– මම මගේ ජීවිතයට එන අභියෝග ඒ අයුරින් ම බාරගන්න කැමැති කෙනෙක්
– ජාතික තරුණ සේවා සභාව මගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා
– රූපවාහිනීයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වීම ගැන නිහතමානී සතුටක් අදටත් මා ළඟ තියෙනවා
– මං තවමත් මගෙ ගමේ සුවඳට, පොතපතට ආදරෙයි
” මම මගෙ ජීවිතයට එන අභියෝග ඒ අයුරින් ම බාරගන්න කැමති කෙනෙක්…කුමන විදිහක අවදානමක් වුණත් මම ඊට අත තබන්න සූදානම් කෙනෙක්…මගෙ ජීවිතයේ තේමාවත් එයමයි කියල අදත් මට හිතෙන්නෙ…”
ඕ තොමෝ ඔබත් මමත් මැනවින් හොඳීන් දන්නා අපේම තැනැත්තියක යැයි කිවහොත් ඔබ ඊට එකඟවනු ඇති..
සිය රම්‍ය හඬ සිරිතෙන් චතුර කතා සිරිතෙන් රටක් මෝහණය කළ ඇය අද විශ්‍රාමික සුවයෙන් හා පොතපත ඇසුරින් සේම ගී පද රචනාවෙන් පසුවන්නීය…එදා ගුවන් විදුලියෙන් සේම පසුව රූපවාහිනීයෙන් ඔබ ආලින්දයට පැමිණි ඕ රටක් වෙනුවෙන් හා රසික ප්‍රජාවක් වෙනුවෙන් ඈ සන්තකයේ තිබූ නිර්මාණාත්මක කුසලතා සියල්ල රූපවාහිනී තිරය තුළින් ඔබට තිළිණ කළා මතක ඇති..ඇයගේ ප්‍රතිභා සිරිතට ඇලුම් පෑ සුවහසක් රසික දනන් අදටත් ඇයට පෙම්බඳීනු නොඅනුමානය.
මේ අපේ ආදරණිය රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා එරීන් විජේකෝන් මහත්මිය ය..
වලව් පැලැන්තියේ සිරිල් අප්පු හෙවත් සිරිල් ඇල්ෆ්‍රඩ් සහ යටියන්තොට ..රුවන්වැල්ල …ගොමාඩුව ගම් පියසේ සෝමවතී මැණිකේ..දෙපළට දූ පුතුන්ම හය දෙනෙකි. ඉන් පළමුවැන්නී දියණිය අශෝකාය..දෙවැන්නි ජයන්ති ය. පුතු ජයන්ත තෙවැන්නා වූ අතර සිව්වැන්නිය පවුලේ කාගේත් නොමඳ ආදරයටම බඳුන් වූ මද්දුම දියණී හෙවත්මෙවර අපේ කතා නායිකාව එරීන් විජේකෝන් ය. ජනරංජන පස්වැන්නාය. සයවැන්නී ධම්මිකා ය.
අපේ කතා නායිකාවගේ උප්පැන්නයේ නම වන්නේ කුලතුංග විජේකෝන් මුදියන්සේලාගේ එරීන් විජේකෝන් ය..නොවැම්බර් මස 21දා උපන් ඇය සෙසු දූ දරුවන්ට වඩා මේ දැරිවිය වෙනස් යැයි නක්ෂත්‍රය පිළිබඳ හසළ දැනුමැති ඇයගේ සීයා පුංචි අප්පුහාමි (මවගේ පියා) ඇයගේ හඳහන බලා නිතර කී කතාව වූයේ..
” මේ අපේ කෙලී යන ගමන කාටවත් අල්ලලා නතර කරන්න බැහැ…” කියාය. එය මවද එකසිතින් ම අනුමත කළාය.
සීයා ඈ ළඟට කැඳවා ” දුවේ මේං මේ සින්දුව ගයාපන්…මේං මේ නැටුම නටල පෙන්වාපන්…”යැයි කියද්දී කියූ සැණින් පෙරට එන අපේ එරීන් දියණිය නටා ගයා පෙන්වා පැසසුම් ලබන්නීය…සීයාත් අම්මාත් ඊට අමතරව බුදුන් නැමදින්නට..මල් කඩන්නට..පොතපත කියවන්නට හුරු කරවූවා පමණක්ම නොව බිම වැටී ඇති කොලයක සටහන පවා කියවිය යුතු යැයි කියා තිබුණේ සීයා ය.
“මේ දැරිවි පාසලට ගන්න නම් දැරිවිගෙ උප්පැන්නය ඕනෑ…”
යටියන්තොට කනිටු විදුහලේ සමීප ඥාතියකු වූ සිරිවර්ධන විදුහල්පතිතුමා දියණිය ඇතුළත් කරන්නට ගියවිටදී කීවේය..
මම අපේ සොඳුරු කතා නායිකාව දෙස බලමි.
ඇයගේ සොඳුරු නිවහනට ගොඩ වූ මොහොතේදී දයාකරුණාබරව පිළිගෙන බරාඳයට මා කැඳවා සුවපහසු අසුනක් පිරිනමමින් අසුන් ගත් අපේ එරීන් මහත්මිය දැන් මා ඉදිරියේ මුවපිරුණු සිනාවතිනි.
” ඔව්..අමල් ..ඇයි මං ඉපදිලා තියෙන්නෙ ගෙදරනෙ. ඒ හින්දා මට උප්පැන්නයක් නැහැ. කොහොම හරි අපෙ අම්මා ඒකත් කළා..”
අපේ කතා නායිකාව වන එරීන්ගේ හඬ සිරිතද කතා සිරිතද මසිතට අපූර්වත්වයක් ගෙනදේ. ඒ ඇය ප්‍රවීණ නිවේදිකාවක නිසාවෙනි.
“ඉතිං..යටියන්තොට කනිටු විදුහලේ 5 වසරට පස්සෙ මධ්‍ය මහා විදුහලට ආවා. උසස් පෙළ විභාගෙටත් ලියලා එහෙම ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් මං උන්නෙ…”
එලෙසින් ප්‍රතිඵල බලා සිටියදී ජාතික තරුණ සේවා සභාවට ඇතුළුවන්නට වරම් ලද ඈ එහි පළමුවන සංස්කෘතික කණ්ඩායම එක්වූවාය. ඒ 1980 දී පමණය.
ඈ මුහුණ සතුටින් පිරී පෙනෙයි. සිනාවත හැංගුණු මොහොතක්ද නැති.
“දන්නවද අමල් …ජාතික තරුණ සේවා සභාවට පැමිණීම ඇත්තෙන්ම මගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණාය කිවොත් තමා හරියටම හරි…'”
සංගීතයද හදාරන එහි සිසු සිසුවියන් සවසට එකතුව ප්‍රසංගයක නිරත වෙති.
එවිට ඇයට සිහිනැගෙන්නේ තම සහෝදර සහෝදරියන් හා එක්ව ගෙදරදී කළ ගායනයන්ය..ඒ අතරින් වඩාත් මතකයට එන්නේ ගීතයෙන් ගීතය සැවොම එක්ව කළ අයුරුය..ඉන් ඈ ජයගත් අන්දමය.
“ඔයාලා සින්දු කියනකම් නිදාගන්න නම් දෙන්නෙ නැහැ” තරුණ සේවා සභාවේ නිලධාරියකු කියන්නේය..
“ඉතිං..අපි කට්ටිය සින්දු කියනවා..චන්ද්‍රලේඛා..ෂර්ලි වගේ ගැයුමට හපන් අය එක්ක මං කොහෙ ගයන්නද. ඉතින් ..අමල් ..මං එතැන වෙනසක් කළා. ඒ තමයි අර මං ගෙදරදි කරපු ගීතයෙන් ගීතය..( ඈ සිනා සලන්නීය )” ගෙදරදි කරපු පලපුරුද්දත් තිබුණු මට පුළුවන් වුණා එතැන හිටිය හැමෝම පරදවන්න..ඉතිං මම එක වුණා”
අපේ ආදරණිය එරීන් සිනාසෙන්නීය.
ඇයගේ නිවේදන සහ චතුර භාෂා ශෛලියේ කුසලතා හැඳීනූ සංස්කෘතික නිලධාරි ශ්‍රියා ධනන්සූරිය මහතා එහි සභාපතිවරයාද දැනුම්වත් කළේය.. එදා දැවැන්තයන් වූ ගුවන් විදුලියේ චිත්‍රානන්ද අබේසේකර..එඩ්වින් ආරියදාස මහත්වරුන් ඈ සොයා නුවර බෙල්හුඩ් තරුණ සභාවට පැමිණියහ. ඔවුහු ඇය පිළිබඳ පැහැදී ඇයට නිවේදන කලාව ඉගැන්වීය. ඒද ඇයට පමණි. අනතුරුව ගුවන් විදුලියට කිහිපවාරයක් පැමිණීමෙන් පසුව ඇයට නොදැනීම ගුවන් විදුලි මාධ්‍ය දෙසට යොමු විණි.
ජාතික තරුණ සේවා සභා වැඩ සටහන් යටතේ “බදාදා පිළිසඳර” නිවේදිකාව ඇයය. සංස්කෘතික විෂයයන් යටතේ තරුණ සේවා ප්‍රසංගවලදීද ගම් උදාව..මහපොල ආදී වේදිකා මත ප්‍රකට නිවේදිකාව වූයේද අපේ ආදරණිය කතා නායිකාවය.
“ඇත්තමයි…මට අත දුන්නේ..මාව ගොඩනැගුවේ තරුණ සේවා සභාවේ ප්‍රචාරක අධ්‍යක්ෂ නිමල් සේදර මහත්තයා . ”
ජාතික තරුණ සේවා සභාවේ වසර තුනකින් එහි විවිධ වැඩ සටහන් ආදියෙහි ද ප්‍රසංග වේදිකාවේද පළමු නිවේදිකාව වූයේ අපේ ආදරණිය එරීන් විජේකෝන් මහත්මිය ය.
රූපවාහිනිය ලාංකේය ජනයාට හිමිවූයේ 1982දීය. ලොව රූපවාහිනි දිනය ලෙසින් ජනගත කළ නොවැම්බර් මස 21 දා අපේ කතා නායිකාවගේ උපන් දිනය යෙදී ඇත්තේද එදිනටමය.
රූපවාහිනීයේ සියලු වැඩසටහන් සංවිධානය වූයේ තරුණ සේවා සභාව මඟිනි.
“ඒ දවස් මට තවමත් මතකයි.. මේ අපි රඟනවා. ගයනවා..නටනවා මේං අපිට අපිවම පේනවා..අපට ඉතින් ඒක අලුත් ම දෙයක්”
රූපවාහිනීයේ පෙනී සිටි ඇයගේ මුල්ම අවස්ථාව ඈ මෙසේ කියන්නීය.
“මම මුලින්ම පෙනී සිටියෙ සිංහල අලුත් අවුරුදු දවසක ඔසරියකින් සැරසිලා බුලත් අතක් දෝත දරාගෙන පළමුවන මැදිරියේ මං පෙනී සිටියෙ.”
කාලය සෙමින් ගතවී යයි. රූපවාහිනීයට සහකාර නිෂ්පාදකවරුන් බඳවා ගන්නා පුවත්පත් දැන්වීමකින් සතුටට පත් ඕ වඩාත් උනන්දු කරවූයේ ධනන්සූරිය මහතාය.
මේ වනවිට රජයේ කලායතනයටද ඇයට අවස්ථාව ලැබුණිද ඈ වඩාත් කැමැත්තේ රූපවාහිනීයම තෝරා ගත්තාය..ඇයගේ තනිනොතනියට එන්නේ අක්කා අශෝකාය.
සහකාර නිෂ්පාදක තනතුරට අයදුම්පත් විසිදහසකට වඩා එවා ඇති වුවද තෝරා ගන්නේ ඉන් 24 දෙනකු පමණි. අපේ ආදරණිය එරීන්ද ඊට එකතු විණි.
රූපවාහිනී පළමු සභාපතිවරයා වුයේ එම්.ජේ. පෙරේරා මහතාය.
අපේ එරීන් මහත්මිය කටහඬ අවදි කරන්නීය.
” ගුවන් විදුලියේ ශිල්පීන් අතුරින් ශිල්පීන් රූපවාහිනීයට තෝරා ගත්තේ. හොඳ තරුණ පිරිසක් ..අද තාරුණ්‍යය මතුපිටින් විතරයි.. කිසි කාර්යක්ෂමතාවක් ඇත්තේම නැහැ. එදා තාරුණ්‍යය එහෙම නෙවි. සර්වෝදයෙනුත් ආවා. ඉතින් පසුකලෙක රටේ ජනප්‍රිය අය වුණේ ඒඒ අංශවල අයයි..”
අපේ එරීන් කියන්නීය..
දැන් ඇයට වයසින් අවුරුදු 21ක් පමණය. රූපවාහිනීයේ සහකාර නිෂ්පාදකයන් බඳවා ගැනීමට පැමිණියේ ධම්ම ජාගොඩ..මඩවල එස්.රත්නායක..සෝමසිරි ඉලේසිංහ..ටයිටස් තොටවත්ත..සොලමන් ෆොන්සේකා ..අතර නාට්‍ය අංශයෙන් පරාක්‍රම නිරිඇල්ල..ලූෂන් බුලත්සිංහල ..සචින්දත් කීට් ආදිහුද සිටියහ. කාන්තාවකට සිටියේ අමෝමා වත්තල්දෙනියය.
“ඒ දැවැන්තයන් එක්ක ප්‍රායෝගික පුහුණුවීම් කළා. මට රූපවාහිනීයත් මේවාත් අලුත් ම විෂයයක්. වෙනත් ජීවිතයක් නැහැ..ඉතින් නිෂ්පාදිකාවක් හැටියට මාව වැටුණේ සංගීත අංශයට. ඉලේසිංහ මහතා යටතේ ස්ව සංගීත..ගීතවානී වැඩ සටහන් කළා . ගුවන් විදුලියේ අයත් එනවානෙ..”
ඕ සැපපහසු අසුනේ හරිබරි ගැසුණාය..අලුත් යමක් කියන්නට මෙනි.
“මට වැටුප රු.500යි. මාව අපේ ගෙදර අයට පේන්නෙ නැහැ..රූපවාහිනීයක් නැහැනෙ.පඩිය එකතු කරල මම ගෙදරට ටීවී එකක් අරගත්තා..දැන් ගමම එන්නෙ අපෙ ගෙදරට…මාව හැමතින්ම පෝෂණය කරපු මාව සවිමත් කරපු මගෙ අම්මා මගෙ සීයා මා ගැන වර්ණනා කරනවලු . දන්නවද අමල් ..මං කරපු සංගීතමය වැඩ සටහනේ රසදහරට මුලින්ම ගැයුවේ අපේ නන්දා මාලිනී මහත්මිය. එය ලූෂන්ගේ පද රචනයක්. ඒ වැඩ සටහන් මම විශේෂ තාලයකට කළේ. ඒ සදහා රූප රචනා මමයි කළේ ..ඒවාට ලොකු අගැයුමක් ලැබුනා ..ඔන්න මට පුළුවන් වුණා අපේ ගමේ හැමෝම පුදුමයට පත් කරවන්න. .අද වගෙ රූපවාහිනී නාට්‍ය නැති නිසා මගෙ රසදහර කතාබහට ලක්වුණා”
ඇය සතුටින් සිනාසෙන්නීය.
තහංචි පැනවී සිටි අපේ කපුගේ ගායකයාණන් වගේම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්..මාලනී බුලත්සිංහල. රත්න ශ්‍රී විජේසිංහ ..ආදී තවත් ජනප්‍රිය ශිල්පීන් මගෙ රසදහරට සම්බන්ධ කරගන්න මම සමත් වුණා.”
එකදිගට කියාගෙන ගිය අපේ කතා නායිකාව එක තැනකදී සුපුරුදු ප්‍රියමනාප සිනාවෙන් යුතුව මේ ටිකද කියන්නීය..
“සහකාර නිෂ්පාදක ට්‍රැක් එකින් පිට පැනල මං ප්‍රවෘත්ති නිවේදිකාව හැටියට සම්මුඛ පරීක්ෂණ තුනකට ගියා. මම රටම දන්න..මගතොටදී වුවත් දන්න නොදන්න ඈයො ආපසු හැරිල බලල හිනාවෙලා කතා කරල යන තරමේ රූපවාහිනීයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් බවට පත් වුණා…ඒ නිහතාමානී සතුට අදටත් මා ළඟ තියෙනවා…”
මේ වනවිට අපේ සොඳුරු කතා නායිකාවගේ ජීවන සහකරු ඈ අත පතා ඈ ළගටම පැමිණ සිටින්නේය. සර්වෝදයෙන් රූපවාහිනීයේ සහකාර නිෂ්පාදක ලෙසින් පැමිණි හෙතෙම අනුර ජයසේකරයන්ය..ඔහු ටයිටස් තොටවත්තයන්ගේ පළමු ගෝලයා වන්නේද ඔහුමය. පසුව හේ නාට්‍ය අංශයටම සින්න වී..අගනා ටෙලි නිර්මාණයෙන් හරසර ලද චක්‍රායුධය..මහතලා හටන වැනි නිර්මාණ ඔහුගේ ය. අහෝ…!
කිසිවක් සිතාගත නොහැකිමය.. අපේ විශිෂ්ටයකු වූ අනුර ජයසේකරයන් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නොඑනා ගමන් ගියේය. ඒ 2020 වසරේදීය.
අපේ සොඳුරු කතා නායිකා එරීන් සහ අනුර විවාපත් වූයේ 1991 වසරේදීය..දැන් ඇයට ඔහු මහඟු අත්වැලෙකි. එම විවාහයෙන් තිළිණ වූයේ චමත්කා යසසි ජයසේකර නම් දියණියය. ඕ දැන් වෛද්‍යවරියකි…ඊළඟට දෙවිත් විනුජිත ජයසේකර ආදරණිය පුතුය…
ඕ ඉමහත් ජනාදරයට පාත්‍රවූයේ නවමු විවිධ ආකෘතින් ඔස්සේ යමින් රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කිරීමෙනි.
ඇයගේ සුවිසල් මෙහෙවරක් ලෙසින් එවක ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ ඇගැයුමටද බඳුන්ව ඔහුගේ ගම්උදාව ආදී ප්‍රසංග වේදිකාවට ගෙන ආ “මාවතේ අපි” නමැති පදික වේදිකාවේ කලාකරුවන් රූපවාහිනියට කැඳවා එක්තැන් කළේ අපේ කතා නායිකාව එරීන් මහත්මිය ය. මහත්සේ ලොව පුරා ප්‍රකට කළ ඒ සද්වෑයම අදටත් ඈ නමින් කතාබහේ පවතී.
මෙතුවක් සිනාබර මුවින් මා හා සංලාපයේ යෙදෙන ඕ තොමෝ දැන් බිමබලාගත්වනම ය . ඒ දෑසේ කඳුළු පිරී ඇතැයි මට හැඟේ..
“අපෙ දෙවිත් විනුජිත පුතා වයස එකොළහේදී අනේ අපට නැතිවුණා ..” ඇයගේ හඬ බිඳුණු ස්වරයකි. ලාලිත කතා ස්වරූපය සැඟවී ගොසිනි.
“ඔව් අමල් ..අපෙ පුතාට ඩෙංගු හැදුණා..අනේ අපි පුතාව බේරාගන්න කොච්චර දේවල් කළාද දෙයියනේ..පුතා අපිව දාල යන්නම ගියා. ඉන්පස්සේ අපේ ජීවිත වගේම බලාපොරොත්තු කඩාගෙන වැටුණා..අපේ ජීවිත අපෙන් අතහැරුණා. මම මනසින් වැටුණා..මගේ සංස්කෘතික නිර්මාණ මේ හේතුවෙන් අඩුවුණා. මගෙ චමත්කා දුව එතකොට විභාගයට ලියන්න දවස් කීපයයි. ඒත් මං වගේම දහිරියවන්ත දුව විභාගෙ සමත් වුණා. ”
රංගනයෙන්ද සමත්කම් පෑ “සමනල තටු සිදින්නෙපා” ගීතයේ රූප රචනාවට මගෙ පුතා රඟපෑවා. හුරුබුහුටි පුංචි පුතුගේ සේයාරුව පසෙකින් මට පෙනෙයි. සුවිසල් වීදුරු කවුළුවෙන් ඈත බලාසිටි ඕ නවපණක් ලද්දාක් මෙන් අසුනෙහි හරිබරි ගැසෙමින් යළි අප කතාබහට එකතු වන්නීය.
මේ වනවිට ශිෂ්‍යත්වයකට ජපානයට ගිය ඕ වරින්වර රටවල් රැසකටම ගියාය. චීනයට දෙවරක්ම ගියාය..ඇතැම් අවස්ථාවල පුහුණු පාඨමාලා වෙනුවෙන් ද ඇය විදේශගත වූවාය…
ගී පද රචනයටද සමත් අපේ කතා නායිකාව මුල් පද සිරිත ලියුවේ සංගීතඥ ෂෙල්ටන් පෙරේරාටය. හරෂණ දිසානායක ගැයූ “සරුංගලේ උඩ අහසේ පාවී යන්නේ” ඇතුළු තවත් ගී රචනා ඈ අතින් ලියැවිණි .දැනුදු ලියැවෙයි.
දැන් ඕ තොමෝ රූපවාහිනීයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියකි. අනතුරුව එහි අධ්‍යක්ෂකවරියක වෙමින් අංශ ප්‍රධානී වූවාය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන පශ්චාද් උපාධිය හැදෑරුවේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය සම්බන්ධීකරණ අංශයද බාරව සිටියාය. දැයට කිරුළ ප්‍රධාන නිලධාරිනිය ඇය මැතිවරණ විකාශන බාරව සිටියාය.
රබර් පර්යේෂණ ආයතනයේ තේමා ගිතය ඇයගේය. ගැයුම සරත් විතානය. සංගීතය නවරත්න ගමගේය. මේ අතර නාවික අයට රූපවාහිනී නිවේදක පාඨමාලා පුහුණු වැඩ සටහන් සිදුකළේද අපේ කතා නායිකාවය.
කැමරා පුහුණු පාඨමාලාවට කණ්ඩායම් හයක් එකවර පුහුණු කරවූයේද ඇයමය. තරුණ සේවා සභාවේ “ප්‍රාණ”සංගීත ප්‍රසංගය අපේ මාධ්‍යවේදී සුරවීරයන් සමඟ එක්ව කළාය..
“මගෙ දුව චමත්කා ඇයත් රූපවාහිනී පුවෘත්ති කීවා. දුවගේ මහත්තයා මගෙ බෑණා ළාහිරු ශෂේන්ද්‍ර..එයා නාවික ඉංජිනේරු..අනේ මං පුංචි කාලෙ පටන් හරිම තෘප්තිමත්..කැලණි ගං අසබඩ මගෙ ගෙදර..අපි පවුලේ හැමෝම එක ගෙදරකට අදටත් එකතු වෙනවා..සතුටු වෙනවා. මේ එකමුතුව අපෙ අම්මා කියාදුන්න දේවල්මයි..”
බොහෝ වෙලාවකට පසුව ඈ මුවගට සිනාව ළඟාවිණි.
“මං තවමත් මගෙ ගමේ සුවඳට මං ආසා කරනවා. පොතපතටත් ආදරෙයි.
දන්නවද අමල්..කලාකරුවා කියන්නේ පෙනෙන දේ අතික්‍රමණය කරන්නා යන තේරුමයි. ”
ඇය ඊළඟට පැවසූ කතාව අසා මමද සලිත වීමි…
” අමල් දන්නවද “පවන” රූපවාහිනීයේ කළානේ..මට හතරවන තට්ටුවටද මන්දා යන්නත් වුණානෙ. පෝග්‍රෑම් එක අනුව එහි බරපතළකමක් මට හිතුනෙවත් නැහැ. කොහොම හරි අවසානෙදි ගැස්මකින් සිටිය මාව “පවන” ට මා සමග එක්ව පිටපත ලිවීමෙන් සහය වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා මට තදින් පිටට තට්ටුවක් කරල කීවෙ ” නංගි..දැන් හරි බයවන්න එපා. නංගි.. ඔයා 3වන පන්තියෙන් සාමාන්‍ය පෙළ සමත් වුණා කියල හිතාගන්න කියලයි. එයින් හිත සන්සුන් වුණා..”
ඇය ලද ඒ අත්දැකීම් තවමත් ඇයට පුදුමයකි. අදහාගත නොහැක්කකි.
නමුදු පවන ප්‍රසංගය එලෙසින් කරන්නට ලැබීම ගැන ඈ අපමණ සතුටට පත්වන්නීය..
ඈ වෙතින් තවකෙකුට උගත හැකි බොහෝ වටිනා දේ ඇතැයි මට හැඟේ.
“රසදහරා” වෙන් පටන්ගෙන ස්ව සංගීත..රාව ප්‍රතිරාව..(පැරණි කලාකරුවන් සමඟ) ආවර්ජනා..පළමු රූපවාහිනී ගීත දර්ශකය..(අනුග්‍රාහක වැඩ සටහන්) ” පැහැසරණී” කණ්ඩායම් ප්‍රථම සංගිත ප්‍රසංගය..හෝරාවේ සුසංයෝගය ..රූපවාහිනීයේ පලමු සජිවි සංගීත ප්‍රසංගය..(1999-2003)
මුල්ම ආරාධිතයන් වූයේ පණ්ඩිත් අමරදේවයන් සහ ජෝ අබේවික්‍රමයන්ය. යශෝධා විමලධර්ම හඳුන්වා දුන් හින්දි ගී වැඩ සටහන් මාලාව…කවිකාර මඩුව. (කවි කිවිඳීයන් කැඳවා)..නිදහසේ මියුරු ගී (යශෝ රාවය) රස සුරන්ජිතා” ප්‍රථම වරට සහභාගිත්වය වික්ටර් හා නාරද දිසාසේකරයන්. ” සරිගමපධනි (ශාස්ත්‍රීය වැඩ සටහන) ප්‍රවීණයන් හා විද්‍යාර්තීන් එක් වූ නිසංසල රෑ සජීවි සංගිත වැඩ සටහන..අපේ ගම (2000) මහත්සේ ජනප්‍රිය වූ සඳමඬල ..
“මට මතකයි ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය මහත්මිය ද සඳමඬලට සහභාගි වුණා”
“ඔව්…මේ මගේ රූපවාහිනී වැඩ සටහන් වලදි ගීත තේරීම..අධ්‍යක්ෂණය..තේමාව…කැමරාකරණය මේ සියල්ල මගේමයි.. කණ්ඩායම සමඟ අපි සුහදව කටයුතු කළා…”
රූපවාහිනී තිරය තුළින් නිර්මාණකරණයේ යෙදී රූපවාහිනීයට අසමාන සේවාවක නිරත ව රටපුරා යමින් වේදිකාවක් නොමැති අයටද රූපවාහිනීයේ අවස්ථාව ලැබදෙමින් ඇය ඉටුකළ මහත් සේවාව වෙනුවෙන් ලද හරසර කීර්තියද සමඟින් ඈ පිදුම් ලද සම්මානයන්ද බොහෝය…2018 වසරේදී ලංකාවේ 50 දෙනකු අතුරින් ධනාත්මක නිර්මාණකරණය වෙනුවෙන් මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂිකාව ලෙසින් ලද ගෞරවනීය සම්මානයද මා නෙත ගැටෙයි.
මාධ්‍ය ක්ෂෙත්‍රයේ නියැළෙමින් විවිධ ඉහළ තනතුරුද හොබවමින් රටටද බොහෝ දේ තිළිණ කළ අපේ ආදරණිය එරීන් විජේකෝන් මහත්මිය පිළිබඳව හෙට දවසටද කතාබහ කරන්නට තවත් බොහෝ දේ ඇතැයි මට හැඟේ.
අපේ සොඳුරු කතා නායිකාව එරීන් විජේකෝන් මහත්මිය රූපවාහිනියෙන් විශ්‍රාම දිවියට එළැඹුනේ 2021 වසරේදිය.
ඒ වනවිට ඕ තොමෝ එහි අධ්‍යාපන වැඩ සටහන් අංශ ප්‍රධානී ලෙසින් පසුවූවාය…
අපේ ආදරණිය ඇයගෙන් සමුගන්නට මොහොතක් තිබියදී සරසවිය පුවත්පතටත් මටත් මුවපුරා කීයේ…
“හදවතින්ම ස්තුතියි..මාව සොයාගෙන ආවාට..”
සරසවිය වෙනුවෙන් ඇයට චිර ජීවනයම පතමු.
අමල් යශෝමන් ජයසිංහ සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල