Home » අද ටෙලි නාට්‍ය කලාව ගැන තියෙන්නේ කලකිරීමක්

අද ටෙලි නාට්‍ය කලාව ගැන තියෙන්නේ කලකිරීමක්

ජෙෂඨ රංගන ශිල්පී නිමල් ජයසිංහ

by Mahesh
May 1, 2025 12:30 am 0 comment

– හෙන්රි මහත්මයා සමඟ වැඩකරද්දි යාළුමිතුරුකම් නැහැ
– අද සීන් එකේ දෙබස් අතට දෙන්නෙ මේක් අප් දානකොට

1967 දී කරළියට පැමිණි හෙන්රි ජයසේනයන්ගේ ‘හුණුවටයේ කතාව’ නාට්‍යයේ මුල් රංගනයේ සිට එහි රංගන දායකත්වයට 58 වසරක් සපුරා ඇති සම්මානිත රංගන ශිල්පී නිමල් ජයසිංහ එදාමෙදාතුර ලාංකේය නාට්‍ය ක්ෂෙත්‍රයේ සිය රංගන ප්‍රතිභාව මුසුකළ නාට්‍ය සංඛ්‍යාව ද අසීමිතය.. එමෙන්ම රූපවාහිනිය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, ආදී ක්ෂෙත්‍රයන්හි නමක් දිනා ඇති ඔහු ප්‍රවීණ හඬකැවීම් ශිල්පියකු හා දෙස් විදෙස් ටෙලි නාට්‍ය, චිත්‍රපට හා කාටූන් උපසිරැසි යොදන්නකු ද වන අතර පරිවර්තකයකු ලෙසින්ද ප්‍රකටව ඇත්තේය..

අඛණ්ඩ රංගන දායකත්වය ලබාදීම වෙනුවෙන් ද උපහාර ගෞරව සම්මානයටද තවත් සම්මාන රැසකටද පාත්‍රව ඇති සිංගප්පුලි ආරච්චිගේ නිමල් ජයසිංහ සමඟ කළ සංලාපයකි මේ..!

ලාංකේය කලා ක්ෂෙත්‍රයේ විවිධ ඉසව් ඔස්සේ ඔබ ඔබේ දායකත්වය උපරිමයෙන් ලබා දී තිබෙනවා. මේ සඳහා ඔබගේ ආමනය පිළිබඳ සඳහන් කළොත්…?

මගේ උපන්ගම නුවරඑළියේ උඩපුස්සැල්ලාව..තාත්තා එස්.එච්.ජයසිංහ ..මව..නන්දාවතී ජයසිංහ.. මගෙ බලා සහෝදරයා රාජා ජයසිංහ ..මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලින් ඉගෙනුම ලැබුවේ..පස්සෙ..ඉංග්‍රීසි, විද්‍යාව සහ ගණිත ගුරුවරයකු හැටියට වසර දෙකක් හාලිඇල, උඩුවර, මහින්ද විදුහලේ ඉගැන්නුවා..ඊට පස්සෙ

1961 විතර මම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් විද්‍යා සැලසුම් ශිල්පියකු හැටියට කටයුතු කළා..ඉතිං මෙතැන රස්සාව කළ පසුව ජනප්‍රිය වූ කලාකරුවන් කිහිපදෙනකුත් සිටියා..මේ අතර හෙන්රි ජයසේනයන්ගෙ නාට්‍ය නිර්මාණවල ඉන්න සැන්ටින් මහතාවත් හඳුනාගන්න ලැබුණා..මටත් රඟපෑමේ ආශාවත් තිබුණා..මට ගායන හැකියාවත් ඇති බව සැන්ටින් මාව හෙන්රි ජයසේනයන්ට හඳුන්වා දුන්නා..

කොහොම හරි මගෙ කටහඬත් වේදිකාවට සුදුසු බවත් එතුමා කිව්වා..විජේරත්න වරකාගොඩ නොඑනදාට එයාගෙ කවියත් මට කියන්න දුන්නා..ඉතින් 1967 මාර්තු 08 වැනිදා හාපුරා කියා හුණුවටයේ කතාව වේදිකාවට ගෙනාවා. මේ පසුගිය මාර්තු 08 වැනිදාට 58 වසරක් සම්පූර්ණයි..කල් යද්දි හුණුව⁣ටයේ කතාවෙ චරිත විස්සකට විතර වරින්වර රංගනයෙන් දායක වුණා..

හෙන්රි ජයසේනයන් පිළිබඳ ඔබේ මතකය කොහොමද…?

එතුමා පසුකලෙක මගේ ළඟම ඥාතියෙක් තරමට මට සමීප වුණ කීවොත් සැඳෑසමයේ පවා මාව කඳවාගෙන සතුටු සාමිචියේ ඉන්නමයි ප්‍රියකළේ…අපේ නාට්‍ය කණ්ඩායමේ අරමුදලක් ඇතිකරල දුප්පත් දරුවන්ට එතුමා බොහෝ උදව් උපකාර කළා..

එතුමාට වේලාවට කලාවට හරියට වැඩේ කෙරෙන්න ඕනා…

හෙන්රි මහත්මයා සමඟ වැඩකරද්දි යාළුමිතුරුකම් නැහැ..විනය අංක එක..වෙලාවට පුහුණුවට නාවොත් රුපියල් දෙකක දඩයක් ගහනවා..ඒ කාලෙ එය ලොකු ගාණක්..එයින් සංචිත අරමුදලක් පිහිටුවලා..කෙනකුට හදිසියකදී රුපියල් සියයක් ගන්න පුළුවන්. එක දර්ශනයකින් රු. දහය ගාණේ ගත් මුදල කපා ගන්නවා.. එක වෙලාවකදි පියෙක්…තව වෙලාවකදි මිතුරෙක් වගේ..කරුණාවන්තයි..එතුමා හුණුවටයේ කතාව වගේම (1968) අපට පුතේ මගක් නැතේ, (1970 දෙවන නිෂ්පාදනය) කුවේණි, (1971) ජනේලය, (1972) දිරිය මව සහ ඇගේ දරුවෝ , (1972) මකරා ආදී 1985 දක්වා ජනප්‍රිය නාට්‍ය ගණනාවක්ම කළා…රාමායණය (ලයනල් ගුණතිලක) මම සහය අධ්‍යක්ෂක වුණා..රඟපෑම..ගායනය..ඇතුළු තවත් දේ කණ්ඩායමක් හැටියට එකතුව අපි වැඩකළේ..

නාට්‍යයක් පෙන්වන්න ගම් පළාත්වලට යනවා..ඒ පිළිබඳ කතා කළොත්…?

ගම්වලට ගිහින් නාට්‍ය පෙන්වද්දී එහෙ සංවිධායකයො සංවිධානය කරන්නෙ..අපි එක්කල ඒ අයත් සින්දු කියනවා..විනෝද වෙනවා..අපට ඉතින් ඉහළම සැළකිලි…ගමේ සංවිධායක කට්ටිය අපි එක්කමයි..

සමහර පළාත්වලට ගියාම අපි යන බසයට ඉදිරියෙන් යකඩ කටක් කුලී රියක ගැටගහගෙන ප්‍රචාරය කරනවා..මෙන්න නාට්‍ය කට්ටිය එනෝ කියලා…

අද තත්ත්වය හාත්පසින්ම වෙනස්.. අපි ආවා..සංවිධායකයො අපව පිළිගත්තා . නාට්‍ය බැලුවා..ගෙවීම් කළා..අවසානයි…අද තත්ත්වය ශෝචනීයයි..දැන් ඉන්න සංවිධායකයන්ට කාර්යබහුල නිසා වෙන්නැති..මෙහෙම වෙන්නෙ..රැකියාවල හෙම ඉන්න අයනෙ…එදා බොහොම සමීපවම කටයුතු කෙරුණේ..

ඔබ පිළිබඳ කතා කළොත්.?

මේ නාට්‍යවලට අමතරව රූපවාහිනීය ආවාම එහි කතන්දර පිටුව කරන්න මට ලැබුණා..එතකොට එහි අධ්‍යක්ෂිකාව ශ්‍රීමතී ලියනගේ මහත්මිය..රටරටවල කතා..අන්දරේ කතා..මේ වගේ ඒවාට මගෙ පසන් පුතාවත් මං එක්ක යනවා..පුතාගෙ දස්කම් දැකල පරාක්‍රම නිරිඇල්ල පුතාව කඩඉම ටෙලි නාට්‍යයට ගත්තා..අඹ යහළුවෝ එකේ මටත් චරිතයක් ලැබුණා..සුදත් දේවපි‍්‍රයගෙන්..දුම්රියේ පහන තියා බුදු සාදුට හිමිදිරියේ ගීතයට ඒ කොටස රඟපෑවේ මගෙ පුතා පසන් තමයි…මට පුතා පසන් විතරයිනෙ..උසස් පෙළ කරද්දී මං පුතාව නැවැත්තුවා..මේ කලාව කරල ගොඩයාමක් නැහැනේ..පුතා පසන් බැංකු ක්⁣ෂේත්‍රයේ විධායක ශ්‍රේණියේ රැකියාවක…පුතාගෙ දුව අමා ජයසිංහ ..ඇය සංගීත ක්ෂෙත්‍රයේ ..

ඔබ නාට්‍ය කලාව හැදෑරීම වෙනුවෙන් කළ විදේශ සංචාර කොහොමද..?

ප්‍රවීණයන්ගේ නාට්‍ය වැඩමුළු ගණනාවකට මම සහභාගි වුණා..ඉන්දියාවේ නවදිල්ලියේ වැඩමුළුවලට පවා එක්වුණා…පස්සෙ…දිවයිනේ බොහෝ පාසල්වලට ගිහින් නාට්‍යකරණය පිළිබඳ දේශනා සහ වැඩමුළු පැවැත්වූවා…

විදේශ සංචාර ගැන කීවොත් නැගෙනහිර ජර්මනිය…සෝවියට් රුසියාවේ ලෝක ප්‍රසිද්ධ උසස් අධ්‍යයන ක්‍රම මගින් වෘත්තීය මට්ටමේ නාට්‍ය බිහිකිරීම පිළිබඳ අවබෝධයක් ලබාගන්නට අවස්ථාව ලැබුණේ ටවර් රඟහල පදනම මඟින් ලබාදුන් ශිෂ්‍යත්වයක් මතයි..ටවර් රඟහල පදනම නිපැයූ සිරි සඟබෝ නාට්‍ය 1981 දි හොංකොං, තායිලන්තයේ සහ මහජන චීනය රටවල ප්‍රදර්ශනය සඳහා ගියා..

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගැන කතා කළොත්…?

ටෙලි නාට්‍ය 50 කට වැඩියෙන් රඟපා තියෙනවා..ඇබෑර්තු ඇත..ජිවිතය ලස්සනයි, රිදී ඉට්ටංකරය, සූරිය දරුවෝ, කඩඉම අත්ත බිඳෙයි, ස්වයංජාත, සදිසි තරණය, සංගීතේ, ආදී තවත් ටෙලි නාට්‍ය රැසකම විවිධ චරිත නිරූපණය කර තිබෙනවා…

චිත්‍රපට ගැන කීවොත් ටයි මහත්තයාගෙ අතීතයෙන් කතාවක්, සූරිය අරණ, පවන රළුවිය., සිරි දළදාගමනය, ප්‍රේමය නම් ආදී තවත් චිත්‍රපට නිර්මාණවල රඟපෑවා..

ඔබ පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බැලුවොත්..?

ඇත්තෙන්ම තෘප්තිමත් ..දැනටත් මම කලා කටයුතුවල නිරත වුණත් මගෙ පුතා දැන් මට කියන්නෙ..තාත්තෙ දැන් ඕවා කලා ඇති නේද..විවේකයෙන් ඉන්න කියලයි..මට දැන් වයස අසූ හයක්…

දේශීය හා විදේශීය ටෙලි නාට්‍ය චිත්‍රපට, කාටූන් උපසිරැසි යෙදීම සඳහා වගේම හඬකැවීම් සඳහා සිංහලෙන් ඉංග්‍රීසියටත් ඉංග්‍රීසියෙන් සිංහලටත් පරිවර්තන කටයුතු කරනවා.. රූපවාහිනීය ඇතුළු සෙසු රූපවාහිනී නාළිකාවල විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට හඬකැවීම් ශිල්පියකු විදිහටත් කටයුතු කරනවා..

එදා සහ අද අතර නාට්‍ය කලාව ගැන කතා කළොත් ?

ඇත්තෙන්ම මේක දැන් පිරිහිලා තියෙන්නෙ..ඉස්සර නම් අපව ගෙන්වල පිටපත් අතට දීලා..කණ්ඩායම් ගෙන්වලා..චරිතය තේරුම් කරල දීලා..තමයි නාට්‍ය කළේ..

අද ඉතින් මේක් අප් එක දානකොට තමයි මෙන්න සීන් එකේ දෙබස් කියල අතට දෙන්නෙ..දැන් මුදල් විතරමයි…නාට්‍ය කලාව ගැන අවබෝධයක් නැති අය නාට්‍යවල මුල මැද අග දන්නෙ නැහැ..හරිම කලකිරීමට මම පත්වී ඉන්නෙ…

වේදිකා නාට්‍ය එනවා..යනවා විතරයි..පවතින නිර්මාණ නැහැ..පැරැණි නාට්‍ය ඒවා තවමත් පවතිනවා..තවමත් එදා නාට්‍ය නිර්මාණවලට වටිනාකම් තියෙනවා…අද තත්ත්වය හරිම ඛේදවාචකයක් …දැන් මම ඉන්නෙ හුණුවටයේ කතාවෙ පොතේ ගුරු..හෙන්රි මහත්තයාගෙ හුණුවටයේ කතාවයි..කුවේණි විතරයි ප්‍රදර්ශනය වෙන්නෙ..මට වෙලා තියෙන්නෙ මේකයි..එම නිර්මාණ සමග ඇති බැඳීම් එක්ක ඒ ආදරය එක්ක ඈත්වන්න බැහැ..මේවා එක්ක ඉන්නකොට දිර්ඝායුෂ ලැබෙනවා…හිතේ සතුටට ආයුෂ වැඩෙනවා..හෙන්රි ජයසේනයන් වැනි අය නාට්‍ය කලාවට වාසනාවන්..ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතය කරන්නෙ..ඒත් හෙන්රි මහත්තයාට ඒ අවබෝධය නැතිවුවත් තමන්ගේ නාට්‍යයට උචිත ඒ ඒ නාද රටාවන් ගැන එතුමාට පුදුම ඉවක් තිබුණා..සංගීතය එතුමා දුන්නෙ ඔළුවෙන්..

ඔබගේ ඉදිරි කටයුතු ගැන ?

මම මේ කලාවට කලා ක්ෂෙත්‍රයට හරිම ආදරෙයි..ජිවිතයම බද්ධවුණේ කලාවටමයි. හැබැයි..මා ජීවිතයෙන් ලද එක් පාඩමක්ද තියෙනවා.. ඕනාවට වැඩිය හොඳ වෙන්න හොඳම නැහැ.. මේ දේ තමයි මං මගේ ජිවිතයෙන් ලබාගත් හොඳම පාඩම…

සේයාරූ – නිශ්ශංක විජේරත්න

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT