Home » දක්ෂයාට ඉඩ ලැබෙන යුගයක් ඕනෑ

දක්ෂයාට ඉඩ ලැබෙන යුගයක් ඕනෑ

තිර රචක රෝනල්ඩ් දසනායක

by Thanushika
August 21, 2025 9:52 am 0 comment

පාසල් අවධියේ සිටම කලාව ඔහුගේ ජීවිතය විය. වේදිකාව ඔහුගේ රංග අභ්‍යාසය ශිෂ්‍ය අවදියේම වේදිකාවේ තුන්කොන ස්පර්ශ කළ ඔහු අද දක්ෂ තිර පිටපත් රචකයෙකි. පපුවට තට්ටු කරලා හදවත කුමක්ද කියලා කියන්න පුළුවන් මිනිසුන් හමුවන්නේ කලාතුරකින්ය. ඒ හමුවන මිනිසුන් අතර ඔහුද විය. ලිවීම එක් කලාවකි. සමහරක් මිනිස්සුන්ට ලිවීම සහ කියවීමේ හැකියාවන් දෙකම පිහිටන්නේ ඔහු තුළ තිබෙන දක්ෂතාවයම නිසයි. රැය පහන් වන තුරු කියවන සහ ලියන මිනිසුනුත් රැය පහන්වන විට පරිච්ජේදයන් සිය දහස් ගණනක් කියවා සහ ලියා අවසන් කරන හෝරාවක් ඇත. ඒ ඔහු තුළ තිබෙන ලිවීමේ සුගම බව සහ වාග්කෝෂය පෝෂණය වී ඇති නිසයි. තවත් මනුෂ්‍යයෙකුට එය රස විඳීන්නට සහ සිතන්නට දෙන්නට පුළුවන් වන්නේ නිර්මාණශිලි හැකියාවක් ඇති ඔහු වැනි අයකුට පමණයි. මේ ඔහුගේ පළමු සිනමා සම්ප්‍රාප්තියේ තිර පිටපතයි. සෘණාත්මක චින්තනය බැහැර කොට ධනාත්මක චින්තනයෙන් සමාජගත වන මිනිසුන්ට තම ආත්ම විශ්වාසය ගැන හොඳ පණිවුඩයක් ගෙන ඒමින් මේ දිනවල තිරගතවන සූර්යා සිනමා පටයේ තිර පිටපත් රචක රොනල්ඩ් දසනායක සරසවිය සමග කළ කතාබහයි.

කලා ක්ෂේත්‍රයට පිවිසිම සිදු වුණේ කොහොමද?

මගේ බාල කාලයේ සිටම මම කලාව ප්‍රිය කළ පුද්ගලයෙක්. සෞන්දර්යාත්මක සිතුවිලි වලින් ජීවත් වන්නට නිදහස් පරිසරයක් මගේ දෙමාපියන් මට ඇති කළා. ඒ ඇති කරලා දුන්න මාවතේ මම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් වේදිකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් බවට පත්වුණා. පාසල් වේදිකාව මගේ රංග භූමිය බවට පත්කරගෙන එහි සිව් කොන මම හොඳීන් ස්පර්ශ කරගත්තා. ගුරුවරුන් සහ පාසල් අතර රොනල්ඩ් දසනායක කියන නම කා අතරත් ප්‍රචලිතව පැවතුණා. ඒදා පාසල් වේදිකාවේ පමණක් නොව සමිති සමාගම් සෞන්දර්යාත්මක හැම කටයුත්තකම කැපී පෙනන චරිතයක් බවට මට පත්වන්නට ලැබිම මම ලද භාග්‍යයක්. ඒ ආපු ගමන තමයි අද මම තිර පිටපත් රචකයෙකු බවට පත්වන්නේ.

‘මිනිස්සු’ වේදිකා නාට්‍ය ඔබ වෙනත්ම දිශාවක නේද ගෙන ගියේ?

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මගේ ජීවිතේ මම වැඩිහරියක් වේදිකාව මතයි ගෙවා දැමුවේ. නාට්‍ය කලාවත් අධ්‍යාපනයත් මම සමබරව කරගත්තා. මිනිස්සු කියන වේදිකා නාට්‍යය පාසල් අතර ජයග්‍රහණය කොට පළාත් මට්ටම දක්වා ඇවිත් ජයග්‍රහණය කිරීම තමයි කලා ක්ෂේත්‍රයට මම රැගෙන ආවේ. ඒ ගමනත් සමඟ මෙම විෂයට තිබෙන ආශාක්ත වුණාට පසු විවිධ රංග පාඨමාලා සොයාගෙන කොළඹට පැමිණියා. ඒ ආපු ගමනේදී පාඨමාලා කිහිපයක් හදාරන්නටත් අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව ටවර් හෝල් නාට්‍යය රංග පාසලේ අවුරුදු දෙකක පාඨමාලාවක් හදාරනවා. අවුරුදු දෙකක පාඨමාලා අවසන් වීමෙන් පසු ඉන්දියාවේ කර්ණාට විශ්වවිද්‍යාලයේ හය මාසික විශේෂ රංගන පාඨමාලාව හදාරනවා. මේ පාඨමාලා අවසන් කර නැවත මම ලංකාවට පැමිණෙනවා. ඒ ඇවිත් කෙටි කාලයක් ක්ෂේත්‍රයෙන් මම නිහඬව සිටිනවා.

ඇයි ඔබ ක්ෂේත්‍රය අතහැර යන්නේ?

කොපමණ පාඨමාලාවන් හදාරා ලංකාවට පැමිණියත් ස්ථාවරත්වයක් ඇතිකර ගන්නට කෙටි කාලයක් යනවා. කිසිදු පුද්ගලයකුට පාඨමාලාවන් හදාරා පැමිණ ආපු දින සිටම කලා ක්ෂේත්‍රයේ රැඳීි සිටින්නට අමාරුයි. ඒ නිසා මගේ ගමන් මාර්ගය මට සකසා ගන්නට අවශ්‍ය නිසා මම වෙනත් මාර්ගයක් සොයා ගත්තා. ප්‍රවර්ධන නිලධාරියකු ලෙස රැකියාවක් පටන්ගෙන කළමනාකාරිත්වය දක්වා පැමිණෙන්නට මට අවස්ථාව හිමි වෙනවා.මේ රැකියාවේ නිරත වුණත් මගේ සිහිනය සහ සියලූම දේවල් රඳා පැවතුණේ කලාව තුළයි.මේ කාලවකවානුවේදී තමයි මහේෂ් මුණසිංහ මට හමුවන්නේ. ඒ ඔහුගේ පළවෙනි ඒකාංගික ටෙලිනාට්‍යයට තිර පිටපතක් සොයමින් සිටින විටයි. පිටපත් කිහිපයක් බලල තිබුණත් මම ලියු ‘සච්ච මාතා’ කියන පිටපත මහේෂ් කැමති වෙලා ඒ තිර පිටපත අධ්‍යක්ෂණය කළා. මිට අවුරුදු දොළහකට පමණ ඉහත තමයි මේ වැඩේ සිදුවුණේ. ඒ වකවානුවේදී ‘සච්චමාතා’ රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ඇගැයීමටද පාත්‍රවෙනවා. මේ හරහා තමයි මම ක්ෂේත්‍රයට තිර පිටපත් රචකයකු බවට අවතීර්ණ වන්නේ.ඉන් අනතුරුව ඒකාංගික නාට්‍යය කිහිපයක්ම මහේෂ් මුණසිංහත් සමඟ මම නිර්මාණය කළා.

ඒ කළ ඒකාංගික, වේදිකා,කෙටි සිනමා පට සහ ටෙලි නාට්‍ය මතක් කරන්න ඔබ කැමතිද?

ලියපු ඒකාංගික නාට්‍ය තුනයි

සච්ච මාතා,නිවන් පවුරු, සෙනෙහෙවන්ත දෙවිදුන්. මේ නාට්‍ය තුනම මගේ ජීවිතයේ කලා ක්ෂේත්‍රයේ වෙනත්ම දිශාවකට ගෙන ගියා. වේදිකා නාට්‍ය හතරක් මට තිර පිටපත් රචනයෙන් දායක වෙන්නට අවස්ථාව ලැබුණා.

දුර්දාන්තය, පාළම් 03 හන්දිය, ස්වර්ගයෙන් කතාකරයි, බැද්දේගම ඒ වේදිකා නාට්‍යය හතර වෙනවා. මේ අතර කෙටි චිත්‍රපට කිහිපයකටද මගේ පෑන හැසිරවීමට මට අවස්ථාව හිමි වෙනවා. මහේෂ්ගේ පළමු සිනමා පටයෙන් පසු දෙවන සිනමා පටය වන සූර්යයා සිනමා පටය සඳහා තිර පිටපත් රචකයා ලෙස තෝරාගන්නේ.

රංගන ශිල්පියකු වු ඔබ තිර පිටපත් රචකයකු බවට පත්වන්නේ ඇයි?

මගේ ජීවිතයේ මම වැඩි හරියක්ම වේදිකාවත් එක්ක තමයි ගනුදෙනු සිදු කළේ.මේ වන විට දිගු නාට්‍ය හතරක් විතර වේදිකාගත කරලා තිබෙනවා.

මේ නාට්‍යය වල රංගනයේ නිරත වුණාට මම ලිවීමට රුචිකත්වයක් දක්වන පුද්ගලයෙක්. නාට්‍ය පාසල තුළ පාඨමාලාව හදාරන කාල සීමාවෙන් ලිවීමේ හැකියාවට මම මුල් තැන දුන්නා. පාඨමාලාවට සම්බන්ධවෙලා හිටිය සියලූම ආචාර්යවරුන් කිව්වේ ඔබ රංගනයත් ලිවීමේ කලාවත් දෙකම සමබරව කරගෙන යන්න කියන එකයි. ඒත් ඒ කාල වකවානුව වන විටද මට හරිම ස්ථාවරත්වයක් තිබුණේ නෑ. ක්‍ෂේත්‍රය තුළ මම කොතනද රැඳී පවතින්න ඕන කියන එක. මේ සියලු දේවල් වලට මුල් වෙන්න හේතුවන්න ඇත්තේ අපේ රටේ පවතින ව්‍යුහයි. අද වනතුරු වෘත්තිමය හැකියාවට මුල් තැන දෙන්න යුගයක් නිර්මාණය වී නැහැ. ඒ නිසා කලාවේ මම ජීවත් වෙනවා කියන එකත් හරිම අසීරු තාවයකට පත්වුණේත්, වසර දහයක් වෙනත් රැකියාවක නිරත වුණෙත් මේ පදනම මතයි. මම දකින විදිහට දක්ෂයාට ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථාව හැදෙන යුගයක් නිර්මාණය වී නොමැත. ඒත් මම එක නිමේෂයකදී තීරණය කරනවා. මම මේ ඉගෙන ගත්ත දේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් උගන්වනවා කියලා. ඒ අනුව මම වෙන්නප්පුව ප්‍රදේශයේ රොන් තියර්ට නමින් රංග පාසලක් පටන් ගෙන දරුවන් වෙනුවෙන් රංගනය උගන්වන්නට සූදානම් වුණා. පහළවෙන් පහළ එක කණ්ඩායමක් ලෙසටත්, පහළවෙන් ඉහළ තව කණ්ඩායමක් ලෙසටත් කණ්ඩායම් දෙකක් වෙන වෙනම පාසල වෙත බඳවා ගනු ලැබුවා. මේ වන විට ළමයි තුන්සියයක් පමණ මගෙන් ඉගෙන ගෙන සමාජගත වෙලා සිටිනවා. ඔවුන් දැන් විවිධ නිර්මාණකරණයේද යෙදෙමින් සිටින්නේ.

අධ්‍යක්ෂවරයා ලෙස මහේෂ් මුණසිංහ ඔබෙන් ඉල්ලුවේ තිර පිටපත් රචකයා ලෙස මොන වගේ කතා සාරාංශයක්ද?

සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම නිසා ජීවිතය අඳුරු කරගන්න තරුණයෙක් එතනින් වැටිලා නැවත නැගිටින ආකාරය සම්බන්ධ සෘණාත්මක සිතුවිලි බැහැර කොට ධනාත්මක සිතුවිලි සමාජගත කරන පුද්ගලයෙක් ගැනයි.ඔහුගේ පවුල් පසුබිම සහ ඔහුගේ පරම්පරාවේ පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරයත් මුදල් ඉපයීමේදී තම මව පියාවත් නොහඳුනන ආකාරයට ඔහු නිර්මාණයට පමණයි අවස්ථාව හිමිකර දෙන්නේ .ඒ තුළ ජීවත්වන චරිත එකිනෙකට හාත්පසින්ම වෙනස් සමාජගත වෙන ආකාරයද වෙනස් අයුරින් සිදු විය යුතුබවයි.මේ වන විටත් මම පාසල් එක්ක එකතු වී අභිප්‍රේරණ දේශකයෙකු ලෙසද කටයුතු කරනු ලබනවා.ඒ අනුව මට හිතුණා අභිප්‍රේරණ සිනමා පටයක් ලෙස තිරයට ගේන්නට පුළුවන් වුණා නම් හොඳයි කියලා.ඒ අනුව තමයි සූර්යයා සිනමා පටය නිර්මාණයක් බවට පත්වන්නේ.

ප්‍රේක්ෂකයාට සිනමාපටයේ මුල හරියේදී කිසිදු දෙයක් තේරුම් ගැනීමට හැකියාවක් නැහැ.ඔබ ඒ තිර පිටපත ඒ ආකාරයෙන් සිදු කළේ ඇයි?

මේ සිනමා පටයේ තිර පිටපතේ කොටස් දෙකක් ලෙසයි සිනමාපටය දිව යන්නේ. තිර පිටපත් රචකයා හැටියට මම එය හිතාමතාමයි තිර පිටපතට ගෙනාවේ. ඒ සියලු දේවල් සිදු කරේ ටීම්වර්ක් එකක් හැටියටයි. ටීම් එක ඇතුළේ සිදු වෙන්නට ඕන දේවල් හා නොවෙන්නට ඕන සියල්ල සාකච්ඡා කරමින් තමයි තිර පිටපත මම ලිව්වේ. අපිට මුල් කොටස සිදු කරන්නට අවශ්‍ය වුණේ හාස්‍ය මුසුකරමින් විකට ස්වරූපයෙන් ගෙන ඒමටයි. දෙවන කොටස අපි ගෙනහැර දක්වන්නේ. ප්‍රේක්ෂකයා තුළ කුතුහලය ඇති කරමින් කතාව යනවා. මේ සිනමා පටයේ මුල් ටික එපා වෙන ආකාරයෙන් බලා හිඳලා නැගිටලා යන්නට ගියොත් මේ සිනමා පටයේ අන්තර්ගතය ඔබට තේරුම් ගැනීමට නොහැකි වෙනවා. මේ සිනමා පටයේ සියල්ල රසවිඳීමේ අවස්ථා තිබෙන්නේ දෙවන හෝරාවේ දියි. ඕනෑම නිර්මාණයක අවසන් හෝරාව දක්වා සිනමා පටයත් සමඟ රැඳී සිටියොත් පමණයි නිර්මාණය ගුණාත්මක බව ඔබට තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ.

නළු වරණය සිදු කළේ කොහොමද?

තිර පිටපත් රචකයා හැටියට මම කිසිදු විටෙකදී එක එක නළුවා හෝ නළියව ඔළුවේ තියාගෙන තිර පිටපත ලිව්වේ නැහැ. එහෙම තිරපිටපත් රචනා කළොත් නිර්මාණය අසාර්ථකත්වයට හේතු වෙනවා. මගේ මනසේ ඇඳෙන චරිතයට පමණයි මම තිර පිටපත ලියාගෙන යන්නේ. තිර පිටපත අධ්‍යක්ෂකවරයාගේ අතට ලැබුණාට පසුව තමයි තීරණය කරන්නේ කාස්ටින් ඩිරෙක්ටත් සමඟ මේ චරිතයට තෝරාගන්න නළුවා හෝ නිළිය කවුද කියල තීරණය කරනු ලබන්නේ.

ඔබේ තිරපිටපතට අනුව තෝරා ගත්තු චරිතවලට යොදා ගත්ත නළු නිළියන් ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

අවසානයේ තෝරා ගත්ත නළු වරණය සම්බන්ධව තීරණය කරනු ලැබුවේ ටීම්වර්ක් එකක් හැටියටයි. මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂ වුණාට ඒකාධිපතිත්වයක් අපට දක්නට ලැබුණේ නැහැ. ප්‍රවීණ නාට්‍යවේදී අධ්‍යක්ෂ සුගත පාලද සිල්වා කියනවා හා සමානව ඔහුද සොදුරු ආඥාදායකයෙක්. අවසානයේ මා ලියූ චරිත වලට ජීවය දුන්නේ අපි සියලු දෙනාගේම තෝරාගැනීමයි.

තිර පිටපත් රචකයා අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයා යන තිදෙනාගේ මූලික එකතුවක් ලෙසද මේ සිනමා පටය නිර්මාණය වන්නේ?

එහෙම දෙයක් මෙතන සිදුවන්නේ නැහැ.අධ්‍යක්ෂවරයා හා තිර පිටපත් රචකයාගේ එකතුවක් ලෙසයි මේ සිදුවන්නේ. සිනමා පටයේ මූලික අවුරුදු අකුරු ටික ලියන විට නිෂ්පාදකවරයකු සිටියේ නැහැ. අවුරුදු පහක ප්‍රයාත්නයක් තමයි මේ තිරගත වන්නේ. මේ තිර පිටපත ලියන්නේ කොරෝනා කාලයේ කොරෝනා හැදිලා ඇඳේ ඉන්න විටයි. සිනමා පටය ප්‍රධාන සිදුවීම් පෙළ සකසා ගෙන එන්නට කිව්වත් මට එතනට සහභාගී වෙන්නට අවස්ථාව හිමිවන්නේ නැහැ මම කොරෝනා හැදිලා රෝහල් ඇඳේ හිටපු නිසා. මට හොඳටම අමාරු වෙනවා. මගේ ෆෝන් එකේ වොයිස් ටයිපින් කරලා තමයි මූලික හමුවීමට යවන්නේ. මම ඒ අවස්ථාවේදී කියන්නේ මහේෂ්ට මම රෝහලෙන් එළියට ආවේ නැත්නම් වෙන රයිටර් කෙනෙකුට දීලා මෙහි තිර පිටපතේ ඉතුරු ටික ලියලා සිනමා පටය තිරයට ගේන්න කියන එක විතරයි. කොහොම වෙතත් දෙවියන් වහන්සේ මට ආශිර්වාද කළා. ස්වභාව දහමත් එක්ක ඒ තිර පිටපත් සමඟ සිනමා පටය නරඹන්නට. මේ තිර පිටපත දහතුන් වතාවක් සංශෝධනය වෙච්ච පිටපතක්. මහේෂ් කියන්නේ ලේසියෙන් සතුටු කරන්න පුළුවන් පුද්ගලයෙක් නොවන නිසයි ඒ තැනට පත්වුණේ. ඔහුට අවශ්‍ය වුණේ නිර්මාණශීලී පිටපතක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමටයි. ඔහු නිසා එවැනි නිර්මාණශීලි පිටපතක් මගේ අතින් රචනා වුණා.

මෙහි චරිත මවන රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන ඔබට මොකද හිතෙන්නේ?

අපිට තිබුණු එකම ප්‍රශ්නය තමයි ලංකාවේ රංගන ශිල්පීන් අතර හොඳ විකට නළුවන් ඉන්නවා සීරියස් චරිත කරන්න බැරි. හොඳ සීරියස් නළුවෝ ඉන්නවා විකට චරිත කරන්න බැරි. ඊළඟ කරුණ තමයි අධ්‍යක්ෂවරයා බලනවා තමන්ගේ පාලනය යටතේ ඉතාම සමීපවම කටයුතු කරන්න පුළුවන් නළුවා නිළිය කවුද කියන එකයි. මේ තෝරා ගනු ලබන නළු නිළියන් ටීම්වර්ක් එකක් ලෙස රංගනයේ යෙදෙන්නේ කොහොමද කියන එක මැනවින් සොයා බැලුවා. එකම පවුලක් ලෙස තමාගේ කාර්යය මැනවින් ඉටුකරන්න පුළුවන් පිරිසක් තමයි මේ සිනමා පටය අවසානය දක්වා කටයුතු කළේ.

තිර පිටපත් රචකයා හැටියට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ වන විට දිවයින පුරා සිනමා පටය තිරගත වෙනවා. ධනාත්මක සංකල්පයෙන් බලන පිරිස් මේ සිනමාපටය නැරඹීමට ඇදී ඒමද හොඳ ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා. වැටි වැටී සිටි මිනිසුන් නැගී සිටින්නේ කොහොමද කියන එක මේ සිනමා පටයෙන් අද නරඹලා නැගි සිටින්නට උත්සාහවන්ත අරගෙන තිබෙනවා.ඒක හොඳ ලක්ෂණයක් ලෙසයි මම දකින්නේ. ඒ හරහා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. නළුවෙකුට නිළියෙකුට වැඩිය අසීමිත සතුටක් තියෙන්නේ තිර පිටපත ලියූ මටයි. ඒ මගේ තිරපිටපතේ සාර්ථක භාවය ප්‍රේක්ෂකයන් විඳීන නිසයි.චිත්‍රපටයක් කරන්නන් වාලේ සිනමාපටයක් අපි කරේ නෑ සමාජය ඇතුලේ කතා කරන මාතෘකාවක් බවටයි පරිවර්තනය කළේ.මේ හරහා සමාජයට හොඳ පණිවිඩයක් අපි රැගෙන යනවා. නිර්මාණකරුවා කියන්නේ සමාජය ඥානය කරන පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට කිසිවිටක සමාජයෙන් පැනලා යන්නට නිර්මාණකරණයේදී බැහැ. ඔහුට දිශානතිය වෙනස් කරමින් එයට හරියන ගාමක බල වේගයක් ඔහු සතුවෙනවා. ඒ නිසා මේ වනවිට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ. කුඩා දරුවාගේ සිට සියලූම මට්ටම්වලින් පුද්ගලයන් අද සූර්යයා කියන සිනමාපටය ගැන කතා කරන්නට පත්වෙලයි සිටින්නේ.

තිර පිටපත් රචකයන් මොන වගේ ආකල්පයක්ද මේ වනවිට දක්වන්නේ?

මම කොහොම පිළිගනීද කියන එක පිළිබඳ මට ලොකු කන්සන් එකක් නෑ. මම පූර්ණ විශ්වාසය තබන්නේ මම කරන වැඩේ සම්බන්ධයෙන් විතරයි. ඒ වැඩේ ඇතුළෙ තිබෙන ගුණාත්මක භාවය ගැන මම සැලකිලිමත් වෙනවා. මම වේගයෙන් දුවන අශ්වයකු නොවේ. ඉබ්බෙකු වගේ හෙමින් ගමනක් යන පුද්ගලයෙක්. මම තිර පිටපතක් ලියන්නකොට සෑහෙන කාලයක් ගත කරනවා. සංශෝධන තුන හතරක් කරලයි. අධ්‍යක්ෂවරයකුගේ අතට තිර පිටපත ලැබෙන්නට සලස්වන්නේ. එහෙම වැඩ කරන්න කැමතියි. තිර පිටපත් රචකයාටත් නිදහසක් දෙන.වැඩක යෙදෙන්නට තමයි මම පෞද්ගලිකව කැමතියි.

ක්ෂේත්‍රය තුළ තිර පිටපත් රචකයන්ට සාධාරණය ඉටු වෙනවාද?

අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු බිහිවෙන්නට පුළුවන්, ඒත් ඒ සියලු දෙනාම බිහි වන්නේ තිර පිටපත් රචකයා නිසා බව මේ වන විටත් කවුරුත් දන්නැති තැනට පත්වෙලා තියෙන්නේ. නළුවකු නිළියෙකු සම්මාන ගැනීමත් ඔහුට පාදක වන්නේ තිර පිටපත් රචකයා කියන එක මේ වනවිට ගිලිහී ගොස් තිබෙන්නේ. ක්ෂේත්‍රයේ නිසි ගෞරවයක් සහ තැනක් මේ වන විට හිමි වන්නේ නැහැ තිර පිටපත් රචකයන්ට. ඒක හරිම දුක්ඛදායි තත්ත්වයක් බවට පත්වෙලයි තිබෙන්නේ. විවිධ සංසද තිබුණත් ඒ කිසිවක් වෘත්තිමය භාවයෙන් කතා කරන්නේ නැති තැනට අද පත්වෙලයි තිබෙන්නේ. ඒ නිසා නිහඬව බලා ඉඳීම පමණයි කිරීමට තිබෙන එකම පියවර ලෙස දකින්නට තිබෙන්නේ. නියම තිර පිටපත් රචකයන් යට ගොස් ගොමරිටි උඩට ඇවිත් තියෙන තත්ත්වයක් අද පවතින්නේ.

ඉදිරි වැඩ කටයුතු මොන ආකාරයෙන්ද සිදුවෙන්නේ?

මේ වන විට මහේෂ්ගේ ඉදිරි සිනමා පටය පිළිබඳ කතිකාවක් ඇති කරගෙනයි තිබෙන්නේ. කාල සීමාවක් සහිත ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වෙන්නට අවස්ථාව මේ වන විට හිමිවෙලයි තිබෙන්නේ. මේවන විට මම පූර්ණව කලා ක්ෂේත්‍රයේ තමයි නිරත වෙලා සිටින්නේ. ගෙදරින්ද මේ සඳහා පූර්ණ සහයෝගය ලැබේනවා. පූර්ණ කාලීන තිර පිටපත් රචකයෙක් සහ ගුරුවරයෙක් ලෙස තමයි කටයුතු කරමින් පවතින්නේ. සූර්යයා සිනමා පටය තිරගත වීම ඇරඹීමත් සමග මට ලැබුණු දේවල් ගොඩයි කියලා කිව යුතුයි.

[email protected]

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT