Home » ‘ චිත්‍රපටයක් කරන්න නම් යම්කිසි අධ්‍යයනයක්, හැදෑරීමක්, අත්‍යවශ්‍යමයි’

‘ චිත්‍රපටයක් කරන්න නම් යම්කිසි අධ්‍යයනයක්, හැදෑරීමක්, අත්‍යවශ්‍යමයි’

- නේත්‍ර මායා අධ්‍යක්ෂ ක්‍රිශාන්ත මනම්පේරී

by Thanushika
September 12, 2024 9:44 am 0 comment

ලාංකේය සිනමාවට නවමු සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස 2019 වසරේ තිරගත වූ ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් පැමිණි ක්‍රිෂාන්ත මනම්පේරි විසින් නිර්මාණය කළ දෙවැනි චිත්‍රපටය වන ‘නේත්‍ර මායා’ නුදුරේදීම මෙරට සිනමාශාලා රැසකදී තිරගත වීමට නියමිතයි. මෙවර සරසවියේ ඉඩ වෙන්වන්නේ ‘හිතුමතේ ජීවිතේ’, ‘නේත්‍ර මායා’ චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කළ ක්‍රිශාන්ත මනම්පේරි සමඟයි.

‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය හැදෙන්නේ කොහොමද?

දිනෙත් ද සිල්වා කියන නළුවා මට ‘හිතුමතේ ජීවිතේ’ පොත ගෙනත් දෙනවා. එහෙම තමයි චිත්‍රපටය මුලින්ම හැදෙන්න ආරම්භ වෙන්නේ. ඊටපස්සේ පොතෙන් ෆිල්ම් එකක් කරන්න ඔින කියන එක මම තීරණය කරනවා. මම මැලේසියාවේ ඉන්නකොට එහේ ෆිල්ම් ඇකඩමි එකේ ෆිල්ම් ගැන ඉගෙන ගන්නවා මේ අතරවාරයේ. ⁣ෆිල්ම් පිස්සුවක් තිබුණා ඒ කාලේ. මගේ පළවෙනි චිත්‍රපටය විදියට ‘හිතුමතේ ජීවිතේ’ අති සාර්ථක වූණා. ලෝකය පුරා සෑහෙන සම්මාන උළෙල නියෝජනය කළා. ආදායම අතින් අති සාර්ථක වුණා. මම ගුවන් හමුදාවේ හිටපු ගෲප් කැප්ටන් කෙනෙක් විදියට, ෆිල්ම්වලට ආස පුද්ගලයෙක් විදියට සහ පළමු සිනමා අධ්‍යක්ෂණය විදියට හිතුමතේ ජීවිතේ මේ තරම් සාර්ථක වේවි කියලා හිතුවේ නැහැ. හිතුමතේ ජිවිතේ ලක්ෂ දෙකක් විතර බලලා තිබුණා.

‘හිතුමතේ ජීවිතේ’ සාර්ථකත්වයත් එක්ක ඔබ දෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ නුදුරේදීම තිරගත වන ‘නේත්‍ර මායා’. නේත්‍ර මායා හැදෙන්නේ කොහොමද?

චිත්‍රපටය තිර පිටපත ලියුවේ මම. ඊට අමතරව මහේල හෙට්ටිආරචිචි තිර පිටපත සාර්ථක කරගන්න මට සෑහෙන උදව් කළා වගේම ප්‍රියංකර රත්නායක කියන නාට්‍යවේදියා, නළුවා උදව් කළා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ මම. චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ වුණේ ගිය වසරේ අගෝස්තු විතර. චිත්‍රපටය රූගත කිරීමි මාරවිල, වෙන්නපුව, මීගමුව, කුලියාපිටිය, දිවුලපිටිය වගේ පළාත්වල මාස එකහමාරක් තිස්සේ ෂූටි කළා. ලක්ෂ 250ක් විතර වැයවුණා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න. ලයිට් සිනමාස් ඉදිරිපත් කිරීමක් විදියට තමයි ‘නේත්‍ර මායා’ චිත්‍රපටය නිර්මාණය වුණේ.

‘නේත්‍ර මායා’ චිත්‍රපටයේ නළු නිළියන් තෝරගත්තේ කොහොමද?

මම නළුවරණය ගැන සෑහෙන්න සැළකිලිමත් වෙනවා. මගේ කලින් ටෙලිනාට්‍යවල පවා සෑහෙන නළුවරණය ගැන සෑහෙන හිතපු සාධකයක්. මූලිකවම ප්‍රේක්ෂකයාට දැනෙන කාරණය තමයි චිත්‍රපටයක නළු නිළියන්. චිත්‍රපටයක 50%ක එහා ගිය සාර්ථකත්වයක් ලබා දෙන්නේ නළු නිළියන්ගේ තෝරාගැනීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. හොඳට රඟපාන්න පුළුවන් නළුවන්, නිළියන් තෝරා ගන්න අත්‍යාවශ්‍යමයි. ලෝකේ සිනමාව ⁣ගොඩක් ඉස්සරහට ගිහින් තියෙන්නේ මේ නළු, නිළියන්ගේ දක්ෂතා මත. මම හැමතිස්සෙම බලන්නේ මගේ චිත්‍රපටයේ ඉන්න චරිතයට ගැළපෙන හොඳටම රඟපාන්න පුළුවන් නළු, නිළියන් කවුද කියන එක තමයි මම හිතන්නේ. චිත්‍රපටයකට නළු නිළියන් තෝරනවා කියලා කියන්නේ ටෙලිනාට්‍යයකට නළු, නිළියන් තෝරනවා වගේ නෙමෙයි. ඒක වෙනම වැඩක්. අනික මේ චිත්‍රපට අන්තර්ජාතික තලයට යනකොට එදිනෙදා විකාශය වන ටෙලිනාට්‍යවල රඟපාන්න බැරි අයත් එක්ක මේ චිත්‍රපට කරන්න බැහැ. ‘නේත්‍ර මායා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදියට ගත්තේ ධනුක දිල්ෂාන්. මොකද ධනුකට හොඳට රඟපාන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් චිත්‍රපටයකට නළුවෙක් තෝරා ගන්නකොට එයා කරන රඟපෑම ගැන සැලකිළිමත් වෙනවා. හොඳට ඇක්ට් කරන්න පුළුවන් වෙන්න ඕන. ධනුක කියන්නේ මෑතකදී දැකපු හොඳ නළුවෙක්. රංගන පරාසයක් තියෙන නළුවෙක්. අනිත් එක තමයි ශ්‍යාම් ප්‍රනාන්දු. සීරියස් චරිතවලට රඟපාපු ශ්‍යාම් ප්‍රනාන්දු මගේ චිත්‍රපටයේ රඟපාන්නේ හිටපු නගරාධිපතිවරයෙක්ගේ සල්ලාල ගතිපැවතුම් තියෙන චරිතයකට.

ඔබ නේත්‍ර මායා නිර්මාණය කරන්නේ සමාජයේ කවර කොටසක් ඉලක්ක කරගෙනද?

මේක පවුලේ චිත්‍රපටයක් විදියට තමයි කරලා තියෙන්නේ. ලංකාවේ නූතන ලාංකේය සිනමාවේ suspense – thriller  චිත්‍රපට එතරම් කෙරිලා නැහැ. ඉතින් මම හිතුවා මෙි suspense – thriller කියන ශානරය අප් කරලා ගන්න.

ඇයි මේ චිත්‍රපටයට නේත්‍ර මායා කියලා නම යොදන්න හිතුණේ?

නේත්‍ර මායා කියන්නේ චිත්‍රපටය පුරාම ඉන්න චේතිය කියන දෑස් අන්ධ සංගීතඥයා කරන සමාජයට කරන මායාවක්, රැවටීමක් විදියට තමයි චිත්‍රපටයේ කතාව යන්නේ. නේත්‍ර මායා කියන නම යොදන්න හිතුවේ මේ කතාව ඇතුළේ ඉන්න ප්‍රධාන චරිතයට වඩාත් සම්බන්ධ නිසා.

‘හිතුමතේ ජීවිතේ’ සහ ‘නේත්‍ර මායා’ චිත්‍රපට දෙක අතර ඔයාට තියෙන පොදු අත්දැකීම මොකක්ද? මොකක්ද වෙනස?

පළවෙනි චිත්‍රපටය කරද්දි අපි ගොඩක් පරිස්සම් වෙනවා. යම්කිසි හැදැරීමක් කරලා අධ්‍යනයක් කරන්න වුණා මට. මම හිතන්නේ ෆිල්ම් දහයක් කළත් චිත්‍රපටය කියන අධ්‍යයනය විෂයක් විදියට ඉවර වෙන්නේ නැහැ. තිර රචනය, නළු නිළියන් අඳුනගත්ත හැටි ගැන, නිෂ්පාදන කළමණාකාරිත්වය ගැන සෑහෙන ඉගෙන ගෙන චිත්‍රපටයක් කරන්න වෙනවා. හැබැයි මට පෞද්ගලිකවම හිතුමතේ ⁣ජීවිතය තරම් ලොකු බරක් දැනුණෙ නම් නෑ, මගේ දෙවැනි චිත්‍රපටය විදියට ‘නේත්‍ර මායා’ කරද්දි. මට හැබැයි බරක් නොදැනුණාට හිතේ බයක් තිබුණා. ඒ බය තමයි මාව දිගින් දිගට චිත්‍රපට කරන්න පොළඹවන්නේ කියලා විශ්වාස කරනවා පෞද්ගලිකවම. ඒ කියන්නේ ෆිල්ම් කියන්නේ ටෙලිනාට්‍යයක් කරනවා වගේනේ බොහොම පහසු දෙයක් කියලනේ බහුතරයක් හිතන් ඉන්නේ. (සිනා සෙමින්) මම ටෙලිනාට්‍ය හතක් කරලා තියෙනවා. රේන්ද ගෙදර, දුවිලි මාළිගා, මුදවපු කිරිල්ලි, සඳ දිය සිත්තම්, කුමාරයෙක් ඇවිත්, සත්‍යා, නිල්මල් වියන මම කරපු ටෙලිනාට්‍ය කිහිපය. හැබැයි ටෙලිනාට්‍ය හතක් කරනවට වැඩිය චිත්‍රපටයක් කරන එක සෑහෙන බැරැරුම්. සැහැල්ලුවට ගන්න ඕන කර්තව්‍යයක් නෙමෙයි. චිත්‍රපටයක රූගත කිරීම් කියන්නේ ඇත්තටම 25%. එතකොට එතනින් පස්සේ 35%ක්ම පසු නිෂ්පාදන කටයුතුවලට. ඇත්තටම චිත්‍රපටයෙන් 40%ක් ඇතුළේ තමයි චිත්‍රපටයේ සාර්ථකත්වය රැඳෙන්න හේතු වෙන්නේ. මාර්කටින් පැත්ත, තියටර්ස් කොඩිනේට් කරන්න ඕන. මට අනුව නම් චිත්‍රපටයක් සම්පූර්ණයෙන්ම ඉවර කරනවා කියන්නේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය අවසන් වුණාට පස්සේ. ටෙලිනාට්‍ය ගණනාවක් කරපු අයෙක් විදියට මට නම් චිත්‍රපටයක් කියන්නේ දැවැන්ත කර්තව්‍යයක්. පෝස්ටර් ඩිසයින් එක පවා, පත්තරයට ආටිකල් එකක් කරන එක පවා. ටෙලිනාට්‍ය කරනවට වැඩිය චිත්‍රපට හදන එක අභියෝගාත්මකයි.

‘නේත්‍ර මායා’ සහ ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපට දෙකම Crime – Suspense – Thriller – Drama ශානරයේ චිත්‍රපට දෙකක්. ක්‍රිෂාන්තගේ කැමතිම ශානරය Suspense – Thriller ද?

මම හරි දරුණු විදියට ස්පැනිෂ් චිත්‍රපට බලන්න පුරුදු වෙලා හිටියා. ස්පැනිෂ් ෆිල්ම්වලත් ගොඩක් වෙලාවට තියෙන්නේ  suspense – Thriller එකක්. අනෙක් අතට ඇල්ෆ්‍රඩ් හිච්කොච්ගේ ස්ටයිල් එකට ආසයි. අනික මිනිස්සු කොහොමත් කුතුහලයට කැමති. මේ ශානරය හරහා යම් ප්‍රමාණයක් සිනමා ශාලාවට ගෙන්න ගන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා.

වර්තමානයේ චිත්‍රපට හදන එක ගැන මොකක්ද ඔබේ අදහස?

දැන් චිත්‍රපටයක් හදනවා කියන්නේ මොනවහරි කතාවක් දාලා නළු නිළියෝ ටිකක් දාලා සිනමාශාලාවේ පෙන්නන එක. අද කාලේ හැදෙන සමහර චිත්‍රපට ටෙලිනාට්‍යවලට වැඩිය හපන්. මම විශ්වාස කරන විදියට චිත්‍රපටයක් කරන්න නම් යම්කිසි අධ්‍යයනයක්, හැදැරීමක්, අධ්‍යාපනයක් අත්‍යවශ්‍යමයි. සමහරු ටෙලිනාට්‍යයක් කරලා ටික දවසකින් චිත්‍රපට හදන්න යනවා. මේ චිත්‍රපට හදනවා කියන එක බොහෝ අය පහසුවට අරන් ඉන්නේ. ඇත්තටම මම ටෙලිනාට්‍ය හතක් කරලා චිත්‍රපට දෙකක් කරලා මම තාමත් බයයි චිත්‍රපටය කරනවා කියුවාම. ආසයි. බයයි. ඒක තමා ඇත්තම කතාව.

සිනමාවට එන්න කලින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ කොහොමද? මොකක්ද ඒකට පසුබිම වෙන්නේ?

මම ඒ කාලේ ගුවන් හමුදාවේ හිටියේ. මම ටෙලිනාට්‍ය කරනකොට ගොඩක් අය සම්බන්ධ කරගත්තා. දයාරත්න රටගෙදර, චන්ද්‍රරත්න මාපිටිගම වගේ අය සම්බන්ධ කරගත්තා. දැන් ටෙලිනාට්‍ය කරන එක නැවැත්තුවේ 2010 විතර. උදාහරණයක් විදියට මම කරපු ⁣රේන්ද ගෙදර. දවස් 38 ෂූට් කරා. කොටස් 22යි. තුන්පාරකට ෂූට් කරා වාද්දුව පැත්තේ. දුවිලි මාළිගා කොටස් 20. දවස් 28 ෂූට් කළා. දිවුලපිටිය පැත්තේ. එහෙම කරලා අපි හොඳ ප්‍රඩක්ට් එකක් ප්‍රේක්ෂකයාට දුන්නා. ටෙලිනාට්‍යයක් නොකරන්න හේතුව තමයි මේ යන ගුණාත්මක නැති ටෙලිනාට්‍ය රැල්ලත් එක්ක දැන් ටෙලිනාට්‍ය කරන්න හිතෙන්නේ නෑ.

ඔබ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදියට නූතන ටෙලිනාට්‍ය නිර්මාණය වීම ගැන තියෙන අදහස මොකක්ද?

දැන් ලංකාවේ හැදෙන ටෙලි සම්බන්ධයෙන් තියෙන්නේ හරිම කළකිරීමක්. මම දැන් ටෙලිනාට්‍ය බලන එක පවා නවත්තලා තියෙන්නේ. කිසිම ගුණාත්මකබවක් නැහැ. ටෙලිනාට්‍යයක් කියන්නේ මොකක්හරි කතාවකට නළු, නිළියෝ දම්මලා අන්තිමට සංස්කරණය කරලා ටෙලිවිෂන් එකේ පෙන්නන එක නෙමෙයි. මේ ටෙලිනාට්‍ය හදන එක දැන් ඉන්න අය බොහොම සුළුවෙන් අරන් තියෙන්නේ. කිසිම හරයක් නැති හරසුන් ටෙලිනාට්‍ය නිර්මාණය වීමක් තියෙන්නේ. කිසිම ප්‍රමිතියක් නෑ.

දැන් තියෙන චිත්‍රපට කර්මාන්තයේ තියන අර්බුදය ගැන තියෙන අදහස මොකක්ද?

මට පෞද්ගලිකව දැන් මෙි මොහොතේ පේන්න තියෙන අර්බුදය තමයි එක දිගට නොනවත්වා චිත්‍රපට නිදහස් කිරීම. මේ පසුගිය මාස එක හමාර ඇතුළත සිංහල චිත්‍රපට නමයක් පමණ තිරගත වුණා. මණ්ඩලවලින් කරන්නේ තරඟයට චිත්‍රපට බෙදා හරින එක. රජය මැදිහත් වෙලා හරි මේ සිස්ටම් එකක් හදන්න ඕන නිදහසේ එක චිත්‍රපටයක් හරි සති දෙකක් නිදහසේ දුවන්න. නැත්නම් මාසෙකට චිත්‍රපට දෙකක් එක පාර. එතකොට ප්‍රේක්ෂකයාට තේරීමක් තියෙනවා. ඒත් අද වෙන්නේ ඒක නෙමෙයි චිත්‍රපටය හතරක් පහක් විතර සතියට දුවනවා. කොහොමද මේ විදියට චිත්‍රපට පෙන්වන්නේ. ලංකාවේ චිත්‍රපට පෙන්වන්න පුළුවන් සිනමාශාලා තියෙන්නේ 75ක් විතර. මේ විදියට චිත්‍රපටය පහක් විතර එක දිගට පෙන්වන්න බැහැ. සෑහෙන අසාධාරණයක්. මෙි තරඟය චිත්‍රපට කර්මාන්තයක් විදියට සෑහෙන නරක තත්ත්වයක්. යම් කිසි නියාමක මණ්ඩලයක් හරහා ක්‍රමවේදයක් තිබිය යුතුයි මේ චිත්‍රපට අධ්‍යක්ෂණයට එන්න කලින් සුදුසුකම් ඇතිව චිත්‍රපටයක් කරන්න. ටෙලිනාට්‍යයක් කරපු පමණින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන එකෙන් වෙන්නේ මේ චිත්‍රපට කර්මාන්තය ප්‍රමිතියක් නැති වෙනවා. අනික තමයි මේ තිරගත වන චිත්‍රපටවලට යම්කිසි ප්‍රමිතියක් එක්ක රේටින්ග් ක්‍රමයක් අවශ්‍යයි. කිසිම ස්ටැන්ඩර්ඩ් එකක් නෑ. මේ චිත්‍රපට ප්‍රදර්ශනය ඇතුළේ. ෆිල්ම් එකේ කොලිටි එකත් එක්ක ශ්‍රේණීගත කිරීමක් අවශ්‍යයි.

පහුගිය කාලයේ අධ්‍යක්ෂවරුන් පිරිසක් චෝදනා කළා සිනමාශාලාව ඇතුළට ජංගම දුරකථන ගෙන ඒම තහනම් කළ යුතුයි කියලා. සිනමාකරුවෙක් විදියට මෙි චෝදනාව ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

ගැටලුවක් ආවා ප්‍රේක්ෂකයන් සිනමාශාලාවට ඇවිත් චිත්‍රපටය වීඩියෝගත කරනවා කියලා. ඇත්තටම කියුවොත් ජංගම දුරකථන සිනමාශාලවට ගෙනියන එක ගැන මම 100% අකැමැතිත් නෑ. මොකද අපේ ප්‍රේක්ෂකාගාරය එතරම් හික්මුණු ප්‍රේක්ෂකාගාරයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රේක්ෂකයන් 90%ක් ගත්තොත් 10%ක් විතර ඉන්නවා චිත්‍රපටයක වටිනාකමක්, අගයක් නොදන්න සුළුතරයක්. අපි කෝටි ගණන් වියදම් කරලා අවුරුදු ගණන් මහන්සි වෙලා චිත්‍රපටයක් කරනවා. ඒ මහන්සිය සියල්ල වතුරේ යනවා අර විදියට ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා යුටියුබි දැම්මාම. නමුත් යම්කිසි නීතියක් පැමිණිය යුතුයි. යම්කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි මේ දේවල් නොවෙන්න. ජංගම දුරකථනය සිනමාශාලාව ඇතුළට ගෙනියන්න නොදීම කියන එකත් අපි තව හිතන්න ඕන. ඒක ප්‍රායෝගික නෑ. ප්‍රේක්ෂකයන් කැමති නෑ තමන්ගේ ජංගම දුරකථනය සිනමාශාලාවෙන් එළියේ තියලා යනවට. මොකද ඒක පෞද්ගලික දෙයක්. ප්‍රේක්ෂකයන් අපහසුතාවට පත්වෙන වැඩක්. ඒකයි මම කියන්නේ මීට විකල්පයක් හෝ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. නැත්නමි වෙන්නේ මෙි කර්මාන්තයට හානි වෙන එක.

ක්‍රිෂාන්ත මනම්පේරි කියන සිනමා අධ්‍යක්ෂවරයා වැඩිපුරම බලපෑම් කළ වෙනත් සිනමාකරුවෝ සහ චිත්‍රපට මොනවාද?

මම හරි ආසයි වසන්ත ඔබේසේකරගේ චිත්‍රපටවලට. මම චිත්‍රපටයක් කරන්න කලින් අනිවාර්යයෙන්ම වසන්තගේ චිත්‍රපට ටික බලනවා. ඊට පස්සේ හොලිවුඩ්වලින් ගත්තොත් සෑමි මෙන්ඩෙස්ගේ චිත්‍රපටවලට ආසයි. ගොඩක් ඉගෙනගන්න තියෙනවා ඒ චිත්‍රපට ඇතුළේ. විජය ධර්ම ශී‍්‍රගේ චිත්‍රපට, එච්. ඩී ප්‍රේමරත්නගේ චිත්‍රපටවලින් ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා.

නේත්‍ර මායා චිත්‍රපටයෙන් පස්සේ ඊළඟ සූදානම මොන වගේ වෙයිද?

දැනට පිටපත් කීපයක් ලැබිලා තියෙනවා. නේත්‍ර මායා චිත්‍රපටයෙන් පස්සේ මගේ ඊළග චිත්‍රපටය Black Comedy – Suspense – Thriller  චිත්‍රපටයක් වේවි.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT