රැජනක වන්නට පින් පුරන්නට ඕනෑය. ආත්ම ගනණාවක සිට ඈ එසේ පින් පුරන්නට ඇත. මේ රැජිනට රන් රිදී මුතු මැණික් ආදි වූ වස්තූන් නැත. එහෙත් ඊටත් වටිනා වූ මිලකල නොහැකි සම්පතකට ඈ හිමිකම් කියන්නීය. ඒ ඈ සතු වන්නවූ අති රමණීය, මන මෝහණීය කටහඬය. ඈ මෙරට ගීත ක්ෂේත්‍රයේ කිරුළ පලන් රැජින ලතා වල්පොලය. ලතා වල්පොලලා ඇත්තේ ලොවටම එක් කෙනෙකි. ඒ හඬ හිමි ගායිකාවක් ඉන්පෙර සිටියේ නැත්තා සේම ඇගෙන් පසු බිහිවූයේද නැත. වර්තමානයේ නැත්තාසේම අනාගතේ බිහිවේයැයිද සැක සහිතය. එබැවින් අපට ඇත්තේ එකම එක ලතා වල්පොල කෙනෙකි. අද ඈ සිය ජිවන ගමන් මගේ 90 වැනි වියට පා තබන්නීය. එවන් දිර්ඝායුෂ විඳීන්නට සේම මේ දක්වාම සුවහසක් ගීත ලෝලින් නලවන්නට හිමිවු ආදරණීය කටහඬ පෙරදා මෙන්ම මේ මොහොතේත් අප සවනට මී බිඳු වත් කරන්නට තරම් පින්වන්තය. ගීත ක්ෂේත්‍රයේ රැජින වූවා සේම ඈ තම පෞද්ගලික ජිවිතයේද රැජනක වන් මවක වූවාය. ජිවන ගමනේ අනේක විධ දුක් පීඩා මැද ඉන්ද්‍රඛීළයක් මෙන් නොසැලී සිටිමින් තම දරුවන්ට ආදරණීය අම්මා කෙනෙකු වූ ඇය අද සිය ජිවිතයේ සන්ධ්‍යා භාගය සිය දරු මුනුපුරු, මි මුණුපුරු මිණිබිරියන්ගේ සෙවණේ ආදරය ලබමින් පසුවන්නීය. ඉඳීන් ඈ ඇගේ නිවසේ මෙන්ම පරම්පරාවේද රැජින නොවන්නේද?
අනු වැනි වියට සම්ප්‍රාප්ත වුවද, ඇගේ සිතුවිලි තවමත් තරුණය. අදටත් මේ නිවසට ගොඩවන අපට ඇගේ ආගන්තුක සත්කාර විඳීන්නට සිදුවන්නේ ඈ අතින්මය. මේ විරල වාසනා ගුණය ඈ සතුවන්නාසේම, එදා මෙන්ම මිහිරිව මුමුණන ගීයක හඬ ද ඒ අතුරින් අපට ශ්‍රවණය කළ හැකිය.
ආදරයේ….
රන් විමණේ
මැණික් සඳක් පායලා…..
පායලා…..
ඈ පෙරදා මෙන්ම ගයයි. ගතින් වියපත් වුවද ඒ හඬ පෙරදා මෙන්ම තරුණය. එදා දැනුණ ආදරයේ මිහිර ඒ හඬින් තවමත් අප හදවත් වලට දනවන්නට සමත්ය.
ඈ ඉපදුණේ 1934 නොවැම්බර් 11 වැනිදාවකය. මේ උදා වන්නේ ඇය සිය අනුවෙනි ජන්ම දිනයට සම්ප්‍රාප්ත වන මොහොතය. මේ පසුකර පැමිණි දශක ගනණාව පුරා ඇය පසුකර ඇවිත් ඇත්තේ ඉලක්කම් ටිකක් පමණක් කියා මට සිතෙන්නේ තවමත් තරුණ ඇගේ සිතුවිලි වචන බවට පරිවර්තනය වී මා සවන් පත් පුරවන බැවිනි. සැබවින්ම වයස ඇයට ඉලක්කමක් පමණි. මෙරට සිනමා ඉතිහාසයේ තුළ ඈ අමරණීය නාමයක් රැන්දු ගායන ශිල්පිණියකි. මෙරට පහල වූ ගායිකාවන් සේම, ඈට සමගාමීව පැමිණි දකුණු ඉන්දීය ගායිකාවන්ද ඇයට අභියෝගයක් නොවූයේ ඈ සතුවු සුවිශේෂි හඬ පෞරුෂය නිසාවෙනි.
ලතා වල්පොල උත්පත්තිය ලබන්නේ කොළඹ බම්බලපිටියේ ‘ධවලගිරි’ නිවෙස උත්පත්ති ස්ථානය කොට ගෙනය. ඇගේ පියා සිංහල කතෝලික පවුලකින් පැවත ආ ජෝශප් ලීනස් ප්‍රනාන්දුය. ඇගේ මව දකුණින් පැමිණි කාන්තාවක වූ එලිසබෙත් මියුරියෙල්ය. ඇය කන්‍යාරාමයක ගුරුවරියක් වූවාය. මේ දෙදෙනාට දාව උපන් ලතා ගේ උප්පැන්නයේ සඳහන් නම වන්නේ රීටා ජෙනිවි ප්‍රනාන්දුය.
රීටා බහ තෝරන වියේ සිට ම සංගීතය ප්‍රිය කළාය. දැඩි කතෝලික භක්තික පවුලක් වූ ඔවුන්ට නිවෙස තරම්ම පල්ලියද සිය ජීවිතයට සමීප ස්ථානයක් වූයේය. ඉතාම කුඩා කාලයේ සිටම මවගේ අතේ එල්ලී පල්ලියට ගිය ජෙනවි එහි ගීතිකා කණ්ඩායම ලතින් බසින් මුමුණන ගීත නිවෙසට පැමිණ මුමුනනන්ට පටන්ගත්තාය. මේ ඇසු ජෙනවි ගේ මවට ‘කෙල්ල කවදහරි ගායිකාවක් වේවිද දන්නේ නැයි සිතුණ වාර නම් අනන්ත විය.
අම්මාගේ සිතුවිල්ල නිවැරැදි විය. දිනෙන් දින මෝරා වැඩෙන සිය දියණියගේ හැකියාවන්, දක්ෂතාවයන් දෙස ජෙනවිගේ මවද බලා සිටියේ මහත් වූ උනන්දුවකිනි. මේ හැකියාවන් හඳුනා ගත් ඇගේ අසල්වැසියකු වූ විල්මන් අයියා සින්දු පුරුදු පුහුණු කරන තැනකට ජෙනවි රැගෙන යන්නෙමියි කියමින් සංගීතඥයෙකු, නළුවෙකු මෙන්ම ගුවන්විදුලි ගායකයකු ද වූ සී. ඒ. ෆොන්සේකාගේ නිවෙසට රැගෙන ගියේය. සී. ඒ. ෆොන්සේකාට දරුවන් පස් දෙනෙකු විය. සී. ඩි. ෆොන්සේකා සහ අර්වින් ෆොන්සේකා එකල ඔවුන් අතර ජනප්‍රිය වි සිටියේය. සී. ඒ. ෆොන්සේකා. තම දරුවන් පස් දෙනා සමඟ එක්වී ගයන ගීත එකල එවකට මසකට වරක් ගුවන් විදුලියෙන්ද ප්‍රචාරය විය. ජෙනිවි රැගෙන ගියේද මේ සී. ඒ. ෆොන්සේකා ළඟටය. ඒ අනුව ජෙනවිට සී. ඒ. ෆොන්සේකා ගේ දරුවන් සමග මුල්වරට ගුවන් විදුලියෙන් අත්වැල් ගායනයට එක් වන්නට අවස්ථාව ලැබිණ.
1947 වසරේදී ජෙනවිට තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වූයේය. ඒ එවකට ගල්කිස්සේ පදිංචිව සිටි දක්ෂ වයලීන වාදකයකු සේම ගායකයකු ද වූ වින්සන් ද අල්විස් නිසාය. එවකට ප්‍රසිද්ධ ගායකයකු වූ සුසිල් ප්‍රේමරත්න ගේ සංගීත වැඩසටහන්වල වයලීනය වාදනය කළේද ඔහු විසිනි. ජෙනවිගේ පවුලේ හිතවතකු වූ වින්සන් ද අල්විස් ඇගේ දක්ෂතාවයන් දැන හඳුනාගෙන සිටි බැවින් ඇයට ගීතයක් ගායනා කිරිමේ අවස්ථාව උදාකර දුන්නේය.
සරත් විමලවීර විසින් රචනා කරන ලද එම ගීතය ‘ කඳුළු දෙනෙතේ වෑහෙනා ‘ නම් විය. වින්සන්ද අල්විස් සමඟ ගුවන්විදුලියට ඇය ගැයූ ප්‍රථම ගීතය වූ මෙය සංගීතවත් කළේ එඩ්වඩ් පෙරේරා විසිනි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 13 කි. ඇගේ කටහඬේ තිබුණු සුගායනීය මිහිරියාව හඳුනා ගත් සී. ඒ. ෆොන්සේකාද ජෙනවිට සිය පුත් අර්වින් ෆොන්සේකා සමඟ ගයන්නට ‘මරිය මව් බැති ගීතයක් සාදා දුන්නේය. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු වු කාලිදාස කුරුකුලසුරිය විසින් රචිත මේ ගීතය 1947 දී ජෙනවි ගුවන්විදුලියට ගායනා කළාය.
නමෝ මරියනි
නමෝ මරියනි
නමෝ මරියනි ප්‍රසාද පුර්ණවන්තිනී
වාසනාව පසුපස එන්නාක් මෙන් ජෙනවිටද ජනප්‍රිය ගායක සුසිල් ප්‍රේමරත්නයන් සමඟ ගීත ගයන්නට අවස්ථාව උදා වූවාය. ජෙනවිගේ කටහඬ පරික්ෂා කරන්නට සුසිල්ට උවමනා විය. ඇය ඒ වෙනුවෙන් ගායනා කළේ ලතා මංගේෂ්කාර් විසින් ගායනා කරන ලද හින්දි ගීතයකි. සුසිල් ප්‍රේමරත්නයන් ඇගේ හඬට වශි වූයේය. එහෙත් ඇගේ රීටා ජෙනවි යන උප්පැන්නයේ සඳහන් නමට ඔහු නොකැමැති විය. ඔහු පැවසුවේ රීටා ජෙනවි යන නම කලා ලෝකයට නොගැළපෙන බවය. සුසිල් එතැන් සිට රීටා ජෙනවි ‘ලතා ප්‍රනාන්දු’ ලෙස හැඳීන්වුයේය. එතැන් පටන් සුසිල් ප්‍රේමරත්නයන් හා ලතා ප්‍රනාන්දු අතර වූ සංගීත සංයෝජනය ලතාට මේ මාර්ගයෙහි බොහෝ දුර යන්නට පිටිවහලක් වූයේය.
ලතා ගේ සංගීත දිවිය අධ්‍යයනයේදි ඇය කිසිදු ගුරු කුලයකින් අධ්‍යයනයක යෙදි හෝ පුහුණුවක යෙදි හෝ ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගෙන පැමිණියකු හෝ නොවන්නේය. එහෙත් ඇගේ ගායන ශෛලින්, ගායන හැකියාවන්, ස්වර පරාසයන් පිළිබඳ විමර්ශනයේදී එවන් අධ්‍යයනයක නියුතු වූ හෝ එවන් ගුරු කුලයකින් පැමිණියෙකුටත් වඩා ඇගේ ගායන හැකියාවන්, ශෛලින්, හඬ පරාසයන් ශාස්ත්‍රීයයි. අධ්‍යයනශීලිය. ලතා සිය ගුරු තනතුරේ ලා සලකන්නේ සුසිල් ප්‍රේමරත්නයන්ය. ඇය පිළිබද රචනා වූ, දීප්ති ෆොන්සේකා විසින් සම්පාදනය කළ හෙළ ගී රැජින ග්‍රන්ථයේ ඒ පිළිබද මෙසේ සඳහන් වේ.
‘මම සංගීතය හදාරලා නෑ. මට සංගීත ගුරුවරයෙක් හිටියා නම් ඒ සුසිල් ප්‍රේමරත්න පමණයි.’
සුසිල් ප්‍රේමරත්නගේ හඬ පුහුණු කිරීම ලතාව නොසිතු ස්ථානයකට රැගෙන යන්නට හේතුවක් වූයේය. තම ගායන දිවියේ සහාය ගායිකාව බවට ලතා තෝරා ගන්නට තරම් ඇගේ හැකියාවන්, දක්ෂතාවයන්ඈ වර්ධනය කරගෙන තිබිණ. මේ ජනප්‍රිය ගායන ශිල්පියාගේ අතදීම ලතාට ක්ෂේත්‍රයේ ඉහළට යන්නට ඉණිමං බැන්දේය.
සුසිල් -ලතා සුසංයෝගයෙන් දේශීය ගීත ඉතිහාසයට අපුරු නිර්මාණ රාශියක් තිළින වූයේය. ‘සොඳුරු කොමල බඳ සලා, රන්වන් කරලින් පැසිලා, රැ රැසේ අඳීනා ලෙසේ, කළු කැළණි නදී, සෝක නැගේ මිහිරි සුවඳ විහිදුවා, ප්‍රීති මඳුර වූ නාදේ වැනි රමණිය ගී රැසක් මේ නිසා නිර්මාණය විය. ලතා ප්‍රනාන්දු යන නම මේ යුගය වනවිට නිතර දෙවේලේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන්නටද විය. එච්. එම්. වි. තැටිවලට ගී ගැයිමේ වරමද මේ අතරම ලතාට හිමි විය.
සී.ටි ප්‍රනාන්දු මේ වකවනුවේ ජනප්‍රිය තලයේ ගායකයකුව සිටි බැවින් අලුතින් නැඟ එන ලතා ගේ හඬ සමඟ සුසංයෝගයකට ඔහුද කැමැති විය. ඒ අනුව ‘ලෝ අඩ නින්දේ, සැලලිහිණි කොවුල්, මල්බර හිමිදිරියේ වැනි ගීත ඇය සී.ටී. ප්‍රනාන්දු සමඟද ගුවන්විදුලි සරල ගී හා එච්. එම්. වී තැටි සඳහා ද ගායනා කළාය.
ලතා ගී රැජිනක ලෙසින් අදටත් කිරුල පලඳීන්නේ ඇය ගායනා කල චිත්‍රපට පසුබිම් ගායනා සඳහාය. ඇයට චිත්‍රපට පසුබිම් ගී ගායන ක්ෂේත්‍රයට මුල්ම ආරාධනාව ලැබෙන්නේ එසේ මෙසේ පුද්ගලයෙකුගෙන් නොවේ. එවකට චිත්‍රපට බෙදාහැරීමේ මෙන්ම නිෂ්පාදනයේද සුප්‍රකට ආයතනයක් වූ සීමාසහිත සිනමාස් සමාගමේ අයිතිකරු කේ. ගුණරත්නම් ගෙනි. ඒ සුජාතා චිත්‍රපටයට ගීත ගායනා කරන්නටය. එහෙත් තම දියණිය ගායිකාවක වනු දකින්නට කිසිසේත් නොකැමැති වූ ලතා ගේ පියා ඔහුව ප්‍රතික්ෂේප කළේ ලතා ගේ ඉකිබිඳුම් මධ්‍යයේය. එහෙත් දෛවය කිසිවකුට හෝ වෙනස් කල නොහැකිය. වැඩි කලක් නොගොස්ම ඇය සොයා ශාන්ති කුමාර් නම් අධ්‍යක්ෂවරයා ආවේ ‘එදා රෑ’ චිත්‍රපටයට ගීත ගායනා කරන්නට ඇයට ආරාධනා කරන්නටය. එදා ලතාගේ පියා නිවෙසේ නොවූ පිනෙන් ඈ චිත්‍රපට පසුබිම් ගායිකාවක වූවාය.
සිංහල සිනමා ඉතිහාසයේ 17 වැනි චිත්‍රපටය ලෙසින් නම් ලද ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ‘එදා රෑ’ චිත්‍රපටයෙන් ලතා. ජි. ප්‍රනාන්දු චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසින් දොරට වැඩියාය. ලතාට ගායනා කිරිමට තිබුණේ හර්බි සෙනවිරත්න සමඟ යුග ගීයකි. සංගීතය සැපයුවේ මොහමඩ් ගවුස් මාස්ටර්ය. ගී පද මාලා ඩී. ටී. ප්‍රනාන්දුගේය. ඈ මුලින්ම සිය පසුබිම් හඬ දුන්නේ වංශවති දවුලගල නම් නිළියටය.
එහෙත් ලතා චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක වශයෙන් සිය ආධිපත්‍යය පතුරුවන්නේ 1953 මාර්තු 27 වැනිදා තිරගත වූ ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයෙනි. ප්‍රේම තරගය අධ්‍යක්ෂණය කළේ ඉන්දීය අධ්‍යක්ෂවරයෙකු වන ඒ. බී. රාජ්ය. නිෂ්පාදකවරයා වූයේ එස්. එම්. නායගම්ය. මේ චිත්‍රපටය සඳහා ඇයට ගීත 6ක් ගායනා කිරිමට සිදුවිය. යුග ගීත දෙකක් ද වූ අතර එය ගායනා කිරීමට නියමිත වූයේ චිත්‍රපට නළු අරුණ ශාන්ති සමඟය. ලතා සහ අරුණ ශාන්ති ගීත සාර්ථකව පුහුණු කිරීම් වල යෙදුණු නමුත් ගීත පටිගත කිරීමේදී අරුණ ශාන්තිගේ කටහඩ අවදි නොවීය. අවසානයේ සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමි මාස්ටර් ගේ අවසරයෙන් ඊට විකල්පයක් රැගෙන එන්නට තාල තරංග වාදන ශිල්පී එම්. ආරියදාසට හැකිවිය.
ඔහු රැගෙන ආවේ ධර්මදාස වල්පොලය. ලතාගේ අනාගතය යළි යළිත් පරිවර්තන රැසකට ලක් වන්නේ මෙතැන් සිටය.
චිත්‍රපට පසුබිම් ගී ගායන ක්ෂේත්‍රයට ලතාගේ ප්‍රවිෂ්ටය සුවිශේෂීමෙන්ම, එතෙක් ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත කලාවේ එකම හඬ ස්ථාපිත වි තිබීමෙනි. කඩවුණු පොරොන්දුවට ගී ගයමින් සිංහල චිත්‍රපට ගීත ඉතිහාසයේ රැක්මණී දේවිය. ඇය ඒවනවිට ‘කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමාණම, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය, සැගවුණු පිළිතුර, උමතු විශ්වාසය, කැලෑ හඳ, අයිරාංගනී, මතභේදය, පෙරකදෝරු බෑණා, දොස්තර වැනි චිත්‍රපටවල පසුබිම් ගීත ගයා තිබිණ. එසේම ඇය රඟපෑ සියලු චිත්‍රපටවලට පසුබිම් ගී ගැයුවේද ඇය විසිනි. එවන් පසුබිමක චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට ගායිකාවකගේ අඩුවක්, රික්තයක් තිබුණු බව පැහැදිලි කරුණකි. මේ බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය ‘සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956) ග්‍රන්ථයේ සඳහන් කර තිබුණේ මෙපරිද්දෙනි.
‘රුක්මණී දේවි නිළි ගායිකාවක වීම නිසා ඇය රඟ නොපෑ චිත්‍රපටවලට ගායිකාවක අවශ්‍ය වී තිබුණේය. ඒ රික්තය පුරවන්නට යෙදුණේ ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයෙන් ප්‍රවිෂ්ට වූ ලතා විසිනි. සිංහල නොදත් දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරු සහ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ගැයීමට සිදුවුවද ඇය සිය ගායන කුසලතාවය නොමදව විදහා දැක්වූවාය. ඇය සතුව තිබුණේ චිත්‍රපට පසුබිම් ගායනයටම යෝග්‍ය වු හඬ පෞරුෂයකි. ස්වර සප්තකත්‍රයෙහිම පහසුවෙන් ගමන් කළ හැකි තියුණු තාරතාවයකින් යුතු හඬකි. මතු දැක්වෙන ගීත ඊට හොඳම උදාහරණ සපයන්නේය. ‘හොඳ හොඳම වේය ලොව, (ප්‍රේම තරගය) ප්‍රේමයේ චන්ද්‍රයා, ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ, (අහංකාර ස්ත්‍රී) පෙම් ලෝකේ නයන රසී, මිහිර පෙන්වා දී ආලේ පෑ, මා හදේ (රදල පිළිරුව) ඉවසන හදේ, දිනිදා උදය, සඳ කොමලි තරු පිරි වරලා, පෙම් මාලා ගොතා ගෙලේ, සුලලිත වූ කලා මිහිරෙන් (මාතලන්) පෙරදිග මුතු ඇටයකි මේ, මාව හංගා වනේ, හැබැවේ සිහිනය මාගේ, පෙම් රාජ්‍යයේ, ලොව සෙත සතර (ඩිංගිරි මැණිකා) පුරහඳ ලෙස මම බබළනවා, ඉගිබිගි පාලා කුල්මත් විලා, (දුප්පතාගේ දුක) සීගිරි ළඳකගේ මල් වට්ටියේලා (රේඛාව) ප්‍රේම තරගයෙන් පසු ලතාගේ ගායන ලතාව මෙරට චිත්‍රපට පසුබිම් ගී ක්ෂේත්‍රය පුරා පැතිර ගියේය. ධර්මදාස වල්පොල සමඟ යුග ගායනයට ප්‍රථමයෙන් එක්වු ඇය පසුව ලතා – ධර්මදාස යුගයක් නිර්මාණය කරන්නට ආරම්භක පියවර තැබුවාය. ප්‍රේම තරගය චිත්‍රපටයේ ගීත තුඩ තුඩ රැව්දෙන්නට පටන් ගත්තේ මේ නැවුම් ගී හඩ පිළිබඳ අවධානයද යොමු කරමිනි. එවකට මෙරට ප්‍රවීණ සිනමා විචාරකයකු වන ජයවිලාල් විලේගොඩ දිනමිණ පුවත්පතට ලිපියක් ලියමින් කෙදිනක හෝ මේ කටහඬ හිමි ගායිකාව ලංකාවේ ජනප්‍රියතම ගායිකාවක් බවට පත්වන බවට අනාවැකි ද පළ කළේය.
ඒ අනාවැකි සත්‍ය බවට පත් කරමින් දවසින් දවස ලතාට චිත්‍රපට ගීත එන්නට විය. ගීත පටිගත කිරීමට ඉන්දියාවට යන්නට පවා සිදුවිය. මේ සියල්ල පසුපස ඇගේ සෙවණැල්ල වූයේ සිය මවය. පියාගෙන් ඊට කිසිදු බුරුලක් නොවීය. ඉන්දියාවේ ගීත පටිගත කිරීමකට සිය මවත් සමඟ හොර රහසේම ගිය ලතාට ආපසු පැමිණෙන විට හිමි වූයේ සිසීකඩ විසිරුණු පවුලකි. පියා දැඩි ලෙස කෝපවී සියල්ල ගිනිබත් කර තිබූ අතර ජීවත් වීමට නිවහනද අහිමිව තිබුණි. ඇය යළි ජීවිතය ගොඩනඟා ගත්තේ සින්දු කීමෙන්ම උපයා ගත් මුදලිනි. ඒ තරම් ශක්තිවන්ත සිතක් සහ ආත්ම ධෛර්යයක් ඇය සතුව තිබිණ. පසු කලක තමන් උපයා ගත් ධනයෙන් සිය මවුපියන් සහ සහෝදර සහෝදරියන්ටද කෘතවේදීව සලකන්නට තරම් කරුණා බර හදවතක් ද ඇයට වූවාය.
ලතා -ධර්මදාස සුසංයෝගය සිනමා ගීත ඉතිහාසයේ රන් සලකුණක් සලකුණු කළේය. චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ පමණක් නොව ඉන්පසුව සිය පෞද්ගලික ජිවිතයේද ජීවන ගීතය ගයන්නටද ධර්මදාසවම ලතා තෝරා ගත්තාය. මේ සුසංයෝගයෙන් නිර්මාණය වූ ගී නිර්මාණ සේම ඔවුහු දෙපළ ආදරණීය දූදරු පිරිසක්ද මෙලොවට බිහිකළෝය. සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද දු දරුවෝ සියල්ලෝම මවුපිය අඩිපාරේ යමින් විවිධ දක්ෂතා සංගීත අංශයෙන් ප්‍රකට කළෝය. ඔවුන් සිවු දෙනාම සිය පවුලට සම්බන්ධ කරගත් සාමාජික සාමාජිකාවන්ද ඒ හා සමානවම සංගීතයට ආලවන්තයෝ වූහ. එසේම වර්තමානයේ ඇගේ මුනුපුරු මිණිබිරියන්ද ඈ සෙවණින්ම ආශිර්වාද ලබමින් මේ ගමන් මගේ සාර්ථකව පියමං කරන්නේය. ඇගේ මුණුපුරු, මහින්ද හා ධම්මිකා ගේ පුතු තිසර සහ ඔහුගේ දයාබර බිරිඳ ක්‍රිස්ටිනා මේ පරපුරේ වත්මන් ජනප්‍රිය තාරකාවන්ය.
ගෙවුණු ඉතිහාසය පුරාම ඈ සංගීතයට කැපවුණු ගී රාජිණිය වූවාය. පසුබිම් ගීත ක්ෂේත්‍රයේ පමණක් නොව සරල ගීත, කැසට් ගීත සේම ඒක පුද්ගල ප්‍රසංග කලාවේද ඈට සම කරන්නට තවත් ගී රැජිනක් අපට නැත.ඉතිහාසය කියවීමේදි ඈ පළමුවෙන් පසුබිම් ගීත ගැයු වංශවතී දවුලගල, අයේෂා වීරකෝන් වැන්නන්ගේ පරපුරේ සිට අද මේ මොහොතේ සිනමාවේ ජනප්‍රිය තරු දක්වාම ඈ පසුබිම් ගායනයේ යෙදුනාය.
නොවෙනස් ඇගේ ගී හඬ සැබවින්ම ඇයට ලැබුණු දෙව් ආශීර්වාදයකි. ඒ දේව ආශීර්වාදයෙන් ලාංකේය සිනමා කෙතට තිළිණ වූ ඇය එක්තරා අන්දමකට මෙරට ජාතික වස්තුවකි. ඉන්දියාවේ ලතා මංගේෂ්කාර් එරටට කෙතරම් වැදගත්ද, ඒ හා සමානවම අපට අපේ ලතා වැදගත්ය. ඇය අද කල් හරිනුයේ සිය දරු මුනුපුරු මිණිබිරියන් මී මුනුපුරු මිණිබිරියන් ගේ ආදරය මැද්දේය. අද මේ මොහොතේත් ඒ මුවඟින් මිමිනෙන මිහිරි ගී නාදය සමඟ ඇය තෘප්තිමත් ජිවිතයක් ගතකරමින් සිටි. දරුවන්ගේ දරුවන් පමණක් නොව මුනුපුරු මිණිබිරියන්ගේ දරුවන්ද බලන්නට පිනැත්තියක වූ ඇය ජිවිතයේ මහා වෙහෙසකර ගමනක් පුරා දශක නවයක් තිස්සේ, සිය රමණීය ස්වරයම කරනකොට ගනිමින් , කිත් පැසසුම් බුහුමන් ලබමින් ගෙවා දැමුවාය. එළඹෙන 11 වැනිදා සිය ජිවිතයේ අනුවෙනි වියට එළඹෙන මෙරට චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ රන් ස්වරයට, හෙල ගී රැජිනට දිර්ඝායුෂ විඳීන්නට ආශිර්වාද එක්කරමි.
චිරං ජයතු ගී රැජිනියනි!
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න