Home » අලුත් පරම්පරාවට මේ නාට්‍ය මාලාව ගෙන යා යුතුයි

අලුත් පරම්පරාවට මේ නාට්‍ය මාලාව ගෙන යා යුතුයි

by mavan
June 11, 2026 11:07 am 0 comment

එළැඹෙන පොසොන් පෝදා සිට ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වීමට නියමිත ‘අචින්ත්‍ය’ ඒකාංගික පෝය නාට්‍ය මාලාව රූපවාහිනී ඒකාංගික නාට්‍ය කලාවේ සුවිශේෂ මං සලකුණක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙස හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික ඒකාංගික නාට්‍ය කලාවෙන් ඔබ්බට ගොස් පෝදා නාට්‍ය නව මාවතකට හරවන නිර්මාණ කාර්යයක ආරම්භයක් ලෙස මෙම නාට්‍ය මාලාව පිළිබඳ විමසීමේදී පෙනී යයි.

මෙම නාට්‍ය මාලාව යථාර්ථයක් බවට පත් කරලීමට පූර්ණ දායකත්වය දෙමින් සක්‍රිය ව කටයුතු කරන විශේෂ කණ්ඩායමක් ද මේ පසුපස වේ.

මේ පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් මේ නාට්‍ය මාලාවේ විධායක නිෂ්පාදක තමිර මධුරංග ඒ පිළිබඳ සිය අදහස පළ කළේ මෙසේය.

ලංකාවේ පෝය නාට්‍ය කියන දේ වෙනමම සංකල්පයක් විදියට හැදිල තියෙන දෙයක්. ඒ සංකල්පය අලුත් විදියකට දකින්න ඕන කියන අදහසිනුයි මේ නාට්‍ය මාලාව ආරම්භ කරන්න හිතුවෙ. ඒ අදහසත් එක්ක තමයි අපි පරාක්‍රම ඒකනායක කියන නිර්මාණවේදියාව තෝර ගන්නෙ ඔහුගේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය යටතේ මේ නාට්‍ය මාලාව ආරම්භ කරන්න . ඒ වගේම මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මහත්මයගෙ නිෂ්පාදන දායකත්වය යටතෙ.ඒ ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ කටයුත්ත එක පෝය නාට්‍යයකින් හෝ දෙකකින් ඉවර කරන්න නොවෙයි.යම් කාලයක් පුරා ස්වාධීන රූපවාහිනී නාලිකාවත් එක්ක සම්බන්ධ වී මේ සංකල්පය ඉදිරියට ගෙන යමින් නාට්‍ය මාලාවක් විදියට ඉදිරියට අරන් යන්න. එතනදි එක වයස් කණ්ඩායමක ප්‍රේක්ෂක පිරිසක් හෝ එහෙම නැතිනම් එකම ආකාරයක කතා තේමාවන් ඉලක්ක කරගෙන කරගෙන මේ නාට්‍ය මාලාව කරන්නෙ නැහැ.ඒ කියන්නෙ මේ නාට්‍ය මාලාව ඇතුළෙ විවිධ කාලීන වගෙම සමාජීය සංස්කෘතික කාරණා ගැන අවධානය යොමු කෙරෙන කතාංග නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ නාට්‍ය මාලාව නම් කරල තියෙන්නෙ ‘ අචින්ත්‍ය’ නමින්. ඒ නම යෝජනා කළෙත් පරාක්‍රම ඒකනායක මහත්මයමයි. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනව ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ ජුනි මස පෝය දිනය මූලීක කරගනිමින් ආරම්භ කොට මේ ආකාර වැඩසටහන් දොළහක් පමණ කරන්න. ඒ අදහස ඇතුළෙ සාම්ප්‍රදායික පෝය නාට්‍යයකට එහා ගිය වෙනස් නිර්මාණ ටිකක් ගුණාත්මකබවින් යුතුව ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තමයි අරමුණු කරන්නෙ. විශේෂයෙන්ම පෝය නාට්‍ය කියන දේ අලුත් පරම්පරාව නරඹන තැනට ගේන එකයි අපෙ අරමුණ වෙන්නෙ. ඒ වගේම ඉදිරියේදි අපි නවක නිර්මාණකරුවන් සමඟත් ඒ කියන්නෙ, නවක පිටපත් රචකයන් , නවක අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගනිමින් මේ නිර්මාණ මාලාව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

‘ අචින්ත්‍ය’ ටෙලි නාට්‍ය මාලාවේ පිටපත් රචක සහ අධ්‍යක්ෂවරයා වන පරාක්‍රම ඒකනායක ඒ පිළිබඳ සිය අදහස් දැක්වූයේ මෙසේය.

‘ අචින්ත්‍ය’ ඒකාංගීක පෝය ටෙලි නාට්‍ය මාලාවෙන් උත්සහ ගන්නෙ බෞද්ධ දර්ශනයේ අඩංගු සමාජ කාරණාවන් නුතන සමාජ සංස්ථාව තුළ අපට කියවා ගන්න පුළුවන් කොහොමද කියන කාරණය ප්‍රේක්ෂකයා ට හිතන්නට පෙලඹවීම.

එහෙම නැතිනම් මෙහි පුර්ණ අර්ථය තමයි තර්කයෙන් ඔබ්බට බුද්ධියට කියන කාරණය මතු කිරීම. ඒ අදහස ඔස්සේ නිර්මාණ කාර්යය ඇතුළේ ප්‍රේක්ෂකයාව අවදි කරමින් නව මානයක් විවර කිරීමට ගන්නා උත්සාහයක් තමයි මේ.

රංගන දායකත්වය
සුබුද්ධි ලක්මාලි
ජනක් ප්‍රේමලාල්
අනුරාධා උදයංගි
කුෂාන් රත්නායක
කලිඳු එම්. කැප්පිටිවලාන
ඕෂධී සේනානායක
නිලංක නවෝද් සිරිවර්ධන
සෙලිනි රත්නායක
රෝෂණ බාලසූරිය
ජයනි විමලසූරිය

අධ්‍යක්ෂණය පරාක්‍රම ඒකනායක
නිෂ්පාදනය ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ
විධායක නිෂ්පාදනය ජයන්ත විජේරත්න,තමිර මධුරංග

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT