Home » ජනතා කිරුළේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා

ජනතා කිරුළේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ වාණිජ නිෂ්පාදනවල වේවා, වඩාත් කලාත්මක සිනමා නිර්මාණවල වේවා දැවැන්තමයා වූයේ ගාමිණී යැයි මම අදහස් කරමි. හුලවාලියෙන් මවාපෑ චරිතයත් ඊට ඉඳුරාම පටහැනිව යුගාන්තයෙන් ඉදිරිපත් කළ සවිමන් කබලානගේ චරිතයත්, නිධානයෙන් රංග ගත වුණු කුලීන අද්භූත ඝාතක චරිතයත්, පරසතු මල් බොනි මහත්මයාගේ සංකීර්ණ දයාන්විත චරිතයත් සරුංගලේ දමිල මහත්මයාගේ චරිතයත් යනාදී නානාවිධ රංගන නිර්මාණයෙහිලා ඔහු සතුව තිබුණු කුසලතාවය අනිත් කිසිවකුට නැත්තේය. තවත් එවැනි අවස්ථා බොහෝය. ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් වෙනම පැවැත්වීම අවශ්‍යය.”

තවත් ගාමිනී ෆොන්සේකා කෙනෙක් කවදා හෝ උපදීද? සදාකාලයටම ගාමිණී ෆොන්සේකා කෙනෙක් නැවත බිහි වේවිද? ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉහතින් සඳහන් කරලූයේ ගාමිණි ෆොන්සේකා පිළිබඳ සඳහන් කර තිබූ සටහනකි.

මේ සටහන කියවද්දී ඉන් එහාට යමක් තවත් කෙනෙකුට සටහන් කරන්නට ඉතිරි කර ඇත්දැයි යන්න මට සිතාගත නොහැකි විය. ගාමිණි ෆොන්සේකා නම් ඒ අග්‍රගණ්‍ය රූපණවේදියාගේ සමස්තය එතුමන් මෙකී වචන ස්වල්පයෙන් අපූරුවට සටහන් කොට තිබිණ.

ගාමිණී රූපණවේදයේ අග්‍රගණ්‍ය වූවා සේම මෙරට බිහි වූ දැවැන්තම සුපිරි තරුවද වූයේ ය 1936 දෙහිවල දී උපත ලැබූ ඔහුට නම් තබන ලද්දේ සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකා යනුවෙනි. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබනුයේ දෙහිවල ප්‍රෙස්බෙටේරියන් බාලිකා විද්‍යාලයෙනි. පසුව ද්වීතීය අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත්තේය පාසල් වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබූ ඔහු මුල්වරට මයුරි නම් පාසල් නාට්‍යයේ ගැහැනු චරිතයන් රඟපෑවේය.

ගාමිණී සිය සිනමා ගමන් මඟ ආරම්භ කරනුයේ සිනමා කාර්මික ශිල්පියෙකු වශයෙනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් කටයුතු කරමින් සිටියදී ඔහුට එහි සුළු දර්ශනයකට පෙනී සිටීමේ අවස්ථාව හිමි විය ඒ රෝගියෙකු ලෙසිනි. ගාමිණී චිත්‍රපටයක උප ප්‍රධාන චරිතයක් මුල්වරට රඟපානුයේ දෛවයෝගය චිත්‍රපටයේය. ඒ මානමුලගේ චරිතයය.

ගාමිණීට සිය රංගන ප්‍රතිභාවට එහා ගොස් සිනමාවේ කාර්මිකත්වය පිළිබඳ මනා පරිචයක් ලබා ගැනීමේ අවස්ථා රාශියක් හිමි වූයේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව සේම ලොව ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ගාමිණීට හිමි විය. The Bridge on the River kwai නම් ලොව ප්‍රකට චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වීමේ භාග්‍යය ඔහුට ලැබිණ.

ඔහු රඟපෑ බොහෝ චරිත නිරූපණයන් අතිශයින්ම සංකීර්ණය. තවත් විටෙක ඒවා මෙරට සිනමාවට පැමිණි ප්‍රතිවීර චරිතයන්ගේ මූල බීජයන්ය. ඒවා එකින් එක ගැන විග්‍රහ කළ විට සියල්ල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. ගැටවරයෝ, ධීවරයෝ, චණ්ඩියා, පරසතුමල්, රන්මුතුදූව, ගම්පෙරළිය, වැලිකතර, නිධානය, හුලවාලී, අමල් බිසෝ, සරුංගලේ, සාගරයක් මැද, යුගාන්තය ආදී වූ චිත්‍රපට රැසක් මේ මොහොතේ මතකයට නැගෙයි. මෙකී චිත්‍රපටයන්හි ඔහු කළ විශිෂ්ට රංග භූමිකාවන් ඔහු මෙරට අග්‍රගණ්‍ය නළුවා බවට පත් කිරීමට තරම් ප්‍රමාණවත්ය.

මෙකී චිත්‍රපටයන්හි ඔහු පෑ රූපණවේදයට සමාන්තරව ඔහු ජනප්‍රිය සිනමාව තුළ දැවැන්ත පෞරුෂයක් නිර්මාණය කළේය. කොටින්ම කියතොත් ලාංකේය සිනමාවේ සුපිරි තරුව ඔහු බවට පත් වූයේය. සුර චෞරයා, ආත්ම පූජා, සූරයන්ගේත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, කවුද රජා, හතරදෙනාම සූරයෝ ආදිය අදටත් ජනප්‍රසාදය දිනාගත් නිර්මාණ බවට පත්වන්නේ ගාමිණිගේ රංගන පෞරුෂය නිසාය.

ගාමිණී සිනමා නළුවකු ලෙසින් පමණක් නොව සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් ද ප්‍රකටය. නිල වශයෙන් ඔහු චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කළේය. පරසතු මල් උතුමාණෙනි, මයුරිගේ කතාව, සාගරයක් මැද, බාඳුරාමල්, රෑ මනමාලි, සක්විති සුවය, කොටි වලිගය, නොමියෙන මිනිසුන්, අන්තිම රැය එම සිනමා පටයන්ය.

ජනප්‍රසාදයේ ඉහළම තැනට පැමිණි ඔහු සරසවිය සම්මාන උලෙළ රැසක ජනප්‍රිය නළුවා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

ඒ අනුව ඔහු සරසවිය සම්මාන උලෙළේ පාඨක ඡන්දයේ ඇරුඹුණු ආරම්භක ජනපි‍්‍රය නළුවා ලෙසින් 1966 දී සහ ඉන්පසු 1967, 1968, 1969, 1970, 1980, 1981, 1982 යන වර්ෂවලදී පැවැති 3,4,5,6,7,8,9,10 වැනි සරසවිය සම්මාන උලෙළවලදී සරසවිය ජනපි‍්‍රය නළුවා විය. සරසවිය ආරම්භක සම්මාන උලෙළින් ගම්පෙරළිය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ගෞරව සම්මානයන් දිනාගත් ඔහු දෙවැනි සම්මාන උලෙළින් හොඳම නළුවා (ධීවරයෝ) 1967 හොඳම නළුවා (පරසතුමල්) 1968 හොඳම නළුවා (සොරුන්ගෙත් හොරු) 1980 හොඳම නළුවා (සරුංගලේ) 1982 හොඳම අධ්‍යක්ෂණය (සාගරයක් මැද) 1986 හොඳම නළුවා (යුගාන්තය) 1994 හොඳම අධ්‍යක්ෂණය (නොමියෙන මිනිසුන්) සඳහා සරසවිය සම්මාන හිමිකර ගත්තේය.

1989 වසරේදී දේශපාලනයට සම්බන්ධ වන ඔහු මහ මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණේය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය කථානායක ධූරය ද හෙබ වූ ඔහු පසුව ඉන් ඉවත් වී පොදු ජන එක්සත් පෙරමුණු රජයේ ආරාධනයෙන් උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධුරයද හෙබවූයේය. ජීවිතයේ අවසාන භාගයේදී සියල්ලගෙන් සමුගෙන ඉතා නිහඬ දිවියක් ගෙන ගිය ඔහු වසර 2004 දී සියල්ලෙන් සමුගෙන සදාකාලික නින්දට ගියේය.

 

සේයාරුව දයාන් විතාරණ

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT