Home » චොකලට් එපාවනතුරු එකම දර්ශනය කළා

චොකලට් එපාවනතුරු එකම දර්ශනය කළා

ළමා රංගන ශිල්පී ගමගේ සෙනුත් තෙව්ජාන්

by Thanushika
August 14, 2025 12:50 am 0 comment

චිත්‍රපට අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ, ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු හා මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන ලද හවුස් ෆුල් චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානය දිනා ගත් චිත්‍රපටයකි. එය සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ හැත්තෑ පස්වැනි චිත්‍රපටය ද වේ.

හවුස් ෆුල් චිත්‍රපටයේ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත් චරිතයක් වූයේ එහි ප්‍රධාන ළමා නළු චරිතය වූ තරුෂ පුෂ්පකුමාර චරිතයය. ඊට පණ පොවනු ලැබූයේ ගමගේ සෙනුත් තෙව්ජාන් පුතු ය. රංගනයට, නර්තනයට, නිවේදනයට පමණක් නොවේ ක්‍රීඩාවටත් හැකියාවක් ඇති සෙනුත් තෙව්ජාන් මේ ඔස්සේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටී.

මුල්වරට අවුරුදු කුමරා තරගයක් ඔස්සේ ජන අවධානය දිනා ගන්නා තෙව්ජාන්, ලාල් ප්‍රියදේව මහතාගේ මුණ ගැසීම ඔස්සේ හවුස් ෆුල් චිත්‍රපටයේ තරුෂ පුෂ්පකුමාර චරිතය නිරූපණයට අවස්ථාව හිමි කර ගනී.

අනාගතයේ රංගන ශිල්පියෙන් වන්න ද කැමැති ?

ඉගෙන ගන්නවා වගේම මේ දේවල්වලටත් මම ගොඩක් කැමැතියි. අනාගතයේ නර්තන ගුරුතුමකු විදියට වැඩ කරන්න තමයි ගොඩක්ම ආස. දැනට මම ඉගෙන ගන්නෙ මාලඹේ ආදර්ශ පිරිමි විදුහලේ හය වැනි වසරේ. රංගනයටත් මම ගොඩක් ආසයි. ඒ නිසා ඉගෙනුම ලබන අතරේ බාහිර කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

මුල් වරට චිත්‍රපටයක රඟපාද්දි රංගනය ගැන බයක් දැනුණෙ නැද්ද?

නෑ. මට එහෙම දැනුණෙ නෑ. කොහොමත් මම ඕන දේකට ඉදිරිපත් වෙන්න කැමැතියි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව මාමා මට ගොඩක් මඟ පෙන්නුවා. කරන්න ඕන දේවල් ගැන කියා දුන්නා. පිටපතත් මට දුන්නා හොඳීන් බලන්න. කවදාවත් දෙබස් කටපාඩම් කරන්න එපා කියල කියා දුන්නා. පිටපතේ තිබෙන දෙබස් බලල ඒකේ අර්ථය හොඳට හිතට ගන්න ඊට පස්සෙ දෙබස් ටික කියන්න කියල කියා දුන්නා. ඒ දේවල්වලට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

කැමරාව ඉදිරියේ කටයුතු කරද්දි මොනවද සෙනුත්ට ලැබුණ අත්දැකීම් ?

අත්දැකීම් ගොඩක් ලැබුණ. ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. චිත්‍රපටයක වැඩ කරන විදිය ගැන. ගොඩක් වෙලාවට එකම දර්ශනයක් වුණත් වාර ගණනාවක් රූගත කරන්න වෙන අවස්ථා තිබුණ. ඒ වගෙ එකක් කියන්නද,

ඒ චිත්‍රපටයේ එක දර්ශනයක තියෙනව පෙට්ටි කඩේක කෙනෙක් එක්ක චොකලට් එකක් කමින් කතා කරන්න ඕන. ඒ වුණත් ඒ දර්ශනය එක පාරින් ම ගන්න ලැබුණෙ නෑ. ඒ දර්ශනය අවස්ථා කීපයකදි රූගත කරන්න වුණා. ඒ හැම වාරෙකම මට නැවත නැවත චොකලට් කන්න වුණා. කොච්චර චොකලට් කන්න ආස වුණත් එදා නම් එපා වුණා. හැබැයි ඒව ඔක්කොම මට වැදගත් අත්දැකීම්. තවත් අවස්ථාවක් තිබුණා මේ චිත්‍රපටයේ හරකෙක් දක්කාගෙන යන දර්ශනයක්. ඒ දර්ශන තලයට ගෙනා ගවයා හදිසියේම කුලප්පු වෙලා ඒ මේ අත දුවන්න ගත්තා. ගවයා අරගෙන ආ මාමාටවත් පාලනය කර ගන්න බැරි වුණා ඒ වෙලාවෙ චිත්‍රපටයේ වැඩකරමින් හිටපු හැමෝටම වැඩ නවත්වලා දුවන්න සිද්ධ වුණා. අන්තිමේදී චිත්‍රපටයේ රඟපාන නළු මාමාටයි ඌව පාලනය කරගන්න හැකි වුණේ. ඒක අපි හැමෝටම අමතක නොවන සිද්ධියක්.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වුණේ කොයි පළාත්වලද ?

බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, වග ප්‍රදේශවල. මාස තුන හතරක් වැනි කාලයක් රූගත කිරීම්වලට ගත වුණා. රූගත කිරීම් ගොඩක්ම යෙදිල තිබුණ මගෙ නිවාඩු කාලවලදී ඒ නිසා පාසලේ වැඩවලට ලොකු බාධාවකුත් වුණේ නෑ රංගන කටයුතුවලින්.

සෙනුත්ගෙ වෙනත් විනෝදාංශ මොනවාද ?

පාසලේ මම ක්‍රීඩාවට ආසයි. චෙස්, ෆුට්බෝල්, රගර්, බැඩ්මින්ටන්, වූෂු වැනි ක්‍රීඩා කරනවා.

ඉනුත් ෆුට්බෝල්, රගර් වැනි ක්‍රීඩාවලට වැඩිපුර කැමතියි. ඒ තරගවලින් ජයග්‍රහණත් ලබාගෙන තිබෙනවා.

සෙනුත්ගෙ ජීවිතයේ ලොකු සිහිනයක් සැබෑ වුණා. ඔයාගෙ යාළුවන්ට මොනවද කියන්න තියෙන්නේ ?

බය නැති කරගන්න ඕන මුලින්ම. බය වුණොත් මුකුත් කරන්න වෙන්නෑ. බය නොවී ඉදිරිපත් වීම වැදගත්. ඒ වගේම අපි උත්සාහවත් වෙන්නත් ඕන. පසුපසට ගියොත් අපට ගොඩක් දේ ලබාගන්න නොහැකි වේවි. ඒ නිසා බාධක මහන්සිය වැනි දේට අපිව පරාජය කරන්න දෙන්න හොඳ නෑ. අපට ආස දේ ලබාගන්න නම් අපි බය නොවී ඉදිරියට ඇවිත් වැඩකරන්න ඕන.

සෙනුත් රූපවාහිනී මාධ්‍යයේත් කටයුතු කරනවා නේද?

ඔව්. රූපවාහිනී නාළිකා කීපයක වැඩසටහන්වලට දෙබස් කැවීමට දායක වෙනවා. ඒවගෙම මට වෙළඳ දැන්විම් තුනකටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඉදිරියේදී ළමා නිවේදකයකු විදියට වැඩ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT