– අපෙ තාත්තා කොතරම් කාර්යබහුල වුණත් ගෙදර ගැන, දරුවන් ගැන සොයා බැලුවා
– චිත්‍රපටවල රඟපෑවාට තාත්තාගේ හිත තිබිල තියෙන්නෙ චිත්‍රපට හදන්නයි
– අපෙ අම්මාත් තාත්තා වගේම සිනමාවට කලාවට හරිම ළැදියි
– විජය-මාලිනීට අම්මා පුදුම ආදරයක් තිබුණා
– අපෙ තාත්තා ගොඩාක් අපව ආරක්ෂා කළා
” අපෙ තාත්තා කොතරම් කාර්ය බහුල වුණත් ගෙදර ගැන..දරුවන් ගැන සොයා බලන එක ඉහළින්ම ලකා සිටියා….”
මෙවර සරසවිය මවුපිය වරුණ ආදරණීය කතාබහෙන් මුණගැසෙන්නේ සිනමාවට නොතිත් ප්‍රේමයෙන් පසුවූ ආදරණීය කතා නායකයෙකි…හෙතෙම වරෙක චිත්‍රපට නළුවෙකි. තවත් වරෙක හේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. වරෙකදී සහය අධ්‍යක්ෂකවරයෙකි. මේ හැමටම වඩා ඔහු ආදරණීය ස්වාමියකුසේම ගුණගරුක දයාවන්ත පියෙකි.
කළුතර දකුණ, උපත ලද මහන්තේ පියරත්න සෙනරත් නම් අපේ සොඳුරු කතා නායක තෙමේ මෙලොව එළිය දුටුවේ 1925ක්වූ ඔක්තෝබර මස 26 වනදාය.
ජෝස්ටින් සෙනරත් මහත්මිය සහ මහන්තේ ආචාරිගේ සෙනරත් ඔහුගේ දයාබර මවුපියන් වෙති. චින්තා අයිරාංගනී සෙනරත්, සේපාලි සෙනරත් ඔහුගේ සහෝදරියන් ය. තරමක දඩබ්බර චරිතයකට හිමිකම් කී හෙතෙම ඉගෙනුමට ගියේ කළුතර ඥාමෝදය විදුහලටය. උසස් පෙළ දක්වාම එහි අධ්‍යාපනය හැදාරා අනතුරුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත වූයේය.
තම ආදරණීය පියාණන් පිළිබඳව කතාබහ කරන්නට මා සමීපයේ පසුවන ඔහුගේ දෙවැනි දියණිය ගයනි සෙනරත් මෙනවිය සිනාමුසු මුහුණිනි. තම පියාණන් පිළිබඳව හිතපුරා කියන්නට බොහෝදේ ඇතැයි ඈ මුහුණින් කියැවේ…
“අපෙ තාත්තා රස්සා නම් එකක් කියල කළේ නැහැනෙ. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව, කස්ටම් එකේ, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඇයි…සත්තුවත්තෙත් තාත්තා වැඩ කළානෙ…හැබැයි …අපෙ තාත්තා රස්සා කළාට හිතපුරා නම් තිබුණෙ චිත්‍රපට වලට ලොකු ආසාවක්..ලොකුම කැමැත්තක් …”
ආදරණීය ගයනී දුව කියන්නීය…
නිරතව පසුවූ රස්සාවට යන ගමන් අපේ කතා නායක තෙමේ චිත්‍රපටයක කියා හාපුරා රඟපෑවේ “වැදිබිම” චිත්‍රපටයේය..හේ කෝලංකාරයෝ, පික් පොකට්, දෙහදක දුක චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ ද රඟපෑවේය….
“ඉතිං ..අපෙ තාත්තා චිත්‍රපටවල රඟපෑවාට හිත තිබිල තියෙන්නෙ චිත්‍රපට හදන්නයි…පස්සෙ ඒ වෙනුවෙන් කැපවෙද්දි අපෙ අම්මාගෙ සහයත් නොඅඩුවම තාත්තාට ලැබුණා.”
ගයනී කියන්නීය..
චිත්‍රපට තිස්පහක පමණ විවිධ චරිතයනට ජීවය දුන් අපේ ආදරණීය කතා නායකයා චිත්‍රපටයක් හදන්නට අත ගැසුවේය. එය ඔහුගේ මුල්ම චිත්‍රපටය “අමරණීය ආදරේ ” විය..ඔහු බිරිඳ අයිරාංගනී එහි නිෂ්පාදකවරිය වූවාය. ඔහුගේ සහය අධ්‍යක්ෂණයෙන් තවත් චිත්‍රපට සිනමා රසිකයාට පිළිගැන්විණි. “ලොකු තාත්තා”, ඩොක්ටර් සුසන්තා, මල් වරුසා චිත්‍රපට සිනමා ලෝලීහු ආදරයෙන් වැලඳ ගත්හ. මේ වනවිට සියලු නිෂ්පාදන කටයුතු අහවර කොට ප්‍රදර්ශනයට සූදානමේ ඇත්තේ ” ස්වාමි භක්ති” සිනමා සිත්තමය.
“ඔව්..අපෙ අම්මා නිෂ්පාදකවරිය වුණාට අපෙ තාත්තා නිෂ්පාදන කලමණාකාර හැටියට කටයුතු කළේ. ඒ එක්කම සහය අධ්‍යක්ෂණයත් කළා. අපෙ තාත්තා පස්සෙ සමන්මලී චිත්‍රපටය කළා. ඉන්පසුව රස්සාව අතහැරියා.. ඒත් ඒ වෙනකොට තාත්තා ට බොහොම සමීපව හිටපු ආර්.ප්‍රේමදාස මහත්මයා තාත්තාට ආපසු රස්සාව අරන් දෙන්න ඇහුවත් තාත්තා ආපහු රස්සාවට යන්න කැමති වෙලා නැහැ. එපා කියලා…”
අපේ සොඳුරු කතා නායක තෙමේ විවාහ ජීවිතයකට මුල පිරුවේය. ඒ යෝජිත විවාහයකි…ඒ වනවිට තිස්වනවියෙහි පසුවූ ඔහුගේ ජීවන සහකාරිය වූයේ ඒ වනවිට දහසය වන වියෙහි පසුවූ පානදුර..කෙසෙල්වත්තේ විනීතා අයිරාංගනී මෙනවිය සමඟිනි. ඕ තොමෝ ඔහුට අත්වැලක්ම වූවාය.
“අපෙ අම්මාත් තාත්තා වගේම සිනමාවට කලාවට හරිම ලැදියි. විජය මාලනී දෙපළට නම් අම්මා පුදුම ආදරයක් තිබුණේ. එම විවාහයෙන් දියණියන් දෙනෙකුට හා පුතුන් දෙදෙනකුට දයාවන්ත පියෙකු විය. මින් පවුලේ වැඩිමහල් දියණිය වූ සුරේනී සෙනරත් පියා ගත් මඟ යමින් සිනමාවට එක්වූවාය. පසුකලෙක ඕ නිළියක ලෙසින් ජනප්‍රියත්වයට පත්වෙමින් චිත්‍රපට නිෂ්පාදනයටද එක්වූවාය.
“සුරේනි මගෙ අක්කා හදපු ස්වාමි භක්ති චිත්‍රපටය වැඩ කටයුතු හමාර වී තිරගත වන්නට කටයුතු යෙදී තියෙන්නෙ. එයා චිත්‍රපට සියයක පමණ රඟපෑවානෙ..අක්කා සිනමාවට ආවෙ තාත්තාගෙ අමරණීය ආදරේ චිත්‍රපටයෙන්. මල්වරුසා චිත්‍රපටයෙත් නිෂ්පාදිකාව සුරේනි අක්කා… අපෙ මල්ලිත් රඟපෑවා… අපෙ අක්කා රාජ්‍ය චිත්‍රපට චිත්‍රපට සංස්ථාවේ ඉහළම තනතුරු දැරුවා.. අක්කා නමින් අපට කතරගම දෙස් විදෙස් අයට පහසුකම් ඇති සුරේනී කියල හෝටලයක් තියෙනවා…අනේ…අපෙ අක්කාට එයා තනපු ස්වාමි භක්ති චිත්‍රපටය තිරගත වෙන හැටි දැකගන්න බැරිවෙනවා. අවුරුදු 59 දි අක්කා කැන්සර් එකකින් අපට නැතිවුණා..අක්කාත් මමත් අවිවාහකයි. ”
අපේ ආදරණීය සුරේනී මෙලොව හැරගියේ 2021ක්වූ මැයි මස 26 වනදාය. තවත් ශෝකාත්මක දෙයක්ද සිදුවිණි. අපේ කතා නායක පියරත්නයන්ගේ බාලම පුතු වන ප්‍රභාත් පුතුද පිළිකායකින් අකාලයේම මෙලොව හැර ගියේය. ඒ වනතුරු කතරගම හෝටලයෙහි කළමණාකාරවරයා වූයේද ඔහු ය. දැන් එම පවුලේ හැමදෙයකදීම සිටින්නේ චිත්‍රපට කලාවට ලබැඳී හර්ෂ පුතුය.
“අපෙ තාත්තා බුද්ධාගමේ.පස්සෙ බුද්ධාගම අතහැර ක්‍රිස්තියානි ආගමට බැඳුණා. ”
අපේ ආදරණීය ගයානි කියන්නීය…
අපේ ගයානී බිම බලාගත්වනමය ..ඈ මුහුණ ශෝකී බැල්මකට මුසුව ඇත.
විමෝදයට රුසියකු වුවද මධුවිතට හෝ දුම්වැටියට කොහෙත්ම අකමැති අපේ කතා නායකයා ඔහුටම ආවේණික මානුෂික ගති ලක්ෂණ ප්‍රකට කළේය…
“අනේ ඔව්..අපෙ තාත්තාට ගොඩාක් සමීප අය උන්නා. පුවත්පත් කලාවේදී ඒ.ඩී. රන්ජිත් කුමාර මහත්තයා. ඉන් එක්කෙනෙක්. එතුමා කාලයක් සරසවිය පත්තරේ කර්තෘ තනතුරත් කළානෙ. ඒ දවස්වල අපෙ තාත්තා වගේම අපිත් රන්ජිත් කුමාර මහත්තයාගෙ ගෙදර නිතර යනවා. රන්ජිත් කුමාර මහත්තයායි එතුමාගෙ මෝනා ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය මහත්මියයි අපෙ තාත්තා අම්මා හරිම එකමුතුයි. එතකොට .. එතකොට සොමී රත්නායක, පද්මා සිරිවර්ධන, නෙතලී ප්‍රනාන්දු හරි හිතවත් . එයාලව සිනමාවට හඳුන්වා දුන්නෙත් අපෙ තාත්තාමයි. රොබින් තම්පෝ, ජෝර්ජ් තිලකරත්න , ධර්මසිරි ගමගේ… අයත් තාත්තා ට සමීපව හිටියා…”
“අපෙ තාත්තා චිත්‍රපට පහක් හැදුවා. සුරේනී අක්කාව චිත්‍රපට වලට ගත්තෙත් තාත්තායි කියල මං කීවනෙ. හැබැයි අමල්… අපෙ අක්කාට රඟපාන්න ඉඩදුන්නෙ සීමා පනවලා. අක්කාට ලව් සීන් රඟපෑම නම් තහනම්. තෝරල බේරල තමයි අක්කාට චරිත දුන්නෙ. අක්කා නැඟී එන නිළිය හැටියටත් තවත් අවස්ථා තුනකදීම තුන්වරක් සම්මානිත වුණා. අනික…අක්කාව තනිවම ෂූටින් වලට යැව්වෙත් නැහැ. ගොඩාක් අපෙ තාත්තා අපව ආරක්ෂා කළා. පරිස්සම් කළා…තාත්තා අපට හැම තිස්සෙම කියපු කතාවක් තමයි හොඳට හැදෙන්න..කියලා. අපෙ මල්ලිලා ගියෙත් තාත්තා ගිය පාරෙමයි..දුන් අවවාද තවමත් මට ඇහෙනව වගෙ අමල් .”
අපේ ගයානී සිනාබර මුවින් කියන්නීය.
අපේ කතා නායක පියරත්නයන්ගේ බිරිඳ අයිරාංගනී ද චිත්‍රපටවල රඟපෑවාය. ධර්මසිරි ගමගේ ගේ චිත්‍රපට නිර්මාණවලටද ඕ රංගනයෙන් දායකත්වය දුන්නාය.
“අපි අදටත් සිනමාව එක්කයි. අපෙ තාත්තාගෙ නිර්මාණය ලොකු තාත්තා කියන නම අපේ පවුලටත් බැදුණු තරම කීවොත් අදටත් ලොකු තාත්තාගෙ ෆැමිලි එක කියලනෙ කියන්නෙ. ”
ගයානී සිනාසෙන්නීය.
ගයානීගේ මුහුණ අඳුරට බරවෙයි. අක්කා ද තාත්තා ද මල්ලීද අහිමිව යාම දැනුදු ඈ සිත පෑරෙන්නාසේය.
“අනේ..සුරේනී අක්කාව බේරගන්න අපි ගොඩාක් මහන්සි වුණා..රෝගාතුර ව ඉන්න කාලේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත්, ගොඩාක් උදව් උපකාර කළා. ගායනයට දක්ෂ අක්කාගෙ කටහඬ ඇහෙනව ඇහෙනවා වගේ. තවමත් එයාලා අපේ හදවතේ ජීවත් වෙනවා. ”
ඈ දෑස කඳුළට බරව ඇතැයි මට හැඟේ. ඕ වහා බිම බලා ගත්තාය.
අපේ ආදරණීය කතා නායකයාගේ එකුස සොහොයුරා වූ නවරත්න සෙනරත් ද තම සොහොයුරා පියරත්නයන් සමඟමය.
දැන් දැන් අපේ සොඳුරු කතා නායකයාණෝ රෝගාතුර වෙයි. රෝහලට ඇතුළත්ව දින කිහිපයකින් ආපසු ගෙදරට එයි. යළි අසාධ්‍ය වෙයි. රෝහලට ඇතුළත් කරයි.
අහෝ…අපේ ආදරණීය පියරත්නයන් අංශභාග රෝගයකට ගොදුරු වූයේ නොසිතු අන්දමිනි. ඔහු සිතද කඩා වැටුණා සේය..තම ගෞරවනීය පියාණන් මෙලෙස එක්තැන්වීමද බිරිඳ හා දරුවන්ගේ සිත් සසල කළේය. නක්ෂත්‍රය මැනවින් හදාරා සිටි හේ තමන්ට එල්ලවන අපල උපද්‍රව කල්තියාම දැන සිටියේය. තමන් මෙතුවක් පැමිණි ගමන්මඟ දෙස ආපසු හැරී බලන ඔහු ඉන් සතුටට පත්වූයේය. තම දරුවන් සිනමාවට හඳුන්වා දීම පිළිබඳව ද මහත් සතුටට පත්වූයේය.
අපේ ආදරණීය පියරත්නයන්ගේ බැල්ම අමුතුය. ඔහු කොහේදෝ කල්පනාවකය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට නිවසට පැමිණ තවම දින දෙක තුනකි.
“අපෙ තාත්තා පැරලයිස් තත්වයෙන් සිටියෙ අවුරුද්ද යි අමල් …”
සුඛ වේදනාවන් සේම දුක්ඛ දෝමනස්සයන් ද එකසේ දරාගනිමින් සිනමාවෙහිද නොමැකෙන නමක් තැබූ අපේ ආදරණීය කතා නායකයාණෝ සිය දිවිගමනේ 73 වන වියෙහිදී කිසිවකුට හෝ කිසිවක් ම නොකියා නොඑනා ගමන් යන්නට ගියේ ය.
ඒ 2001 වසරේ එක් අඳුරු දිනයකදීය…
අමල් යශෝමන් ජයසිංහ