” අපේ තාත්තා කොහේ හරි තැනෙක ඉඳන් එදා වගේම අදටත් ආශීර්වාද කරන බව අපට හොඳටම විශ්වාසයි….”
” සංගීතය පැත්තට අප එනවාට අකැමැති වූ අපේ තාත්තාට අප ගැන ඊටත් එහාගිය ලොකු සිහින තිබුණාය කියලා අද අපට හිතෙනවා…”
මාගේ ළමාවියේදී මම ඔහු ගෙයි මැදසාලයේ අනුකරණය කළ අයුරු අදටත් මතකය…දෑත මඳක් හකුළුවා පපුවට සමාන්තරව ඔසවා තබා දෙවුර දෙපසට විහිදා ගයමින් කළ නැටුම් විලාශය එදා ප්‍රසංග වේදිකාවට මහත් සිරියාවක්ම වූ බවද මට මතකයි…ඔහුගේ රසික දනන් කෑ මොරදෙමින් ඔල්වරසන් දෙමින් සංගීත වේදිකාවෙන් පහසුවෙන් බැසයන්නට නම් ඉඩක් නුදුන් බවද මා මතක තිරයේ දැනුදු දිගහැරේ…ඒ ළගන්නා සුළු හඬ පෞරුෂය සේම උත්තුංග දේහ ලතාවද කාටත් තවමත් අමතකව නැති.
මෙවර සරසවිය පාඨක ඔබ වෙනුවෙන් නැවත සරසවියට ගෙන එන්නට ඔහු විසූ ගල්කිස්ස හේන පාරේ ඔහුගේ කෙනකු සොයමින් මහඅව්වේ ඇවිද විපරම් කළෙමි..ඔහුගේ දරුවකු හෝ එහි දැන් නොමැති බවම මුව මුව කියැවිණි. උත්සාහය අත නොහැරියෙමි…නාඳුනන කතක් අහඹුව විමසුමෙන් ඔහුට නෑකම් කියනා පිරිවෙන පාරේ ව්‍යාපාරිකයකු වන උපුල් නම් මහතකු හමුවිණි.
දැන් මා සමීපයේම සුන්දර සිනාවතකින් යුතුව පසුවන ජනපි‍්‍රය සංගීතඥයකු වන සරත් ප්‍රනාන්දු මහතා පිළියන්දල පොල්ගස්ඕවිට.. මිරිස්හේන ඔහුගේ නිවසේදී මට මුණගැසුණේ එලෙසය..
මෙවර ඔබට හමුවන සොඳුරු විශිෂ්ටයාණෝ ඔබට කෙතරම් හුරුපුරුදුද යත් ඒ නමෙහි අකුරු දෙක පමණක් කී සැණින් ඔබට සිහිපත් වනු ඇති..
60 සහ 70 දශකවලදී මේ සුන්දර මහා පුරුෂයා ගැයූ ගීත අදටත් ඔබ මතකයේ බව ඉඳුරාම දනිමි…එදා ප්‍රසංග වේදිකාව මත ගී රසකැලතූ ඔහුටම ආවේණික ගැයුම් සිරිතකින් රටක් ඔකඳ කළ අපේ ආදරණිය ගායන ශිල්පී එම්. එස් ය..නොඑසේනම් එදා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරිවූ බයිලා චක්‍රවර්ති නම් සම්මානිත විරුදාවලියෙන් පිදුම් ලද ඔහු ආදරණිය එම්.එස්. ප්‍රනාන්දු මහතාය..
ඔහුගේ ආදරණිය එක් පුතකු වන සරත් ප්‍රනාන්දු මහතාගේ ආලින්දයේ තැන තැන තම ප්‍රේමනීය පියාණන්ගේ රුව රැගත් පින්තූර මට පෙනේ…තැන තැන සංගීත භාණ්ඩ සහ තාක්ෂණික මෙවලම්ය. ඒවා නම් අපේ සරත්ගේය. එය කියන්නට පසුවට තබමි.
මම සරත්ගේ කතාබහට සවන් දෙමි.
ගල්කිස්සේ ..එම්. ලාරොන් ප්‍රනාන්දු සහ පී. ලිලී ගෝමස් නම් මවුපිය දෙපළට සිටියේ දූ පුතුන්ම පස්දෙනෙකි..ඉන් පවුලේ වැඩිමහල් දරුවා වූ අපේ කතා නායකයාගේ උප්පැන්නයේ නම වන්නේ මගගේ සැම්සන් ප්‍රනාන්දු ය. 1931ක්වූ මාර්තු මස 04 වනදා උපත ලද එම්.එස්ට නැගණියන් වූයේ ගර්ටි..කොන්සි හා ඩල්සි ය. ඔහුගේ සොහොයුරා වූයේ ප්‍රකට ගායන ශිල්පී වෝල්ටර් ප්‍රනාන්දු ය..තවත් සහෝදරයකු ඉපදුණිද හේ පුංචි සන්දියේදී මියගිය බවද කියැවෙයි.
ගල්කිස්සේ ශාන්ත අන්තෝනි විදුහලට ඉගෙනුම පිණිස ගිය හෙතෙම පසුව ක්‍රයිස් චර්ච් පාසලේද ඉගෙනුම ලැබීය.. පාසල් වේදිකා මත රැඟුමක් ගැයුමක් පළ නොකළ හේ පාසල් අධ්‍යාපනයෙන් ඉනික්බිතිව සංගීතය හදාරන්නට වූයේය..
ශාස්ත්‍රීය සංගීතය හදාරන්නට වූයේ එවක ප්‍රකට සංගීතඥයකු වූ සත්‍යදාස වෙතිනි. පසුව විල්ප්‍රඩ් ෆොන්සේකා සහ සලමන් ෆොන්සේකා දෙසොහොයුරන්ගෙන් බයිලා රාගතාල උගත්තේය..
“අපෙ තාත්තා මුලින්ම වාද බයිලා ගායකයකු විදිහටයි කරළියට ආවේ..තොටලඟ කුසුම්පාල..කිරිබත්ගොඩ පවුලිස් ආදී වාද බයිලා පතාක යෝධයන් අතරේ අපෙ තාත්තාත් ඊට නොදෙවැනි වාද බයිලා ශිල්පියකු වුණා.. ඉන්පස්සේ තමයි බයිලා ගායනයට එකතු වුණේ…”
හාපුරා කියා අපේ සොඳුරු කතා නායකයාණෝ ගැයූ ගීතයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ කරුණාරත්න අබේසේකරයන් ලියූ පී.එල්. ඒ සෝමපාලයන් සංගීතවත් කළ පුෂ්පරාණී ආරියරත්න ගායන ශිල්පිණිය සමඟින් එක්ව ගැයූ “මලක් කඩා කොණ්ඩෙ ගසාලා..” ඩ්.ර්.ඍ ගී තැටියෙනි.
” අපෙ තාත්තා බොහොම හැඩි දැඩි පුරුෂයෙක්..ඒ වගේමයි හැසිරීමත්..කතාවත්…මමත් මට වයසින් අවුරුදු 23 ක් වනතුරු ගෙදර හිටියානෙ…අප්පා…තාත්තා ගෙදර ඉන්න වෙලාවට ගෙදර කවුරුවත් මීක් නෑහැ…තාත්තා නිහඬ බවත් අගය කළා…ඒ වගේම කාමරයට වැදිලා අපෙ තාත්තා ගීත ලියනවා. නැතිනම් සින්දුවක් හදනවා..ඔය මොකක් හරි එයාගෙ සංගීත වැඩක්…ඒ බව දන්න අපිත් සද්ද නැහැ…
” අපේ තාත්තා කේන්තිකාරයෙක්…ඒත් ඒ වුණත් අපේ තාත්තා හරියට සෝඩා බෝතලේ ඇරියා වගේ..කෑ ගැහුවත් බැන්නත් ඒක ඒ වෙලාවට විතරයි..උණුවෙන හිතක් තිබුණා …කෙනකුගෙ දුකකදී කරදරයකදී තාත්තා බොහොම සංවේදී වුණා..”
සරත් ඒ ටික කීවේ මා විමසූ පැනයකට පිළිතුරු ලෙසිනි.
” අර මං කලින් කීවා වාගෙ අපෙ තාත්තා වාදබයිලාවෙන් ඉදිරියටම ආවා..ඉතින් ..එවක ජනාධිපති විලියම් ගොපල්ලව මහත්තයා හිටියෙ…උත්සවයකදි එතුමා අතින් අපෙ තාත්තාට වාද බයිලා සමත්කම නිසාම සම්මානයක් ප්‍රදානය කරන්න ලෑස්ති කරල තිබුණෙ.. කොහොම හරි එදා එම අවස්ථාවට එතුමා ට සහභාගිවන්න නොහැකි වෙලා තියෙනවා..පස්සෙ දවසක අපෙ තාත්තාව රජ මැදුරට කැඳවලා සංග්‍රහ ආදියත් කරල රත්තරන් බෝ පතක බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු නමින් සම්මානයක් ප්‍රදානය කරල තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපෙ තාත්තාට බයිලා චක්‍රවර්ති යන නාමය ලැබුනෙ..”
” අපෙ තාත්තා වාද බයිලා ශිල්පියකු විදිහට ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් තාත්තා කුසලාන 159 කින් පිදුම් ලබා තියෙනවා…”
එම්.එස් ක්‍රමයෙන් ගායන ශිල්පියකු ලෙසින් ඉහළට නැගී එන්නේය..තම දරුවන් සංගීතයට නැඹුරු වෙනවාට බලවත් විරෝධයක පසුවූයේය..
” අපේ තාත්තාට ඕනදේ මොකක්ද ඒ දේම තමයි තාත්තා කළේ. එයාගෙ තනි මතය. අපේ සුසිල් අයියාව වෛද්‍යවරයෙක් කරන්න ලොකු ඕනකමක් තිබුණා . එයාගෙ දරුවන් වන අපත් සංගීත කලාවට එනවාට එතරම් අකැමැති වුණේ එදා තිබුණු කැපිලි කෙටිලි හින්දම වෙන්නැති කියලා මට හිතෙන්නෙ..ඒ වුණත් අපිත් සංගීතය දෙසට ටික ටික නැඹුරු වුණාම මුලදී ගණන් ගත්තේම නැහැ. පස්සෙ ..පස්සෙ අපේ උනන්දුව කැපවීම දැකලදෝ අපට සහය දුන්නා…හරි වැරදි පෙන්නුවා..පස්සෙ අපට ප්‍රසංග අවස්ථා පවා අරන් දුන්නා .”
සුසිල් ප්‍රනාන්දු සමඟ සරත්ද එකතුව සංගිත කණ්ඩායමක් බිහිකළේය..එය නමින් ඊඩඥ ඒථධබඪධද” ය..එහි ළාබාල රිදම් ගිටාර් වාද්‍ය ශිල්පියා වූයේ අපේ සරත්ය..කෙටි කලකට පසුව සුපර් තරංග නම් සංගීත කණ්ඩායම හැදුණේ ලාල් තේනබන්ධු..නිමල් ඩයස්ලා ද එකතුවෙනි. එහි නායකත්වය ප්‍රකට ගායක සුසිල් ප්‍රනාන්දු ය. එය වැඩක් හැටියට සිදු කෙරෙන අයුරු දුටු ආදරණිය එම්.එස් ඊට අතහිත දුන්නේය..තැන තැන ප්‍රසංග අවස්ථා ද රැගෙන දුන්නේය..
අපේ එම්.එස් ප්‍රනාන්දු නම් වේග රිද්ම ගායකයාණෝ දැන් රටතොට පමණක් නොව එතෙර වාසීහුද හොඳීන් හඳුනා සිටියහ.
“තාත්තා ගයාපු ගීත වලින් සියයට අනූවකම ගීත පද රචනාවන් තාත්තාගේමයි. තනුවත් තාත්තාගේමයි.ගයන්නෙත් තාත්තාමයි..
ඒ කාලෙ අපේ ජෝතිපාල මහත්තයායි අපෙ තාත්තායි නැතිනම් ඒ සංගීත ප්‍රසංගය වැඩක්ම නැති ප්‍රසංගයක්..ලංකාවෙ ප්‍රසංග වලට වඩා අපේ තාත්තා විදේශ රටවල ප්‍රසංගවලට ගයපු අවස්ථා වැඩියි කියල මං හිතන්නෙ..අපේ රටේ රසිකයො අපේ තාත්තා වේදිකාවට නගින්නෙ කොයි වෙලාවෙද කියල මග බල බල හිටියෙ..'”
රස ආහර කවලා…ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා..සැවැන්දරා සුගන්ධයෙන්…ලස්සන රෝස මලක් ..ආදී තවත් අතිශය ජනප්‍රිය ගුවන් විදුලි ගීත මෙන්ම චිත්‍රපට 25කට පමණ ඔහු ගැයූ ගීතද අසමානය..වේදිකා නාට්‍ය වෙනුවෙන් ද හෙතෙම සංගීතය සම්පාදනය කරමින් ගැයුවේය..
“අපෙ තාත්තා ගීත ගැයුවා විතරක් නෙවෙයිනෙ..චිත්‍රපටවලත් රඟපෑවනෙ..තාත්තාගෙ ගීත ගයමින් රඟපෑවනේ. තාත්තා රඟපෑව චිත්‍රපට අතරින් කුණ්ඩලකේශී චිත්‍රපටයෙ රඟපෑ මිගාර නමැති ලොකු චරිතයට නම් තාත්තා ගොඩාක් ඇලුම් කළා..”
එම්.එස් තෙමේ විවාපත් වූයේ ගල්කිස්සේ පදිංචිව සිටි ටියුලින් සිල්වා මෙනවිය සමඟිනි.
“තාත්තාගේ ඒ විවාහයෙදි අම්මාගෙ වැඩිහිටියන්ගෙ පැත්තෙන් නම් යම් විරෝධයක් ඇවිත් තියෙනවා..ඒත් අම්මායි තාත්තායි එකතු වුණා..අපෙ අම්මා ඉතා හොඳ දක්ෂ ගෘහණියක්. අම්මා තාත්තා ව සංගීත කලාවටම නිදහස් කරල ගෙදර දොර සහ දරුවන්ගෙ හැමදේම සොයා බලා කටයුතු කළා.
එම්.එස්.සහ ටියුලින් විවාහයෙන් ඔවුනට තිළිණ වූ පළමුවැන්නා සුසිල් ය. දෙවැන්නිය ටෙලිනා (ගීතා) ය. ශාන්ත පුතු තෙවැන්නා ය. ඊළඟට උපන්නේ මා සමඟ සංලාපයක පසුවන සරත් ප්‍රනාන්දු ය. පස්වැන්නා වූයේ සුජීව ය. සුජිතා දියණිය සයවැන්නියය..පවුලේ බාලයා සුනිමල් ප්‍රනාන්දු ය.
එකල ” පොප් ගීත ” යනුවෙන් ප්‍රකට වූ බවක්ද මතකය…ඒවා දිගට යන ගීත..ඒවා පොප්..ඔය පොප් සංගීතයට අපෙ තාත්තා හොඳ දායකත්වයක් දුන්නා. ” කියාය.
“අපෙ තාත්තා ගීත රචකයින්ගෙ උස්පහත් බේද බැලුවෙ නැහැ. හොඳ ගීත රචනාවක් නම් තාත්තා ආධුනිකයකුගෙ වුණත් අරගත්තා ..”
අපේ ආදරණිය කතාබහ අතර යමක් හදිසියේ මතක් වූවාක් මෙන් සරත් හිඳ හුන් අසුනේ හරිබරි ගැසී මෙසේ කියන්නේය.
අපෙ තාත්තා මුලදි රස්සාවකුත් කළානෙ…ඒ තමයි ගමනාගමන මණ්ඩලයේ ටිකට් පරීක්ෂක කෙනකු හැටියට…ඒත් ඒ රස්සාව දිගට ගෙනියන්න ඕනකමක් තිබිලා නැහැ..සංගීතය නිසා..”
තමන් සිතට දුකක් පැමිණියද ඒ දුක මත්තේ පසුවන පුරුද්දක් අපේ කතා නායකයාට තිබුණේම නැති. තමන්ට අත්වන පාඩුවකදී අලාභයකදී වුව ඔහු එය පහසුවෙන් අමතක කර දමන්නේය.
“අපෙ තාත්තා ඉතින් මධුපානයට වගේම දුම්වැටියටත් ගොඩක් සමීපයි..හැමදේම තිතට ම ඕනා..හරිම නීට්…ගිනි පෙට්ටිය ගත්තා නම් එය නිසි තැන තැබිය යුතුයි. ඇඳුම පැලැඳුමත් එහෙමයි. වැඩත් පිරිසිදුයි. පිළිවෙළයි. ඒ වටිනාකම් නිතර කෑ ගගහා බැණ බැණ අපට කියා දුන්නා. ”
සරත් කියන්නේය..
” අපෙ තාත්තා තමයි විදේශයේ ගායන ප්‍රසංග වලට වැඩියෙන්ම සහභාගි වුණ ගායකයා…හම්බ කළා.. උතුරන්න තාත්තා හම්බ කළා…ඒ වගේම සල්ලි ඉතිරි කළා..
” තාත්තා ට මුලදි මුකුත් දේපළක් වත්කමක් තිබිලා නැහැ…හොඳට හම්බ කළා වගේම අපෙ තාත්තා ගල්කිස්ස සුමනාරාම පාරේ ඉඩමක් අරන් ගෙයකුත් හදා ගත්තා. ඒ විතරක් නෙවි අමල්..තාත්තාගෙ සහෝදරියන් ..ඒ කියන්නෙ අපෙ නැන්දලව එහෙම පිළිවෙළකට විවාහ කරවල දුන්නෙත් අපෙ තාත්තා ..ඒ යුතුකම් තාත්තා කළා…”
ආදරණිය සරත් තම ආදරණිය පියාණන් පිළිබඳව කතාබහ කරන්නේ සිත තුළ උපන් මහත් ගෞරවනීය හැඟීමකින් යැයි සිතේ..
” අපි කොතැනකට ගියත් මේ එම්.එස් ගෙ දරුවන් නේද කියල දැනගත්තාම අපට ලැබෙන පිළිගැනීම ගැන කියන්න නම් වචන මදි..ඒකෙන්ම තේරෙනවා තවමත් අපෙ තාත්තාට..තාත්තාගෙ නමට මිනිස්සු කෙතරම් ආදරය කරනවද ගෞරව කරනවද කියලා..කොහේ හරි තැනෙක ඉඳන් අපේ තාත්තා අපි දිහා බලාගෙන ඇති. අපට ආශීර්වාද කරනව කියලත් අපට විශ්වාසයි..”
සරත් ඒ ටික කීයේ බිමබලාගත්වනම ය.
එම්.එස් හදිසියේම රෝගාතුර වූයේය..ඔහු තම පපුව අල්වා ගත්තේය..හෙතෙම වහා රෝහල් ගත කෙරිණි ..
හෘදයාබාධයක් …! වෛද්‍ය උපදෙස් සමඟ ක්ෂණික ප්‍රතිකාරයට ඖෂධ ද නියම කෙරිණි …ඒ 80 දශකයේදී පමණය. නැවතත් යථා තත්ත්වයට පත්වූ එම්.එස් නැවත ප්‍රසංග වේදිකාවේ කිරුළු පලන් වේග රිද්ම ගායන ශිල්පියා වෙමින් ලැබූ රසික ආදරයද දෙගුණ තෙගුණ කරගන්නට සමත් වූවේය..
සරත් ප්‍රනාන්දු ද තම පියාණන් ගත් මඟම යමින් පසුවන්නේය. ඉලෙක්ට්‍රික් ගිටාරය දැන් ඔහුට කෙළි බඩුවක් හා සමානය..ජිප්සීස් සංගීත කණ්ඩායමේද ප්‍රකට චරිතයක් වූ හේ “අන්කල් ජොන්සන්” ගීතයට රඟපෑ අන්කල් ජොන්සන් වූයේද සරත්ය..ලුණු දෙහි ප්‍රකට ගීතයේ දෙහි ගෙඩිය වූයේද සරත්ම ය. පසුව ජිප්සීස් වෙතින් නික්ම ගොස් ලොකු අයියා සුසිල් ගේ මග පෙන්වීමෙන් සුපර් තරංග කණ්ඩායම බිහිකරමින් සරත් එහි රිදම් ගිටාරය වැයුවේය. බටහිර සංගීතයටද හේ යොමු වූයේය. පසුව ර්‍ථතචර ඕධරඵ” සංගීත කණ්ඩායම බිහිකොට තරුපහේ හෝටල් ආදියේ සපන්කම් පෑවේය..තාත්තාගේ ගීත ගයද්දි රසිකයින් දෝතින් වැළඳ ගන්නේය. ලූෂන් රෝදේ මිත්‍රයාගේ සම්බන්ධයෙන් හැදූ “ඡ්යධඤභඵ” කණ්ඩායම තනමින් අපේ සරත් එහි නායකයා වන්නේය.
ගුවන් විදුලියේ ” බී'” ශ්‍රේණියේ ද ගායන ශිල්පියකු වන හෙතෙම ටෙලි නිර්මාණවල සංගීත සංයෝජනයෙහිද දක්ෂයයකු වී සිටී. වේදිකා නාට්‍ය වෙනුවෙන් ද සංගීත අධ්‍යක්ෂණයෙහි නිරත සිටී.
විවාපත් සෞම්‍යා…සුදේශ් රංග..සුදේශිකා රංගි තම දූ දරුවන්ගේ ආදරයද ලබමින් ඔහු කණ්ඩායම් සංගීත කලාවෙහිම නියුතුව නව අත්හදා බැලීම් කරන්නේය..
“අපේ බෑන්ඩ් එක තාත්තාගෙ ගීත හැර වෙනත් ගීත ගයන්නෙ නැතැයි පවසමින් මේ ටිකද ලියන්නැයි මා හා කියන්නේය.
” දෙසැම්බර් මාසෙ 21 වනදා බොරැල්ල නාමෙල් වීරමුණි ශාලාවේ සවස 7.30 ට අපේ ” ව්ඡ්ඔඊ ඹ්ඡ්ඍඡ්ඹ්” ප්‍රථම සංගීත ප්‍රසංගයට එම්.එස්. ගීත වලට කැමති හැමෝටම එන්න කියන්න..”
අපේ සොඳුරු කතා නායකයාණෝ එදින මහනුවර සංගීත ප්‍රසංගයකට ගොස් ගී ගයා පැමිණියේ ටොරිංටන් හැටේවත්ත ප්‍රදේශයේ ප්‍රසංගයකටය…ඒ 1994 ක්වූ අප්‍රේල් මස 09 වනදාය..
“එදා ඒ බෑන්ඩ් එක හොඳට ප්ලේ කරලත් නැහැ. තාත්තා ගොඩක් නට නට වෙහෙස වෙලා තියෙනවා.”
වේදිකාව මත අපේ සොඳුරු කතා නායකයාණෝ ගී ගයමින් සිය ගැයුම් හා නැටුම් ලතාවෙන් රසික දනන් ප්‍රීති ප්‍රමෝදයට පත් කළේය…රසික දනන් තව තව ඕනෑ යැයි හඬ නගා ඉල්ලීම් කරද්දි එම්. එස් එහැම ඉවත නොලා දිගටම ගී ගයා අවසන් කොට…පිරිසට සුබ අවුරුදු ආසිරි පතා වේදිකාවෙන් බසින්නට සැරසුණු විටදී රසිකයකු සමරු පොතක් දෝතින් පා සටහනක් තබන්නැයි ඉල්ලා සිටියේය. එහි ඔහු සිය අත්සන තබා රසිකයා අතට නැවත සමරු පොත පිරිනැමුවා පමණි..
අහෝ ! අපේ ආදරණිය කතා නායක තෙමේ දෑතින් පපුව අල්වාගෙනම පසුපසට ඇලවී ගියේය..අවට සිටියවුන් අතර සිටි කීර්ති පැස්කුවල් වහා තම ආදරණිය හිතවතා තම රියට නංවා රෝහල කරා රැගෙන යද්දී අපේ ප්‍රේමනීය එම්.එස්..ගේ හිස තිබුණේ රියෙහි සිටි ටියුඩර් ජයශාන්තගේ උකුළ මත්තේය..
සුවහසක් දෙනා රමණිය තම ගැයුම් රැඟුම් සිරිතෙන් අපමණව පිනවූ අපේම සදාදරණීය සම්මානිත ගායන ශිල්පී එම්.එස් ප්‍රනාන්දු නම් අපේ සොඳුරු කතා නායකයාණෝ කිසිවකු හට හෝ කිසිත් නොකියා කොහේදෝ රහසේම නික්ම ගොස් තිබුණේය..
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ