සිනමාව සහ ටෙලි නාට්‍ය කලාවේදී වැදගත්ම චරිතයක් වන්නේ නිෂ්පාදන කළමනාකරුගේ චරිතයයි. නිසි කළමනාකරණයක් නොමැතිව නිර්මාණයක් සාර්ථක වන්නේද නැත. සිනමාපටයක් හෝ ටෙලි නාට්‍යයක් තැනිමේදී එහි පෙර සැලසුමේ සිට අවසානය දක්වා භාරදුර වැඩ කොටසක් තම උරමත දරා සිටින්නේ නිෂ්පාදන කළමනාකරුය. එවන් වටිනා චරිත ඇගයුමට ලක් කළ යුතුය. වසර පනහකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තම ජීවිතය කැප කළ සහ දායකත්වය සැපයූ වටිනා චරිතයක් මෙවර කතා බහට එක් වූයේය. ඔහු ආර්. ඒ. සරත් විජේසේකරය. ඔහු නිෂ්පාදන කළමනාකරුවෙක් සේම දක්ෂ රංගන ශිල්පියෙකි. මෑතකදී අති සාර්ථක ලෙස තිරගතක් වූ නෙළුම් කුලුන චිත්‍රපටයේද ඔහු චරිතයක් රඟපෑවේය. වසර පනහකට ආසන්න කලා ජීවිතයේ සරත් විජේසේකර මහතා ටෙලි නාට්‍ය සහ සිනමාපට රාශියක නිෂ්පාදන කළමනාකරුවෙක්ලෙස කටයුතු කර ඇත.
මහගෙදර, විරාගය, වත්සලා අක්කා, වෛෂ්ණාවී, බවදුක, බව කර්ම, සුදු කළුවර, තේජා, සැමීගේ කතාව, දරුවනේ, දෝණි, සිංහයා ඔහු නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ චිත්‍රපට ලැයිස්තුවෙන් කිහිපයකි.
මන් (දෙමළ), Mother, Elephant Girl (පකිස්ථාන) වැනි විදේශීය චිත්‍රපට වලද ඔහු නිෂ්පාදන කළමනාකාරවරයෙක් ලෙස දායකත්වය සපයා ඇත.
තිස්ස අබේසේකරයන්ගේ පිටගම්කාරයෝ , මායා, සුදත් රෝහණයන්ගේ වනවදුලේ වසන්තය වැනි ටෙලි නාට්‍යවලත් , සෝමරත්න දිසානායකයන්ගේ ඉටිපහන් 1 සහ වී. සිවදාසන්ගේ ‘ සුනෙර ගිර සසල විය ‘ ඇතුළු ඔහුගේ තවත් ටෙලි නිර්මාණ දහයක සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කර ඇත. ඔහු දායකත්වය සැපයූ සිනමාපට සහ ටෙලි නාට්‍ය ලැයිස්තුව ඉතා දීර්ඝ බැවින් මෙහි සඳහන් කර ඇත්තේ ඉන් අතළොස්සක් පමණි.
සරත් විජේසේකර ඔහු කළ කාර්යභාරය වෙනුවෙන් කිහිපවතාවක් සම්මානයටද පාත්‍ර වී ඇත. හොඳම නිෂ්පාදන කළමනාකරු ලෙස 2012 වසරේදී Signis OCIC සම්මානයත් ටෙලි නාට්‍ය වේදීන්ගේ සංසදය විසින් පිරිනමන ලද ගෞරව සම්මානයත් 2022 වසරේදී ‘ කාලතීර්ථාභිමානි’ සම්මානයත් , 2022 වසරේදි කලාභූෂණ සම්මානයෙන් ද ඔහු සම්මානනීය වී තිබීම විශේෂත්වයකි.
පසුගිය අගෝස්තු 10 වැනිදා සුදර්ශියෙන් ඇගයුමට පාත්‍ර වූ සරත් විජේසේකර මහතා සමඟ දොඬමළු වූ සරසවියට ඔහු මෙසේ ඔහුගෙ කතාබහ එක්කළේය.
මා උපන්නේ සහෝදර සහෝදරයන් හත් දෙනෙක්ගෙන් යුත් පවුලක හතර වෙනියා ලෙසින්. මුල්ම ගම වුණේ පයාගල. මුලින්ම ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවේ වාද්දුව බාලිකා විද්‍යාලයට. මගේ පියා සේවය කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ. ඔහුගේ සේවා මාරුවීම් හේතුවෙන් ගම්පහ වඳුරව ප්‍රදේශයට පදිංචියට ගියා. එහිදී පාසැල් ගියේ කූරි කොටුව මිශ්‍ර පාසැලට සහ වේයන්ගොඩ මහා විද්‍යාලයට. මගේ තරුණ කාලය ගෙවුණේ වේයන්ගොඩ වඳුරව. ඒ කාලේ මම ගමේ පන්සලේ ටීටර් නාට්‍ය දැකලා. අපේ අල්ලපු ගමේත් නිතර නිතර ටීටර් නාට්‍ය පෙන්නුවා. මම කූරිකොටුව මිශ්‍ර පාසැලේදී නාට්‍යයක් කළා. එය තමා මගේ නාට්‍ය කලාවේ ආරම්භය. මා නාට්‍යය කළේ මගේ මිත්‍රයා වූ ධනපාල සමඟ. නාට්‍ය පිළිබඳ ඔහුට අත්දැකීම් තිබුණා. ඔහුගේ පියා ටීටර් රංගන ශිල්පියෙක්. මා වේයන්ගොඩ ගෙවූ කාලය හරිම සුන්දරයි. අපි පාසැල් ගියේ විශාල තේවතු මැද්දෙන්. මම හරි සතුටින් පාසැල් ගියේ. ඒ කාලේ පොතට පතට වඩා මම ආදරය කළේ පරිසරයට.ඒ විදිහට ගෙවී ගිය මගේ තරුණ කාලෙදී නැවතත් මා කළුතරට පදිංචියට ගියා. මගේ විවාහය සිදුවුණේ කළුතරදි. එහිදී මම දැඩිලෙස දේශපාලනයට සම්බන්ධ වෙලා සිටියා. ඒ අතරතුර මම ” දේශීය කලා හවුල” ආරම්භ කළා. ඒ මඟින් මම කලාව වෙනුවෙන් බොහෝ දෑ කළා.
එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි සී. ද. එස්. කුලතිලක මහතා මට උපදෙස් දුන්නා ජන ගී ආශ්‍රයෙන් නිර්මාණාත්මක ප්‍රසංගයක් පවත්වන යැයි යෝජනාවක්. ඉන්පසුව මම කාලෝ විජේසිරි මහතාගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ‘ ස්වරංසා’ සහ ‘ සංකල්පනාව’ නමින් සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වූවා. එම ප්‍රසංග දෙක මම දිවයිනේ විවිධ පළාත්වල වේදිකාගත කළා. ඒ වගේම ‘භ්‍යක්ත්‍යාංජලී’ නමින් වෙසක් සහ පොසොන් බැති ගී ප්‍රසංගයක් සංවිධානය කළා. එම ප්‍රසංගයත් අනුරාධපුර, කළුතර, අගලවත්ත සහ බඳුරලිය වැනි ප්‍රදේශවල පැවැත්වූවා. ඒ තුළින් ශ්‍රී ලාංකික කලා කෙත පෝෂණය කිරීමට හැකි ගායක ගායිකාවන් සහ සංගීතඥයන් රාශියක් බිහිකිරීමට මට හැකිවුණා. වර්තමානයේ ඔවුන් ප්‍රසිද්ධ ශිල්පීන් බවට පත්ව තිබෙනවා.
මේ කටයුතු කරන අතරේදී මට රංගන ශිල්පියෙක් වීමට අවස්ථාව ලැබුණා. විජිත ගුණරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ ” ඉනි මඟක් සහ බූරුවෙක්” වේදිකා නාට්‍යයේ මට චරිතයක් රඟදක්වන්න හැකිවුණා. ඒ කාලයේදීම මට තිස්ස අබේසේකර මහතාව මුණ ගැසුණා. එවකට ඔහු සේවය කළේ රජයේ චිත්‍රපට අංශයේ. 1972 වසරේදී තිස්ස අබේසේකර මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් ‘ රත්තරං’ නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. එහි කලා අධ්‍යක්ෂවරයා වුණේ මිල්ටන් පෙරේරා. මට ඔහුගේ සහයකයා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මගේ සින්මා ගමනට ආරම්භය ලබා ගත්තේ එතනින්. ඉන්පසු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළා. නිරූපණ ශිල්පියෙකු ලෙසින් විවිධ වෙළඳ දැන්වීම් සඳහා දායකත්වය ලබා දුන්නා. එක් අවස්ථාවක තිස්ස අබේසේකර මහතා මට අපූරු යෝජනාවක් කළා.
” ඔබට වඩාත් සුදුසු නිෂ්පාදන කළමනාකරණ කටයුතු. ඔබට පුළුවන් බොහෝම අපූරුවට කලා කටයුතු සංවිධානය කරන්න. ඔබ ඒ පැත්තට යොමු වෙන්න”.
ඔහුගේ ඒ අදහස මගේ සිත තුළ තැන්පත් වුණා. ඒ අනුව මම නිෂ්පාදන කළමනාකරුවාගේ භූමිකාවට අවතීර්ණ වුණා. නිෂ්පාදන කළමණාකරුවෙකු ලෙස මම චිත්‍රපට විසි හයකුත් , ටෙලි නාට්‍ය විසි අටකුත්, විදේශ චිත්‍රපට පහකත් වැඩ කටයුතු කළා. වර්තමානය වන විට ත්, චිත්‍රපට, වෙළඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය නිර්මාණ සඳහා අවශ්‍ය දර්ශනතල සපයා දෙමින්, අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට එම කටයුතු සඳහා සහය ලබා දෙනවා.
මේ දිනවල මම අලුත් කටයුත්තකටත් මුලපුරා තිබෙනවා. මා හිතවත් තුසිත ද සිල්වා පන්සිය පනස් ජාතකය ඇසුරෙන් විශේෂ දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඔහුගේ තවත් අදහසක් තිබෙනවා ජාතක කතා විවිධ භාෂාවෙන් හඬකවා ලෝකයට ගෙන යන්න. එමෙන්ම ඔහුගේ තවත් බලාපොරොත්තුවක් තිබෙනවා. ආචාර්ය ලීල් ගුණසේකර මැතිතුමාගේ ‘ පෙත්සම’ නව කතාව පාදක කර ගනිමින් ‘ අදිසි හස්තය ‘ නමින් සිනමා පටයක් අධ්‍යක්ෂණය කිරීමට. ඒ කටයුතු සඳහා නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස මම සම්බන්ධ වෙනවා. ඒ වගේම ASL Music films and Publishing ( Pvt) Ltd. විසින් නිෂ්පාදනය කරනු ලබන ” Front Page Wedding ” චිත්‍රපටයේ සම්බන්ධීකාරක වරයෙකු ලෙස කටයුතු කරනවා. මේ වන විටත් එහි රූගත කිරීම් ආරම්භ වී තිබෙන්නේ.
මෙසේ වැඩකටයුතු කරන්න පටන් ගෙන මේ වන විට වසර 50 ක්. එය සැලකිය යුතු කාලයක්. මම මෙසේ කටයුතු කරන්නේ හරිම උනන්දුවෙන් සහ සතුටින්.අපේ කාලයේ ජංගම දුරකතන තිබුණේ නැහැ. අපි ශිල්පීන් සමඟ පණිවිඩ හුවමාරු කරගත්තේ ලිපි හෝ විදුලි පුවත් සහ තැපැල්පත් මඟින්.ඒ කාලේ සිනමා පටයක් කරන්න දර්ශන තලයට ගිහාම හැම ශිල්පියෙක්ම ගෙදර යන්නේ ඒ චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල අවසන් වීමෙන් පසුව. එහෙත් වර්තමානයේ එහෙම තත්වයක් නැහැ. ශිල්පීන් දර්ශන තලයට පැමිණෙන්නේ උදේ භාරගත් කටයුත්ත ඉක්මණින් අවසන් කරල වෙනත් රූගත කිරිමක් සඳහා යන්න. කාලයකට පෙර මම දර්ශනතල සහ නවාතැන් පහසුකම් සපයා දෙන නවාතැනක් පවත්වාගෙන ගියා. දිනක් මා ඒ නවාතැනේ සිටින අවස්ථාවක එක්තරා රංගන ශිල්පියෙක් හරි හදිසියෙන් පැමිණ සහය අධ්‍යක්ෂකවරයාට මෙසේ කිව්වා.
” මල්ලී මම දොළහට යනවා”
මට පුදුම හිතුණා. රංගනය කියන දේ එසේ කළ හැකිද යන්න. ඔවුන් දිනකට රූපගත කිරීම් කිහිපයක් යොදා ගන්නවා. මෙවැනි සිදුවීම් ඇතිවී තිබෙන ආර්ථික ගැටලු නිසා. හැමෝටම මුදල් අවශ්‍යයි. එක්තරා අවස්ථාවක ඩබ්ලිව්. ජයසිරි මෙසේ කිව්වා.
“කලාකරුවා කුලී කරුවෙක් වෙලා”
මෙහි තවත් පැතිකඩක් තිබෙනවා.රංගන ශිල්පීන්ටත් නිසි ගරු කිරීමක් නොමැතිවීම. අතීතයේ කලා ශිල්පීන්ට ඉහළ පිළිගැනීමක් තිබුණා. ඔවුන්ට හොඳ පිළිගැනීමක් දුන්නා. මේ අවස්ථාවේ තිස්ස අබේසේකර මහත්මා ගැන සඳහන් කිරීම වැදගත්. අපි නිතරම රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ මානසික මට්ටම යහපත් අයුරින් පවත්වාගෙන යා හැකි පරිදි කටයුතු සිදුකළ යුතුයි” එකල එවැනි වටපිටාවක් තිබුණා. එදා රංගන ශිල්පීන්ට තේ එක , වතුර එක පවා පවා පිළිගැන්වූයේ බන්දේසියක තියලා.
එහෙත් අද?
තේ ටික , වතුර බෝතලය පෙන්නල කියනවා ගිහින් අරගෙන බොන්න කියලා. එවැනි තත්වයකුත් අද තිබෙනවා.
අද සිටින බොහෝ රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට විනයක් නැහැ. අන් අයට ගරු කිරීමක් නැහැ. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. වර්තමානයේ ඇතැම් අධ්‍යක්ෂකවරු සිටිනවා අධ්‍යක්ෂණය, සහය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය මේ හැම දෙයක්ම ඔහුම කරන්න සූදානම්. ඔවුන් ටෙලි නාට්‍යයේ එක් කොටසක් (ඡ්නඪඵධඤඥ) රු. 75000 ට විතර කරල දෙන්නම් කියා ප්‍රකාශ කරනවා. හැමදේම ඔහු භාර ගැනීමෙන් තමයි , තමන් කරන නිර්මාණය අසාර්ථක වෙන්නේ. මම මෙවැනි ප්‍රකාශ කිරීමෙන් මේ හැමදෙනාම මා සමඟ අමනාප වෙන්නත් පුළුවන්. එහෙත් සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුයි. වසර පනහකට ආසන්න කාලයක් මම ක්ෂේත්‍රයේ සිටින කෙනෙක් හැටියට මට ඒ පිළිබඳ බොහෝ අත්දැකීම් තිබෙනවා.
මම ඉතා අගය කරන, ගරු කරන කෙනෙක් සුදත් රෝහණ මහතා. ඔහු තමාගේ වෘත්තිය කැපවී කරන කෙනෙක්. අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු ඔහුගේ රාජකාරිය පිළිවෙළක් ඇතිව කරන අධ්‍යක්ෂවරයෙක්. එවන් වූ යහපත් මිනිසුන් අඩුයි මේ කලා ක්ෂේත්‍රයේ. නිසි වටිනාකමක් තිබෙන පුද්ගලයාව අපි අගය කළ යුතුයි.
ශ්‍රී ලාංකික සිනමාවේ පියා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ලෙසයි මා පිළිගන්නේ. මම එතුමා එක්ක වැඩ කරල තිබෙනවා. එතුමාගෙ උපන්දිනය අප්‍රේල් පස්වෙනිදා. අපේ රටේ රාජ්‍ය නායකයෝ සියලු දෙනාම එදාට එතුමාගේ නිවසට පැමිණෙනවා. එතුමා අසුන්ගෙන සිටින ආසනය වටා තවත් ආසන තිබෙනවා. එදිනට අපේ රටේ සිටින කලාකරුවන් ගිහින් වටේට වෙලා සිටගෙන ඉන්නවා. ඒ ඉන්නෙ අර රාජ්‍ය නායකයා පැමිණි විට ඡායාරූප වලටත් පෙනෙන විදිහට. එතනදී ලෙස්ටර් මහතාට වඩා ඇගයුම්, භක්තිය දිනා ගන්නෙ අර එන රාජ්‍ය නයකයා. එවිට වටේ ඉන්න අය හිතනවා අනේ මෙතුමා කලාකරුවන්ට විශේෂයෙන් ගරු කරනවා කියලා. නැහැ එසේ නෙවෙයි. එතුමන්ලා එන්නේ එතුමන්ලා කලාකරුවන්ට සලකන බව පෙන්වන්න. අපි බරපතල ලෙස ඉල්ලා සිටියා එතුමා ජීවත් වූ නිවස රජයට පවරා ගන්නා ලෙස. ඒත් ඒ ඉල්ලීමෙන් කිසිදු ඵලක් වුණේ නැහැ. ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ නිවස කඩන්න යනවිට ඉන්දියානුවන් එයට විරුද්ධ වුණා. ඔවුන් හඬ නගා කියා සිටියා ‘ නැහැ’ අපි එය සංරක්ෂණය කරනවා යනුවෙන්.
එහෙත් අපට බැරි වුණා ලෙස්ටර් මහතා වෙනුවෙන් එසේ හඬනගන්න. අපේ කලාකරුවන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවට ගියා. එහෙත් සිනමාව හෝ කලාවට දැනෙන දෙයක් ඔවුන් අතින් සිදුවුණේ නැහැ. ලෙස්ටර් මහතා සිටි නිවස රජයට පවරාගෙන එහි රංගන පාසලක් හෝ පවත්වාගෙන ගියා නම් වටිනවා. ඒ අඩුපාඩුව අපේ රටේ තිබෙන ලොකු අඩුපාඩුවක්. රංගනය ගැන ඉගෙන ගන්න අත්‍යවශ්‍ය අය ඒ සඳහා යන්නේ ඉන්දියාවේ පූනෙහි රංග කලායතනවලට, එය තමයි අපිට තිබෙන ආසන්නතම ස්ථානය. එහෙත් තිබෙන ආර්ථික ප්‍රශ්නත් සමඟ සෑම දෙනාටම එසේ කළ නොහැකියි. අපේ රටේ විධිමත් ලෙස දැනුමක් දෙන ආයතනයක් අපේ රටේ ඉදිකරන්න පුළුවන්. එහෙත් කිසිකෙනෙක් එයට මැදිහත් වුණේ නැහැ. එසේ තිබුණා නම් ඇතැම් රංගන ශිල්පීන් රඟපෑ පමණින් රංගනය ගැන උගන්වන්නට පාඨමාලා ආරම්භ කරන්නේ නැහැ. මා මේ මෑතකදී මුහුණු පොතෙන් දුටුවා එවැනි සිද්ධියක්. රංගන ශිල්පීන්ට දොස් කියන්නත් බෑ. මක්නිසාද ඔවුන්ට නිසි මාර්ගය පෙන්නුවේ නැහැ කිසි කෙනෙක්.
සාහිත්‍ය සහ කලාව තමයි මිනිසාගේ සිතේ ආදරය, කරුණාව සහ සෙනෙහස ඇතිවෙන්නේ. කලාව අපට අවශ්‍යමයි. කලාවේ, සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැපවෙන බොහෝ අය ඉන්නවා. ඉන් බොහෝ වැඩ කොටසක් කරන දෙපළක් ඉන්නවා. ඒ නිෂ්පාදන කළමනාකරු සහ සහය අධ්‍යක්ෂවරයා. ඔවුන් මුල්ගල් දෙකක් වගේ. ඒත් ඔවුන් මෙතෙක් ඇගැයීමට ලක්වුණෙ නැහැ.
පසුගිය සරසවිය උලෙළෙදී එවන් වටිනා කර්තව්‍යක් සිදුවුණා. සහය අධ්‍යක්ෂවරයෙක් වූ උපාලී පෙරේරා මහතාට අගයමින් සම්මානයක් පිරිනැමුණා. එය ඒ ගැන සරසවියට ස්තූතිවන්ත වෙනවා.
ටෙලි නාට්‍ය සහ සිනමාව වෙනුවෙන් මා සිදුකළ මෙහෙය අගයමින් කොළඹ සුදර්ශීයේ දී විශේෂ ඇගයීම් උත්සවයක් මා වෙනුවෙන් සිදුකළා. එහි සියලු සංවිධාන කටයුතු සිදු කරන්නේ සමන්ප්‍රිය මාරසිංහ, කිංස්ලි ලෝස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, අජන්ත අලහකෝන් ඇතුළු සංවිධායක මඬුල්ල. ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක, සුදත් රෝහණ, ශ්‍රියානි අමරසේන, සේමිණී ඉද්දමල්ගොඩ සහ මා ආරම්භ කළ දේශීය කලා හවුලේ සභාපතිතුමා විසින් දේශන පැවැත්වූ ඇගයීම් උලෙළට සමගාමීව එදින උදේ 10.30ට මහගෙදර චිත්‍රපටයත් සවස 2.30ට විරාගය චිත්‍රපටයත් තිරගත කළා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය