ශබ්ද පරිපාලනයේ ඇසූ පිරූ තැන් සොයා ගිය ඔහුට සැබැවින්ම එම ක්ෂේත්රයේ නම් දැරුවෙකු වන්නට වැඩිකලක් නොගියේ පෙර භවයක එවන් වූ සහජ කුසලතාවයක් ඔහුගේ උත්පත්තියත් සමඟ රැගෙන ආ නිසා විය හැකිය. ශබ්ද පරිපාලනය කුමක්ද යන්නවත් මුල් කාලයේ අසා නොතිබුණු ඔහු තම ඥාතියකුගේ ආරාධනයකට කොළඹ පැමිණියේ මෙවන් වූ කර්තවයක නියැළී සිටි ඥාතිවරයාගේ අත් උදව්වටය.
අද අපේ කතා නායකයා සේම ඔහුගේ මේ ඥාතිවරයාද මෙම කර්තව්‍යයට මුල පුරන්නට පටන් ගත්තේ කවදාවත් මෙවැනි කර්තව්‍යයක ප්‍රවීණයකු වන්නට සිතකවත් අදහසක් නොතිබුණු මොහොතකය. මුලින්ම තම ඥාතිවරයාට සහායක් ලෙසින් උපකරණවලට වයර් ඇමුණු ඔහු ඉතා කෙටි කලක් ඇතුළත මේ කාර්යයේ බොහෝ ශිල්පීය ක්‍රම උගත්තේ තමන් සහජයෙන් ගෙන ආ දක්ෂතාවයන්ද එක් කරලමිනි. අද මෙන් ඩිජිටල් තාක්ෂණයේ හව්හරණක්වත් දක්නට නොතිබුණු යුගයක ශබ්ද පරිපාලනයේ බොහෝ ඇසූ පිරූ තැන් සොයා ගිය ඔහු නමින් එම්.ජේ. දාසන්ය. හෑත්තෑව දශකයේ පටන් අද දක්වා ලංකාවේ දක්ෂ ශබ්ද පරිපාලකයකු ලෙස කටයුතු කරන එම්. ජේ දාසන් හා අපි කතාබස් කරමු.
එම්.ජේ. දාසන් කිව්වාම මෙරට සංගීත ක්ෂේත්රයේ නොමැකෙන නමක්?
එහෙම නොවුණොත් තමයි පුදුම. හැත්තෑව දශකයේ පටන් බිහි වූ සංගීත කණ්ඩායම්වල බොහෝ ශබ්ද පරිපාලන කටයුතු සිදුවුණේ මගේ අතින්. ඒ විතරක්ද සිංහල, දෙමළ සංගීත කණ්ඩායම් කීයක් මා අතින් නිර්මාණ වුණාද? මේ රටේ අතිශයින් ජනාදරය දිනූ ගායකයන් කී දෙනෙකුගේ ඒක පුද්ගල ගී ප්‍රසංගවල ප්‍රධාන ශබ්ද පරිපාලකවරයා වුණාද රට වටා රැගෙන ගිය දැවැන්ත එළිමහන් සංගීත ප්‍රසංග කොපමණ ප්‍රමාණයක මා අතින් ශබ්ද පරිපාලනය සිදු කෙරුණාද ඒ වගේ සුන්දර කාලයක් මම මේ රටේ සංගීත කලාව වෙනුවෙන් කැප කළා.
ශබ්ද පරිපාලනේ හැරුණු කොට ඔබේ අතින් ඉටු වූ තවත් කාර්යයන් බොහොමයක් මේ හා බද්ධවෙලා තිබුණා නේද?
ඔව්. මම මෙරටේ ප්‍රධාන පෙළේ සංගීත සන්දර්ශන සංවිධායකවරයෙක්. ශබ්ද පරිපාලනය මගේ එක් කාර්යයක් පමණයි. සංගීත භාණ්ඩ සැපයීම, ශබ්ද විකාශන යන්ත්‍ර සැපයීම වගේම සන්දර්ශන වේදිකාව විදුලි ආලෝකය ඇතුළු සියලු කර්තව්‍යයන් එකම තැනකින් රට පුරාවට ලබා දුන්නේ මම.
එළිමහන් ප්‍රසංග කලාවේ හැත්තෑව දශකයේ පටන් ඔබ කැපී පෙනෙන චරිතයක්?
ශ්‍රී ලංකාවේ පැවැත්වූ වැඩිම සංගීත කණ්ඩායම් ප්‍රමාණයකට ශබ්ද පරිපාලනය සිදුකළේ මගේ අතින්. එවැනි ප්‍රසංග වැඩිම ප්‍රමාණයකට ශබ්ද විකාශන සපයා එහි ශබ්ද පරිපාලනය සිදු කළේ මම.
1977 සිට වසර හතළිහකට වැඩි කලක් මම රැකියාව ලෙසත් මගේ විනෝදාංශය ලෙසත්, සිදු කරනු ලැබුවේ ශබ්ද විකාශන පරිපාලන හා ශබ්ද විකාශන යන්ත්‍ර සැපයීමයි.
ශබ්ද විකාශනයේ කටයුතුවලට යොමුවෙන්න කලින් මොන වගේ කටයුතු වලද ඔබ මුලින්ම යෙදිලා හිටියේ?
මම පදිංචි වෙලා හිටියේ හැටන් වල. හැටන්වල මගේ පවුලේ ඔක්කොම දරුවෝ නව දෙනයි. පිරිමි දරුවෝ තුනයි ගැහැනු දරුවෝ හයයි. මම පාසල් ගියේ හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයට. පාසල් අධ්‍යාපනය අවසන් කරනවාත් සමග මම කලාවට සම්බන්ධ වුණා. චිත්‍රපට බලන්න වාගේම සිනමාවටත් මම ආශා කළා. ඒ ආසාව නිසාම මම ඉස්කෝලෙන් ඉවත් වෙනවාත් සමඟ පික්චර් හෝල් එකක බුකින් ක්ලාක් හැටියට තාවකාලිකව රැකියාවකට ගියා. එතකොට මට වයස අවුරුදු විසි එකක් විතර ඇති. මුලින්ම මම රැකියාව කළේ හැටන් වල විජිත පික්චර් හෝල් එකේ බුකින් ක්ලාක් හැටියට. ඊට පස්සේ ආගර පතන වහලා තිබුණු පිචර් හෝල් එකක් අපි යාළුවෝ කීපදෙනෙක් බද්ධට අරන් කරගෙන ගියා. ඊට පස්සේ මම කොළඹට ආවා කිරුළපන කල්පනා පික්චර් හෝල් එකේ බුකින් ක්ලාක් හැටියට වැඩ කළා. කොහොමහරි අවුරුදු පහක් විතර මම මේ කටයුත්තේ නියැලුණා.
පික්චර් හෝල්වල බුකින් ක්ලාක් ලංකාවේ නමගිය ශබ්ද පරිපාලකයෙක් වුණු කතාවත් හරි සුන්දර ඇති?
ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. මගේ අක්කාව බැඳලා හිටියේ එවක රටේ නම දරාපු ශබ්ද පරිපාලකයෙක් වූ ඇන්ඩෲ මැතිව්. අක්කා බැඳලා හැටන්වල ඉඳලා කොළඹ පදිංචියට ආවා. මමත් කොළඹ ආවම නතර වුණේ අක්කගෙ ගෙදර. ඔය වෙනකොට මමත් තරුණ වයසේ කොලු ගැටයා. දවසක් ගෙදරදි මගේ මස්සිනා ඇන්ඩෲ යෝජනා කළා ඔහු රැකියාව කරන නුගේගොඩ හාර්මනි සවුන්ඩ් එන්ටප්‍රයිසස් එකට ඇවිත් එයාගේ වැඩවලට සහාය වෙන්න කියලා. මමත් කැමැත්තෙන් ගියා ඒ කාලෙ මේ ආයතනය රට පුරා නම් දැරූ ආයතනයක්. ලංකාව පුරා සංගීත භාණ්ඩ සවුන්ඩ් හැමදෙයක්ම වාද්‍ය මණ්ඩල වලට සංගීත ප්‍රසංගවලට ලබා දෙන්නේ මේ කොම්පැනියේ ප්‍රධාන ශබ්ද පාලකවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඇන්ඩෲ මැතිව්. අනෙක් කෙනා ටියුඩර් පෙරේරා. මට මේ දෙන්නගේ සහායකයෙක් ලෙස කටයුතු කරන්න ලැබුණා. රට පුරා ආයතනයට ලැබෙන ඉල්ලීම් වැඩි වෙනකොට කවුරුත් කාර්යබහුල වුණා. මුලදී මුලදී වයර් අමුණලා Instrument හදලා සකස් කළ මට ටිකෙන් ටික ඇන්ඩෲ මැතිව් මස්සිනා නිසා සවුන්ඩ් බැලන්ස් කරන වැඩෙත් කරන්න අවසර ලැබුණා. මටත් හරි ආශාවක් ඇතිවුණා. දවසින් දවස මමත් මේ දේ ආශාවෙන් ඉගෙන ගත්තා. පෙර කළ කුසලයක් නිසාද මම දන්නේ නෑ පොඩි කාලයක් තුළ මේකේ ටෙක්නික් එක මගේ ඇඟට කා වැදුණා.
සමහර ෂෝ වල මස්සිනා කාර්යබහුල වෙනකොට මම සවුන්ඩ් බැලන්ස් කළා. ශිල්පය මම තිතටම කරනකොට මගේ මස්සිනා එයා යන්නේ නැතුව වැඩවල වගකීම මට පවරලා මට තනියෙන් ගමනක් යන්න කිව්වා. 1974 ඉඳලා මම වසර පහක් සහායක ශබ්ද පරිපාලකවරයෙක් ලෙස කටයුතු කර 1979 දී ශබ්ද පරිපාලකවරයෙක් බවට හාර්මනී සවුන්ඩ් එන්ටප්‍රයිසස් එකේ රැකියාවට එක්වුණා. ඔය විදියට ටික කාලයක් ගෙවිලා යනකොට ඇන්ඩෲත්, ටියුඩර් පෙරේරාත් ආයතනයෙන් සමුගෙන ගියා. ඒ අඩුව පුරවන්න මාව ආයතනය ප්‍රධාන ශබ්ද පරිපාලක හැටියට පත්වීමක් ලබලා දුන්නා.
එම්.ජේ. දාසන්ව හදන ගුරුවරු කවුද?
ටියුඩර් පෙරේරා, ඇන්ඩෲ මැතිව් මේ දෙපළගේ ගුරු හරුකම් මධ්‍යයේ තමයි දාසන් බිහිවෙන්නේ. ඊට පස්සේ මම ප්‍රධාන ශබ්ද පරිපාලක වෙනවා. මට සහායට ගොඩාක් පිරිස හිටියා. කොම්පැනියට ලැබෙන ප්‍රධාන වැඩ සියල්ලම කෙරුණේ මගේ අතින්. ගම් උදාව, උදාගම, මහපොළ උත්සව අවස්ථා පැවැති සියලු සංගීත ප්‍රසංගවල ශබ්ද පරිපාලනය සිදුවුණේ මගේ අතින්. ශබ්ද විකාශන යන්ත්‍ර, ප්‍රසංග සඳහා අවශ්‍ය Instrument සම්පාදනය කළේ හාර්මනි සවුන්ඩ් ආයතනය මගින්.
රටේ නම දැරූ ප්‍රධාන පෙළේ ගායකයන් රැසකගේ ඒක පුද්ගල ගී ප්‍රසංගවල ප්‍රධාන ශබ්ද පරිපාලක වුණේ ඔබ කියලා ආරංචියි?
ඒක ඇත්තක්. එච්. ආර්.ජෝතිපාලගේ ජෝති රාත්‍රිය, මොහිදින් බෙග්ගේ ‘බෙග් ගීතිකාව‘, එම්.එස්. ප්‍රනාන්දුගේ ගී ප්‍රසංගය, ග්‍රේෂන් ආනන්දගේ ‘ආනන්ද රාග‘, ටියුඩර් ජය ශාන්තගේ ‘සුන්දර ගීත්’ මේ හැම ප්‍රසංගයක්ම ආරම්භයේ පටන් අවසානය දක්වා ශබ්ද පරිපාලනය කළේ මම. සංගීත භාණ්ඩ සැපයීම ශබ්ද උපකරණ සැපයීම සිදු කළෙත් මම.
ලංකාවේ නම ගිය ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායම් රැසක් ඔබගේ ශබ්ද පරිපාලනයෙන් හැඩ වැඩ වූවා නොවේද?
සිංහල වගේම දෙමළ සංගීත කණ්ඩායම් රැසක් මගේ ශබ්ද පරිපාලනයෙන් හැඩ වූවා පමණක් නොවෙයි ඔවුන්ට ශබ්ද විකාශන, සංගීත භාණ්ඩ පවා සැපයීමක් මගේ දායකත්වයෙන් ලබාදුන්නා. රටේ නම ගිය සුපර් ස්ටාර්, ෆෝචුන්ස්, සුපර් සෙවන්, වගේම ද්‍රවිඩ සංගීත කණ්ඩායම් වූ අප්සරාස්, සුපර් ටැමිල්, සුපර් සිතාරා, සුපර් සන්ස් ඒ අතරින් කීපයක්.
හා පුරා කියල ප්‍රධාන ශබ්ද පරිපාලක ලෙසින් ගමනකට මුල පිරුව අවස්ථාව මතකද?
පැට්රික් දෙනිපිටිය බෑන්ඩ් එකේ ශබ්ද පරිපාලනය තමයි මම මුලින්ම කළ කාර්යය වුණේ. ඊට පස්සේ විවිධ ගායක ගායිකාවන් වගේම සංගීත කණ්ඩායම් ඇවිත් පුහුණුවීම් සිදු කළෙත් හාර්මනි ස්වුඩ් ගොඩනැගිල්ලේ මගේ ශබ්ද පරිපාලන කාර්යය සමඟින්.
ජාතික රූපවාහිනියේ ආරම්භයේ නමගිය සංගීත වැඩසටහනක් සමඟ ඔබේ ශබ්ද පරිපාලනයත් ඈදී තියනවා නේද?
ජාතික රූපවාහිනිය 1982 දී ආරම්භයත් සමඟ පළමුවෙන්ම විකාශය කළ සංගීත වැඩසටහන වුණේ නන්දන වින්දන, මේ වැඩසටහනට සංගීත භාණ්ඩ සපයාදෙමින් ශබ්ද පරිපාලනයෙන් දායක වුණා. අර්නස්ට් සොයිසා, සරත් ද අල්විස් ප්රමුඛ සුපර්ස්ටාර් බැන්ඩ් එක තමයි එදා රූපවාහිනී නන්දන වින්දන වලට අපි ගෙනා මුල්ම බෑන්ඩ් එක වැඩි වශයෙන් නන්දන වින්දන ප්ලේ කළේ සුපර් ස්ටාර්ස් තව තව බෑන්ඩ් පසුකාලීනව ඇවිත් ප්ලේ කළා. අපි තමයි Instrument දාල ශබ්ද පරිපාලනය කරල ගායක ගායිකාවෝ ගෙනත් සියල්ල කරල දෙන්නේ මගේ අධීක්ෂණය යටතේ තමයි. සියලු සවුන්ඩ් බැලන්ස් කරන්නේ එහෙම කරල අපි ඒ ලින්ක් එක භාර දෙන්න ඕනේ. ජපන් කාර්ය මණ්ඩලයට ඒ අයතමයි විකාශන කටයුතු කළේ. රූපවාහිනිය ඇතුළේම තමයි රෙකෝඩ් කරන්නත් ඕනේ. එළියේ රෙකෝඩ් කරල ගේන්නත් බෑ. 1987 වසර වෙනකන් අපි මේ ආකාරයට කරගෙන ආවා. සුපර්ෂයින්, ෆෝචුන්ස්, සුපර් සෙවන්, අප්සරාස් ආදී වාදක මණ්ඩල රැසක් එදා නන්දන වින්දන විටින්විට හැඩ කළා.
ඔබ නියෝජනය කළ ආයතනය මෙරට සංගීත ක්ෂේත්රය අරක්ගෙන තිබුණා කිව්වොත්?
අපි තමයි මේ රටේ එවක සිටි ලීඩින් සවුන්ඩ්. අපෙන් තොරව වැඩක් කෙරුණා නම් ඒ එකක් දෙකක්. අපිට සෙටප් නැති වෙනකොට අපි හයර් එකට අරන් අපිට ලැබුණු ඉවෙන්ට් කවර් කළා. අපිත් සමඟ ලොකු ජාලයක් සම්බන්ධ වෙලා තිබුණා. වේදිකා විදුලි උත්පාදන යන්ත්‍ර, සංගීත භාණ්ඩ සංගීත ශබ්ද විකාශන යන්ත්‍ර, විදුලි පහන් මේ හැම දෙයක්ම අපි සතුයි. ගම් උදාව මහපොළ වල සංගීත සංදර්ශන දවස් ගාණේ සංවිධානය කළේ අපි. ගායක ගායිකාවො අපේ ආයතනයට පැමිණ එතනින් බස්වලින් තමයි ප්‍රසංග වේදිකාවට ගියේ. ඡන්ද කාලයට දේශපාලන වේදිකාවේ සංගීත කණ්ඩායම්වල ශබ්ද පරිපාලනය පවා මම සිදුකළා.චිත්‍රපටවල සින්දු රෙකෝඩ්න් දර්ශන තලවලට උචිත ලෙසින් රූපගත කිරීම් සඳහාත් අපි සැකසීම සිද්ධ කළා.
දාසන් මහතා සංගීත කණ්ඩායම් කීපයක්ම නිර්මාණය කළ පුද්ගලයෙක් කියලා දැනගන්න තියෙනවා?
ඒ කතාව ඇත්ත මම සුපර් සෙවන්, සුපර් හාමිනී, සුපර් තරංගා, රේන් බෝස්, කෙයිසීස් නමින් බ්‍රෑන්ඩ් කීපයක්ම හැදුවා.
හාර්මනිස් සවුන්ඩ් එන්ටප්‍රයිසස් හා තිබූ ඔබේ සබැදියාව සහස්රකය වනවිට නතර වෙනවාද?
මේ ආයතනය 1958 වසරේ ආරම්භ කරපු ආයතනයක් ජොනී විලියම්ස්, ෆෑන්ක් විලියම්ස්, බාබු විලියම්ස්, සෑම් විලියම්ස් සහෝදරයෝ හතර දෙනෙකුට අයිතිව තිබූ ආයතනයක්. ඒ අය 2000 වසරේ මේ ආයතනය වසා දමා විදේශ ගත වුණා. ඊට පස්සේ මම මගේම කියල ආයතනයක් පටන් ගත්තා 2002 වසරේ එම්.ජේ. සවුන්ඩ් එන්ටප්‍රයිසස් ඇන්ඩ් මියුසික් සෙන්ටර් කියල නුගේගොඩම. එදා පටන් මේ දක්වාම මම මේ ආයතනය තුළිනුත් කානිවල්, ප්‍රසංග සංවිධානය, උත්සව අවස්ථා ශබ්ද විකාශන ලබාදීම, ක්‍රිස්තියානි එළිමහන් රැස්වීම්, ළමා වැඩසටහන්, ළමා විවිධ ප්‍රසංග, දේවස්ථානවල උලෙළ, කෝවිල් උත්සව ආදී නොයෙකුත් උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය සවුන්ඩ්, ලයිට් ආදීන් ලබා දෙනවා. ප්‍රසංග සංවිධානය කරනවා. ඒ සඳහා අවශ්‍ය ශබ්ද පරිපාලන කටයුතු සිද්ධ කරනවා. අරංග්රේත්රම්, සාහිත්යවිලා වැනි උත්සව සඳහාත් ශබ්ද පරිපාලනයෙන් සවුන්ඩ් උපකරණ සැපයීමෙනුත් දායක විමක් සිදු කරනවා.
විදෙස් රටවල ජනපි‍්‍රය ගායක ගායිකාවන්ගේ ප්‍රසංග ශබ්ද පරිපාලනය කරන්න පවා ඔබ වාසනාවන්ත වුණා?
ඉන්දියාවේ ජනපි‍්‍රය ගායක ටී.එම්. සෞන්දරරාජන් ලංකාවේ පැවැත්වූ ප්‍රථම සංගීත ප්‍රසංගයත් එස්.පී.බාලසුබ්රමනියම් මහතා මෙරට පැවැත් වූ මුල්ම සංගීත ප්‍රසංගය ශබ්ද පරිපාලනය කළේ මම. මොහොමඩ් රාෆි ලංකාවට ඇවිත් ගෝල්ෆේස් එකේ කළ දැවැන්ත ෂෝ එකේ එක් ශබ්ද පරිපාලකවරයෙක් වුණේ මම. අනෙක් අය වුණේ ඇන්ඩෲ මැතිව්, ටියුඩර් පෙරේරා, ගුණසේන, සුනිල් ප්‍රේමරත්න. මේ ප්‍රසංගය ඔරියන්ටල්, වෙස්ටන් ලෙස ලොකු වාද්‍ය මණ්ඩලයක් වෙන වෙනම හිටියා. මම බාරව සිටියේ වෙස්ටන් පැත්ත. ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් වූ ජෙයරාම්, ජොලි ඒබ්‍රහම්, ජේසුදාස්, තාගුර් ඇනිෆා වැන්නවුන්ගේ මෙරට පැවැත්වූ සංගීත ප්‍රසංග සඳහා ශබ්ද පරිපාලනයෙන් මම දායක වුණා.
ඔබගේ මැදිහත් වීමෙන් ඉන්දියාවේ ජනපි‍්‍රය ගායකයන් සේම චිත්‍රපට නර්තන ශිල්පිනියන්ද මෙරට ගෙන්වා ප්‍රසංග පවා සංවිධානය කළා නේද?
ඉන්දියාවේ ජනපි‍්‍රය ගායක ටී.එම්. සෞන්දර රාජන් මහතාගේ පුත් ටී.එම්.එස්. සෙල්ව කුමාර්ව මුල්වරට ගෙනවිත් මම ප්‍රසංගයක් කළා. ඊට පස්සේ මේ ප්‍රසංගයට ලැබුණු ඉල්ලුමත් සමඟ තව ප්‍රසංග කීපයක්ම මම සංවිධානය කළා. ඉන්දීය චිත්‍රපට නර්තන ශිල්පීන් වූ ලයිලා ෂර්මිලා, තිලෝනා මෙරටට ගෙන්වා ඉනික්කුම් ඉන්බම් මාලේ නමින් ෂෝ එකක් පවා මම කළා.
ඩිජිටල්කරණයත් සමඟ අද වෙනකොට ශබ්ද පරිපාලනය පහසුවෙලා නේද?
පහසුයි තමයි. අද ප්‍රෝගෑම් කළා. වැඩේ ඉවරයි. නමුත් එදා තමයි වැඩ්ඩෝ හිටියේ. අපි එකින් එක ගැන මොනතරම් අවධානයෙන් ඉදලද වැඩේ කළේ. අද මොනවද එදානේ වැඩ්ඩො හිටියේ. අද ඇස් පියාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන්. ශබ්ද පරිපාලකට ඔක්කෝම ඔටෝ ඩිජිටල්.
අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ මත්පැන්බීම දින දෙකකට සම්පුර්ණයෙන් අත්හිටවන්න පුළුවන් වූ එකම පුද්ගලයා ඔබ බවයි ක්ෂේත්රයේ අය කියන්නේ?
ඒකත් ඇත්ත. මට ජෝතිපාල හරිම ආදරෙයි. මමත් එහෙමයි ඒ වගේ මිනිහෙක් ආයෙ බිහිවෙන්නේ නෑ. 1983 විතර ජෝතිපාල ජෝති රාත්‍රිය ඒක පුද්ගල ගී ප්‍රසංගය පටන් ගත්තා. ප්‍රසංගයේ සින්දු විසි හතරක් ගායනා කරනවා. ප්‍රසංගය තියන දාට වාර දෙකක් ෂෝ එක තියනවා මම තමයි ආරම්භයේ පටන් ජෝතිපාලගේ ප්‍රසංගයේ ශබ්ද පරිපාලක. අපේ සවුන්ඩ් තමයි ප්‍රසංගයට ගත්තේ. අපේ Instrument තමයි ප්ලේ කළේ. මමත් හැමදේම ගැන හොඳට සැලකිලිමත් වුණා. ජෝතිගෙ ප්‍රසංගයක් කියන්නේ කට කපල සෙනඟ. සරත් දසනායක තමයි සංගීත පැත්ත බලාගත්තේ ජෝතිපාල සින්දු කියන්නේම මත්පැන් බීල එතකොට සවුන්ඩ් එක හරියට එන්නෑ සරත් දසනායක මට කතා කරල කිව්වා. දාසන් ජෝති බීල සින්දු කිව්වොත් ප්‍රසංගය හරියට කරන්න බෑ උඹට තමයි ඌගෙ බීම දවසකට හරි නවත්වන්න පුළුවන් කෝකටත් කියල බලපන් කියලා.
මම ජෝතිට කතා කළා. මයික් එක ළඟට අරන් සිංදුවක් කියන්න කියල මත්පැන් බීල කියන කොට එන ෂිෂ් ෂිෂ් ශබ්දය ගැන පහදල දුන්නා. ඒක ජෝති පිළිගත්තා. එයාගෙ ජෝති රාත්‍රිය තියන දාට විතරක් නෙමෙයි ඊට කලින් දවසෙත් ජෝති බිව්වෙ නෑ. මගේ කීම අහල හැබැයි ඉතිං ප්‍රසංගය තියල ඉවර වුණාට පස්සේ දවස් දෙකේම ඇරියස් එක ඇඟට නොදැනී අරගත්තා. මම නැතුව ෂෝ එක කරන්න ජෝති කැමැති නෑ මම ඉන්නම ඕනෙ ජෝතිට පේන්න.
ශබ්ද පරිපාලකට පුළුවන් නේද මුළු සංගීත ප්‍රසංගයම උඩු යටිකුරු කරන්නත්?
ඔව්. මගේ අතේ තමයි Instrument අතට ගන්න කාගෙ කාගෙත් බොත්තම තියන්නේ ඒ විතරක් ද ගායක ගායිකාවකගේ කටහඬේ වගකීමත් මගේ අතේ හරියට බැලන්ස් එකේ ඕනෙ දේට ශබ්ද පරිපාලනය ගෙන නොගියොත් ඔක්කොම හුටස්. සමහර අවස්ථාවල උපකරණවල දෝසත් එන අවස්ථාත් තියනවා. වයර් ගැලවිලා වෙන අකරතැබ්බ තියනවා. ඒ වෙලාවට ඔලුවෙන් ගේම ගහන්න අපි සුදානම් වෙන්න ඕනේ අත්දැකීමෙන්ම.
දාසන් මෑතභාගයේ ප්‍රසංගයක් සංවිධානය කරන්න සිතුවා කියලාත් ආරංචියි?
ඔව්. එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් ෂෝ එකක් කරන්න සදහටම ජෝති කියල තමයි නම් කරල තියෙන්නේ. මේක වෙනස්ම ආකාරයේ ජෝතිගේ ගී ගයන ගායකයන්ගේ එකතුවකින් එළිදක්වන්නයි මගේ අදහස.
ජෝතිපාල ජාතික රූපවාහිනියේ සිංදු නොකීමේ රහස දන්නෙත් ඔබ බවයි දැනගන්න තියෙන්නේ?
රූපවාහිනිය ආරම්භ කළ අලුත නන්දන වින්දන ප්‍රසංගයේ නිෂ්පාදකවරයා අබේවර්ධන බාලසුරිය අබේ තමයි ඒ කාලේ ගම්උදා, මහපොළ, ෂෝ වල පවා ගායක ගායිකාවන් සංවිධානය කරන්නේ, නන්දන වින්දන පටන් ගත්ත මුල් වැඩසටහනේ ඉදල වැඩසටහන් කීපයක්ම ගියා. ජෝතිපාලගේ ගායනයක් නෑ මාස කීපයක් ගියාට පස්සේ අබේවර්ධන බාලසුරියට මතක් වුණා. ජෝතිපාල මඟහැරිලා කියල කොහොමහරි ලියුමක් ඇරියා. වැඩසටහනට සහභාගි වෙන්න කියල ජෝතිපාල ආව රූපවාහිනියේ ගේට්ටුව ළඟට දාසන් වරෙන් කියල මට කතා කළා. අබේවර්ධනයට කියපන් මම තමයි ලීඩින් සින්ගර් අද වෙනකොට බෙග් නිහාල් නෙල්සන් පවා උඹලගෙ කෙහෙල්මලේ සින්දු කියල ඉවරයි. මේ ජෝති ඊට කලින් උඹලට දාන්න බෑ. කියපන් අරකට මම ආයෙ මේකෙ සිංදු කියන්න පස්පාගන්නෙ නෑ කියල ස්වාධීන රූපවාහිනියේ විතරයි ජෝතිගේ විෂුවල් සහිත සිංදු තියෙන්නේ. මධුරසාංග වැඩසටහනට එදා ජෝති ගීත ගායනා කළා ආරියසිරි විතානගේ තමයි මධුරසාංග එදා ස්වාධීන රූපවාහිනීයට කළේ.
එම්.ජේ. දාසන්ගේ විවාහයත් හරි අපූරු උත්සවයක්?
1985 මැයි 21 වැනිදා හෙදි නිලධාරිනියක වූ කුමාරිදාසන් හා විවාහ වුණා. උත්සවය තිබුණේ මාලිගාවත්තේ ප්‍රදීපා හෝල් එකේ මගෙ වෙඩින් එකට සින්දු කිව්ව නැති ගායකයෙක් නෑ. ඒ දවස්වල තිබුණු හැම සංගීත කණ්ඩායමක් වගේම මගේ වෙඩින් එකට ප්ලේ කළා. සමහර සංගීත කණ්ඩායම් වලට ප්ලේ කරන්න බැරුව හිටියා. මේ හැමෝම මගේ විවාහ උත්සවයට දායක වුණේ කිසිදු මුදලක් මගෙන් බලාපොරොත්තු නොවී. 2024 වසරේ අප්‍රේල් මස 07 වැනිදා හදිසි හෘදයාබාධයකින් මගේ බිරිය මියගියා.
ඔබේ ගමන් මගේ සමීපතමයනුත් ඇති අමතක නොවන?
මගේ සියලු වැඩ වලදී මට සහයෝගයක් ලබාදුන් සුනිල් ප්‍රේමරත්න, එම්. ත්යාගරාජරා විශේෂයෙන් මතකයට එනවා. ඒ වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වූ මා මිත්‍ර උපාලි ෆොන්සේකා ගෙනුත් මගේ ගමනට ලැබුණු ආදර සහයෝගයන් මගේ මතකගොන්නේ තැන්පත් වෙලා තියනවා.
සේයාරූ – ශාන් රඹුක්වැල්ල
චන්දන දයාසිරිවර්ධන