මෙරට අධ්‍යාපන ප්‍රකාශන ක්ෂේත්රයේ දීර්ඝ කාලීනව ඉහළම ජන ප්‍රසාදයක් දිනා ගනිමින් පාසල් අධ්‍යාපන ක්ෂේත්රයේ බැබළුණු නාමයක් ලෙසින් ඉමාෂි ප්‍රකාශන හෙවත් චූටි බබා සන්නාමය හැඳීන්විය හැකිය. පෙර පාසල් අවධියේ සිට උසස් පෙළ දක්වා විෂය නිර්දේශයට අනුකූලව විවිධ ගණයේ ප්‍රකාශන ඔවුන් ප්‍රකාශයට පත් කළ අතර ඒ වෙනුවෙන් දීප ව්‍යාප්ත බෙදාහැරීම් ජාලයක් ද ඔවුන් සතු විය. මේ කියන්නට යන්නේ ඔවුන් මෙරට කලා ක්ෂේත්රය සාහිත්‍ය ක්ෂේත්රය වෙනුවෙන් සාහිත්‍යයේ පුනරුදය වෙනුවෙන් ආරම්භ කරන්නට යෙදුණු නව ව්‍යාපෘතියක් පිළිබඳවය. ඒ ඉමාෂි ප්‍රකාශන ආයතනය කලාව සහ සාහිත්‍යය අරභයා ග්රන්ථකරණයට පිවිසීමේ නව පණිවුඩයයි. මෙහි ආරම්භය සිදු වූයේ පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදුටු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ග්රන්ථ දිවිත්වයක් අති උත්කර්ෂවත් අන්දමින් දොරට වැඩීමෙනි. ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පමණක් නොව මෙරට ජනප්‍රිය නවක ලේඛක ලේඛිකාවන් රාශියකගේ ග්රන්ථ මෙය හරහා එළිදක්වා ඇති අතර ඒ පිළිබඳ වන කතාබහට පසුගියදා අප කැඳවා ගත්තේ ඉමාෂි ප්‍රකාශන අධිපති විමල් දිසානායකයන්ය.
ඉමාෂි ප්‍රකාශන ආයතනය කලාවට සාහිත්‍යයට නැඹුරු වෙන්න හේතුව කුමක්ද?
අපි ඉමාෂි ආයතනය පටන් අරන් අවුරුදු තිහක් වෙනවා. ඒ ගෙවුණු අවුරුදු ගණනාව පුරා අපි අධ්‍යාපන ප්‍රකාශන රාශියක් කළා. අපි ප්‍රමුඛස්ථානය දුන්නේ අධ්‍යාපන ප්‍රකාශන වලට. ඒ ගණයේ පොත් දෙතුන් සීයකට වැඩි ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඇත්තටම මේ කාලෙදි කලාව සහ සාහිත්‍යය පැත්තට නැඹුරු වෙන්න මූලිකම කාරණය වුණේ අපි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විදිහට අධ්‍යාපනික ප්‍රකාශන විතරක්ම කරලා මේ තුළ රැඳී සිටින එක සදාචාරාත්මක නෑ කියලා හිතුන නිසයි. ඒ නිසා අපි තීරණය කළා කලාවට සාහිත්‍යයට අති දක්ෂ කලාකරුවන්ට සාහිත්‍යකරුවන්ට ලේඛක ලේඛිකාවන්ට තැනක් දෙන්න ග්රන්ථකරණයට යොමු වෙන්න.
ඔබ ඒක පටන් ගන්නෙම මේ රටේ ග්‍රන්ථකරණයේ නිරන්තරයෙන්ම නියැලිලා ඉන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්රමුඛ ලේඛක මඩුල්ලකින්?
ඇත්තටම මේ වැඩේට මූලිකවම සුනිල් ආරියරත්නයන් මුණගැහිලා අපේ පොඩි කතිකාවක් ඇතිවුණා.. මේ වැඩේට මාව යොමු කළේ බුද්ධදාස ගලප්පත්ති මහත්මයා තමයි. එතුමා සමඟ අපිව සම්බන්ධීකරණය කළේ.. මහාචාර්යතුමා කැමති වුණා අපිත් එක්ක මේ ගමන යන්න. ඒ නිසා එතුමාගේ නවතම ග්රන්ථ ද්විත්වය වුණු ගේය කාව්‍ය කතෘවරු කියන ග්රන්ථ දිවිත්වය අපි ඉමාෂි ප්රකාශනයන් හැටියට මුද්‍රණය කළා. ඒ විතරක් නොවෙයි ප්‍රණීත් අභයසුන්දරයන්ගේ විචිත්‍ර උඩරට සංගීතය බුද්ධදාස ගලප්පත්තිගේ එදවස සොඳුරුමය, ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ අග්‍රගණ්‍ය ආනන්දය, ප්‍රත්‍යවලෝකන, සරත් ජයසිංහගේ ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන් ආචාර්ය කේ තිලකරත්නයන්ගේ ලංකා සිවිල් සේවය සහ පළාත් සභා, උපාලි වනිගසූරියගේ ඉතින් මට අවසරයි, කවින්ධ්‍යා ජයසේකරගේ “අනියම් බිරිඳ”, සංජීවනි අටුලුගමගේ “විරාග රාගය”, අරුන්දි ජයසේකරගේ “පසුවට තොට සහ තවත් චීන කතන්දර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රේණුකා තෙන්නකෝන්ගේ මොනර පෙතන් චතුපමා අබේවික්රමගේ විසේකාරියන්ගේ සංගමය, යූ පෙරේරාගේ මන්දස්මිත ඇතුළු පොත් රාශියක් මුද්‍රණය වුණා.
මෙකී ග්රන්ථකරණය තුළ කිසියම් විෂය පථයක් ඔබ තෝරාගෙන තිබෙනවාද?
අපේ ප්‍රකාශන අතරේ විවිධ විෂයයන් හා බැඳුණු ග්රන්ථ රැසක් තිබෙනවා. එය එක් පැත්තකට, එක් විෂයකට සීමා වූවක් නොවෙයි. සංගීතය කලාව සාහිත්‍ය නවකතා ළමා සාහිත්‍යකෘති පරිවර්තන ඇතුළු මෙකී නොකී දේ මේ තුළ තිබෙනවා. ප්‍රකාශන ආයතනයක් විදිහට අපට සීමා මායිම් දාගෙන කටයුතු කරන්න අමාරුයි. මම හිතනවා මේකට සකල කලාවම අයත් විය යුතුයි කියලා.
පසුගිය කාලය ඇතුළත කඩදාසි සහ මුද්‍රණ වියදම් ඉහළ යෑම නිසා පොත් වල මිල ගණන් ඉහළ ගියා මේක ඔබට අභියෝගයක් වුනේ නැද්ද?
මූලිකම කාරණාව තමයි මුල් යුගයේ මේ පොත්වලට වැට්බද්දක් ගැහුවේ නෑ නේ. ඇත්තටම පොත් අලෙවිය ලොකු ප්‍රශ්නයක් වුණේ මේ වැට් බද්ද ආවට පස්සේ. ලෝකයේ සාමාන්‍යයෙන් පොත් වලට වැට් එකක් නෑ. ඉතින් මේ වැට් එකත් එක්ක පොඩි ප්‍රකාශකයින්ට ලොකු අර්බුදවලට මුහුණ දෙන්න වුණා. පාඨකයින්ටත් ඒක දැඩි විදිහට බලපාන්න පටන් ගත්තා. පොත් අලෙවිය සහ ප්රකාශනය පැත්තෙන් මේ වැට් එක නිසා අර්බුදයක් තිබෙනවා.
ඔබ මේ ආයතනය පටන් අරගෙන වසර තිහක් අපි අතීතයට ගියොත් ඔබේ මතකය අරන්?
අපි මුලින්ම මේ ආයතනය පටන් ගන්නේ “හීසර” කියලා චිත්‍රකතා පත්තරයක් මුද්‍රණය කරලා. ඒ 1996 දී. අජිත් නිලංග තමයි එහි කර්තෘත්වය දැරුවේ. ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් කාටුන් ශිල්පීන් එදා අපිත් සමඟ වැඩ කළා ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් මේ පැත්තෙන් ඉදිරියට ආවා.
අධ්‍යාපන ප්රකාශනවලට ඔබ යොමු වුණේ කොහොමද?
හීසර චිත්‍රකතා පුවත්පත පටන් ගත්තට පස්සේ මේ සංකල්පය මතුවෙලා ආවා. ඊට පස්සේ අපි පෙර පාසල් දරුවන් සඳහා පොඩිත්තා කියලා පුවත්පතක් පටන් ගත්තා. ඊට පස්සේ අජිත් නිලංග තමයි චූටි බබා පටන්ගත්තේ. ඒ යුගයේ සිට අද වන විට චූටි බබා ඒ දක්වා සියලු ශ්‍රේණි වලට අධ්‍යාපන ප්‍රකාශන අපි නිකුත් කරනවා. 1 සිට 5 දක්වා දෙමළ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනවා. කොහොම හරි මාසෙකට අධ්‍යාපන ප්‍රකාශන හතළිහකට ආසන්න ප්‍රමාණයක් අපි නිකුත් කරනවා.
දැන් මේ ප්‍රකාශන ද්විත්වය කරගෙන යන්නේ කොහොමද?
මේ දෙක වෙන් වෙන් වශයෙන් අපි කරගෙන ගියාට එකම ආයතනයක් ඇතුළේ තමයි සියලු ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. මේ දෙකම සමබරව අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මට සාම්ප්‍රදායිකව ලේඛනයේ යෙදෙන එහෙමත් නැත්නම් වෙනත් ප්‍රකාශන ආයතන සමඟ එක්ක ඉන්න ලේඛකයෝ අරගෙන මේ දේ කරගෙන යන්න මට අවශ්‍යතාවයක් නෑ. ඇත්තටම මට පැහැදිලි අරමුණක් තිබෙනවා මේ වැඩේට යොමු වෙන්න. වර්තමානයේ කියවීමෙන් ඈත් වෙලා ඉන්න තරුණ පිරිසක් අපි අතරේ ඉන්නවා. මම අධ්‍යාපන ප්‍රකාශන පැත්ත චූටි බබා නිර්මාණය කිරීමෙන් අලුත් කළා වගේම ඒ හරහා අලුත් දෙයක් හඳුන්වලා දුන්නා වගේම මේ අලුත් ලේඛක ලේඛිකාවන් පිරිසත් හඳුන්වලා දීලා අලුත් පිරිසක් කියැවීමට හඳුන්වා දීමේ අරමුණ තමයි මට තිබෙන්නේ. කොහොම හරි ඒක මම කරනවා. මේ රටේ ඕන තරම් තරුණ පිරිස් ඉන්නවා තරුණ අයට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. තව විශාල පිරිසක් ඉන්නවා තමාට හැකියාව තිබුණට ඉදිරිපත් කරගත නොහැකිව. ඒ අයට තමයි මම මූලික තැන දෙන්නේ. ඒ හරහා මම අද කියවීමෙන් ඈත් වෙලා ඉන්න මේ තරුණ පිරිස් නැවත පොත පතට සමීප කරවීම කොහොමහරි කරනවා.
අපේ අලුත් පරම්පරාව පොත්වලින් දුරස් වෙලා හුඟාක් කල්. ඔවුන් හැසිරෙන්නේ ඩිජිටල් ලෝකය එක්ක නේද?
ඇත්ත. ඔවුන් ළං කරගෙන ඉන්නේ ඩිජිටල් ලෝකයක් තමයි. නමුත් ඔවුන්ට ආයෙත් පොත ළං කරන්න අපි උත්සාහ කරන්න ඕන. පොතක් කියවනවා කියන එක වෙනම සංස්කෘතියක් ඒ පොතේ පිටු පෙරලන ශබ්ද ඇහෙන්න ඕන. පොත පෙරළන කොට එන අමුතු සුවඳ විදින්න ඕන. පොතක ආශ්වාදය ලබන්න ඕන එහෙම. ඒක ඇතුලේ තිබෙන අකුරු එක්ක ගනුදෙනු කරන්න කලින් සුවඳ එක්ක ගනුදෙනුවක් ඇති කරගන්න ඕන. ඒක නිසා ආපසු මම මේ තරුණ පිරිස මේ සංස්කෘතියට කොහොමහරි ඇතුළු කරනවා කියන බලාපොරොත්තුව මට තිබෙනවා.
ඔබේ පුංචි කාලේ පොත පතට තිබුණ බැඳීම කොයිවගේද?
මගේ මුල්ම රැකියාව විදිහට මම කළේ මුද්‍රණ ආයතන හා වැඩ කිරීම. ඒ නිසා මගේ ගනුදෙනුව කොළයි තීන්තයි එක්ක ඇතිවෙලා බොහෝ කල්. ඉස්කෝලේ සහ කාලේ උණත් පොත්පත් කෙරෙහි අසීමිත බැඳීමක් මට තිබුණා. විශාල වශයෙන් කියවීමට යොමු වෙලා හිටියා අද වුණත් එහෙමයි. උදේට මගේ දවස ආරම්භ වෙන්නේ පත්තර ටික කියෙව්වට පස්සේ ඒකට මම හරිම කැමතියි.
කොහොම වුණත් මේ රටට කියවීම හුරු කරන්න පොත් ප්රකාශකයින්ගේ සංගමය කරන මෙහෙය අති විශාලයි. සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ හොඳ දෙයක් නිර්මාණය කරලා පාඨකයින්ට ලබා දෙන්න මෙපමණ කලක් හරි කියවීම අලුත් වෙවී මේ විදිහට පැවතගෙන ආවේ ඒ ප්‍රකාශන ආයතන ටික නිසා. වර්ෂයකට අඩුම වශයෙන් ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් ඕර්ධ්ඛ්ඩ් පොත් ප්‍රදර්ශනයට පැමිණෙනවා. තව වර්ෂයකට අලුතින් කොපමණ එකතු වෙනවාද කියන්න අපි දන්නේ නෑ.
මම සාහිත්‍යකරණයට ඇතුළත් වෙන්නේ ඇත්තටම මුදල්මය පරමාර්ථයක් ඇතිව නොවෙයි. චූටි බබා පුවත්පතක් සමග අපේ තව මුද්‍රණ ආයතන ඇතුළු වෙනත් ව්‍යාපාරික කටයුතු තිබෙනවා. මෙතැනදී මගේ මූලිකම පරමාර්ථය වුණේ අලුත් පිරිසක් හදා ගැනීම පමණයි. තවත් ප්‍රකාශන ආයතනයක් කරන දේම කරන්න මට අවශ්‍ය නෑ. මට ආසයි අලුත් දෙයක් කරන්න. අලුත් පිරිසක් හදන්න ඒක තමයි ප්‍රධානම අරමුණ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න