අනුලා කරුණාතිලක හතළිස් පස්වසකට ආසන්න කලක් සිනමාවත් වේදිකාවත් එමෙන්ම රූපවාහිනියත් සිය ශෝභමාන වතින් හා රංගන හැකියා ඔස්සේ එකලු කළ ලාංකේය සිනමාවේ නොමැකෙන නාමයක් තැබූ රංගන ශිල්පිනියක වන්නීය.
සොඳුරු ගැමි යුවතියකගේ රංගන ප්‍රතිරූපය ඔස්සේ කලාත්මක සිනමාවත් ජනප්‍රිය සිනමාවත් ජයගත් ඈ සිනමාවට පිවිසෙන්නේ හැටේ දශකයේය. ඇගේ සිනමාගමනය සිදු වූයේ ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගම්පෙරළිය චිත්‍රපටය ඔස්සේ ය. “ලැයිසා” එහි ඈ නිරූපණය කළ චරිතය ය.
ඇය ස්වකීය රංගන ජීවිතයේ එක් වරක් වේදිකා නාට්‍යයක රඟපා ඇත. ඒ ධර්මසිරි වික්‍රමරත්නගේ ‘රන් තෝඩු’ වේදිකා නාට්‍යයේය. ඒ ප්‍රථම රංගනය වෙනුවෙන් ම රංගන ශිල්පිනියක ලෙස සම්මානයට පාත්‍ර වීම ද විශේෂ ය. ඒ අනුව 1963 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය සඳහා වන සම්මානය දිනා ගැනීම සුවිශේෂ ය.
ගම්පෙරළියෙන් පසු ඈ රංගනයෙන් දායක වූ චිත්‍රපටය වූයේ ටයිටස් තොටවත්තයන්ගේ ‘චණ්ඩියා’ චිත්‍රපටයේ ය. එහි ‘චුට්ටේ’ (ගාමිණී ෆොන්සේකා) ගේ පෙම්වතිය (සුමනා) වූයේ අනුලා කරුණාතිලක රංගන ශිල්පිනියය. එය පසු කාලයක ගාමිණී – අනුලා සිනමා යුගයක් බිහි කිරීමට මුල පිරූ චිත්‍රපටයක් විය. ‘පරසතු මල්’ ‘ මී මැස්සෝ’ ‘පාරා වළලු’ පසුව ගාමිණී අනුලා රංගන ශිල්පීන් ලෙස එක්ව රඟපෑ චිත්‍රපට කීපයකි.
අනුලා කරුණාතිලක චරිතාංග නිළියක ලෙස රංගන කුසලතා මැනැවින් ප්‍රකට කළ චිත්‍රපටයක් වූයේ ‘ පරසතු මල් ‘ චිත්‍රපටය ය. ඈ එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ පුණ්‍යා හීන්දෙණිය රංගන ශිල්පිනිය හා අභියෝගාත්මක රංගනයක නිරත වන බව විචාරක අදහසය.
පරසතු මල් චිත්‍රපටයේ රංගනය උදෙසා ඇය එවක එක්සත් ලංකා රසික සංගමය මඟින් පැවැත්වූ සම්මාන උලෙළේ හොඳම නිළිය සඳහා වන සම්මානයටද පාත්‍ර වූවාය .
අනුලා කරුණාතිලක රංගන ශිල්පිනිය සිය රංගන ජීවිතයේ කළ අති විශිෂ්ට ම රංගනය වූයේ ගොළු හදවතේ ‘දම්මි’ ගේ චරිතය ය. එය සිංහල සිනමාවේ නොමැකෙන චරිතාංග නිරූපණවලින් එකක් සේ සැලකේ.
ගොළු හදවතේ රඟපෑම වෙනුවෙන් ඇය 1969 පැවැත්වුණු සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස හිමි කර ගත් සම්මානය ප්රමුඛ ය. 1968 පැවැති සරසවිය සම්මාන උලෙළේදී රන්සළු චිත්‍රපටයේ රංගනය උදෙසා සරසවිය කුසලතා සම්මානයකින්ද ඇය ඇගැයුමට ලක්වූවාය.
ඒ සමඟ ම 1968, 1969 හා 1970 වර්ෂවල පැවැත්වුණු 5, 6, 7 වැනි සරසවිය සම්මාන උලෙළවලදී සරසවිය ජනපි‍්‍රය නිළිය සම්මානයට තෙවරක් පාත්‍ර වීම ද කැපී පෙනෙනසුලුය.
අනුලා කරුණාතිලක රංගන ශිල්පිනිය සිය රංගන ජීවිතයේ දිනාගත් සුවිශේෂී ම සම්මානයක් වූයේ 2005 වසරේ දී පැවැත්වූ තිස්වැනි සරසවිය සම්මාන උලෙළේ දී ප්රදානය කෙරුණු රණතිසර සම්මානයෙන් පිදුම් ලැබීමය.
රංගන ශිල්පිනියක ලෙස ඇය රඟ පෑ චිත්‍රපට ගණන සීමිතය. එනමුත් සිංහල සිනමාවේ කුසලතාපූර්ණ ජනපි‍්‍රය නිළියක වශයෙන් ඉහළින්ම සිටින රූපණවේදිනියක ලෙස ඈ හඳුනාගත හැකිය.
රූපණවේදිනියක ලෙස ඇගේ සුවිශේෂත්වය වූයේ සියුම් භාවයන් මනාව නිරූපණය කිරීමේ හැකියාව ය. පසුකාලීනව ඇය නව පරපුරේ ජනාදරය හා අවධානය දිනාගත්තේ ටෙලි නිළියක වශයෙනි. විශේෂයෙන් ‘අඹ යාළුවෝ’ ‘ඕලු’ වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ය.
ගම්පෙරළිය (1963), චණ්ඩියා, සොඳුරු යුවළ (1965), සීතල වතුර, පරසතු මල් (1966), දරු දුක, රන් සළු, සැඩොල් කඳුළු, වසන්ති (1967), පුංචි බබා, ගොළු හදවත (1968), ඔබ නැතිනම්, නාරිලතා, මී මැස්සෝ, පාරා වළලු, මොකද වුණේ, බක්මහ දීගේ (1969), පේනව නේද (1970), ඉහත ආත්මය (1972), නෑදෑයෝ (1976), යකඩයා (1977), දෙමෝදර පාලම (1995), රන් දිය දහර (2004) ආදි චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක වූවාය.
සේයාරුව දයාන් විතාරණ
සමුද්‍රිකා වර්ණකුල