ඉතිහාසයෙහි ලියවී ඇති සත්‍ය කතා පුවත් සිනමා තිරය මත ප්‍රක්ෂේපණය කරන්නට හොලිවුඩ් සිනමාකරුවෝ ශූරයෝ වෙති. හොලිවුඩ් සිනමාවේ ඇති විශේෂ ගුණ අතරින් එහි අති දැවැන්තබව, නිර්මාණශීලිබව, ගුණාත්මකබව නිසා ම නිෂ්පාදනය වන චිත්‍රපට විශ්ව සම්භාවනාවට පාත්‍ර වෙයි. සත්‍ය කතා පුවත් පෙරදැරිව සිදු කරන සිනමාපට ප්‍රේක්ෂකයාට අතීතය සහ ඉතිහාසය විචාරාත්මකව කියවීමට මඟ එළිපෙහෙළි කරයි. 2024 වසරේ තිරගත වූ ‘September 5’ හොලිවුඩ් චිත්‍රපටය ස්ථානගතවන්නේ සත්‍ය කතා පුවතක් ඇසුරින් නිර්මිත චිත්‍රපට ගණයටයි. වර්ෂ 1972 සැප්තැම්බර් 5 වැනිදා ලෝක ඉතිහාසයෙහි එක්තරා කළු පැල්ලමක් ඉතිරි කළ දිනයක් වන්නට වැඩි වේලාවක් ගත වුයේ නැත. 1972 වසරේ ඒ වනවිට ක්‍රීඩාවේ මහා මෞලි මංගල්ලයවන ‘ගිම්හාන ඔලිම්පික් උළෙල’ ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙමින් තිබිණ.
මුහුණු ආවරණය කරගනිමින් අවි ආයුධවලින් සන්නද්ධ වූ පලස්තීන ජාතික ත්‍රස්තවාදීන් අට දෙනෙකු ජර්මනියේ මියුනිච් නුවර ක්‍රීඩකයන් නවාතැන්ගෙන සිටි ඔලිම්පික් ගම්මානයට ඇතුළු විය. වෙස්මුහුණු ලා සිටි මෙම ත්‍රස්තයන්ගේ වියරු ඇස් වේගයෙන් ඉගිළ ගියේ ඊශ්‍රායලය නියෝජනය කළ ක්‍රීඩකයන්ගේ නවාතැන්පොළ වෙතටයි. නවාතැන්පොළේ සිටි එක් ක්‍රීඩකයකු ඒ මෙහොතේ දී ත්‍රස්තවාදී වෙඩි පහරින් ඝාතනය විය. රෙස්ලිං පුහුණුකරුවා ද ත්‍රස්තවාදියකුගෙන් වෙඩි කෑවේය. ඉතිරි වී සිටි ක්‍රීඩකයන් නවදෙනා ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයට හසු විය. ‘September 5’ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මෙම සිදුවීම වාර්තා කරන මාධ්‍යවේදින් කණ්ඩායමකගේ දෘෂ්ටිකෝණයෙනි.
මියුනිච් ඔලිම්පික් උළෙල රූපවාහිනිය හරහා ලොව පුරා සිටින ක්‍රීඩාලෝලි ප්‍රේක්ෂකයන් වෙත විකාශය කිරීමේ වගකීම් සහගත කර්තව්‍යය පැවරී තිබුණේ ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන ඒඕඛ් ක්‍රීඩා නාළිකාවටයි. මෙම ‘බ්ලැක් සැප්තැම්බර්’ නම් පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායම ඊශ්‍රායල ක්‍රීඩකයන් ප්‍රාණ ඇපයට ගැනීම අරමුණ වූයේ පලස්තීන සිරකරුවන් සිය ගණනක් නිදහස් කරන ලෙස ඉල්ලීමයි. මෙම පුවත සැල වූ වහාම ABC මාධ්‍යවේදීන් දැඩි ලෙස කලබල කළේය. වහා යුහුසුලුව ඔලිම්පික් උළෙල මාධ්‍ය ආවරණය නවතා දමා සියලු කැමරා ත්‍රස්තවාදී ප්‍රහාරය වෙතට හැරවීය. චිත්‍රපටය පුරා ප්‍රේක්ෂකයා දකින්නේ මෙම ඛේදනීය පුවත මාධ්‍යවේදින් ආවරණය කරන ආකාරය පිළිබඳ ය. පැය 22 ක් පුරා, ABC මාධ්‍ය කණ්ඩායම මෙම ප්‍රවෘත්ති විකාශය කළේය.
චිත්‍රපටය අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ස්විට්සර්ලන්ත සිනමාකරුවකු වන ‘ටිම් ෆෙල්බෝම්’ විසිනි. ෆෙල්බෝම් ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් මාස ගණනාවක් පුරා මෙම සිදුවීම ආශ්‍රිත තොරතුරු අධ්‍යයනය කරමින් ගැඹුරු පර්යේෂණයක් සිදු කිරීම චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතු වී තිබේ. චිත්‍රපටයේ නිරූපණය වන බොහෝමයක් දර්ශන ලේඛනාගාරවලින් (Archives) ලබාගත් ඒඕඛ් මාධ්‍යවේදින් විසින් පටිගත කළ සහ 16mm පටලවලින් වීඩියෝගත කළ ඒවා වෙි. සිනමාත්මක වශයෙන් චිත්‍රපටයේ සංස්කරණය සහ කැමරාකරණය කැපී පෙනෙන අංශ දෙකකි. එම අංශ දෙකෙහි සුසංයෝගය නිසා ම ප්‍රේක්ෂකයා මෙම සිදුවීම නරඹන සක්‍රීය නිරික්ෂකයකු බවට පත් වේ. අව්‍යාජ අත්දැකීමක් (Authentic Experience) යළි ප්‍රතිනිර්මාණය කිරීමෙහි ප්‍රමුඛ කාර්යභාරයක් කලා අධ්‍යක්ෂණයට හිමි වෙයි. විශේෂයෙන් 70 දශකයේ ටෙලිවිෂන් සජීවී විකාශය පිළිබඳ සංවේදනය ප්‍රේක්ෂකයාට දැනවීම සඳහා තාක්ෂණික ආම්පන්න සහ පටිගත කරන ශබ්දාගාර පසුතල තාත්විකව කලා අධ්‍යක්ෂකවරයා අතින් නිම වී ඇත. ආලෝකකරණය (Authentic Experience) අංශය යටතේ මඳ ආලෝකයක් භාවිත වී ඇත. මඳ ආලෝකයක් (Low – key lightning) භාවිතා කිරීම මඟින් තීව්‍ර වන්නේ මෙම සිදුවීමෙහි පවතින බැරෑරුම් ස්වභාවය සහ මාධ්‍යවේදින්ගේ මනෝභාවයන් ය. චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ‘මොරිට්ස් බයින්ඩර්’, ‘ටිම් ෆෙල්බෝම්’ සහ ‘ඇලෙක්ස් ඩේවිඩ්’ යන තිදෙනකුගෙන් සෑදුම්ලත් කණ්ඩායමක් විසිනි. තිර පිටපතේ ඇති ප්‍රශස්ථබව නිසාම මාර්තු 2 වැනිදා පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලෙහි හොඳම තිර රචනය සඳහා නිර්දේශ වී තිබෙි.
චිත්‍රපටයෙහි සාකච්ඡාවට ගත යුතු වැදගත් නිරීක්ෂණ කිහිපයක් තිබේ. වගකීම් සහගත ලෙස මාධ්‍යකරණය තුළ හැසිරීමේ වැදගත්කම සහ එහි තොරතුරුවල නිරවද්‍යතාව (Accuracy) පිළිබඳ සැලකිල්ල අරපරෙස්සම් සහගත බව චිත්‍රපටයෙහි ඉස්මතු කරන ප්‍රධාන කාරණා වෙයි. එදවස අද මෙන් ඩිජිටල් තාක්ෂණය නොතිබු අවධියක මෙවැනි කලබලකාරීවූත් ආන්දෝලනාත්මක සිදුවීමක් විකාශය කිරීමට ගන්නා දැඩි වෙහෙස, ආතතිය චිත්‍රපටයෙහි මනාව නිරූපණය කරයි. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙක්, එක ජර්මන් පොලිස් නිලධාරියෙක්, පලස්තීන ත්‍රස්තවාදීන් පස්දෙනකු මෙි ගැටුමේදී මරණයට පත් වීම මාධ්‍යවේදී කණ්ඩායම සේම ප්‍රේක්ෂකයා ද කම්පනයට පත් කරන්නේ ත්‍රස්තවාදී ගැටුමක ඇති භයංකාරත්වය හඟවමින්. ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් සජීවි ලෙස ලොව පුරා රූපවාහිනිය හරහා විකාශය වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වන්නේ ක්‍රීඩාවෙන් කිසි දිනෙක නොසේදී යන දැවැන්ත කළු පැල්ලමක් ඉතිරි කරමින්. මෙම අවස්ථාව ලොව පුරා විසිර සිටින රූපවාහිනිය නරඹන මිලියන 900ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නරඹා තිබේ. එය නීල් ආමිස්ට්‍රෝං විසින් සඳ මත පය තබන සජීවි රූපවාහිනි විකාශයට වඩා වැඩි පිරිසක් නරඹා තිබේ.
එමෙන්ම ‘September 5’ වැනි ඓතිහාසික (Historical) ශානරයේ චිත්‍රපටයක් මේ මොහොතේ දේශපාලනික වශයෙන් වැදගත් ය. ඒ වර්තමානයේ ක්‍රියාත්මකවන මිලේච්ජ සහගත පලස්තීන – ඊශ්‍රායල යුද්ධය සමඟ සාම්‍යවන චිත්‍රපටයේ පිළිබිඹු වන ඓතිහාසික කතා පුවත පිළිබඳ නැවත වරක් කරළියට පැමිණීමයි. පලස්තීන – ඊශ්‍රායල ගැටුම අනාදිමත් කාලයක සිට පැවතෙන චිත්‍රපටයේ මෙම සිදුවීම සනාථ කරයි. ‘September 5’ ලෝක විකාශන මාධ්‍ය ඉතිහාසයේ ඛේදජනක වංශකථාව සිනමාත්මක ප්‍රතිනිර්මාණය කිරීමකි. එය විද්වත් ප්‍රේක්ෂකයාට මඟ හැර යා නොහැකි තත්කාලීනව උගත යුතු පාඩම් රැසකින් සකස් වී තිබීම වැදගත් සාධකයකි.
ඉමල්ක විතානගේ