වර්තමානය වන විට සිනමාව, ටෙලිනාට්‍ය මෙන්ම වේදිකාව වටා ප්‍රේක්ෂකයන් එක් රොක් වෙමින් සිටීම සතුටට කරුණකි. බලි තොවිල්, කෝලම්, නාඩගම් යන සම්ප්‍රදායන් ආශ්‍රයෙන් පැවත ගෙන ආ ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාව වර්තමානයේ වෙනස්ම හැඩයක් ගෙන ඇත. ප්‍රවීණ නාට්‍යවේදීන් වූ එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා ඇතුළු අතීත පරපුර ඔස්සේ රැකගෙන ආ සිංහල නාට්‍ය කලාවට අදවන විට වත්මන් නාට්‍යවේදීන්ගේ ජවයද මුසුවී ඇත. ඔවුන්ගේ සිතුවිලි , ඔවුන් වේදිකාව හසුරවන ආකාරය සහ සම්බන්ධ කර ගන්නා ශිල්පීන් දෙස බලන කල වත්මන් තරුණ පිරිස වේදිකාවට ලබා ශක්තිය සුළුපටු නැත.
සච්ත්‍ර රාහුබද්ධ යනු වේදිකාවට සම්පතක් වූ තරුණ නාට්‍යවේදියෙකි. වේදිකාවේ පෙරළියක් කළ හැකි චරිතයකි. නම ඇසූ පමණින් ප්‍රශ්නාර්ථයක් මතුවන ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නාට්‍යය වේදිකාවට ගෙන ආවේ ඔහුය. දර්ශන වාර තිස්පහක් වේදිකාගත කර කෙටි විරාමයක් ගෙන ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නැවතත් වේදිකාව ආක්‍රමණය කිරීමට ඔහු මේ දිනවල ලහි ලහියේ සූදානම් වේ. අතිශය කාර්‍ය බහුල මොහොතක සරසවිය සමඟ කතාබහකට එක්වීමට ඔහු අමතක කළේ නැත. ජූනි 13, 14 සහ 15 දිනයන්හී සවස 7.00 ට කොළඹ 7 , සුදර්ශියේහි අරීනාහිදී ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ වේදිකා ගත වේ. ඒ පිළිබඳ සචිත්‍ර මෙසේ තොරතුරු හෙළි කළේය.
‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ කී විගස බොහෝ දෙනාට මතුවන්නේ ගැටලුවක්. මෙම නමේ අර්ථය කුමක්ද යනවග. ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නාට්‍යයේ පසුබිම සහ අන්තර්ගතය අනුව තමයි එයට මේ නම යොදා තිබෙන්නේ. මෙහි චරිත නිරූපණය කරන්නේ රංගන ශිල්පිනියන්ම නව දෙනෙක්. එහි පිරිමි චරිත නැහැ. කාන්තාවන්ගේ දෘෂ්ටි කෝණයෙන් ලෝකයේ ප්‍රශ්න දෙස බලන ආකාරය , ඒවා නිරාකරණය කර ගන්නා ආකාරය මෙම නාට්‍යයෙන් පෙන්න්නුම් කෙරෙනවා. ගැටලුවක් මතුවූ විට ඒවාට විසඳුම් සොයන්නට ඔවුන්ටම ආවේණික වූ උපක්‍රම කාන්තාවන් සතුව තිබෙනවා. අපේ අම්මලා, ආච්චිලා පවුලේ ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය හරි අපූරුයි. පවුලේ ගෘහමූලික පියා වුවත් තීන්දු තීරණ ගත්තේ මව විසින්. එහෙත් ඒ බව දරුවන්ට නොපෙන්වා ඉන්න ඔවුන් සමත් වුණා. දරුවන් රැකබලා ගැනීම, ඔවුන්ට පෝෂණය ලබාදීම ,ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීම වැනි ප්‍රශ්න කාන්තාව මුහුණ දෙන ගැටලු ලෙස හඳුන්වන්න පුළුවන්. එම ගැටලු කෙසේ හෝ විසඳා ගන්නට ඔවුන් උපක්‍රමශීලී වුණා. උදාහරණයක් ලෙස ගෙනහැර දැක්වුවහොත් ඒ කාලේ අපිට පාසලෙන් විනෝද චාරිකාවක් යාමට අවශ්‍ය වූ විට මුලින්ම අපි එය දන්වන්නේ අම්මට. ඇය එය තාත්තාට කියන බව අපි හොඳාකාරවම දන්නවා. පහුවදා උදෑසන වන විට තාත්තාගෙන් එයට කැමැත්ත ලැබෙනවා. එහෙත් එම පණිවිඩය අම්මා තාත්තාට කියූ වේලාව අපි දන්නේ නැහැ. අම්මා ඉතා සූක්ෂ්මව තාත්තාගෙන් විසඳුම, කැමැත්ත ලබා ගැනීමට උපායශීලී වුණා.
මෙම කතාව ලියද්දී ඉහත කී කරුණු සියල්ල පිළිබඳ විමසා බලමින් පිටපත රචනය කළා. කාන්තාව ඉතා ප්‍රබලයි. තමන්ගේ කුටුම්භයට යම්කිසි ගැටලුවක් මතු වූ විට ඇය සටන්කාරියක් බවට පත්වෙනවා. ඉහත දැක්වූ කාරණා පදනම් කරගෙන කාන්තාව පිළිබද කතා කෙරෙන නාට්‍යයක් ලෙස ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ හඳුන්වා දෙන්න පුළුවන්. මා ඉහත සඳහන් කළේ කාන්තාව කෙබඳු චරිතයක්ද යන වග. ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නම පිළිබද බොහෝ අය ප්‍රශ්න කළා. තවදුරටත් එය පැහැදිළි කිරීමක් කරන්න පුළුවන්.
ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට ලෝකයේ සම්භාව්‍ය නාට්‍ය යුගය ආරම්භය සිදුවන්නේ ග්‍රීසියෙන්. ග්‍රීසියේ දේව ඇදහිල්ල ප්‍රබලව තිබුණා. එහි තිබුණා දේව සභාවක්. ග්‍රීසිය යනු බහුදේව ආගම් ව්‍යාප්ත වූ රටක්. ඇපලෝ යනු හිරු දෙවියා, ඇතීනා යනු යුක්තියට , සාධාරණයේ සංකේතය. ඇෆ්‍රොඩයිට්’ යනු කාන්තාව සංකේතවත් වන දෙවඟන. සුන්දරත්වයේ දෙවඟන යනුවෙන්ද හඳුන්වන්න පුළුවන්. මගේ නාට්‍යයේ කියැවෙන්නේ ස්ත්‍රිය ගැන. එය සංකේතවත් කිරීම සඳහා තමයි මම ඇෆ්‍රොඩයිට් යන වචනය යෙදුවේ. ඉන්පසු මල්කොල්ලය’ යන වචනය යෙදුවේ. පහත සඳහන් කාරණය නිසා.
අපි ජීවත් වන්නේ අපේ හීන මංකොල්ල කන සමාජයක. වර්තමානයේ ජීවත්වන මිනිස්සුන්ට හීන නැහැ. අද දවසේ ජීවත් වන්නේ කෙසේද කියා පමණයි ඔවුන් සිතන්නේ. ලෝකයේ වෙනත් රටවල එසේ නැහැ . ඔවුන්ට විවේකයක් තියෙනවා. ඔවුන් ඉඩලද සෑම අවස්ථාවකම සංචාරය කරනවා. විනෝද වෙනවා. එහෙත් අපේ රටේ එවැනි වාතාවරණයක් නැහැ. අපේ ජන සමාජය ඉතා කාර්‍යබහුලයි. උදෑසන රාජකාරියට යනවා. සවස ගෙදර එනවා. නිවසට පැමිණි වෙලාවේ සිට එහි වැඩකටයුතු වල නිරත වෙනවා. එනිසා මිනිස්සුන්ගේ හිතේ තිබුණ හීන සියල්ල බොඳ වෙලා.
කාන්තාව කැමති නිතරම ලස්සනට ඉන්න. දරු පවුල සමඟ සතුටින් ඉන්න. එහෙත් ඒ සියලු දෑ අද දුරස් වෙලා. ඒ බලාපොරොත්තු ඉටු කට ගැනීම ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. කාන්තාව ඒ ගැටලු විසඳා ගන්නේ කෙසේද? එම ගැටලුව විමසා බැලීම තමයි මගේ නාට්‍ය නිර්මාණයෙන් කියැවෙන්නේ. කාන්තාව කේන්ද්‍ර වූ නිසා ‘ මංකොල්ලය’ වෙනුවට ‘ මල්කොල්ලය’ ලෙස නම් කළා. ඒ අනුව තමයි ‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ බිහි වන්නේ.
මෙය මගේම රචනයක්. ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඉහත සඳහන් කළාක් මෙන් ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ කාන්තා චරිත නවයකින් සමන්විතයි. මම නිර්මාණයක් කිරීමට ප්‍රථම පළමුවෙන් කරන්නේ මා සමඟ එකතු වන පිරිස සමඟ සාකච්ඡා කරීම. එන චරිත හඳුනා ගැනීමට උත්සාහ කරනවා. යම්කිසි නිර්මාණයක් කිරීමට පෙර සූදානමක් තිබිය යුතුයි. පෙර සූදානමක් තිබීමෙන් ශිල්පීන් සමඟ වැඩ කිරීමේ පහසුව ඇතිවෙනවා. තවත් විශේෂ කාරණයක් තියෙනවා. එසේ සූදානම් වීමෙන් නාට්‍යයේ සංකල්පය චරිත තුළින් ගොඩනඟා ගැනීමේ පහසුව ඇතිවෙනවා. ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ සඳහා දායක වී සිටින්නේ කලා ක්ෂේත්‍රයේ සිටුන කාර්‍යබහුල චරිත.
චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණී සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා, උමා අසේනි, තුෂී සමරසේකර, රන්දි කලුආරච්චි මෙහි චරිත නිරූපණය සඳහා දායක වෙනවා. මෙම නවදෙනා දෙස බැලූවිට විශේෂත්වයක් තියෙනවා. ප්‍රවීණ සහ නවක යන දෙපිරිසටම ඉන්නවා. එය නාට්‍යයේ සාර්ථකත්වයට රුකුලක්. ප්‍රවීණයන්ගෙන් අත්දැකීම් ලැබෙනවා. ඔවුන්ගෙ හැකියාව උපරිමයෙන් නාට්‍යයට ලැබෙන අතර නවකයින්ගෙන් ජවය ලැබෙනවා. මේ දෙපිරිසම එකතු වෙලා නිර්මාණය පෝෂණය කරනවා. කාන්තාවන් නවදෙනෙක් සමඟ වැඩකිරීම අභියෝගයක් වගේම විනෝදයක්.
ලංකාවේ රංගන ශිල්පී ශිල්පිනියන් රඟපාන්නේ වෘත්තියක් විදිහට. එහෙත් එයාල වේදිකාවට එන්නේ රඟපෑම පිළිබද තිබෙන උනන්දුව සහ කැමැත්ත නිසා. ටෙලිනාට්‍ය සහ සිනමාවේ වගේ ඔවුන්ට ගෙවීම් කරන්න බැහැ. එහෙත් ඔවුන් එන්නේ වේදිකාව ඇති උනන්දුව නිසාමයි. වේදිකාවේ වැඩ කරද්දී යාවත්කාලීන වීමට ඇති ඉඩකඩ වැඩියි.අනෙක් විශේෂ කාරණය වන්නේ එකමුතුකම. ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නාට්‍ය කණ්ඩායමේ එකමුතුකම ඉතා ඉහළයි. ඔවුන් පුහුණුවීම් සඳහා එනවිට කෑමබීම පවා රැගෙන එනවා. ඔවුන් ඒ තුළින් විශාල ආස්වාදයක් ලබනවා. ඒ වගේම තමයි මෙම කණ්ඩායම සමඟ වැඩ කිරීමෙන් මා ලබන අත්දැකීම්. චාන්දනී සෙනෙවිරත්න ජ්‍යේෂඨ රංගන ශිල්පිනිය මගේ සම්පූර්ණ වයසට වඩා රඟපාල තියෙනවා. ඒ වගේම උමා අසේනි මෙහි මුල් කාලයේදී ආධුනික ශිල්පිනියක්. නමුත් වර්තමානයෙ ඇය ජනප්‍රිය නිළියක්. මෙහි වැඩකටයුතු සිදුවන්නේ සියලුම දෙනාගේ සාමූහිකත්වයෙන්. මතවාද, ගැටුම්, අදහස් හුවමාරුවීම්, සමඟ සාර්ථක ප්‍රථිඵලයක් මතු කරන්න සියලු දෙනාගේම එකමුතුව වැදගත්. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියන්ගෙන් නවක ශිල්පිනියන්ට ලැබෙන ගුරුහරුකම්. ඔවුන් ජ්‍යේෂ්ඨයන් කියා නොසිතා නවකයන්ට දෙන උපදෙස් ඉතා වැදගත්. ඔවුන්ගේ එම නිහතමානී ගුණයට අපි ගරු කරනවා.
මේ සියලු කාරණා අතරේ මතක් කළ යුතු විශේෂ පිරිසක් සිටිනවා. තිරය පිටුපස සිට විශාල කාර්‍යභාරයක් ඉටු කරන ශිල්පීන් ගැන කතාකළ යුතුමයි. ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ හි අර්ථපති වන්නේ තිලක් අබේසිංහ. මෙවැනි කාලයක වේදිකා නාට්‍යයකට අර්ථපති ලෙස කටයුතු කිරීම අභියෝගයක් සහ අවදානමක්. ඒ කාරණා පසෙක ලා ඔහු මේ දැවැන්ත කාර්යට අත ගැසීම ගැන මගේ ස්තූතිය පුදකරනවා. ඒ වගේම රංග සමරකොන් ආලෝකකරණය සහ ශබ්ද පරිපාලනයෙන්ද, රන්දික වේශ නිරූපණයෙන්ද , ළහිරු මාදිවෙල සංගීත අධ්‍යක්ෂණයෙන්ද , රංග වස්ත්‍ර නිර්මාණයෙන් අමා විජේසේකරද දායක වෙනවා. පසුතල සැකසුම්, රංග වින්‍යාසය සහ පිටපත් රචනය සිදු කළේ මා විසින්. අමා විජේසේකර මෙහි රංගවස්ත්‍රාභරණ සැකසීමත් විශේෂත්වයක්. ඇය මෙම නාට්‍යයේ රඟපාන නිසා චරිත පිළිබද අවබෝධයක් ඇයට තිබුණා. අමා වෙහෙස මහන්සි වී වස්ත්‍රාභරණ මැනෙවින් සැකසුවා.
වේදිකා පරිපාලනය සම්බන්ධයෙන් මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ප්‍රධාන වේදිකා පරිපාලක ලෙස නාමල් සජිත කටයුතු කරනවා. ඒ වගේම හසිත් වෙත්තසිංහ , සිතාරා අත්තනායක සහ රවිඳු සම්පත් ඒ සඳහා එක්ව සිටිනවා. මින් පෙර අවස්ථාවේදි ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ දර්ශන වාර තිස්පහක් පැවැත්වූවා. මම හිතනවා එක නාට්‍යයක් දිගටම වේදිකාගත වුවහොත් ප්‍රේක්ෂකයන්ටත් , ශිල්පීන්ටත් නීරස වෙනවා. එමනිසා අපි දර්ශන වාර තිස්පහක් පවත්වා මද විරාමයක් ගත්තා. ඉන්පසු නැවතත් පුහුණුවීම් ආරම්භ කර ඉදිරි දර්ශන වාර සඳහා සූදානම් වෙනවා. එවිට නාට්‍යයේ තිබෙන ගුණාත්මකභාවයට හානියක් සිදු වන්නේ නැහැ.
මම හැමදෙනාගෙන්ම ඉල්ලන්නේ ටිකට් පතක් මිලදීගෙන නාට්‍ය බලන්න එන්න කියා. ටිකට් පතට හොඳ මිලක් ලබා දුන්නොත් පමණයි නාට්‍යයට වටිනාකමක් ලැබෙන්නේ. රංගන ශිල්පීන්ට වටිනාකමක් ලැබෙන්නේ. සංවිධාකයන්ටත් මම නිතරම කියනවා ටිකට්පත අඩු මුදලක් නියම නොකරන ලෙස. කලාව අඩු මුදලකට විකිණිය යුතු නැහැ.
මෙම ජූනි 13, 14 සහ 15 දිනයන්හී කොළඹ 7 සුදර්ශියෙහි අරීනාහිදී ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නැවත වේදිකාගතවීම ආරම්භ වීමට නියමිතයි. වේදිකාවට ප්‍රියතාවයක් දක්වන ප්‍රේක්ෂකයන්ට මම ආරාධනා කරනවා ජූනි13, 14 සහ 15 දිනවල ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නරඹන්න පැමිණෙන්න කියලා.
එම වේදිකාගත වීමෙන් පසු අපි ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ රැගෙන ඩුබායි බලා පිටත්වෙනවා. එහි සිටින ශ්‍රී ලාංකික ජනතාවට මේ අවස්ථාවට සහභාගී විය හැකියි.
අවසාන වශයෙන් ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ ට සම්බන්ධ සියලුම දෙනාට මම සුබ පතනවා. විශේයෙන් මෙයට දායක වී සිටින රංගන ශිල්පිනියන් නවදෙනා මේ නාට්‍යයේ ආරම්භයේ සිටම ‘ ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ ට සම්බන්ධ වී එය සාර්ථකව වේදිකාගත කිරීමට ලබා දෙන සහයෝගය පැසසුමට ලක්කළ යුතුයි.
නයනාංජලි දෙහිපිටිය