නිවස සංවාද චිත්‍රපටයක දෙවැනි උපත සංස්කරණයයි

චිත්‍රපටයක දෙවැනි උපත සංස්කරණයයි

ප්‍රවීණ සංස්කරණ ශිල්පී අජිත් රාමනායක

by Test User
March 7, 2024 1:01 am 0 comment

කලා නිර්මාණයක දෙවැනි තාත්තා ඔහුය. තිර පිටපතට අනුව අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය රූප පෙළ හර කැමරා ශිල්පියා විසින් ලබාදීමෙන් පසු එය රූප පෙළහරක් ලෙස එකට ගොනුකරන්නේ සංස්කරණ ශිල්පියාය. කතාවට අනුචිතව ගැළපෙන රූප රාමුව එකට පුරුද්දමින් අපූරු චිත්‍රපටයක් බිහිකරන්නේ මොහුය. මේවන විට චිත්‍රපට 75ක පමණ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කර ඇති මොහු මෙරට සිනමා ක්ෂේත්‍රයේ සංස්කරණ ශිල්පියකු ලෙස ඉහළින් බැබළෙන පුද්ගලයෙකි. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ සංස්කරණ ශිල්පීන් අතළොස්සක් අතරින් කෙනෙකු වන මොහු සැබැවින්ම සංස්කරණ ශිල්පය තුළින් මේ වනවිට සිනමාවේ දෙවන තාත්තා වී හමාරය. වර්තමානයේ බිහිවන බොහෝ චිත්‍රපටවල නාමාවලිය සංස්කරණය සමඟ ඈඳුණු නාමයකි අජිත් රාමනායක. ඩිජිටල් සිනමාවේ ප්‍රවීණ සංස්කරණ ශිල්පියෙකු වන අජිත් රාමානායක සමඟ කතාබහකට අපි මුල පුරමු.

මේ දවස්වල සංස්කරණ කටයුතු එහෙම කොහොමද?

වැඩ දෙකක මේ දවස්වල යෙදිලා ඉන්නවා. සුදත් මහාදිවුල්වැවගේ මයිරෙඩ් කොම් රෙඩ් චිත්‍රපටයේ සංස්කරණ කටයුතුත් චමින්ද ඉලූක් වෙලගේ මාගම් සෝලී චිත්‍රපටයේ සංස්කරණ කටයුතුත් සිද්ධ කරමින් ඉන්නේ. මේ චිත්‍රපට දෙකේම සංස්කරණ කටයුතු අවසන් අදියරයේ තමයි මේ දවස්වල යෙදිලා ඉන්නේ.

ඔබ අතින් සංස්කරණය වූ චිත්‍රපට නිර්මාණත් ඉදිරියේදී තිරගත වෙන්න ඇති?

ජැක්සන් ඇන්තනිගේ දේවි සම්බුුලා, සංජීව පුෂ්ප කුමාරගේ විහග ප්‍රේමය, දමිත් ෆොන්සේකාගේ බෆලෝ ට්‍රැවල්ස්, සෝමරත්න දිසානායකගේ සිංහබාහු, ශෂික හේරත්ගේ සිහින සමීකරණ ආදී චිත්‍රපට නිර්මාණ කීපයක්ම තියෙනවා. බොහෝවිට මේ චිත්‍රපට මේ වර්ෂයේදීම තිරගත වෙයි කියලා මම හිතනවා.

සංස්කරණ ශිල්පියෙක් ලෙස මේ කලා ක්ෂේත්‍රයේ කොපමණ කාලයක් මේ වනවිට කටයුතු කරල තියෙනවද?

වසර 26ක්. මේ වසර විසිහය පුරාවට මම චිත්‍රපට 75ක් විතර සංස්කරණය කරලා ඇති.

මේ කලා ක්ෂේත්‍රයට ඔබ මුලින්ම අඩිතාලම තබන්නේ සංස්කරණ ශිල්පියෙක් ලෙස නොවෙයි නේද?

මම මුලින්ම කැමරාකරණයට තිබෙන ආශාව නිසාම තමයි මුලින්ම ඊඍඊ ආයතනයට සම්බන්ධ වන්නේ ඒ 1998 දී. 2000 වසරේ ඩිජිටල් සිනමාවට පරිවර්තනයත් සමඟ මම සංස්කරණ ශිල්පියාට එක් වෙනවා. අපේ සිනමාවේ ඩිජිටල් එඩිටින් පටන් ගන්නේ අග්නිදාහය චිත්‍රපටයත් සමඟ. ඒ චිත්‍රපටයේ ඩිජිටල් ඩේටා බේස් එක හදන්නේ මම.

සංස්කරණයට පෙම්බදින්න ඔබට ආශාවක් ඇතිවන්නේ කොහොමද?

ඊඍඊ ආයතනයේ කාර්මික ශිල්පී කණ්ඩායමේ වැඩ කරගෙන ඉන්නකොට මට සංස්කරණය කටයුතුවලට ලොකු ආශාවක් ඇති වුණා. ඒ ආශාව සැබෑවක් බවට පත් කරගන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අග්නිදාහය චිත්‍රපටය.

චිත්‍රපට සංස්කරණ ශිල්පී ටයිටල් එක ඔබ හාපුරා කියා උරුම කරගන්නේ?

සුමිත්‍රා පීරිස් මහත්මියගේ යහළුවෝ චිත්‍රපටයෙන්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් යුවළගේ චිත්‍රපට සඳහාත් ඔබ සංස්කරණයෙන් දායක වන පුද්ගලයෙක්?

මම ඊඍඊ එකේ වැඩ කරනකොට තමයි ලෙස්ටර් සර්ගේ අම්මාවරුනේ, සක්මන් මළුව චිත්‍රපට දෙකට මට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ චිත්‍රපට දෙකේම සහාය සංස්කරණ ශිල්පියා මම. සුමිත්‍රා පීරිස් මැඩම් එතුමියගේ යහළුවෝ චිත්‍රපටය සඳහා මාව පෞද්ගලිකවම මැදිහත් වෙලා ඊඍඊ ආයතනයෙන් ඉල්ල ගන්නවා. ඒ චිත්‍රපටයේ සංස්කරණය සඳහා. ඒ අනුව 2008 දී විතර හා පුරා කියලා මට සංස්කරණ ශිල්පියෙක් වෙන්න ලැබෙනවා. යහළුවෝ සිනමා නිර්මාණයත් සමඟ.

සහාය සංස්කරණයෙන් පසු ඔබ සම සංස්කරණයටත් දායක වෙනවා නොවේද?

අනුරුද්ධ ජයසිංහගේ සංක්‍රාන්ති චිත්‍රපටයේ මමත් සමඟ රුක්මල් නිරෝෂන් සංස්කරණයට දායක වෙනවා. එහිදි අපි දෙන්නාගේ ටයිටල් එක තිරයේ දිගහැරෙන්නේ සම සංස්කරකවරු හැටියට.

මේ වන විට ඔබ වැඩිම චිත්‍රපට ප්‍රමාණය සංස්කරණය කර ඇති එකම චිත්‍රපට අධ්‍යක්ෂවරයා සෝමරත්න දිසානායක ද?

සෝමරත්න දිසානායකගේ මුල් චිත්‍රපට දෙක තුනක මම සහාය සංස්කරණ ශිල්පියා. ඔහුගේ සිරි පැරකුම් චිත්‍රපටයේ පටන් තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිත සිංහබාහු චිත්‍රපටය දක්වා කළ සියලුම චිත්‍රපටවල මම තමයි සංස්කරණ ශිල්පියා. සූරිය අරණ, සරෝජා චිත්‍රපට දෙකටම මම දායක වෙන්නෑ. සෝමරත්නයන්ගේ මට මතක හැටියට එතුමාගේ සමනල තටු චිත්‍රපටයේ ඉඳලා තමයි මගේ දායකවීම එතුමාගේ නිර්මාණ වෙනුවෙන් ලබා දෙන්නේ.

සංස්කරණ ශිල්පයේ ඔබේ ගුරුවරුන් කවුද?

රවින්ද්‍ර ගුරුගේ මහතා එතුමන් යටතේ තමයි මම මේ ශිල්පය ප්‍රගුණ කරන්නේ. ඊට අමතරව චානක සිල්වා මහතාගෙනුත් මට තාක්ෂණය පැත්තෙන් ලොකු මඟ පෙන්වීමක් ලැබුණා. මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න මේ දෙපළගේ මඟ පෙන්වීම මත මගේ අත්දැකීම් මත මමම සොයාගත්තා. මට හැඟෙන ගමනක් තමයි මේ මම යන්නේ.

අද ඔබේම කියා ආයතනයක හිමිකාරයෙක්?

මම එකම ආයතනක විතරයි වැඩ කළේ. ඊඍඊ ආයතනයේ විතරක් මම අවුරුදු 23ක් වැඩ කළා. 2019 වසරේ මගේම කියලා මම ආයතනය පටන් ගන්නවා රාම ප්‍රඩක්ෂන්. මගේ ආයතනය තුළ මම කරපු මුල්ම සංස්කරණය විහග ප්‍රේමය චිත්‍රපටය. ඊට පස්සේ ක්ෂිරසාගරයේ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට බොහොමයක් මේ වන විට මගේම ආයතනය තුළ සංස්කරණ වෙලා තියෙනවා.

සංස්කරණය කියන කර්තව්‍ය ඉතා සරලව පැහැදිලි කළොත්?

අපි එදිනෙදා ජීවත් වෙන පිළිවෙත කිව්වොත් හරි. තියෙන්න ඕනෙ දේ තියන්න ඕනේ. අයින් කරන්න ඕන දේ අයින් කරන්න ඕන. සරලව අපි එදිනෙදා ජීවත්වෙන පිළිවෙත තමයි ඇත්තෙන්ම සංස්කරණය. හැබැයි අපි කරන නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයාට හිතට දැනෙන විදියට කාවදින විදියට අපි නිර්මාණය කරන්න ඕනේ.

පිටපතේ තියෙන අධ්‍යක්ෂවරයාට ඕනෙ කරන කැමරාකරණයෙන්් ලබාගත් රූප රාමු පෙළක් සංස්කරණය කරන එකට එකද ඔබ කරන්නේ? පිටපතේ තියෙන ආකාරයටම ඔබ රූප රාමු පෙළගස්වනවාද?

නෑ. කොහෙත්ම නෑ සම්පූර්ණ වෙනස් වෙනවා. සිනමාව තුළ සංස්කරණය තමයි චිත්‍රපටයක දෙවන ඉපදීම කියලා කියන්නේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සමඟ වාද විවාද කරනවා. රූප රාමු පෙළ ගැස්සීමේදී මගේ අතින් නම් මෙතෙක් කවදාවක්වත් පිටපතට සංස්කරණය වෙලා නෑ. සමහර අවස්ථාවලදී දරුණු විදියට කොටස් අයින් වෙනවා. පෙළ ගැස්ම අනුව කොහොමත් පිටපත වෙනස් වෙනවා.

සංස්කරණ ශිල්පියා හැටියට ඔබ දාන කැපිලි කෙටිලි අධ්‍යක්ෂවරයා ඉවසන් ඉන්නවාද?

එහෙම වෙන්න ඔහුට සිද්ධ වෙනවා. අධ්‍යක්ෂවරයාට දැනුණට ඔහු කළ දේ අපිටත දැනෙන්න ඕනෙ. එහෙම දැනුනොත්නේ පේ‍්‍ර්ක්ෂකයාටත් ඒක දැනෙන්නේ. නිර්මාණයකදී අධ්‍යක්ෂවරයාට ඒක දැනිලා විතරක් මදි. මේන් ටේක්නීෂියන්ලා මේන් ඇක්ට්‍රස්ලා ඒකට එකතු කරලා චිත්‍රපටය කරන්න කලින් අපි වර්ක් ෂොප් එකක් කරනවා. මේ මෑත භාගයේ කළ චිත්‍රපට කීපයකම අපි ඒ දේ කළා. ස්ක්‍රිප්ට් රීඩින් එකක් කරලා එතැනදී තියෙන අඩුපාඩු අපි හදා ගත්තා ස්ක්‍රිප්ට් රීඩින් පියවර කීපයක් තුළ. මේක මම හදාගත්ත ක්‍රමයක් නොවෙයි. ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක, සුනිල් ආරියරත්න, බෙනට් රත්නායක වගේ පුද්ගලයන් සමඟ වැඩ කිරීම තුළදී මේ දේ විශේෂයෙන් සිද්ධ වෙනවා. මේක හරි වැදගත් ටීම් එකිනෙකා හඳුනාගැනීම කතා බහ කිරීම තුළ ස්ක්‍රිප්ට් රීඩින් එක තුළ කට්ටිය ගේ අදහස් අනුව එක තීරණයකට එනවා. එතනැදී ගොඩක් ප්‍රශ්න විසදෙනවා. සංස්කරණයේදී එන ගැටලු මොනව කළත් කියන එක කරන එක වෙනස්. නමුත් ඒ දේ හරි පැත්තට හරවා ගන්නත් එඩිටින් ටේබල් එක තුළදී.

කිසියම් හෝ දිනක සංස්කරණ ශිල්පියෙක් වනවා කියන අරමුණක් තුළ ආගමනක් ද ඔබට තියෙන්නේ?

මම නුවර අඹතැන්නේ. මගේ පාසල වුණේ අඹතැන්න මහා විද්‍යාලය. 96 වසරේ කලා අංශයෙන් උසස් පෙළ හදාරා පාසල් අධ්‍යාපනය අවසානයේ 98 වසරේ මම කොළඹට එනවා. මගේ ඥාතිවෙන අයියා කෙනෙකු මාර්ගයෙන් තමයි රවීන්ද්‍ර ගුරුගේ මහතා හඳුනාගන්නේ සහ ඊඍඊ ආයතනයට සම්බන්ධ වන්නේ. මේ පැත්තෙන් මම යනවා කියලා මගේ අරමුණක් මුල් කාලයේ තිබුණේ නෑ. සියල්ල ඉගෙන ගත්තේ ඊඍඊ ආයතනයට ආවට පස්සේ. මගේ සංස්කරණ ශිල්පයේ තක්සලාව ඊඍඊ ආයතනය. මේ ක්ෂේත්‍රයේ මම සංස්කරණය පැත්තෙන් යමක් ඉගෙන ගත්තා නම් ඒ සියලු දේ පිටුපස සිටි සෙවණැල්ල රවීන්ද්‍ර ගුරුගේ මහතා. ඒ ඇරෙන්න මම මේ ආයතනය තුළ වැඩ කිරීමත් සමඟ වසන්ත ඔබේසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජැක්සන් ඇන්තනී, චන්ද්‍රන් රත්නම්, ඩී.බී. නිහාල්සිංහ, ප්‍රසන්න ජයකොඩි, සුමිත්‍රා පීරිස්, සෝමරත්න දිසානායක, තිස්ස අබේසේකර, ලාල් පියසේන, අශෝක හඳගම, ඉනෝකා සත්‍යංගනී ආදීන් මට හඳුනගන්න ලැබුණා. ඔවුන්ගේ වැඩ කිරීම තුළ ඒ ලබන ඇසුර තුළිනුත් මම යම් යම් දේ ඔවුන්ගෙන් ඉගෙන ගත්තා.

ඩී.බී. නිහාල්සිංහයන්ගේ වාර්තා වැඩසටහන් කීපයක්ම මම කළා. ඊට අමතරව වැලිකතර චිත්‍රපටය ඩිජිටල් කරන කොට මම එතුමන් එක්ක විනාඩි අටක් එඩිට් කළා. වසරක පමණ කාලයක් මම එතුමාන් එක්ක වැඩකළා. ටී.වී.ටී ආයතනය තුළ සංස්කරණ කාර්ය සිදුවන නිසා හැමෝගෙම ගනුදෙනුව එතනදී සිද්ධ වුණා. ඒ ගනුදෙනුව එකිනෙකා අතර හඳුනාගැනීමට හොඳ කේන්ද්‍රස්ථානයක් වුණා.

මේ වන විට සිනමාවේ දැවැන්තයා සමඟ කටයුතු කර ඇති ඔබට ඔවුන් අතරේ වඩාත් වැඩ කටයුතුවලදී පහසුවක් වී ඇත්තේ. කවුරුන් අතර ද?

මේ කවුරුවත් පහසුවෙන් වැඩක් කරපු අය නොමෙයි. මේ අයගේ වැඩත් සුළු පටු නෑ. ඒ වැඩවල තියෙන සංකීර්ණකම මේ පුද්ගලයන්ගේ නිර්මාණවල කවදත් තිබුණු දෙයක්.

ඔබ සංස්කරණය කළ නිර්මාණයක් තිරයේ දිග හැරෙනකොට තව යමක් කරන්න තිබුණාණේ කියලා පසු තැවුණු අවස්ථා ඔබට දැනිලා තියෙනවාද?

නෑ කොහෙත්ම නෑ. මම යමක් කළානම් ඒ මට ඒ නිර්මාණය වෙනුවෙන් කරන්න තිබුණු උපරිමය මම කරලා ඇති. අපි කරපු නිර්මාණයක් කාලයාගේ ඇවෑමෙන් දිගු කලකට පස්සේ තිරගතවීමකදී නම් සමහරක් විට ඒ වන විට තියෙන පහසුකම් මත සමහරක් විට තවත් දෙයක් කරන්න තිබුණානෙ කියල හිතෙන වෙලාලුත් නැතුවා නෑ. කොහොම කළත් මම යමක් කරපු දෙයක් තිරයේ දකිනකොට ඇත්තෙන්ම මම සිතින් අප්‍රමාණ සතුටක් ලබනවා මේ දේ කළේ මමනේ කියලා. සංස්කරණයේදී මගේ භූමිකාව ගැන මම තෘප්තිමත්. සමස්ත නිර්මාණය කෙසේ වෙතත් මම හැම වෙලාවෙම බලන්නේ මට කළ හැකි උපරිමයෙන් නිර්මාණකරුවා ගොඩ දමා දෙන්න.

විශාල චිත්‍රපට ප්‍රමාණයක සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කර ඇති ඔබ මේ වන විට දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙනුත් සම්මානනීය ඇගැයුම් එහෙමත් ලබලත් ඇති?

දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් මම මේ වන විට සම්මානයට පාත්‍ර වී තියෙනවා. දේශීය සම්මාන උළෙලවල ප්‍රමිතිය ගැන මට ප්‍රශ්නයක් තියනවා. ලංකාවේ ප්‍රමිතිගත සම්මාන උළෙලක් විදිහට මම දකින්නේ සහ මම විශ්වාස කරන්නේ ජැෆ්නා ෆිල්ම් ෆෙස්ටිවල් එක විතරයි ඒක මගේ මතය. අනික් ඒවා යන සහ කරන විදිය මට තේරෙන්නේ නෑ. අන්තර්ජාතික වශයෙන් මට 2019 වසරේ සාක් ෆිල්ම් ෆෙස්ටිවල්් එකේ දැවෙන විහඟුªන් චිත්‍රපටය සඳහා හොඳම සංස්කරණය වෙනුවෙන් සම්මාන ලැබුවා. නිව්යෝක්වල පැවැති ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී සුනාමි චිත්‍රපටයේ හොඳම සංස්කරණ වෙනුවෙන් මට සම්මාන ලැබුණා. දේශීය වශයෙන් හිරු ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී ඉනිඅවන් චිත්‍රපටයේ හොඳම සංස්කරණ ශිල්පියාට මට සම්මානය ලැබුණා. 2014 දී ර්‍ණඛ්ධ්ඛ් සම්මාන උලෙළේදී 2010 දී මට බඹර වළල්ල චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංස්කරණය සඳහාත් සම්මානය හිමිවෙනවා. දෙරණ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදි 2015 දී මට ප්‍රවේගය චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංස්කරණ සම්මානය ලැබෙනවා.

දේශීය සම්මාන උළෙල ගැන ඔබ බොහොම හිත් වේදනාවෙන් කතා කරන චරිතයක්?

වෙන දේවල් දකිනකොට මට එහෙම නැතුව බෑ. 2022 වසරේ ඕ සී අයි සී සම්මාන උළෙලේදී බෙනට් රත්නායකගේ කවුරුත් දන්නෑ, සෝමරත්න දිසානායකගේ ජංගි හොරා චිත්‍රපට දෙකම අයින් කරනවා නිර්මාණශීලී නෑ කියලා. එහෙම කියලා ඒ චිත්‍රපටවල වෙනත් අංශ දෙකක් තුනකට සම්මාන දෙනවා. මම දන්නේ නෑ මොන මනස්ගාත ඔළුවෙ තියන් සම්මාන දෙනවද කියලා. මේ වෙනකොට ජනාධිපති, සරසවිය සම්මාන සඳහා මාව නිර්දේශ වෙලා තියෙනවා. හැබැයි තවම ලැබිල නෑ. මූණ දිහා බලලා දෙන සම්මාන වලට මම කැමැති නෑ චිත්‍රපටය නිර්මාණශිලී නෑ කියලා අයින් කරනවා නම් අඩුම තරමින් මේ ක්ෂේත්‍රයේ එන නවකයෙක්ගේ ඉරණම මොකක්ද? ඇයි මේ අධෛර්මත් කරන වැඩ සම්මාන මුවාවෙන් සිද්ධ කරන්නේ. මොන පදනමක ඉඳලද ඔය වගේ තීන්දු තීරණ ගන්නේ. ඔක්කොටම කලින් විනිශ්චය දෙන උදවියගේ ඔළුව වොෂ් කරන්න ඕනේ. මේ වගේ ප්‍රකාශ පළකරනවාට පැනල්වලට දාන අයට සිනමාව තේරෙන්නේ නෑ. එක්කෝ අපිට සිනමාව තේරෙන්නේ නැහැ.

මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න සපුරාලිය යුතු තවත් ක්‍රම උපායන් තියෙනවාද?

මේ ක්ෂේත්‍රයේ රැඳීල තියෙන්නෙ තාක්ෂණය මත. තාක්ෂණයේ අප්ඩේට් එක මත අපිත් ඉදිරියට යා යුතුයි. එහෙම නොවුණාත් අපිට වෙනවා එක තැන නතර වෙන්න. දවසින් දවස වෙනස්වන ශීග්‍රගාමී තාක්ෂණික වෙනස්වීම්වලට අපි අනුගත නොවුණොත් අපිට ලෝකය සමඟ නිර්මාණ ගනුදෙනු කොහෙත්ම කරන්න ලැබෙන්නේ නෑ. වෙන ක්ෂේත්‍ර වලට සාපේක්ෂව මේ ක්ෂේත්‍රයේ තාක්ෂණය හරි ඉක්මනට ඉදිරියට යනවා.

අජිත් රාමනායක ඔන්ලයින් හරහා විදෙස් සංස්කරණ ශිල්පීන් සමඟ සංස්කරණය කටයුතුවල නියැළෙන චරිතයක් බවට අද වෙනකොට පත්වෙලා?

සංජීව පුෂ්ප කුමාරගේ විහඟ පේ‍්‍රමය චිත්‍රපටයේ වැඩකටයුතු මම කළේ. ඉතාලියත් සමඟ එකතුවෙලා ලංකාවේ එඩිටර් හැටියට මම කටයුතු කළා. ඉතාලියේ තවත් එඩිටර් කෙනෙක් හිටියා අපි දෙන්නා එකට ප්‍රොජෙක්ට් එක ඔන්ලයින් වැඩ කළා. ඒ වෙලාවේ එහෙ තාක්ෂණය මට තිබුණේ නැත්නම් ඒ වැඩේ මට කරන්න කොහෙත්ම ලැබෙන්නේ නැහැ.

ඔබ අද ඉන්න තැන ගැන ආපසු හැරිලා බලනකොට මොකද හිතෙන්නේ?

නිහතමානී සතුටක් මට තියෙනවා. තනිව ආපු ගමනක් තුළ ඒ ගමනේ මම වැඩ කිරීම තුළ ඉගෙන ගත්ත දේ මත මම අද ඉන්න තැන ගැන මට මං ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ලෝක තලයේ එඩිටින් පැත්තෙන් තාක්ෂණයත් එක්ක හරි හරියට මට අද ගැටෙන්න පුළුවන් වීම ගැන ඇත්තෙන්ම මට හරි සතුටුයි. කාලයත් සමඟ වැඩ කිරීම තුළ ලබන අත්දැකීම් මත තමයි පරිණත බවක් ඇතිවන්නේ. ඒ සඳහා ගුණගරුක මිනිස්සුත් එකතු වෙන්න ඕනෙ. එහෙම වුණොත් මේ ගමන යන්න බොහොම පහසුයි. මේ ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් ඇසුරු කිරීම තමයි වැදගත්. ඔවුන්ගේ එකිනෙකාට දැනුම වෙනස්. ඒ අතින් මම බොහෝ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ ඇසුර නොඅඩුව ලැබිලා තියෙනවා. ඔවුන්ගේ නිර්මාණත් සමඟ මගේ ගමන ගොඩනගා ගන්න.

ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්න කෙනෙක්ද ඔබ?

නෑ. මට දැනෙන මට හැඟෙන දෙයක් තමයි මම භාරගන්නේ. මුදල කියන දේ ගැන මම හිතන්නේ දෙවනුව නිර්මාණයට පළමු තැන. මට හැගෙන මට දැනෙන නිර්මාණකරුවෙක් මම. මේ රටේ මුදලින් හැමදෙයක්ම කරන්න බෑ. කවුරුවත් මේ දේ කරන්නෙ අමාරුවෙන් කියන දේ අපිටත් පේනවා.

ආරංචිය තියෙනවා අජිත් රාමානායක සංස්කරණයෙන් බැහැරව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න යනවා කියලා?

මගේ සූදානම්වත් තියෙනවා චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න මගේම පිටපතක් අනුව තමයි චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහස් කරලා තියෙන්නේ. මේ දවස්වල නිෂ්පාදකත් සමඟ සාකච්ඡා වට කීහිපයක්ම පවත්වා අවසන්. මා මේ ක්ෂේත්‍රයේ වසර 26ක් ලබපු අත්දැකීම් එකතුවක් සමඟ නිර්මාණය වන චිත්‍රපටයක් තමයි මගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ.

ටෙලි නාට්‍ය සංස්කරණයට ඔබ තුළ කැමැත්තක් නැද්ද? සිනමාව පමණ ද ඔබේ සංස්කරණයේ මාවත?

අද දැනෙනා ටෙලිනාට්‍ය රටාව මට ගැළපෙන්නෙම නෑ. ටෙලි නාට්‍ය භාර අරන් කරන්න තරම් මට කාලයකුත් ඉතිරි වෙලා නෑ. චිත්‍රපටවල වැඩ කරනවා ඇරෙන්න. මගේ මේ කාල පරාසය තුළම ටෙලි නාට්‍ය දෙකක් සංස්කරණය කළා. අනුර මාධව ජයසේකරගේ මහතලා හටන, සුමිත් රත්නායකගේ මහපොළොව.

පවුලේ තොරතුරුත් මතක් කරමින් අපේ කතාබහ අවසන් කරමු.

මගේ බිරියේ අනුරාධා චතුරාණි. ඇය සමාජ සේවා නිලධාරිනියක්. මගේ දුව ඩිලුනි රාමනායක වැල්ලවත්ත සෙන් ලෝරන්ස් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. පුතා අදිත රාමනායක. මොරටුව හයිබ්‍රෝ ඉන්ටනැෂනල් විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

[email protected]

සේයාරූ – මාලන් කරුණාරත්න

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT