ස්ටැන්ලි ගුණසේකර සහ තලතා අබේකෝන් යන මගේ ආදරණිය මවුපියන්ට දාව මම ඉපදෙන්නේ 1958 මැයි මස 18 වැනිදාවක.
ඒ අම්මයි තාත්තයි දෙන්නා නාවලපිටියේ පදිංචිව ඉන්න කාලයේ. මම ඉපදිලා අවුරුදු දෙකකට විතර පස්සේ මගේ නංගි ගංගා ඉපදිලා තියෙනවා. (ගංගා ප්‍රියදර්ශනී ගුණසේකර) නංගි ඉපදිලා අවුරුද්දකින් විතර මගේ මල්ලි (පි‍්‍රයන්ත ප්‍රදීප් ගුණසේකර) ඉපදිලා තිබෙනවා. අපේ අම්මට ඉතාමත් ළාබාල වයසකදි තමයි අපි තුන්දෙනාම ඉපදිලා තියෙන්නනේ.
මම කියන ජිවියා ආරම්භ වෙන්නේ ඒ විදියට. අපේ පවුලට ඉපදුණ කුලුඳුල් දරුවා විදියට අම්මයි තාත්තයි මට දිසානායක විජේසූරියගේ සන්ධ්‍යා දර්ශනී ගුණසේකර කියලා නම් තියනවා. අපි පුංචිකාලේ බලා ගන්න අම්මට අත් උදව්වට කෙනෙක් ඉඳලා තියෙනවා. නැතිනම් අම්මට රැකියාවට යන්න නොහැකිවන නිසා. අම්මා ඒ දවස්වල කිව්වා සති අන්තයට වගේ ඉඳහිට දවසක අත්තම්මත් ඇවිත් අපව බලා ගත්තා කියලා. අම්මා නාවලපිටියේ ඉස්කෝලේ පුංචි පන්තිවලට උගන්වන නිසා යම්තම් දැනුම් තේරුම් ඇති වයස වනවිට මමත් ඉස්කෝලෙට අරන් ගියා. අම්මගේ පන්තියේ ළමයි එක්ක මමත් එකට ඉඳගෙන ඉඳලා ඉස්කෝලෙ ඇරෙන විට අම්මත් එක්ක ගෙදර ආවා. තවමත් මට ඡායාවක් වගේ මතකයි පුංචි ඩෙස්ක් එකක ඉඳගෙන ළමයි එක්ක හිටියා. මල්ලි හම්බවෙන්න ඉන්න කාලෙත් අම්මා ඉගැන්නුවේ නාවලපිටිය ඉස්කෝලේ.
පවුලේ පළවෙනි දරුවා විදියට අම්මත් එක්ක මගේ ලොකු බැඳීමක් තිබුණා. මට හිතෙනවා අම්මටත් මා කෙරෙහි එහෙම බැඳීිමක් තිබුණා කියලා අනෙක් දරුවන්ට වඩා. අම්මා මට ආදරේට කිව්වේ ‘ සුදූ‘ කියලා. පස්සේ කාලෙක මම වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත් අම්මා මගේ පුංචි කාලය ගැන නිතර මතක් කරන්න ගත්තා. මම පුංචිම කාලේ මට ටොෆි චොකලට් ගෙනාපු විදිය ගැන ඇය නොයෙක්වර මාත් එක්ක කියලා තියෙනවා. ඒ කාලේ ඇයගේ සම්පූර්ණ පඩිය රුපියල් හැටයි. හෝ රුපියල් 90යි. නමුත් ඉතින් ඒ කාලේ හැටියට ඒක සැලකිය යුතු මුදලක්. හැම මාසෙම අම්මා මට සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන පුරුද්දකුත් තිබුණා. මට මතකයි ඒ කාලේ මට හිටිය බෝනික්කෝ ගොඩ. ඒ ඔක්කොම අම්මා ගෙනත් දුන්න ඒවා.
අම්මාගේ බාලකාලේ , තරුණ කාලේ ජිවිතේ ගැන කතා අහනකොට මට හිතුණා එයා ලොකු පීඩනයකින් , හිරවුණු ජිවිතයක් ගත කරලා තිබුණ කෙනෙක් කියලා. සාම්ප්‍රදායික වලව්වක බැඳීම් රැසක් එක්ක එයා හැදිලා තිබුණේ. සරල නිදහස් ජීවිතයක් එයාට හිමි වෙලා තිබුණේ නෑ. අම්මා පාසල් ගිහින් තිබුණේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයට. ඒකත් විද්‍යාලය ඇතුළත බෝඩිං කරලා. ඒ කාලේ මේ විද්‍යාලයට යන්න පුළුවන් වුණේ සුද්දන්ගේ දරුවන්ට සහ ඉහළ පෙලැන්තියේ වලව්කාර දරුවන්ට පමණයි. හැඳී ගෑරුප්පුවලින් කන, ඉංග්‍රිසියෙන් කතා කරන පිරිසක් තමයි මේ ඇතුළත ඉඳලා තියෙන්නේ. මේ විදියට ගෙවුණු අම්මගේ ජීවිතේට වසන්තය උදාවෙලා තියෙන්නේ අම්මට ගුරු පත්විමක් ලැබුණට පස්සේ කියලා තමයි මට හිතුණේ. වාසනාවකට වගේ අම්මගේ අප්පච්චි, අපේ ලොකු අත්තා අම්මා රැකියාවක් කරනවට අකමැත්තක් පළකරලා තිබුණේ නෑ. එයා ඒක ගැන කවදාවත් විරෝධයක් පළ කරලා තිබුණෙත් නෑ. මේ නිදහස් ජීවිතේදි අම්මට මුලින්ම මුණ ගැසුණු ප්‍රේමවන්තයා වුණේ අපේ තාත්තා. ඉස්ඉස්සරලම හදවත සසල කළ ප්‍රේමනීය හැඟීම් දුන්න අපේ තාත්තා සමඟ එයා විවාහ වෙන්නේ වැඩිහිටියන්ගේ, විශේෂයෙන්ම අම්මාගේ අප්පච්චිගේ විරෝධතාව මැද්දේ.
මම අහලා තියෙන විදියට අම්මාගේ අප්පච්චි, අපේ ලොකු අත්තා විවාහ වෙන දවසේ තිබිලා තියෙන්නේ අති විශාල විවාහ මංගල්‍යයක්. කොටින්ම කියනවා නම් අලි ඇතුන් ගෙන් යුත් පෙරහරකුත් තිබිලා තියෙනවා. රැ එළිවෙනතුරු නැටුම් නැටුවලු කියලා අපේ නෑදෑයන් කියනවා මම අහලා තියෙනවා. අපේ ලොකු අත්තාගේ පවුලේ ඉඳලා තියෙන්නේ පිරිමි දරුවෝම හය දෙනෙක් සහ එක ගැහැනු දරුවෙක්. මේ හත් දෙනාගේම විවාහයන් සිද්ධ වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික වලව් පෙලැන්තියේ අභිමානයන් මැද්දේ. මේ පවුලේ එකම ගැහැනු දරුවා විවාහ වෙන්නේ රත්වත්තේ පරපුරේ කෙනෙක් සමඟ. කිංස්ලි රත්වත්තේ කියන්නේ මගේ අම්මාගේ කසින්.
අම්මා ජීවත් වුණේ ලොකු අත්තාගේ මහ ගෙදර වුණු බෝයගම වලව්වේ. පුංචිකාලේ කාලයක් මමත් මේ වලව්වේ හැදි වැඩුණු නිසා මට තාමත් එහි හැඩහුරුකම් මතකයි. දිග අතට විහිදුණු ලොකු කුලුණු සහිත දිග වැරැන්ඩාවකින් යුතු වුණු මේ වලව්වට යන්න අපි පඩි 60ක් නගින්න ඕන. ඒකාලේ අවසරයක් නැතිව කවුරුවත් මේ මායිමට ආවේ නෑ. මට අවුරුදු 12-13 කාලේ මම හැදෙන්නේ මේ වලව්වේ. මේ වලව්ව අන්තිමේ අයිති වෙන්නේ අපේ ලොකු අත්තට සහ ඔහුගේ සහෝදරයෙකුට. මේ දෙන්නා අවසාන කාලේ අමනාප වෙනවා. අන්තිමේදි වලව්ව දෙකට මැදින් බෙදලා බිත්තියක් බඳීනවා. ලොකු අත්තගේ සහෝදරයා විවාහ වෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් සමඟ. ඒ විවාහයේදි වලව් පෙළන්තිය අමතක කරලා තමන්ගේ සතුට වෙනුවෙන් තීන්දු තීරණ ගන්න ඒ අත්තා එඩිතර වෙලා තියෙනවා. නමුත් අපේ ලොකු අත්තට ඒ වගේ කෙළින් තීන්දුවක් ගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒකත් ලස්සන ඉතිහාස කතාවක්.
අපේ ලොකු අත්තා ඒ කාලේ පෙමින් බැදිලා ඉඳලා තියෙන්නේ දෙමළ ජාතික තරුණියක් සමඟ. ඇය කොටට අඳීන, ටෙනිස් ක්‍රීඩා කරන, බටහිර පන්නයට හැදුණු තරුණියක්. අපේ අත්තගේ සහෝදරයා එයාගේ හිතු මනාපෙට එයා ආදරය කරපු ඕස්ට්‍රේලියානු ජාතික තරුණිය විවාහ කර ගත්තේ ඒ වෙනවිටත් හගුරන්කෙත වලව්වෙන් ඔහුට යෝජනා කර තිබුණු විවාහ යෝජනාව තඹයකටවත් මායිම් කරන්නේ නැතිව. අන්තිමේ මේ විවාහ යෝජනාව කැරකී විත් තිබුණේ අපේ ලොකු අත්තාටයි. නිවසේ බලපෑම මත ලොකු අත්තා ආදරය කරමින් සිටි දෙමළ ජාතික තරුණිය අමතක කර ඔහුට සිදුවි ඇත්තේ මේ විවාහ යෝජනාවට කැමති වන්නටයි.
අන්තිමේ අපේ ලොකු අත්තා හඟුරන්කෙත වලව්වෙන් පැමිණි ඒ යෝජනාවට කැමති වී විවාහ වෙනවා. ඒ දැවැදිත් සමඟ හඟුරන්කෙත වලව්වේ ඉලංගන්තිලක කුමාරිහාමි කෙනක් සමඟ. කොටට අඳීන ටෙනිස් ගහන ප්‍රේමවන්තිය වෙනුවට ගෙදරටත් ඔසරිය අඳීන අපේ සාම්ප්‍රදායික අත්තම්මව ලොකු අත්තා විවාහ කර ගන්නවා. හැබැයි මම අහලා තියෙනවා අපේ අම්මා ඇතුළු සහෝදර සහෝදරියන් ලැබුවට ඔවුන් දෙදෙනා ජීවත් වෙලා තිබෙන්නේ කිසිදු කතාබහකින් තොරව කියලා.
අපේ අම්මා හැදි වැඩෙන්නේ මෙන්න මෙහෙම පරිසරයක. මේ පරිසරයෙන් මිදිලා තමයි අම්මා තාත්තා එක්ක විවාහවෙලා නාවලපිටියේ පදිංචියට එන්නේ
ලබන සතියේ
මගේ මුල්ම පාසල…..
හේමාලි විජේරත්න