මාලිනීගේ පළමුවෙනි පුවත්පත් ලිපිය ලිව්වේ මම

අර්නස්ට් වඩුගේ
අප්‍රේල් 8, 2021

මෙරට සිනමාව ස්වර්ණමය යුගයක පැවති අතර ඒ හා සමානවම ස්වර්ණමය සිනමා පුවත්පත් කලාවක් ද මෙරට බිහි විය. කලාකරුවන් හා උරෙනුර ගැටෙමින් කරන සංවාද, විවාද හා විචාර පන්හිඳ සමඟ කළ හරඹයකින් පසු සිනමා පාඨකයන් වෙත ගෙන සිනමා පුවත්පත් ලේඛකයන් බොහෝමයකි. ඒ අතරින් සිනමා පුවත්පත් කලාවේ ජ්‍යෙෂ්ඨතමයන් සමඟ ඔවුන්ගේ මතක අවදි කරන්නට සරසවිය අප තීරණය කළා. මේ එහි පළමු පියවරයි. සිනමා කලා ක්ෂේත්‍රයේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදියකු වන අර්නස්ට් කුමාර වඩුගේ හෙවත් අර්නස්ට් වඩුගේ සමඟ කළ මතකාවර්ජනයයි මේ. 

කලා පුවත්පත් කියවන්න පටන් ගත්තේ කොයි කාලේද?

නිශ්චිතවම කාලයක් කියන්න බැහැ. නමුත් ඉස්කෝලේ යන කාලේ අපේ ජීවිත බවට පත් වුණේ සිනමා පත්තර තමයි. ඉතා විශාල සිනමා සාහිත්‍ය යුගයක් තිබුණා කඩවුණු පොරොන්දුවෙන් සිනමාව ආරම්භ වුණ කාලේ ඉඳන්ම. මම මුලින්ම බැලුවේ කලා පත්තරේ. ඒකට ඒ දවස්වල කිව්වේ "ලංකාවේ ෆිල්ම් ෆෙයාර්" සඟරාව කියලා. ආරියරත්න කහවිට ඒකෙ කර්තෘ වෙලා හිටියේ. ඒ පුවත්පත ඉතාම ජනප්‍රිය වුණා. මම, ධර්මසිරි ගමගේ, සිරි කහවල, ඒ.ඩී. රන්ජිත් කුමාර, විමල් ජයශාන්ත අපි ඔක්කොම බිහිවුණේ කලා සඟරාවෙන් තමයි. 

කලා පුවත්පත්වල වැඩිපුරම කියෙව්ව ලිපි මොනවාද?

එහෙම විශේෂයක් නැහැ. හැබැයි වැඩිපුරම හින්දි චිත්‍රපට ගැන ලියවිච්ච ලිපි මම කියෙව්වා. ආරියරත්න කහවිට, කරුණාසේන ජයලත් වගේ අයගේ ලිපි කියෙව්වා. ඒ අය අපේ නිල නොලත් ගුරුවරු කියලා කියන්න පුළුවන්.

මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ කොහොමද?

මම මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ සිනමා පුවත්පත්වලින් අහන ප්‍රශ්නවලට උත්තර ලියලා. ඒ දවස්වල පත්තරවලින් සිනමාව ගැන විවිධ ප්‍රශ්න අහනවා. කලා සඟරාව වගේම සෝමපාල රණවීර මහත්තයා පටන්ගත්ත චලන චිත්‍රය පත්තරේටත් එහෙම ප්‍රශ්නවලට උත්තර ලියලා දැම්මා. ආරියරත්න කහවිට කරුණාසේන ජයලත් ජයවිලාල් විලේගොඩ වගේ ලේඛකයන්ගේ සිනමා පිටු හරිම ජනප්‍රියයි. ඒවායේ අහන ප්‍රශ්නවලට පෝස්ට් කාඩ් පිරෙනකන් උත්තර ලිව්වා. මම මේ ගමන පටන්ගත්තේ. ඒ පිටුවලින් තමයි රුක්මණීදේවි, ෆ්ලොරීඩා ජයමාන්න, එඩී ජයමාන්න වගේ අය ජනප්‍රියම තරු වුණේ.

හාහා පුරා කියලා ලිපියක් පළ වුණේ මොන පත්තරේද?

කලා පත්තරේ. නළු නිළියන්ගේ විනෝදාංශ ගැන ලියන ලිපියක් මට ලියන්න පැවරුණා. මුලින්ම මම ලිව්වේ ගාමිණී ෆොන්සේකාගේ විනෝදාංශ ගැන. ඊට කලින් පොඩි පොඩි ලිපි පළ වුණා. ඒත් ප්‍රධාන ලිපියක් හැටියට පළ වුණේ ගාමිණී ෆොන්සේකා සමඟ කරපු සාකච්ඡාව. ඒ වගේම මාලිනී ෆොන්සේකාගේ මුලින්ම ලිපියත් ලිව්වේ කලා පත්තරේට.

ඔබට ගුරුහරුකම් දුන්නු මාධ්‍යවේදීන් කවුද?

මම ගමේ ඉඳලා පත්තරේට ලියපු කාලෙ ආරියරත්න කහවිට, ගුණරත්න පනාගොඩ මට ගොඩක් උදවු කළා. අපිට ගුරුහරුකම් දුන්නා. මම පුවත්පත් කීපයක කර්තෘ වුණු කෙනෙක්. මගේ ජීවිතේ ගුරුවරයෙක් කියලා කෙනෙක් නැහැ උත්සාහයෙන් තමයි හැම දෙයක්ම ඉගෙන ගත්තේ.

අර්නස්ට් වඩුගේගේ මාධ්‍ය ජීවිතේ පෝෂණය කළ පුවත්පත් පෙළගස්වමු ද ?

කලා පුවත්පතෙන් තමයි මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ. ඊටපස්සේ චලන චිත්‍රය පත්තරේ පොඩි ලිපි ලිව්වා. ඊටපස්සේ මගේ නවාතැන වුණේ සරසවිය. 

සරසවිය පුවත්පත කියන්නේ අර්න්ස්ට් වඩුගේගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක්?

සරසවියට මාව යොමු කරන්නේ ආරියරත්න කහවිට මහත්මයා. ආරියරත්න කහවිට මහත්මයා එතකොට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහත්මයාට කියලා තිබුණා දක්ෂ ළමයෙක් ඉන්නවා එයා ගැන හොයල බලන්න කියලා. ඒ 1965දී සරසවිය බිහි වෙලා අවුරුද්දකින් විතර. සරසවිය කියන්නේ ඒ කාලේ ලංකාවේ ජනප්‍රියම පුවත්පත. ලේක්හවුස් එකෙන් මුද්‍රණය කරපු දිනපතා පුවත්පත්වලටත් වඩා සරසවිය හරිම ජනප්‍රියයි. මට එන්න කිව්ව ඊට පස්සේ විමලසිරි පෙරේරා මහත්මයාව මුණගැහෙන්න. ලේක්හවුස් එකේ විමලසිරි පෙරේරා මහත්මයාගේ ඔෆිස් කාමරයට යන එකත් ඒ කාලේ අපිට හරි ලොකු දෙයක්. මම ගියේ අලුත්ම කලා පුවත්පත් කලාපයත් අරගෙන. විමලසිරි පෙරේරා මහත්මයා පත්තරේ හොඳට බැලුවා. ඒකෙ මැද පිටුවේ තිබුණේ මම පුණ්‍යා හීන්දෙණිය ගැන ලියපු ආර්ටිකල් එකක්. ඒක කියවලා ඔහු සෑහෙන්න මාව අගය කළා. එතකොට පත්තරේ නියෝජ්‍ය කර්තෘ හිටියේ ලක්ෂ්මන් වික්‍රමසිංහ. එයාටත් විමලසිරි මහත්මයා මගේ ආර්ටිකල් එක පෙන්නුවා. මම ලේක්හවුස් එකට ගියේ සිකුරාදා. මට සඳුදා ඉඳන් වැඩට එන්න කියලා කිව්වා.

සරසවිය පුවත්පතේ වසර කීයක් සේවය කළාද?

වසර පහළොවක් මම වැඩ කළා. කලාකරුවන් බහුතරයක් මගේ හිතවතුන් වුණා සිනමා සාහිත්‍ය ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය මාධ්‍යවේදියෙක් බවට මම ඒ කාලේ පත්වුණා. සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ නිවසට ගිහිල්ලා තමයි මාධ්‍යවේදියෝ කලාකරුවන්ව සම්මුඛ සාකච්ඡාවට ලක් කරන්නේ. මට වුණේ එහෙම නෙමෙයි. පසුකාලයක මගේ ගෙදරට කලාකරුවන් ඇවිල්ලා කාලා බීලා කතා කරලා යන්න පවා පුරුදු වුණා.

සරසවියෙන් පසුව වඩුගේගේ නම පළවෙන්නේ මොන පුවත්පතේද?

ලේක්හවුස් එකෙන් මට ඉවත්වෙන්න යම් සිදුවීමක් බලපෑවා. එතකොට මම සිනමාස් සමාගමේ තිරනාටක රචකයෙක් ලෙස වැඩ කළා. ඒ මදාරා ඉපදුණු අවුරුද්ද මම අයින් වුණාට පස්සේ මහත් ආන්දෝලනයක් ඇති වුණා අර්නස්ට් වඩුගේ සරසවියෙන් අයින් වුණා කියලා. එක සිදුවීමක් මට මතකයි මම කැමති ඔබ ඔහුට කරන ගෞරවයක් විදිහට මේක පුවත්පතේ සඳහන් කරනවා නම්. සරසවියෙන් ඉවත් වුණු කාලේ දවසක මහ රෑ එකට විතර නුගේගොඩ මගේ ගෙදර සීනුව නාද වුණා. ආවේ ප්‍රේමසිරි කේමදාස. ලංකාවේ අතිවිශිෂ්ටම සංගීතවේදියා. එතකොට මම හොඳටම නිදි දොර ඇරියේ මගේ බිරිඳ. කේමදාස මහත්තයා මම සරසවියෙන් ඉවත් වුණු එක ගැන ශෝකය ප්‍රකාශ කරලා මට නැවත රැකියාවක් ලැබෙනකම් ඒ පඩිය මාස්පතා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒත් මම එතුමාගෙන් කවදාවත් මුදල් ගත්තේ නැහැ. සරසවියෙන් පසුව ආතර් යූ අමරසේනගේ පුවත්පත් කීපයක නිදහස් ලේඛකයෙක් විදිහට ලිව්වා. ඊටපස්සේ මම බන්දුල පද්මකුමාර මහත්මයා ආරම්භ කරපු සරසි පුවත්පතේ විශේෂාංග කතුවරයා විදිහට වැඩ කළා. සරසි කියන්නේ සරසවියෙන් පසුව ලංකාවේ ජනප්‍රිය වුණු සිනමා පුවත්පතක්. "සත්සර" කියන්නේ ලංකාවේ පළමු සංගීත පුවත්පත.

ඊටපස්සේ මොකද වුණේ?

එතෙක් මම වැඩ කරපු හැම පත්තරයක්ම අනුන්ගේ පත්තර. ඊට පස්සේ මට ලොකු ආසාවක් ඇති වුණා මගේම පුවත්පත් ආයතනයක් පටන් ගන්න. ඒකට මඟ පෑදුණේ ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයා නිසා. ප්‍රීතිරාජ් වීරරත්න කියන්නේ නොම්බර දාහත චිත්‍රපටයේ නිෂ්පාදක. ප්‍රීති ඉරිදා දවසක ලාල් වීරසිංහයි ශෂි විජේන්ද්‍රයි එක්ක මාව මුණගැහෙන්න ගෙදර ආවා. එදා තමයි ප්‍රීති මට පුවත්පත් ආයතනයක් පටන් ගන්න කියලා යෝජනාවක් කළේ "අපි එකතුවෙලා කලා පත්තරයක් කරමු" කියලා. මට එහෙම පුවත්පතක් පටන් ගන්න කිසිම අදහසක් තිබුණෙ නැහැ. ජාවත්තේ තමයි මුලින්ම පත්තරේ පටන්ගත්තේ. ඊටපස්සේ පත්තර ගොඩක් පටන්ගත්තා.

මොනවාද ඒ පත්තර?

"රස" තමයි පළවෙනි පත්තරේ. ඊටපස්සේ "සුවඳ" ඒක යෞවන යෞවනියන්ගේ පත්තරේ. ඊටපස්සේ බිරිඳ පත්තරේ. ඒ කාලේ වැඩියෙන්ම අලෙවි වුණු කාන්තා පුවත්පත ඒක. පිටපත් දෙලක්ෂයක් අලෙවි වුණා. ඊළඟර සුමියුරු, සංගීත පුවත්පත. "ජීවිතය" කියලා පත්තරයක් පටන්ගත්තා කතාන්දර සහ චිත්‍රකතා ඇතුළත්. දුවණි ඊටපස්සේ පටන්ගත්තා. ඊටපස්සේ සම්පත, කලාරස, කුමාරයා පුවත්පත් ආරම්භ කළා. මේ හැම එකක්ම ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය වුණු පත්තර. 

කැමතිම නළු නිළියෝ කවුද?

කැමතිම නිළිය රුක්මණී දේවී. නළුවා විජය කුමාරණතුංග. ඒ දෙන්නම පසුකාලීනව මගේ මිතුරන් බවට පත්වුණා.

සිනමා පුවත්පත් ලේඛකයෙක් ලෙස වැඩ කරද්දි සමීපව ඇසුරු කරපු රංගන ශිල්පීන් කවුද?

ඒ නම් ටික පෙළගස්වන්න ගියොත් සරසවියේ කලාප කීපයක් පළ කරන්න වෙයි. වෘත්තිය ජීවිතයේදී මුණගැහිලා අවසානයේ පවුලේ හිතමිතුරන් වුණු කලාකරුවන් බොහෝමයි. රුක්මණීදේවි, එඩී ජයමාන්නගේ ඉඳලා හෙට බිහිවෙන අලුත් නළු නිළියන් පවා මගේ හිතවතුන් තමයි. නම් වශයෙන් කියන්න ගියොත් නොකියපු අය තරහා වෙයි.

සිනමා පුවත්පත්වල ස්වර්ණමය යුගය මොකක්ද?

පනහ දශකයේ තිබුණා කලා සඟරාව. ඊටපස්සේ සරසවිය, විසිතුර බිහි වුණා. 60, 70, 90 දශක තමයි සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය. ඒ යුගය තමයි සිනමා පත්තරවලත් ස්වර්ණමය යුගය. ගාමිණී ෆොන්සේකා දෙහිවල ඉඳලා සිනමාස් සමාගමට එනවා කලා පත්තරේ ගන්න. මම ඉස්සර ගාල්ලේ ඉඳලා ප්‍රශ්නවලට උත්තර ලියපු පෝස්ට් කාඩ් මිටියක් අරගෙන කොළඹට එනවා පත්තරවලට දෙන්න. ඒ කාලේ සිනමා පත්තරේක නමක් ගියත් ඇති.

වර්තමානයේ කලාව සහ කලා පුවත්පත් ගැන ඔබේ අදහස?

අපි හිටපු කාලේ සිනමාව සහ සිනමා පුවත්පත් දිහා බැලුවම මට අතිශය අභිමානයක් ඇති වෙනවා. ඒත් කියන්න කනගාටුයි සිනමාව නම් ගොඩගන්න අපහසු තත්ත්වෙටම වැටිලා තියෙන්නේ. නොමිලේ ටිකට් දුන්නත් චිත්‍රපටි බලන්නැති යුගයක් බවට මේක පත්වෙලා. කොරෝනා වසංගතයෙන් පස්සේ මේක සමහරවිට නැවත හරි යාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. සිනමාව ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය නැති කාලයක සිනමා පුවත්පත් පාඨකයන් අතර ජනප්‍රිය වෙන්නෙ කොහොමද? ඒක තාවකාලික දෙයක් කියලා මම හිතනවා. සිනමාකරුවන් සහ මාධ්‍යවේදීන් එකතු වෙලා ඒකට පිළියම් යොදන්න ඕන කියලා මම හිතනවා. මොකද කලාවක් නැති තැනක රටක් දියුණු වෙන්නේ නැහැ. කලාවෙන් තමයි මිනිසුන්ගේ ඉවසීම සුන්දරත්වය සංවරශීලීත්වය ඇති වෙන්නේ. 

ඔබ හිතන ආකාරයට කලා පුවත්පත්වල වියයුතු වෙනස්කම් මොනවාද?

කලා පුවත්පත් බහුතරයක් බලන්නේ සාමාන්‍ය සරල රසවින්දනයකින් යුතු පාඨකයන්. එදිනෙදා වෙහෙස මහන්සි වෙලා රැකියා කරන මුදල් හම්බකරන හම්බ කරන සාමාන්‍ය මිනිස්සු තමයි පත්තර කියෙව්වේ. ඒ මිනිස්සුන්ගෙන් තමයි පත්තර ආදායම් ලැබුවේ. ඒක එහෙම වෙන්න නම් කර්තෘ සහ කර්තෘ මණ්ඩලය මිනිසුන්ගේ හදවත්වලට ළං වෙන්න ඕනේ. අපේ දැනුම් සම්භාරය විදහා දක්වන්න නෙමෙයි කලා පත්තර තියෙන්නේ. දැනුම විදහා දක්වන්න කලාව ගැන පොත් ලියන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට ලියන ලිපි උගත් මහාචාර්යවරුන් බලනවා. නමුත් විදග්ධ විචාර මිනිස්සු කියවන්නෙ නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්න දෙන්න ඕනි ඔවුන්ගේ ඥාන ශක්තියට බුද්ධියට සරිලන දේවල්.

ක්ෂේත්‍රයේ ඉන්න තරුණ මාධ්‍යවේදින්ට ජ්‍යෙෂ්ඨයෙක් ලෙස තියෙන උපදෙස මොකක්ද?

මේක ඉතාම හොඳ වෘත්තියක්. වෘත්තියේ නම රැකගෙන බොහොම සෙමෙන් මේ ගමන යන්න. මේ ක්ෂේත්‍රයේ රේස් දුවන්න බැහැ කාටවත්. කිසි කෙනෙක් අබිබවා යන්න හිතන්න එපා. තමන් තමන්ගේ පාරේ යන්න. තමන්ගේ අනන්‍යතාව ගොඩනඟාගෙන මාධ්‍ය හසුරුවන්න ඕනේ.