– අපේ තාත්තාගේ පෞරුෂයට මම අදත් ගරු කරනවා
– මමයි අක්කයි කලා ලොවට සම්බන්ධ නොවීම ගැන තාත්තාගෙ හිතේ කනගාටුවක් තිබුණා
– තාත්තාගෙ හැම වැඩක්ම හරීම පිළිවෙළයි
– මම උපදින කොට තාත්තා හෙන්රි ජයසේනයන්ගේ නාට්‍යයක රඟපානවා
– අපේ ඉගෙනුමට අමතරව තාත්තා අපට බොහෝ දේ ඉගැන්වූවා
” මමයි අක්කයි කලා ලොවට සම්බන්ධ නොවීම ගැන නම් අපෙ තාත්තාගෙ හිතේ කනගාටුවක් තිබුණා. ඒත් අපේ අධ්‍යාපනය හා අප තෝරාගත් වෘත්තීන් ගැන තාත්තාගෙ හිතේ ලොකු සතුටක් තිබුණා ..”
මෙවර සරසවිය මවුපිය වරුණෙන් ඔබට හමුවන මේ ප්‍රවීණ රංගවේදී තෙමේ කලා කුසලතාවන් කිහිපයකින්ම රසික හදවතට සමීපවූවෙකි. වරෙක සිනමා රිදී තිරයේදීද තව වරෙක ටෙලි තිරයේදීද තවත් වරෙක වේදිකා නාට්යයේදීද ඔබට හුරුපුරුදු ඔහු තවත් වරෙක ගුවන් විදුලි නාට්‍යයන්හි හඬ කැවීමේ ශිල්පියකු ලෙසින් ද ඔබ සවනතට සමීප වූවා මතක ඇති.
තවත් අයුරකින් කිවහොත් මේ අපේ සොඳුරු කතා නායක තෙමේ කලා ක්ෂෙත්රයේ වැඩි පිරිසක් හඳුනන්නේ කිවයුත්ත නොසඟවා මුහුණටම කියන..තමන් ගැන පමණක් නොව සෙසු සහෝදර ශිල්පීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සෘජුව කතා කළේය. ඔහු නමින් එල්සන් දිවිතුරගම ය. ආදරණීයයන් ඔහු ඇමතුවේ “එල්සන් අයියා ” නම් ආදරබර නමිනි.
සිය ආදරණීය පියාණන්ගේ ජීවන මංපෙත පිළිබඳ දැන් මා හා පිළිසඳරක පසුවන්නේ වෘත්තීයෙන් බැංකු ක්ෂේත්රයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුද වන ඔහු පුත් චාමර ලක්මින්ද්ර දිවිතුරගම මහතාය. තම සොඳුරු පියාණන් පිළිබඳ සිත පිළිසිඳ ගත් අනේක ගෞරවය සේම නොතිත් ආදරයද ඔහුගේ කතාබහෙන් මොනවට කියැවේ.
අපේ ආදරණීය කතා නායකයා කොළඹ, මට්ටක්කුලියේ ය. උප්පැන්නයේ සඳහන් වන්නේද එල්සන් දිවිතුරගම ය. බද්දේගම දිවිතුරගම ජීවත් වූ එඩ්වින් දිවිතුරගම මහතාටත් කේ. එස්. පොතුපිටිය මහත්මියටත් දූ පුතුන් පස්දෙනෙකි. පොතුපිටිය මහත්මිය පළපුරුදු වින්නඹු මාතාවකි. දරු උපත් 118 කට සිය දෑතින් උතුම් මෙහෙවරක යෙදුණු ඇයට ප්‍රදේශයේ කොයි කාගේත් ගෞරවයම හිමිවූවාය. පවුලේ පළමුවැන්නා හෙවත් පවුලේ වැඩිමහල් දරුවා අපේ ආදරණීය කතා නායකයාය. මහින්ද දිවිතුරගම සහ හේමන්ත දිවිතුරගම ඔහුගේ සහෝදරයෝය. නොයෙලින් සහ පද්මිණී සහෝදරියෝය.
1936 ක්වූ දෙසැම්බර් මාසයේ හරියටම නත්තල් දා… 25 දා මෙලොව එළිය දුටු අපේ එල්සන් මූලික අධ්‍යාපනයට පිවිසියේ මෝදර දිලාසාල් විදුහලටය. එතැනින් වැඩිපුර ඉගෙනුමට ගියේ ශාන්ත බෙනඩික්ට් විදුහලටය. ඔහුගේ සමීපතම පන්තියේ මිතුරා වූයේ අපේ ආදරණීය ටෝනි රණසිංහයන්ය. රොබින් ප්‍රනාන්දු , ශාන්ත බෙනඩික්ට් විදුහලේ දී පන්තියේ මිතුරා වූයේය. එම විදුහලේ ඔහුගේ ඔහුගේ පන්තියට පහළ පන්තියක එකම පන්තියේ විජය කුමාරණතුංග ..රවීන්ද්‍ර රන්දෙණිය…ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ආදීහුද එම විදුහලේ ඉගෙනුම ලැබූ ටෝනිගේද ගජ මිතුරා වූ අපේ කතා නායකයා පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් පෑවේය.
ටෝනි මෙන්ම අපේ එල්සන් ද පොතපතට එදත් බොහෝ ඇලුම් පෑ දෙදෙනෙකි.
මා දෙස සිනාමුසු මුහුණින් යුතුව බලා සිටින අපේ ආදරණීය චාමර ලක්මින්ද්ර දිවිතුරගම යමක් කියන්නට සැරසෙයි.
” ඇත්තෙන්ම අපෙ තාත්තාගෙ හැම වැඩක්ම හරීම පිළිවෙළයි. අපෙ තාත්තාගෙ අත් අකුරුත් ඒ වගේම ලස්සනයි. පොතපතට හරි ආදරෙයි. ඒ වගේමයි අමල්..තාත්තාට අවශ්‍ය විදිහට ඒ ඒ දේවල් හරිහැටියට නැතිනම් ඉක්මනටම තරහාත් යනවා.”
අපේ සොඳුරු කතා නායක තෙමේ පාසල් අධ්‍යාපනයෙන් පසුව ගුවන් විදුලියට, රූපවාහිනියට එක්වූයේය. ගුවන් විදුලියේ විකාශනය වන නාට්‍ය හා විවිධ වැඩ සටහන් ආදියෙහි හඬ කැවීමේ ශිල්පියකු ලෙසින් පෙරට ආවේය. අපේ ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණ රැසකට ඔහුගේ කටහඬ මුසුවිණි. රැකියාවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙසින් රාජ්‍ය සේවයට එක්වූ හෙතෙම අවසන් වරට සේවය කළේ කොළඹ කළුබෝවිල රෝහලේ ය. පසුව හෙතෙම විශ්‍රාමයාමෙන් අනතුරුව පැලවත්ත සීනි කම්හලේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙසින් කටයුතු කළේය.
දැන් අපේ ආදරණීය කතා නායකයා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකි. රංගනයෙන් තවත් පියවරක් තබමින් හේ සිනමාවට එක්වූයේය. ගාමිණී සහ ජෝ සමග එක්ව පළමුවරට රඟපෑ ” වැලිකතර ” චිත්‍රපටයේ මාළු වාඩියක හිමිකරුවකු ලෙසින් ඔහු රඟපෑ අයුරුද ඔබ මතකයේ නිදන්ව ඇති.
බොහෝ රංගන ශිල්පීනට වඩා ඔහු තුළ තිබූ පෙර කී සෘජු පිළිවෙත් නිසාම ඇතැම් විට ඔහුට චිත්‍රපට ටෙලි නාට්‍ය නොලැබී යන්නට එයද හේතුවක්ම විණි.
තමන්ට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලද විට නිෂ්පාදක හෝ අධ්‍යක්ෂකවරයාගෙන් බොහෝ අය නොවිමසන කරුණුකාරණා ඔහු විමසන කරුණු අතර වෙයි. ඉන් පළමුවැන්න සාධාරණ ගෙවීම් පිළිබඳව ය. දෙවැන්න ආහාරපාන පිළිබඳවය. තෙවැන්න සනීපාරක්ෂක කටයුතු සහ නවාතැන් පහසුකම් පිළිබඳවය. ඉන් සෙසු සහෝදර නළු නිළියන්ටද පහසුවක්ම විය.
“අපේ තාත්තාට හොඳ පෞරුෂයක් තිබුණා. ඒ පෞරුෂයට මම අදත් ගරු කරනවා. ඒ වගේමයි අපෙ තාත්තා ට පැවරුණු කාරිය වෙනුවෙන් කරන ඉහළම කැපවීමත්…” යැයි කියූ අපේ චාමර ඒ පිළිබඳව තවත් දේ කියන්නේය.
කලා කෘතියකට සම්බන්ධ වූ විට එය නිම වනතුරුම එයට දායක වන පිරිසට නිසි අයුරින් සැලකීම වගකීමක්ම බව හෙතෙම ප්‍රසිද්ධියේ කීයේය. වෘත්තිමය ගරුත්වය හැමවිටම රැකගත යුතු දෙයක් බව හෙතෙම දැරූ මතයකි.
අපේ ආදරණීය කතා නායකයාට කොළඹ ප්‍රකට රංග ශාලා දෙකක එකම දවසේ එකම වේලාවක් තුළ රඟපාන්නට සිදුවී තිබිණි. එය එසේ වූයේ සංවිධායකයන්ගේ පටලැවිල්ලකිනි. එකක් ඉංග්‍රීසි නාට්‍යයක් වූ ඔතෙලෝය. එය සවස 6 ටය. අනෙක් නාට්‍ය හෙන්රි ජයසේනයන්ගේ මකරාය. එය සවස 6.30 ටය. එහි තමන් රඟපාන ප්‍රධාන චරිත නිරූපණය සඳහා අමතර නළුවන් කිසිවකු ද පුහුණු කර තිබුණේ ද නැත. නාට්‍ය දෙකේම සංවිධායකයෝ දැඩි අපහසුතාවකට මැදිවී සිටියහ. ඔවුහු ඔහුගෙන් කාරුණික ව ඉල්ලා සිටියේ තමන් බේරා ගන්නා ලෙසටය. මිතුරකුගේ වාහනයක් සහයට ගෙන නාට්‍ය දෙක අතරතුර නාට්‍ය ශාලා දෙක අතර වාර තුන බැගින් ඔහු ගමන් කළේය. එක් නාට්‍යයක තම කොටස රඟපා වහා ඔහු ඒ ඇඳුමින්ම ඊළඟ නාට්‍යයෙහි රඟපෑමට දිව ගියේය. නාට්‍ය දෙකම භාෂා දෙකකින් වීම ද තත්ත්වය තවත් බැරෑරුම් විය. කෙසේ හෝ නාට්‍ය දෙකෙහිම සංවිධායකවරුන් බේරාගන්නට හෙතෙම එදා කැපවූයේ එලෙසය.
මෙපුවත දැනගත් ඔහුගේ හිතවත් මාධ්‍යකරුවෝ නාට්‍ය දෙකක චරිත දෙකක් එකම කාලයක් තුළ කළ එකම රංගන ශිල්පියා ගැන පුවත්පත් වලට ලියූහ.
තම පියාණන්ගේ කැපවීම පිළිබඳව වැඩිදුරටත් අපේ චාමර කියන්නට වූයේ මෙබන්දකි.
ඔහු බලවත්සේ රෝගාතුර විය. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට සිදුවුණිද ඔහුගේ නොඉවසුම් සිත තිබුණේ “වෑකන්ද වලව්ව” චිත්‍රපටයේ රූගත කිරීම් ගැනමය. තමන්ට හදිසි කරුණක් වෙනුවෙන් රෝහලින් පිටව යන්නට වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියද පිළිතුරු ලැබුණේ අසනීප තත්ත්වය මත එයට ඉඩ දිය නොහැකි බවකි. ඔහු සිය කැමැත්තෙන් ම රෝහල් වාට්ටුවෙන් පිටව එම රූගත කිරීමට ගියවිටදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් යුවළ බලවත්සේ කම්පාවට පත්වූහ.. එහිදී අපේ කතා නායකයාගේ කැපවීම ගැන පැසසුම් ද කියැවිණි.
“අපෙ තාත්තාට හැමදේම පිළිවෙළට ඕනෑ. කෑම මේසයෙදි වුණත් නැගිට යද්දි පුටුව පෙර තිබූ පිළිවෙළට තියෙන්න ඕනා. නැත්නම් හරියට තරහා යනවා. එදා අපෙ තාත්තාගෙ ඒ ගුරු හරුකම් වගේම ජීවිතයට ගතහැකි උපදේශවල වටිනාකම් එදාටත් වඩා අද අපට වැටහෙනවා.”
පුතු චාමර කියන්නේය.
ඔහු දේශපාලනයට නැඹුරු වුවද එහි හිණිපෙත්තේ පසුවන්නට හෝ ඉන් ප්‍රසිද්ධියක් ලබන්නට අකැමැති වූයේය.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ අහෝසි වූ ප්‍රජා අයිතිය නැවත ලබාගැනීමේ කාර්යයේදී අපේ ආදරණීය එල්සන් ඉදිරියෙන්ම සිට තම සහෝදර කලාකරුවන්ගේ අත්සනින් යුතු ලිපියක් බලධාරීනට දීමට වෑයමින් කටයුතු කළේය. එහෙත් අවසන ඔහු කනගාටු වූයේය.. ඒ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් නිසාමය. තමන් විසින් දේශපාලනයට යොමු කරවූ සමීප පුද්ගලයන්ගේ පසු හැසිරීම ගැන ද ඔහු කම්පා වූයේය. කනස්සල්ල ට පත්වූයේය.
“අපෙ තාත්තා දේශපාලකයකු නොවීම ගැන නම් මගෙ හිතේ තියෙන්නෙ ලොකු සතුටක්.”
චාමර පුතු කියන්නේය.
තාත්තා බොහෝ විට කලාව..නාට්‍ය ..සිනමාව ආදී දේ ගැන ගෙදරදී පුතු චාමර සමග තර්ක කරන්නේය. පුතු තම සෘජු සමබර අදහස පැවසූ විටකදී තාත්තා හිස වනා සිනාසී අනුමත කරන්නේය.
අපේ ආදරණීය කතා නායක තෙමේ ඉංග්‍රීසි බසෙහි ප්රවීණයෙකි. කතාවෙහිද චතුරය. ලිවීමෙහිද සමතෙකි. මෙරට නිපදවන විදේශීය නාට්‍ය හා චිත්‍රපටවලදී ඒවායේ රඟපෑමට අමතරව ඉංග්‍රීසි බසින් දෙබස් කැවීමට ඔහුගේ කටහඬ නැතිවම බැරිතරමට විය. මෙහිදී වීර පුරන් අප්පු චිත්‍රපටය සිහි නැගෙයි. පුරන් අප්පුට දඬුවම් නියම කරන ඉංග්‍රීසි ජාතික ආණ්ඩුකාර තැනගේ තෙතමනයක් නැති ඉංග්‍රීසි දෙබස් හඬ ඒ අපේ ආදරණීය කතා නායකයාගේය.
මේ නිසග පරිණත හැකියාවන් නිසාම ජිත් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ඩ්ඥ ජ්පධථ බ්චටටදච ” හා “එඥතත ර්භඤතඪරචප ” ඉංග්‍රීසි වේදිකා නාට්‍ය දෙකේම ප්‍රධාන චරිතය සඳහා අපේ කතා නායකයාවම තෝරා ගැනිණි. මෙම නාට්‍ය ඉංග්‍රීසි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය.
තම දියණියට හා පුතුට ඉංග්‍රීසි බස අනිවාර්ය කරමින් ගෙදරදීත් ලැබදුන් උපකාරය අද තමන්ට සේම තම අක්කාටද මහත් අත්වැලක් ම වූ බව අපේ චාමර කියන්නේ පියාණන් පිළිබඳව හදපිරි නොතිත් ගෞරවයකිනි.
අපේ සොඳුරු එල්සන් දිවිතුරගම විවාහයට පිය නැගීය…
එහිදී සිදුවූයේ කාටත් සිනා පහළ වූ කරුණකි.
පෙරමඟ රැඳී මනාල යුවළ පිළිගන්නට පීරිසියක තබාගත් කිරි වීදුරුවක් මනාලියට පිරිනැමිණි. චාරිත්‍රයට අනුව යමින් මනාලිය කිරි වීදුරුව ගෙන පුංචි උගුරක් පානය කර තම මනාල මහතාට පිළිගැන්විණි. තොල කට වියැළී ගිය පිපාසයකින් පසුවූ අපේ කතා නායකයා “මට නම් තිබහයි” පවසන්නාක් මෙන් ඔහු කිරී විදුරුවම එකහුස්මට හිස්කර ආපසු වීදුරුව දුන් තැනදී අවට සියල්ලනගේ මුවගට එක්වූයේ උස් සිනහ හඬකි.
අතිනත ගත් ඔහුගේ මනාලිය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරන සෝමලතා දිවිතුරගම මෙනවියය.
ඕ තොමෝ ඔහුට හැමතින්ම ජීවනයේ අත්වැලම වූවාය. තම ස්වාමියාගේ කාර්බහුල ජීවිතය මැනවින් අවබෝධයේ පසුවූ ඕ හැමතැනදීම ඔහුට ආදරණීය බිරිඳක වී කටයුතු කළාය. එම දෙපළට හිමිවූ පළමුවැන්නී දියණියකි. ඇය වෛද්‍යවරියකි. ඕ තොමෝ හර්ෂණී තරංගා දිවිතුරගම ය. දෙවැන්නා හෙවත් මා හා දැනුදු ආදරණීය සංලාපයක පසුවන එකම පුතු බැංකු ක්ෂෙත්රයේ අනුකූලතා ප්‍රධානී තනතුරක නිරත නිලධාරියකු වන අපේ චාමර ලක්මින්ද්ර දිවිතුරගම ය.
අපේ ආදරණීය චාමර ලක්මින්ද්රගේ ආදරණීය බිරිඳ සමුද්‍රිකා දිවිතුරගමය. ඕ බස්නාහිර පළාත් සභාවේය. එම දෙපළගේ නිවුන් පුතුන් දෙදෙනාගෙන් සිහෙල දිවිතුරගම එක් පුතෙකි. දිහෙල දිවිතුරගම අනෙක් පුතුය.
” මගෙ අක්කත් මමත් කලාවට එකතු නොවීම ගැන අපෙ තාත්තාගෙ හිතේ යම් තරමක කනගාටුවක් තිබුණාය කීවොත් හරි. එය අපෙන් හිතාමතා වුණු දෙයකුත් නෙමේ. අධ්‍යාපනයට මුල්තැන දීම නිසාම කලාව පැත්තට නැඹුරුවන්නට අපට කාලය මදිවුණා.. අපි දරුවන් හැටියට අපෙ අම්මා තාත්තාගෙ සතුට ආරක්ෂා කළා. අප නිරත ව ඉන්න වෘත්තීන් ගැන තාත්තා තුළ අප්‍රමාණ සතුටක් තිබුණු බවත් අප දන්නවා.”
තම එකම දියණිය වෛද්‍ය හර්ෂණී විවාහ වූ දවසේ ඒ ආදරණීය තාත්තාගේ දෑස සතුටු කඳුළටම බරවිණි. දියණිය හා අතිනත ගත් දියණියගේ ආදරණීය ස්වාමියා වන වෛද්‍ය රෝයිටද ඔහු ආදරණීය පියකුම වෙමින් දියණියගේ එකම පුංචි දියණිය ළිහිණි තාරා දැකගැනුමද ඔහුට ඉහවහා ගිය සතුටක් ම වූයේය.
“අපේ තාත්තා එයාගෙ සමීපතමයන්ට හරිම ළැදියි. දන්න කියන කෙනකු ගෙ නැතිවීමක් ආරංචි වුණාම අපෙ තාත්තා හරියට කම්පා වෙනවා වගේම හැම අවමඟුලකටම සහභාගි වෙනවා. මිනිස්සුන්ට ගොඩක් ආදරය කළා. කාටවුණත් කීමට දෙයක් ඇත්නම් ඒත් ඒ වගේම තමයි. ”
පුතු කියන්නේය.
අපේ චාමර එදා පුංචි සන්දියේය. තාත්තා රටේ ප්‍රකට නළුවකු බවක් හෝ එපුතු නොදනී. නාට්‍ය නැරඹීමට වඩාගෙන යන්නේද අම්මාය. “මකරා” නාට්‍ය වේදිකා ගතවෙයි. චාමර පුතු වේදිකාව දෙසම නෙත් යොමා සිටී. නාට්‍යයේ අවසන මකරාට ගිනි තබයි. ප්‍රේක්ෂකාගාරය දෙවනත් කරවන්නට තරමේ මහහඬින් කෑ මොරදුන් දරුවා “අනේ මගෙ තාත්තාට ගිනි තියන්න එපා…අනේ එපා.”යි කියමින් තවත් හඬ හඬා කෑ ගසන්නට වී. දරුවා නළවාගන්නට අපහසු වූ අම්මා දරුවා රැගෙන එළියටද ගියාය. හැඬුම එහෙමමය. පසුව වේදිකාව පිටුපසට ගෙන ගොස් තාත්තා පෙන්වූ පසු තාත්තා හොඳීන් බව දත් චාමර පුතු අවිහිංසකව සිනාසුණේය.
ගුවන් විදුලියේ මෙනරතැන්න ..ගුවන් විදුලි රඟමඬල, මුවන් පැලැස්ස, ආදී නාට්‍යවලදී ඔහුගේ හඬ පෞරුෂය තවමත් මතකය. ජාතික රූපවාහිනියේ ටයිටස් තොටවත්තයන්ගේ මල්ගුඩි දවස…දොස්තර හොඳ හිත..පිස්සු පූසා.. හා..හා..හරි හාවා.. ආදී බොහෝ කාටූන් චිත්‍රපට නිර්මාණ වලදී අපේ කතා නායකයාගේ දායකත්වය ටයිටස් තොටවත්තයන් ඉහළින්ම අගය කළේය. ටෙලි නාට්‍ය රංගනයෙන්ද නමක් දිනාගන්නට හෙතෙම සමත් වූයේය.
අපේ චාමර යමක් කියන්නට කටහඬ අවදි කරන්නේය.
“මම උපදින කොට අපෙ තාත්තා හෙන්රි ජයසේනයන්ගේ නාට්යයකලු. අම්මාට මාව ලැබෙන්න තියෙන දවසේ තාත්තාට නාට්‍ය වැඩවලට යන්න හිතක් තිබිලාම නැතිලු. පස්සෙ අමල්…අපෙ ආච්චි අම්මා …ඒ කියන්නෙ පොතුපිටිය වින්නඹු මාතාව තාත්තා ට කියල තියෙනව මම මේ වෙද්දි දරුවන් 118කට පමණ උපතකට මේ අත්දෙකින් සම්මාදම් වෙලා තියෙනවා. උඹ බයක් නැතිව නාට්ටි වැඩේට යමන් පුතේ. මං උපදින දරුවා ගැන බලා ගන්නම් කියලා. තාත්තා ඒක අහල ගියාලු. මං උපන්නාට පස්සෙ අක්ෂර අනුව “ච”අකුර තිබ්බ නිසා හෙන්රි ජයසේන මහත්තයා තමයි මට චාමර නම හොඳයි කියලා තාත්තා ට කියලා තියෙන්නෙ.”
පසුකලෙක අපේ චාමර ලක්මින්ද්ර ට හදිසි අනතුරකින් අප අතරින් වියෝ වූ අපේ හයසින්ත් විජයරත්න මහත්මිය පෙරදාක හමුවූ වේලෙහි තම පියාණන් ගැන බොහෝ දේ සතුටු මුවින් පවසා..මාව මෙලොවට බිහිවන වෙලාවෙ වින්නඹු සාත්තුව කළෙත් එල්සන් මහත්තයාගෙ අම්මා යැයි කියා තිබුණා ය.
මේ ආදරණීය සංලාපයේදී අදටත් ජනප්‍රිය ” බක්මහ දීගේ ” චිත්‍රපටයේ “ජාසොන්” මතක් වෙයි. බැනියමකින් හා කොටු සරමකින් සැරසුණු හෙතෙම ඇවිද යන අයුරු මා මතක තිරයෙහි පෙනේ.
“අපෙ තාත්තාට ඉලක්කයක් තිබුණා. මොන තරම් හැලහැප්පීම් බාධක ආවත් ඒ කිසිවකට යටනොවී තමන්ගෙ ඉලක්කය කරා යන සවිමත් හිතක් අපෙ තාත්තා ළඟ තිබුණා . ”
චාමර පුතු කියන්නේය.
සමාජ සේවා කටයුතුවලටද තම කාලය මිඩංගු කළ හෙතෙම ද සොයිසා කාන්තා රෝහල් කමිටුවේ සාමාජිකත්වයෙහි පසු වී එහි සභාපතිධූරයද ඉසිලීය. තමන් නිවසන මාලබේ සිට ගෙදරට යන මිහිඳු මාවත අතුරු මඟෙහි වීදි ලාම්පු දැවී මාවත අඳුරක නම් ගෙට පැමිණි ඔහු වහා තම නිවසේ බල්බයක් රැගෙන ගොස් එහි සවිකොට සතුටු වූයේය.
ඔහු විදේශයේ රැකියාවකට ගියේය.ඒ සව්දි අරාබි රාජ්‍යයේය…
“කෙනකුට හැදෙන්න ඕන නම් එන්න ඕන රට සව්දියයි..” හෙතෙම තම බිරිඳට ලිපියකින් කීවේය. වසර දෙක තුනකට පමණ පසුව ලංකාවට පැමිණි අපේ එල්සන් කොළොන්නාවේ පොදු වෙළඳ සංකීර්ණයේ ටෙලි ෆිල්ම්ස් එන්ටර්ප්‍රයිසස් නමින් ඍ.ඩ්.ඉ වීඩියෝ චිත්‍රපට සාප්පුවක් ඇරඹුවේය.
කෙටි නාට්‍ය දෙකක් ඔහු තැනුවේය. ගෙවුණු වසන්තය හා විරාගී විරාමය එම කෙටි නාට්‍ය දෙකය. ඉන් 1988 දී විරාගී විරාමය.. ඕ.සී.අයි.සී උළෙලකදී එක් අංශයකින් සම්මානිත විය.
ලිවීමෙහි සමතකුද වූ හෙතෙම නවකතා දෙකක්ද රචනා කළේය. ” සූරියකාන්ත මල ” නමැති නවකතාවේ කවරය නිර්මාණය කළේ තම මිනිබිපිරිය ළිහිණි තාරා දියණියය. සිසිවන උවන දෙවන නවකතාවේ කවරය චිත්‍ර ශිල්පයෙහි ද නිපුණ
මා සමීපයේ පසුවන චාමර නිර්මාණය කළේය.
“අපෙ තාත්තා හරිම සංවේදී හිතක් ඇති කෙනෙක්. තාත්තා තමන්ගේ පැත්තේ අයට වගේම අපෙ අම්මාගෙ පැත්තේ අයටත් ඉතාම සමීපයි. අම්මා
ගෙ පාර්ශ්වයේ දූ දරුවන් පවා තමන්ගෙ ගෙදර නවතාගෙන ඒ දරුවන්ගෙ ඉගෙනුමට හැම අතින්ම උදව් උපකාර කරනවා. මේ සද්කාර්යය නිසා අපෙ තාත්තාට දෙපාර්ශවයෙන්ම ගරු බුහුමන් ලැබුණා. ”
ඔහු සතුව ඊපඪචථනඩ වර්ගයේ ලොකු යතුරු පැදියක් තිබුණි. විවේකය ලද දිනවලදී පවුලේ අය කැටුව හෝටලයකින් අහර ගැනීමට ගියවිට හෝටලයේ පිරිසිදු බව බලා හෝටලයේ පාලකයාට දැනුම් දෙයි. පිරිසිදුකම ඔහු ජීවිතයේ අංක එකය. එය ගෙදරද පිටතද ඔහුට කොතැනදීත් එක සමානය. ඒ ගැනද අපේ චාමර කීවේ මේ ටිකය.
“අපෙ තාත්තා අපේ ඉගෙනුමට අමතරව බොහෝ දේ ඉගැන්වූවා. එයින් පළමු දේ ශික්ෂණය . ඇත්තමයි අමල්…අද ඒ වටිනාකම් ඉහළින්ම අපට දැනෙනවා”
අපේ ආදරණීය එල්සන් දිවිතුරගම විහිළු තහළු නැත්තෙක්ම නොවේ. තාත්තාට සීමා වූ අනන්‍ය විහිළු කිරීමේ ස්වභාවයක්..කලාවක් තිබූ බව පුතු කියන්නේය.
වේලාවට වැඩ නොකිරීම ඔහුගේ කෝපයේ රතු කට්ට ඉක්මවා යන බවද කියූ චාමර පිටස්තර අයට නැතිවුවත් තාත්තා අපට නම් සැරයි කියා කියන්නේ ඒ නිසාය.
දන්නා කියන අයකු හමුවූ විට වචන දෙකක් හෝ සමීපව පවසා යාම ඔහුගේ සිරිතකි.
ඔහු දැන් වියපත්ය. ලොකු මහත් වූ ආදරණීය තම දරුවන් දෙස බලා ඔහු සිත සතුටින් පුරවා ගන්නේය. වරෙකදී පෙරදාක මෙන් අවවාදයක් ..උපදෙසක්ද දෙන්නට අමතක නොකරන්නේය.
“පුතා ..මගෙ උපන් දිනයට සුභ පැතුම් එවපු පිටරට ඉන්න අපේ නෑ හිතමිතුරන් ට ස්තුතියි කියා පණිවුඩ යවන්න..”
තාත්තාගේ ඒ පණිවුඩය ලැබෙන විට චාමර සිටියේ තම රාජකාරි ස්ථානයේය. ඒ අයුරින් ම පුතු මුද්‍රිත වීද්‍යුත් තැපෑලෙන් තාත්තා කී අයුරින් ඒ හැමට ස්තුති කර යැව්වේය. එදින තම සේවය නිමකළ අපේ චාමර මේ දිනවල වෙසෙන පානදුරේ තම ආදරණීය බිරිඳ සමුද්‍රිකාගේ නිවසට එන්නට වූයේය. පානදුර නිවසේ දුරතියාම දුටුවේ කලබලයක ස්වරූපයකි. කිසිවක්ම සිතාගත නොහැක.
“තාත්තා ට අමාරුයි ලු. ඔයා හැකි ඉක්මනින් මාලබේ තාත්තාගෙ ගෙදරට යන්න.”
හිස ගිනිගත්තකු මෙන් පුතු චාමර මාලබේ නිවස බලා පැමිණියේය. ඔහු සිත සනසවමින් බිරිඳ සමුද්රිකාද ඔහු ළඟමය.
මම නිහඩව ම පසුවන චාමර දෙස බලමි. ඔහු නෙත කඳුළට බරවී පෙනේ. ඒ ඔහුගේ දෑසම රත්පැහැ ගැන්වී ඇතැයි මට හැඟේ.
“අපෙ තාත්තා එක්ක මම කලා කෘතින් ගැන මොන තරම් දේවල් කතා කර තියෙනවද…මගෙ තාත්තා මට තාත්තා කෙනෙක් වගේම මගෙ හොඳම මිතුරෙක් වගේ. අනේ..අපෙ තාත්තා අපට ආදරය කළ තරම්. මගෙ නිවුන් පුතු දෙන්නා දැකගන්නට බැරිවුණා. පුතාලගෙ එල්සන් සීයාගේ දස්කම් පුතාලාට දකින්න ලැබෙන්නෙ වීඩියෝ පට මගින් විතරයි . මගෙ දරුවන් දෙන්නා කලාවට ලැදි දරුවන් වීමත් මට ලොකුම සතුටකට කාරණයක්. තාත්තා ගැන අදටත් කවුරුත් ගෞරවයෙන් කතා කරනව ඇහෙන කොට කියාගන්න බැරිතරමට සතුටක් දැනෙනවා. ”
අපේ ආදරණීය චාමර ලක්මින්ද්ර ගේ කටහඬ බිඳුණු ස්වරයෙන් මට ඇසේ.
” අපෙ තාත්තා ගැන මතක් කරගෙන අපෙ තාත්තා ගැන කතා කරන්නට ආව සරසවිය පත්තරේටත් ඔබටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා…”
තවමත් චාමරගේ හඬ මට බොඳව ඇසේ.
නිදහස් චින්තනයකින් උදාර ජීවිතයකට හිමිකම් කියමින් කාගේත් ආදරයට ගෞරවයටම පාත්‍ර වූ සිනමාව , රූපවාහිනිය ; වේදිකාව සේම ගුවන් විදුලියෙන්ද අප සමඟ නිරන්තරයෙන් ළබැඳී නෑකම් කියූ අපේ සොඳුරු කතා නායකයාණෝ එල්සන් දිවිතුරගම කිසිවකුට හෝ නොකියා නොදන්වාම තමන්ගේ අයට පිදූ නිමල සෙනෙහස එහැම පපුතුරේ රඳවා තබා යළි නොඑනා ගමන් නික්ම යන්නට වූයේය..
ඒ අඳුරු දවස වූයේ 2004ක්වූ ජනවාරි මස 5 වනදාය.