සරසවිය නාමය ඔපකළ යෝධ ශක්තිය
රංජිත් විජයවර්ධන
සරසවිය පුවත්පතේ මෙන්ම සරසවිය සම්මාන උලෙළේ නිර්මාතෘවරයා වූයේ රංජිත් විජයවර්ධන මහතාය. 1964 වසර සරසවිය සම්මාන උලෙළ ඇරැඹි වසර විය. ඊට වසරකට ඉහත දී එනම් 1963 අප්‍රේල් 10 වැනිදා සරසවිය පුවත්පත ආරම්භ කෙරිණි. එවක ලේක්හවුස් ආයතනයේ සභාපතිත්වය දරන ලද්දේ රංජිත් විජයවර්ධන මහතාය. එතුමන්ගේ සිතුවිල්ලක ප්‍රතිඵලයක් වශයෙන් සරසවිය පුවත්පත බිහිවිය. සරසවිය සම්මාන උලෙළ 1964 දී පැවැත්වීම පිටුපස සිටි යෝධ ශක්තිය වුයේ රංජිත් විජයවර්ධන මහතාය. නමුත් එතුමන් කිසිදු අයුරකින් ඒ හා සම්බන්ධ කිසිදු කටයුත්තකදී ඉදිරියට ආවේ ද නැත. ඒ හා සම්බන්ධ කිසිදු ඡායාරූපයකට හෝ පෙනී සිටීමට අකැමැති වූ බව ප්‍රසිද්ධ රහසක් ද වේ. එංගලන්තයේ සිට පැමිණ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ධුරයට පත් වූ තරුණ රංජිත් විජයවර්ධන මහතා නිහඬව සියලු කාර්යන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය. 1962 මැයි 05 වැනිදා සිට 1973 ජුලි 20 වැනිදා දක්වා එතුමන් විසින් සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ධුරය හොබවන ලදී.
සරසවිය කලාපුවත්පත ආරම්භ කිරීම පිළිබඳ ලේක්හවුස් ආයතනය තුළ ඇගැයීමට ලක්විය යුත්තේ ලේක්හවුස් ආයතනයේ එස්මන්ඩ් වික්‍රමසිංහ (දීර්ඝ කාලයක් කළමනාකාර අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ) මැතිතුමා හා මීමන පේ‍්‍රමතිලක සූරීන් බවත් සරසවිය කලා පුවත්පතෙහි ආදි කර්තෘවරුන් දෙපළ ලෙස අවිවාදයෙන් ඔවුන් දෙපළ නම් කළ යුතු බවත් රංජිත් විජයවර්ධනයන් වරක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි.
කීර්තිමත් නාමය
රණපාල බෝධිනාගොඩ
සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ධූරය හෙබ වූ රණපාල බෝධිනාගොඩ මහතා ද සරසවිය සම්මාන උලෙළ ඉතිහාසය ගැන මතකයට පත්වන මොහොතක විශේෂයෙන් සිහිපත් කළ යුතු සුවිශේෂී චරිතයක් වේ. 1964 දී මුල්ම සරසවිය සම්මාන උලෙළ ආරම්භයේ සංවිධායකවරයකු ලෙස කටයුතු කළ රණපාල බෝධිනාගොඩ මහතා ඒ අවධියේ ඔබ්සවර් පුවත්පතේ අලෙවි කළමනාකරු ලෙසින් කටයුතු කරනු ලැබීය. සරසවිය සම්මාන උලෙළ ආරම්භයට දායක වූ සංවිධායකු වූ එතුමන් 1977 දී (1977 ජුලි 22 සිට 1989 ජනවාරි 10)
ලේක්හවුස් සභාපතිත්වයට පත්වීමත් සමඟ 1971 සිට 1979 දක්වා පුරා වසර නවයක් නවතා තිබු සරසවිය සම්මාන උලෙළ නැවත 1980 දී ආරම්භ කිරීමට මුල්විය. එතැන් පටන් 1988 දක්වා සරසවිය සම්මාන උලෙළ නවයක් පැවැත්වීම සඳහා එතුමන් නායකත්වය දෙනු ලැබිණි. සරසවිය සම්මාන උලෙළ ආරම්භයට සේම එය අතරමඟ නතරව සිටි අවධියක යළි ජීවයක් එක්කරලන්නට දිරිය ශක්තියක් එක් කළ ලේක්හවුස් ආයතනයේ කිර්තිමත් සභාපතිවරයකු වූ රණපාල බෝධිනාගොඩ නාමය ද මේ සම්මාන උලෙළ හා අනොන්්ය ලෙස බැඳී පවති. එතුමා අනුස්මරණය කොට සිනමා සාහිත්‍ය සම්මානයක් සෑම සරසවිය සම්මාන උලෙළකදීම පිරිනැමේ.
මුල් නියමු
මීමන ප්‍රේමතිලක
විශිෂ්්ට ගණයේ පුවත්පත් කලාවේදියකු මෙන්ම කවියෙකු වූ මීමන පේ‍්‍රමතිලක මහතා සරසවිය ආරම්භක කර්තෘවරයා විය. 1963 සරසවිය පත්‍රය ආරම්භයත් සමඟ එහි මුල් පුටුව හෙබ වූ ඒ මහතා මාස කීපයක් තුළ එහි මුල් පුටුවට සමු දී තමන්ගේ සහායක ලෙස කටයුතු කළ විමලසිරි පෙරේරා මහතාට කර්තෘ පුටුව භාර කෙරිණි. සරසවිය ආරම්භයේ පළමු වැනි අත්පිටපත අකුරු ඇමිණීම සඳහා භාර කරනු ලැබුවේිද මීමන පේ්රමතිලකයන්ය. සරසවිය මුලින්ම මංගල කලාපය හඳුන්වාදී තිබුණේ “මේ අලුත්ම ලේක්හවුස් ප්රකාශනය පවුලේ කාටත් රසවිදිය හැකි විවිධාංගයෙන් සමන්විත කලා මංජුසාවකි” යනුවෙනි.
සිනමා පත්තරයක් පිළිබඳ යෝජනාව ලේක්හවුස් සභාපතිතුමන්ට මුලින්ම ඉදිරිපත් කරනු ලැබු මීමන පේ‍්‍රමතිලකයන්ට එහි ආරම්භක කර්තෘවරයා වීමට ද වාසනාවන්ත විය. එතුමන් 1954 සිට 1961 වසර දක්වා ජනතා පුවත්පතේ ද 1961 සිට 1965 වසර දක්වා සිළුමිණ පුවත්පතේද ප්‍රධාන කර්තෘ ධුරය හොබවනු ලැබීය.
දිගු ගමනක
සුබ මොහොත
සුබ මොහොතින් සරසවිය පුවත්පතේ මුල් පිටපත සරසවිය ආරම්භක කර්තෘ මීමන පේ‍්‍රමතිලක මහතා අකුරු ඇමිණීම සඳහා එවක නිෂ්පාදන අංශයේ වැඩ මූලික වූ කරතේලිස්ට බාරදුන් අවස්ථාව පසෙකින් විමලසිරි පෙරේරා මහතා ද වෙයි.
සරසවිය සරසවියක් කළ
විමලසිරි පෙරේරා
මේවනවිට හැට දෙවන වියට පා තබා ඇති සරසවිය පුවත්පතේ මුල් යුගයේ ස්ථාවරත්වයට දිගු කලක් දායක වූයේ විමලසිරි පෙරේරා මහතාය. 1963 සිට 1977 දක්වා පුරා වසර 14ක් එතුමන් සරසවිය කර්තෘ ධූරයේ කටයුතු කරනු ලැබීය. සරසවිය සරසවියක් බවට පත්කරන ලද්දේත් මෙතුමාය. මෙයට සම්ප්රදායක් ගොඩනැඟුවේත් මේ මහා පුරුෂයාය. සිළුමිණ, නවයුගය පුවත්පත්වලද කර්තෘවරයකු වශයෙන් කටයුතු කළ විමලසිරි පෙරේරා මහතා කවියකු ද විය. සිනමාව මුල් කොටගත් ලලිත කලාවක් සඳහා සරසවිය පෝෂණය කළ විමලසිරි පෙරේරා ගුණාත්මකව අපක්ෂපාතීව සදාචාර සම්පන්නව කලාකරුවන්ගේ විශ්වාසය හා පාඨක විශ්වාසය ආරක්ෂා කරමින් සරසවිය ස්ථාවරත්වය ගොඩනඟන්නට අති මහත් කැපවීමක් කරනු ලැබිණි. ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා වුයේ ද විමලසිරිය. සරසවිය සම්මාන උලෙළක ආරම්භය කියාපාන පණිවිඩය රැගෙන එන නියමුවා වන්නේ ද මෙතුමන්ය. එය සිදු වන්නේ හරි අපුරු ආකාරයකටය. එවක සිළුමිණ පත්‍රයේ උපකර්තෘවරයකු වූ විමලසිරි පෙරේරා මහතා මහා බ්‍රිතාන්‍යයේ පුහුණුවකට ගොස් නැවත පැමිණීමේදී ඉන්දියාවේ දින කිහිපයක් නතර වීමට සිදුවේ. එහිදී ඔහුට නවාතැන් ගැනීමට සිදුවනුයේ ජ්ඪතථ ටචපඥ සිනමා සඟරාවේ සංස්කාරක බී.කේ. කරංජියා මහතාගේ නිවසේය. ලේක්හවුස් ආයතනයේ සිනමා පුවත්පතක් පළ කිරීම උචිත යැයි විමලසිරි මහතාට යෝජනාවක් ගෙන එන්නේ කරංජියා මහතාය. මෙම යෝජනාව යළි ලංකාවට පැමිණි විමලසිරි මහතා එවක සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වූ මීමන පේ‍්‍රමතිලක මහතාට පවසා සිටිනු ලැබේ. ඒ අදහස එවක ලේක්හවුස් සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහතාට මීමන පේ‍්‍රමතිලක පැවසීමත් සමඟ එතුමන්ගේ පුර්ණ ආශිර්වාදය සරසවිය පුවත්පත මෙන්ම සරසවිය සම්මාන උලෙළ ඇරැඹීමට ප්රවිෂ්ටයක් එක්කරලන්නේය.
ගම්භීර හඬ පෞරුෂය
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේව
1964 දී සරසවිය සම්මාන උලෙළේ දී ප්‍රථමවරට අමරදේවයන්ගේ ගම්භීර හඬින් ගැයුණු සරස්වතී අභිනන්දන ගීතය මානවසිංහයන් හා අමරදේවයන් සුසංයෝගයේ අපුර්වතම මිහිරි ඵලය විය. එදා මෙදා තුර කුමක් හෝ කලා ප්‍රසංගයක ඇරැඹුම සටහන් කරන්නට සුවහසක් ශ්‍රාවක පේ්රක්ෂක මන දොල පුබුදාලනුයේ මේ සරස්වතී අභිනන්දන ගීතය වාදනයත් සමඟිනි. මෙම ගීතයේ ගේය පද රචකයා වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගීතය රචනා කොට එවක සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබිණි. විමලසිරි උඹේ ඉල්ලීමට ඔන්න මම පද ටික ලිව්වා. දැන් මගේ ඉල්ලීම ඉටුකරපන් මේ පද ටිකට තනුව දාන්න ඕනෙත් මේ ගීතය ගායනා කරන්න. ඕනෙත් හෙළයේ මහා ගාන්ධර්වයානන් වූ පණ්ඩිත් අමරදේවයන් මේ ගීතය එතුමා නිර්මාණය කළේ බිහාග් රාගය ඇසුරෙනි. 1927 දෙසැම්බර් 05 වැනිදා මොරටුව කොරළවැල්ල ග්‍රාමයේ උපත ලැබු ජාතියේ ස්වර්ණ ස්වරය නම් වූ මේ මහා ගාන්ධර්වයා සරසවිය සම්මාන උලෙළේ දී සහෘද සිත් සතන් සරසවිය අභිනන්දන ගීතය ගයමින් මොහොතකට භාවාත්මක සංයමකට පත්කරනු ලැබීය. එදා මෙදා තුර සරසවිය සම්මාන උලෙළ තිස්පහක මෙම ගීතය එහි ඇරඹුමත් සමඟ ගායනා කෙරුණු අතර තවත් චිරාත් කාලයක් ඒ අයුරින්ම මේ උලෙළ පැවැත්වෙන තුරාවට ඒ ගම්භීර හඬ පෞරුෂය ඇසෙනු ඇත. ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදීම ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානයට පාත්‍ර වන්නට වාසනාවන්ත වූ අමරදේවයන් ඉන්පසු සරසවිය සම්මාන උලෙළ බොහොමයක හොඳම සංගීත අධ්‍යක්ෂණය හා හොඳම ගායනය සඳහා සරසවිය සම්මානයෙන් පුදනු ලැබීය.
2016 නොවැම්බර් මස 03 වැනිදා මේ මහා හඬ පෞරුෂය අප අතර ඉතිරි කොට එතුමන් මෙලොවින් සමුගෙන යනු ලැබීය.
ගේය කාව්‍ය ලියූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
කලාවට අධිපති සරස්වතී දේවිය අභිනන්දනය කිරීම කිසියම් කලා කටයුත්තක් ඇරඹුමත් සමඟ සිදුවන්නක් නිසාවෙන් 1964 සරසවිය සම්මාන උලෙළේ. ඇරැඹුම වෙනුවෙන් සරස්වතී අභිනන්දන ගීතයක අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට විය.
ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා වූ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා මෙම ගීතය ලියවා ගැනීම සඳහා තෝරාගනු ලැබුවේ බහුශ්‍රැත දැනුමත්, පෙර අපරදෙදිග ගීත කලාව පිළිබඳවත් පුවත්පත් කලාව පිළිබඳවත් හසල දැනුමක් ලබා තිබු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය.
ඒ අනුව ජගන් මෝහිනී – මධුර භාෂිණි චාරු දේහිණි – කමල වාසිනී
සරස්වතී දේවි – නමස්තේ – සරස්වතී දේවී
සරසවිය අභිනන්දන ගීතය නිර්මාණය විය. මෙම ගීතය අද දෙවැනි වන්නේ අපේ රටේ ජාතික ගීතයට පමණි.
පුවත්පත් කලාවේ හා සිංහල භාෂා සාහිත්‍යයේ පෝෂණය සඳහා ඉමහත් මෙහෙයක් සිදුකළ ලේඛකයකු කවියකු, ගේය පද රචකයකු පුවත්පත් කලාවේදියකු ප්‍රකට තීරු ලිපි රචකයකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1913 ජූනි 19 වැනිදා රුහුණු ගිරුවාපත්තුවේ බෙලිඅත්තට නොදුරු පුවක් දණ්ඩාව ගමේ උපත ලැබීය. ප්‍රථම සරසවිය සම්මාන උලෙළ සඳහා සරස්වතී අභිනන්දන ගීතය රචනා කළ මානව සිංහයන් ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදීම හොඳම ගීත රචනය වෙනුවෙන් රන්මුතු දුව චිත්‍රපටයේ පාරමිතා බල… ගීතය සඳහා සරසවිය සම්මානය දිනා ගැනීම ද දෛයිවෝපගත සිදුවීමක් විය.
හෙළ කලාවේ සුන්දරත්වය නිර්මාණාත්මක වදන් මාලා තුළින් රසික මනසට මුසු කිරීමට කාලාන්තරයක් කටයුතු කළ මානවසිංහයන් 1964 ඔක්තෝබර් 04 වැනිදා මෙලොවින් සමුගෙනයනු ලැබිණි.
සරසවිය සිනමා සලරූ සරණිය
1964 පැවති ප්‍රථම සරසවිය සම්මාන උලෙළ නිමවීමත් සමඟ එහි විස්තර හා විශේෂ ඡායාරූප සහිත විශේෂ සමරු කලාපයක් නිකුත් කෙරිණි. උලෙළ අවසන්ව මාස හයක් පමණ ඉක්මයාමත් සමඟ නිකුත් වූ එම සමරු කලාපය සතිපතා පළවන සරසවිය පුවත්පතේ වාර්ෂික සංග්‍රහයේ මංගල කලාපය ලෙසින් එළිදක්වනු ලැබීය. එම සඟරාව සරසවිය සිනමා නමින් නම් කොට තිබිණි. ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා විසින් ගන්නා ලද 1964 වර්ෂයේ සරසවිය සම්මාන ලාභී හොඳම නිළිය වූ පුණ්‍යා හීන්දෙණියගේ වර්ණ ඡායාරූපයකින් එහි මුල් කවරය හැඩ කොට තිබිණි.
මෙම සමරු සංග්‍රහය හුදෙක් රූපා වලියක්ම පමණක් නොවූ අතර බුද්ධිමත් රසිකයන්ගේ උසස් රුචියට සරිලන අගනා දැනුම් කෝෂයක් ලෙසින් නිමකරනු ලැබීය. සිබිල් වෙත්තසිංහගේ චිත්රවලින්, ඇස්.ආර්. හේමපාලගේ සිරස්තල අක්ෂර රූපවලින් අලංකාරවත්ව තිබූ මෙම සඟරාවේ කලා නිමැවුම නිමල් පෙරේරා විසින් සිදු කරනු ලැබීය.
පැය කීපයක් තුළ සියලු පිටපත් අලෙවි වී අවසන් වූ මෙම සමරු කලාපය 1964 නොවැම්බර් මස 24 වැනිදා පාඨකයන් අතට පත්විය. එවක සරසවිය කර්තෘ මණ්ඩලයේ සිටි පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ ආර්.ඩී. ගුණරත්න මහතා විසින් මෙම අගනා සඟරාව සංස්කරණය කරන ලදී.
ලෝක පූජිත මූර්තිය
ආචාර්ය තිස්ස රණසිංහ
සිනමාව හා බැඳුණු කලා මාධ්‍යයේ නියැළුණු කලාකරුවන්ට සිය ජිවිත කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ලැබිය හැකි ඉහළම සම්මානය වනුයේ සරසවිය සම්මානයයි. සරස්වතී දේවියගේ අනුරුව සහිත ලෝකඩ සම්මානය නිර්මාණය කිරීම සඳහා සරසවිය පුවත්පතේ මෙන්ම සරසවිය සම්මාන උලෙළේ නිර්මාතෘවරයා වූ රංජිත් විජයවර්ධන මහතා තෝරාගනු ලැබුවේ ලෝක පුජිත මුර්ති ශිල්පී ආචාර්ය තිස්ස රණසිංහයන්ය. දේශීය සිනමාවේ ප්රගමනය හා සිනමා කර්මාන්තයේ උන්නතිය සඳහා දිරිදිමේ අරමුණින් අරඹන ලද සරසවිය පුවත්පතෙන් පිදෙන සරසවිය සම්මානය තිස්ස විසින් නිර්මාණය කරනු ලැබුවේ සරසවිය පුවත්පතේ නාමය අරමුණ හා සම්මානයේ තිබිය යුතු ගරුගාම්භීරත්වය මෙන්ම කලාත්මක බව ද තම ශිල්පී ඥානය හා එක් කරමිනි. සරසවිය සම්මානය සෑදීමට තමන්ව තෝරාගත් බව දැන්වීමත් සමඟ තමන්ගේ සිතට ආවේ සරස්වතී දේවිය මොනරකු පිට විණාවක් අතැතිව ඉන්නා ආකාරයේ සිතුවිල්ලක් බව වරක් තිස්ස විසින් පවසා තිබිණි.
ලාංකේය මුර්ති කලාවේ නූතනවාදී සලකුණ පිරවීමට සමත් වූ තිස්ස රණසිංහයන් ලෝකඩ වාත්තුක්රමය හා එහි තාක්ෂණය හඳුන්වා දුන් විශිෂ්ට ගණයේ ශිල්පියෙක් ද වේ. මුර්ති කලා නිර්මාණයන්ගෙන් දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙනයමින් දේශයට කීර්තිනාමයක් එක්කරනු ලැබීය. කලා කෘතියක සියුම් බව මනාව වටහාගත් ලෝක පූජිත කලාකරුවෙකුගේ සුරතින් බිහිවුණු සම්මානයකින් බුහුමන් ලැබීමට තරම් අපේ කලාකරුවන් වාසනාවන්ත වීම සැබැවින්ම ආශ්චර්යවත්ය. එදා මෙදා තුර සරසවිය සම්මාන උලෙළ තිස් පහක් පුරාවට සුවිශාල කලාකරුවන් පිරිසක් තිස්ස රණසිංහයන් අතින් නිර්මාණය වූ සරසවිය සම්මානයෙන් පුද ලබා ඇත.
දැඩි ලෝහ ගුලියක් තිස්ස රණසිංහ නම් වූ මේ අපුර්ව මුර්ති ශිල්පියාගේ දෑතට හසුවීමෙන් සරසවිය සම්මානය නම් වූ ඒ ලාලිත්‍ය මුසු වූ අංගනාව බිහි විය. ඒ සුකොමල මුර්තිය අද ද සරසවිය සම්මාන උලෙළ වේදිකාවේ විරාජමානව කලාකරුවන්ගේ ගෞරවාදර බුහුමානයට ලක්වේ.
සුබ නැකැත හැදූ
පූජ්‍ය මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලී හිමි
ශ්‍රේෂ්ඨ පඬිවරයකු ගත්කතුවරයකු විචිත්‍ර ධර්ම කථිකයකු සිංහල භාෂා සටනේ පුරෝගාමියකු වූ පූජ්‍ය බඹරැන්දේ සිරිසීවලී හිමියෝ මෙරට කලාව පවතින තුරු වැජඹෙන්නට සරසවිය පුවත්පතට සුබ නැකැතක් සාදා එම ප්‍රබල නැකැතෙන් සරසවිය අරඹන්නට අනුමත කරනු ලැබූහ.
උන්වහන්සේ කෘතහස්ත ලේඛයකු පමණක්ම නොවීය. සිංහල, පාලි, සංස්කෘත, හින්දි ඉංගි්රසි භාෂා කිහිපයකම නිපුණත්වයක් ලබා සිටියහ.
1908 ජුනි මස 20 වැනිදා දෙවිනුවර බඹරැන්දේ උපත ලද උන්වහන්සේ කිරිවත්තුඩුවේ ප්රඥාසාර නාහිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළත් වූහ. ‘යුද්ධයට හේතුව‘ නමින් උන්වහන්සේ තම ප්‍රථම සාහිත්‍ය කෘතිය එළිදැක් වූ අතර එතැන් පටන් විවිධ මාතාකෘ ගැන ලියවුණු ග්රන්ථ හැටකට වඩා ලියා ප්‍රසිද්ධ කළහ.
උන්වහන්සේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මහාචාර්යපදවිය ද බෞද්ධ පීඨාධිපති ධුරයද හොබවනු ලැබුහ.
දෙස් විදෙස් කීර්තියට පත් සාහිත්‍යධරයකු මෙන්ම අග්නි දිග ආසියාවේ ප්රාඥයකු වූ බඹරැන්දේ සිරි සීවලී මහා ස්ථිවිරයන් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පින්බිමේදී 1985 අප්‍රේල් 28 වැනිදා අපවත්වී වදාළහ.
මුල්ම දවසේ මුල්ම පිටුව
1963 අපේ‍්‍රල් 10 වැනිදා නිකුත් වූ සරසවිය මංගල කලාපයේ පිටපත් පනස් දාහක් මුද්‍රණය කරනු ලැබීය. එහි පිටපතක මිල සත පණහක් විය. පුවත්පතේ පිටකවරය සියලු කලාවන් පිළිබිඹුවන ආකාරයේ නර්තනයක් ඇතුළත්ව මනහර සිත්තමකින් අලංකෘත කර තිබිණි. එම සිත්තම නිර්මාණය කොට තිබුණේ ප්‍රවීණ සිත්තරකු වූ ජී.එල් ගෞතමදාසයන්ය.
නම හැදූ
පී.කේ.ඩී. සෙනෙවිරත්න
කොළඹ යුගයේ කීර්තිමත් කවියකු ලේඛකයකු ග්රන්ථ කර්තෘවරයකු දක්ෂ චිත්‍රපට තිරකතා රචකයකු දක්ෂ පරිවර්තකයකු වූ හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්නයන් විසින් සුබගණයෙන් එනම් ආයුගණයෙන් සරසවිය නම් වූ ඒ අමරණීය නාමය පුවත්පතට තැබීය.
ඉන්දියානු සම්ප්රදායේ රූකඩ අනුරූ ලෙස සිංහල සිනමාව එකතැන පල්වෙද්දී ඊට එරෙහිව අව්‍යාජ දේශියත්වය මුසු වූ නව නිර්මාණාත්මක සිනමාවක් ගොඩනැගීමට කැප වුවන් අතරින් කෙනෙකි. පී.කේ.ඩී. සෙනෙවිරත්නයන් එතුමන් එමෙන්ම වෘත්තියෙන් සිංහල ගුරුවරයකු ද විය. තවද විශිෂ්ට ගණයේ කවියකු ගුවන් විදුලි නාට්‍ය රචකයකු ද විය. ජනපි‍්‍රය ගුවන් විදුලි නාට්‍යයක් වූ කුරුලු බැද්ද තිර රචනා කරමින් මුල්වරට සිනමාවට එක් වූ හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න ඉන්පසු සිකුරු තරුව, පරසතුමල්, රන්සළු, පි‍්‍රයංගා ආදී චිත්‍රපට තිර රචනා කිහිපයක්ම රචනා කරනු ලැබීය. සිංහල සිනමාවේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමී තිරරචකයකු වූ හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්නයන් 1967 දී පරසතු මල් චිත්‍රපටයේ හොඳම තිර නාටක රචනය සඳහා සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබීය. හේන් යාය, කුරුලු බැද්ද ඔහු ලියූ ජනපි‍්‍රය ගුවන් විදුලි නාට්‍ය අතරින් ප්රමුඛ වේ.
ගංගා කුමරි, අත්තනගලු නදී කාව්‍යය, දිට්ඨ මංගලිකා, ගම්බද සුන්දරී, උන්මාද චිත්‍රා සෙනෙවිරත්නයන් විසින් රචිත කාව්‍ය කෘති අතර වේ.
එමිලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස් නමැති ලෝක ප්‍රකට නවකතාව උරුම ලද්දෝ’ යන නමින් සෙනෙවිරත්නයන් විසින් සිංහලට පරිවර්තනය කරණ ලදී.
ප්‍රියංගා ඔහු විසින් අවසන් වරට ලියන ලද චිත්‍රපට කතාව වූ අතර එතුමන් විසින් විරචිත හිත් නැතිමල්, ක්ෂේම භූමිය තිර රචනා සිනමාවට නැගුණේ නැත. රන්වන් කරල් ඔහු ලියු අර්ධ වෘත්තාන්තිත ශෛලියේ තිර රචනයක් විය. හක්ගල්ලේ එල්ලක්කල නම් වූ සුන්දර ගම්පියසේ දී 1917 මැයි 17 වැනිදා මෙලොව එළිය දුටු පී.කේ.ඩි. සෙනෙවිරත්නයන් 1970 ජුලි 19 වැනිදා දැයෙන් සමුගනු ලැබීය.
අකුරු පහේ තෙලිතුඩ
තලංගම ජයසිංහ
ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වූ තලංගම ජයසිංහයන් අතින් සරසවිය අකුරු පහ නිර්මාණය විය. එවක ලේක්හවුස් ආයතනයේ සභාපත්වය ඉසිලු රංජිත් විජයවර්ධන මහතා සරසවිය හෙඩ් පිස් එක නිර්මාණය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ සුප්‍රකට චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහයන්ය. 1957 දී පටන් ලේක්හවුස් ආයතනයේ චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිටි තලංගම මහතාව දිනක් කැදවු රංජිත් විජයවර්ධන මහතා පවසා සිටියේ අපි අලුත් පත්තරයක් පටන් ගන්න යනවා හැබැයි මේක කලා පත්තරයක් අපි ඒකට සරසවිය කියල නමක් දාන්න තෝරාගෙන තියෙනවා. මට ටයිටල් එක ඇඳල දෙන්න කියාය. ඒ ඉල්ලීමට තලංගමයන් සරසවිය අකුරු පහ අතින් ඇඳ එකට එකතු කොට හෙඩ් පීස් එක එතුමන් අතට පත් කරනු ලැබිණි. කාලයාගේ ඇවෑමෙන් විටින් විට කීප අවස්ථාවකදී සරසවිය අකුරු හැඩය වෙනස් කළ ද එහි ආරම්භක අකුරු පෙළ නිර්මාණයේ නියමුවා තලංගමය. සරසවිය පුවත්පතට වසර පණහක් සපිරීමත් සමඟ එතෙක් හෙඩ් පීස් එකේ තිබු අකුරු හැඩය ඉවත්කොට නැවත ආරම්භක සරසවිය පුවත්පත සඳහා තලංගමයන් ගේ තෙලිතුඩින් ඇදී රටාවේ සරසවිය අකුරු පහ සහිත හෙඩ් පීසය සහිතව සරසවිය නිකුත් කෙරුණු අතර අදද සරසවිය පුවත්පත නිර්මාණයෙන් එළිදකින්නේද තලංගමයන් අතින් නිර්මාණය වූ අකුරු රටාවේ සරසවිය නාමයෙනි.
සරසවිය මුල් කලාපය පිටවිමෙන් පසු ලේක්හවුස් සභාපති රංජිත් විජයවර්ධනයන්ගේ කැඳවීමකට ගිය තලංගමයන්ට හෙඩ් පීස් එක ගැන ප්‍රසංශා කළ සභාපතිතුමන් ඒ වෙනුවෙන් තලංගමයන්ට රුපියල් පණහක චෙක් පතක් ද ප්රදානය කරනු ලැබීය.
මංගල මුල් පිටුව හැඩ කළ තෙලිතුඩ
ජී.ඇල්. ගෞතමදාස
කෘතහස්ත පුවත්පත් කර්තෘවරයකු වූ මීමන පේ‍්‍රමතිලක මහතාගේ මුලිකත්වයෙන් 1963- 04 – 10 වැනි දින මුද්‍රණද්වාරයෙන් දොරට වැඩි සරසවිය පුවත්පතේ පිටකවරය නිර්මාණය වුයේ ජි.ඇල්. ගෞතමදාසයන්ගේ අතින් ඇඳි උඩරට නැට්ටුවකුගේ චිත්‍රයකිනි. 1955 දී ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙසින් සේවයට එක් වූ ගෞතමදාසයන් චිත්‍ර ශිල්පියකු මුර්ති ශිල්පියකු ප්රතිරූප ශිල්පියකු පොත්පිට කවර ශිල්පියකු තොරන නිර්මාණ ශිල්පියකු පමණක් නොව ප්රචාරක පෝස්ටර් චිත්‍ර ඇඳීමට ද සුරයෙක් විය. 1908 මැයි 23 වැනිදා අම්බලන්ගොඩ වතුගෙදර ආඳාදොළ ගම්මානයේ උපත ලද ගෞතමදාසයන් ලංකාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පීන් වූ ඇම්. සාර්ලිස්. ජී.ඇස්. ප්‍රනාන්දු යටතේ චිත්‍ර කලාව හදාරනු ලැබීය. ගෞතමදාස බලපිටියේ රත්නගිරි වලව්වේ ජෝන් මැන්ඩිස් මහතාගෙන් මුර්ති කලාව ද ඉගෙන ගත්තේය.
ගෞතමදාසයන්ගේ විස්මිත ප්‍රතිමා කලාවේ සිහිවටන බොහොමයක් අද ද රට පුරා විසිරී පැතිරි ඇත. මුල්ම සරසවිය පුවත්පතේ පිටකවරය උඩරට නැට්ටුවෙකුගේ අපුරු චිත්රයකින් ඔපවත් කළ මේ විශිෂ්ට කලා කරුවා 1982 පෙබරවාරි 08 වැනිදා මෙලොවින් සමුගනු ලැබිය.
ආනන්දනීය රාත්‍රිය කරා ඇදුණු
තාරකා යානය
1964 ඇරැඹී පළමු සරසවිය සම්මාන උලෙළ සිනමා ලෝලී රසික රසිකාවන්ගේ මෙන්ම එහි නියැළී සිටි කලාශිල්පීන්ට කාර්මික ශිල්පීන්ට ආනන්දනීය රාත්‍රියක් විය. එදා මේ අසිරිමත් උලෙළට නළු නිළියන් රැගෙන ආවේ විශේෂයෙන් පිළියෙල කරනලද තාරකා යානයකිනි. ගොක්කොළවලින් මැවු විවිධ රටාවන්ගෙන් හැඩ වූ සමන් පිච්ච මලින් සරසන ලද අලංකාර තාරකා යානය නළු නිළියන් රැගෙන ලේක්හවුස් මන්දිරයේ ඉදිරිපිටින් ගමන් අරඹා අශෝකා සිනමාශාලාව කරා ඇදී ගියේ දහස් සංඛ්‍යාත සිනමාලෝලීන්ගේ රසික ප්‍රතිචාර මධ්‍යයේය.
තම සිත්ගත් සිනමා තාරකාවන් සියැසින් දැක ගන්නට දහස් සංඛ්‍යාත සිනමා ලෝලීන් රැස්කකා ලේක්හවුස් මන්දිරයේ පියගැට පෙළ මෙන්ම ජනෙල් කවුළු තුළ එල්ලී මාර්ගය දෙපස පොරකෑවේ මේ අසිරිමත් අවස්ථාව තම නෙත් දෙකෙන් බලා ගැනීමටය. මේ සඳහා පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව හැසිරවීමටත් තාරකා යානයේ ආරක්ෂාව සඳහාත් පොලිස් බලඇණි පවාගෙන එන්නට සිදුවිය. පොලිස් අශ්වාරෝහ බලඇණි ආරක්ෂාව මධ්‍යයේ සම්මාන උලෙළ පැවති කොළඹ ආශෝකා සිනමා ශාලාව වෙත තාරකා යානය පැමිණීමත් සමඟ මඟ දෙපස රැස් කකා සිටි සිනමා ලෝලීන් නළු නිළියන් පිළිගනු ලැබුවේ පි්රතිඝෝෂා ඔල්වරසන් ලබාදෙමිනි.
සංරක්ෂිත ඡායාරූප – ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලය
චන්දන දයාසිරිවර්ධන