” අපේ තාත්තා විශේෂයෙන් ගීත රචනාවට වගේම ක්ෂේත්‍ර කිහිපයකින්ම විශාල කාර්යභාරයක් කළා. ඉමහත් සේවයක් කළ අපේ තාත්තාට නිසි අගැයීමක් නොලැබුණේ ඇයි කියා නිහඬ ප්‍රශ්නාර්ථයක් වගේම අපේ තාත්තා බ්‍රෑන්ඩ් එකක් නොවුණේ ඇයිද කියා අදටත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා..”
මෙවර සරසවිය මවුපිය වරුණ වෙනුවෙන් කලා කෙතෙහි විශිෂ්ටයකු සොයා ගිය ගමනේදී අපට මුණගැසුණේ ගේය පද රචනයේදී ඊයේ අද මෙන් මතුවටත් ගීත ශ්‍රාවක සිත්සතන් හි සදාතනික මතකයට බඳුන් වූ කලා විෂයයන් කිහිපයකටම එකසේ නමක් දිනූ අපූර්වතම නිර්මාණකරුවකු පිළිබඳව ය..
මෙවර ලියැවෙන අපේ සොඳුරු කතා නායකයාගේ පන්හිඳෙන් ලියැවුණු අප්‍රමාණ ගීත අතර ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර පමණක් නොව ප්‍රසංග වේදිකාවේද රසලෝලී පද රචනා ගීතයකට මුසුව ජනප්‍රියත්වයේ ඉහළටම නැඟී ගියේය…ඒවා සැබැවින්ම අපූර්වතම නිර්මාණයන්ය..
කොළඹට නුදුරු පාමංකඩ නම් ගම් පියසෙහි ඉඩම්හිමි වැවිලිකරුවකු සේම ව්‍යාපාරිකයකුද වූ පොඩි රාලහාමි නමින්ද වඩාත් පරසිදු පිලිප් අතපත්තු සහ ඇස්ලින් පියවතී මවුපිය දෙපළට සිටියේ දූ දරුවන් සත් දෙනෙකි..ඉන් අපගේ කතාබහට බඳුන්වන අපේ කතා නායකයා පවුලේ වැඩිමහල් දරුවාය…සෙසු පිරිසෙන් වැඩි දෙනකු මේ වනවිට දිවිසිරිතෙන් සමුගෙන ඇති අතර, එම පවුලේ බාලයා…නොඑසේනම් අපේ කතා නායකයාගේ බාලම සොහොයුරා වන්නේ දැනට කොළඹ සොෆ්ට්ලොජික් ආයතනයේ සාමාන්‍යාධිකාරී සුසිල් අතපත්තු මහතාය..
1951 ක්වූ ඔක්තෝබර් මස 09 වන දින උපත ලද ප්‍රේමණීය කතා නායකයා ශාන්ත දේශබන්දු හෙවත් උප්පැන්නයේ සඳහන් අයුරින් දොන් ශාන්ත සෙනරත් පියසිරි අතපත්තු වූ අතර සිය ප්‍රතිභාව වෙනුවෙන් ඔහු පිදුම් ලද දේශබන්දු නාමයද එකතුව රටතොට ප්‍රකට වූයේ ශාන්ත දේශබන්දු නමිනි.
ඔහු පිළිබඳ යටගිය තතු කතාබහ කරන්නට මා සමීපයේ පසුවන්නේ ග්‍රන්ථ කතුවරයකු මෙන්ම මාධ්‍යවේදියකු වන පූර්ණ ශන්ත අතපත්තු මහතාය.
ප්‍රථමයෙන් සරසවියට ස්තුතිවන්ත වූ හෙතෙම සිය කටහඬ අපේ ආදරණිය සංලාපය වෙනුවෙන් අවදිකරවූයේ ” අපේ තාත්තා ලියූ ගීත තුළින් බොහෝ ගායක ගායිකාවන් ජනප්‍රියත්වයේ ඉහළම තැන්වල සිටිනු දැකීම තමන්ට මහත් සතුටක් බව ද කියමිනි.
ශාන්ත දේශබන්දු ඉගෙනුම පිණිස ඇතුළත් වූයේ වැල්ලවත්ත විදුහලටය..පසුව එම විදුහල ප්‍රකට වූයේ ලුම්බිණි විද්‍යාලය නමිනි.
” ඉතින් ..අපෙ තාත්තා ලුම්බිණියේ ඉගෙනුමින් පස්සෙ ශාමලී බොයල් කියන ආයතනයකට සම්බන්ධ වෙලා තියෙනවා.. චිත්‍රපට පිළිබඳව ලොකු උනන්දුවක් ආසාවක් තිබුණු අපේ තාත්තා ඒ කාලේ ඇමෙරිකා සහ ඉන්දියන් චිත්‍රපට කටයුතු වලට සම්බන්ධවත් කටයුතු කරල තියෙනවා.. නිමල් ලක්ෂපති ආරච්චි මහත්තයා එක්ක අපේ තාත්තා බොහොම සමීපයි..ඉතින් අපේ තාත්තා 1970 ගණන්වලදි චිත්‍රපට කටයුතු වලදී ලක්ෂපති මහත්තයා එක්ක සහාය අධ්‍යක්ෂ හැටියටත් කටයුතු කරල තියෙනවා..”
පූර්ණ සිය පියාණන් පිළිබඳව සිත උපන් වඩාත් ගෞරවනීය හැඟීමකින් කතා කරන්නේයැයි හැඟේ..
අපේ කතා නායක ශාන්ත දේශබන්දුට හාපුරා කියා ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහනකට ගීතයක් ලියන්නට අවස්ථාව උදාවීමෙන් හෙතෙම අපමණ සතුටට පත්වූයේය.. ඒ මහඟු අවස්ථාව ලැබුණේ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහත්මයා වෙතිනි.
” මගේ ලොවේ තනිවෙන්නට ඔබ එනතුරු මගේ පැලට…” ඒ ඔහු එදා ගුවන් විදුලියේ සරල ගී වෙනුවෙන් ලියූ ගීතයේ මුල් පද පෙළය.. නොඑසේනම් ඔහු පළමුවරට සිරිමත් කළ ගී පද සිරිතය..
මම අපේ පූර්ණ දෙස බලමි.
ඔහු යමක් කියන්නට මෙනි.
” මේ අතරෙදි අමල්…නිරංජලා සරෝජිනි මහත්මියටත් අපෙ තාත්තා ගීතයක් ලියා දී තියෙනවා..
” මනමාලිය වී හෙට දවසේ ..” නම් අදටත් රසික මතකයේ නිදන්ව ඇති රසාලිප්ත ගිතය එයය..එම ගීතයට ආශක්ත නොවූ කෙනකු නැති තරමි.
අපේ කතා නායකයාණෝ ගී පද සිරිතෙන් ඉදිරියට යමින් සිටියදී වේදිකා නාට්‍ය පිටපත් රචනයෙහිද අධ්‍යක්ෂණයෙහිද කුසලතා පෑයේය… “තාප්පෙන් එහා…” නමැති එම වේදිකා නාට්‍යයේ තේමා ගීතය ද ලියුවේ ද ඔහු ය.
” සාගරය බඳු වේදනාවෝ..
සුන්වෙලා යනවෝ..
ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ…”
කොයි කාගේත් යුගසවන්පත් අතර රැඳී මේ ගීතය මෙදා අප අසන්නේ සේනානායක වේරලියද්ද ගායන ශිල්පියාගේ හඬින් වුවද, එදා වේදිකා නාට්‍යයට ගැයුවේ සුනිල් ජයසිරි නමැති ගායන ශිල්පියාය..
“පස්සෙ කාලෙක සේනානායක වේරලියද්ද මහත්තය මේ ගීතය ගැයුවාට පස්සෙ ඉමහත් ජනප්‍රියත්වයකට පාත්‍රවුණානෙ..”
පූර්ණ කියන්නේය.
වේදිකා නාට්‍ය රංගනයෙහි සුවිශේෂී මුද්‍රාවක් තැබූ නිහාල් සිල්වා සූරීන් තවත් වේදිකා නාට්‍යයකට අත ගැසුවේය.. එනම් එය “සාජන්ට් නල්ලතම්බි” වේදිකා නාට්‍යයය…තම නාට්‍යයට තම සිතැඟි පරිද්දෙන් කෙනකු ලවා ගීතයක් ලියාගන්නට සිත සිතා සිටියදී නිහාල් සිල්වාට එකතු වුයේ නිමල් ලක්ෂපති ආරච්චි ය..පසුව මේ දෙදෙනාම එක්ව පැමිණියේ ශාන්ත දේශබන්දු සොයාගෙනය.
“නිහාල් සිල්වාට එයාගෙ අමුතුම මාදිලියෙ වේදිකා නාට්‍යයට එයාගෙ හිතේ තියෙන ආරෙට ගීතයක් ලියවා ගන්නයි ආවේ..”
ලක්ෂපතිගේ කතාවට ළඟම හුන් නිහාල් සිල්වා සිනාසෙමින් හිස වැනුවේය..
” හරි. අපි ලියමු..”
ශාන්ත දේශබන්දු ගත්කටටම කියේය..නිහාල් සිල්වා වඩාත් සමීපව තමන්ගේ සිතේ ඇති ස්වභාවය පැහැදිලි කළේය…අපේ කතා නායක තෙමේ හිස සැලීය..
” ඒ සින්දුව තමයි සාජන්ට් නල්ලතම්බි වේදිකා නාට්‍යයේ නිහාල් සිල්වා සුසාන භූමියක අපූරු රංගනයකද යෙදෙමින් ගයන “දවාලෙ පායන චන්ද්‍රයා…මේ ආ..වා..
මමයි කනත්තේ භෘංගයා .
…මේ අ..ව්..වා…මේ අ..ව්. වා..” කියන ගීතය..”
ඒ ටික කීවේ මා සමග ප්‍රිය සංලාපයේ පසුවන පූර්ණ ය..
මේ අවධියේ පෙරදිනෙක නිරංජලාවන්ට ලියා දුන් ” මනමාලිය වී හෙට දවසේ …” ගීතය ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ තිබියදී එම ගීතය විවාහ මංගල්‍යයක් වෙනුවෙන් ද කටයුතු කරනා එක්තරා ජුවලරි ආයතනයක් විසින් එම ගීතයම වෙළෙඳ දැන්වීමක් සඳහා අත්‍යවශ්‍ය වී එම වෙළෙඳ දැන්වීම ගුවන් විදුලියේ ප්‍රචාරය වූයේ එම ගීතයේ කොටසක්ද ඊට එකතු කරමිනි..
ඉන් තව තවත් ජනප්‍රියත්වයේ ඉහළටම නැගුණු මනමාලිය වී හෙට දවසේ ගීතයට ගුවන් විදුලි අසන්නන්ගේ ඉල්ලීම් වෙනුවෙන් නිතර දෙවේලේ ප්‍රචාරය කෙරිණි.
අපේ කතා නායකයා කුසලතා පිරිපුන් ගී පද රචකයකු ලෙසින් ඉදිරියට එන්නට මඟපෑදූ ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ නිරංජලා සරෝජිනී මහත්මිය පිළිබඳ පුත් පූර්ණ අතපත්තු හෘදයාංගම ව සිහිපත් කරන්නේය..
” නිරංජලා සරෝජිනී මහත්මියව අපෙ තාත්තා ට සම්බන්ධ කළෙත් වික්ටර් රත්නායක මහත්තයාමයි..”
“ගජමුතු” කැසට්පටය එළිදැක්වූයේය..එය සංගීතඥ ස්ටැන්ලි පෙරේරා නිරංජලා ගෙනැවිත් දුන් ගීත “මෙලඩි” අනුසාරයෙන් නිමැවිණි..එයටද මුල්වූයේ වික්ටර් රත්නායකයන්ය..
පූර්ණ අසුනේ හරිබරි ගැහෙමින් යමක් කියන්නට සැරසෙයි..
“අපේ තාත්තා හිටියෙ තවත් හිතවතුන් කීපදෙනෙක් එක්ක මළගෙයකලු. මනමාලිය වි ගීතය ලියැවුණේ අන්න ඒ මළගෙදරට ගිහින් ඉන්න ගමන්ලු.”
පූර්ණ සිනාමුසු මුහුණින් පවසති.
කෙසේ හෝ අපේ සොඳුරු කතා නායකයාගේ නිර්මාණශීලී පරිණත බවද තැන තැන කියැවෙමින් ඔහු ලියූ ගීත ද දින දින පතළ වෙමින් රටම දන්නා අයකු ලෙසින් හරසරින් පිදුම් ලද්දේය ..ඔහු ලවා ගීත ලියවා ගන්නට බොහෝ දෙනා පැමිණියහ.
“අපෙ තාත්තා දන්න නොදන්න කාටවුවත් සින්දු ලියාදුන්නෙ මිල ගණන් කියලවත් සල්ලි බලාගෙනවත් නෙමෙයි.. අපේ තාත්තා මුදල් පසුපස හඹාගෙන ගිය කෙනකුත් නෙවි..හම්බ කළානම් ඉතිරි කළ කෙනෙකුත් නෙමෙයි…
ඒත් කාටවත් අඩුපාඩුවක් නොවෙන්න අපෙ තාත්තා තමන්ගෙ යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකළා..”
අපේ කතානායක පුත් පූර්ණ අතපත්තු කියන්නේය..
ඔහු ලියූ ” සාගරය බඳු වේදනාවෝ ” ගීතය තමන්ට දෙන්නැයි ඉල්ලා පැමිණියේ සේනානායක වේරලියද්දයන්ය..ඔහු එය ඔහුට බාරදුන්නේය…වේදිකා නාට්‍යයට තේමා ගීතය වූ එම ගීතය වේරලියද්දගේ හඬින් ගීතවත් වෙමින් පෙරනොවූවිරූ ජනප්‍රියත්වයකට බඳුන් වූයේය…
වඩාත් කුලුපග වූ වේරලියද්දට ශාන්ත දේශබන්දු තවත් ගීතයක් ලියා දුන්නේය…එයද එදා මෙන්ම අදත් රසික සිත්හි ලැගුම්ගෙන ඇත්තේය.
“මගේ ජීවිතේ පුරා…
එකම සිතින් ප්‍රාර්ථනා …
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා තබා ගමී..
සගවා තබා ගමී…//
මේ ගීතයටද හිමිවූ ජනප්‍රියතාවය අඩු නැති.
ජාතික රූපවාහිනීයේ ආරම්භයද සමඟින් ශාන්ත දේශබන්දු හට එහි පත්වීමක් ලද්දේය…ඊට මුල්වුයේ එවක ජාතික රූපවාහිනීයේ අධ්‍යක්ෂවරයකු අබේවර්ධන බාලසූරිය මහතාය.. එහි ඉංජිනේරු අංශයේ ආරම්භක සාමාජිකයකු ලෙසින් ද කියැවෙන ශාන්ත දේශබන්දු ඉංජිනේරු සහායක ලෙසට පත්වූයේය..
ජැක්සන් ඇන්තනී ගයන “කන්ද උකුළ උඩ නින්ද ගිහින් සිටි එරබදු ඇහැ ඇරලා…
අන්න හිනාවෙනවා…” යන ගීතය රූපවාහිනීයට පටිගත කිරීමට එදා ගියේ එක්තරා ගම්මානයකටය.
ඉතිරි කතාව අසාගන්නට මම පූර්ණ දෙස බලමි..
සිනාපිරි මුවින් එම කතාව හෙතෙම මෙසේ කියන්නට වී…
” ජැක්සන්ගෙ සින්දුව රූපවාහිනී කැමරාවෙන් කරන්නට කට්ටියම ඈත ගමකට ගිහින් තියෙන්නෙ.. ඉතින් ඒ ගමේ ගොවි මහත්තයෙක් අපේ තාත්තා හා කට්ටිය එක්ක කතාබහක ඉඳල තියෙනවා…ඒ වුණත් ඒ ගොවි මහත්තයා හරිම දුකකින් ඉඳල තියෙන්නෙ. ඒකට හේතුව වෙලා තියෙන්නෙ ඒ ගොවි මහත්තයාගෙ දුව එදා වැඩිවියට පත්වෙලා ගෙයි මුල්ලෙලු..මල්වර වෙච්චි තමන්ගෙ දුවව මෙහෙම එළිමහනෙට එක්ක එන්නවත් මේ කරන කැමරා වැඩවත් එයාට පෙන්වන්න විදිහක් නැති එක ගැන ගොවි මහත්තයාගෙ තියෙන දුක..ඒ තරම් ගොවි මහත්තයා තමන්ගෙ දුවට ආදරෙයිලු..දැන් එයාගෙ දුව ලොකු නිසා එයාව ඉස්සර වගේ ළඟින්ම තියාගන්න බැරිව ඈත් කරන්න වෙන නිසා ගොවි මහත්තයා දුකින්..ඒකත් එයාට ලොකුම දුකක්..අපේ තාත්තා මේ කතාව අලළා ගීතයක් ලියුවා…ඒකත් මතු මත්තේත් ජනප්‍රියයි.
අපේ තාත්තා එක්ක ඒ ගොවි මහත්තයා කළ සංවාදය නිසා තාත්තාට එම ගීතය ලියන්න හොඳ පසුබිමක් වුණා..!”
” මල් පබා…
වී…මල්පබා…වී..මල්පබා..
තුරුණු වියට උරුම කියන මල් පබා…!”
තිස්ස අබේසේකරයන්ගේ රූපවාහිනී නාට්‍යයක් වූ “වනසරණ” නාට්‍යයේ තේමා ගීතයට ලියූ “නංගිට බැඳපු මල් වියනයි..” නම්…
සුමියුරු ගීතය ලියුවේද ශාන්ත ය..ඊට වහවැටුණු වේරලියද්දයන් එම ගිතය ඉල්ලා සිටියද එය රූපවාහිනී නාට්‍යයකට ඇතුළත් වූවක් නිසා බාධා සිදුවිණි.
එහෙත් වේරලියද්දයන්ගේ ඉල්ලීම වූයේ කෙසේ හෝ මේ ගීතය හෝ මේ ගීතයේ ” ටෙම්පො” එකට මුසුව යන ගීතයක්ම ලියාදෙන ලෙසටය…
ඒ ඉල්ලීමට අනුව යමින් ඔහු ලියූ ගීතය වන්නේ මේ ගීතයය.
“මල් වියනෙන් බැඳී ..
මහබැද්දේ හුන්..
අකුරු කොරාන්නට නුවරට ගිය මං…
නුවර පිරිලා..එරමිණි කටුවැල්..
ආයෙත් බැද්දට එනවා මං..
තෙං..තෙදිනං..තෙදිනං..
තෙදිනානේ….”
වේරලියද්දයන්ගේ ප්‍රතාපවත් ගැයුම් සිරිතෙන් සිරිමත් වූ මේ ගීතයට ලෝල නොවූ එකුදු අයකුවත් තවමත් නැති…
” ඒ ගීතයට අපෙ තාත්තාට පසුබිම වුණේ වැදි පරපුරක උපන් දඹානේ ගුණවර්ධන මහත්මයා විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්යවරයකු බවට පත්ව ආයෙත් ගම රට ගිය ගමන ගැන පිළිබඳව ලියැවෙන්නක්. මෙය වැදි සම්ප්‍රදායට ඇරුණු තාලයක ගීතයක්…මේක තමා මහ බැද්දේ ගීතය..
ප්‍රශ්නාර්ථයක් තමයි මේ ගීතයේ ගැබ්වී තියෙන්නෙ..කටුක ජීවිතය ගැන…සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමල ගැන..ඒ වගේම මහත් දුෂ්කරතා මැද අවසානයේ ලද ජයග්‍රහණය ගැන…මෙහි අපේ තාත්තා ගොනු කරල තියෙන්නෙ..”
තම පියාණන්ගේ කුසලතාව පිළිබඳව මේ පුතු සිත්හි ජනිත ආදරය උතුරා පිටාර යන්නාක් මෙන් පූර්ණ ගේ මුහුණින් කතාබහින් මොනවට පලවෙයි.
” මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්ට…
” යුද්ධය මොකටද සහෝදරයා…”
” එක දවසක් ඉබ්බෙක් පාර ක්‍රොස් කළා…”
” මස් මාංශ කවලා…
බලු කුඩුවෙ දමලා..”
ආදී ගීත ඔහු අතින් ලියැවුණා පමණක් නොව එම ගීත ප්‍රසංග වේදිකාවට ද නැතිවම බැරිවිය…ඒවා එතරම් ගීත ලෝලීනට පැණි රස තරම් විය..
සිංහල..දමිල කෝලාහලය ගැනද ගීත ලියමින් හෙතෙම සිය පෑනේ මෙහෙවර මනාව ඉටු කළේය..
” එල්ලුම් ගහ මුල් ඇදලා
දලුත් ඇවිල්ලා…”
” අපෙ තාත්තා ලියූ හැම ගීතයක්ම යම් පණිවුඩයක් රටට දුන්නා කියලයි මම හිතන්නෙ..මොකද හැම ගීතයකටම අරුතක් තියෙනවා.. ”
ඔහු පුත් පූර්ණ කියන්නේය.
මදුවිතටද දුම්පානයටද පෙම්බැඳී අපේ ආදරණිය විශිෂ්ටයාණෝ ගීතයක් ලියන්නට ඒකාත්මික වනුයේ ඇඟිලි දෙකක් අතර සිරකරගත් දුම්වැටියකිනි…එයට වෙනම තැනක් කියා තැනක් ඔහුට ඇවැසි නැති.
” නැහැ..නැහැ..අපෙ තාත්තා ගායනයට නැහැ..ගෙදරදි විහිලුවකට වගෙ හිනාවෙලා ”
කියනව නෑ..ගායනයට වඩා ලිවීම ලාබයි කියලා…
” අපෙ තාත්තා කිසිම දෙයක් කිසිම වෙලාවක ලොකුවට හිතට ගත්තේ නැහැ…තාත්තා ට හැමදේම සරලයි..ඒ එයාගෙ හැටි. සරලව ජීවත් වුණේ…හම්බ කරලත් නැහැ…ඉතුරු කරලත් නැහැ…කාටවත් අඩුපාඩුවක් කරලත් නැහැ..අපෙ තාත්තා හෙට කියල දවසක් ගැන හිතුවෙත් නැහැ…ඒ වගේම අපෙ තාත්තා හරි සංවේදියි..කාටවත්..මේ අපටවත් සැරපරුෂ නැහැ…එයාගෙ දරුවන් අපි..
අපෙ තාත්තා අපිත් එක්ක හිටියේ යහලුවන් වගෙයි…”
“මම මගෙ තාත්තා ගැන පොත් ලියා තියෙනවා…” පුර්ණ කියන්නේය..
පූර්ණ ශාන්ත අතපත්තු තම පියාණන් සහ එතුමාගේ ප්‍රතිභාව පිළිබඳ සහ තවත් කෘතීන් කිහිපයක්ම ජනගත කොට ඇත්තේය..” ශාන්ත දේශබන්දු නම් ඔහු.. ” පියාණන් පිළිබඳ කෘතියය..වරඟන ආදී තවත් කෘතීන් ඔහු අතින් ලියැවී ඇත..
” අපෙ තාත්තා ලොවට දුන් ප්‍රතිභාවට අපෙ තාත්තා බ්‍රෑන්ඩ් එකක් නොවුණේ ඇයි කියල මට අදත් ප්‍රශ්නයක්..”
පූර්ණ බිමබලාගත්වනම කියන්නේය…
ශාන්ත අතිනත ගත්තේ මරදානේ පදිංචි වෛද්‍ය වෘත්තියෙහි නියුතු රෝහිණී රම්‍යලතා මෙනවිය සමඟිනි..එය යෝජිත විවාහයකි..
එම ප්‍රේමණීය විවාහයෙන් එම දෙපළට තිළිණ වූයේ දරුවන් තිදෙනෙකි..මා සමඟ තවමත් සංලාපයේ පසුවන පූර්ණ නිවුන් උපතක එක් දරුවෙකි. තමන් සමගම මෙලොව එළිය දුටු සහෝදරිය අවුරුදු එකහමාරේදී නිවසෙහි පොකුණට වැටී මියගිය පුවතද තම පියාණන්ට මහත් කම්පනයක් වූ බවද පූර්ණ කියන්නේය..
” …නංගි නැතිවුණාට පස්සෙ දුවකට ලොකුම ආසාවක් තිබුණු තාත්තා මානසිකව ඇද වැටුණා…”
පවුලේ තෙවන දරුවා චන්ද්‍රශාන්තය…හෙතෙම වෛද්‍යවරයෙකි…
සමාජ ඇසුරේදී උදව් උපකාර ඇවැසි තැන ශාන්ත දේශබන්දු දෙවරක් නොසිතාම උපකාරයට දෑතම දිගුකළේය..
“අපෙ තාත්තා පසුකලෙක විවිධ වැඩසටහන් නිෂ්පාදකවරයකු හැටියට කටයුතු කළා.. රූපවාහිනීයේ ලැබුණු තනතුරද දරමින් කටයුතු කළා…”
සිරස රූපවාහිනීයේ දාමිණී…කතුර…මෝනාවරුනි..මහත්වරුනි ආදි වැඩ සටහන්වලටද තේමා ගිත ලියන්නට ඇරයුම ලද්දේද ඔහුමය..
“කාලෙ ලඟයි මධු වසන්තයේ…
කල ගෙවිලා ගිම්හානයේ”
අනුරාධා” පෙරේරා ගයන එම අපූර්වතම ගීතයේ රචකයාද ශාන්ත දේශබන්දු ය..
” තුරුළට ගෙන ඉන්නා දිනේ…” ගීතයද හෙතෙම සතිස්ට ලියා දුන්නේය..එම ගීතය මෝහාන් රාජ්ද ගැයුවේය..
නිල්වලා කැසට් වෙනුවෙන් නාමල් උඩුගමට ඔහු ලියුවේ සරා සඳේ ඇතුළු ගීත ලියා දුනි.
” ප්‍රියංකර පෙරේරා එයාගෙ තාත්තාගෙ ගීත ගායනය කළාට එයාගෙම ගීතත් තියෙනවා. ” මනමාලියක් වූ දිනේ…ඔයාටයි නඟේ..මේ ආසිරි..” ඒ ගීත අපේ තාත්තා ලියා දුන්නා…
ජනපි‍්‍රය ගායන ශිල්පී දමිත් අසංකයන් හට ශාන්ත ලියා දුන් ගීත බොහොමයකි.
“මට දුන්න දුක්ගින්න….පායන සඳේ..සීතල රැයේ…මගෙ සිත ගාව දඟකරන මනමාලියේ ..නුඹ කාටදෝ ආදරේ…මල්සරා සිත පුරා..මා හැරදා ගියා..මගෙ ගැමි ජීවිතේ…පෝය සඳේ….ආදී ගීත ඔහු පෑණින් ලියැවුණේය…
” නිල්වලා එකෙන් තාත්තා ට දෙන්නෙ ජෝර්ජ් සේනානායකයන්ගෙ මෙලඩි…ඒ මෙලඩියට තාත්තා ගීත ලියුවේ…සාගරය බඳු ගීතයෙ පළමු සංගීතය වෙනස් කරල ෂෙල්ටන් ප්‍රේමරත්න ගේ ටෙම්පො එකට වේරලියද්ද යන් ගීතය උස්සල හදාගත්තා”
මල්සර හී සරින් ඇස්පිල්ලන් යටින් ශෂිකා නිසංසලාගේ ගැයුම් සිරිතෙන් සිරිමත් වන්නීය.
” අපෙ තාත්තා ගීත දෙදහසක් පමණ ලියා තියෙනව කියලයි මම හිතන්නෙ..කී..නොකී ඒවත් තියෙනවනෙ…ජින්ජර්ට ලියා දුන්නෙ…කැපිල්ල..කැපිල්ල..ඒව ජනප්‍රිය ගීත බවට පත්වුණා..
ඔහු දන්නා දේ ලොවට කියන්නේය…වරක් ජගත් වික්‍රමසිංහයන් ශාන්ත ගැන එලෙසින් කීවේය..
ශාන්ත ලෙඩ වෙද්දී
” මම මැරෙනවාට බය කෙනෙක් නම් නෙමෙයි.. කවද වෙනකම් හිටියත් මැරෙනවාමනෙ…”
ඔහු බලන්නට එන හිතවතුනට එසේ කියාපෑවේද මුවගට නගාගත් ප්‍රසන්න සිනාවකිනි.
දරුවන් කැළඹිණි…
හෘදයාබාධ තත්ත්වයක් පැමිණ කිසිවක් කිසිවකුට රහසින්වත් නොකියූ ශාන්ත දේශබන්දු නම් සොඳුරු කලාකරුවාණන් වයසින් අවුරුදු හැට හතරේදී යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය…
එනම්…2016ක්වූ ජනවාරි මස 15 වනදාය..
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ