Home » අධ්‍යාපනයට මුල්තැන දී කලාවේ රැඳෙනවා

අධ්‍යාපනයට මුල්තැන දී කලාවේ රැඳෙනවා

යොවුන් රංගන ශිල්පිනී ආදර්ශ්‍යා කරුණාතිලක

by Thanushika
August 14, 2025 1:00 am 0 comment

මාලක නන්දනගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “සාරි ගප්පි” පසුගිය දිනවල සිනමා ශාලාවල තිරගත වුණා. ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා “සාරි ගප්පි” නම් මත්ස්‍ය විශේෂය හේතු වන බවත් වර්තමානය වන විට ඒ මත්ස්‍ය ගහණය ක්‍රමයෙන් වද වී යන බවත් එය වර්ධනය කරගත යුතු ආකාරයත් මෙහි එන චරිත ඔස්සේ නිරූපණය කර ඇත. මෙවර අප හා පිළිසදරෙහි එක්වන්නේ ළමා චරිතයකින් එයට දායක වූ රංගන ශිල්පිනියකි. අද වන විට නව යොවුන් වියේ පසුවන ඇය නමින් ගගනී ආදර්ශ්‍යා කරුණාතිලක.

පසුගිය දිනවල සිනමාශාලාවල තිරගත වූ “සාරි ගප්පි” දුව රගපෑ කීවෙනි සිනමා නිර්මාණයද?

මගේ දෙවැනි සිනමා නිර්මාණය.

එහි ඔබේ චරිත ස්වභාවය පිළිබඳ සදහන් කළොත්?

එහි පාසල් සිසුවියකගේ අතිරේක දර්ශනයක් කළා. ඈත පිටිසර ගම්මානයක වෙසෙන පාසල් ළමුන් පිරිසක් සමඟ ගමෙන් නගරයට ඇවිත් සිරි නරඹමින් සියල්ලන් සතුටු වන දර්ශන කිහිපයක්.

” සාරි ගප්පි” හි ඔබට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

“සාරි ගප්පි” චිත්‍රපටයේ මගේ අතිරේක රංගනය වෙනුවෙන් පාසල් ළමුන් හා ගුරුවරු ගුරුවරියන්ගෙන් පැසසුමට ලක් වුණා. එහිදී ඔවුන් සිය සතුට ප්‍රකාශ කළා.

දුවගේ පවුලේ විස්තර ටිකක් කියමු?

මගේ පියා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදන කළමනාකරු හැරල්ඩ් කරුණාතිලක. ඔහු සමහර චිත්‍රපටිවල පවා රංගනයෙහි යෙදීලා තියෙනවා. මගේ මව ඩේසිකා නිෂාන්ති. ඇය ගෘහණියක්. මට සහෝදරයෙක් ඉන්නවා. ඔහුගේ නම යෙහාන් චමෝද් කරුණාතිලක. සිතුමි මදුෂානි සමග ඔහු විවාහ වී මේ වන විට විදේශගතව සිටිනවා. මගේ ගම කළුතර. මං ඉගෙන ගන්නේ කළුතර, කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ට විද්‍යාලයේ.

ඔබේ පියා කලාවට සම්බන්ධ වීම නිසාම රංගනයට ප්‍රවිශ්ට වෙන්න පහසුවක් වුණා නේද?

ඔව්. මගේ පියා රංගන ක්ෂේත්‍රයේ දැනට අවු.36 ක් නිෂ්පාදන කළමනාකරු ලෙස සේවයේ නිරත වෙනවා.ඒ නිසා මට කලාවට සම්බන්ධ වීමට ලොකු පහසුවක් වුණා.

එවැනි පියෙකුගේ දුවක වීම පිළිබඳ අද ඔබට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මට මෙහෙම කලාවට සම්බන්ධ වෙන්න ලැබුණේ මගේ තාත්තා හින්දා. ඔහු නිසා කලාවට සම්බන්ධ වෙන්න මට ලොකු අත්වැලක් වුණා.

පාසැල් වේදිකාවේ ඔබ රංගනයෙන් නිතර වෙනවාද?

ඔව්.රංගනයෙන් විතරක් නෙවෙයි නර්තනයෙනුත්, මම පාසලෙහි නර්තන කණ්ඩායමට සම්බන්ධ වී සිටිනවා.

අධ්‍යාපනය හා කලාව ඔබ සමබරව කරගෙන යන්නේ කොහොමද ?

කලාවේ දිගු ගමනක් යන්න අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන ගමන් එයට බාධාවක් නොවන අයුරින් රංගන කටයුතු වලටත් කාලය වෙන් කර ගන්නවා.

රංගනයෙහි නිරත වීම නිසා පාසැලෙන් සීමාවන්, තහංචි පැනවුනේ නැද්ද?

එහෙම වුණේ නැහැ. මම රංගන කටයුතුවලට සම්බන්ධ වීම දැනගත්තාට පස්සේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය මාව ප්‍රශංසාවට ලක් කළා. ඉතින් කලා ක්ෂේත්‍රයේ නිරත වීමට ඔවුන් අවසර ලබා දුන්නා.

අධ්‍යාපනයට අමතරව විෂය පරිබාහිර කටයුතුවලට දුව සම්බන්ධ වී සිටිනවාද?

පාසැලේ දී රීලේ, වොලිබෝල් වැනි ක්‍රීඩා කටයුතු වල නිරත වෙනවා. මේ දවස්වල

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට “Esoft Metro Campus” හි  Information Technology and English Diploma දෙකක් හදරමින් සිටිනවා.

ඔබේ ප්‍රථම සිනමා නිර්මාණය ශ්‍රීපාලී හෙට්ටිආරච්චිගේ ” සුජාත පුත්‍ර”.කැමරාවක් ඉදිරියේදී මුලින්ම රගපාන්න අවස්ථාව ලැබුණු විට ඔබට දැනුණු අභියෝග මොනවාද?

මම කුඩා කාලයේ පාසලේ නාට්‍ය හා නර්තන කටයුතුවල නිරත වුණු නිසා එයින් ලැබුණු අත්දැකීම් තුළින් කැමරාවක් ඉදිරියේ මුහුණ දීමට බියක් ඇති වුණේ නැහැ. ඒවගේම පිරිසක් සමඟ රංගනයේ යෙදීමට සිත තුළ චකිතයක් ඇති වුවත් අධ්‍යක්ෂකතුමන්ගේ මග පෙන්වීම යටතේ කැමරාවක් ඉදිරියේ සාර්ථකව මුහුණ දීමට මට හැකි වුණා.

ළමා රංගන ශිල්පිනියක් ලෙස මඟතොටේදී ලැබෙන ප්‍රතිචාර දැනගන්න කැමතියි?

මම පදිංචී වී සිටින කළුතර,නාගොඩ ප්‍රදේශයේ මාව හදුනන අය රංගනයේ නිරතවෙන බව දැනගෙන තවත් නිර්මාණ වලට සහභාගී වෙන ලෙස ඉල්ලා සිටියා.

රිදී තිරයේ වගේම ඔබ පුංචි තිරයෙත් රංගනයෙන් දායක වෙලා තියෙනවා ද?

රිද්ම වීරවර්ධන ගායකයා විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් දකුණු ආසියාවේම කරන ලද “පුංචි අත්තටු” ගීතයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. එය කාගෙත් පැසසුමට ලක් වුණා.

අනාගතයේ දී රංගනය පැත්තෙන් ඉදිරියට යන්නද කැමති?

ඔව්.අධ්‍යාපන කටයුතුවල නිරත වී එය අවසන් වුණාට පසුව කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට කැමැත්තක් තියෙනවා.

ඉදිරියේ දී ඔබේ තිරගත වීමට නියමිත නිර්මාණයන් මොනවාද?

පසුගිය කාලේ අධ්‍යාපන කටයුතු සදහා අවධානය යොමු කළ නිසා රංගන අවස්ථා අහිමි වුණා. ඉදිරියේදී නව නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

විවේක මොහොත ඔබ ගත කරන්නේ කොයි ආකාරයටද?

අධ්‍යාපන කටයුතු වලට අමතරව විවේක වෙලාවේදීත් පොත් කියවන්න කැමතියි. මම සුරතල් සතුන්ට ආදරෙයි. ගොඩක් වෙලාවට ගෙදර ඉන්න සුරතල් සතුන් එක්ක කාලය ගත කරමින් ඉන්දියන් සිනමාවේ දමිළ හා හින්දි චිත්‍රපට බැලීම විනෝදාංශයක් විදිහට කරනවා.

ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද?

අධ්‍යාපන කටයුතුවලින් ඉහළට යාමටත් තවත් නිර්මාණ කටයුතුවලට දායක වීමටත් බලාපොරොත්තු වෙන් ඉන්නවා.

වසුන්දරා කුමාරී ධර්මරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT