Home » තාත්තාට අම්මා ජීවිතයම වුණා

තාත්තාට අම්මා ජීවිතයම වුණා

හෙන්රි ජයසේනගේ පුත් සුදාරක ජයසේන කියයි

by Thanushika
May 8, 2025 11:42 am 0 comment

” කිසිම දෙයකදි කලබළ නොවන පිළිවෙළට වැඩ කරන අපේ තාත්තා හරිම නිවුණු තැන්පත් මනුස්සයෙක්…හැබැයි නා⁣ට්‍ය පුහුණුවීම්වලදි නම් වෙලාවට නාවොත් හොඳටම තරහ යනවා..ඒකත් බොහොම සුළු වෙලාවයි…”

” එහෙනම් පාංශුකුලේදි ජිනදාස භූමිදාන කරල අවසාන ගෞරවය දක්වල තියෙන්නෙ මගේ සල්ලිවලින්..

පියල්ගේ එබස් අසාහුන් නන්දා එය දරාගත නොහී කාමරයට දිවගොස් පුටුවකට බරදී කම්පිතව පසුවන්නීය.

‘ නන්දා මා එක්කල තරහවන්න එපා. ඒ වෙලාවෙ මට තරහ ගිය නිසා ඒ වචන කියැවුණේ..ඒ වචන මම අදහස් කරල කිවෙ නැහැ. තරහ ගිය නිසා කියැවුණා”

මෙවර අපේ මවුපිය වරුණ කතා සිරිතේ මේ සොඳුරු කතා නායකයා පිළිබඳව වැඩියමක් කිවයුතුව නැතැයි හැඟේ…

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් රචිත ගම්පෙරළිය නවකථාව ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා තැනූ අන්තර්ජාතික සම්මානයටද පාත්‍රවූ ගම්පෙරළියේ පියල් වූයේද ඔහුමය.

වේදිකාවේ අසඩක්ද වූයේ ඔහුමය..පුංචි තිරයේ සුදු සීයා වූයේද ඔහුමය..

ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියකු වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රෙක්ෂකයාට හඳුන්වා දීමේ පුරෝගාමීයා වූයේද ඔහුමය..

නවකතාකරුවකු , කවියකු , නාට්‍ය රචකයකු , පරිවර්තකයකු , නාට්‍ය නිෂ්පාදකවරයකු , රංගන ශිල්පියකු ආදී නන් වැදෑරුම් කුසලතාවෙන් පිරිපුන් අද්විතීය නාට්‍යකරුවකුද වන ඔහු කලාකීර්තී ආචාර්ය හෙන්රි ජයසේනයන්ය..

කතා නායක හෙන්රි ජයසේනයන් පිළිබඳව මා හා ආදරණිය සංලාපයක පසුවන ඔහු පුත් සුධාරක ජයසේන මා සමීපයේ සිනාමුසු මුහුණිනි…

“අපේ තාත්තා නිදහස් වෙලාවට ගීත ගයනවා..හොඳ විනෝදකාමියෙක්. පොඩි ඩ්‍රින්ක් එකක් අරන් තාත්තා තනිවම එන්ජෝයි වෙන අවස්ථාද තියෙනවා…ඒ වගේමයි පොතපත කියවීමත්…”

පුතු සුධාරක කියන්නේය.

ගම්පහ, බ්‍රැන්ඩියමුල්ලේ ඇල්බට් රුද්‍රිගු ජයසේන සහ සිසිලියානා මවුපිය දෙපළට දූ දරුවන් සයදෙනෙකි..ඒ අතර එක් දියණියකද පුතුන් පස්දෙනකු ද විය. පවුලේ පළමුවැන්නා වූයේ ග්‍රන්ථ රචකයකු වූ නිව්ටන් ජයසේනය. දෙවැන්නා ධර්මරත්නය. තෙවැන්නා නිශ්ශංක ය. සිව්වැන්නා විල්ෆ්‍රඩ් වන අතර පස්වැන්නිය තිලකාය.. බඩපිස්සා හෙවත් පවුලේ බාලයා වූ 1931. ජුලි මස 06 දින උපත ලද බස්තියන් කෝරාළගේ හෙන්රි රුද්‍රිගු ජයසේන හෙවත් හෙන්රි ජයසේන මේ කතා නායක තෙමේය.

මූලික අධ්‍යාපනයට ගම්පහ ලෝරන්ස් විදුහලට පිවිසි හෙතෙම පසුව කොළඹ නාලන්දා මහා විද්‍යාලයට ඇතුළත් වූයේය.

” අපේ තාත්තාගෙ ළමා කාලය සාමාන්‍ය විදිහට ගතවෙලා තියෙන්නෙ. ඒත් නාලන්දාවට ගියාට පස්සෙ තාත්තාගෙ පන්ති බාර සිංහල ගුරුතුමා හැටියට ඉඳල තියෙන්නෙ අධිනීතිඥ යූ.ඒ.ඇස් පෙරේරා (සිරි අයියා) මහත්තයා..එතුමා තාත්තගෙ හැකියාවන් දැකල ගුවන් විදුලියෙ ළමා පිටියට ගයන්න අවස්ථාව ලබාදීල තියෙනවා..තාත්තා ලියූ මිනිසුන් වූ දරුවෝ පොතෙත් ඒ බව සඳහන් වෙලා තියෙනවා..තාත්තා මට මේ බව කියලත් තියෙනවා..තාත්තාට ගෙදරට තිබුණු නම චන්ද්‍රසෝම…”

ඒ ටික කීවේද අපේ සුදාරක ය..

මේ අතරේදී ගමට පැමිණියේ එවක පරසිදු මිනර්වා නමැති නාට්‍ය කණ්ඩායමකි. එම පිරිස පැමිණීමත් සමග ගමේ එළිමහන් තැනෙක ඉදිවූයේ පොල් කොටන්වලින් තැනූ වේදිකාවකි. නාට්‍ය කී සැණින් කුපිතව යන ඔහුගේ තාත්තා නාට්‍ය බලන්නට නොයන ලෙසට තරයේ කියා සිටියද අපේ කතා නායක තෙමේ තාත්තාට හොරෙන් නාට්‍ය බලන්නට ගියේය..ඒ නාට්‍ය දැකීමෙන් ඊට වශීකෘතව ගිය හේ දැඩි අදිටනක සිත තබා ගත්තේය…යම් දිනෙක මමද නාට්‍යකරුවෙක්ම වෙමි..ඒ සිත පිළිසිඳගත් අදිටනයය. එහි රඟපෑ රුක්මණී දේවිය පළමුවරට ඔහු නෙත ගැටුණේ එදාය..

එදින නිවසට පැමිණි අපේ හෙන්රි ජයසේනයන් මිනර්වා නාට්‍ය කණ්ඩායමට ලිපියක් ලියුවේය…

” මටත් රඟපාන්නට පුළුවන් ..මාවත් නාට්ටිවලට ගන්න” එම ලිපියේ ලියුවද…ලිපිය තැපැල් කරන්නට මුද්දරයක් ගන්නට මුදලක් නැතිව ළඟ තබා සිටියදී එය අසුවූයේ තාත්තාගේ අතටමය..කලාවට කොහෙත්ම කැමැත්තක් නැති පවුලේ සියල්ලෝ ඔහුට බැණ අඬගසන්නට වූහ. වරද නාට්‍ය බැලීම සහ නාට්‍යයක රඟපාන්නට තිබුණු ආසාවය.

” පස්සෙ අපෙ තාත්තා පාසලේදි නාට්‍යයක් හදල තියෙනවා..ඒක රජකාලෙ නාට්‍යයක්. රෝහිත කුමාරයගෙ චරිතය තමයි තාත්තා එහි රඟපාල තියෙන්නෙ. ඒක බලන්න ආපු මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා තාත්තාගෙ නාට්‍ය ගැන පැහැදිලා…විදුහල්පතිතුමාට අනාවැකියක් කියල තියෙනවා මේ දරුවා අනාගතයේදී රටේ නමක් දිනූ නාට්‍ය ක්ෂෙත්‍රයේ හොඳ කලාකරුවෙක් වෙනවාමයි කියලා..”

අපේ සොඳුරු කතා නායකයාණෝ ඉංග්‍රීසි පුහුණු ගුරු පත්වීමකින් ගුරු වෘත්තියට පිවිසියේය. පළමු ගුරු පත්වීම නුවරඑලිය දිස්ත්‍රික්කයේ පදියපැලැල්ල පොඩි පාසලකටය. දුප්පත් මවුපියන්ගේ පාසල් දරුවනට තම වියදමින් පොත්ද රැගෙන දුන් හේ නාට්‍යයක් කරන්නට සූදානම් වූයේය.

ඔහු නාට්‍ය පිටපත ලියමින් හිතවත් ගුරු භවතුන්ගේද එකතුවෙන් පන්තියේ දරුවන්ගේද සහායෙන් ” ජානකීහරණය” නාට්‍යය රඟදැක්වූයේය..සත ගාණක මිලකට ගමට නාට්‍ය පෙන්වූයේය..

තවත් කලකට පසු ගුරු රස්සාවෙන් කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ සේවයට ගියේය…එහිදී ඉංග්‍රීසි පිටපතක්ද ලියා නමින් මනමාලයෝ නමින් වේදිකා නාට්‍යයක්⁣ බොරැල්ල වයි.ඇම්.බී.. රංග ශාලාවේදී වේදිකා ගත කළේය..මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුට හෙතෙම රඟපෑවේය. ටී.බී ඉලංගරත්නයන්ගේ හඳහන, ඔස්කා වයිල්ඩ්, වැදගත්කම , ඇත්ත කුමක්ද, ආදී නාට්‍ය වේදිකාවට රැගෙන ආ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ කලා සංගමය වෙනුවෙන් පව්කාරයෝ ස්වතන්ත්‍ර නාට්‍ය රඟදැක්වූයේය…

හස්තිකාන්ත මන්ත්‍රය නාට්‍යයෙහි උදේනි රජ වූ හේ පී. වැලිකලයන්ගේ රත්නාවලී මැටි කරත්තයෙහි රඟපෑවේය.

තවමත් මා සමඟ කතාබහේ පසුවන අප කතා නායක පුත් සුදාරක කීයේ තම පියාණන් ළමාවියෙහි සිතබැඳගත් සිහිනය සැබෑ කරගන්නට උපරිම කැපවීමෙන් කටයුතු කළ බවය…

අපේ හෙන්රි ජයසේනයන්ගේ ‘ කුවේණි ‘ නමැති නාට්‍යය සම්මානිත වෙමින් හොඳම නළුවා, හොඳම නාට්‍ය නිෂ්පාදක, හොඳම නිළිය, හා ශෛලීගත හා තාත්වික හොඳම සංගීතය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීය.

හිඳසිටි අසුනෙහි තවත් හරිබරි ගැසුණු සුධාරක තම මව පිළිබඳව ද කියන්නට වන්නේය…

ඕ තොමෝ කොටහේනේය. තම අක්කණ්ඩියට හා මලයණ්ඩියට මැද උපන් ඇය බම්බලපිටිය හෝලි ෆැමිලි විදුහලින් අධ්‍යාපනය ලද්දාය. ශේෂා පලිහක්කාරයන් වෙතින් නැටුම් හදාරන්නට වූ ඇය පසුව නැටුම් ගුරුවරියක ලෙසින්ද කටයුතු කළාය.

ඕ නමින් මානෙල් ජයසේන මහත්මියය . දෙහිවලදී නිතර දුටු මේ දෙදෙනාට දෙදෙනා ආදරයකින් බැඳී සිටියහ…අපේ කතා නායක තෙමේ ඒ වනවිට ජනප්‍රිය නාට්‍යකරුවකු ලෙසින් නම් දරා සිටියේය..

හෙන්රි හා මානෙල් යුවළ විවාපත් වූයේ 1962 දීය..නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසින්ද නාට්‍ය ලොව රැඳී හුන් ආදරණිය මානෙල් මහත්මිය තම හිමිගේ කුවේණි නාට්‍යයෙන් සම්මානිත වූවාය..

” විවාහයෙන් පස්සෙ අම්මා තාත්තා දෙන්නම එකට රඟපෑවා.”

පුතු සුධාරක කියන්නේය.

තවත් උදෑසනක්, මනරංජන වැඩ වර්ජන, අහස් මාලිගා, නාට්‍ය සේම 1966දී කරළියේ කිරුළු පළන් නාට්‍ය වූයේ හුණුවටයේ කතාවය. අපේ කතා නායකයාගේ නාට්‍ය සිරිතෙහි කඩඉම් නාට්‍යයක් බවටද පත්වූයේ හුණුවටයේ කතාවය. එකදිගට දින පහක් වේදිකා ගතකරන ලද නාට්‍යය බවටද පත්වූයේ එම නාට්‍යමය..

” පළමුවන දවසේ ඒ නාට්‍යය බලන්න හෝල් එකේම ඉඳල තියෙන්නෙ සුළු පිරිසයි. නාට්‍යය පෙන්වන පස්වන දවසේ නාට්‍යය බලන්න හෝල් එකේ ඉඩකඩත් මදිවෙලා…හුණුවටයේ කතාව නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ අපෙ අම්මා …තාත්තා රඟපෑවේ අසඩක් චරිතයයි. උසස් පෙළ විභාගයෙදි සිංහල විෂයයට හුණුවටයේ කතාවත් ඇතුළත් වුණානෙ.”

අපේ ආදරණිය හෙන්රිගේ ප්‍රථම සිනමා රංගනය වූයේ ශ්‍රී 296 චිත්‍රපටයය. ගැහැනු ගැට, සුහද සොහොයුරෝ, සීගිරි කාශ්‍යප, ගම්පෙරළිය, ගඟ අද්දර, හංස විලක්, මරුවා සමඟ වාසේ, බැද්දේගම ආදී තවත් සිනමා නිර්මාණ රැසකට දායක වෙමින් සිනමා රසික හදවතෙහි නොමැකෙන තරමේ නමක් තබන්නට සමත් වූ හෙන්රි ජයසේනයන් වරින්වර සරසවි, ජනාධිපති, ආදී සම්මාන රැසකින් පිදුම් ලැබුවේය.

පුංචි තිරයටද පැමිණි හෙතෙම දූ දරුවෝ ටෙලි නාට්‍යයේ රඟපෑ සුදු සීයාගේ චරිතය අදටත් කාගේත් මතකයේ ලැගුම්ගෙන ඇති බවද සත්‍යයකි. ඔහු ප්‍රේමණීය බිරිඳ මානෙල් ජයසේන මහත්මියද මෙම නිර්මාණ අතර රංගනයෙන් නමක් දිනා සිටියාය..

මම සුධාරක දෙස බලමි.

” අම්මා තාත්තා නාට්‍ය කලාව වෙනුවෙන් කැපවුණා…අපෙ තාත්තා වෙලාවට කලාවට වැඩ කරන මනුස්සයෙක්..කිසිම විටෙක කලබල වෙන්නෙ නැහැ..ඒ තරම් තැන්පත්..කේන්තිත් යනවා..සමහරවිට අම්මා ට මට වුණත්..ඒත් ඒ කේන්ති ඒ වෙලාවට විතරයි. නාට්‍ය පුහුණු වීම් වලදි වෙලාවට නාවොත් නම් තාත්තාගෙ කේන්ති දෙගුණ තෙගුණ වෙනවා..”

” අපෙ තාත්තා එයාගෙ ජිවිතයේ වඩාත්ම දුක්වුණ දවස අපෙ අම්මා නැතිවූ දවසයි. තාත්තත් අසනීපව හිටියේ..අම්මාට නම් අසනීප කියා දෙයක් තිබුණෙත් නැහැ. අවුරුදු එකහමාරක සිට අම්මා ට වකුගඩු අමාරු තිබුණානෙ..අම්මාගෙ නික්ම යාම තාත්තාට දරාගන්නටම බැරිවුණා..”

අපේ සුදාරක මේ ටික කියන්නේ බිඳුණු ස්වරයෙනි…ඔහු බිමබලාගත්වනමය …

මඳ වේලාවක් නිහඩවම පසුවූ සුධාරක යළි කටහඬ අවදි කරන්නේය.

අපෙ තාත්තාට පිළිකාවක් තිබුණා.මහබඩවැලේ…එය ඉවත් කළා..ඉන්පස්සේ තාත්තා අවුරුදු දහයක් විතර හොඳීන් උන්නා. අම්මා තමයි තාත්තාට සාත්තු කළේ..”

සුධාරක තම මව සහ පියා පිළිබඳව කතා කරන්නේ මහත් ගෞරවනීය හැඟීමකිනි..

” අපෙ අම්මා අපෙ තාත්තාගෙ ජිවිතයේ ම කොටසක් ..අම්මාගෙ හමුවීම වගේම තාත්තා වෙනුවෙන් අම්මා කළ කැපවීම වචනයෙන් කිව නොහැකි තරම්..අම්මා වගෙ කෙනෙක් හා විවාහ වෙන්න ලැබිම ගැනත් තාත්තා තුළ තිබුණේ ලොකුම සතුටක්..මට දරුවන් දෙන්නයි..මගෙ දරුවන් උස්මහත් වෙන හැටි බලා අම්මා තාත්තා ලබාපු සතුටත් එහෙමමයි.”

සුධාරක කියන්නේය.

අපේ සොඳුරු කතා නායක තෙමේ දුම්වැටියට මධුවිතට ප්‍රිය වුවද තම පුත් සුදාරක වෙනුවෙන් එහැම අත් හළේය…වරෙකදී නිවසේ හුදකලාවේදී මධුවිතින් යම්තම් සප්පායම් වන හේ එයද කරන්නේ තනිවමය..පොතපතට දැක්වු සෙනෙහසට වචන නැති. නිදහස වඩාත් අගය කරන හෙතෙම විවේකයකදී සිය දරු පවුලද කැඳවමින් යන්නේ..දවස ගත කරන්නේ..විනෝදයක් ලබන්නේ ඔහුට හොඳටෝම හුරුපුරුදු බෙන්තොට මුහුදු තීරයේය.

තම හිතවතකු රෝගාතුර බව දත් සැණින් නොපමාව එහි යමින් කතාබස් කරමින් ඔහු වෙනුවෙන් කාලය වැය කලේ ඉමහත් සතුටකිනි.

” අපෙ තාත්තාට දෙස් විදෙස් මිතුරන් ගොඩක් සිටියා.. තාත්තගෙ හුණුවටයේ කතාවේ පස්වන මයිකල් කුමාරයා මමයි..යැයිද සිනාවතින් යුතුව පැවසූ සුදාරක නාට්‍ය යේ ගයන කෝරස් එකේ කෙනෙක් අඩුවුණොත් ගීත ගයන්න ඒ චරිතය කරන්න තාත්තා එතැනට ගත්තෙ මාවයි. එතකො⁣ට මට වයස 18ක් ඇති.”

පුංචි තිරයේ ” ගොළු හදවත” නාට්‍යයේ සුගත් වූයේ අපේ සුදාරකය. දිනෙක සුමිත්‍රා පීරිස් මහත්මිය මව හමුවන්නට නිවසට පැමිණි අවස්ථාවකදී තමන්ව දැක ගොළු හදවත ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන පෙම්වත් සුගත්ගේ චරිතයට තමන් තෝරා ගත් බවද ඔහු කියන්නේය. ඒ වනවිට සුදාරක උසස් පෙල විභාගයට සූදානමින් සිටියදීය.

පියා ගිය මග යමින් අපේ සුධාරක මේ වනවිට ටෙලි නාට්‍ය 15කද සිනමා සිත්තම්වලද රඟපා ඇත්තේය.

ගොළු හදවතේහි දම්මි චරිතයට ජීවය දුන්නේ අනෝමා හේරත් මෙනවියය. ඇය දැන් අනෝමා ජයසේන ලෙසින් සුදාරකගේ ජීවන සහකාරිය වී ඔහු සමීපයේම පසුවන්නීය. ..එම දෙපළගේ පුතුන් දෙදෙනා රන්දිර හා හංසජය.

හැටන් නැෂනල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කලමනාකාරවරයකු වන සුදාරක සමඟ ඔහු බිරිඳ අනෝමාද එම බැංකුවේම කටයුතු කරන්නීය.

බිමබලාගත්වනම පසුවන සුධාරක වෙතින් කළ විමසුමකදී ඔහු කීවේ මේ ටිකමය.

“අම්මා නැතිවුණාම තාත්තාට ඇතිවූ කම්පනය අපට මගහරවන්නම බැරිවුණා.. ඒ සෝකය මත්තේම තාත්තා මනසින් වැලපුණේ ”

අපේ කෘථහස්ත රංගන ශිල්පිනිය මානෙල් ජයසේන මහත්මිය සිය ජීවන රඟමඬලින් නික්ම ගියේ 2004 දීය..ඒ වනවිට ඇයට අවුරුදු 69 කි.

අසනීප තත්වයන් මැද ප්‍රේමනීය බිරිඳගේ නික්ම යාමද උසුලා සිටිනු නොහී සොවින් කාලය ගෙවූ අපේ කතා නායක තෙමේ කල්පනා ශක්තියෙන්ද දුර්වල ව සිටින්නේය.සැත්කමක් වෙනුවෙන් හෙතෙම කළුබෝවිල රෝහලට ඇතුළත් කළේය..සියල්ල උඩුයටිකුරුව ගියාසේය.

අද්විතීය නාට්‍ය කරුවකු…සම්භාවනීය කලාකරුවකු ලෙසින්ද සුපතළ ව ගෞරවනීය මිනිසකු ලෙසින් ප්‍රකට අපේ සොඳුරු කතා නායකයාණෝ රෝහල් වාට්ටුවේ ගිලන් යහනේදීම සිය ජීවන සුසුම් පොද වා තලයට මුදාලූහ..

ඒ වනවිට අපේ ආදරණිය හෙන්රි ජයසේනයන් පසුවූයේ වයසින් 78 වන වියේය..

ලාංකේය නාට්‍ය කලාව වෙනුවෙන් බොහෝදේ කැපකළ අපේ කතා නායක තෙමේ නික්ම යන්නට වූයේ 2009ක්වූ දෙසැම්බර් මස11වනදාය.

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT