පෞද්ගලිකව කැමැති නෑ. මට ආරාධනා ඇවිත් තියනවා චිත්‍රපට කරන්න. චිත්‍රපටයක් කිරීමේ සූදානමකුත් දැනටත් මා තුළ තියනවා. මේකට කකුල තියනකොට දෙවරක් නොවෙයි තුන්වරක්වත් හිතා බලන්න ඕනේ.

මේ වෙනකොට ඔබේ කලා ජීවිතයට කොපමණ කාලයක් වෙනවද?

1984 වසරේ තමයි මම මේ ක්ෂේත්‍රයට පය තියන්නේ දැනට වසර හතළිහක් විතර මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරනවා.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් ඔබ දිගු ගමනක් පැමිණි නැතැත්තෙක්?

1984 වසරේ පටන් මම වැඩිපුර නියැළියේ ටෙලි නාට්‍ය සමඟ. සහාය අධ්‍යක්ෂ හැටියට විතරක් නොවෙයි. ශබ්ද පටිගත කිරීම් ශිල්පියෙක් ලෙසත් මම කටයුතු කරල තියනවා. විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයකට මම දායකත්වය එක්කරල තියනවා.

ඔය අතරේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් ඔබ පිවිසෙනවා?

ටෙලි නාට්‍ය දෙකක් මම අධ්‍යක්ෂණය කළා. 1995 දී අකරදාරුව හා 2018 දී කේතුමතී ටෙලි නාට්‍ය දෙක ඉදිිරියේදී මම තවත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරයි.

අද ටෙලි නාට්‍ය කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?

මේ කර්මාන්තය ආරම්භයේ සිටි ප්‍රවීණ නිර්මාණකරුවන් ළඟ සිටි පුද්ගලයෝ නොවෙයි පසුව මේ කර්මාන්තයට එක්වුණේ වෙනස්ම කණ්ඩායමක් මේ කර්මාන්තයට එක්වීමත් සමඟ ගුණාත්මක භාවය නැති හරසුන් නිර්මාණ බිහිවෙන්න පටන් ගත්තා පේ‍්‍රක්ෂකයා ටෙලි නාට්‍ය වලින් ඈත් වුණා. සමහර රූපවාහිනි චැනල් වලට ඕනෙ විදිහට ටෙලි නිර්මාණ බිහි වෙන්න ගත්තා. අන්තිමට හොඳට තිබුණු කර්මාන්තයට වැලේ වැල් නැතිවුණා. මේ ඛේදවාචකය මා තුළත් කලකිරීමක් ඇති කළා මේ තුළින් දුරස් වෙලා ඉන්න.

සිනමාව හා අත්වැල් බැඳගත් ඔබට ලෝකය පුරා කරක් ගහන්නත් අවස්ථාව උදාවුණා නොවේද?

අමෙරිකාව, ජපානය, තායිලන්තය, ඉන්දියාව, නේපාලය, මැලේසියාව වගේ රටවල් වලට මම ගියා. චිත්‍රපටවල වැඩකරන්න අමෙරිකාවට ගියේ නිව්යෝක් ෆිල්ම් ෆෙස්ටිවල් එකට සැමීගේ කතාව චිත්‍රපටයේ මම සම නිෂ්පාදක නිසා ජගත් චමිල එහිදී හොඳම නළුවා හැටියට සැමීගේ කතාව වෙනුවෙන් සම්මාන ලැබුවා. මම ඒ සඳහා සහභාගි වුණා. ජපානයේ චිත්‍රපටයක් ෂූට් කරන්නත් ගියා.

විදෙස් රටවල නළු නිළියන් නිර්මාණ වෙනුවෙන් සම්බන්ධීකරණය කරන්නත් ඔබ සැබෑ දක්ෂයෙක් කියලත් ක්ෂේත්‍රයේ කතාබහක් තියනවා?

මට ගොඩක් රටවල මගේ මිත්‍රයෝ ඉන්නවා. මේ ෆිල්ඩ් එකේ ඔවුන්ගේ මාර්ගයෙන් මේ කටයුත්ත මට ගොඩක් පහසුවෙන් කරන්න හැකිවෙලා තියනවා. ගෞතම බුද්ධමාතා චිත්‍රපටයට ඉන්දියාවෙන් නළු නිළියෝ හතර දෙනෙක් ගෙනාවා. මගේ මැදිහත් වීමෙන්.

මේ දිගු ගමනේ ඔබට ගුරුවරු වුණේ කවුද?

මට මමම තමයි ගුරුවරයා වැඩකරල කරල ලබපු දීර්ඝ අත්දැකීම් තමයි මගේ සාර්ථකත්වයේ ගුරුවරයා. මගෙන් බිහි වූ හැම ගෝලයෙක්ම මම ඒ න්‍යාය තුළ කටයුතු කරන්න පුරුදු කරල තියෙන්නේ. මම හදන් ඉන්නවා මටම ආවේණික වැඩ පිළිවෙලක්. ඒ වැඩපිළිවෙල අද වෙනකොට මාව තැනකට ඔසවා තබල ඉවරයි.

ඔබේ යටතේ හැදුණු වැඩුණු ගෝලයෝ අද ඩිරෙක්ටස්ලා වෙලත් ඇති නේද?

ඔව්. එහෙම අය ඉන්නවා. ඒ ගැන මා තුළ තියෙන්නේ ලොකු සතුටක් මම කුහක නෑ. මගේ ගෝලයෝ ඩිරෙක්ටස්ලා වෙලා මම තවමත් සහාය අධ්‍යක්ෂ කියලා ශානක මහලියැද්ද, රොෂාන් කුරුප්පු, රන්ජන් ප්‍රසන්න වගේ මගේ ගෝලයෝ තව ගොඩක් ඉන්නවා. මම අදටත් මගේ ගෝලයෙක් මොනවා හරි උදව්වක් ඉල්ලුවොත් සතුටින් කරල දෙනවා. උපදෙස් ලබාදෙනවා. හතර වටේ ගෝලයෝ හිටියත් සමහරු අදටත් මාව දැක්කත් නොදැක්ක වගේ යන අයත් ඉන්නවා. අද සමාජයේ ගොඩක් වෙනස් මඟ කියල දුන්න අයත් අමතක කරල ඕපපාතිකව බිහිවුණ හැටියට කතා කරන අයත් ඉන්නවා.

මේ ආපු ගමන ගැන ඔබ අද තෘප්තිමත්ද?

ඔව්. මම ගොඩක් පි‍්‍රය කරනවා. මම අද ඉන්න තැන ගැන ඒ වගේම මම ගොඩක් ආශා කරනවා. මම දන්න දේ ගැන මගේ අත්දැකීම් තව කෙනෙක්ට කියල දෙන්න. ඒ තුළින් මම ලබන තෘප්තිය ගැන මට තියෙන්නෙත් ලොකු ආඩම්බරයක්.

සහාය අධ්‍යක්ෂණය තුළ මේ ආගමන් මගේ අභියෝගවලටත් ඔබට මුහුණ දෙන්න වෙන්න ඇති?

දේශීය වශයෙන් නිර්මාණය වූ ක්ෂීර සාගරය, ශ්‍රී සිද්ධා චිත්‍රපටවල ඒ අභියෝගය මට තිබුණා. විදෙස් චිත්‍රපට කරද්දී ලොකු අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. මදර් තෙරේසා ටෙලි සීරියස් එක කරන කොට එක දර්ශනයක් රූපගත කරන්න තිබුණා. කොටුව ස්ටේෂන් එකේ කල්කටා ස්ටේෂන් එක විධියට කොටුව ස්ටේෂම හදන්න තිබුණා. අතිරේක නළු නිළියෝ විතරක් 1200 හසුරවන්න තිබුණා. ඒ සඳහා මට තව දොළොස් දෙනෙක්ගේ සහාය ගන්න සිද්ධ වුණා. ඒ අයට වෝකි ටෝකි දීල දුම්රිය මගීින් වගේ අන්දවලා සෙනඟ අතරේ තියල සම්බන්ධිකරණය කළා මම කැමරාව ළඟ ඉඳල මේ 1200 පිරිස හැසිරෙව්වා. රත්මලානේ ස්ටේෂන් එකෙත් රූපගත කළා. මිනිස්සු 1000ක් එක්ක. ඇත්තෙන්ම මේවා අභියෝග නියමිත දර්ශනයට මිනිස්සු දාහක් මේකප් කරන්න. කොස්ටියුට් අන්දවන්න. පසුතල හදන්න. මේ හැමදෙයක්ම කළමනාකරණයේදී තවත් සහායක පිරිසක් අවශ්‍ය වෙනවා සහාය අධ්‍යක්ෂකට.

ඔබේ පියත් නළුවෙක් කළ පුද්ගලයෙක් විමල් දේශපි‍්‍රය?

මම බෙන් ෆිල්ම් ආයතනයේ කළමණාකරු හැටියට වැඩකළා. බෙනට් රත්නායක මහත්තයා තරු කියල ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. මෙහි සහාය අධ්‍යක්ෂ වුණේ ක්‍රිස්ටි ෂෙල්ටන් පෙරේරා මම ප්‍රඩක්ෂන් මැනේජර් හැටියටත් සවුන්ඩ් රෙකෝඩින් හැටියටත් මෙයට දායක වුණා. සුනිල් ආරියරත්න මහත්තයා මේ ටෙලි නාට්‍යයට සිංදු 16ක් රචනා කළා. ඒ සින්දු සියල්ල ගායනා කළේ නන්දා මාලිනි මහත්මිය. කුලසේන ෆොන්සේකා තමයි කතාව ලිව්වේ බෙන් ෆිල්ම් ආයතනයෙන් තමයි නිෂ්පාදනය කළේ. මෙහි රඟපෑම සඳහා මම තාත්තාව සම්බන්ධ කරගත්තා.

සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය නිමාවන්නේ චිත්‍රපටය තිරගතවීමත් සමඟද?

ෆිල්ම්වලටත් ලැන්වේජ් එකක් තියනවා. එහි කටයුතු කරන අය දන්නවා ඒ ලැන්වේජ් එක මොකක්ද කියල. ෆිල්ම් ප්‍රොඩක්ෂන් හෑන්ඩ් බුක් කියල පොතක් තියනවා එකේ පැහැදිලිව සඳහන් වෙනවා. ලෝකේ චිත්‍රපටයක් කරන විධිය.

නිෂ්පාදකගේත් අධ්‍යක්ෂකගේත් අවශ්‍යතාවය මත සහාය අධ්‍යක්ෂවරයෙක් තෝරා ගත්තාට පස්සේ බජට් එකක් හදනවා එතැන සිට සහාය අධ්‍යක්ෂවරයාගේ කටයුත්ත පටන් ගන්නවා. පෙර නිෂ්පාදන කටයුතු රූපගත කිරිම් ඉවර කරල චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු වලදීත් ඔහුට වැඩ කරන්න සිද්ධ වෙනවා. සංස්කරණය හඬ කැවීම ඇතුළු සියලු චිත්‍රපටයේ අවසාන සංස්කරණය දක්වාම චිත්‍රපටයත් සමඟ වැඩකරන්න සහාය අධ්‍යක්ෂකට සිද්ධ වෙනවා. නළු නිළියන් රඟපාල ගෙදර ගියත් සෙට් එකේ අනෙක් අයගේ සියලු කටයුතු ඉවර වුණත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මේක මගේ චිත්‍රපටය කියල කියනකම් ඉන්න ඕනේ සහාය අධ්‍යක්ෂකගේ වගකීම අහවර වන්න.

ඔබේ පවුලේ තොරතුරු කොහාමද?

මගේ බිරියත් නිළියක්. ඇය පි‍්‍රයංකා සමරවීර ඇයත් මේ ක්ෂේත්‍රය ගැන දන්න කියන නිසා මටත් ලොකු පහසුවක් වෙලා තියනවා. මගේ වැඩ කටයුතු කරගෙන යන්න.

ලිපිනය මතක් කළොත්?

141/257, සිටුවර අසපුව, කලල්පිටිය, පස්යාල.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT