නළුවෙක් වෙන හීනයක ඉන්න තරුණයෙකුගේ ජීවන අන්දරය පසුබිම් කර ගනිමින් නැවුම් තේමාවකින් අලුත් විදියේ සංකල්පයකින් රිදී තිරයට ආපු චිත්‍රපටයක් තමයි ‘අයිස්ක්‍රීම්’ කියන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘දුදු’ ජීවත්වෙන්නේ පැල්පත් නිවාස සංකීර්ණයක. ස්ථිර රැකියාවක් නොමැති, එදාවේල හොයා ගන්න නොයෙක් දහම් ගැට ගහන ඔහුගේ හීන ලෝකයේ සිනමා නළුවෝ විවිධ අයුරින් දිගහැරෙනවා. සැබැ ලෝකයත් කල්පිත ලෝකයත් අතරේ ‘දුදු’ සැරි සරන්නේ කල්පිත ලෝකයේ නිතරම අතරමං වෙමින්.
දුදුත් එක්ක මේ පැල්පත් නිවාස සංකිර්ණයේ ජීවත්වෙන තවත් චරිත ගණනාවක ජීවන වතගොත තිරයට නැගෙනවා. මේ ඔක්කොම අපි දකින්නේ ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටය හරහායි. අයිස්ක්‍රීම් සිනමාවට නැගෙන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සේම, නිවේදකයකු ලෙසටත් නමක් දිනාගත් ප්‍රදීප් ධර්මදාස විසිනුයි. ප්රදිප්ට අයිස්ක්‍රීම් තිරයට ගේන්න ආර්ථික හයිය වුණේ අපේ රටේ තවත් සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයෙකු සහ ඔහුගේ ආදරණිය බිරිඳ. මෙරට දේශිය වෛද්‍ය ක්ෂේත්රයේ කැපි පෙනෙන නමක් හිමි ‘ප්‍රාණජීව’ ඖෂධ සමාගමේ වෛද්‍ය සුජිව සහ කෝකිලා විතානගේ නිෂ්පාදන දායකත්වයෙන් පසුගියදා අයිස්ක්‍රීම් සිනමා පටය තිරයේ දිග හැරිණ.
චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා යන්න අද කාලයේ හැටියට එසේ මෙසේ දෙයක් නොවේ. වර්තමාන පිරිවැයත් සමඟ සිනමා පටයක් නිපදවීමට සුවිශාල ධනයක් ඒ වෙනුවෙන් වැය කළ යුතුය. ලාභ ලබන ව්‍යාපාර කොතෙකුත් තිබියදී සිනමාව වැනි මාධ්‍යයකින් සරල ලෙස ලාබ ලැබිය නොහැකි ව්‍යාපාර බව දැන දැනත් කෙනකු ඒ වෙනුවෙන් තම ධනය යොදවනවා යන්නෙන් පැහැදිලි වන්නේ එය හුදෙක් මුදල් ඉපයිමම පරමාර්ථ කරගෙන සිදු නොවන්නක් ලෙසයි.
අපේ කතා නායිකාව වන අයිස්ක්‍රීම් චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන කෝකිලාද චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට එක් වනුයේ හුදෙක් ලාභ ලැබීමේ අරමුණකින් නොවේ. කෝකිලා සැබවින්ම සිනමා මාධ්‍යයට ආධුනිකයෙකි.
ඇගේ විෂය හෝ සිනමාව පිළිබඳ දැනුමක් හෝ, මින්පෙර මෙවන් අත්දැකීමක් හෝ ඇයට තිබි නැත. එහෙත් කෝකිලා යනු දිර්ඝ කාලයක් පුරා සිය ජීවන වෘත්තාන්තය තුළ ‘කලාව’ යන්න ඉතා සුරැකිව ආදරය කරමින් පරිස්සම් කර ගත්වයකි. උත්පත්තියේ සිට කලාවට ඇතිවූ ඒ ළෙන්ගතුකම් මෙවන් නිර්මාණයක් කලාවට දායාද කරන්නට ඇයට උත්තේජන සපයන්නට ඇති.
ඉතින් අපි කෝකිලාගෙන් අහමු. ඇගේ ජිවන ගමන් මඟ තුළ කලාවට ඇති සබැඳීයාව. චිත්‍රපට නිෂ්පාදිකාවක වශයෙන් ඇගේ අනාගත බලාපොරොත්තු.
“ඇත්තටම මම චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙනවත්, ජනප්‍රිය වෙන්න තිබෙන උවමනාවත් නොවෙයි. හදවතින්ම කලාවට තිබෙන කැමැත්ත නිසාම තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හිතුවේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රදීප් ධර්මදාස මගේ ඥාති සොයුරෙක් වීමත් මේකට තව විදියකින් බලපෑවා. ප්‍රදිප් තමයි ඇත්තටම ආරාධනා කළේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරමු කියලා. මම වගේම මහත්මයා, වෛද්‍ය සූජිවත් කැමැත්තෙන්ම මේ කටයුත්තට සහයෝග දෙන්න ඉදිරිපත් වුණා.”
කෝකිලා නිෂ්පාදනයෙන් දායක වූ ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටය සාමාන්‍යයෙන් අපි එදිනෙදා නිතර දකින චිත්‍රපට වලින් මදක් වෙනස් වූ චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් බැලූ විටද ඇයට හොඳ- නරක දෙකම සම සම ප්‍රතිචාර හිමු වූ අවස්ථා තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳ ඇය පැවසුවේ මෙවැනි කතාවකි.
“ඇත්තටම පසුගිය කාලයේ ‘අයිස්ක්‍රීම්’ තිරගත වුණාම විවිධ ප්‍රතිචාර අපට ලැබෙන්න ගත්තා. සමහරුන්ට මේ චිත්‍රපටය වෙනස් ආකාරයකින් අල්ලලා ගියා. සමහරුන්ට නම් චිත්‍රපටයේ අග මුල ගළපගන්න බැරුව ගියා. ඒ අනුව බලපුවම චිත්‍රපටයට හොඳ සහ නරක ප්‍රතිචාර දෙපැත්තෙන්ම ලැබුණා. මම දකින විදියට මේ චිත්‍රපටය වෙනස් ආරක චිත්‍රපටයක්. මේක අලුත් විදියට හදපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තේරුම් ගන්න අපහසුයි කියලා කියපු අයත් හිටියා. නමුත් මේ චිත්‍රපටය දිහා බලාගෙන ඉන්නවිට ලස්සන කතාවක් මේක ඇතුළේ තිබෙනවා කියලා තේරෙනවා. තරුණයකුගේ හීනයක් තමයි මේ කතාව ඇතුළේ ගැබ් වෙලා තියෙන්නේ. ඒක මේ සමාජය ඇතුළේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒක දිහා අවධානයෙන් බලාගෙන ඉඳලා රස වින්දොත් මට හිතෙනවා ඒක තේරුම් ගන්න අමාරු වෙන එකක් නෑ කියලා. එක පැත්තකින් මේ කතාව ඇතුළේ සමාජයට ආදර්ශයක්, පණිවිඩයක් දෙන්නත් උත්සාහ කරනවා.”
සිනමා නිර්මාණයක අරමුණ හුදෙක් විනෝදාස්වාදය ලබාදිම පමණක්ම නොවේ. ඒ හරහා සමාජයට කිසියම් හරවත් දෙයක් තිළිණ කිරීම ට හැකි නම් හෝ , ප්‍රේක්ෂකයා ඥානනය කරවිය හැකි නම් එයද සිනමාව හරහා කළ හැකි මහත් සමාජ උපකාරයක් වේ. අයිස්ක්‍රීම් සිනමා පටය හරහාද එවන් ආදර්ශවත් පණිවිඩයක් ලබාදිමට හැකිවිමද එක්තරා ආකාරයක භාග්‍යයක් කොට කෝකිලා සලකයි.කෝකිලාට කලාවට කැමැත්ත ඇති වි ඇත්තේ කුඩා කාලයේ සිටමය. මේ කැමැත්ත නිසාම ඇය කුඩා කල සිටම සෞන්දර්යය විෂයයන් හදාරමින් ඒ එස්සේ සිය ජිවන මාවත සකසා ගන්නට උනන්දු වූවාය.
‘ මම පුංචි කාලේ ඉදන්ම කලාවට කැමතියි. ඒ හින්දම සේන්දර්යය විෂයයන් හදාරන්නටත් මම පෙලඹුණා. ඉස්කෝලේ යන කාලේ මම ගායනයට හරි කැමතියි. ඒ කැමැත්ත තවමත් මගේ හිතේ තිබෙනවා. මේ දවස්වල මම ගායන විශාරද විභාගයට සුදානම් වෙනවා. ඒ කාලේ පාසල් තරග, දිස්ත්‍රික් තරග, පළාත් තරග, කලාප තරඟ ආදිය සඳහා ගායන අංශයෙන් මම ඉදිරිපත් වුණ අවස්ථා ඕන තරම් තිබුණා. මගේ පාසල් ජිවිතේ සංගීත ගුරුවරිය වුණේ විශාරද මාලිනී බුලත්සිංහල මහත්මියයි. විෂයයක් විදියට මම සංගීතය හැදැරුවේ නැති වුණාට ඇය මගේ ගායන හැකියාව ගැන දැනගෙන හිටියා. පාසලේ කුමන හෝ අවස්ථාවක ගායන තරගයක් කිබුණොත් අපේ පාසලින් ඉදිරිපත් කරන දේට මාවත් සම්බන්ධ කර ගන්න ඇය අමතක කළේ නෑ.
විෂයයක් විදියට මම පාසලේදී හැදෑරුවේ නර්තනය. නමුත් මාලිනි මිස් සංගීත වැඩ කටයුතු සඳහා මාව නිතරම සහභාගි කර ගත්තා. ඔය විදියට තමයි පුංචි කාලේ ඉඳලම මගේ කලාවට ඇති කැමැත්ත වැඩි දියුණු වෙන්නේ. ඊට පස්සේ මම වෛද්‍ය සුජිව සමඟ විවාහ වෙනවා. මගේ කලා ලැදියාව නිසා සුජිවත් කලාවට ලැදි වෙන්න පටන් ගත්තා. මුලින් ඔහු ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තිබුණේ නෑ. නමුත් පස්සේ පස්සේ ඔහු කියන්න ගත්තා මම ඔහුගේ රසඥතාවය වෙනස් කළා කියලා. මම ඉතින් ගෙදර නිකම් ඉන්නවිටත් ගීතයක් මුමුනනවා. ඒ වගේම නිතර සින්දු අහනවා. සුජිවත් ඒකට ගොඩාක් කැමැති වුණා. ඒ අනුව ඔහුත් හිතන විදිය වෙනස් වුණා. ඊට පස්සේ මාගේ දරුවන්ටත් මම සෞන්දර්ය විෂයයන් ඉගෙන ගන්න පෙලඹෙව්වා. ඔවුන් වෙන වෙන විවිධ විෂයයන් වලින් උසස් අධ්‍යාපනය හැදැරුවත් දෙන්නම සංගීතය ප්‍රගුණ කළා. ඔවුන් දෙදෙනාටම සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්.ඒ නිසා අපේ පවුලම කලාවට ලැදි පවුලක්.
කලාවට නැඹුරු හිතක් ඇතිව හැදි වැඩෙන්නට ඇයට සිය පවුලේ පරිසරයත් දැඩි විදියට බලපාන්නට ඇති. නැතහොත් මේ තරම් කලාකාමී බවක් ඉබේ ඇති විය නොහැකිය.
“මගේ ගම හිඹුටාන. කොළඹ මුල්ලේරියාව අවටමයි. මගේ අම්මගේ පවුලේ අයත් ගොඩාක් කලාවට ලැදියි. අම්මගේ සහෝදර සහෝදරියන්ටත් හොඳට සින්දු කියන්න පුළුවන්. නර්තනය පැත්තෙනුත් ඒ අය ඉස්සරහින් හිටියා. ඒ වගේම තමයි මගේ තාත්තාගේ පැත්තේ අයටත් හැමෝටම හොඳට සින්දු කියන්න පුවවන්. සෝමරත්න කස්තුරිආරච්චි කියන්නේ මගේ බාප්පා. එයා හොඳ ගායකයෙක්. මහාචාර්ය සනත් නන්දසිරි එක්ක පවා ගීත ගායනා කරලා තිබෙනවා. ඉතින් මගේ මවු පාර්ශ්වය සහ පිය පාර්ශ්වයේ තිබෙන මේ හැකියාවන් දක්ෂතාවයන් මගේ ගමනටත් යම්තාක් දුරකට බලපාන්න ඇති. ඒ නිසා වෙන්න ඇති මමත් කලාවට නැඹුරු වෙන්න ඇත්තේ.
මම මුලින්ම පාසල් ගියේ තලාහේන මහා විද්‍යාලයට. ඊට පස්සේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ආවා. එතැනදි තමයි මට මාලිනි බුලත්සිංහල මිස් හමු වන්නේ. අනිත් පැත්තෙන් ආනන්ද බාලිකාව කියන්නේ කලාවට හරි සම්බන්ධ තැනක්. කලාකාරියෝ රාශියක් අපේ පාසලින් බිහිවෙලා තිබෙනවා. ඒ කාලෙත් විවේකයක් ලැබුණොත් අපි කරන්නේ වටවෙලා සින්දු කියන එක.
ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ රැකියාවකට යනවා. මුලින්ම පිළිගැනිමේ නිලධාරි විදියට ගිහින් පස්සේ ගිණුම් අංශයේ රැකියාවකට යොමු වුණා. එතැන රැකියාව කරත්දි තමයි මට සුජිව හමුවන්නේ. ඔහු එතකොට දෙවැනි වසරේ ශිෂ්‍යයෙක්. අපි දෙන්න ප්‍රේම සබඳතාවයකින් පස්සේ විවාහ වුණා. මම 1995 සිට 2010 වනතුරුම කොළඹ විශ්වවිද්‍යාලයේ රැකියාව කළා. පස්සේ පස්සේ සුජිව කාර්ය බහුල වෙනවාත් සමඟම දරුවන්ගේ වැඩත් නිසා මම රැකියාවෙන් අස් වුණා.
දැනට අවුරුදු තුනකට විතර කලින් මගේ යාළුවෙක් කරපු ආරාධනාවකට අනුව මම ගීතයක් ගායනා කළා. ඒ ටී. එම්. ජයරත්න මහතා සමඟ කළ යුග ගායනයක්. ගීතය රචනා කළේ ශාන්ත බණ්ඩාර තෙන්නකෝන්. සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ විසින්. මේ ගීතය මම ගායනා කළේ ඕස්ට්‍රේලියාවේ කරපු තොරණකට. යශෝදරා පිළිබඳ ලියවුණු ගීතයක් ඒක. ඒකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ අමරසිරි පිරිස් මහත්මයා සමඟත් ගීතයක් ගායනා කළා. ඉදිරියේදි ගායන පැත්ත ගැන හිතන්න ඕන කියලා හිතෙනවා.
කොහොම වුණත් මම ඉස්කෝලෙ යනකාලේ ඉඳලම සිනමාවට පෙම් බැන්ද කෙනෙක්. මට මතකයි ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ චිත්‍රපටය මම ඒකාලේ තුන් පාරක් බැලුවා. ඉතින් ඒ කැමැත්තත් එක්ක තමයි මම චිත්‍රපට නිෂ්පාදනයට එක් වුණේ. අයිස්ක්‍රීම් චිත්‍රපටය අපි නිෂ්පාදනය කළේ කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරවයි. හුදෙක් මගේ කලාවට ඇති කැමැත්ත නිසාමයි.
නමුත් අපි ඉදිරියට නිර්මාණයක් කරනවා නම් අනාගතය ගැන හිතලා යම් ලාභා අපේක්ෂාවකුත් ඇතුව තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්‍රපටය සිනමාවේ අපට අත්දැකීමක් ලබන්න හොඳ අවස්ථාවක් වුණා
ඒ අත්දැකීම් ඇසුරෙන් ඉදිරියටත් සිනමා පටයක් නිෂ්පාදනය කිරිමේ බලාපොරොත්තුවක් තිබෙනවා. අපි ඉදිරියේදි ඒ ගැන බලමු.
හේමාලි විජේරත්න