Home » ක්ලැරන්ස් වැඩිපුරම සින්දු කිව්වේ අපිත් එක්ක

ක්ලැරන්ස් වැඩිපුරම සින්දු කිව්වේ අපිත් එක්ක

Golden Chimes නිත්‍ය ගායිකා ලංකිකා පෙරේරා -ශානක පෙරේරා

by Thanushika
August 14, 2025 10:56 am 0 comment

Golden Chimes ට අවුරුදු 55ක්

ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන මතකය මේ දිනවල නිරන්තරයෙන්ම අලුත් වෙන්න ප්‍රධානම හේතුව වුණේ මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගතවන තේජා ඉද්දමල්ගොඩ විසින් අධ්‍යක්ෂණය කරන ලද රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටිය හේතුවෙනි. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවන වෘත්තාන්තය අලළා නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත්තක්. මේ නිසාම ක්ලැරන්ස් ගේ ජීවන වෘත්තාන්තය හා සබැඳී සැබෑ තොරතුරු සොයන්නටද බොහෝ දෙනෙකුට උනන්දුවක් ඇති වී තිබීමද එක් අතකට සුබදායී කරුණක්. ඉතාමත්ම දක්ෂ සංගීතවේදියෙකු ගායකයෙකු කණ්ඩායම් සංගීතඥයෙකු වූ ක්ලැරන්ස් පිළිබඳ සැබෑ ඇගයීමක් ඔහු ජීවත්ව සිටිනා කාලය පුරාම සිදු නොවූවක්.

අදටත් මෙරට සංගීත ඉතිහාසයේ නොමියෙන ගී තනු නිර්මාණයන් හා ගායන පෞරුෂයක් ඉතිරිකර ගිය ඔහු පිළිබඳ යළි යළිත් ස්මරණය කිරීම විශේෂයෙන් සංගීතයට ආදරය කරන්නවුන් ලෙස අප සතු යුතුකමක්.

ක්ලැරන්ස් ගීත ක්ෂේත්‍රයට පියනඟනුයේ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම හරහාය. ටික කාලයක් මූන්ස්ටෝන් සමඟ සිටි ක්ලැරන්ස් කලකදි මේ සංගීත කණ්ඩායම හැර ගොස් වෙනත් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්නේය. රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටයේ ඔහු නිර්මාණය කළ දෙවැනි සංගීත කණ්ඩායම පිළිබඳ සඳහන් නොවූවද, ක්ලැරන්ස් වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කර හා නිර්මාණය කර ඇත්තේ ඔහු නිර්මාණය කළ ඒ දෙවැනි සංගීත කණ්ඩායමත් සමඟය. එම සංගීත කණ්ඩායම වූයේ ගෝල්ඩන් චයිම්ස්ය. ක්ලැරන්ස් ජීවතුන් අතර නැති වූවද ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ පැරැණිතම සාමාජිකයින් වන ලංකිකා පෙරේරා සහ ශානක පෙරේරා තවමත් මේ සංගීත කණ්ඩායම සක්‍රීයව පවත්වාගෙන යති. මේ නිසාම ක්ලැරන්ස් පිළිබඳ මතකය අවදි කරන්නටත් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ වර්තමානය පිළිබඳ වන කතාබහටත් පසුගිය දිනක අප ලංකිකා හා ශානක හමුවුණෙමු.

ක්ලැරන්ස් පිළිබඳ වන අතීත මතක රැසක් අපි ඔවුන් හා බෙදා ගත්තෙමු.

“ශානකට ඒ කාලේ තිබුණා බීට් බෑන්ඩ් එකක්. 1965 දී. ඉලෙක්ට්‍රික් ගිටාර්ස්, drums එක්ක තමයි මේ බෑන්ඩ් එක ගියේ. දවසක් මේ බෑන්ඩ් එක ප්ලේ කරනකොට ඇනස්ලියි, ක්ලැරන්සුයි දෙන්නා ආරාධිතයින් විදිහට ඇවිත් හිටියා. ඒ කාලේ වෙනකොට මූන්ස්ටෝන් තිබුණට ඒගොල්ලන් ඉලෙක්ට්‍රික් ගිටාර් ප්ලේ කරේ නෑ. කොංගෝ ඩ්‍රම්ස් සහ බොක්ස් ගිටාර් විතරයි ප්ලේ කළේ. මේ වෙලාවේ ක්ලැරන්ස්ට අවස්ථාව ලැබිලා තියෙනවා ශානකලගේ බෑන්ඩ් එකත් එක්ක සින්දු කියන්න. ක්ලැරන්ස්ට ඒ වෙලාවෙ හිතිලා තියෙනවා ඉලෙක්ට්‍රික් ගිටාර් ඩ්‍රම්ස් තිබුණනම් ඒගොල්ලන්ටත් හොඳයි කියලා. ඊට පස්සේ ක්ලැරන්ස් ශානකව හොයාගෙන ඇවිත් තිබුණා. ඒ කාලේ එයා රෝස මලේ, කළු මාමා වැනි සින්දු ප්‍රැක්ටිස් කරන කාලේ. ක්ලැරන්ස් ඉල්ලීමක් කරලා තිබුණා මේ සින්දු දෙක රෙකෝඩ් කරන්න Instrument අරගෙන එන්න පුළුවන්ද අහල. බෑන්ඩ් මැනේජර්ගෙන් අවසර අරගෙන බේස් ගිටාර් සහ ඩ්‍රමර් අරගෙන ගිහින් ඒ ගීත රෙකෝඩ් කළා. සිංදු හතරක් මේ විදිහට රෙකෝඩ් කළා. මේ ගීත ටික අවුට් වුණාම මිනිස්සුන්ට ලොකු වෙනසක් දැනුණා. හරියට ෂෝ එන්න පටන් ගත්තා. ශානක ඒගොල්ලන්ගේ බෑන්ඩ් එකෙන් ප්ලේ කරන ගමන් ක්ලැරන්ස්ලා එක්කත් ගියා.

මේ වෙලාවේ ශානකලාගේ බෑන්ඩ් මැනේජර් කියලා තිබෙනවා මූන්ස්ටෝන්ලා සමඟම ජොයින් වෙන්න ප්‍රශ්නයක් නෑ කියල. 1968 දී විතර ශානක සහ මගේ අයියා මූන්ස්ටෝන් වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ අය දිගටම මූන්ස්ටෝන් සමඟ වැඩ කරනවා. ශානකයි, අයියයි, ක්ලැරන්සුයි, ඇනස්ලියි, නෙමෙයි තමයි මූන්ස්ටෝන් ගෲප් එක. හැබැයි දිල්හානි රෙකෝඩින් එකට මංගල නාට්‍ය ගැහුවේ. ශානකගේ බීට්ල් බෑන්ඩ් එකේ ඇන්ටන් ගුණතිලකයි. ඒ කාලේ සුනිල් මාලේවන ඩබල් ලීඩ් ගැහුවා. ඇන්ටන් රෙකෝඩින් ආවා විතරයි.

1969 විතර වගේ වෙනකොට විවිධ ප්‍රශ්න ඇවිත් අපේ අයියා මූන්ස්ටෝන් වලින් අයින් වුණා. ඊට පස්සේ ශානකත් අයින් වුණා. කෙටි කලකින්ම පත්තරේ දාලා තිබුණා ක්ලැරන්සුත් මූන්ස්ටෝන් වලින් අයින් වුණා කියලා. දවසක් ශානක ගිහින් තිබුණ ක්ලැරන්ස් මුණගැහෙන්න. ඔහු ඒ කාලේ කොල්ලුපිටියේ රැකියාවක නියුතු වුණා. ශානකත් වැඩ කළේ ඒ ළඟමයි. ඒ කතා බහේදී ඔවුන් කතා කරගෙන තිබුණා අලුත් බෑන්ඩ් එකක් හදන්න. එහෙම තමයි ගෝල්ඩන් චයිම්ස් බෑන්ඩ් එක හැදෙන්නේ. 1970 අප්‍රේල්වල අපේ පල්ලියේ කොන්සර්ට් එකක් පවත්වන්න සූදානම් කරගෙන හිටියා. ඉස්සෙල්ලම මේ කොන්සර්ට් එකට ප්ලේ කරමු කියලා කතා කරගත්තා. ඒ වෙනකොට නමක් තිබුණෙත් නැති නිසා Break away from moonstone කියලා නම් කළා. පළවෙනි සාමාජිකයන් වුණේ ශානකයි, අයියයි, ඇන්ටනුයි, කැලැරන්සුයි. පළමුවෙනි ෂෝ එක කළේ එහෙම. හැබැයි ඒ කාලේ මේක ලොකු ආන්දෝලනයක් ඇති කරන්න හේතු වුණා. මේ වෙනතුරු ක්ලැරන්ස් මූන්ස්ටෝන් එක්කළා Sing කරල නෑ. නමුත් සිංදු හැදුවේ melody දැම්මේ ඔක්කොම ක්ලැරන්ස්.

මේ කාලේ වෙනකොට ක්ලැරන්ස් මොරටුවට ඇවිත් අපේ ගෙදර තමයි නැවතිලා හිටියේ. මම ඒ වනවිට ශානක සමඟ එන්ගේජ් වෙලා. මමත් ශානකත් ගිටාර් ප්ලේ කරනකොට english songs කිව්වා. ඒක අහල තමයි ක්ලැරන්ස් මට කිව්වේ group එකේ Sing කරන්න කියලා. ඊට පස්සේ සූරිය රෙකෝඩ් එකේ ජෙරල්ඩ් වික්‍රමසූරිය අපේ බෑන්ඩ් එකට නමක් දුන්නා ‘ගෝල්ඩන් චයිම්ස්’ කියලා. එහෙම තමයි අපි ගෝල්ඩන් චයිම්ස් පටන් ගත්තේ.

අපි රෙකෝඩ්ස් හතරක් කළා. 1970 පටන් අරන් 1973 මැද හරිය වෙනතුරුම ක්ලැරන්ස් ගෝල්ඩන් chimes එක්ක හිටියා. අපේ පළවෙනි රෙකෝඩ් එක තමයි කිමද නාවේ. මගේ පැල්පතේ සිහින් සිනාවයි, පාට පාට රන්තරු ගීත හතර. ඊට පස්සේ මලයි වැලයි, සිහිල් නුවන්, සුරඟන වෙස් වලා මේ විදිහට රෙකෝඩ් හතරක් අපිත් එක්ක කළා. ඇන්ටන් දිගින් දිගටම continue කළේ නෑ. ඒ වෙනුවට ඩික්සන් ගුණරත්නව අපි ගෙනාවා. ක්ලැරන්ස් තමයි ඩික්සන් ගුණරත්නව හොයාගෙන ආවේ. golden chimes වල සථිර Permanent lead guitarist වුණේ ඩික්සන් ගුණරත්නයි. ඊට පස්සේ අපි අනිල් භාරතීව එකතු කරගත්තා. අපට wedding play කරන විට male vocalist කෙනෙක් නැති නිසා අනිල්ව ගත්තා. අනිල් කියන්නේ ශානකගේ මාමාගේ පුතා. ඊළඟ රෙකෝඩින් එකේදී අනිල්ටත් සින්දුවක් දෙන්න ශානකට අවශ්‍ය වුණා. ඒ විදිහට අනිල් ගේ ගීතත් ආවා. ඒ අතර කිරි මුහුදත් තිබෙනවා. අපි කිරි මුහුද සින්දුව හැදුවේ විජය කොරයගෙ පුතාට. එයා පුතාගේ නම දානවට කැමති වුණේ නෑ. කිරි මුහුද කලඹාලා ගෙනා – මගේ කුඩා පුතුටයි කියන ගීතය තමයි ඒක. ක්ලැරන්ස් ඔය සින්දුව හැදුවේ මගේ පුතා දිහා බලාගෙන. lyrics ක්ලැරන්ස්ගේ. සුරඟන වෙස් වලා ගීතය විතරක් කේ.ඩී.කේ. ධර්මවර්ධන ලිව්වා. ක්ලැරන්ස්ට තිබුණ පුදුම හැකියාවක් ඒක. මෙලඩි දාන්න වගේම වචන ලියන්නත් ඔහුට පුළුවන්. ඒක ලෙහෙසියෙන් කෙනෙකුට පිහිටන්නේ නැති හැකියාවක්.

ක්ලැරන්ස් ගෝල්ඩන් චයිම්ස් වලින් යනතුරුම ඔහුගේ ගීත තමයි කිව්වේ. ඔහු ගියාට පස්සේ තමයි අපි වෙන අයට සිංදු ලියන්න දුන්නේ. ක්ලැරන්ස් අපේ ගෙදරින් ගියාට පස්සේ රත්මලාන පැත්තේ කාමරයක හිටියා. එහිදී තමයි ක්ලැරන්ස් විවාහ වෙන්නෙත්. 1972 මැයි මස තමයි එයා විවාහ වෙන්නේ. ක්ලැරන්ස්ගේ වෙඩින් එකට ගියෙත් ශානකයි, මගේ අයියා ඩික්සනුයි. ඒ වෙනකොට මට බබා හම්බවෙන ඇවිත් හිටිය නිසා මට යන්න බැරි වුණා. 1973 මැද වනතුරු විතර ක්ලැරන්ස් අපිත් එක්ක හිටියා. ඊට පස්සේ අයින් වෙලා ඇනස්ලි එක්ක එකතුවෙලා Super Golden Chimes හැදුවා. ඊට පස්සේ අපි ගෝල්ඩන් chimes විදිහට ගියා. ක්ලැරන්ස්ලා Super Golden Chimes විදිහට ගියා. ප්‍රශ්නයක් වුණේ නෑ. අපි බොහොම සුහදව හිටියා.

අපේ Band එකට දැන් අවුරුදු පනස් පහක්. තවමත් අපි ප්ලේ කරනවා. ක්ලැරන්ස් ගියාට පස්සේ අපිට ලීඩ් ගිටාරිස්ට් සහ රිදම් ගිටාරිස්ට් කෙනෙක් ඕන වුණා. ශානකගේ කසින්ස්ලා වුණ රුක්ෂාන් පෙරේරා සහ ලක්ප්‍රිය ද සිල්වා දෙන්නා අරගෙන ප්‍රැක්ටිස් කලා. මේ දෙන්නම එතකොට පාසල් ශිෂ්‍යයෝ. ලක්ප්‍රිය සින්දුත් ලියනවා. මගේ අඳුරට බැණ බැණ / දළදා පෙරහැර ලිව්වේ ලක්ප්‍රිය. අපි දිගටම මේ විදිහට ගෝල්ඩන් චයිම්ස් කරගෙන ගියා. කාලයක් යද්දි සුපර් ගෝල්ඩන් චයිම්ස් අපේ අයව අදින්න ගත්තා. මුලින්ම ගත්තේ රුක්ෂාන්. නමුත් ඉතින් අපිත් පසු බැස්සේ නෑ. කොහොම හරි කරගෙන ගියා.

ටික කලකින් අනිලුත් එතනට ගියා. ඊට පස්සේ සුපර් ගෝල්ඩන් චයිම්ස් ටික ටික කැඩිලා ගියා. නමුත් අද වනතුරු අපි අපේ ගෲප් එක කරගෙන යනවා. පස්සෙ කාලෙක ක්ලැරන්සුත් තනියම ගමනක් යනවා.

අනිල් භාරතීත්, තනියම ගමනක් යනවා. ඊට පස්සේ මදාරා කියලා බෑන්ඩ් එකක් කළා. නමුත් ඒකට දිග ගමනක් යන්න ලැබුණේ නෑ.

අපි දිගටම ගෝල්ඩන් චයිම්ස් පවත්වාගෙන ගියා. අසූව දශකය වනවිට අපේ සින්දු ඉඹ්ඕඛ් වලවත් නිතර යන්නේ නැති තත්ත්වයක් උදාවුණා. ඒ නිසා අපි හොටෙල්ස් වල ප්ලේ කරන්න පටන් ගත්තා. ඒක ඉතාමත් ජනප්‍රිය වුණා. ඒක නිසා සින්දු රෙකෝඩ් කරන එක පොඩ්ඩක් නැවතුණා. අපි ආයෙත් සින්දු කරන්න ගත්තා. ඒක පටන් ගත්තෙ මායා කියලා කැසට් එකකින්. ඒක තමයි අපේ දෙවැනි කැසට් එක. මේ කැසට් එක අපි කළේ වෙස්ටන් මෙලඩි වලට සිංහල වචන දාලා. ඒක ගොඩක් ජනප්‍රිය වුණා.

වසර 2000 වන විට අපට අවුරුදු තිහක් සම්පූර්ණ වුණා. ඒක අලළා අපි සංයුක්ත තැටියක් කළා. ටොරානා එකෙන් තමයි කළේ. කිමද නාවේ කියලා. ගීත දාසයක් තිබුණා. පරණ ගීතත් එක්ක අලුත් ගීතත් කළා. ඊට පස්සේ මගේ පැල්පතේ කියලා තව සීඩී එකක් කළා. ඒකෙ ඔක්කොම අන්තර්ගත වුණේ අපේ පරණ සින්දු. මේ සීඩී දෙකම අපි කළේ අදාළ අයගෙන් අවසර අරගෙන.

පස්සෙ කාලෙක tribute to Klarance කියලා ෂෝ දෙකක් පිටරට කළා. ඒ ෂෝ දෙකටම අපි දෙන්නටම ආරාධනා කළා ඔක්කොම ක්ලැරන්ස්ගේ ගීත තමයි ගැයුවේ. ලංකාවෙන් ආරාධනා කළේ අපි දෙන්නට. ඒ විදිහට අපි මේක continue කරගෙන ගියා.

ඉදිරියේදී අපි ලොකු ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ දීර්ඝම කාලයක් එක විදිහට පවත්වාගෙන යන බෑන්ඩ් එකක් විදිහට ගෝල්ඩන් චයිම්ස්

ඉතිහාසයට එකතු වෙනවා. දැන් අවුරුදු පනස් පහක් වෙනවා. ඒ නිමිති කරගෙන අපි ලොකු ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

[email protected]

සේයාරූ – නිශ්ශංක විජේරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT