Home » දරුවන්ගේ සුන්දර ලෝකයට මම හරි ආදරෙයි…

දරුවන්ගේ සුන්දර ලෝකයට මම හරි ආදරෙයි…

‘හොරා අංකල්’ සම නිෂ්පාදක ආචාර්ය සුමින්ද ලෝව්

by Thanushika
October 24, 2024 11:47 am 0 comment

අර්ථපති යනු නිෂ්පාදක ලෙස අරුත් ගැන්විය හැකිය. විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි මෙන්ම කලා ක්ෂේත්‍රය ද නිෂ්පාදක යන වචනය පොදු වචනයකි. විශේෂයෙන් කලා ලෝකයේ විවිධ පැතිකඩවලදී නිෂ්පාදක යන වචනය සුලභව අසන්නට ලැබේ.

වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව වැනි දැවැන්ත ක්ෂේත්‍රයන්වල පිටුපස සිටින යෝධ ශක්තිය අර්ථපතිය. අප නිතර භාවිතා කරන වචනයෙන් කිවහොත් නිෂ්පාදකවරයාය.

වේදිකා නාට්‍යයක් ටෙලිනාට්‍යයක් සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ඒම සම්පූර්ණයෙන් බාර වන්නේ නිෂ්පාදකවරයාට බව කිවහොත් නිවැරදියි. මන්ද කිසිදු නිර්මාණයක් පිරිවැයක් නොදරා කරන්නට නොහැකිය.

එවැනි නිර්මාණවලට වැඩි වශයෙන් තමා සතු ධනය ආයෝජනය කරන්නේ කලාකාමී හදවත් ඇත්තවුන්ය. කලාවට ආදරය කරන සුන්දර මිනිසුන්ය.

ඒ අතර ලාභය පමණක්ම බලාපොරොත්තුවෙන් නිර්මාණ වෙනුවෙන් ආයෝජනය කරන නිෂ්පාදකවරුන්ද නැත්තේම නොවේ.

විශේෂයෙන් සිනමා නිර්මාණයක බර පැන දැරීමට සිතීමද, ඒ සඳහා නොපැකිළව ඉදිරිපත් වීමද අගය කළ යුතුයි. මක්නිසාද එයින් ලාභය මෙන්ම පාඩුවද විඳ දරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිය යුතු නිසාය.

කුඩා කල සිටම සිනමාවට ආදරය කළ චරිතයක් පසුගියදා තිරගත වූ හොරා අංකල් චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙස දොරට වැඩියේය.

ඔහු ආචාර්ය සුමින්ද ලෝව්ය.

ඉතාමත් සුහදශීලී ලෙස ඔහු සරසවිය සමගින් එක් වූයේ ඔහුගේ සිනමා සම්ප්‍රාප්තිය ගැන කතා කිරීමටයි.

“පුංචි කාලෙ ඉඳන්ම මගේ ලොකු කැමැත්තක් තිබුණා සිනමාවට. මගේ ආසාවක් තිබුණා සිනමා පටයකට නිෂ්පාදනය පැත්තෙන් දායක වෙන්න. ඒත් ආයෝජනයක් කරද්දි නිර්මාණය ගැන විශ්වාසයක් තිබිය යුතුයි යුතුයි. ඒ වෙනුවෙන් විශ්වාසවන්ත පුද්ගලයන් හමුවිය යුතුයි.”

“ඔය අතරේ මගේ ළඟම හිතවතෙක් මාර්ගයෙන් සමන් අලංකාර හිතවතාව මුණගැහුනා. මට ඔහු ගැන දැඩි විශ්වාසයක් ඇතිවුණා. ඔහු මට හොරා අංකල් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කිව්වහම මට ලොකු සතුටක් ඇතිවුණා. කෙසේ වුණේ ඔහු ගැන මගේ හිතේ තිබුණ විශ්වාසය නිසාමයි.”

“කතා තේමාව ගැන දැනගත්තහමත් මට ආසාවක් ඇති වුණේ මෙම චිත්‍රපටය ළමා චිත්‍රපටයක් වූ නිසා. මටත් ඉන්නේ පොඩි දුවලා දෙන්නෙක්.”

“ඉතින් ආයේ හිත හිතා නොසිට හොරා අංකල් චිත්‍රපටය වෙනුවෙන් ආයෝජනය කරන්න මම ඉදිරිපත් වුණා.”

දරුවන්ගේ සුන්දර ලෝකයට මම හරි ආදරෙයි.

මුලින්ම පිටපත කියවද්දිත් ආසාවක් ඇතිවුණා. සමන් අයියත් දක්ෂ පුද්ගලයෙක්. වැඩක් කරද්දි ඒක උත්සාහයෙන් උනන්දුවෙන් කරනවා.

ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක පළමුවෙන් වැඩ කරන්න ලැබුණ එක ගැන සතුටුයි.”

සුමින්ද පළමුවෙන්ම දායක වූ හොරා අංකල් චිත්‍රපටයට මේ තාක් ලැබුණු ප්‍රතිචාර ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වුවේ ය. ඒ නිසා ඔහුගේ හඬට ඉඩක් ලබා දීමට සරසවිය සැදී පැහැදී සිටීම ඔහුට සතුටට කාරණයක් විය.

“මුලින්ම සරසවියට ස්තූති කළ යුතුයි. අපි වගේ පළමුවෙන්ම සිනමාවට සම්බන්ධ වුණ අයට අතහිත දීම සම්බන්ධව.”

“හොඳ ප්‍රතිචාර මේ වෙනකන් ලැබෙනවා අපට. විශේෂයෙන් කොළඹින් පිට ප්‍රදේශවලින්. ඒ අයට චිත්‍රපට නරඹන්න ළඟපාත සිනමා ශාලා නැහැ. බොහෝ දුරක් ගෙවාගෙන ගොස් තමයි නගරයේ ඇති සිනමා ශාලාවකට යන්න ඕන.”

“ඒත් ඒ අහිංසක මිනිස්සුන්ගෙන් ගොඩක් ප්‍රතිචාර අපිට ලැබිල තියෙනවා”.

“ප්‍රතිචාර ගැන කතා කරපු වෙලාවෙ මේ පණිවිඩයේ විශේෂයෙන් දැනුම් දිය යුතුයි කියලා මම හිතනවා”.

“හොරා අංකල් චිත්‍රපටයට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබිල තියෙනව ඕනෑම වයස් මට්ටමක දරුවන්ට මේ චිත්‍රපටය නරඹන්න සුදුසුයි කියලා”.

ආචාර්ය සුමින්ද ලෝව් සිනමාවට නවක නිෂ්පාදකවරයෙක්. ඒ ගැනද ඔහු සරසවිය සමගින් ඔහුගේ අදහස ඉදිරිපත් කළේය.

“මම මීට කලින් මේ අත්දැකීම ලැබිලා තිබුණේ නැහැ. ඒත් මේ චිත්‍රපටයට සම්බන්ධ වීමෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්න හැකි වුණා. එය මට වැදගත්. අනාගතයේදී ඒ සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන් වුණා.”

“විශේෂයෙන් සමන් අයියත් මමත් තීරණයකට එළඹුණා. අනාගතයේදී කරන නිෂ්පාදන කටයුතු සම්බන්ධව.”

“චිත්‍රපටියක් නිෂ්පාදනයේදී ශිල්පීන්ට අපි ඔවුන්ට නියමිත ගෙවීමක් සිදුකරනවා.”

“ඊට අමතරව රංගන ශිල්පීන් කරන කැපවීම වෙනුවෙන් යම්කිසි අමතර ගෙවීමක් කරන්න උත්සාහ කරනවා.”

“ඒ ගැන අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ.”

“රූගත කිරීම්වල සිට එය තිරගත කිරීමේදී සහ එහි ප්‍රවර්ධන කටයුතුවලටත් දායක වන ශිල්පීන්ට තමයි අපි එහෙම දෙයක් කරන්න සැලසුම් කළේ.”

“කලාකරුවන් කියන්නේ රටේ සම්පතක්. අපි ඔවුන්ව රැක ගත යුතුයි. එවිට ඔවුනුත් පෙලඹෙනවා ඔවුන්ගේ උපරිම දක්ෂතාවය කැපකිරීම සිනමාව වෙනුවෙන් දායාද කරන්න.”

“ඒ තීරණ සිංහල සිනමාවේ දියුණුව වෙනුවෙන් කරන ආයෝජනයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ.”

සිංහල සිනමාව වෙනුවෙන් නිර්මාණ බිහිකිරීමට නිෂ්පාදකවරුන් සොයා ගැනීමට අසීරු මොහොතක මෙවැනි තරුණ චරිත සිනමාවට ඇදී එම අගය කළ යුතුයි.

ආචාර්ය සුමින්ද නිෂ්පාදනය පැත්තෙන් සිනමාවට සම්බන්ධ වූවත් ඔහුගේ පෙනුම නළුවෙක්ට සමාන යැයි කිව හැකිය.

එයට ඔහු සිනහවෙන් මෙසේ පිළිතුරු සැපයීය.

“මම රඟපෑම නම් කරලා නැහැ.”

“පාසල් කාලයේ නම් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා.”

“මම ලංකාවේ අධ්‍යාපන කටයුතු හමාර කළාට පසුව උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වුණා.’

“මගේ උසස් අධ්‍යාපන කටයුතු සිදු වුණේ එංගලන්තයේදී.”

“ඉන්පසු මම ශ්‍රී ලංකා ගුවන් සේවයේත් වසර කිහිපයක් සේවය කළා.”

“දැන් මම ව්‍යාපාරිකයෙක්.”

‘Olemi Travels’ සහ Olemi නමින් ව්‍යාපාර ජාලයක් අප සතුයි.

මමත් මගේ පියා මගේ මාමලා සහ සහෝදරයින් එකතුවෙලා තමයි අපේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ”.

ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙකු වුවත් ඔහුගේ වැඩි කැමැත්ත සිනමාවට.

“ඔව්. මම හරි කැමතියි සිනමාවට. මම කුඩා කාලේ ඉඳන්ම සිනමාවට පෙම් බැදි කෙනෙක්.”

“මම මුලින්ම බලපු චිත්‍රපටය තමයි දෙමෝදර පාලම”.

“සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයා තමයි ප්‍රධාන චරිතය. අපි පවුලේ ඔක්කොම එකතු වෙලා ගියා ඒ චිත්‍රපටිය බලන්න.”

“අමාරුවෙන් ටිකට් ගත්තේ”

“එතරම් විශාල සෙනඟක් ඇවිත් හිටියා දෙමොදර පාලම බලන්න”.

“ඒ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

“ඒ ගැන මතක් වෙනකොට දැන් සිනමාවේ තත්ත්වය ගැන පොඩි දුකක් ඇතිවෙනවා.”

“පවුල් පිටින් චිත්‍රපටි බලන්න සිනමා ශාලාවලට එන පිරිස අඩුයි දැන්.”

“ගෙදර ඉඳන්ම චිත්‍රපටි නරඹන්න වර්තමානයේ රූපවාහිනී නාලිකා ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම රටේ ජනතාවට තිබෙන ආර්ථික අපහසුතාත් බලපාලා තියෙනවා කියලා හිතන්න පුළුවන්.”

“ඒ නිසා යම් තරමකින් සිනමාවේ කඩා වැටීමක් තියෙනවා”.

“හොඳ නිර්මාණයක් කළොත් යම් තරමකට හරි පිරිසක් සිනමා ශාලාවලට ගෙන්නා ගන්න පුළුවන්.”

“එවැනි උසස් සහ ප්‍රමිතියකින් යුතු නිර්මාණවලට ආයෝජනය කරන්න තමයි අපි නිතරම උත්සාහ කළ යුත්තේ.”

“ලාභය බලාපොරොත්තුවෙන්ම ආයෝජනය නොකළ යුතුයි. ප්‍රේක්ෂකයාට දැනෙන සිනමා නිර්මාණයක් කළොත් සැමටම වාසියක් වෙන්නත් පුළුවන්.”

“මම හොරා අංකල් චිත්‍රපටයට මුදල් ආයෝජනය කළේ ලාභයක් බලාගෙන නෙවෙයි. සිනමාවට ළැදියාවක් තියෙන නිසා.”

“අද සිනමාවේ තත්ත්වය දෙස බලන කොට මුදල් ආයෝජනය කිරීම එක්තරා අතකට අවදානමක්.”

“ඒත් චිත්‍රපටය තිරගත වෙද්දි හිතට දැනුනේ අපූරු හැඟීම, සතුට, ආඩම්බරය කවදාවත් සල්ලි වලට ගන්න බෑ.”

“කිව යුතු අනෙක් කාරණය තමයි ශිල්පීන් අය කරන මුදල ගැන නොසිතා ඔහු හෝ ඇය අපට අවශ්‍ය නම් ඒ අයව අපේ නිර්මාණයට සම්බන්ධ කර ගත යුතුයි. එවිට තමයි උසස් නිර්මාණයක් බිහිවෙන්නේ.”

“හොරා අන්කල් චිත්‍රපටයට අපි යොදා ගත්තෙත් ප්‍රවීණ ශිල්පීන්. දුලානි අනුරාධා, මහේන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්කගේ, ජනක කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ ඇතුළු පිරිස.”

“ඒ වගේම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂවරයා වුණේ නවරත්න ගමගේ මහතා ගායනයෙන් ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ලක්ෂ්මන් විජේසේකර මහත්මා වගේ ප්‍රවීණයන් යොදා ගත්තා. ඒ සුසංයෝගය නිසා චිත්‍රපටයේ එන ගීත ඉතාමත් අපූරුවට තිබුණා.”

“මගේ අරමුණ තමයි හරියට දෙයක් කරලා උසස් නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබාදීම.”

“මේ චිත්‍රපටය තමයි ලක්ෂ්මන් විජේසේකර මහතා ගීත ගායනයෙන් දායක වූ අවසාන චිත්‍රපටය.”

මේ කතාබහේදී අපට තේරුම් ගිය එක් කරුණක් සඳහන් කළ යුතුයි ලාභය පසුපස හඹා නොගොස් ප්‍රේක්ෂකයාට හරවත් දෙයක් ලබාදීමට උත්සාහ කරන නිෂ්පාදකවරයෙක් ලෙස ආචාර්ය සුමින්ද ලෝව් ව හැඳීන්විය හැකි බව. ඔහුගේ එකම බලාපොරොත්තුව තවදුරටත් සිංහල සිනමාව වෙනුවෙන් සිනමා නිර්මාණ සඳහා සම්බන්ධ වීමටයි.

“මම දිගටම රැඳී සිටිනවා සිනමාවේ. කලාවට ළැදි කෙනෙක් ලෙස මගෙන් ඉටුවිය යුතු යුතුකමක් ඒක.”

“මම ලෝකයේ රටවල් ගණනාවක ගිහින් තියෙනවා.”

“එහි සුන්දරත්වය අත්විඳලා තියෙනවා. දැනුම ලබාගෙන තියෙනවා. ජීවිතය විඳලා තියෙනවා.”

“මට දැන් අවශ්‍ය සමාජයට යහපත් දෙයක් දායාද කරන එක. කලාව පැත්තට විශේෂයෙන් සිනමාවට.

“ව්‍යාපාර ජීවිතය පමණක් නෙවෙයි. සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ විවිධ ඉසව් සොයා යන කෙනෙක් මම.”

“සමහර වෙලාවට මම කරන වැඩ දැකලා පවුලේ අය ප්‍රශ්න කරන අවස්ථා තියෙනවා. ඒත් මම කරපු දෙයින් ප්‍රතිඵල ලැබෙනකොට “කියලා වැඩක් නෑ නියමයි” කියලා ඉහළින්ම ප්‍රතිචාර ලබා දෙන්නෙත් ඔවුන්ම තමයි.”

“මම සිනමාවට සම්බන්ධ වෙනකොට පවුලෙන් බාධා කිරීම් ඇතිවුණේ නැහැ.”

තරුණ නිෂ්පාදකවරයෙක් ලෙස ඔහුට යා හැකි ගමන දිගුයි. ඔහුගේ පළමු ආයෝජනයෙන් ලද අත්දැකීම් සිතට ගෙන සුමින්ද තවත් සිනමා නිර්මාණ කිහිපයකට අඩිතාලම දමමින් සිටින බවද සරසවිය සමගින් පැවසීමට අමතක කළේ නැත.

“මම මේ දවස්වල සමන් අයියා සමගින් කතා කරමින් ඉන්නේ ඉදිරි සිනමා නිර්මාණ ගැන.”

“පිටපත් කිහිපයක් ගැන සිතමින් ඉන්නේ.”

“ඉදිරියේදී මම නැවතත් ප්‍රේක්ෂකයා හමුවට එනවා අලුත් සිනමාපට රැගෙන.”

“විශේෂයෙන් මේ අවස්ථාව මට ලබා දුන්නාට ස්තූතිවන්ත වෙනවා. අපිටත් සරසවියේ ඉඩක් වෙන් කළාට.”

“ඒ වගේම හොරා අංකල් චිත්‍රපටයට දායක වූ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.”

සිංහල සිනමාවට අවැසි මෙවැනි තරුණ නිෂ්පාදකවරුන්ය. සිනමාවේ අනාගතය රැඳී තිබෙන්නේ ඔවුන්ගේ කර මතය.

එබැවින් සමාජයට යහපත් දෙයක් ලබා දිය හැකි ප්‍රේක්ෂකයාගේ මනස සුවපත් කළ හැකි නිර්මාණ තෝරා බේරා ගෙන නිෂ්පාදන කාර්යයට අත ගැසීම ඔවුන්ගේ වගකීම වේ.

ඉතාමත් සුහදශීලීව සරසවිය කතාබහට එක් වූ ආචාර්ය සුමින්ද ලෝව් නිෂ්පාදකවරයාට සරසවියේ සුභපැතුම් !

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT