Home » නළුවෙකුට ගන්න පුළුවන් ඉහළම සම්මානය -සරසවිය සම්මානය

නළුවෙකුට ගන්න පුළුවන් ඉහළම සම්මානය -සරසවිය සම්මානය

යොවුන් රංගන ශිල්පී- ධනුක ඩිල්ශාන්

by Thanushika
August 21, 2025 12:30 am 0 comment

ටෙලි තිරයේ රඟන නළුවන් අතර සැබෑ ලෙසින් රංගනයේ යෙදෙන ශිල්පීන් සිටින්නේ සුළු පිරිසකි. ඔවුන් රංගනය කුමක්දැයි හොඳීන් හඳුනාගෙන රංගනයේ යෙදෙන පිරිසකි. පසුගිය කාලයේ ටෙලි තිරයේ මැවුණු ‘ තණමල්විල කොල්ලෙක්’ ටෙලි සිත්තමෙන් අතිශය ජනාකර්ෂණයට පාත්‍ර වූ චරිතයක් වන්නේ යොවුන් රංගන ශිල්පී ධනුක ඩිල්ශාන්ය. ඔහුද ඉහත කී පිරිසට අයත් වන්නෙකි. ඔහු ටෙලි තිරයට නම් ආගන්තුකයකු නොවේ. එහෙත් ඔහුගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ සිනමා නළුවෙකු වීමටය. විවිධ වූ බාධක මධ්‍යයේ ඔහුට ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකිවිය.

36 වැනි සරසවිය සම්මාන උලළෙදී හොඳම නළුවා ලෙස නිර්දේශිත නාම අතරට ඔහුගේ නමද ඇතුළත් වී තිබුණි. කළු පැහැති ඇඳුමකින් සැරසී ධනුක ඩිල්ශාන් ඉතාමත් සුහද ලීලාවෙන් ශාලා පරිශ්‍රයට ඇතුළු වුයේ ඔහුගේ සුපුරුදු සිනහවෙන් තම සහෘදයන්ට සංග්‍රහ කරමිනි.

සම්මාන රාත්‍රියේ එකින් එක සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. නිවේදකයා විසින් හොඳම නළුවා නිර්දේශිත නාමයන් ඉදිරිපත් කරන ලදි. එම නාම අතරින් 36 වැනි සරසවිය සම්මාන රාත්‍රියේදී 2024 වසරේ හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ දනුක ඩිල්ශාන් ය.

ඔහු වේදිකාවට දිවගියේ දඟකාර ලීලාවෙනි. ඉතාමත් නිහතමානී ලෙස සම්මානය තම දෝතට ගත් ධනුක තම සහෘද ශිල්පීන් හට ආමන්ත්‍රණය කිරීමට අමතක කළේ නැත.තමා ආ ගමන් මඟ ඉතාමත් පහළ තැනකින් පටන් ගත් බව ඔහු ප්‍රකාශ කර සිටියේ හස්ත මුද්‍රාවෙනි. එයට තම සහෘද කලාකරුවන් සිනහවෙන් ආශීර්වාද කරද්දී නිවේදක සමන් අතාවුදහෙට්ටි, ධනුකගේ මුවින් එය අසා දැන ගැනීමට ඔහු අසලට පැමිණියේය. තමන් ආ ගමන් මඟ ගැනත් ලෝකයට සාමය අවශ්‍ය බවත් පවසමින් ඔහු වේදිකාවෙන් බැස ගියේ ඔටුන්නක් හිස පලඳවා ගත් ලෙසින් නොව ඉතාමත් නිරහංකාර අන්දමිනි. එදා ඔහුගෙ ඒ කෙටි වදන් පෙළ සැවොම පාහේ අගය කළහ. ඔහු ලද සරසවිය සම්මානය ගැන නිහතමානී සතුටකින් සිටින මොහොතේ ඒ සතුට බෙදා ගන්නට සරසවිය සමඟ එක්වීමට අමතක නොකළේය.

සරසවිය සම්මානයක් හිමිකර ගන්නවා කියන්නේ රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තිබෙන හීනයක්. ඒ හීනය තුළ මමත් ජීවත් වුණා. පොඩි කාලේ ඉඳන් මගේ ඉලක්කය වුණේ සිනමා නළුවෙක් වෙන්න. ඒත් පාසල් කාලයේ මම යොමු වුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. මගෙ තාත්තා ඒ වෙනුවෙන් බොහෝ වෙහෙසුණා. කැපවුණා. ඒ මොන දේ කළත් මගේ ඔළුවේ තිබුණේ නළුවෙක් වෙන හීනය. ඒ හීනෙන් මම මිදුණේ නැහැ .

අ.පො.ස උසස් පෙළ අවසන් වෙලා ඉන්න විට අහම්බෙන් වගේ අවස්ථාවක් ලැබුණා නිරූපණ ශිල්පීන් තෝරා ගන්නා පරීක්ෂණයකට සහභාගී වෙන්න. ඒක සංවිධානය කර තිබුණේ ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ රොසෑන් ඩයස් විසින්. අහම්බෙන් වගේ තමයි මටයි, මගේ යාළුවෙකුටයි ඒ අවස්ථාව ලැබුණේ. එදා ලොකු පිරිසක් එතනට පැමිණ සිටියා. ඔවුන් සියලු දෙනාම උස , කඩවසම් බවින් යුක්ත වූ අය. මට නිරූපණ ශිල්පියකු ලෙස අත්දැකීම් තිබුණේ නැහැ. ඒත් මම ශාරුක් ඛාන් වගේ ඇවිදල පෙන්නුවා. කෙසේ හෝ මාව එදා තේරුණා. මම බොහෝම උජාරුවෙන් ගෙදර ඇවිත් සිදුවූ සියල්ල ගෙදර අයට පැවසුවා.

ඉන් මාසෙකට පමණ පසුව තරංග විජේරත්න කියන අධ්‍යක්ෂකවරයා මට කතා කළා. ඔහු නිර්මාණය කළ මෙගා නාට්‍යයකට මට ආරාධනා ලැබුණා. ඒ වෙලාවේ මම තීරණය කළා ක්‍රිකට් අතහැරලා නළුවෙක් වෙන්න. ඒත් මගේ ජීවිතයේ ඒ පැත්තෙන් හිතපු තරම් වෙනසක් සිදුවුණේ නැහැ.

එසේ ජීවිතය ගෙවන අතරේ ළහිරු මුදලිගේ අයියා මට මියුසික් වීඩියෝ එකකට ආරාධනා කළා. මුලින්ම ඒ සඳහා මට රුපියල් දෙදහසක් ලැබුණා. ඒත් මම එය ප්‍රතික්ෂේප කළත් ඔහු බලෙන්ම වගේ එය මා අත තැබුවා. ඉන්පසු මට දිගටම මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබුණා. දවසට කිහිපයක් ලැබුණු අවස්ථා තිබුණා. මුදලින් ලක්ෂ එක දෙක ලැබෙන්න ගත්තා. දවසක් මගේ මිතුරකුගෙන් ඇමතුමක් ලැබුණා. ඔහු පොළොන්නරුවේ යන ගමන් බස් එකේ සිට තමයි මට කතා කරල තියෙන්නේ. ඔහු එක පාරටම මෙහෙම කිව්වා.

‘ ධනුකයා බස් එකේ සින්දු පනහක් විතර ගියා . එ වීඩියෝ පනහෙන් හතළිහකම වගේ හිටියේ උඹනේ’

ඒක අහල මම තරමක් ලැජ්ජාවකටත් පත්වුණා. මම හීන මැව්වේ සිනමා නළුවෙක් වෙන්න නිසා. ඒ විදිහට මියුසික් වීඩියෝ කරගෙන ඉන්නා අතරතුර අපේ රටේ දක්ෂ රංගන ශිල්පියකු වගේම අධ්‍යක්ෂකවරයෙකු වන රොෂාන් රවීන්ද්‍රව මුනගැසුණා. ඔහු නිර්මාණය කළ ‘ තණමල්විල කොල්ලෙක් ‘ ටෙලි නාට්‍යයට මාව තෝරා ගත්තා. එය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මට ලැබුණ චරිතය නිසා ප්‍රේක්ෂකයන් අතරට මට යන්න පුළුවන් වුණා. එතනදී රොෂාන් අයියා මට උපදෙසක් දුන්නා. ඔහු කිව්වා මියුසික් වීඩියෝ කරන එක නවත්වන්න කියලා. සිනමා නළුවෙක් වෙන ඉලක්කය පමණක් සිතේ තබා ගන්න කියා මාව දැනුවත් කළා. ඒත් ඒක කරන්න අමාරු වුවත් මම ඒ ඉලක්කය වෙනුවෙන් අනෙකුත් වැඩ නැවැත්තුවා. මියුසික් වීඩියෝ නැවැත්වූ නිසා අමාරු කාලයකට මුහුණ දෙන්න වුණා. ඒත් මම සියල්ල ඉවසාගෙන බලාගෙන සිටියා.

දිනක් මාව ඩොනල්ඩ් ජයන්ත මහතා සොයන බව මගේ තාත්තාගෙන් දැනගන්න ලැබුණා. ඒ කාලේ මම ජංගම දුරකතනයක් පාවිච්චි කළෙත් නැහැ. නැවතත් දිනෙක උදයකාන්ත වර්ණසූරිය මහතාගෙන් මගේ යාළුවෙක්ට දුරකතන ඇමතුමක් ආවා. ඒ අවස්ථාවේ මමත් එතන සිටියා. උදයකාන්ත මහතාව ඉක්මනින්ම පැමිණ හමුවෙන ලෙස ඔහු දැනුම් දුන්නා. මම ඔහුගේ ගෙදර ගිහින් ඔහුව හමුවුණා. ඒ හමුවීම හරිම සුන්දරයි. ඔහු චිත්‍රපටයක් කරන්න සූදානම් වන බව මට දන්වා සිටියා.

ඒ හමුවේදී ඔහු කීවේ ධනුකවත් මම ගන්න හිතාගෙන ඉන්නේ කියලා.

ඒ එක්කම මම කිව්වා.

හිත හිතා ඉන්න එපා මාව කොහොම හරි ගන්න කියලා.

පසුව මට ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ චරිතය ලැබෙන්නේ ඒ විදිහට. උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂවරයා නිසා තමයි අද මා මෙතන සිටින්නේ.

ඇතැම් අවස්ථාවල මාව ප්‍රතික්ෂේප වෙලත් තියෙනවා. මම උස මදි කියලා සමහර තැන්වලදී මට ලැබිය යුතු දේ අහිමි වුණා. ඒ තැන් වලදී මම මානසිකව වැටුණා. එහෙත් මාව දිරිමත් කළ අයත් සිටියා.

‘ නැහැ ඔයාගේ උස ප්‍රශ්නයක් නෙවෙයි රඟපෑමට’

‘ රූප රාමුවලදී ඔයාව උසට පේනවා’

එවැනි ප්‍රකාශ නිසා මම නැවතත් දිරිමත් වුණා.

මේ සිනමා ක්ෂේත්‍රයේ , ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ වූ අය සිටිය යුතුයි. එවිටයි විවිධත්වයක් ඇති වෙන්නේ. සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අලුත් මුහුණු එකතුවීම පිළිබඳ මම දකින්නේ සුබවාදීව. ඒ එන අය අතර තරඟකාරී බවක් තිබිය යුතු නැහැ. තමන්ට ලැබෙන වැඩේ හරියට කරනවා නම් තරඟයක් අවශ්‍ය නැහැ. එකම දේ ක්ෂේත්‍රයේ රැඳී සිටීම. අහංකාර කමින් මේ ක්ෂේත්‍රයේ ඉන්න බැහැ. දර්ශන තලයට ආවාම ජ්‍යේෂ්ඨ ශිල්පීන්ට සුබ උදෑසනක් කියන්න, ආයුබෝවන් කියන්න පුරුදු වෙන්න ඕන. වැඩිහිටි පරපුරේ ආශීර්වාදයත් අපිට වටිනවා. දර්ශන තලයේදී අපි ඔක්කොම එකම පවුලක් විදිහට ඉන්නවා නම් කලාව හරිම සුන්දරයි. මේ ක්ෂේත්‍රයේ අපිට ජනප්‍රියතාවය ලැබෙනවා. ගෙවීමක් ලැබෙනවා. හැබැයි නළුවෙක් නිළියක් කියන දෙයින් ඔළුව උදුම්මවා ගත්තොත් ක්ෂේත්‍රයේ රැඳී සිටින්න අමාරුයි. හැමදාම ජනප්‍රිය වෙන්න ඕන එක්කෙනෙක්ම නෙවෙයි. සම්මාන උත්සවයකට ගියත් සහෝදරත්වය තිබිය යුතුයි. එදාට තමයි ක්ෂේත්‍රයේ සියලුදෙනාම අපිට හමුවෙන්නේ.

මේ ක්ෂේත්‍රයට අලුතින් එන්න තරුණ පිරිසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ එන අයට මේ පුංචි කරුණු ටික කියන්න අවශ්‍යයි. තමන් කරන වැඩේ හරි විදිහට, නිසි අධ්‍යයනයකින්, නිසි පුහුණුවකින් හැමදේම නිසියාකාරව කළමනාකරණය කරගනිමින් කළොත් සාර්ථක කලා ශිල්පියෙක් වෙන්න පුළුවන්. එවිට ගමනත් පහසුයි.

මම ආවේ පහසු ගමනක් නෙවෙයි. මගේ සිනමා ගමනට මගේ මව්පියන්ගෙන් මිතුරු පිරිසගෙන් සහයෝගය ලැබෙනවා. විශේෂයෙන් මගේ මව්පියන්ගෙන් සහ නැගණියගෙන් . මට පුංචි මල්ලී කෙනෙකුත් සිටියා. තැලමීසියා රෝගයට දීපු එන්නතක් නිසා මගෙ මල්ලී ඉතා කුඩා කාලයේදීම අපිට අහිමි වුණා. මගේ මව්පියන් මාව හැදුවේ පොළොවේ පයගසා ජිවත්වීමට පුළුවන් පුද්ගලයෙකු විදිහට. සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන විදිහ ඉගැන්වූවා. වැඩිහිටියන්ට ගරුකරන සැටි , පිරිසක් ඉදිරියේ හැසිරෙන සැටි කියා දුන්නා. බාධක , ජයග්‍රහණ මේ සෑම දේටම මුහුණ දෙන්න පුළුවන් විදිහට සාර්ථක තරුණයෙක් වෙන්න මට හැකි වුණේ මව්පියන්ගෙන් ලැබුණ ගුරුහරුකම් නිසා.

එදා ඉවසීමෙන් ආපු මම අද හොඳම නළුවා ලෙස සරසවිය සම්මානය දිනා ගත්තා. මා මෙහි මුලින්ම සඳහන් කළා සරසවිය සම්මානයක් ලැබීම හීනයක් කියලා. ඒත් ඒ හීනය සැබෑ වුණා. මගේ නම නිර්දේශ වී තිබෙනවා කියා දැනුම් දුන් විට මම සිතුවේ නැඟී එන නළුවා වගේ සම්මානයක් මට ලැබේවි කියා. ඒත් මට හොඳම නළුවා සම්මානය ලැබුණ විට මම එක් දෙයක් සිතට ගත්තා. ඉදිරියේදී කරන චරිත මීටත් වඩා හොඳීන් කරනවා කියන සිතුවිල්ල සිතේ තැන්පත් කර ගත්තා.

මේ කතාබහ අවසන් කිරීමට පෙර මගේ ජීවිතයේදී සිදුවූ රසබර කතාවකින් අවසන් කරන්නම්.

දිනක් මා බැංකුවකට ගියා. ඒ වන විට මම නළුවෙක්. බැංකුවට ඇතුළු වන විට දිගු පෝළිමක් තිබුණා. එහි සිටි අය හැමෝම වගේ මා එක්ක හිනාවුණා. මට පොඩි ආඩම්බරයකුත් හිතට ආවා. ෂා….දැන් මාව හැමෝම වගේ දන්නවනේ කියලා. ඒ එක්කම බැංකුවේ නිලධාරිනියක් පැමිණ ඇතුළට එක්කගෙන ගිහින් මගේ කාරිය ඉෂ්ට කර දුන්නා. මම ආයෙමත් බැංකුවෙන් පිට වුණේ හරි සතුටින්. එදා මම බැංකුවට ගියේ මගේ යාළුවෙක් සමඟ යතුරු පැදියකින්. මම සිනාමුසු මුහුණින් සිටියත් යාළුවා අමුතු විදිහට බලල ඇහුවා මොකද මේ කියලා. ඒ වෙලාවේ තමයි දන්නේ හෙල්මට් එකේ ඇතුළත තිබුණ රිජිෆෝම් එක මගේ ඔළුවේ ඇලවිලා තිබිලා. අනේ බැංකුවේ කට්ටිය මාත් එක්ක හිනා වෙලා තියෙන්නේ නළුවෙක් නිසා නෙවෙයි. මගේ ඔළුව දැකලා කියලා තේරුම් ගියේ ඒ වෙලාවේ. ඔන්න ඔය වගේ රසකතා බොහෝමයක් තිබෙනවා මම ගැන.

එදා ඒ අය එහෙම හිනා වුණාට අද මා එක්ක හිනා වෙන්නේ රංගන ශිල්පියකු ලෙස සාර්ථක ගමනක් ආ නිසා. ඔවුන්ගෙන් ලැබෙන හිනාවට මම හරි ආදරෙයි. ප්‍රේ‍ක්ෂකයන්ගෙන් ලැබෙන සහයත් මගේ මේ ගමනට රුකුලක් වෙනවා. මේ ජයග්‍රහණයේදී ඔවුනුත් පිටුපසින් සිටියා.

ශ්‍රී ලංකාවේ තිබෙන අංක එකේ සිනමා සම්මාන උලෙළ වන සරසවිය සම්මානයකින් පිදුම් ලබන්නට ලැබීම මගේ රංගන ජීවිතයේ ලැබුණ ඉහළම ජයග්‍රහණය.

එහෙත් එයින් උදම් නොවී මට ලැබෙන චරිත තව තවත් හොඳීන් කරමින් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT