ජීවිතය මහා පුදුමාකාරය. දෙවියන් වහන්සේගේ අනගි තිළිණයක් වන එය මට ලබා දුන් දේ බොහෝය. මා කල්පනා කරනුයේ මට නොලැබුණේ කුමක්දැයි කියාය. ඒ තරමටම උන්වහන්සේ මා උන්වහන්සේ ගේ ආදරය කරුණාව මත සුපසන් ජිවිතයක මිහිර උදාකර දුන්නේය. ආපස්සට හැරෙද්දි ගෙවුණු දශක ගණනාව පුරා තෘප්තිමත් ගැහැනියක ලෙසින් ආදර කරුණාවෙන් ලෝකය දෙස බලන්නට මට හැකිවූ බව මම විශ්වාස කරමි.
අගෝස්තු මාසය යනු මගේ ආදරණීය මෑණියන් මට ජීවිතය ලබා දුන් මාසයයි. මේ ගෙවි යන්නේද අගෝස්තු මාසයයි. මගේ උපන්දින මාසය පුරා මෙවර මට හිමිවූයේ සම්මාන පෙළහරකි. එක් අතකින් එය මට අදහාගත ද නොහැකිය. මගේ ජීවිතය පුරා මෙවැනි ඇගයීම් ලබන්නට තරම් මා සිදුකල මෙහෙවර කවරේදැයි විටෙක මටම සිහිපත් වන්නේය. එහෙත් මගේ ජීවිතය දෙස බලා සිටි බොහොමයක් දෙනා මගේ මෙහෙවර කොතෙක් දැයි තක්සේරු කර ඇත්තේය. ඒ නිසාම මෙම මාසය තුළදී සම්මාන ත්රිත්වයකින්ම පිදුම් ලබන්නට මම වාසනාවන්ත වීමි.
මෙම සම්මාන පෙළහරේ ආරම්භය සනිටුහන් වූයේ ඉන්දීය ශ්‍රි ලංකා සහයෝගිතා පදනමෙන් පිරිනැමූ යුනිවර්සල් මෙරිට් සම්මානය හිමිවිමත් සමඟය. මෙහි ශ්‍රී ලංකා නියෝජිත සහ සම්බන්ධීකරණය සිදු කරලූයේ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියනාත් රත්නායක සමඟ මනෝජා රත්නායකය. ඉන්පසු මට හිමිවූයේ ධර්ම ප්‍රභාස්වර සම්මානයය. එය ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ කතෝලික ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් මා වෙත ප්‍රධානය කරන ලද්දකි. ඉන් අනතුරුව මෙම මාසයේදිම රත්නකලා සම්මානයෙන්ද මා පිදුම් ලබන ලදී. රත්නකලා සම්මානය ප්‍රධානය කරනු ලැබුවේ මීට වසර දෙකකට පමණ ඉහතදී දැයෙන් සමුගත් ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ ගායන ශිල්පී කලාභූෂණ එස්. එම් ජේසුරත්නම් සංගීතවේදියා අනුස්මරණය කරනු පිණීස එතුමාගේ පුතණුවන් වන රොහාන් කැලමෙන්සි ගේ අනුග්‍රහයෙන් පැවති උත්සවයකදීය. මෙහිදි ලංකාවේ ප්‍රථම වතාවට සිංහල සහ දෙමළ කලාකරුවන් එකම වේදිකාවකදී සම්මානයට පාත්‍ර විය.
මේ සම්මාන පිළිබඳ තවදුරටත් සිතා බැලීමේදි මෙය මට සිහිනයක්දැයි විටෙක සිතේ. අනෙක් අතට එය මගේ උපන්දින මාසය පුරාම හිමි වීම ද සුවිශේෂීය. විටෙක මට මෙසේ සිතේ. මා හට හිමිවූ මේ සියල්ල එක් දිනකින් ගොඩනැඟුණු ඒවා නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ මා විසින් ගොඩනඟා ගත් දේ සමඟ හිමි වූ ඒවාය. මගේ ජීවිතය පසුපස වැටුණු දැවැන්ත සෙවණැල්ල වූයේ මගේ ආදරණීය ස්වාමියා මහාචාර්ය සනත් නන්දසිරිය. මේ සියලු දේ හිමි වෙන්නට ප්‍රධානම හේතුව ඔහුගේ සෙවණ බව මා සිහිපත් කරනුයේ බැති සිතිනි.
එසේම මගේ ජීවන අඩිතාලම ශක්තිමත්ව වැටෙන්නට ප්‍රධානතම හේතුව වූ මගේ මවුපියන්ටද මෙහිලා හිමි වනුයේ සුවිශේෂී තැනකි. මගේ පියා හැරිසන් පීරිස් ඉංග්‍රීසි මාධ්‍ය පත්රකලාවේදියෙකි. මගේ මව රෙජිනා පීරිස් හොඳ ගෘහණියකි. මේ දෙදෙනාම කුඩා කල පටන් අපට ලබා දුන් යහපත් ජීවන රටාව මේ ගමන් මග සාර්ථක වන්නට ප්‍රධානම හේතුවකි. අප ජීවත් වූයේ ඉංග්‍රීසි කතා කරන සමාජයකය. එහෙත් මගේ මවුපියන් සිංහල භාෂාවද හොඳීන් භාවිතා කල බැවින් අපට මෙම භාෂා දෙකෙන්ම වැඩ කටයුතු කිරීමේ හැකියාව තිබිණ. මගේ මව අසීමිත ලෙස සංගීතය ප්‍රිය කල කාන්තාවක් වූවාය. එකල අපේ නිවසේ ගුවන්විදුලි යන්ත්‍ර ද්විත්වයක් වූවා මට මතකය. එක් යන්ත්‍රයක් තබා තිබුණේ සාලයේය. එය අලංකාර රෙද්දකින් වසා තිබුණා මට මතකය . එකල අප එය හැඳීන්වූයේ රේඩියෝග්‍රෑම් යනුවෙනි. අනෙක් ගුවන්විදුලි යන්ත්‍රය වූයේ අපේ කුස්සියේය. එය අප හැඳීන්වූයේ රේඩියෝ ෆියුසන් නමිනි. මේ වෙනුවෙන් අපි රුපියල් දහයක් මසකට ගෙවිය යුතු විය. අපේ කුස්සියේ තිබු රේඩියෝ යන්ත්‍රය අපේ අම්මා උදෑසන නැඟිට කුස්සියට පැමිණි වහාම ආරම්භ කරන අතර එය නැවත වසා දමන්නේ නින්දට යෑමට ලෑස්ති වූ විටය. මේ නිසා මුළු දවස පුරාම අපේ නිවෙසේ නිරන්තරයෙන් අපට ඇසුණේ ගුවන්විදුලියේ හඬය. සංගීතය යන්නට මුල්ම හැඳින්වීම අපට ලැබෙන්නේ මේ හරහාය.
ඉන්පසුව ගීතය, සංගීතය යන්නට හොඳම අත්දැකීම අපට ලැබෙන්නේ පල්ලියෙනි. පල්ලියට යෑම අප සියලු දෙනාම අනිවාර්යයෙන් කල යුතු දෙයක් වූයෙන් පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් නැගෙන හඬ අපේ ජිවිතයේ මීලඟ සංගීත අත්දැකීම විය. වයස අවුරුදු හත අට වත්දිම මමද පල්ලියේ ගීතිකා කණ්ඩායමට එක් වුයෙමි. ඉතාමත් බය පක්ෂපාතීත්වයෙන්, ගෞරවනීය බවකින් යුතුව පල්ලියට යොමුවුණු අපට අදද ඒ ගතිය ඒ ආකාරයෙන්ම පවතී.
ගීත ගායනයට උපන් හැකියාවක් මා තුළ තිබුණද එය ඉගෙන ගැනීමට හෝ වැඩිදුර ඒ පිළිබඳ සලකා බලන්නට ඉඩක් එවකට අපට පවුල් පසුබිමින්ම හමුවූයේ නැත. ඒ වනවිට සමස්ත සමාජයම මෙම විෂය කෙරෙහි දැක්වූයේ අඩු සැලකිල්ළකි. එය ගෞරවනීය විෂයක් වශයෙන් එවකට සමාජය තුළ පිළිගැනීමක් වූයේ නැත. එබැවින් අපේ පවුලෙන්ද ඒ සඳහා වැඩි උනන්දුවක් දැක්වූයේ නැත.
එහෙත් නිරන්තර රේඩියෝ අහන්නට පෙළඹී සිටි මගේ මව දිනක් රේඩියෝවෙන් ඇසුණු ගීත තරගාවලියකට මගේ නම ඉදිරිපත් කළාය. එය ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ පැවති ආධුනික පැය වැඩසටහනයි. ඒ වනවිට මගේ වයස අවුරුදු 10ක් සම්පූර්ණ වුවා පමණි. මේ ගමන් මග මගේ ජීවිතේ සියල්ල වෙනස් කරයි කියා එදා මට කිසිදු හැඟීමක් තිබුණේ නැත. මා ගියේ ආධුනික තරගයකට ගීයක් ගයන්නටය. එහෙත් දෛවය කෙතරම් හාස්කමක් කරන්නේදැයි දැන් මට සිතන්නේ එදා ඒ තරගයෙන් මට ප්‍රථම ස්ථානය හිමිකර දිමෙනි.
තරගයෙන් ජයගත් ජයග්‍රාහිකාවට ගුවන්විදුලියෙන් නව නිර්මාණ සඳහා අවස්ථාවක් ලබා දුන්නේය. මේ හරහා එවකට ගුවන්විදුලියේ බොහෝ දෙනෙක් මගේ මව විසින් හඳුනාගෙන සිටීමෙන්, ඔවුන්ගේ උපදෙස් අනුව මට ගුවන්විදුලියේ ළමා පිටියට දොරගුළු විවර විය.
පියවරෙන් පියවර මගේ ජිවන ගමන් මඟ සකස් වන්නේ ඒ ආකාරයෙන්ය. අද මේවා සිහිපත් වත්දි චිත්‍රපටයක දර්ශන මෙන් මා සිත තුළ ආදරබර මතකයන් ඉතිරි කරන්නේය. ළමා පිටියේ ළමා ගායිකාවක් ලෙසින් මට හිමි වූ ස්ථානය සුවිශේෂී විය. ළමා පිටියට සම්බන්ධව සිටි අනෙකුත් බොහෝ සහෝදර සහෝදරියන් මගේ යහළු මිත්‍රයන් වූයේය. මගේ ගමන් මග ආරම්භ කිරීමෙන් පසු මා පටුපසින් මගේ නංගිලා මල්ලිලා ද මේ ක්ෂේත්රයට රැගෙන ඒමේ පුරෝගාමී මෙහෙවර කරන්නට මට හැකි විය. අද ඔවුන් සිටිනා තැන් පිළිබද දැකීමෙන් මා සිත තුළ ඇති වන්නේ අප්‍රමාණ ආඩම්බරයකි. නිහතමානී සතුටකි. මගේ පසුපසින් මා ආදර්ශයට රැගෙන ඔවුන් මේ මග පැමිණි ආකාරය ඔවුන්ගේ වැඩිමල් සොයුරිය ලෙසින් මා බලා සිටියේ මවක තම දරුවන් දෙස බලා සිටින්නාම වූ ආදරයකිනි. ඒ ආදරය ගෞරවය පරිස්සම් කරන්නට ඔවුන්ද අද සමත්ව සිටීම පිළිබද මට ඇත්තේ සතුටකි.
ජීවිතේ තවදුරටත් වෙනස් වන්නේ ළමා පිටියේදි මට හමුවූ මගේ ආදරණිය යෙහෙළිය නිසාවෙනි. ඇය ශ්‍රීමති ජයවීරය. ඇය ඉක්මනින් විවාහ දිවියට එළඹි අතර ඇගේ අතගත්තේ මෙරට ප්‍රමුඛතම ගීත නිබන්ධකයකු වූ විමලධර්ම ජයවීර සමඟය.. විමලධර්ම ජයවීර එකල වෙසක් නාට්‍යය නිර්මාණය කරමින් සිටි අතර මගේ මිතුරිය ඔහුට පැවසූවේ මා හට එහි ගීත දෙකක් ගායනා කිරිමට අවස්ථාව සලසා දෙන ලෙසය. ඇය මගේ ගායන හැකියාවන් ගැන දැනසිටි නිසා මේ ඉල්ලිම ඔහුගෙන් කර තිබිණ.
දිනක් විමලධර්ම ජයවීර අපේ නිවෙසට විත් අපේ අම්මාගෙන් වෙසක් නාට්‍යයක ගීත ගායනා කරන්නට මා ඉල්ලා තිබිණ. අම්මාද මේ සඳහා වැඩි කැමැත්තක් තිබුණ බැවින් එක හෙලාම ඇගේ කැමැත්ත ලැබි තිබිණ. එහෙක් ගීත රෙකෝඩ් කිරිම සවස හයෙන් පසුව පැවැත්වෙන බව ඇසීමෙන් ඇය එය ප්‍රතික්ෂේප කළාය. එහෙත් අවසානයේ මගේ හැඩීම් වැලපීම් මධ්‍යයේ අපේ නිවෙස අසලම පිහිටි විශාල නිවෙසක පැවති ගීත පටිගත කිරීමේ අවස්ථාවට යෑමට අම්මා එක ග විය. මගේ ඉහේ මලක් පිපුණේ එවිටය. මේ මොහොතේ ජයවීර මහතා ප්‍රකාශ කර සිටියේ මේ අවස්ථාව මග නොහරින ලෙසටය. මන්ද ඉන්දියාවේ සිට පැමිණෙන සංගීතඥයන් කිහිප දෙනෙකු මේ අවස්ථාවට සහභාගි වන නිසාය. අම්මා යළිත් පස්ස ගසන්නට වූයේ ඒ භාෂාව අපේ දුව දන්නේ නෑනේ කියමිනි. එහෙත් ජයවීර මහතා කිව්වේ සිංදු කියන්නේ සිංහලෙන් බවය.
නියමිත දින මමත් අම්මාත්, අපේ ලොකු මල්ලී කුමාරත් අදාළ නිවෙස වෙත ගියේය. ඇතුළත සාලයේ පැදුරු එලා කිහිප දෙනෙක් වාඩිවී සිටියේය. මමද කෙටි සායකින් සහ ටීෂර්ටයකින් සැරසී මේ ස්ථානයට ගියෙමි. ජයවිර මහතා අප එහි සිටි සංගීතඥයන්ට හදුන්වා දුන්නේය.
එහි බිම වාඩිවි සිටි උස මහත ශරීරයකින් යුතු පුද්ගලයා මට වාඩිවෙන්නැයි කීවේය. මම බිම වාඩිවී ගීතය පුරුදු වුණෙමි. කීප වාරයක් පුරුදු වීමෙන් පසු ඔහු කීවේ දැන් පටිගත කළ හැකි බවය. ගීත දෙක පටිගත කිරීමෙන් පසුව අප නිවෙසට යෑමට සූදානම් වූයෙමි.
මට ගීතය පුරුදු කළ තැනැත්තා නාට්‍යය පෙන්වන දවසට බලන්න එනවාදැයි මගෙන් ප්‍රශ්න කළේය. මමද ‘ඔව් එනවා’ යැයි කියමින් එන්නට ආවෙමි.
නිවෙසට පැමිණි මගේ මව ඒ සංගීතය පිළිබද ඉහළින් කතා කරන්නට පටත් ගත්තාය. ඒකනම් පුදුම මිහිරි සංගීතයක් යැයි කියමින් අම්මා ඔහු ගැන වර්ණනා කළාය.
අම්මා මගෙන් ඇසුවේ “පුතේ එයාගේ නම මොකක්ද?” කියාය. සැබවින්ම මට ඔහුගේ නම පිළිබද දැනුමක් නොතිබුණි. හඳුන්වාදීමේදී ‘විශාරද’ යැයි කියනවා මට ඇසී තිබුණි. එවැනි නමක් මම මින් පෙර අසා තිබුණේද නැත. මට හිතුණේ ඒ ඔහුගේ නම වෙන්නට ඇති කියාය. අනෙක් අතට මේ අය ඉන්දියාවෙන් පැමිණි අය බැවින් නම් වෙනස් අතැයිද සිතුවෙමි.
අම්මාගේ පැනයට මම උත්තර දුන්නේ මෙසේය.
අම්මා එයාගේ නම ‘විශාරද’ ඒ එකල මාගේ දැනුමේ හැටිය.
ජයවීර මහතා ඉන්දියාවෙන් පැමිණි සංගීතඥයන් යැයි කීවත් මේ අය සිංහලෙන් කතා කරනු මම අසා සිටියෙමි.
එසේ හෙයින් මම මගේ මිතුරියට කතාකොට ඇගෙන් විමසුවේ මේඅය ඉන්දියාවේ සිට ආවත් සිංහලෙන් කතා කලානේ කියලාය. එවිට ඇය පැවසුවේ ‘අනේ ඒ අය ඉන්දියාවේ ගිහින් ඉගෙන ගෙන ආව අය. ඒ අය හොඳ සිංහල අය කියලයි.
කෙසේ හෝ වෙසක් නාට්‍යය රඟ දැක්වු දා මාද එය නැරඹීමට ගියෙමි. මට ගීත පුරුදු කල තැනැත්තා කඩල ගොට්ටක් සපමින් පැත්තක සිටිනු මම දුටුවෙමි. මම වහා ඔහු ළඟට ගොස්, ‘අනේ අයියේ මම හිතුවේ ඔයා වෙන ජාතියක කියලා යැයි පැවසීමි. පිස්සුද ? මම හොඳ සිංහල බෞද්ධ කෙනෙක්. මම සනත් නන්දසිරි. හේරත් මුදියන්සේලාගේ යැයි කීවේය.
ආ මටත් තියනවා ඒ වගේ එකක් මම මුතුතන්ත්රීලාගේ යැයි මම කීවෙමි.
ඒ තමයි මගේ ජිවිතේ මහා පෙරලිය ඇති වීමේ පළවෙනි හමුව සිදුවු ආකාරය. එතැන් සිට ඔහු මගේ ජීවිතයේ සදාතනික සෙවණැල්ල විය. මේ මොහොතේ ඔහු මා හැර පියා ගොස් සිටියද, සුර ලොව සිට ඔහු මා ඇතුළු පවුලේ උදවිය දෙස බලා සිටින වග නම් හොදටම විශ්වාසය අපි දෙදෙනා එක ගමනක් යන්නට ගිවිසුම් ගතව මේ ගෙවන්නේ 51 වැනි වසරය. එදා මෙදා තුර මගේ ජිවිතයේ බිරිඳක් වශයෙන් මගේ යුතුකම් කොටස නිසි අයුරින් ඉටුකළ බිරිඳක වශයෙන් මට අද උදම් ඇනිය හැකිය. මගේ ජිවිතයේ මට හමුවු වටිනාම වස්තුව දු අනුරාධා ඔහු මට තිළිණ කළේය. ඔහුත් සමඟ රටරටවල සංචාරය කරමින් නිර්මාණ ජිවිතයේදිද ඔහුට අත්වැල් සපයන්නට මට ලැබූ ඒ වරම අදටත් මා සිහිපත් කරන්නේ අති මහත් භක්තියකින්ය. මේ සිහින මැද ජිවිතේ දෙස ආපස්සට හැරි බලත්දි මට දැනෙන්නාවු අහිංසක සතුට මධ්‍යයෙන් දේදුන්නක් වැනි හීන් ඉරක වේදනාවක් මා සිත ඇතුළතින් ගමන් කරන්නේ ඔහු මගේ ළඟ නැති නිසාය. කෙසේ වෙතත් දැන් මගේ ජීවිතය ආදරයෙන් බලා කියා ගන්නා මගේ දියණිය ගෙන් මෙවර උපන්දින තිළිණය ලෙසින් මම අපූරු තෑග්ගක් ලද්දෙමි. මේ ගෙවුණු කලා ජීවිතය පුරාම මම මගේ ගීතයක් රූප රචනය කර නොතිබිණ. මෙවර උපන්දිනය දා රාත්‍රි මගේ ගීතයක් රූප රචනය වී මහාචාර්ය සනත් නන්දසිරි යු ටියුබ් චැනලයට මුදා හැරිණ. මේ ගීතය රචනා කළේ ප්රිති රන්දෙණිය මා සොයුරිය විසිනි. සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේය. රූප රචනය ඉසුරු සමරසිංහගේය. එය නරඹන්නට ඔබ සැමටද ආදරයෙන් ආරාධනා කර සිටිමි. මෙතෙක් මගේ ජීවිතයේ මට ආදරය පිදූවන් බොහෝය. ඔවුන්ගේ ආදර කරුණාව මැද දැන් මා ශක්තිවන්ත ගැහැනියක ලෙසින් ජීවත් වෙමි. මගේ ප්රියයාණන්ගේ වියෝගයෙන් පසු මා බොහෝ දුරට ගතකළේ මානසික වශයෙන් සුවදායි නොවන ජීවිතයකි. ඒ මට ඔහුගේ වියෝව දරාගත නොහැකි වු නිසාය. නමුදු දැන් මා මගේ සිත ශක්තිමත් කරගෙන ඔහු වෙනුවෙන් ජිවත් වන්නට සිත හදා ගෙන ඇත්තෙමි. ඔහුගේ වියෝවෙන් මාස කිහිපයක් ගත වත්දි මටත් දූටත් විදෙස් සංචාර කිහිපයක්ම ලැබුණි. එහෙත් ඒවනවිට ගීත ගායනා කිරිමට තරම් මානසික සවිමත් බවක් මට නොතිබිණ. එහෙත් දැන් මා යළිත් මේ මානසික සවිමත් භාවය ලබාගෙන සිටින්නෙමි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න