Home » තාත්තා බොහෝ ගීත ලිව්වේ නොමිලයේ

තාත්තා බොහෝ ගීත ලිව්වේ නොමිලයේ

හේමසිරි හල්පිටගේ පුත් දයන්ත දිනූෂ හල්පිට කියයි

by Thanushika
December 5, 2024 10:35 am 0 comment

“අපෙ තාත්තා අපෙ ජීවිතවලට සිටියේ මහා පවුරක් වගේ ..තවමත් අපට තාත්තා ළඟ නැති අඩුව හොඳටම දැනෙනවා ..”

“ආදරය කරද්දි වගේමයි අපෙ තාත්තාට කේන්ති ගියාමත්..හරීම සැරයි. ඒත් අපෙ තාත්තාගේ සැර ගතිය හරියට සෝඩා බෝතලය වගේ..හරි ඉක්මනින් ඒ සැර බැහැල යනවා..ඒ වගේම තාත්තා නිවුණු කෙනෙක්..”

මෙවර අපේ සොඳුරු කතා නායකයාණෝ කලා ලොව ප්‍රසංග වේදිකාවට නැතිවම බැරිවූ කලාකරුවෙකි..ප්‍රේමනීය රසික සිත්සතන්හි ලැගුම්ගත් මේ ආදරණිය සහෘදයා වරෙක ප්‍රසංග වේදිකාවේ නිවේදන කලාවෙහි ප්‍රවීණයෙකි. තව වරෙක රසික මතකයෙන් බැහැරව නොයනා තරමට සිත්සතන් වසඟ කළ තරමේ ගීත ගොන්නක ගේය පද රචකයෙකි. තවත් වරෙක ප්‍රචාරක කලාවෙහිද සංවාද රචනාවෙහිද කවි හා ගීත කලාවෙහිද තවත් අයුරකින් කිවහොත් ඈ නෙක කලා හැකියාවන් එක් තැනැත්තකු මත පිහිටන ලද අපූර්වතම කලාකරුවෙකි ..

කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ගම් පියසේ 1950 ක්වූ ජනවාරි මස 06 වනදා උපත ලද ඔහුගේ උප්පැන්නයේ නම හේමසිරි ඩයස් හල්පිට ය..නොඑසේනම් කලා ලොව මුදුනත සිය කුසලතා සිරිත එකලු කළ අපේ ආදරණිය හේමසිරි හල්පිට මහතාය..

ඔහු පිළිබඳ යටගියාව අපේ සරසවිය පාඨක ඔබට පවසනු රිසියෙන් ගිය ගමනේදී මා සහයට පැමිණි අපේ කතා නායකයාගේ කුලුපග මිතුරකු වූ ගුවන් විදුලියේ ගායන ශිල්පී චමත් ජයවර්ධන මහතාද සමඟින් මා ගොඩවැදුණේ ඔහු නිවසටය…

ආගන්තුක සත්කාරයෙන් යුතු ඔහු ආදරණිය බිරිඳ දම්මි හා ඔහුගේ එකම පුතුද සරසවිය පුවත්පත මහත්සේ අගයමින් අප සමීපයේම අසුන් ගත්තේ” අපෙ මහත්තයා හිටියානම් කොච්චර සතුටු වේවිද යැයි පවසමිනි.

” අපෙ තාත්තාගෙ නමට තවමත් කවුරුත් ආදරෙයි. ඒ පිළිගැනීම යන යන තැනදි අදටත් අපට ලැබෙනවා..අපෙ තාත්තා ගැන අපට ආඩම්බරයි..”

ඒ ටික කීවේ අපේ කතා නායකයාගේ ආදරණිය එකම පුත් දයන්ත දිනූෂ හල්පිට ය..

විදේශයේ රැකියාවක නිරත හෙතෙම නිවාඩුවකට තම නිවසට පැමිණ තිබුණේ මෑත දවසකය..

වාද්දුවේ..මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අපේ ආදරණිය හේමසිරි හල්පිට පාසලේ හැම කටයුත්තකදී ම ඉදිරියෙන්ම සිටියේය.. පුවත්පත්වලට කවි නිසඳැස් ලියන්නට වූයේ ඒ පාසල් වියේදීමය. එහි වේදිකා නාට්‍යවලද ඔහු රඟපෑවේය..එකල හෙතෙම දඩබ්බර චරිතයක් යැයි කිවහොත් වඩාත් නිවැරදිය..

සිය පියාණන්ගේ වාමවාදී අදහස්ද ඔහුටද දැනී තිබුණෙන් ලියන ලද ගැදි..පැදි..නිසඳැස් ආදියෙහිද ඒවා ගැබ්වී තිබිණි.

” අපෙ තාත්තා කුඩා වියේ පටන් ලේඛන කලාවට වැඩි ආසාවක් දැක්වූ බවක් මම අහලා තියෙනවා..”

සමාජ යථාර්ථය අමුතු වෙසකින් දැකුමට හුරුවූ තම පියාණන් ගැන ඒ ටිකද කියන්නට වූයේ අපේ දයන්තය..

ඔහු ප්‍රේමනීය ගේය පද දේශානුරාගී මෙන්ම ජාත්‍යානුරාගී ගී පද සිරිතද මොනවට පෙන්නුම් කළේය..

වරෙක අපේ කතා නායකයා පිළිබඳව වැනුම් කළ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් කීවේ ජනප්‍රිය කලා සංස්කෘතියේ මුදුනත හේමසිරි හල්පිටයන් බවය..

දැන් ..අපේ ආදරණිය හල්පිට පාසල් අධ්‍යාපනයෙන් පසුව රැකියාවට ගියේය..ඒ ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දොස්තරවරයකු ලෙසිනි…

පොතපතට වඩාත් ඇලුම් පෑ හේ චතුර කථිකයෙකු විය…දොඩමලුවන විටදී ඔහු මුවින් වෑහෙන රස පද සිරිත ආශක්තය ..

ප්‍රසංග වේදිකාවට බට හෙතෙම විචිත්‍ර පද රටාවෙන් කරන ලද ආමන්ත්‍රණය නිසාම අපේ හේමසිරි හල්පිටයන් පිළිබඳව තුඩ තුඩ රැඳුණු කතා සිරිතෙන් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි නිවේදකයකු බවට නොදැනීම පාත්‍ර වූයේය..

රාත්‍රියේ ප්‍රසංග වේදිකා මත නිදිවරා පැමිණෙන ඔහුට තම රැකියාව බාධාවක් සේ වීමෙන් තම රැකියාවට හෙතෙම සමුදෙමින් කාර්ය බහුල නිවේදකයා බවට පත්විය..

අපේ සොඳුරු කතා නායකයාගේ සමීපතම මිතුරා වූයේ අපේ නිහාල් නෙල්සන් ගායකයාණෝය.

නිහාල් ගේ ඇරයුමකට අනුව යමින් හෙතෙම සිය ප්‍රථම ගී පදවැල රචනා කළේය. පිටකොටුවේ මුඩුක්කුවක එකල දුටු බජව් කාමරයක තතු පදවැලෙන් නිර්මිත කළේය . ඒ මෙසේයැ

” සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ…

අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ ..”

එම ගේය පද රචනයෙන් කාගේත් කතාබහට පාත්‍ර වූ අපේ කතා නායක තෙමේ සොයා ගායනයෙහි නිරත බොහෝ දෙනා පැමිණියහ..ඒ අපේ හල්පිට ලවා ගීත ප්‍රබන්ධය කරගැනීම පිණිසය..

” ඔව් ..අපෙ තාත්තා රස්සාව අතහැරල කලාව තෝරාගත්තනෙ..”

පුතු දයන්ත කියන්නේය.

එතැනින් ගී පද රචනය අත තැබූ අපේ කතා නායක තෙමේ ජිප්සීස් සංගීත කණ්ඩායමට ලියූ ගීත සැබැවින්ම ජනප්‍රියත්වයෙන් ඉහළටම නැගිණි.

” ලුණු දෙහි…ඕජායේ…දෙමාපියන්ගේ කීම අසාලා….වඩු වැඩෙන් දිවි රකීන…කුරුමිට්ටෝ …ආදී ගීත ලෝලීන්ගේ අමන්දානන්දයට පාත්‍ර වූ ලියූ ගීත ඔහුගේ ය..

නිහාල් නෙල්සන්ගේ මුවින් ගැයූ ගීත රැසක්ද ඔහුගේ රචනාවන් වන අතර අබේවර්ධන බාලසූරිය හා නිරංජලා සරෝජිනී එක්ව ගැයූ යුග යුග ගානේ..පියමැන ආවේ…ආදී තවත් ගීත රැසක්ම එම දෙපළ වෙනුවෙන් ලියැවිණි ..

එච්.ආර්. ජෝතිපාල..එඩ්වඩ් ජයකොඩි…චරිතා ප්‍රියදර්ශනී..කීර්ති පැස්කුවල්…මායා දමයන්ති..රූ කාන්ත චන්ද්‍රලේඛා..නීලා වික්‍රමසිංහ..ලලිත් පොන්නම්පෙරුම..චන්දන ලියනාරච්චි ..වික්ටර් රත්නායක …සමන් ද සිල්වා…කරුණාරත්න දිවුල්ගනේ…ෂෙල්ටන් මුතුනමගේ…අනුරාධා පෙරේරා …චමත් ජයවර්ධන …සංජීවනී වීරසිංහ..රාජු බණ්ඩාර ..ආදී ගායක ගායිකාවන් තවත් ජනප්‍රිය කරවන්නට සමත් වූ ඔහුගේ ගී පද රචනා අතර ෆ්‍රෙඩී සිල්වා හා කලාවතී ගැයූ තේ කූඩය පිටේ බැඳන් ආදී ගීතද ඔහුගේ තෙලිතුඬින් බිහි වූ ගීතයන්ය..

මම අපේ දයන්ත දෙස බලමි. ඔහු සිනාමුසු මුහුණෙනි..

” අපේ තාත්තා ගීත 6000ක් පමණ ලියා තියෙනවා..එතකොට ජිප්සීස් නායක සුනිල් පෙරේරා අන්කල් තාත්තා ට වගේම අපටත් හරිම ලෙන්ගතුයි . අපි ඒ කාලෙ උන්නෙ මොරටුව ලක්ෂපතියෙ කුළී නිවසක..සුනිල් පෙරේරා අන්කල් දවසක් අපේ ගෙදර ආවා ..”

අපේ ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා එදින අපේ කතා නායකයා හමුවන්නට ආයේ විශේෂ කාරණයකටය ..

ඔහු අපේ හල්පිටයන් කැටුව ගොස් පණදුර..මහවිල ප්‍රදේශයේ මධ්‍යම පාන්තික නිවසක් පෙන්නුවේය..

” මම ඔයා වෙනුවෙන් මොනවා හරි කරන්නම ඕනා. ඔයා අපි වෙනුවෙන් කොතරම් ලෙන්ගතුව ඉන්නවද..මේ ගෙය ඔයාලට හොඳද බලන්න ”

පුදුමයෙන් මෙන් අපේ සුනිල්ගේ මුහුණ බලාහුන් හෙතෙම සුනිලුන්ගේ පෙරැත්තයට අවනතව එම නිවස හොඳ බව කීයේය..

හිත හොඳ අයකුසේම සෘජු කලාකරුවකු ලෙසින් ද ප්‍රකට අපේ සුනිලුන් තම ප්‍රේමණීය සහෘදයා වෙනුවෙන් තම මුදලින් එම නිවස ඔහුට ම පවරා දුන්නේය…

අපේ කතා නායක තෙමේ සුනිලුන් ස්නේහයෙන් වැලඳ ගත්තේය..

“සුනිල් අන්කල් අපට විතරක් නෙවි. කාටත් එහෙමමයි. තමන්ගෙ සහෝදර කලාකරුවන් ගැන පුදුම උනන්දුවකින් සොයා බලා අතහිත දුන්නේ…”

පුතු දයන්ත කියන්නේය.

ඔහු පොතපතට මහත්සේ පෙම් බැන්දේය…

” ඔව්. අපෙ තාත්තාගෙ පොත් මහා ගොඩක් තියෙනවා ..” ඒ කීවේද පුතුමය..

අප සංලාපයට සවන්දෙමින් පසුවන අපේ ගායන ශිල්පී චමත් ජයවර්ධනයන් යමක් කියන්නට සැරසෙයි..

” ඔව් අමල් …හේමසිරි හල්පිට මහත්තයා මම හඳුනාගත්තෙ ප්‍රසංග වේදිකාවෙන්..ඒ කාලෙකට උඩදි ..ඒ යාළුකම් දවසින් දවස සවිමත් වුණා..මටත් එතුමා ගීත ලියා දුන්නා..මම දන්නා තරමින් නම් කලාකරුවන් ට ඇති ආදරය නිසාම ගී පද රචනයට මුදල් අයකළේ නැහැ..”

ඒ කතාව අනුමත කරන්නාක් මෙන් පුතු දයන්ත කීවේ.” අපෙ තාත්තා කවදාවත් මුදල් පස්සෙ හඹාගිය කෙනෙක් නම් නෙවි..මනුස්සකම තාත්තාගෙ අංක එක වුණා. ”

චමත් අපේ කතා නායක ගැන මතකය අවදි කරන්නේය..

” මගෙ ප්‍රථම ගුවන් විදුලි ගීතයෙ රචකයා හල්පිට..පස්සෙ ගීත 10ක කැසට් පටයෙදිත් එතුමාමයි. තනුව හම් කරන්න කියල හල්පිට කියනවා..තනුව හම් කරද්දී මෙන්න පදවැල අගේට ලියැවිලානෙ..හොඳද කියලත් අහනවා..” තල්වැට පවුරෙන් එහා ඉමේ..ඔබ තනිවී ඉන්නේ..

ඔබගේ නිල් දෑසයි මා හද කලඹන්නේ…”

මගෙන් පවා මුදල් ගත්තෙ නැහැ..ගීතය ජනප්‍රිය වුණාම බැරියැ…ඒකමයි කාටත් කියන්නෙ .හරීම සුන්දර මනුස්සයෙක්..ඒ වගේම නවකයන්ට අත දුන් කෙනෙක්..මුදල් නෙවි තමන් කරන නිර්මාණය ගැනයි එකම උවමනාව..ඇත්තමයි. ජනතාව ඇදබැඳගන්නා තරමේ වචන හරඹයක් වේදිකාවෙදි පෙන්නුවා..හල්පිට කියන්නෙම වචනයේ පරිසමාප්තියෙන්ම දැනෙන හැගෙන හොඳම කලාකරුවෙක්…අපේ අතීතය කිසිදාක අමතක වෙන්නෙම නැහැ..”

අපේ ආදරණිය කතා නායකයාගේ ප්‍රිය බිරිඳ දම්මි මහත්මිය ද අප සමීපයේමය..

” එයා කලාවට වගේම මිනිසුන්ටත් හරිම ආදරෙයි…”

අපේ සොඳුරු කතා නායකයාගේ ජීවන අත්වැල වූයේ..අනුරාධපුරයේ දම්මි සේපාලිකා මෙනවියය.

එනම් 1976 ක්වූ දෙසැම්බර් මස 14වනදාය…

ඔහුට ඇය හැමදාමත් දම්මි ය..

“ඔව් එයා මට කතා කරන්නෙ දම්මි කියලා..සින්දු ලියලා මගෙන් එයා අහනව මම ලියුව සින්දුව හොඳද කියලා…වචන ගැළපෙනවාද..අඩුපාඩු තියෙනවාද කිය කිය අහනවා.. එයා තමයි එයාගෙ පවුලේ එකම දරුවා..”

ආදරණිය දම්මි කියන්නී..

ඕ මෙසේද කියන්නී..

“අනේ එයා ගෙදර ඉන්න ලැබෙන නිදහස තරම් තවත් දෙයක් නම් නැහැ. සතුන්ට තියෙන ආදරය නම් හරිම පුදුමයි…

එයා ඇති කරන පූසෝ 12ක් ගෙදර උන්නා…හැමදාම හරකෙක් එයාව හොයාගෙන එනව ගේට්ටුව ළඟට. ඉතින් එයාගෙන් පාන් ගෙඩිය කවාගන්න ..සල්ලි ඉතුරුවක් නම් නැහැ..ගොඩාක් අයට සින්දු ලියුවෙ මුදල් ගන්නේම නැතිව..”

ඔහුගේ හමුවීම ගැනද කී ඕ තොමෝ….

” මම අනුරාධපුරයේ ගලෙන්බිඳුනුවැව නෙ.. ඉතින් ගෙදර අයත් එක්ක කානිවල් එකක් බලන්න ගිය දවසෙ ඒ ප්‍රසංග වේදිකාවෙ නිවේදක එයා..

එයා කතාකරන ලස්සනට මම ආසාවෙන් බලා උන්නා. පස්සෙ අපි දෙන්නා කතාබහ කළා…ඉතින් එහෙම තමයි අපි දෙන්නා හම්බවුණේ.. ”

ආදරණිය දම්මී සිනාපිරි මුවිනි.

කුලුඳුල් එකම පුතු බිහිකරන්නට රෝහලට ඇය ගියේ ෆ්‍රෙඩී සිල්වාගේ වාහනයෙනි..

දයන්ත පුතු මවට යමක් සිහිපත් කර මදෙස බලයි.

“අපෙ තාත්තා මං පුංචි කාලෙ ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වලට එක්කගෙන යනවා ..මට කලාව තෝරාගන්න කියලනම් කවදාවත් කියලා නැහැ..මට නිදහස්ව තීරණ ගන්නට තාත්තා මට ඉඩ දුන්නා..

තාත්තා මා එක්කල පුදුම එකතුවක් තිබුණෙ…ඒ ආදරයට මම අදත් ගරු කරනවා…අපෙ පාසලේ ගුරු දෙගුරු රැස්වීම්වලට තාත්තා ආපු හැටි මට මැවී පේනවා.. එදාට පාසලම හරි කලබලයි..තාත්තාව බලන්න..මං ඉපදුණාම මට නම දාලා තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන අන්කල්…”

“ජෝති අන්කල්ගෙ ජෝති රාත්‍රියෙ නිවේදක අපෙ තාත්තා. මාවත් එක්ක යනවා. ජෝති අන්කල්ට මල්මාලය දැම්මෙත් මමයි..”

එෆ්.එම් 99 ගුවන් විදුලියේ නිවේදක වූ අපේ කතා නායක තෙමේ පසුව සවන එෆ්.එම් හි කටයුතු කරමින් සවන රැඳී ගී ඉදිරිපත් කළේය..පසුව ශ්‍රී එෆ්.එම්..ගුවන් විදුලියේ දී ශ්‍රී හැදූ ගී පිළිගැන්වූයේය..

” අපෙ තාත්තා වඩාත් ඇලුම් කළේ ගුවන් විදුලියට වඩා ප්‍රසංග වේදිකාවටයි.. හිරු එෆ්.එම් සහ ශ්‍රී එෆ්.එම් තේමා ගීත රචනා කළෙත් අපෙ තාත්තා ”

මේ සියල්ල අතර ඔහු හඬකැවීම් ශිල්පියකු ලෙසින් ද ප්‍රකට වූයේය. ඒ ගමනට ද ඒ තාත්තාට තම පුතු නැතිවම බැරිය..පුතුගේ එකම ඕනෑකමද තාත්තාගේ ඇසුරය..

” මත්පැන් නම් අඩුවෙන්..ඒ වුණාට දුම්පානය වැඩියි. යමක් ලියනවානම් තාත්තාට දුම්වැටිය නැතිවම බැහැ..සින්දුවල කටුසටහන් මටයි ලස්සන අකුරින් ලියන්න දෙන්නෙ..ඉතිං මමත් ලියා දෙනවා…”

මා විමසූ පැනයකට පුතු කීවෙි එසේය..

පුතුගේ කතාවට මවද ඔහුගේ බිරිඳ පද්මි ලියනාරච්චි මහත්මිය ද සිනාසුණු ගමන්මය.

දයන්තගේ කුඩා පුතුන් දෙදෙනා ගවීෂ හංසනද දුල්මිත දම්සන ද අප දෙස බිමබලාගත්වනම ය.

අපේ ආදරණිය ගීත රචකයා චිත්‍රපට 22 කට සහ රූපවාහිනී නාට්‍ය 09කටද ගී පද රචනයෙන් දායක විය..

“සරත් ද අල්විස් අන්කල් රෝයිද සිල්වා අන්කල් වගේම තවත් ගොඩක් ඈයෝ අපෙ තාත්තාට පුදුම ආදරයක් තිබුණෙ..”

අපේ ආදරණිය හේමසිරි හල්පිටයන් රචිත ජිප්සීස් ඇතුළු සමූහ ගායනයක් වන “ලොවේ සැමා එකම දැයේ…

දූ දරුවන් වේවා…” ජනප්‍රිය ගීතයට අදටත් ඇත්තේ මහත් අගයක්මය..

කේන්දර ..නැකැත්…ඉවත ලූ හේ සැබැවින්ම බුදුදහමට භක්තිවන්තයෙකි…ගෙදරින් පිටව යන්නේද හෙතෙම නොවරදවාම බුදු පහන තබා..සරස්වතී රූපයටද වැඳ නික්ම යන්නේය..ඒ ඔහුගේ සිරිතක්මය..

” අපෙ තාත්තා එක්ක කාලය ගතකරන කොට හරිම සුන්දරයි.. අපෙ තාත්තා හරිම ආදරණියයි..”

පුතු දයන්ත ඒ ටික කීවේ බිමබලාගත්වනම බිඳුණු ස්වරයෙනි.

අපේ සොඳුරු කතා නායකයාණෝ දැන් දැන් රෝගාතුර වෙයි…වෛද්‍යවරුන් කීවේ හෘදයාබාධ තත්ත්වයක් ගැනමය…බයිපාස් සැත්කමකටද නියම කෙරිණි …

” තාත්තා ඒ වෙද්දී සෑහෙන්න ප්‍රසංග වැඩ බාරගෙන තිබුනෙ.අත්තිකාරම් පවා අරන් තිබුණු හින්දා තාත්තා සැත්කම ප්‍රමාද කළා ..”

පුතු දයන්ත විදෙස් ගතවන්නට සූදානමිනි..ඔහු ද තම පුතු සමඟ ගුවන් තොටුපළට පැමිණියේ පුතුට සුභ පතන්නටය..එහෙත් ගුවන් තොටුපළේදී තාත්තා තම පුතු දෙඅතින්ම වැලඳ කුඩාදරුවකුසේ හඬන්නට වූයේය..පුතු පිටරටක යනවාට කැමැත්තක් තිබුණේද නැති.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ නිදි මැරීම

දුම්පානය..තෙල් කෑම හොඳ නැති බවමය..එහෙත් රෑ නිදිවරාගෙන ප්‍රසංග වේදිකාවේ වෙහෙසෙන්නේය…

” අපි එපා කියන හන්දා තාත්තා සිගරට් බිව්වෙ අපට හොරෙන්…”

ඔහුගේ බිරිඳ දම්මි සුසුම් හෙළන්නීය..ඕ බිම බිමබලාගත්වනම ය…

” ෂෝ වලට යද්දී මම එයාගෙ හැමදේම බෑග් එකකට අසුරල දෙනවා. එදා අලුත්ගම ෂෝ එකක් තිබුණෙ..අනේ එදා මහත්තයා ට යාළුවෙකුගෙ ගෙදරකදි අමාරු වෙලා රෝහලට එක්ක ගිහින්”

දම්මී කියන්නීය..

කළුබෝවිල රෝහලේ අපේ ආදරණිය හේමසිරි හල්පිටයන් වාට්ටුවේ ගිලන් යහනක් මත අපහසුවෙනි..”

” වැඩක් බාරගත්තාම ඒක එහෙමම කරල දෙන්න උවමනාව මිසක් අසනිපය ගැනවත් මහත්තයා සිතන්නෙ නැහැ…”

ඕ කඳුළක් වසන් කරන්නට වෑයම් කරන්නීය..

සරත් ද අල්විස් ඔහු ළඟමය…සුනිල් පෙරේරා ද ඔහු වෙත එයි. ඔහුට ආදරය පෑ…බොහෝ පිරිසක් ඔහු අස්වසන්නට පැමිණියද ඔහු ඒ කිසිවකු සමග හෝ කිසිවක් නොකීවේය..

ඔහු එකම පුතු දයන්ත විදෙස් ගතවී දැනට සති දෙකකි.

කලා කෙතේ ඉසව් ගණනාවක් සිය නිසග කුසලතාවෙන් අතික්‍රමණය කළ…මනුස්සකම දෝතින් පිදූ ඔහු හඬ සිරිත හැම සිතකම කාවද්දන්ට සමත් වූ අපේ සොඳුරු කතා නායකයාණෝ .. වයසින් අවුරුදු 56 දී රහසේම නොකියා නොදන්වා.. කොහේදෝ නික්ම ගියේ හැම නෙතකම කඳුළක් ඉතිරි කරමිනි..

ඒ..2006 ක්වූ අප්‍රේල් මස 28වනදාය…

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT