පාසල් වේදිකාවෙන් ලද පන්නරයත් ක්‍රීඩාව සහ ඇගේ සහජ දක්ෂතා වලින් පාසල වර්ණවත් කිරීමට ඇය එකල කිසි දිනක පසුබට නොවූයේය. එහි සාර්ථකත්වය ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ විද්යාර්ථියක් බවට පත්කිරීමයි. දැනුම සහ ප්‍රායෝගික දැනුම එකට කැටි කර ගනිමින් ඉදිරි ගමනේ සාර්ථකත්වය ඇය විසින්ම ළඟා කරගෙන ඇත. මේ කාල වකවානුවේ කාගෙත් කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හදාරා ඇය කලා ක්ෂේත්රයට අවතීර්ණ විය. ඉන්පසු වේදිකාව, ටෙලි නාට්‍ය සිනමාව යන ත්‍රිත්වයම ස්පර්ශ කළ ඇය ගැන මේ දිනවල වඩාත් කතාබහට ලක්වන්නේ “එකට යටින් “වේදිකා නාට්‍යයේ ජොනිගේ දුවගේ චරිතය නිසයි. ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නා ඇය ඉදිරියේදී වඩාත් කතාබහට ලක්වන්නේ සිනමා පට කිහිපයකම එන ප්‍රධාන චරිත ඇය විසින් නිරූපණය කරන නිසයි. මේ ඇගේ අලුත්ම තොරතුරු සරසවිය සමඟ බෙදා ගත් මොහොතයි.ඇය නමින් අවින්ධ්යා බණ්ඩාරයි.
ඔබව හඳුන්වා දෙන්න කැමති කොහොමද?
බොහෝ අයට තිබෙන ප්‍රශ්නයක් තමයි තමන්ව හඳුන්වා දෙන්නේ කොහොමද? කියන ප්රශ්නය. මම අවින්ධ්යා බණ්ඩාරයි.
ගම මහරගම. මගේ හදවත බඳු දෙවැනි අම්මා ලෙස මම සලකන්නේ මගේ පාසලයි.
Apostolic Carmel School Maharagama (අපෝස්තලික කාර්මෙල් විදුහල මහරගම). බටහිර තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව, ශිෂ්‍ය නායිකාව බවට පත්වීමත්, ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කිරීමත් ක්‍රීඩා කටයුතුවලත් විෂය බාහිර ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන ශිෂ්‍යාවක් බවට මම එදා පත්වුණා. ද්විතීක අධ්‍යාපනය ලැබීමෙන් පසු නැවත මම මහරගම (විද්‍යාකර බාලිකා විද්‍යාලය) උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාව හැදෑරුවා. උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සමත් වෙලා මම කැලණිය විශ්වවිද්‍යාලයේ දැනට විද්‍යාර්ථයෙක් හැටියට උසස් අධ්‍යාපනය හදාරනවා. අධ්‍යාපනයත් කලාවත් සමබරව කරගනිමින් මම මගේ ඉදිරි වැඩ කටයුතු කර ගෙන යනවා.
කලා ක්ෂේත්රයට අත්පොත් තබන්නේ කොහොමද?
මගේ අම්මාගේ උනන්දු කිරීම මත 2018 වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ඇප්ලිකේෂන් එකක් දානවා. ඒ අනුව එතනදි නාට්‍ය හා රංග කලා පාඨමාලාවට සුදුසු ශිෂ්‍යාවක් හැටියට මම තෝරා ගන්නවා. ඒ පාඨමාලාව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලෙන් සම්පූර්ණ කිරීමෙන් පසු. ඊළගට මගේ ඇකඩමික් පැත්ත තවදුරටත් අවශ්‍ය නිසා සෝමලතා සුභසිංහ මහත්මියගේ නාට්‍ය වැඩමුළුව Play House වල කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය යටතේ වේදිකා නාට්‍ය කලාව තවදුරත් ඉගෙන ගත්තා. වේදිකාව හරහා තමයි මම මුලින්ම ක්ෂේත්රයට පා තබන්නේ. ඒ ආපු ගමන තමයි මම අද මේ යන්නේ.
මේ දිනවල කාලය ගත කරන්නේ කොහොමද?
මේ දිනවල මගේ කාලය වැඩිපුරම ගෙවන්නේ නන්දන හෙට්ටිආරච්චි නාට්‍ය නිර්මාණයක් වන “එකට යටින්” වේදිකා නාට්‍යයේ ජොනිගේ දුවගේ චරිතය සමඟයි. ඊට අමතරව ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා වැඩ කටයුතු නිමා කළා. තව නොබෝ දිනකින් ඒ සියලු දේවල් පුංචි තිරයේ සහ පුළුල් තිරයේ දැකගන්නට පුළුවන් ප්‍රේක්ෂකයන්ට.
දැනට කර ඇති. වේදිකා නාට්‍ය නිර්මාණ ගැන කියන්න කැමතිද?
Back to Kingdom තමා මුලින්ම මහරගම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේදී අපි කළේ. මගේ නිෂ්පාදනයක් ලෙසයි මම එය කළේ නාට්‍ය පාසලේ අවසන් නිර්මාණය එළිදැක්වීමේදී. මේ නිර්මාණ පිටුපසම සිටියේ නාට්‍ය පාසලේ ප්‍රියන්ත ලලිත් සර් ඔහුගේ ගුරු හරුකම් නැත්නම් අද අපිට මේ තැනට එන්න බැහැ කියන එක මම ආදරයෙන් සිහිපත් කරනවා.
ඉන් අනතුරුව අපි සියලු දෙනාම එකතුවෙලා Back to school නිෂ්පාදනය කරනවා. මෙම නාට්‍යය පාඨමාලාව හදාරපු ශිෂ්‍යයන් තමා රංගනයේ යෙදෙන්නේ. බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට අපිට අවස්ථාව ලැබෙනවා. මේ වන විට මම ක්ෂේත්රයට ඇවිල්ලා වේදිකා නාට්‍ය නවයකට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉන් පසු කෞශල්‍යා ප්‍රනාන්දු මිස්ගේ රට ගිය ඇත්තෝ, මල්සරා, අකිල සපුමල් සර්ගේ බැකී, හිපොලිටස්, ගුත්තිල කාව්‍යද, සුනිල් ශ්‍රී ගේ ඉල්ලන් කෑවා, සමඟ විවිධ අධ්යක්ෂවරුන් යටතේ නෑ බෑ නෑ, සමඟ නන්දන හෙට්ටිආරච්චිගේ එකට යටින් යන වේදිකා නාට්‍යවල මේ වෙනවිට රංගනයේ යෙදෙනවා.
ටෙලි නාට්‍ය හා සිනමාවට පිවිසීම සිදුවුණේ කොහොමද?
මගේ මුල්ම ටෙලි නාට්‍යය 2019 වර්ෂයේ දෙරණ නාළිකාවෙන් විකාශය වුණු සංගීතය සිහිනිගේ චරිතයෙන් තමයි ටෙලි නාට්‍ය කලාවට මම පිවිසෙන්නේ. ඉන්පසු ධරණි, අපේ ජනකතා, Encounter,, ස්වේත අඳුර යන ටෙලි නාට්‍යවලට මේ වන විට සම්බන්ධ වෙලා සිටිනවා. ඉදිරියේදී තව නිර්මාණ කිහිපයකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. චිත්‍රපට ලෙස ගත්තෝත් මුලින්ම මම චරිත නිරූපණය කළේ ලුවි වැන්ඩස්ට්‍රාටන්ගේ අවසන් චිත්‍රපටය වූ බෞද්ධ කතා තේමාවක් යටතේ නිර්මාණය වූ Mr Sri lanka යි. මම එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. මේ සිනමා පටයෙන් පසුව තමයි මට රජිත හිරාන් අධ්‍යක්ෂණය කළ සාක්ෂියි. චාමර රාජපක්ෂ අධ්‍යක්ෂකවරයා ගේ දඩස් නවතම චිත්‍රපටය මේ සිනමා පටය මාව සම්බන්ධ කරගන්නේ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී, නිෂ්පාදක අර්ජුන කමලනාත් ඉසුරු Films වෙනුවෙන්. මෙය මම අවස්ථාවක් කර ගන්නවා ඔහුට ස්තූතිය පුද කරන්න.
ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් එකට වැඩ කිරීමේදී ගොඩනැගෙන අන්‍යෝන්‍ය බැඳීිම හා ඔවුන්ගෙන් ලැබෙන ගුරුහරුකම් කොහොමද?
ඇත්තටම ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් හා ශිල්පිනියන්ගෙන් අපට බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔවුන් සමඟ එකට වැඩ කිරීමේදී ඔවුන්ගේ රංගන කෞශල්‍යයන් බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල් බොහෝය. ඒ වගේම ඔවුන් අපට දර්ශන තලයේදී හමුවුණාමත් උගන්වන දේවල් තිබෙනවා. ඔවුන්ගේ අත්දැකීම් මුල් කාලය වුණු සිදුවීම් වගේ දේවල් අපිත් එක්ක එකට බෙදා ගන්නවා. අතීතය වර්තමානය ඔවුන් ආ මඟ සහ අනාගතේ කොහොමද ඉදිරි පරම්පරාව එයට මුහුණ දීලා කටයුතු කරන ආකාරයත් නවීන තාක්ෂණයත් සමඟ රංගනය කියන එකට අභියෝගයක් තිබෙන බවත් මනාව අපට වටහා දෙනවා. ඒ ප්‍රායෝගික දැනුම හා න්‍යායාත්මක දැනුම අපිට ගොඩක් වටිනවා. මේ සියලු දෙනාම ගුරුමුෂ්ටියක් නැතුව තමයි අපේ පරම්පරාවට ඒ දැනුම බෙදා දෙන්නේ. ඒත් සමහරක් අවස්ථාවවල අපේ පරම්පරාවේ අය ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේදී පැටලිලි සහගතව තේරුම් ගැනීමේ හැකියාවක් නැති අවස්ථාවත් අපි දැකලා තියෙනවා. මම දකින විදියට එයට මූලිකම හේතුවෙලා තිබෙන්නේ අධ්‍යයන කාර්යයකින් තොරව ක්ෂේත්රයට ඔවුන්ව පිවිසීමයි. එවැනි අවස්ථාවන්වලදී ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය අපි හදවතින්ම අගය කළ යුතුයි. ඔවුන් තමයි අපේ පරම්පරාවේ ගුරුවරු ලෙස මම නම් ක්ෂේත්රය තුළ සහ දර්ශන තලවල දකින්නේ. අපි සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපිට වඩා ක්ෂේත්රයේ දවසක් හරි වැඩි නම් ඔහු ඇගැයීමට හා ඔහුට ගරු කිරීම අපේ යුතුකමක් වෙනවා.
රංගන කුසලතා වැඩිදියුණු කර ගැනීමට ස්වයං අභ්‍යාස අවශ්‍යද?
අනිවාර්යනේම රංගන කුසලතාවයන් තමා නිරත වෙනවා නම් ඒ අභ්‍යාස අවශ්‍ය වෙනවා.අනිවාර්යනේම අභ්‍යාස කරන එක රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට බොහෝ වැදගත්ය. ක්ෂේත්රයේ තියෙන කාර්යබහුල බවත් එක්ක රංගන පාඨමාලා වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නට දැන් ටිකක් අමාරුයි. නමුත් දැන් අපට තියෙන එකම දේ තමයි ස්වයං අභ්‍යාසයේ නිරතවීම. රංගන ශිල්පියෙකුට සහෝදර ශිල්පිනියකට තමන්ගේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට ගොඩක් වැදගත් වෙන්නේ ස්වයං අධ්‍යයනය හා ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ක්ෂේත්රයෙන්ම ලබා ගැනීමයි.
ඔබේ පරපුරේ රංගන ශිල්පීන් කෙටි කාලයකින් ජනප්‍රිය වුවත් ක්ෂේත්රයේ රැඳෙන්නේ නෑ නේද,?
කලා ක්ෂේත්රයේ යුග වශයෙන් ගත්විට පනහා හැට, හැට හැත්තෑව අසූව අනූව සිනමාවේ ස්වර්ණමය යුග ලෙසයි සලකන්නේ. අසූ දෙකෙන් පසු තමයි ටෙලිනාට්‍ය කලාව සමාජගත වෙන්නේ. එතේක් තිබුණු සිනමා කලාවේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් තමන්ගේ කාර්යභාරය කලා ක්ෂේත්රය වෙනුවෙන් මනාව ඉටු කළ යුගයයි. මම දකින විදියට අසූ දෙකෙන් පසු විද්‍යුත් මාධ්‍ය කලාව ස්ථාපිත වීමත් සමඟ කලා ක්ෂේත්රයේ බොහෝ තැන් පිරිහීමකට ලක්වුණා කියලයි.
නමුත් අතීතයේ කලා ක්ෂේත්රයට එන්න හරිම අමාරු යුගයක් ඇති වුණේ. ඒ කාලවකවානුවේ සීමිත රංගන ශිල්පීන් ශිල්පිනියන් ප්‍රමාණයක් තමයි හිටියේ. විවෘත ආර්ථික රටාවත් නවීන තාක්ෂණයත් පැමිණීමත් සමඟ දැන් ක්ෂේත්රයට පිවිසීමට ගොඩක් දොරටු විවර වෙලා තිබෙනවා. Facebook, Insta gram, tik tok, වැනි සමාජ මාධ්‍ය ජාලා වලින් වීඩියෝ එකක් වෛරල් වුණොත් කලා ක්ෂේත්රයට එන්න දොරටුවක් විවර වෙන්න අද පුළුවන් වාතාවරණයක් උදා වෙලයි තියෙන්නේ. එහෙම ආවත් එතන රැඳෙනවා කියන එක තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව සහ අත්දැකීම් මතයි. අතීතය සහ වර්තමානයේ එහෙම ක්ෂේත්රයට ආපු අය ගොඩක් ඉන්නවා. මේ මොන ක්‍රමයෙන් ආවත් ක්ෂේත්රයේ රැඳෙන අය තමයි ක්ෂේත්රයට අවශ්‍ය වෙන්නේ. රංගනය පිළිබඳ හැදෑරීමක් කරලා ප්‍රායෝගික හා න්‍යායාත්මකව ක්ෂේත්රයට ආවොත් ඕනෑම කෙනෙකුට යන්න තියෙන හැකියාව වැඩියි. තමන්ට ගමනක් යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇතිවෙනවා. අධ්‍යක්ෂකවරු හා නිෂ්පාදකවරු බලාපොරොත්තු වෙන්නෙත් එවැනි ශිල්පීන් හා ශිල්පිනියන්.
යම් නිර්මාණ කාර්යයකින් පසු එවැනි චරිතවලට රංගන ශිල්පීන්, ශිල්පිනියන් කොටුවන ස්වභාවයක් තිබෙනවා නේද?
යම් අධ්යක්ෂවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක් චරිතයකට තෝරා ගත්තාට පසු ඔහු ඒ චරිතය මැනවින් ඉටුකළ විට නැවත තවත් අධ්යක්ෂකවරයෙකු්ම ඒ දෙස බල හා ඔහුට හෝ ඇයට එයට සමාන ඒ වගේ චරිතයක් ලබා දෙන්නට අද පෙලඹිලා තිබෙනවා. ශ්‍රී ලාංකේය සිනමාව හෝ ටෙලිනාට්‍ය කලාවේ බොහෝ විට අද දක්නට ලැබෙන විශේෂ දෙයක්ය. එක චරිතයක් හොඳීන් සාර්ථකව කළාම දිගටම ලැබෙන්නේ ඒ වගේම චරිතයි. ඒවගේම චරිත එක දිගට බාරගත් විට ප්‍රේක්ෂකයා හිතන්නේද ඔහු හෝ ඇය වැඩිපුරම දක්ෂතා දක්වන්නේ ඒ චරිත වලට පමණයි කියායි. එහෙත් ඔවුන්ගේ විවිධ පැතිකඩවල් තිබෙන බව ඔවුන් නිර්මාණ කර්තව්‍යයේදී දකින්න උත්සාහ නොගැනීම රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට කරන අසාධාරණයක් වෙනවා. ඒ නිසා මම නම් හැමවෙලේම උත්සාහ කරන්නේ විවිධාකාර වෙනස් විදිහේ චරිත වලට රංගන දායකත්වය දෙන්නයි. තිර පිටපත් රචකයා නිෂ්පාදකවරයා අධ්යක්ෂවරයා තෝරාගන්න චරිතයේ තුළ ඔහුට එකම රාමුවකට කොටුවෙන්නට නොදීවිවිධ ශානරයන් ඔස්සේ රංගනයේ නිරත වීමට අවකාශ උදාකර දිය යුතුයි.
ඔබ නිර්මාණ කර්තව්‍යයේ යෙදිද්දී තෝරා බේරාගෙන ද නිර්මාණවලට දායකත්වය දෙන්නේ?
මම යම් නිර්මාණයකට දායක වෙද්දී චරිත තෝරා බෙිරා ගැනීමේදී ටිකක් වැඩිපුර චරිත නිර්මාණය ගැන හා එයින් මට සමාජගත කරන්න පුළුවන් පණිවිඩය කුමක්ද කියලා දෙපාරක් තුන් පාරක් හිතනවා. මට මෙන්ම වෙනත් ශිල්පීන්ට නිර්මාණවලට දායක වන විට අපි බලාපොරොත්තු වන චරිතය අපට ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවල දෙපාරක් තුන් පාරක් හිතලා තමයි තීරණ ගන්නට වෙන්නේ. තමන් තෝරාගන්නා චරිතයට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උපරිම සාධාරණයක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉටු කළ යුතුයි. මම හිතන විදියට හේතු එක්ක තමයි පසුගිය කාලයේ නිර්මාණ තුළ විවිධ ප්‍රවීණයන් දක්නට නොලැබුණේ කියලයි මම හිතන්නේ. එකම රාමුවකට ශිල්පීන් කොටු නොකරනවානම් චරිත නිරූපණයේදී ඕනෑම නිර්මාණයකට ඕනෑම කෙනෙකු තෝරා ගැනීමේ හැකියාව පවතිනවා කියලයි මට හිතෙන්නේ.
තරුණ ශිල්පිනියක් හැටියට පෙම් පටලැවිල්ලක් නැද්ද?
මිනිස් දෛවය කියන්නේ හරිම අපූරු දෛවයක්.මට ඕන කාලයට මට ඒ දේවල් ලැබෙන්නැති වෙන්න පුළුවන්. ලැබෙන කාලවකවානුව එනකන් ඒ දේට ඉන්න වෙනවා. ඒ දේ තමයි දෙදෙනෙකු අතර බැඳීම සිදුකරන අවස්ථාව කියලයි මම දකින්නේ. ඕනම දේකට කලබල නොවී ඉවසීම තමයි මගේ එකම අරමුණ වෙලා තිබෙන්නේ.
රංගන ශිල්පිනියක් විදියට ප්‍රතිරූපය රැක ගැනීම ප්‍රේක්ෂක ආදරේ දිනා ගැනීමේදී මොනතරම් වැදගත් වෙනවාද?
මවා ගත්ත චරිතවල ජීවත්වනවාට වඩා තමන් තමන් විදිහටම ඉන්න තාක්කල් ඒ දේට හරිම කැමතියි ආදරය කරනවා ප්‍රේක්ෂකයන්. අද බොහෝ වෙලාවට අප්‍රසාදයට මතු වෙන්නේ බොරුවක් මවාපානවා වගේ දැක්කොත් සහ තේරුණොත් සමහර වෙලාවට එහෙම වුණාම තමන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන් අතරින් ප්‍රතික්ෂේප වීම හෝ සෘණාත්මක ප්‍රතිචාර ලැබීමත් සිද්ධ වෙන්න අද පුළුවන්. එදා තිබුණු සමාජය වගේ නෙවෙයි අද සමාජය හරිම සංකීර්ණ භාවයකින් කටයුතු කරන්නේ. විවිධ සමාජ මාධ්‍ය ජාලා වලින් තමන්ගේ ප්‍රතිරූපය යම් කාරණයක් වී නිමේෂයකින් අද සමාජගත කිරීමට පෙලළඹිලයි සිටින්නේ. ඒ නිසා ප්‍රේක්ෂකයාට ආදරේ කරන බොරුව රජ නොකරන තමාගේ හිතට අවංකව චරිතයක් බවට පත්විය යුතුයි. තමන් තමන් විදිහටම තමන්ගේ ස්වරූපය ප්‍රේක්ෂකයා හමුවේ පෙනී සිටියොත් ප්රේක්ෂකයන්ගෙන් එල්ල වෙන ඍණාත්මක ප්‍රතිචාර වළක්වා ගන්නට පුළුවන් වෙනවා. ඒත් තමන්ගේ පෞද්ගලික ජීවිතේ හැමෝටම මෙයින් නිරාවරණය කරන්න ඕන කියලා මම කියන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී තමන්ගේ පෞද්ගලික ජීවිතය පෞද්ගලිකව තබාගෙන රසිකයා ඉදිරියේ බොරු මවාපෑම සිදු නොකර තමන් විදිහටම පෙනී ඉන්න පුළුවන් නම් තමා නොසිතූ දේවල් තමාට ළඟා කරගන්නට පුළුවන් බවයි මම හිතන්නේ.මේ සියලු කරුණු කාරණා සලකා බැලුවොත් තමන්ගේ ප්‍රතිරූපයේ වටිනාකම ආරක්ෂා කර ගන්නට හැම දෙයක්ම ඉවහල් වෙනවා. කලා ක්ෂේත්රය පුළුල් පරාසයක විසිරී පැතිරී යන නිසා තමා තමන්ව ආරක්ෂා කර ගැනීම තමා හැම මොහොතෙම වටින්නේ කියලා මට හිතෙන්නේ.
සිනමාව ටෙලි නාට්‍ය වේදිකාව ත්‍රිත්වයෙන් වඩාත් ඔබ කැමති කුමකටද?
අපි ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියක හෝ ශිල්පිනියක වෙනවා නම් මුලින්ම අපි පිවිසිය යුත්තේ වේදිකාවටයි. අපි කරනු ලබන චරිතයේ ලොකු කැපෑසිටි එකක් වේදිකාව තුළින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නට පුළුවන් වෙනවා. හඬ පාලනය වැනි විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ විශේෂයෙන් වේදිකාවෙන් කරන්න තිබෙන විවිධ අංගයන් වැඩිය. ටෙලි නාට්‍ය කලාව තුළදී අද පවතින්නේ වෙනස්ම කතා පුවතක්. පීරියඩ් සහ දිගු කියන කොටස් දෙක තුළ පවතින්නේද අර්බුදකාරී වාතාවරණයක් කියලයි අද සිටින ශිල්පීන් සඳහන් කරන්නේ. ඒ ගෙන එන නිර්මාණ වල සාර්ථක නිර්මාණ කියලා අපිට කොයිම මොහොතකවත් රූපගත කිරීම් කරන අවස්ථාවල කියන්න බැහැ. ප්‍රේක්ෂකයා ඉදිරියේ දිග හැරුණාම පමණයි එය සාර්ථක ද අසාර්ථකද කියලා කියන්න පුළුවන්. ඒත් හැම ශිල්පියෙකුම හා ශිල්පිනියක්ම බලාපොරොත්තු වන්නේ සිනමාවේ චරිතයක් නිරූපණය කිරීමයි. ඒ සිහින මට සැබෑ කරගන්නට ඇත්තටම පුළුවන් වුණා. ඒත් මම වේදිකාවට වගේම සිනමාවටත් ටෙලි නාට්‍යයටත් රංගන ශිල්පිනියක් ලෙස ඕනෑම චරිතයක් කරන්න සැදී පැහැදී සිටිනවා. පාට පක්ෂ පංගු භේද මගේ නිර්මාණ ජීවිතයේ වෙන් කරලා නැහැ.
ඉදිරි නිර්මාණකරණය සහ පවුලෙන් ලැබෙන සහයෝගය කියන්න කැමතිද?
ක්ෂේත්රයට පිවිසිදා සිට පවුලෙන් ලැබුණේ හොඳම සහයෝගයක්. ඔවුන් නොමැතිව මට මේ නිර්මාණකරණය කිසිදාක නිරත වන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන් තමයි මේ ගමන මා මෙච්චර දුරක් ඇදගෙන ආවේ කියලයි මට කියන්න තියෙන්නේ. එය අඩු වැඩි නැතුව අධ්යක්ෂවරු හා නිෂ්පාදකවරුත් මෙයට දායක වුණා. මේ තාක් මගේ ගමනට උදව් කළ සියලුම දෙනාට මෙය ස්තූතිය පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. ඉදිරියේදී නිර්මාණ කිහිපයක්ම තිරගත වීමට තිබෙනවා. ටෙලි නාට්‍යයෙත් පුංචි තිරයේත් දිග හැරුම් ගොඩක් තියෙනවා. ඒවා අතරින් අපි කළ නිර්මාණවලට සියලු දෙනාම දැඩි රුචිකත්වයක් දක්වන බව කිව යුතුයි.ඉදිරියේදී තිරගත වීමට තිබෙන සිනමා පට වලින් මගේ නිර්මාණාත්මක රංගන කුසලතාවය ඔබට දැක ගැනීමට හැකි වෙනවා. මේ තාක් මගේ ගමනට උදව් කර සියලු දෙනාටම මම මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පුද කරන්න.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න