Home » ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන මම පත්තරේට ලිව්වේ අට වසරේදී….

ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන මම පත්තරේට ලිව්වේ අට වසරේදී….

by Thanushika
August 14, 2025 11:40 am 0 comment

කුඩා කල සිටම ඔහුගේ අතැඟිලි ගිටාරයේ තත් අතර දිව ගියේ ඔහුටත් නොදැනීමය. පුංචි සන්ධියේ සිට තම පියා ඉතාමත් ඇලුම් කළ ගායකයන්ගේ ගීතවලට මේ පුංචි පුතු ප්‍රියතාවයක් දැක්වූයේය. හැත්තෑවේ දශකයේ ශ්‍රී ලාංකික සංගීතයට අමුතුම ආකාරයක නාද රටා මුසුකළ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත නිතර මුමුණන තම පියා එම ගීත වලට දැඩිලෙස ප්‍රියකළ ආකාරය ඔහු ඉතා හොඳීන් දැන සිටියේය.

වයස අවුරුදු එකොළහ පමණ වන විට ගිටාරය අතට ගත් ඔහු රුක්ෂාන් කරුණානායකය. ඉතාමත් ළාබාල වියේදීම ඔහු ගිටාරයට පෙම් බැන්දේය. එකල ලංකාවේ සිටි අති දක්ෂ ගිටාර් වාදකයෙකු වූ ඩික්සන් ගුණරත්නයන් ගිටාර් වාදනය කරන ආකාරය රුක්ෂාන්ගේ නෙත ගැටුණේ වයස එකොළහේදීය. එදා සිට ගිටාරය අතට ගත් රුක්ෂාන් අද වන විට දක්ෂ ගිටාර් වාදකයෙකි. සංගීත අධ්‍යක්ෂකවරයෙකි.

එතැනින් නොනැවතුණ රුක්ෂාන් කරුණානායක නම් වූ මේ අපූරු තරුණයා අද සිනමා නළුවෙකි. තමන් කිසිදා නොසිතූ මොහොතක ලද ආරාධනයද පුදුම සහගතය. තමා ඉතාමත් ප්‍රියකළ ගායකයා වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳ නිර්මාණය වූ චිත්‍රපටයේ මංගල රුද්‍රිගු නැමති ගිටාර් වාදකයාගේ චරිතය රඟන්නට තමාට හැකිවේ යැයි ඔහු කිසිදා සිතන්නට නැත.එහෙත් එය සැබෑවක්ම විය. නොසිතූ වේලාවක නළුවෙක් වීම පිළිබඳ ඒ රසබර තොරතුරු බෙදාහදා ගන්නට පසුගිය දා රුක්ෂාන් කරුණානායක සරසවිය හමුවට පැමිණියේය. ඔහු පැමිණියේ තනිව නොව , ඔහු දැඩි ලෙස ආදරය කරන ගිටාරයද අතැතිවය. ඉඳහිට ක්ලැරන්ස්ගේ ගීතවල තනු වයමින් ඔහු සරසවිය සමඟ අපූරු කතාබහක නිරත වූයේ මෙසේය.

පුංචිම කාලේ සංගීතය පිළිබඳ මගේ එතරම් ඇල්මක් තිබුණේ නැහැ. මගේ තාත්තා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ හොඳ රසිකයෙක්. තාත්තා ගාව ක්ලැරන්ස්ගේ ගීත තැටි , කැසට් එකතුවක් තිබුණා. ඒ පසුබිමත් සමඟ මම ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ඇසීමට පුරුදුව සිටියා. තාත්තා සතුව ඔහුගේ ගීත එකතුවක් තිබුණා. ඒ පසුබිමත් සමඟ මම ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ඇසීමට පුරුදුව සිටියා. 2003 වසරේදී ‘ සුපර් ගෝල්ඩන් චයිම්ස්’ ප්‍රසංගයක් බලන්න තාත්තා මාව එක්කන් ගියා. ඒ තමයි මම බලන්න ගිය පළමු ප්‍රසංගය. එවිට මට වයස එකොළහයි. එදා ප්‍රවීණ ගිටාර් වාදක ඩික්සන් ගුණරත්න ගිටාර් වාදනය කරන සැටි දැකලා මටත් ආශාවක් ඇතිවුණා ගිටාර් වාදනය කරන්න.

මගේ ප්‍රථම සංගීත ගුරුවරයා වුණේ ආනන්ද වෛද්‍යසේකර. මම ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. මම ලීඩ් ගිටාරය හොඳීන් වාදනය කිරීමට ඉගෙන ගත්තා. 2004 වසරේදී මම ප්‍රසංගවල ලීඩ් ගිටාරය වාදනය කළා. මම බටහිර සංගීතය ඉගෙන ගත්තේ චමරි රාජකරුණා ගුරු මහත්මියගෙන්. මම පාසලේ සෑම ප්‍රසංගයකදීම ගිටාර් වාදනය කළා. ඒ අතරේ ‘ සුපර් ගෝල්ඩන් චයිම්ස්’ දෙවන ප්‍රසංගයත් බලන්න යන්න මට අවස්ථාව සැලසුණා.

එහිදී මට දක්ෂ ගිටාර් වාදනකයෙකු වූ ඩික්සන් ගුණරත්නයන්ව හඳුනාගන්න ලැබුණා. මම ඔහුත් සමඟ කතා කළා. ‘ගෝල්ඩන් චයිම්ස්, මූන්ස්ටෝන්, මදාරා, යුනිවර්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස් යන කණ්ඩායම් පහේම ශිල්පීන් හඳුනාගන්න මට හැකිවුණා. ඔවුන් සමඟ මිත්‍රත්වයක් ඇතිවුණා. වාදන කටයුතු අතරේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීත දිවියේ තොරතුරු සොයා බලන්න ආශාවක් මට ඇතිවුණා. ඒ කාලේ සමාජ මාධ්‍ය , අන්තර්ජාල පහසුකම් එතරම් වැඩි දියුණු වී තිබුණේ නැහැ. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන මුල්ම විශේෂාංග ලිපිය මා ලීවේ අට වසරේදී. ඔහු ගැන මම සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද ලිපි ලියා තිබෙනවා. අන්තර් ජාලය පරීක්ෂා කළොත් මගේ ලිපි තිබෙනවා.

2008 දී මා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නාට පසුව 2009 දී මගේ යාළුවොත් එක්ක එකතු වෙලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒ කාලේ මට කාලය තිබුණා. සංගීත කටයුතු කරන්න. චයිම්ස් ඔෆ් ද 70 ‘ නමින් අපේ සංගීත කණ්ඩායම නම් කළා. විනෝදෙට වගේ තමයි අපි එය පටන් ගත්තේ. මගේ ගෙදරම ස්ටුඩියෝ එකක් තිබෙන නිසා මට සංගීත වැඩ පහසුවෙන් කරගන්න පුළුවන් වුණා. මම ගීත නිර්මාණය කළා. භද්‍රජි මහින්ද, පවන් මල්ලවාරච්චි, ප්‍රියන්ත විජේසිංහ සහ භාෂි මධුභාෂිණී ට මම ගීත නිර්මාණය කර තිබෙනවා. ඒ කාලේ මම ඇල්බමයක් කලා M Entertainment එකත් සමඟ එකතු වෙලා. භද්‍රජි මහින්දගේ ඇල්බමයක් කළා. 2013 වසරේදී තවත් ඇල්බම් දෙකක් කළා. එය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ පරම්පරාවේ අයත් සමඟ පරම්පරා තුනක එකතුවක්. මම වගේම මගේ මල්ලිත් සංගීතයට දක්ෂයෙක්. ඔහු ඩ්‍රම්ස් වාදකයෙක්. ඔහු 2009/2010 වසර වලදී ලාබාලතම Drums වාදකයා වුණා. ක්ලැරන්ස් චිත්‍රපටයේ ඩ්‍රම්ස් වාදනය කළෙත් ඔහු. ඔහුගේ නම උදේශ් කරුණානායක. මගේ මල්ලී ඩ්‍රම්ස් වාදනය කරන්න පටන් ගත්තේ අවුරුදු හතේදී විතර.

ඒ විදිහට සංගීත කටයුතු කරන අතරේ මට රැකියාවක් ලැබුණා. ඒ නිසා මම සංගීතයෙන් මඳක් ඈත්වුණා. එහෙත් පුළුවන් විදිහට සංගීත කටයුතුවල නිරත වුණා. රැකියාවේදී කෙතරම් කාර්ය බහුල වුවත් සංගීතයට තිබෙන ලැදියාව පහව ගියේ නැහැ.

2019 වසරේදී මම නැවතත් සංගීත වැඩකටයුතු කෙරෙහි සක්‍රීය වෙන්න සිතුවා. ඒ නිසා මම විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කළා. ප්‍රවීණ ගිටාර් වාදකයෙකු වූ ඩික්සන් ගුණරත්න සමඟ. Electric Guitar & Sinhala pop නමින්. එය රසබර, හරබර සාකච්ඡාවක් වුණා. ඒ පිළිබඳ බොහෝ අය වර්ණනා කරමින් කතා කළා.

2021 වසර මට කිසිදා අමතක නොවන වසරක්. විශේෂයෙන් මගේ සංගීත ජීවිතයට. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ විසිපස් වැනි ගුණසමරුව වෙනුවෙන් පැවති වැඩසටහනකදී මටත් දායකත්වය සපයන්න හැකිවුණා. එය මා ලද භාග්‍යයක්. ඉහත සඳහන් කළ සංගීත කණ්ඩායම් පහේම අද ජීවත්ව සිටින සාමාජිකයන් එදා සහභාගී වුණා. එය සිරස නාලිකාව මඟින් කල පැය දෙකහමාරක වැඩසටහනක්.

ඉන්පසු 2022 වසරේදී මට තවත් වටිනා අවස්ථාවක් හිමිවුණා. ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි මාලේවනයන්ගේ හැත්තෑපස් වැනි උපන් දිනය වෙනුවෙන් පැවති ප්‍රසංගයට එක්වීමට මට ආරාධනා ලැබුණා. ඒ ආරාධනාවට අනුව ඩික්සන් ගුණරත්න කියන අති දක්ෂ ගිටාර් වාදකයා සමඟ එකම වේදිකාවක ගිටාර් වාදනය කරන්න මට අවස්ථාව ලැබුණා. වසර දහනවයකට පසු මට එවැනි අවස්ථාවක් හිමි වීමම මගේ සංගීත ගමනට මහත් රුකුලක් වුණා.

සුපුරුදු පරිදි මගේ රැකියාවේ කටයුතු සහ සංගීත වැඩ කටයුතු කරගෙන යන අතරතුර තමයි මට ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ. එහි අධ්‍යක්ෂකවරයා වූ තේජා ඉද්දමල්ගොඩ මට දිනක් කතා කළා. ඔහු ක්ලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳ චිත්‍රපටයක් කිරීමට යන බව මට පැවසුවා. තේජා අන්කල් සහ මම අතර වසර 15 ක පමණ මිත්‍රත්වයක් ගොඩ නැඟී තිබුණා. ඒ පිළිබඳ ඇසීමෙන් මම ඉතා සතුටට පත්වුණා. තේජා අන්කල් නිතර මට හමු වී නොතිබුණත් දුරකතනය ඔස්සේ අපි කතාබහ කර තිබුණා. 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දිනෙක තේජා අන්කල් ඇනස්ලි මාලේවනව හමුවී ක්ලැරන්ස් චිත්‍රපටය කිරීමේ අදහස ගැන කතාබහ කර තිබුණා. එදා මට දෙදෙනාම කතා කරලා කිව්වා මට ඒ සඳහා සහයෝගය ලබා දෙන්න කියලා. තේජා අන්කල් දැකලා තිබුණා මම ෂෝ එකේදී ගිටාර් වාදනය කරන ආකාරය. ක්ලැරන්ස් විජේවර්ධනයන් සමඟ එක්ව සංගීත කටයුතු කළ දක්ෂ ගිටාර් වාදකයෙක් වූ මංගල රුද්‍රිගු ගේ චරිතය කරන්න තේජා අන්කල් මට කතා කළා. රඟපෑම පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති මම ඒ ගැන එතරම් සුබවාදී පිළිතුරක් දුන්නේ නැහැ. එහෙත් ඒ ආරාධනාව කිසිසේත් බැහැර කිරීමට නොහැකි වුණා. ක්ලැරන්ස් චිත්‍රපටයට සම්බන්ධ සහය අධ්‍යක්ෂකවරයා වූ නිරෝෂන් එදිරිමාන්න සහෝදරයාගෙනුත් මට ඇමතුමක් ලැබුණා. අවසානයේ ඒ චරිතය මම බාර ගත්තා. මට ගිටාරය හොඳීන් වාදනය කිරීමට හැකි නිසා ඔවුන් මා ගැන සම්පූර්ණ විශ්වාසය තබා තිබුණා. තේජා අන්කල්ට අවශ්‍ය වී තිබුණේ මංගල රුද්‍රිගු කියන වාදකයා වයන ආකාරයටම ගිටාර් වාදනය කරන සැටි රූප රාමුවල පෙන්වීමට. මම කෙසේ හෝ හිත හදාගෙන චරිතයට අවතීර්ණ වෙන්න සූදානම් වුණා. ඒ අතරතුර විදෙස් රටක පදිංචිව සිටින මංගල රුද්‍රිගු මහතාට මම දුරකතනය ඔස්සේ කතා කළා. ඔහු ඒ ගැන අසා බොහෝ සතුටු වුණා. ඔහු ඒ අවස්ථාවේ ඔහුගේ ආශීර්වාදය එක් කළා. මම මුලින් ගෙදර උදවියටත් කිව්වේ නැහැ රඟපාන්න යන බව. තිර පරීක්ෂණයක් කරමු කියල මම තේජා අන්කල්ට යෝජනා කළා. මම රංගනයට ආධුනිකයෙක් නිසා. ඒත් ඔහු කිව්වා අවශ්‍ය නැතිබව. එවැනි නිර්මාණයකට මාව ගැනීම අවදානම් තීරණයක් දෝ කියාත් සිතුණා. මම රංගනයේදී දුර්වල වුණොත් මා සමඟ රඟන අනෙක් ශිල්පීන්ටද එය බලපාන බව මට සිතුණා. Makeup test එකට ගිය අවස්ථාවේ ක්ලැරන්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිත මට තේජා අන්කල් හඳුන්වා දුන්නා. දමිත් විජයතුංග සහ නිහාරි පෙරේරාව. ඉන්පසු සාරංග අයියාවත්, දිනක්ෂි අක්කවත් හඳුන්වා දුන්නා. ඒ දෙන්නා හමු වුණ වෙලාවේ නම් හිතට පුංචි තිගැස්මක් ඇතිවුණා. ඔවුන් අත්දැකීම් තිබෙන අය නිසා. එදා Makeup test එකෙන් පසුව අපි ඔක්කොම එකට හිඳ සාකච්ඡා කළා. මට එය නැවුම් අත්දැකීමක් වුණා.

ක්ලැරන්ස් චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගත්තේ 2023 පෙබරවාරි මාසයේ. මට මුලින්ම කැමරාව ඉදිරියේ පෙනී සිටින්නට තිබුණේ දමිත් සහ සාරංග අයියා එක්ක. “රෝස මලේ” ගීතයත් සමඟ මාව පිළිගන්න අවස්ථාව තමයි මුලින්ම කැමරාව ඉදිරියේ රඟ දක්වන්න තිබුණේ. එදත් මට තිගැස්මක් ඇතිවුණා. මගේ පළමු දෙබස් සහිත දර්ශනය. එතනදී සාරංග අයියට රඟපෑම, දෙබස් පිළිබඳ අත්දැකීම් තිබෙන නිසා ඔහුගේ සහයෝගය අපට ලැබුණා. දමිත් ටෙලි නාට්‍යයක රඟපාල, වෙළඳ දැන්වීම්වල චරිත නිරූපණය කරල තිබෙනවා. ඒ නිසා ඔහු කැමරාවට ආධුනිකයෙක් නෙවෙයි. ප්‍රසන්න දැකුම්පිටියත් එසේමයි. මේ පිරිසගේ සහයෝගය නිසා නිරාසයෙන්ම මමත් කැමරාවට හුරුවුණා.

‘ක්ලැරන්ස්’ චිත්‍රපටය රූගත කිරීම් කාලයේදී අපි ගතකළ කාලය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. එකිනෙකා සතු දැනුම බෙදාගත් ආකාරය හරිම සුන්දරයි. රංගනය පැත්ත දන්නා පිරිස අපිට ඒ ගැන කියා දුන්නා. සංගීතය ගැන නොදන්නා අයට මම මගේ දැනුම දුන්නා. විශේෂයෙන් ගිටාර් වාදනය කරන ආකාරය. ඇතැම් වෙලාවට මගේ ගිටාර් වාදනය එතන සිටි පිරිසට කරදරයක් වුණා. වාදන භාණ්ඩයක් අතේ තියාගෙන වාදකයෙකුට බලාගෙන සිටීමට අපහසුයි. ඉබේම අත යන්නේ වාදන භාණ්ඩයට. එය සාමාන්‍ය දෙයක්.මටත් එසේම වුණා. රූගත කිරීම් අතරතුරේදී ලැබෙන පුංචි විරාමයේදී මගේ ඇඟිලි තුඩු රැඳුණේ ගිටාරයේ. ඉතින් මගේ අතත් ගිටාරයට යන්නේ නොදැනීම. එය වෙනත් අංශවල අයට බාධාවක් වූ අවස්ථා තිබුණා. ඒ වෙලාවට කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තාගෙන් බැනුම් අහපු අවස්ථාත් තිබුණා. ඒත් ඒ අවස්ථා හරිම සුන්දරයි. අපේ රූගත කිරීම් වලදී ඇන්ස්ලි මාලෙවන ප්‍රවීණ ගායන ශිල්පියාත් අප සමඟ සිටියා. එය අපට දිරිගැන්වීමක් වුණා.

ඒ වගේම මට අමතක නොවන සිද්ධියක් වුණේ ක්ලැරන්ස් අපේ කට්ටියගෙන් වෙන්වෙලා හොරෙන්ම ගිය මොහොත. ඒ වෙලාවේ යාළුවෝ ටික එක එක මත දරනවා. ඒ අවස්ථාවේ මට තිබුණේ සරම මාරු කරන්න. ඒ දර්ශනය මටත් අපහසුතාවක් වුණා. මම ගිහින් තේජා අන්කල්ට කිව්වා මම හිතුවේ මට තියෙන්නේ ගිටාර් ගහන්න විතරයිනේ කියලා. හැබැයි ඒ දර්ශනය හොඳට කෙරුණා. චිත්‍රපටය ප්‍රදර්ශනය වන විට ප්‍රේක්ෂකාගාරයත් සිනා වෙනවා ඒ දර්ශනයේදී. කෙසේ වුවත් ඉතාමත් සුන්දර කාලයක් විනෝදයෙන් ගත කරන්න අපට හැකිවුණා.

විශේෂයෙන් මට සතුටට කරුණක් වුණා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ ශීලා මහත්මියට සහ දියණිය අමිලා විජේවර්ධනට දුරකතනය ඔස්සේ කතා කිරීමට ලැබීම ගැන. ඔවුන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔවුන් ඉතාමත් සතුටු වුණා චිත්‍රපටය ගැන ඇසීමෙන්. ශීලා මහත්මියව මම කුඩාකල සිට දැන සිටියා. මම ඔවුන්ට කතා කරද්දීත් ‘ ක්ලැරන්ස් ‘ චිත්‍රපටය ගැන ඔවුන් දැනුම්වත් වී සිටියා. මා මෙතෙක් වේලා ‘ ක්ලැරන්ස් ‘ චිත්‍රපටය ගැන කතා කළා. එහෙත් චිත්‍රපටයට පාදක වූ ඒ වටිනා චරිතය ගැන කතා කළ යුතුමයි.

ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ ශ්‍රී ලාංකික සංගීතයට වෙනමම හැඩයක් ගෙනදුන් සංගීතවේදියෙක්. ඔහුගේ ගී තනුවල බටහිර සංගීතයේ හුරුව, නාද රටා ගැබ්වී තිබුණා. එය විශේෂත්වයක්. මෙම සංගීතමය චිත්‍රපටය නම් කළෙත් ඔහු නමින්. ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටය වටා අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණේ ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ සංගීතයේ තිබූ රසය නිසාම විය යුතුයි.

මාව සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ වාදකයෙකු විදිහට පමණයි මගෙ යාළුවෝ, සමීපතමයන් දැන ගෙන සිටියේ. මගේ ජීවිතයට අමුතුම කලඑළියක් ලැබුණේ ‘ක්ලැරන්ස්’ චිත්‍රපටය නිසා. මම සංගීත කටයුතු, රැකියාවේ කටයුතු කරගෙන නිශ්ශබ්දව සිටි කෙනෙක්. මගේ හිතවතුන් පුදුම වුණා මම නළුවෙක් වීම ගැන. මම නිතර චිත්‍රපට, ටෙලිනාට්‍ය බලන කෙනෙක්. එදා ‘ ක්ලැරන්ස් ‘ විශේෂ මාධ්‍ය දර්ශනයේදී PVR සිනමා ශාලාවේදී තිරය මත මා මාවම දකිද්දි මටත් පුදුමයක් දැනුණා. මේ මට ලැබෙන්න තිබුණ දෙයක් වෙන්න ඇති. මට ඉතාමත් හොඳ ප්‍රතිචාර තාමත් ලැබෙනවා. ඒ ගැන ඉතාමත් සතුටුයි.

‘ක්ලැරන්ස්’ Rhythm of the Guitar චිත්‍රපටය මෙතරම් සාර්ථක කරගන්න බොහෝ පිරිසක් දායකත්වය ලබා දුන්නා. මුලින්ම ස්තුති කරන්න අවශ්‍යයි මේ සුන්දර නිර්මාණය බිහිකළ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂකවරයාට. ඒ වගේම නිෂ්පාදනය කළ තුසිත විජේසේනට මහතාට. ක්ලැරන්ස් චිත්‍රපටයට රංගන දායකත්වය සැපයූ සියලුම දෙනාවත් , සහය ලබා දුන් ක්ලැරන්ස් නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනාවත් ඉතා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මට මගේ රංගනය සාර්ථක කරගන්න සහය දුන් සැමටත් මගේ ස්තූතිය පුද කරනවා. ක්ලැරන්ස් චිත්‍රපටය ඉතාම සුන්දර සංගීතමය චිත්‍රපටයක්. ඒ නිසා එහි සංගීත අධ්‍යක්ෂවරයා වූ සුරේෂ් මාලියැද්දවත් ආදරෙන් මතක් කරනවා. ඔහු ක්ලැරන්ස්ගේ මුල් ගී තනු වලට කිසිදු හානියක් , වෙනසක් නොකොට නව සංගීත සංයෝජනයකින් ඒ ගීත සියල්ලම මිහිරි ලෙස හැඩ කළා. එ නිසාවෙන්ම චිත්‍රපට ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මතකය නැවතත් අලුත් වුණා. ඔහුගේ රසිකයෙක් වූ මට ඔහු නමින් නිර්මාණය වූ චිත්‍රපටයේ චරිතයක් ලැබීමත් මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන සිදුවීමක් වේවි.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT