ලෝ පුරාම හිම කිරම හඳුනා ගැනෙන්නේ රසවත් අතිරේක අහරක් ලෙසිනි. පොඩිත්තෝ සේම ඉහ නිකට පැහුණු වැඩිහිටියන්ද හිමකිරම රස විඳුමට මැළි නොවන වග නොරහසකි. එහෙත් පරිස්සම් විය යුතුය.පමා වුවහොත් හිම කිරම දියවී යන්නට ඉඩ තිබේ. එහි රසය විඳ ගැනීම පමා නොකළ යුත්තේ එහෙයිනි. මධුමේහය වැලදුණු අයකුට නම් හිම කිරම මරණය කැඳවන මඟක් වන්නට පුළුවන.
ප්‍රදීප් ධර්මදාස සිය පළමු සිනමා නිමැවුම – ‘අයිස් ක්‍රීම්’ පුළුල් තිරය මත පතිත කරන්නේ හිම කිරම පිළිබඳ යට කී කියැවීම නොවලහා සිහිගන්වමිනි. ඉන් අදහස් කෙරෙන්නේ සිනමාපටය හිම කිරමක් සේ සැනෙකින් දියවී යන්නක් වන බව නොවේ. ප්‍රදීප්ගේ අරමුණ වනුයේද සිය පරපුරේ දැක්ම සේ ගැනෙන ගැඹුරු හා සංකීර්ණ රූපාවලියකින් සමන්විත කලාත්මක හෝ කලාත්මක ආලේප තැවරූ සිනමාපටයක් නිර්මාණය නොකිරීමය. සැබැවින්ම නවමු ආස්වාදයකින් රසිකයා සන්තර්පණය කිරීමයි ඔහුගේ ඒකායන අරමුණ සේ දිස් වනුයේ.
සිනමාපටය හිම කිරමක් සේ රස ගන්වනු පිණිස සිනමාකරු ප්‍රදීප් විසින් එක් කරනු ලබන අංගෝපාංග ආදිය පැමිණෙන්නේ තිරනාටකය ඔස්සේ යැයි උපකල්පනය කිරීම සහේතුකය. තිරනාටක රචක කලණ ගුණසේකරගේ අරමුණ වී ඇත්තේද රසිකයාට නවමු ආස්වාදයක්ම ගෙන දීමයි. අතුරු චරිත බහුල දුර දිග ඇදෙන කතා පුවතක් සරණ කොට ගැනීමේ පිළිවෙත කලන පළමු වටයේදීම අත හරියි. එසේම ප්‍රබලාකාරයෙන් ගොඩනැංවීමට උත්සුක වන සිදුවීම් කිහිපය දින දෙක තුනකින් නිමා කරලීමේ තීන්දුවකටද ඔහු එළැඹ ඇති සැටියකි. සිනමාකරු ප්‍රදීප්ගේ කාර්යය වී ඇත්තේ කලන විසින් රචනා කරනු ලැබ ඇති තිරනාටකය අබිබවා යාමට වඩා එතුළ හිඳීමින් සිය සමත්කම් සනිටුහන් කරන්නටයි. සිනමාව යනු නවමු ආස්වාදයක් කවර සමයකදී වුව රැගෙන එන මාධ්‍යයක්ය යන අදහස සුරැකීමට කලණ සේම සිනමාකරු ප්‍රදීප්ද පසුබට නොවෙයි.
සිනමාවෙන් ජීවිතය හා සමාජය යථාරූපීව පිළිබිඹු විය යුතු යැයි අදහන රසිකයකු නම් අග නගරයේ පීඩිත හා දිළිඳු ජන දිවිය පිළිබඳ කියැවීමක් ‘අයිස් ක්‍රීම්’ වෙතින් සොයා බලන්නට පෙලඹෙනු ඇත. සිනමාකරු ප්‍රදීප් ඊට උඩ ගෙඩි දෙන වගද පෙනේ. දුදූ නමැති හරි හමං රැකියාවක් නොමැතිව දවසරින තරුණයාගේ සැබෑ දිවිය මෙහිලා උපයෝගී කොට ගැනේ. ඔහු වෙසෙන්නේ ලෑලි ආදියෙන් වට කළ අවම පහසුකම් පවා නොමැති තැනකය. තුරුණු බව ඉහළින් විඳුමට අවැසි කිසිදු සම්පතක් ඔහුට නැත. ගත දැවටී ඇත්තේ එකම ඇඳුමකි. පෙම්බරියකද නොමැති හැඩය. මේ අතරට කැඳවන හිම කිරම වෙළෙන්දා වටා ඇත්තේද නාගරික පිඩිත දිවියේ ලකුණු රැසකි. මිය ගිය වියපත් තැනැත්තකුගේ දේහය ගෙතුළ තබන්නට ඉඩක් නැත. සමස්ත අවමඟුලම දිළිඳු බව හඟවන්නකි.
ප්‍රදීප් වැඩිපුරම අමතන්නේ තුරුණු රසික ප්‍රජාවය. මේ සඳහා දුදූ නමැති තරුණයා සේ එන හේමාල් රණසිංහ සහභාගී කර ගැනීම නුසුදුසු නොවේ. ඔහුගේ පැමිණීම පෙන්වන නිදහස් විලාසය හා සිනමාපටයේ නවමු ලකුණු අතර සබඳතා බොහෝය. දුදූට සමගාමීව නිරූපිත හිම කිරම වෙළෙන්දාගේ චරිතය විෂයෙහි යම් අපූර්වත්වයක් සනිටුහන් කරන්නට සරත් කොතලාවල සමත් වන්නේ හේමාල් සතු කඩවසම් හා තුරුණු පෙනුම මුළුමනින්ම බැහැර කරමිනි. කිසිදු චරිතයකට ගැඹුරු ඇතුළාන්තයක් ගෙන නොදෙන තිරනාටක කලණගේ හා සිනමාකරු ප්‍රදීප්ගේ අරමුණ නිසි ලෙස කළමනාකරණයට සරත් සමත් වෙයි. ඔහු හිම කිරම වෙළෙන්දාගේ දුක්බර දිවිය ගෙන හැර පෑමේ අදියරකට පැමිණියේ නම් සිනමාපටයේ හැඩය නියත වශයෙන්ම වෙනස් වන්නට ඉඩ තිබිණි.
සිනමාවෙන් රසාලිප්ත අත්දැකීම් නොසොයන රසිකයකුට ‘අයිස් ක්‍රීම්’ හි එන සිදුවීම් සිදු නොවිය හැකි දෑ සේ පෙනී යාමටද පුළුවන. එසැණින්ම ඔවුනට පසක් විය හැක්කේ මේ සිදුවිය හැකි දේය යන්නය. ඊට මහෝපකාරී වන්නේ ආයාසයයකින් තොරව ගොඩ නංවන හාස්‍යයයි. විටෙක දුදූ රජිනි කාන්ත් හා බෲස් ලී මෙන් සැරසී සතුරු බලමුළු පරදවයි. අසල්වැසියකු සමඟ ඔහු දොඩන්නේ ධර්මසේන පතිරාජගේ ‘පාරදිගේ’ හා ‘අහස් ගව්ව’ සිනමාපට සිහි ගන්වන කාරණාය. මේ නාගරික පීඩිත තුරුණු බව නිරූපිත අගනා සිනමාපට වන්නේය යන්න අමතක කළ යුතු නොවේ. හිම කිරම වෙළෙන්දා පුද්ගල මරණයකට නිකරුණේ සැක කිරීම පවා සනිටුහන් කෙරෙන්නේ හාස්‍ය ඇසකිනි. සිනමාකරු කාටුන් සහයද ලබා ගන්නේ හාස්‍ය රසය වඩවාලීමේ ඕනෑකම නිසාමය. ඉන් සිනමාපටයේ නවමු බව වෙත අමතර අගයක් ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සිනමාකරු ප්‍රදීප් දක්වන්නේ සැලකිය යුතු අවධානයකි.
වෙරෝනිකා රොබට්ස් යන ප්‍රකට හා සුරුපී සිනමා නිළිය සේ අයිෂාරා අතුකෝරළ එක් කර ගැනීමද සිනමාපටයේ නවමු බව සහතික කරලන්නකි. ඇය වෙතින් ඉහළ පෙළේ රූපණයක් අපේක්ෂා කිරීම සහේතුක නොවේ. එනමුදු ඇගේ රුව සතු ආගන්තුක ලකුණු සිනමාපටයේ සමස්තය හා ගළපාලීමේ ඇති වැදගත්කම සිනමාකරු ප්‍රදීප් මනාව වටහා ගෙන ඇතැයි සිතේ.
හෝරා එක හමාරක් තිස්සේ කෙසේ හෝ රසිකයා සිනමාශාලාවේ රඳවා ගැනීමට සිනමාකරු ප්‍රදීප් දරන ප්‍රයත්නය සමග කැමරා ශිල්පී චින්තක සෝමකීර්ති එක් වන්නේ අසීරුතා හා විසඳුම් සම සමව රැගෙනය. දුදූ දිවයන දසුන් සඳහා සැලකිය යුතු කාලයක් වෙන් කෙරේ. හිම කිරම වෙළෙන්දා පාපැදියෙන් පලා යන දසුන්ද එබඳුමය. සිනමා නිළි වෙරෝනිකාද පලා යන අවස්ථාවකි. චින්තක සිය කැමරාව වේගයෙන් චලනය කරයි. රසික ඇසට ඉන් ඇතිවන වෙහෙස අවප්‍රමාණ නොකළ යුතුය. එහෙත් අන් අවස්ථාවලදී ඔහු කැමරාව වේගයෙන් චලනය නොකර රසික ඇසට සහනයක් ලබා දෙයි. සංගීතය වරෙක සවන් නොසනහන අයුරින් පැමිණේ. සංස්කරණයට මේවාද හසු විය යුතුව තිබිණි.
‘අයිස් ක්‍රීම්’ බඳු සිනමාපට මෙසමයටද වැදගත් වනුයේ සිනමාවේ යහ පැවැත්ම උදෙසා විවිධත්වය යන්න සහතික කර ගැනීමට අදාළවය. තැනෙක සම්භාව්‍ය ගණයේ විවාදාත්මක සිනමාපටය. තවත් තැනෙක යොවුන් පෙම ආහ්ලාදයෙන් දැක්වෙන රසාලිප්ත සිනමාපටය. එසේම දුරාතීතය නිරූපිත සිනමාපටය. ළමුනගේ සපැමිණීම අපේක්ෂිත සිනමාපටය. නව වර්ගීකරණයක වුවමනාව ගම්‍ය කරවන ‘අයිස් ක්‍රීම්’ ද මෙතැනට කැඳවීම අනුචිත නොවේ.
තුසිත ජයසුන්දර