– ඕනෑම පුද්ගලයකු ජීවත් කරවන්නේ ඔහු දකින සිහිනයි
– මම අත ගැහුවේ දැලි පිහියෙන් කිරි කෑවා වගේ වැඩකට
– සිහින සමීකරණ මගේ වසර පහළොවක අත්දැකීමක්
– මගේ කුලුඳුල් අධ්‍යක්ෂණය සිහින සමීකරණ චිත්‍රපටය
– නිර්මාණ එකද දෙකද නෙවෙයි වැදගත් හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමයි මගේ ලොකුම බලාපොරොත්තුව
– ටෙලිනාට්‍ය කලාවෙන් මම කිසිදාක අයින් වෙන්නේ නැහැ
– නිර්මාණාත්මක පැත්තෙන් හොඳ සාධනීය ප්‍රගමනයක් තියෙනවා
– අපි අධ්‍යක්ෂකවරු වුණාට වැඩක් නෑ, සිනමාත්මක ගතියක් සිනමාපටියකින් දෙන්න බැරි නම්
ඕනෑම ක්ෂේත්‍රයකට පුද්ගලයකුට පිවිසෙන්නට ප්‍රථම ඔහු හෝ ඇය දහස් වාරයක් සිහින දකී. සිහින දැකපු මිනිසුන්ගේ කතා හරිම සුන්දරයි. ඔහු පාසල් සමයේ සිට කලාවට දැඩි ලෙස ඇලුම් කළේය.පාසලේ කලා කටයුතුවලට ඔහුගේ නම නොකියවෙන තැනක් එදා තිබුණේ නැත. පාසලෙන් සමුගත් පසු ඔහුගේ ගමන් මාර්ග තීරණය කරගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට වෘත්තීමය වශයෙන් අවශ්‍ය අධ්‍යාපනය ගමන් මග සකසා ගත්තේය.අධ්‍යක්ෂවරයකුගේ සිහිනය පසුපස හඹා යන ඔහු 2007 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාවේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවද,ජබම මාධ්‍ය ආයතනයේ මාධ්‍ය ඩිප්ලෝමාවද? අවසන් කරන ලදී.ඉන් පසු වසර 15ක් පුරාවට දෙවන සහය අධ්‍යක්ෂකවරයකු සහ සහය අධ්‍යක්ෂවරයකු ලෙස විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරගෙන යන්නට විය. මේ වන විට ටෙලි නාට්‍ය පනහකට අධික සංඛ්‍යාවකට ඔහු සහාය අධ්‍යක්ෂ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇත. නොයෙක් හැල හැප්පීම් තුළ ක්ෂේත්‍රයේ ඔහු සැම විටම සිතුවේ සමාජයට මෙහෙවරක් කිරීම පමණයි.එයට පිළිතුරක් ලෙස ඔහු ප්‍රේක්ෂකයාට හොඳ නිර්මාණ රැසක් රසවිඳීන්නට ඉඩකඩ සලසා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස සිනමා අධ්‍යක්ෂකවරයකු වු ඔහුගේ පළමු සිනමාත්මක නිර්මාණය පසුගිය දින ජනතාවට රසවිඳීමට අවස්ථාවය එළැඹිණි. ටෙලි නාට්‍ය වෙන මම දිසානු ගතියක අධ්‍යක්ෂණයේනයේ යෙදුණු ඔහු නමින් සසික හේරත්ය. මේ ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන සිහින සමීකරණ හා නිර්මාණ දිවිය ගැන සරසවිය සමඟ කළ කතාබහයි,
ජීවිතයේ බලාපොරොත්තු නේද ජීවත් කරවන්නේ
සැබැවින්ම ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය ජීවත් කරවන්නේ ඔහු තුළ සිටින මනුෂ්‍යයා සහ ඔහු දකින සිහිනයි. මගේ ලොකුම සිහිනය වූයේ සිනමා අධ්‍යක්ෂකවරයකු වීමයි.එහි ප්‍රතිඵලයක් ලෙස”සිහින සමීකරණ” සිනමා පටය පසුගිය හත්වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ඇරඹුණා. මම ආපු මාවතේ මගේ බලාපොරොත්තුව වුණේ කවදා හරි එතනට ඒමයි.
වසර 15 ක කාලයක් ක්ෂේත්‍රයේ සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස ආපු ගමනේදී සිහින සමීකරණ මගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි.
ජාතික තරුණ සේවා සභාව සමඟ තියෙන බැඳීම් මොකක්ද?
පාසල් අධ්‍යාපනය නිමා වීමත් සමඟ 2007 ජාතික තරුණු සේවා සභාවෙන් මම ජනමාධ්‍ය ඩිප්ලෝමාව හදාරනවා. ඉන් අනතුරුව සි.ටී.වී මාධ්‍ය ආයතනයේ මාධ්‍ය ඩිප්ලෝමාවද ඉගෙනගෙන සහාය අධ්‍යක්ෂකවරයකු ලෙසට ආව ගමනේ තමයි මේ විදියට චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් වෙන්නේ. තරුණ සේවා සභාවෙන් ලබාගත් දැනුමත්, මගේ වසර පහළොවක ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලබාගත් දැනුමත් මුල් කරගෙනයි.
පෙර නිෂ්පාදන කටයුතු ගැන කතා කළොත්?
තිර පිටපත ලියන්න ගන්නේ 2019 අග භාගයේද. පසු නිෂ්පාදන කටයුතු 2020 පෙබරවාරි යි පටන් ගත්තෙ. සිනමාපටයේ විශේෂම කාරණය තමයි 2019 ලියන තිර පිටපත අදටත් කොච්චර දුරට වලංගු ද සහ කාලීනද කියන එකයි. අපි මේකේ අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රශ්න ගැන කතා කරනවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරනවා. පන්ති ප්‍රාන්තර ගැන ඔවුන් ගම සහ නගරය අතර ගතකරන ජීවිත වෙනස් වන ආර්ථික රටාවත් සමඟ තරුණ පරම්පරාව අභියෝග රැසක් මැද අභියෝගාත්මක ලෙස මුහුණ දෙන ගැටලු රාශියක් ඒවාට විසඳුම් සොයාගෙන තම ජීවිත ගොඩනඟා ගන්නා අයුරුත්, අයහපත් දේ නිසා සමාජය විනාශ වීමත් යහපත තුළින් සමාජයේ යහපත් වීමත් තරුණ පරම්පරාව සුමගට ගැනීමේ පරමාදර්ශ චරිත එදා මෙන්ම අදත් සමාජයේ සිටින බව ඒත්තු ගන්නවා
අපේ ජීවිත ඇත්තටම ඔබ දැක්කේ සමීකරණයක්ද?
අපේ ජීවිත සිහින සමීකරණයක් බව කවුරුත් වටහාගන්නේ නැහැ. මේ සිනමා පටය තුළ කතා කරන වයස හරියටම තාරුණ්‍යයයි. ඒ කියන්නේ උසස් පෙළ හා විශ්වවිද්‍යාල වයස කියන්නේ තරුණ්‍ය නියෝජනය කරන වයස. ඒ හැමෝටම ජීවිතවල සිහිනයක් තියෙනවා. උසස් පෙළදි සරසවියේදී හැමෝටම සිහිනයක් තියෙනවා. අනාගතයේ අපි කවුරු වෙනවද කියන එක. ඒ සිහින වලට අධ්‍යාපනය ලොකුවට බලපානවා. හැබැයි හැමෝටම අපි හිතන පතන විදිහටම තම ගමන යන්ඩ හම්බවෙන්නේ නෑ. අපේ ජීවිත ඇත්තටම සමීකරණයක්. මම උණත් මේ චිත්‍රපටය සාර්ථක කර ගන්න ලොකු සමීකරණයක් විසඳමින් ඉන්නේ. අපේ සිහින විසඳගන්න එක සමීකරණයක් කියන එක තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
රිද්මි හා විසල් තුළින් සමාජගත කරන්න උත්සාහ කරන්නේ මොකක්ද?
මගේ නිෂ්පාදකවරුන් දෙපළගේ දැඩි උනන්දුව මත මේ තිර පිටපත ලියවෙන්නේ. පණිවිඩයක් දෙන අරමුණින් නෙමේ මම මේ තේමාව තෝරගත්තේ. හැබැයි ප්‍රේක්ෂකයන් සිනමාපටය නරඹලා ගන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා නම් ගනි. මම නිර්මාණකරණයේ යෙදුණේ සමාජයක් හදන්න ඕනිය කියන හැඟීමකින් අරමුණකින් සිනමාපටයක් කළේ නෑ. ඒ ඇරුණාහම මම හිතනවා කාලීන මාතෘකාවක් නිසා තාරුණ ප්‍රජාවට මේ සිනමාපටය තමන්ගේ ඇත්ත ජීවිතවල ගැටෙන යාළු මිත්‍රාදීන් හා මිනිසුන් ගැන අවබෝධයක් ලැබෙයි කියලා. එක පැත්තකින් මෙම තේමාව දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරි දේත් වැරදියට සමාජගත කළොත් මුළු සමාජයම ඉවරයි. ඒ නිසා මම දැලි පිහියෙන් කිරි කෑවා වගේ වැඩකටයි අත ගහලා කළේ. දැලිපියෙන් කපාගන් නැතුව කිරි කෑවා සියලු දෙනාට ආදර්ශයක් ලබා දෙමින්.
නළුවරණය සිදුවුණේ කොහොමද?
මෙහි තේමාව සමාජගත කරන්නට අවශ්‍ය වෙන වටපිටාවට තරුණ ප්‍රජාව නියෝජනය කරන පිරිසක් අවශ්‍ය වුණේ. ඉන්න ගොඩක් අය නව පරම්පරාව නියෝජනය කරන තරුණ පිරිසක්.අධ්‍යක්ෂකවරයා හැටියට මේ සියලු දෙනා තෝරගන්නේ 2020 දී විතර. ඒ වෙද්දි මේ අය ටෙලිනාට්‍ය හරහා ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණ අය නෙමෙයි. මට අවශ්‍ය වුණේ දක්ෂ තරුණ පිරිසක් විවිධ වයස්කාණ්ඩ නියෝජනය කරන අලුත් හොඳ දක්ෂයෝ ටිකක් තෝරගන්න. ටෙලිනාට්‍යවල දැකලා ප්‍රේක්ෂකයාට එපා වුණ චරිත නෙවෙයි. චරිතයක් දුන්නහම එයට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරයි කියන බලාපොරොත්තුව තිබ්බ මුහුණු මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. මම හිතනවා ඒ චරිත තෝරා ගැනීම තුළ නිවැරදි ගමනක් මේ සිනමා පටය ගිහින් තිබෙන බවයි. ග්‍රාමීය පරිසරයට අනුගත වී කටයුතු කිරීමත් නාගරික පරිසරයට අනුගත වී චරිත නිරූපණයත් සමාජ අනුභූතීන් තුළ චරිත වෙනස් වීම ඔවුන් හොඳ ආකාරව රංගනයේදී තිබෙනවා. රංගන ශිල්පීන් ගත්තොත් සජිත අනුත්තර, කසුනි කාවින්දි, අෂාන් ඩයස්, රන්දික ගුණතිලක, රෙබෙකා දිල්රුක්ෂි, නයනා හෙට්ටිආරච්චි, වසන්ත විට්ටච්චි, මොරින් චාරුණී, පූජන දන්දෙනිය කියන අය දායක වුණා.
තිර පිටපත ලියන්නේ දර්ශන විද්‍යා අරවින්ද. සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි. ගීත රචනා කරන්නේ උපුල් ශාන්ත සන්නස්ගල.ගීත ගායනය කළේ හර්ෂණ දිසානායක සහ නෙල්කා තිළිණි. නිෂ්පාදනය මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියන. නිෂ්පාදන කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ දුමින්ද පෙරේරා සහ අරවින්ද පෙරේරායි. මේ සිනමා පටය සඳහා පෙර නිෂ්පාදන හා පසු නිෂ්පාදන කටයුතු සඳහා තරුණ ටීම් එකක් හැටියට විස්සක් විසි පහක් කටයුතු කළා.ඒ සියලු දෙනාගේ ප්‍රතිඵලයක් හැටියටත් තමයි වසර හතරකින් පසුව සිනමා පටය තිරගත වෙන්නේ.නිෂ්පාදකවරුන් හැටියට වසර හතරක් යනකම් දරාගෙනම සිටීමත් ලොකු ශක්තියක් උනා සිනමා පටය වෙනුවෙන්. එවැනි නිෂ්පාදකවරුන් ආරක්ෂා කිරීමද අපි සතු වගකීමක් වෙනවා ක්ෂේත්‍රය වෙනුවෙන්.
දර්ශන තල භාවිතා කිරීම සිදුවුණේ කොහොමද?
මේ සිනමා පටයේ දර්ශන තල තිබෙන්නේ. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ සහ මහනුවර ප්‍රදේශයයි. යුද්ධයෙන් බැට කාලා ඔවුන්ගේ ජීවිත හා ජීවන රටාවන් වෙනස් නොවෙන ආකාරයෙන් පැවතුණත්. දක්ෂයන්ට ඉදිරියට එන්නට නොහැකි වන මොහොතක ගමෙන් බිහිවී එන දක්ෂයකු කොළඹ පරිසරය හඳුනාගැනීමත් මෙහිදී සිදුවෙනවා.විවිධ ප්‍රදේශවල සංචාරය කරන පුද්ගලයෙකු හැටියටත් ක්ෂේත්‍රයේ රැඳී සිටි කාලසීමාව තුළදී විවිධ නිර්මාණවලට දායක වීම තුළින් මගේ සිනමා පටයට අවශ්‍ය දර්ශන තල මටම තීරණය කරන්නට අවස්ථාව ලැබුණා.
වෙනත් ක්ෂේත්‍ර සමඟ ගත් කල සිනමාව යම් සාධනීය ප්‍රගමනයක් තියෙනවද?
නිර්මාණාත්මක පැත්තෙන් හොඳ සාධනීය ප්‍රගමනයක් තියෙනවා. හොඳ නිර්මාණ බිහිවෙනවා. හොඳ අධ්‍යක්ෂවරු බිහිවෙනවා.අලුත් තේමාවන් වල නිර්මාණ බිහිවෙනවා.තාක්ෂණික හා කාර්මික පැතිවල පවා ක්‍රමානුකූල වර්ධනයක් තියෙනවා.නිර්මාණකරුවන්ට කොයිතරම් දුරට ඒවාට අවස්ථාව ලැබෙනවද කියන ගැටලුව මතුවෙනවා? ආධුනිකයන්ට හා ප්‍රවීණයන්ට කොයිතරම් දුරට සමාන සැලකිල්ලක් ලැබෙනවද?
කියන ප්‍රශ්නය නම් තාම තියෙනවා. ඒක හරියට හිඟන්නගෙ තුවාලේ වගේයි. මේ මතුවෙන ගැටලුවලට අදාළ මණ්ඩල හා රාජ්‍ය ආයතන වලින් කොයි තරම් දුරට සාධාරණයක් වෙනවද කියන එක ගැනත් ගැටලුවක් පවතිනවා. ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහළොවක් වෙනවා. ඒ එන විටත් මේ ගැටලු ප්‍රශ්න තිබ්බා. අදටත් ඒවා වෙනස් නොවී
තියෙනවා. ක්ෂේත්‍රයක් විදිහට ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් මතු වුණා කියලා කවදාවත් ඵලක් නෑ. ඒවාට විසඳුම් ලැබෙන ප්‍රවණතාවය අඩුයි. නිර්මාණකරුවන් හා පරිපාලනය අතර හැමදාම පවතින්නේ විසඳාගත නොහැකි ගැටලුයි. ඒවාට විසඳුම් සොයන්න ගන්නා විට දේශපාලන අධිකාරියේ වෙනස්වී හමාරයි. එවිට එතනින් එහාට කිසි දෙයක් කතා කරලා ඵලක් වෙන්නේ නැහැ.
ටෙලි නාට්‍ය කලා කලාවෙන් අයින් වී සිනමාවට අවතීර්ණ වීම දිගටම සිදුවෙයිද?
දැන් මගේ ඒකායන අරමුණ වැඩි වශයෙන් සිනමාවේ නියැළීම තමයි. නමුත් ටෙලිනාට්‍ය කලාවෙන් මම කිසිදාක අයින් වීමත් සිදුවෙන්නේ නැහැ. තිර පිටපත් ආවොත් මම සහය අධ්‍යක්ෂකවරයකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු ලෙසත් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඕනෑම නිර්මාණයකට දායක වෙන්නට ප්‍රථම කාලය අපි කළමනාකරණය කරගත යුතුයි.
සිනමාවට සමාජ මාධ්‍යවල බලපෑම කොයි විදියටද දකින්නේ?
ඒක ධනාත්මකව සහ සෘණාත්මකව දෙවිදියටම බලපානවා. ඒක තීරණය වෙන්නේ භාවිතා කරන්නා සහ භාවිත කරන ආකාරය මත. මීට දශක ගණනාවකට ඉස්සර පෝස්ටර් හැමතැනම අලවලා පරිසරය අපවිත්‍ර නොකර එකවර විශාල පුද්ගල ප්‍රමාණයකට අපිට අවශ්‍ය පණිවිඩය අපිට අවශ්‍ය වයස් කාණ්ඩය අනුව සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස එදා දකින්නට ලැබුණා. සිනමාත්මක ගතියක් සිනමා පට තුළ තිබුණා. අද සමාජ මාධ්‍ය තුළින් ඉල්ලන්නේ අන්න ඒ සිනමාත්මක ගතියයි. අපි අධ්‍යක්ෂකවරු වුණාට වැඩක් නෑ. සිනමාත්මක ගතියක් සිනමාපටියකින් දෙන්න බැරි නම්. ඒ නිසා මම හැම වෙලේම උත්සාහ දරන්නේ මගේ නිර්මාණ තුළින් සිනමාත්මක ගතිය ප්‍රේක්ෂකයාට ගෙන ඒමයි.
ඉදිරි නිර්මාණකරණය කෙසේ සිදු වෙයිද?
මේ වසර අග හෝ ලබන වසර මුලදී තව නිර්මාණයකට අත ගහන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ කාලීන තේමාවක් මුල් කරගෙන නිර්මාණකරණයේ යෙදෙන්නයි. කරන නිර්මාණ එකද දෙකද නෙවෙයි හොඳ නිර්මාණයක් ලෙස අධ්‍යක්ෂණය තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. විශේෂයෙන් මම අවස්ථාවක් කර ගන්නවා අද මට මෙතෙන්ට එන්න උදව් කරපු මගේ පවුලේ අය ඇතුළු සියලු දෙනාටම හා ස්තුතියි කියන්න.
නිශ්ශංක විජේරත්න
සේයාරූ – චේතිය ළහිරු